මිනිස් චින්තනය කලුගලක් වැනි ස්ථිතික දෙයක් නොවේ.  එය චලනය වන ප්‍රපංචයකි. චින්තනයේ ස්වභාවය වන්නේ එක තැන පල් නොවී චලනය වීමයි. මෙම තත්වය අනන්‍යතා මූලධර්මයට පටහැනිය. යමකට අප තදින් අනන්‍යවූ විට එහි ප්‍රතිපක්ෂය ගැන සිතීම අවසන් වෙයි. අමරසේකර ඇතුළුව බහුතර දේශීය චින්තකයින් (ජාතිවාදින් සහ සිංහල මාක්ස්වාදීන් ද ඇතුළත්ව) දැඩි ලෙස ධනවාදය සමඟ අනන්‍යවී ඇත්තේ එහි පාර භෞතික මූලයන් අමතක කිරීමෙන් ය. සමාජ විපර්යාසය සම්බන්ධයෙන් කතා කිරීමේදී එය සම්බන්ධයෙන් මූලධර්ම දෙකක් තහවුරු වී ඇත.  එකක් පසමිතුරුතා මූලධර්මයයි (Antagonism). අනෙක ප්‍රතිවිරෝධතා  (On contradictions)  පිළිබඳ මූලධර්මයයි.

                      2003 සිට 2004 අග දක්වා අපගේ සංවිධානය තුළ න්‍යායික වර්ධනයන් දෙකක් අධිනිශ්චය විය. යුරෝපයේ සමාජ වර්ධනය පිළිබඳ විප්ලවකාරී චින්තනය වූයේ ග්‍රාමිස්චි මැදිකොටගෙන හටගත් ‘කැමැත්ත’ (consent) මත පදනම් වූ පසමිතුරුතා මූලධර්මයයි. දෙවැන්න වූයේ ආසියාවේ සමාජ වර්ධනය පිළිබඳ න්‍යායයි. එය පදනම් වූයේ මාඕ සේතුං  මූලික කරගත් ‘ප්‍රතිවිරෝධයන්’ (contradictions)  මත පදනම් වූ මූලධර්මයෙනි. 2004 දක්වා අප අතර පැවැති අභ්‍යන්තර න්‍යායික සංවාදය වූයේ ඉහත දෝලනයයි.

අප මෙතැන දී මා ඕ ගේ ප්‍රතිවිවිරෝධතා නම් ලිපියෙන් කොටසක් උපුටමු.

“මිනිස් දැනුම (ඥාන විභාගය)  පිලිබඳ ඉතිහාසයේ  දිගටම, සමාජ වර්ධනය (තල්ලුව) පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් මත දෙකක් තිබී ඇත. එනම්, පාර භෞතික මතය සහ අපෝහවාදී මතයයි. මේවා එකිනෙකට පටහැනි ලෝක දෘෂ්ටි මාර්ග දෙකක් තනයි.

ලෙනින් මෙසේ කීවේය: වර්ධනය (චලනය) පිළිබඳ  මූලික මත දෙක (නැතහොත් දේවල් සිදුවිය හැකි ආකාරය හෝ ඉතිහාසය ලෙස පැවතිය හැකි මත දෙක මෙසේය ; අඩුවීම හෝ වැඩිවීම වශයෙන් දෙයක් නැවත නැවත සිදුවීම; ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය (හොද නරක එකට පැවතීම) වශයෙන් වන වර්ධනය . ”

ලෙනින්ගේ ඉහත අදහස තහවුරු කිරීම සඳහා 2004 වර්ෂයේ අගදී  සංවිධානය තුළ මම අත්විඳි උදාහරණයක් සලකා බලමු. 97 වර්ෂයේ සිට 2004 දක්වා සංවිධානය පරිණාමය වන ඒ තුළ ප්‍රධාන පසමිතුරුතාවයන් දෙකක් දක්නට ලැබුණි. ඉන් එකක් වූයේ සංවිධානයේ අනන්‍යතාවයෙන් තරමක් පිට පැණ ස්ත්‍රී ශරීරය අධිනිශ්චය කර ගත් ග්‍රාම්ස්චි කවයයි. ඔවුන්ට න්‍යාය සහ න්‍යාය වේදීන්ගේ නම්  අධිනිශ්චය විය. අනෙක් පැත්ත වූයේ භාවිතාවට වැඩි බර තබන  ස්ත්‍රී ශරීරය අවනිශ්චය වූ අල්තූසර් කණ්ඩායමයි.

                                           2004 අග වන විට සංවිධානයේ නායකත්වය අරබයා විවාදයක් ඇති වන විට මුඛ්‍ය පසමිතුරුතාවය ලෙස මගේ විඥානය තුළ සටහන් වූයේ ඉහත කව දෙකයි. ඒ දක්වා පැවති තත්වය අනුව ග්‍රාම්ස්චි කවය හා අල්තූසර් කවය අතර දරුණු පසමිතුරුභාවයක් (සතුරු – මිතුරු භේදය) පැවතියේ ය. නමුත් සංවිධානයේ අනාගතය පිළිබඳ  තීරණාත්මක ගැටුම ආරම්භ වූ මොහොතෙදී මෙම කව දෙක එක ට ඒකාබද්ධ විය. එනම් ප්‍රතිපක්ෂයන් දෙක (මේ මොහොතේ යහපාලනය සහ එහි ප්‍රතිපක්ෂය වූ මහින්ද පාර්ශවය එකතු වූ පරිදි) එක්සත් වීමක් බලාපොරොත්තු නොවූ මොහොතක එය සිදු විය. “ ආදරයේ යථාර්තය” කෘතියේ සිට ”රොමියෝ ජුලියට්” දක්වා දක්වා වූ ආදර පරාසයක පිහිටි කණ්ඩායම එක පැත්තක විය. අනෙක් පැත්තේ සිටියේ සංවිධානයේ පෙම්වතෙකුගේ පෙම්වතියක් හොරෙන් හෝටල් කාමරයකට ගෙන ගිය රස්පුටින් වර්ගයේ ත්‍රාසජනක මානසික තක්කඩීන් ය. (හෝටල් කාමරයකට ගෙන යාම සම්බන්ධයේ සදාචාර විචාරක් මෙහිදි මතු නොකරයි) මෙම පැති දෙක තර්කයට අනුව එක්සත් විය නොහැක. නමුත් අප නොසිතූ දෙයම සිදුවිය. මෙම පෙර නොසිතූ බද්ධවීම නිසා අපූර්ව වර්ගයේ ග්‍රාම්ස්චි චින්තකයන් රැළක් පසුව බිහි විය.

                                          2005  වර්ෂයේදී මා විසින් මගෙන්ම අසන ලද ප්‍රශ්නය මෙසේ ය. “චින්තනයේ සැබෑ ක්‍රියාකාරීත්වය කුමක්ද ?”හේගල් මූලික වශයෙන් අතගැසුවේ මෙම ප්‍රශ්නයට ය. තමන්ට පූර්වගාමී වූ දර්ශනවාදීන්ගේ ආත්මීයවාදී ගාම්‍යන් දර්ශනය තුළදී ජය ගන්නේ කෙසේද? ලෝකය පිළිබද ආත්මීය අවබෝධය විචාරය කළ හැක්කේ කෙසේද? හේගල්ව පෙරට තල්ලු කරනු ලැබුවේ මෙම ක්ෂණික ප්‍රශ්න විසිනි.

                               අපගේ විචාරයන් තුළම පැවැති ප්‍රතිවිරෝධයන් කියවීම සම්බන්ධයෙන් මගේ දෝෂය කුමක්ද? ප්‍රතිවිරෝධයන් අතුරින් සමහර ඒවා පසමිතුරුය. සමහර ඒවා පසමිතුරු නැත. සංවිධානය තුළ සිටි බඩුකාරයින් සහ ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වූ පිරිස ‘යථාර්ථය’ නම් ෆැන්ටසි තිරය මතදී පසමිතුරන් වුවත්, එම කොට්ඨාශ දෙකේම අභිලාෂය නාගරික ස්ත්‍රී ශරීරයයි[real]. ඔවුන් කොට්ඨශ දෙකටම ආවේණිකව ස්ත්‍රිය තුළ යම් සාරයක් ඇත. අවසාන විග්‍රහයට අනුව ඔවුන් අතර යම් යම් ප්‍රති විරෝධයන් පැවතියත්, මාරාන්තික පසමිතුරුභාවයක් (ධනේශ්වර නිෂ්පාදන මාදිලිය තුළ ධනපතියා සහ කම්කරුවා අතර පසමිතුරුභාවය මාරාන්තිකය) තිබී නැත. සරලව කිවහොත් ඔවුන් මඟින් ප්‍රකාශ වී ඇත්තේ පන්ති අරගලය නොව අනන්‍යතා අර්බුදයකි. මෙම මාරාන්තික වැරැද්ද නිසා සංවිධානයට සිදුවුණු හානිය තක්සේරු කළ නොහැකි විය. ලෙනින්වාදී අර්ථයෙන් ඉන්පසු අපට 1905 හමුවිය.

 

                  “මා ඕ සේතුංගේ ” විශිෂ්ඨ බුද්ධිය වූයේ ආසියාවේ සමාජ වර්ධනය පිළිබඳ නියාමය ‘ප්‍රතිවිරෝධයන් අධ්‍යනය’ ලෙසින් වටහා ගැනීමයි. එය ලෙනින්ගේ අපෝහක චින්තනය ඉදිරියට රැගෙන යාමක් විය. (මේ අර්ථයෙන් ගත්විය සමකාලීන ජවිපෙ යනු ට්‍රොට්ස්කිවාදී ඥාන – විභාගයේම සිරවූවකි.) මාඕ ට අනුව ආසියාව තුළ ප්‍රතිවිරෝධයන් සර්වව්‍යාපීය. පුරාණ යුරෝපය යනු ඉඩම් හිමියා සහ ප්‍රවේණීදාසයා අතර දයලෙක්තික සම්බන්ධයකි. එහි වර්ධනය මගින් වහල් හිමියා සහ වහලා අතර සංකල්පික රූපකය වර්ධනය විය. එය පසමිතුරුභාවයේ අග්‍ර ඵලයකි. නමුත් ආසියාවේදී පරම හතුරෙක් සමඟ යළි මිත්‍රවිය හැකිය.”

                             එංගල්ස් පටු ලෙස මෙසේ කීවේ ය. ‘ චලනයම ප්‍රතිවිරෝධයකි’. ලෙනින් ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය (පරස්පර දේවල් එකට පැවතීම – චින්තනයේ පවතින මෙම අවස්ථාව බොහෝ දෙනෙකුට ජුගුප්සා ජනකය. ඒ නිසා ප්‍රතිපක්ෂ එකට සංසර්ගයේ යෙදීම පිළිබඳව මධ්‍යම පංතියට ඇත්තේ අප්පිරියාවකි. මෙම අප්පිරියාව තම පාර භෞත්ක චින්තනයේ අග්‍ර ඵලයකි) යනු සිත සහ සමාජය අතර පවතින ප්‍රතිපක්ෂ ප්‍රවණතාවයන් හඳුනාගැනීමේ කැඩපත ලෙස සැලකුවේ ය. ප්‍රතිපක්ෂයන් එකට පැවතීම පිළිකුලක් සේ දැකීම ( මා 2004 වර්ෂයේදී කළ වැරැද්ද) මධ්‍යම පංතික සදාචාරයක් මිස විප්ලවවාදී සදාචාරයක් නොවේ. මිනිසා අතර ගැටුම ආසියාවේදී අප සූත්‍රගත කළ යුත්තේ යුරෝපයේදී මෙන් පසමිතුරුභාවය තුළ නොවේ. ගම සහ  නගරය අතර ඇත්තේ ප්‍රතිවිරෝධයක් මිස පසමිතුරුභාවයක් නොවේ. කොළඹ එන ගැමියා නාගරිකයාට වඩා සමකාලීන ධනවාදධයට අනන්‍යවන්නේ මේ නිසාය. ගමේ චිම්පන්සියෙකු වන පුද්ගලයා නගරයට විත් ග්‍රාම්ස්චියානු වහස් තෙපලන රොමෑන්තික ආදරවන්තයෙකු වීම අහම්බයක් නොවේ.

සමකාලීන ධනවාදී සිදුවීම් ලෝකය තුළ දී ප්‍රතිපක්ෂයන්ගේ එක්සත්වීම් පිළිබඳව මැදපංතිය තම මාධ්‍ය – සංස්කෘතික විභවය තුළ සිට තම අප්‍රසන්න සන්නිවේදන පණිවිඩය සමාජගත කරයි. නමුත් ලෙනින් මෙසේ කියා ඇති වග (ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදීන් ද ඇතුළත්ව ) බහුතරයට අමතකය.

“අපෝහවාදය යනු ප්‍රතිපක්ෂ ඒකීය වී ඒවා සංසර්ගයේ යෙදෙනේනේ කෙසේද යන්න විග්‍රහ කරන විද්‍යාවයි. මෙම තත්වය වටහා ගැනීමේදී මිනිස් සිත මිය ගිය එකක් ලෙස නොව ජීවමාන එකක් ලෙස සැලකිය යුතුය.”

-දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Now I realize that until now my knowledge based on an antagonistic paradigm that is great error because it does not exist antagonastic phenomenon in wetern phylosophical sense, but on the contradictory sense as you mentioned above.
    අපෝහවාදය යනු ප්‍රතිපක්ෂ ඒකීය වී ඒවා සංසර්ගයේ යෙදෙනේනේ කෙසේද යන්න විග්‍රහ කරන විද්‍යාවයි. මෙම තත්වය වටහා ගැනීමේදී මිනිස් සිත මිය ගිය එකක් ලෙස නොව ජීවමාන එකක් ලෙස සැලකිය යුතුය.
    here what did you mean ” මිනිස් සිත මිය ගිය එකක් ලෙස නොව ජීවමාන එකක් ලෙස සැලකිය යුතුය” i would like to know what is the philosophical(ontological) organ according to hegel

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here