අර්බුදයෙන් ඉන්නේ සාමන්‍ය ජනතාව නෙමෙයි දේශපාලන නායකයින්

මේ බය නැති කර ගන්න නම් අපටත් ඕන ඩාර්ක් නයිට්ලා

– රසික කොටුදුරගේ

@ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද බොහෝ වාද විවාද ඇති වෙමින් තිබෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 දී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම මඟින් සිදු කළේ ගෝලීය ප්‍රාග්ධනය ප්‍රසාරණය වීමට අවශ්‍ය පසුබිම සැකසීමයි. අද මේ අර්බුදය ඇති වී තිබෙන්නේ, මෙකී යථාර්ථය නොදැන කටයුතු කිරීමට යෑම නිසා නේද?

මේය අප වටාහ ගන්න ඕන ඉතිහාසයට සම්බන්ධ ගැටලුවක් විදියටයි. මේ ගැටලුව ආරම්භ වෙන්නේ 1970 – 77 කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, සමසමාජ පක්ෂයයි එකතුව ඇති කරගත් සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් ගෙන ගිය දේශීය ආර්ථිකය, නැති නම් රාජ්‍ය ධනවාදී ආර්ථික රාමුව බිඳ දැමීමත් සමඟයි. 1977 දී ජේ.ආර් ජයවර්ධන මහත්මයා එයාගේ සහෝදරයත් එක්ක එකතුවෙලා 1978  ව්‍යවස්ථාව හැදුවේ ගෝලීය ධනවාදය නැතිනම් විවෘත්ත ආර්ථිකය රට තුළ ක්‍රියාත්මක කරන කොට අවශ්‍යවන දේශපාලන රාමුව සකස් කරගැනීමේ අරමුනින්. අද මේ තිබෙන ව්‍යවස්ථාවේ පදනම ඒකයි. 77 ට පෙර පැවති ආර්ථික රාමුව වෙනුවට ජේ.ආර් ජයවර්ධන ගෝලීය ධනවාදයේ ඊළඟ අදීරයට මේ රට විවෘත්ත කළා. ඒ කට මිනිස්සු කැමතිද? නැද්ද? කියන දේ ඔහුට ඒ මොහොතේ අදාළ වුනේ නැහැ. ඒකට විරුද්ධව පැනනැඟුණු 80 වැඩ වර්ජනය, 83නේ කළු ජූලිය, 87 ඉන්දු ලංකා ගිවිසුම, උතුරේ ජාතික ගැටලුව,88-89 ජ.වි.පේ නැඟීසිටීම … ආදී නොයෙක් ගැටලුවලට මුහුණ දුන්නා. මේ විදියට ඊට එරෙහිව දැක් වූ විරෝධතාවයන්ට වසර 39ක් පමණ ගෙවී ගිහින් තිබෙනවා. මගේ ජීවිතයෙන් තුන්කාලක් විතර ගෙවී ගියෙත් මේ ව්‍යවස්ථාවට එරෙහි ප්‍රතික්‍රියාවන්වලට දායකවෙලා. රනිල් වික්‍රමසිංහ මත්මයත් පස්සේකාලෙක කියනවා අවසන් වසයෙන් ගත්තොත් 89දි අපි කළේ වෙළෙඳපොළ ආර්ථිකය බේරගන්න කටයුතු කිරීමයි කියල. 89 අරගලය අප පරාජය කළේ ඒකයි කියල. ඒක ඇත්ත. ඉන්දියාවටත් කලින් අපි තමයි මේ විදියට ගෝලීය ධනවාදයට දොරටුව විවෘත්ත කළේ. ඒ නිසා කවුරු මොන දේ කිව්වත්, මොනතරම් විරෝධතා ප්‍රකාශ කළත් 77දී මේ පටන් ගත්ත ගෝලීය ධනවාදී අර්ථික මොඩලය දිගටම යනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. හරියට රා කල සොළොසක් බීපු ඇතා වගේ මේක අපේ පස්සෙන් එනවා.

 ප්‍රාග්ධනය විසින් ඒ වැඩේ දිගටම කරගෙන යනවා. ඒ නිසා 18ට 19ය 20 කියලා එක එක කඩදාසි ගෙනත් වැඩක් නැහැ. 19 ආයි නැති කළත්, මේ බලය පාර්ලිමේන්තුවට ගියත් මේ ප්‍රශ්න ටික මේ විදියටම තියෙනවා.

@ඔබත් මීට යම් ආකාරයක ප්‍රතිචාර දැක් වූ අයෙක්. මේ ක්‍රමයට උත්තරයක් ඔබ ළඟ තියෙනවද?

දශක තුනකට පස්සේ ඒ ගැන අතීතාවලෝකනය කරන කොට මට පේනවා; මං මුලින් කලාකාරයෙක් විදියට මේ ගෝලීය ධනවාදයට මුහුණ දුන්නේ. ඊට පස්සේ මං දේශපාලන චින්තකයෙක් විදියට මේකට මුහුණ දුන්නා. ”ධර්මිෂ්ට සමාජය” ලියල සරච්චන්ද්‍ර මේකට ප්‍රතිචාරයක් දැක්වූවා. විජය කුමාරතුංග මේකට ප්‍රතිචාර දැක්වුවා, මේ සඳහා මානුෂික මුහුණුවරක් ලබාදෙනවයි කියල චන්ද්‍රිනා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රතිචාර දැක්වුවා, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිමින් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම මේකට ප්‍රතිචාර දැක්වුවා, ”රාවය” පුවත්පතේ වික්ටර් අයිවන් ප්‍රමුඛ පිරිසක් මේකට ප්‍රතිචාර දැක්වුවා. මීට අමතරව ලංකාවේ වම විවිධ ආකෘතිවලින් මේකට විවේචන ගෙනාවා. කොටින්ම ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලක් පවා දියත් කළා. මෙහෙම බැලුවම සියලුම සමාජ කණ්ඩායම් හා දේශපාලන නායකයෝ ජේ.ආර් විසින් විවෘත්ත කරපු මේ දොරටුව වහන්න විවිධාකාරයෙන් උත්සාහ කළා. නමුත් ඒ සියල්ල අසාර්ථකවෙලා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ඩුවල්-Duel- කියන චිත්‍රපටියේ කතා නායකයගේ පස්සෙන් ලොකු ට්‍රක් එකක් පන්නගෙන එනව වගේ මේක අපේ පස්සෙන් පන්නගෙන එනවා. එනිසා මේ ගෝලීය ධනවාදයට එරෙහි සියලු ප්‍රතිචාර දැක්වීම්වලට මේ වෙද්දි කිසිදු දේශපාලන සුජාත භාවයක් නැහැ කියල දැන් පැහැදිලියි. ඒවා හුදු හොඳ නරක පිළිබඳ සදාචාරාත්මක විවේචන පමණයි. ඒවාට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව මාක්ස්වාදී මූලධර්මවලින්ම දැන් පැහැදිලි කළ හැකියි. මෙය ඉතාම කණගාටු දායක තත්ත්වය වෙන්නේ; ගෝලීය ධනවාදය පිළිබඳව මේ විද්‍යාත්මක අවබෝධයට අප එනවිට ජ.වි.පෙ මෙහෙයවපු කැරැල්ල නිසා සිංහල තරුණ තරුණියො 60000ක් පමණ රටට අහිමි වෙලා තිබුණා, උතුරේ පැවති යුද්ධයෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවෙලා තිබුණා, සමහර විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම වහල දැම්මා, අධ්‍යාපනය කඩාගෙන වැටුනා, පුද්ගල ජීවිතය කඩාගෙන වැටුනා, යෝධ චරිත කුරුමිට්ටො බවට පත් වුණා. තවත් විදියකින් කිව්වොත් මාක්ස්වාදය ආවට පස්සේ සමාජවාදය මනෝරාජිකත්වයෙන් විද්‍යාවට කියනව වගේ මේ ගෝලීය ධනවාදයට එරෙහිව අපි විද්‍යාවක් තනා ගන්නේ කොහොමද? කියන තැනට අප ඇවිත් තිබෙනවා. ඕක තමයි මේ වසර 40ක විතර කාලය තුළ විද්‍යාත්මක රාමුවක් හැදුවොත් අපට සලකුණු කරන්න පුලුවන් තැන.

@ එහෙම නම් මෙතනින් එළියට එන්න නම් අප කරන්න ඕන මොනවද?

ගෝලීය ධනවාදය කියල කියන්නේ; සරච්චන්ද්‍ර ධර්මිෂ්ට සමාජය කියල කිව්වා වගේ, ගුණදාස අමරසේකර සභ්‍යත්වයේ ශිෂ්ටාචාරය කියල කිව්වා වගේ, එහෙම නැත්නම් නලින් ද සිල්වා සදාචාරාත්මක විවේචනයක් ගේන්න ඕන කියල කියනව වගේ විසඳ ගන්න පුලුවන් ගැටලුවක් නෙවෙයි මේ. කොටින්ම මේ සියලු විචාර ඒංගල්ස්ගේ අර්ථයෙන් කිව්වොත් මනෝරාජික විචාර පමණයි. ඒනිසා මේ ගෝලීය ධනවාදයට එරෙහිව අපි විද්‍යාවක් තනා ගන්නේ කොහොමද? කියන ප්‍රශ්නයට පිළිතුරු සොයන්න අපට සිද්ද වෙනවා. මෙතනින් එළියට එන්න නම් අප කළ යුත්තේ එයයි.

@ 78 ව්‍යවස්ථාවෙන් කළේ ගෝලීය ධනවාදය අපේ රට තුළ ප්‍රසාරණය කිරීමට අවශ්‍ය දේශපාලන රාමුව සකස් කිරීම කියලා ඔබ කිව්වා. එහෙම නම් පාර්ලිමේන්තු ක්‍රමයකට යාමේ තේරුමක් තියෙනවද?
 
 ජේ.ආර්ගේ ව්‍යවස්ථාව කියල කියන්නේ ගෝලීය ධනවාදය අපේ රටේ ක්‍රියාත්මක කිරීමට සකස් කළ ලේඛණයක් පමණයි. එහෙම නම් දැන් තේරෙන්න ඕන අපට ආයිත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට යන්න බැහැ කියලා. මොකද මේ වෙද්දි ඒ සියල්ල ප්‍රාග්ධනය විසින් වෙනස් කර තිබෙනවා.

@ඒ ගැන පැහැදිළි කිරීමක් කළොත්?

 වතුර, ඉඩම්, සංස්කෘතිය, ආගම, ජාතිය, ආදරය, ලිංගිකත්වය, ඥාතිසබඳතා ඇතුලු සියලු මිනිස් සබඳතා මේ වෙද්දි හුවමාරු භාණ්ඩ බවට පත්වෙලා තියෙනවා.  කොටින්ම අප කතා කරන අදහස් පවා වෙළෙඳපොළක් බවට පත්වෙලා තියෙනවා. ෆේෂ් බුක් යූටියුබ් එක්ක ගනුදෙනු කරනකම්; අපි මේවා වෙළෙඳපොළක් කියන කොට කවුරුවත් ඒක තේරුම් අරන් තිබුණෙ නැහැ. මෙතනදි හොඳ අදහස නරක අදහස කියල බෙදීමක් නැහැ. මේ මොහොතේ වැඩියෙන් විකුණන්න පුලුවන් අදහස මොකක්ද ඒක විකුණනවා. ඉරාජ්, අශේන්ල වගේ අය පෙන්වන්නේ මේ යථාර්ථයයි. අදහස් කියන්නේ හොඳින් විකිනිය හැකි දෙයක් බව ඔවුන් ඉතා හොඳින් අපට පෙන්වාදෙමින් සිටිනවා.  එතනදි මේ අදහස රටට හොඳයිද? නරකයිද? මේක ආගමිකද? සිංහලද? බෞද්ධ ද? .. කියන කිසිදෙයක් අදාළ වෙන්නේ නැහැ. අද සියලු දෙනා අදහස් විකිණීමේ යුද්ධයක පැටලී සිටිනවා. ඒනිසා අදහස් කියන්නේ ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරන දෙයක් මිසක් නලින් ද සිල්වා කියනව වගේ තවදුරටත් සදාචාර වාදයක් දේශනාකරන දෙයක් නෙමෙයි.  

@සිංහල බෞද්ධ ස්වොත්තම ජාතිවාදය මේ මොහෝතේ උපරිම උත්කර්ෂයට නංවා තිබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මා මෙය හදුන්වන්නේ ජාතිවාදයේ සූර්තාන්ත මොහොත කියලයි. ඒක දැන් නෙළුම් කුලුනේ අකුණු සන්නායකයේ කෙළෙවර තියෙන්නේ, අන්න ඒතරම් උඩට ගිහින් තියෙන්නේ. මේතමයි උපරිම මට්ටම. ඒකට මීට වඩා උඩට යන්න බැහැ. ඇත්තටම මේ තත්ත්වය ඇති කළේ අප විසින්.
මීට පෙර ජාතිකවාදය කියන්නේ ආධ්‍යාත්මිකවාදයක්. නැති නම් ආත්මීය  සංකල්පයක්. නලින් ද සිල්වා තමයි මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ. දැන් මේක ෆේෂ් බුක් එක ඇතුළේ ලයික් ෆාම් එකක් බවට පත්වෙලා. මේ අදහසට ලයික් කීයක් වැටෙනවද? ලයික් එකකට කීයක් ගෙවනවද? දැන් මේක ඒ ගානට වැටිලා. ඒනිසා එක එක්කෙනා විකුණන භාණ්ඩයක් බවට පත්වෙලා. මහින්ද මහත්තයා එයාට ඕන විදියට ඒක විකුණනවා, රතන හමුදුරුවෝ එයාට ඕන විදියට ඒක විකුණනවා,… මේ විදියට එක එක්කෙනා ඒ ඒ අයට ඕන විදියට මේක විකුණනවා.  මේ අයට අමතරව ඉරාජ්, අශේන් වගේ අයත් මේක විකුණනවා. අපට ඕන නම් මේක ප්‍රසාරණය වුණේ කොහොමද? කියල විශ්ලේෂණය කරල බලන්න පුලුවන්.

@ජාතිකවාදයේ මේ මොහොත ඔබ විග්‍රාහ කර ගන්නේ කොහොමද?

ලංකාවේ වාමංශික ව්‍යාපාරය ජාතිකවාදය සම්බන්ධයෙන් දක්වපු ප්‍රතිචාරය වුනේ; ඒ තුළ පැවති දැඩි දක්ෂිණාංශික භාවය නිසා මේ දේ සිද්ධ වුණා කියන එකයි. එහි අදහස වෙන්නේ බලහත් කාරයෙන් මේ අදහස් සමාජගත කිරීම මඟින් මේ දේ කළා කියන එකයි. උදාහරණයක් විදයට සිංහල වීරවිදහන (පස්සේ ජාතික හෙළ උරුමය) සුළු ජාතීන් බිය ගන්නවා අධිපති ජාතිවාදී මතවාදයට ඔවුන් යටත් කළ ආකාරය පෙන්වා දෙන්න පුලුවන්. අනෙක් පසින් තවත් ජාතිකවාදයක් ජවිපෙ විසින් ඉදිරියට ගෙනාවා. ඒක මහින්ද රාජපක්ෂ විසින් ඩැහැ ගත්තා. ඊට පස්සේ මේක රටට දැයට ආදරේ කරන ප්‍රගතිශීලී ජාතිකවාදී ව්‍යාපාරයක් බවට පත් වුණා. මේ ජාතිකවාදයට වම විසින් ගෙනා විවේචනය වුණේ බඩු බෙදන ජාතිකවාදය කියන එකයි. කාපර්ට් පාරවල් දෙනවා, කොන්ක්‍රීට් පාරවල් දෙනවා, ආණ්ඩුවේ රැකියා දෙනවා, සිල්රෙදි බෙදනවා, ඔරලෝසු බෙදනවා,… මේක සමහරු නම් කරේ බැසිල්ගේ ජාතිකවාදය කියලයි. ඒ මොකද බැසිල් විසින් බඩු බෙදල බෙදල මේ ජාතිකවාදය හදපු නිසයි.

මගේ අදහස වෙන්නේ ජාතිකවාදය සම්බන්ධයෙන් ඔය අදහස් දෙකම වාස්ථවිකයි. ඒවා මඟින් කියැවෙන්නේ මිනිසාගේ බාහිර ලෝකය මොකක් හෝ හේතුවක් මඟින් පාලනය කරන බවයි. තවත් සරලව කිව්වොක් පැරණි වම කිව්වේ; හොඳ නරක තේරුම් කරල දුන්නොත් මේ මිනිස්සු වෙනස් වෙනව කියලයි. ඒ අය හිතාගෙන ඉන්නේ මිනිස්සු නොමඟ ගිහින් තියෙන්නේ. අපි ඒ අයව යහ මඟට ගන්න ඕන කියලයි. මිනිස්සු ජාතිවාදයට ගිහින් තියෙන්නේ සමාජ ක්‍රමය ගැන විදිමත් අවබෝධයක් නොමැති කමින් මුලාවක පැටලී ඉන්න නිසයි. ඒ නිසා ඒ අයට හරි අදහසක්, විද්‍යාවක් දුන්නම ඒ අය නිවැරදි අදහසට පැමිණෙනව කියලයි. නැත්නම් සම්මා දෘෂ්ටියට එනවා කියලයි. නමුත් කීදෙනෙක් ඇවිත් ඔය කියන සම්‍යක් දෘෂ්ටිය දේශනා කළා ද? රාවය, අනිද්දා වගේ පත්තරවල වුණත් තියෙන්නේ මේ සම්‍යක් දෘෂ්ටික අදහස්නේ. අපි දැක්කා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියලා වෙනම පක්ෂයකුත් මේකට හැදුනා. ඒ අය යන යන තැන්වල ඔය සම්‍යක් දෘෂ්ටිය දේශනා කළා. හැබැයි මොනද වුණේ. ඒක කියන්න කියන්න පක්ෂ සාමාජිකයෝ අඩු වුණා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක මේ බලහත් කාරය නිසා හරි, බඩු බෙදල හරි, සම්‍යක් දෘෂ්ටිය දේශනා කරල හරි ගොඩගන්න පුලුවන් එකක් නෙවෙයි කියල. මේක අප දෘෂ්ටිවාදයක් කියල වටහා ගන්න ඕන.
මේ මොහොතේ ජාතිවාදය කියල කියන්නේ දෘෂ්ටිවාදයක(Ideology)ට. ඇයි ඒකට දෘෂ්ටිවාදයක් කියල කියන්නේ; මේ ධනවාදී සමාජය තුළ ජීවත් වෙද්දි සියලු මිනිස් සබඳතා හුවමාරු භාණ්ඩ බවට පත් වෙනවා. උදාහරණයක් විදියට පිරිමින් විසින් මේ රටේ කොයිතරම් අර්බුද තියෙනව කියල කිව්වත්, කිසිදු ස්ත්‍රියක් අර්බුදයක ඉන්න බව අපට පේන්නේ නැහැ. මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න කියල මං පිරිමින්ගෙන් ඉල්ලා සිටිනවා.


බලන්න ලංකාවේ ස්ත්‍රීන් දිහා ඒ අය හොඳ ඩෙනිම් එකක් ඇඳලා, කොන්ඩේ ටින්ට් කරල නැත්තම් ස්ට්‍රේට් කරලා, ෆෙදර්කට් කපලා ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා, සුදුවෙන්න එක එක පෙතිජාති බීලා, පෙකනිය පේන්න ටොප් එකක් ඇඳල, මොබයිල් ෆෝන් එකක් අරගෙන හැන්ඩ්ස් ෆ්‍රී කනේ ගහගෙන හරි උජාරුවෙන් පාරේ යනවා. කොන්ඩේ හුළඟට වැනෙන නිසා ඒ අය හරි නිදහස්කාමී කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්. සැම්පු දාළ කන්ඩිෂණර් දාළ වොෂ් කරල තියෙන නිසා තමයි ඒ විදියට කොණ්ඩේ හුළඟේ පාවෙලා යන්නේ. මේ අය මෙහෙම යන්නේ ඔලුව නිදහස් නෙමෙයි, ෂැම්පු දාළා නිසා කියල ඒකෙන් ම පේනවා. එයාල බලන්නේ දෙවෙනි…, සංගී…, … වගේ ටෙලිඩ්‍රාමා. මේ අය ඉන්නේ අතිෂයින් විනෝදකාමී ලෝකයක. එහෙම නම් මේ රටේ පිරිමින්ට විතරද මේ අර්බුදය තියෙන්නේ? කියල ප්‍රශ්නයක් අපිට එනවා. එතකොට රටේ බාගයකට වැඩි පිරිසකට මේ කතා කරන ප්‍රශ්න අදාළ නැද්ද?.  ඒ නිසා මේ අය කියන කතාවල තියෙන්නේ අර්ධ සත්‍යයක් පමණයි. රටේ බහුතරයකට ඔය කියන අර්බුදය දැනිල නැහැ.

@ එහෙම නම් ඒක දැනිල තියෙන්නේ කාටද?

දැනිල තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි මාධ්‍යවලට. අද මාධ්‍ය මෙහෙයවන ඒවයේ අයිතිකාරයෝ ගොඩක් අය දන්නේ පැරණි ධනවාදය ගැන, මීට අවුරුදු තිහ හතළියකට ඉස්සේල්ලා ඉස්කෝලවල ඉගෙන ගත්ත දේවල්. ඒගොල්ලො දන්න ෆේෂ්බුක් එකක් හරි, මේකේ තියෙන ඇල්ගො රිදම් එකක් හරි මේ අය දන්නේ නැහැ. මේ අය කේම්බ්‍රිජ් ඇනලිටිකා එකෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ව දිනෙව්වේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඉතිං පහුගිය කාලේ ප්‍රාග්ධනය නිසා සමාජ සම්බන්ධතා වෙනස් වුණු විදිය දිහා බලල මේ මිනිස්සු අම්මෝ අයියෝ අපෝ කියල කෑගහල කලන්තේ දානවා. ඒ අයට ඇතිවන කම්පනය සහ අනන්‍යතා අර්බූදය තමයි සන්ඩේ ටයිම්ස්වල ඉඳල අනිද්දා පත්තරේ දක්වා ප්‍රකාශ වෙමින් තිබෙන්නේ. එහෙම නැතුව මේ ප්‍රකාශ වන්නේ පොදු මහජන මතයක් නෙමෙයි. ඒ ගොල්ලෝ බයවෙලා ඒ අයම කෑගහනවා.
මිනිහෙක් ගිහින් කණ්ණාඩියක් ඉස්සරහා රැවුල කප කප ඉන්න ගමන් පිටිපස්සෙන් ගිහින් ඕඕ ගාල කෑගැව්වම මූණත් කපාගෙන බයවෙලා දඟලන්නේ අන්න ඒවගේ එකක් තමයි ඉක්බාල් අතාස්ටයි වික්ටර් අයිවන්ටයි වෙලා තියෙන්නේ. දැන් ඒ අයගේ ධනවාදය පිළිබඳ පැරණි ඥානවිභාගාත්මක රාමුව බිඳවැටිලා. ඒ නිසා ප්‍රාග්ධනය වැඩ කරන විදිය මේ අයට තේරේන්නේ නැහැ. ඒ කෙන් වෙන්නේ ඒ අය විසින් පරණ බිය සමාජ ගත කරන්න උත්සාහ ගැනීමයි. එහෙම බයක් වෙන්න ඕන නැහැ.මොකද මේ සිස්ටම් එක ගෝලීයකරණයවෙලා තියෙන නිසා පැරණි රාජ්‍ය අහෝසිවෙලා ඉවරයි. ඒක තාම මේ අය දන්නේ නැහැ.

@ ඉදිරියේදී වෙන්න ඕන මොකක්ද?

ඉදිරියේදි වෙන්න ඕන නූතන ධනවාදය ගෝලීයවශයෙන් ක්‍රියාත්මකවන ආකාරය දන්නා දේශපාලන පුද්ගලයෝ ඉදිරියට පැමිණීමයි. මෙතෙක්  ලංකාවේ දේශපාලන බලය හෙබ වූ ප්‍රභූතන්ත්‍රය විසින් ධනවාදය පාලනය කරපු විදික්‍රමය කඩාගෙන වැටිලා තියෙනවා.  ඒකෙන් ඒ අය අද කම්පාවට පත්වෙලා තියෙනවා. මේ කම්පාවට පත් වීමත් සමඟ ඒ අයගෙ ජීවතවල ඇතිවෙලා තියෙන හිස්කම පුරවන්න මොකක් හෝ කතාවක් ඕනනේ. උදාහරණයක් විදියට කෙනෙකුගේ පෙම්වතෙක් හෝ පෙම්වතියක් කාලයක් ආශ්‍රය කරලා එකපාරටම හේතුවක් කියන්නෙ නැතුව දාල යනවා. ඊජිප්තුවාසීන්ගේ රහස ඊජිප්තුවාසීන්ටත් රහසක් කියන්න වගේ මෙහෙත් දේශපාලන අර්බුදයක් තියෙනවා. නමුත් ඒක ආර්ථික අර්බුධයක් නෙමෙයි. මේ මොහොතේ එහෙම අර්බුදයක ඉන්නේ ඇමරිකාව, එන්ගලන්තය හා යුරෝපය වගේ රටවල්. නමුත් මේ වෙලාවේ චීනය හෝ රුසියාව එවැනි අර්බුදයක නැහැ. මොකද ධනවාදය හරියට මෙහෙයවන්නේ ඒ අය. ඒ නිසා මේ මොහොතේ අර්බුදයෙන් ඉන්නේ සාමන්‍ය ජනතාව නෙමෙයි දේශපාලන නායකයින්. ඒ අයට මේ ක්‍රමය දුවන විදිය තේරෙන්නේ නැහැ. මෙතනදි දෘෂ්ටිවාදය කියල කියන්නේ; මෙන්න මේ හිස්තැන පුරව ගන්න ධනවාදය අපව මෙහෙයවන ක්‍රමය පිළිබඳව තේරුම් ගන්න විද්‍යාක් නිර්මාණය කර ගැනීමටයි. එහෙම නැති ඕනම කෙනෙක් බය වෙනවා. ඩාර්ක් නයිට් වගේ චිත්‍රපටි නිර්මාණයවෙලා තියෙන්නේ මේ තත්ත්වය තේරුම් කරන්නයි. මේ බය නැති කර ගන්න නම් අපටත් ඕන ඩාර්ක් නයිට්ලා. අපව පාලනය කර ගන්න අප විසින්ම කැඳවන අදහස් මාලවක් අවශ්‍යයි. අන්න ඒ අදහස් මාලවට තමයි දෘෂ්ටිවාදය කියල කියන්නේ.

@ එහෙනම් මිනිස්සු තාමත් ජාතිකවාදය සරණ යන්න උත්සාහ ගන්නේ ඇයි?

මම කාට හරි බයවෙලා නෙමෙයි ජාතිකවාදයට යටත් වෙන්නේ. නැත්තම් බඩු දෙන හින්දත් නෙමෙයි. එහෙම නැත්තම් හමුදාව දාල බය කරන නිසත් නෙමෙයි. මම මෝඩ නිසාත් නෙමෙයි. මම හරිම බුද්ධිමත්. මම මේ ජාතිවාදය නරකයි කියලත් දන්නවා.  එහෙම නම් ඇයි මම ජාතිවාදයට යන්නේ? මම දන්න අනිත් අය මේක පස්සේ දුවනව කියල හිතෙන නිසා.  
හැමෝම යන්නේ ඒ පැත්තට නම් මම මේකට විරුද්ද වුණත් වැඩක් නැහැ. ඒ නිසා මාත් ඒ පැත්තටම යනව කියලා තීරණය කරනවා. මම ජාතිවාදයට යන්නේ මගේ අනෙකා නිසා. අනෙකාගේ විශ්වාසය නිසා. මම නම් මේකට විරුද්ධයි. නමුත් කවුරුන් හෝ මෝඩයො පිරිසක් ඉන්නවා, මේක වශ්වාස කරන. මමත් ඒ රැල්ලටම යනව මිසක් මං විතරක් මොකටද ඒ අයට විරුද්දව ඡන්දය දෙන්නේ. එනිසා මේ මොහොතේ දෘෂ්ටිවාදය කියලා කියන්නේ අනෙකාමත පරායත්තවන විශ්වාසයටයි. මෙන්න මේ තත්ත්වය අවබෝධ කර ගත්තොත් මේ දෘෂ්ටිවාදයෙන් මිනිස්සු ඉවත් වේවි. ඒ සඳහා අප කළ යුත්තේ එවැනි අනෙකෙක්-stupid– නොමැති බව ඔවුන්ට වටහා දීමයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “බලන්න ලංකාවේ ස්ත්‍රීන් දිහා…මේ අය ඉන්නේ අතිෂයින් විනෝදකාමී ලෝකයක. එහෙම නම් මේ රටේ පිරිමින්ට විතරද මේ අර්බුදය තියෙන්නේ? කියල ප්‍රශ්නයක් අපිට එනවා. එතකොට රටේ බාගයකට වැඩි පිරිසකට මේ කතා කරන ප්‍රශ්න අදාළ නැද්ද?. ඒ නිසා මේ අය කියන කතාවල තියෙන්නේ අර්ධ සත්‍යයක් පමණයි. රටේ බහුතරයකට ඔය කියන අර්බුදය දැනිල නැහැ.” – ABSOLUTELY!

    ලංකාවේ ස්ත්‍රිය ගේ “පියාපතක සැහැල්ලු ජීවිතය” සහ විනෝදකාමීත්වය නිතර දකින මමත් මෙගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි “රටේ බාගයකට වැඩි පිරිසකට මේ කතා කරන ප්‍රශ්න අදාළ නැද්ද?” කියන එක. මොකද අද ලංකාවේ පිරිමින්ට වෙලා තියෙන්නේ ස්ත්‍රියගේ “ආශාව” සපුරාදෙන්න මොන ගේම් එකක් හරි ගහල කියක් හරි හොයාගන්න සහ එහෙම ගහන්න පුළුවන් ගේම් මොනවාද කියල උදේ සවස කල්පනා කරන්න තමන්ගේ මුළු මානසික ශ්‍රමය කැප කරනෙක. මේ කිසි කෙනෙකුට වෙන කිසිම “අර්බුධයක්” දැනේනේ නැහැ. FB කරණය හරහා මොලය හිරිවැටිලා.

Comments are closed.