A
වික්ටර් රත්නායක පැවැත්ම සහ අධ්‍යාත්මය අතර (ප්‍රති)ස්ථාපනය කිරීම…
වික්ටර් රත්නායක නම් සංගීතඥයා ජිවත් වුයේ පරිවර්තනීය (transitional) සම්ප්‍රදායික සමාජයක් තුළ ය යන්න සත්‍යයක් වනවා සේම ඔහු තම පරිකල්පනය තුළ අනුදැක්කේ එම පරිවර්තනීය බව තුල ස්ථානගත වෙමින් ම පසුආවර්තිත ලෙස පරිකල්පනය කල සම්ප්‍රදායික මනෝරාජිකයකි යන්න ද එවිටම සත්‍ය වේ. එම සම්ප්‍රදාය වනාහි පශ්චාත්- යටත්විජිත වටිනාකම් වල සෙවණැල්ල විසින් අප සමාජ වල ද්විත්ව බවක් (dual existence) නොඑසේනම් ‘දෙගිඩියාවක්’ (ambivalence) ඇති කර ඇති තත්වයක් බව හොමි කේ. බබා නිරීක්ෂණය කරයි (කියවන්න ඔහුගේ The Location of Culture කෘතිය). මෙහිදී සිදුවන්නේ සම්ප්‍රදාය සහ නුතනත්වය එකවිටම පුද්ගල විෂය කෙරෙහි බලපෑම් සහගත වීමයි. වික්ටර් ගේ බොහෝ නිර්මාණ විකසිත වුයේද එවන් ‘ද්විත්ව’ බවක් සහිතවය (බටහිර සහ පෙරදිග සංකලනය වැනි වචනයක් මේ සඳහා පාවිච්චි වේ). එම ද්විත්ව බව තුල ම ඔහු වඩාත් බර වුවේ සම්ප්‍රදායික සමාජයක් උත්කර්ෂ කිරීම මුලික කරගත් පරිකල්පනීය බවක් යථාර්තයක් වනු දැකීමට ය. ඔහුගේ සීමිත දේශපාලනය අරමුණු කලේද එවන් සම්ප්‍රදායික වටිනාකම් උත්කර්ෂය පිණිස ය. දෙරණේ ඩෙල් ස්ටුඩියෝ හි සින්දු කියන විටද මේ ‘ද්විත්ව’ (Hybrid) සහ ‘උත්කර්ෂ’ ලක්ෂණ ගැබ්ව තිබුණි. ඔහුගේ දරුවන් පවා ස්ථානගත වී සිටියේ එම ද්විත්ව පරිවර්තනීය සම්ප්‍රදාය තුලම ය. එම නිසා ඔවුන්ද ඔවුන්ගේ ජිවන ලෝකය තීරණය කරනු ලැබුවේ එම පැරණි සංස්කෘතික සහ වික්ටෝරියානු වටිනාකම් තුළිනි යන්න අතීශයෝක්තියක් නොවේ (මේවා ඓතිහාසික තත්වයන් මිස පුද්ගලික ගැටළු නොවේ යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලික දේපළ පවා ඓතිහාසික නිර්මිතයන් ය). ඉහත බබා සදහන් කරන්නේ නුතනත්වයට ගමන් කිරීමේදී ‘ජාතිය’ සහ ‘ලිංගිකත්වය’ යන ප්‍රපංච දෙකේදී පශ්චාත්- යටත්විජිත ජාතින් තුල මෙම දෙගිඩියාව පවතින බව ෆැනොන් මනෝ විශ්ලේෂණය තුල නිරීක්ෂණය කරන බවයි. ‘සංස්කෘතිය සහ පන්තිය අතර හටගන්නා දැවැන්ත නොවිසදුනු පරස්පරතාවය’ (unsolved contradiction between culture and class) නිසා යටත් විජිත ආත්මය තුල ගැඹුරු අර්ථයකින් සමාජ යථාර්තය යන්න විෂයයේ මනෝභාවය තුල නියෝජනය වීමේ දෙගිඩියා ගැටළුවක් මෙහිදී ඔහු නිර්ක්ෂණය කරයි. වික්ටර් යනු මෙම නියෝජනයේ පරස්පරතාවය ඓතිහාසිකව අප වෙත ගෙන ආ වැදගත් අවස්ථාවකි. ඔහුගේ ‘පෞද්ගලික තීරණය’ තුල ‘අනේකත්වය’ (otherness) යන්න එක්වරම විතැන් වන අතර (දරුවන් නම් ස්වභාවික බවෙන් බාහිර ලෝකයේ ගැහැණිය නම් සංස්කෘතික බව වෙත) ආර්ථික තත්වය (පන්තිය) ඉහල යාමත් සමග හුදකලාවෙන් ‘වේදනාවේ සතුට වෙත’ (pleasure in pain) තම ආත්මය යොමුකරයි. එම ‘පෞද්ගලික බව’ තුලට මෙතෙක් තම සංකේතිය වටිනාකම් සඳහා බලපෑ ‘පොදු රසික අනේකත්වය’ නොවැදගත් වෙයි. මා සිතන හැටියට ඔහුගේ ‘සංකේතිය ප්‍රාග්ධනය’ තුළට ඔහුගේ මෙතෙක් ප්‍රතිරූපය බලපෑම් සහගත වූ බව අමතක නොකළ යුතුය. ඔහුගේ වර්තමාන ‘දේපළ’ තුලට එම සංකේතිය ප්‍රාග්ධනයද ඇතුලත් කල යුතුය. එම රසික නිරීක්ෂය (Gaze) තුළ ඔහු මෙතෙක් නඩත්තු කළ ඔහුගේ සම්ප්‍රදායික ලෝකයද බලපෑම් සහගත වේ.
අනෙකාගේ නිරීක්ෂය සහ ඒ හා බැඳුණ සංකේතිය බව ඉවත හෙලීමට පදනම් වූ ‘පුරුෂ අනේකත්වය’ යනු කුමක්ද යන්න වැදගත් ප්‍රශ්නයකි. පුරුෂයා ආශාව විසින් මෙහෙයවනු ලබන්නේ නම් එම ආශාව කෙලවර වන්නේ ගැහැණිය වෙතින් නම් ‘පුරුෂ විෂය මුලිකත්වය’ (subjectivity) ගැහැණිය යන්න අප පිළිගත යුතුය. ඇය යනු පැවැත්ම සහ ආත්මය අතර පුරුෂ පැවැත්මේ එකම මාධ්‍ය යයි only medium between spirituality and existence). මෙය පුරුෂ ලෝකයේ සබුද්ධික බවට ඔබ්බෙන් ඇති තර්ක විරෝධී දෙයකි. පැවැත්ම තුල ඇයගේ ආගමනය (intrusion) තර්කයට නැගිය නොහැක (‘පුද්ගලික ප්‍රශ්න අහන්න එපා මගේ සංගීතය පමණක් රසවිදින්න’ කියන්නේ එම නිසයි). ඇයගේ ආගමනය සහ වේදනාවේ ආරම්භය තුළින් හටගන්නා ආත්මයේ නිර්මාණය වීම සඳහා හොද උදාහරණයක් The Legends of the Fall (1994) නම් චිත්‍රපටය විසින් සපයයි. සහෝදරයින් තුන් දෙනෙක් අතරට පැමිණෙන ඇය විසින් වේදනාව (pain) ආරම්භ කරයි. දේවල් දෛවෝපගත ලෙස වෙනස් වීම ආරම්භ වේ. කිසිවක් තවදුරටත් තාර්කික නොවී පැවැත්ම තර්කයෙන් ඔබ්බෙහි ස්ථානගත වීම ආරම්භ වේ. මනුෂ්‍ය පැවැත්මේ මුලය ඇය ආරම්භ කරයි. භාෂාව ද්විතික වේ. මෙයට හේතුව නම් පුරුෂ පැවැත්මේ භාෂාව ට (logos) එනම් සංකේතීය බවට ප්‍රතිපක්ෂව ගැහැණියගේ පැවැත්ම ස්ථානගත වීමයි. ඇයගේ ආගමනය වෙනුවෙන් වූ ආචාර ධර්මික පිළිතුරක් වික්ටර් රත්නායක මහතාට පැවැත්මේ ගැඹුරු අර්ථයකින් ගොනුකර ගත නොහැකි බව කියත හැකිය. ඔහුට දියහැකිව තිබු පාඩම නම් ‘නිශේදනය තුළ පොරොත්තු වීමය’ (Tarrying With The Negative), එසේ පොරොත්තු වීම ඔස්සේ ඔහුගේ අධ්‍යාත්මය කොතරම් ශක්තිමත්ද යන්න ලොවට පසක් කිරීමය (නැතහොත් පරමාදර්ශ සකස් කිරීමට උදව් වීම ලෙස එය නම් කල හැක). ඒ වෙනුවට ඔහු කලේ ‘පැවැත්මේ රාත්‍රියට’ තම අධ්‍යාත්මය සෙලවීමට ඉඩ දීමය. ඒ ඔහුගේ අධ්‍යාත්මය තවම සකස් වී නොතිබූ නිසාය. නොඑසේනම් ඔහුගේ රාත්‍රිය තවම උදා නොවී තිබීම යනුවෙන් එය හැඳින්විය හැක. එසේනම් අප විග්‍රහ කරගත යුත්තේ ෂෙලින් නම් දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන
අප හැමෝම අත්දැකිය යුතු ෂෙලිනියානු ‘පැවැත්මේ රාත්‍රිය’ (Night Of The Self) නම් තත්වය කුමක්ද යන දාර්ශනික ගැටළුවයි (මේ සඳහා හොදම ආසියාතික උදාහරණය මහත්මා ගාන්ධි ය).
ස්ලොවෝයි ජිජැක්ට අනුව ඉහත ‘භූමිය’ සහ ‘පැවැත්ම’ යන්න සදාකාලිකව බෙදී පවතී. මෙම බෙදුම දෙවියන් තුලමත් දැක ගත හැකි තත්වයක් බව ජිජැක් සිය The Abyss of Freedom නම් ග්‍රන්ථයේ පෙරවදනේ පෙන්වා දෙයි. (පිටුව 4-5) එනම් ‘නපුර’ (evil) යන්න දෙවියන් තුලම පවතින දෙයක් මිස දෙවියන්ගෙන් බාහිර දෙයක් නොවේ. නමුත් දේවත්වයේ යහපත කැටිකරගත් දෙයක් නිර්මානය කිරීමට දෙවියන්ට අවශ්‍ය වූ හෙයින් හෙතෙම ලෝකය නිර්මාණය කරන ලදී. එම ලෝකය තුල ද ‘දෙවියන් නොවන කොටසක්’ ශේෂ කර ඇත. එම දෙවියන් නොවන කොටස විසින් ආලෝකය ඉල්ලා සිටී (දිව්‍යමය කොටසට ආලෝකය අවශ්‍ය නැත). එම ඉල්ලා සිටින ආලෝකය විසින් (ප්‍රබුද්ධත්වය) දිව්‍යත්වයේ ව්‍යාප්තිය සලකුණු කරයි. දෙවියන් තුලම ඇති මෙම විනිවිදිය නොහැකි ගුප්ත-අඳුරු-පැවැත්මේ භූමිය විසින් (ධනාත්මක නොවන දෙය) හේතුවේ ආලෝකය තවතවත් ඉදිරියට ව්‍යාප්ත කරනු ලබයි. මේ තත්වය අපට වික්ටර් තුල ද දැකිය හැකිය. සංගීතය නම් ඔහුගේ දිව්‍යමය නිර්මාණය කිරීම සඳහා ‘ආචාර ධාර්මික නොවන අන්තර්ගතයක්’ අවශ්‍ය වේ. ඒ සඳහා ඔහුට අද දවසේ උපකාරී වන්නේ ‘විනිවිදිය නොහැකි ඔහුගේ අඳුරු පැවැත්මයි’. එනම් ගැහැණිය නම් විනිවිදිය නොහැකි කේන්ද්‍රය තුලින් ඔහුට ලබා දෙන භූමියේ සත්‍ය කොන්දේසිය. එම සත්‍ය කොන්දේසි තුල ඔහු නව දරුවෙක් සඳහා ජීවය දීමට වුව ද හැකිය. එම නව ‘අඳුර බිඳින්නට’ නොහැකි ආගාධය විසින් තවත් ගැඹුරු නිර්මාන මිනිස් ශිෂ්ටාචාරයට දායක නළ හැකි නම් වඩා වැදගත් දෙය විය හැක්කේ එයයි.
ඔහුගේ එම සත්භාවී නොවන තීරණය පිටුපස සිටින ඇයගේ අඳුරු පැවැත්ම විසින් ඔහුගේ පැවැත්මේ භූමිය සකස් කරයි. මෙහි දී පරිපුර්ණ බව හා පරිපුර්ණ නොවන බව විසින් සමස්තය ගොඩනඟන අතර (කේවලත්වයන් දෙකක එකමුතු වීම) ඇයගේ අපරිපුර්ණත්ව තීරණය විසින් පරිපුර්ණ බව සඳහා වූ මාවත පෙන්වා දේ. ඇය නම් වූ ‘නපුර’ ලොව තිබෙන්නා වූ හේතුව ඒ ඔස්සේ ඇය අපට පෙන්වා දෙයි. ජිජැක්ට අනුව ලෝකයේ නපුර පැවතීමේ හේතුව නම් අපරිපුර්ණත්වය තුලින් පරිපුර්ණත්වය හඹා යන්නේ කෙසේ ද යන්න පෙන්වා දීමටය (පිටුව 15). ගාන්ධි විසින් තම බිරිඳට යෙහෙලියක වන ලෙස (චිත්‍රපටය බලන්න) ඉල්ලා සිටින්නේ සුදු ජාතික අශ්ශීලත්වයට එරෙහිව අධ්‍යාත්මික පරිපුර්ණ බව අත්පත් කර ගනු පිණිසය. මෙම දෙක අතර ඇති ‘පැල්ම’ පරිපුර්ණ බවටත් වඩා පරිපුර්ණ යැයි ජිජැක් පෙන්වා දෙන්නේ එම ‘පැල්ම’ තුලින් මිනිස් විෂය බිහිවන නිසාය. වික්ටර් නම් සිද්ධිය තුලින් ඔහුට බාහිරින් ස්ථානගත වී ඇති අපට ඉගෙන ගත හැකි පාඩම එයයි. බොහෝ විචාරවල ඇත්තේ ‘අපිත් වික්ටර් වගේ වෙමු’, ‘එසේ කළාට ඇති වරද කුමක් ද?’ වැනි ප්‍රකාශ වුව ද සත්‍ය ලෙස වික්ටර් විසින් අපට ආචාර ධාර්මික පාඩමක් උගන්වා නැත. ඇත්තේ ඔහුගේ අපරිපුර්ණත්වයේ අධ්‍යාත්මික පැල්ම අප වෙත ඔහුගේ නව ගැහැණිය හරහා පෙන්වා දීම පමණි. මෙයින් අදහස් කරන්නේ ඔහු හරි හෝ වැරදි යන්නට වඩා ඔහුගේ පැවැත්ම අප වෙත ප්‍රක්ෂේපණය කර ඇති එක් ආකෘතියකි. (සමහර විට එකම ආකෘතියයි). එම අර්ථයෙන් පිරිමියාගේ සත්‍ය පැවැත්ම ස්ත්‍රීත්ව පදනමක් මත පිහිටා ඇති බව ඔහු අපට පෙන්වා දී ඇත. බොහෝ විචාර (ලෙලුම් සමඟ) වලින් අප වෙත දැන්වුයේ ගැහැණිය විසින් පිතෘමුලික පදනම වෙත එල්ල කරන අති දැවැන්ත බලපෑම නිසා හටගන්නා බියයි (fear of the patriarchal foundation).
මෙම ක්‍රියාව තුලින් ඔහු ආචාර ධාර්මික හුදකලා ජිවිතයෙන් (spirit=ආත්මය) ලෞකික බව (භූමිය=ground) වෙත ගමන් කරයි. ඔහුට එන විවේචනවල ගැඹුරු ෂේලිනියානු සාරය එයයි. ගාන්ධි වැන්නෙක් තම බිරිඳට තමා සමඟ යෙහෙළියක සේ සිටීමට යෝජනා කරද්දී වික්ටර් යෙහෙළියක විවාහ කරගනී. වෙනස එයයි. අප දැන් මෙම තත්වය වරනගමු. ආසියාතික මිනිසකුට අවශ්‍ය කුමක්ද (What does the Asian man want?) යන ප්‍රශ්නය අපට ෆැනොන් ගේ කළු ජාතිකයකුට අවශ්‍ය කුමක්ද (What does the black man want?) යන ප්‍රශ්නයෙන් ව්‍යුත්පන්න කරගත හැකිය. ඔහුට අවශ්‍ය තමා පිඩනයට පත්කළ තම ස්වාමියා බවට පත්වීමටය. ‘සුදු පිඩක ස්වාමියා’ (oppressive white male) යනු අප අනන්‍ය කරගත් දෙයයි. අප සැම විටම උත්සාහ ගන්නේ ඔහු මෙන් වීමටය. ඔහුගේ සංස්කෘතික නිදහස අත්පත් කර ගැනීමටය. මෙම කතිකා තත්වයෙන් මිදීම ගැන ඇති එකම ආසියාතික උදාහරණය ගාන්ධි වේ. ඔහු ක්‍රිස්තියානියේ ඇති ‘එක කනකට ගැසුවොත් අනෙත් කණත් අල්ලන්න’ යන්න විශ්වාශ කල අයෙක් බැවින් සුදු මර්ධිත කතිකාවෙන් ඉවතට ගමන් කරයි. අප යටත් විජිත ආත්මයෙන් නිදහස් වන්නේ නම් මර්ධිත සුදු ආත්මයේ ‘ආශාවෙන්ද’ ඉවත් විය යුතුය. නමුත් ගැටළුව නම් අප කොතෙක් පශ්චාත්- යටත්විජිත ස්වාමියාගෙන් ඛණ්ඩනය වීමට උත්සාහ කල ද අපට එය කල නොහැක. මන්ද අපගේ ස්වභාවික ලෝකය ට ‘තහනම’ ගෙන ආවේ අප යටත් කල අපගේ සුදු ස්වාමියා ය. එම අර්ථයෙන් අපගේ ‘ආශාව’ නිර්මාණය කළේ ඔහු ය. අපගේ අවිඥානයෙන් අපට නිදහස් විය හැකිද?
බොහෝ කාලයක් යටත් කරගෙන සිටිය අයෙක් එක්වරම නිදහස් වුවොත් ඔබට දැකිය හැක්කේ කුමක්ද? වික්ටර් තම මර්ධිත යටත් විජිත ආත්මය දේපළ නිසා නිදහස් කරගනී. තම සත්‍ය පන්තියේ සංස්කෘතික සිමාවෙන් ඔහු නිදහස් වේ. බොහෝ විචාරකයන් බොහෝ දේ ලියුවද මෙම සංක්‍රාන්ති ස්වබාවය ගැන තක්සේරුවක් නොමැතිව කරන විචාර වලින් පවත්නා පශ්චාත් -යටත්විජිත, පශ්චාත්- නුතන තත්වය ගැන පුළුල් විනිශ්චයක් නොලැබෙන බව පැහැදිලිය. මා එසේ කියන්නේ අපගේ ‘ජීවන ලෝකය’ (life-world) පසු ගෝලීය තත්වය තුල පරිණාමය වෙමින් පැවතියද අපගේ පරිකල්පනය (imagination) නැත්නම් ෆැන්ටසිය (fantasy) තවමත් පවතින්නේ පැරණි සම්ප්‍රදායික සහ යටත් විජිත ලෝකය අතර වන නිසයි. මාවෝවාදී භාෂාවක් තුළ මා වික්ටර් නම් ලාංකික ගැටළුව ස්ථානගත කරන්නේ ඉහත ෆැන්ටසි පරස්පරතාව (contradiction or conflict in fantasy) තුලය. අප වික්ටර් සහ බටහිර ගායකයන්ගේ සත්‍ය ජිවිත අතර සංසන්දනයක් කලොත් ඔවුන්ගේ ජීවිතවල ඇති සාංදෘස්ටික ගැඹුර කලා කෘතිය තුල විකසිත වනු වටහාගත හැකිය. වික්ටර් ගයන ‘දාගැප් මහා වැව්’, ‘නීල බිඟු කැල’, ‘තනි වෙන්නට මගේ ලොවේ’ තුළ පමණක් නොව ඔහු නියෝජනය කල මතවාද තුල ද මෙම සාන්දෘෂ්ටික ගැඹුර එක්කෝ ගැබ්ව නැත, නැත්නම් ඇත්තේ ආන්තික වශයෙනි. වික්ටර් සිටිය පරිකල්පනීය ලෝකය එසේම පවතිද්දී ඔහුගේ ම දෙපා වලට යටින් සත්‍ය පස්චාත්- නුතන ලෝකය පරිණාමය වෙමින් පවතී. ගැටළුව ඉස්මතු වුවේ වික්ටර් පසු-නුතන ලෝකයක ‘සත්‍ය පැවැත්මේ තීන්දුවක්’ (පැරණි සංකේතිය ලෝකය තුල නුහුරු) ගත් මොහොතේය. සත්‍ය පැවැත්මේ හුදකලාව නම් ‘සිරවීමෙන්’ ගොඩ ඒමට ඔහුට පැවති සංකේතිය පිළිවෙල උල්ලංඝනය කිරීමට සිදුවිය. ඔහුගේ දරුවන් තේරුම් නොගන්නේ මෙයයි. කීමට ඇත්තේ එපමණකි…ලෝකයේ ගැඹුරුම අර්ථයකින් නුතන පැවැත්මේ අඳුරු අහුමුළු ගැන ගායනා කල Rolling Stone නම් රොක් ගායක කණඩායමේ මික් ජැගර් (Mick Jagger) ගේ ජීවිතය ගැන කිසිවෙක් කිසිවක් නොකීවේ ඇයි යන්න වික්ටර් කලපනා කර බැලිය යුතුය.