ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » Social News » මොහාන්ගේ ඉලක්ක පාඨකයා විපරිතයෙක්

මොහාන්ගේ ඉලක්ක පාඨකයා විපරිතයෙක් 

RUSSIA-PUTIN-VACATION

ඕනෑම ලේඛකයකුට ඉලක්ක පාඨකයකු සිටිය යුතුය. ඔහු හෝ ඇය ලියන්නේ එකී ඉලක්ක පාඨකයාගේ ආශාව වෙනුවෙනි. ලේඛකයාගේ (නවකතා කරුවාගේ) අභිප්‍රාය හඹා යමින් විචාර ලිවීම යල් පැන ගිය ක්‍රමවේදයක් වෙතත් ඔහුගේ ඉලක්ක පාඨකයා කවරකුදැයි සෙවීම බාග විට නවකතාව තුළට පිවිසීමේ යතුරකැයි මම යෝජනා කරමි. එය වියමන නැවත කියවීම උදෙසා පෙනී සිටින පශ්චාත් ව්‍යුහවාදී ප්‍රවාදය සමඟ ද සමපාත වේ. මෙම කතිකාව තව දුරටත් දික් ගස්සන්නේ නම් මනෝ විශ්ලේෂණ අර්ථ දැක්වීම්වලට අනුව එබඳු කියවීමක් අනෙකාගේ ආශාව (desire of other) පිළිබඳ ගවේෂණයක් ද වනු ඇත.

ඒ අනුව ගත් කල සුමිත්‍රා රාහුබද්ධ, ශාන්ති දිසානායක, සුනේත්‍රා රාජකරුණානායක සහ උපුල් ශාන්ත සන්නස්ගල වැනි ලේඛක ලේඛිකාවන්ගේ ඉලක්ක පාඨකයා අයත් වන්නේ කරුණාසේන ජයලත්ගේ නවකතාවලින් නිර්මාණය වූ පාඨක සමාජයකටය. ඔව්හු තම ඉලක්ක පාඨකයා ඇමතීම සඳහා වූ භාවාතිෂය බස පවා නිර්මාණය කර ගන්නේ ජයලත්ගේ භාෂා රීතීන් ණයට ගනිමිනි.

අද මෙම තීරුව මා වියදම් කරන්නේ මොහාන් රාජ් මඩවල ගේ ලොවිනා නවකතාව නැවත කියවීමට බව ඇත්තය. එබැවින් මේ මොහොතේ මා නැගිය යුතු ප්‍රශ්නය නම් මොහාන්ගේ ඉලක්ක පාඨකයා කවරෙක් ද? යන්නයි. එයට දිය හැකි අති සරල පිළිතුර නම් ඔහුගේ පාඨකයා විපරිතයකු (Pervert) බවය. ඔහුගේ ලිවීම ආමන්ත්‍රණය කරන්නේ මේ රටේ බහුතරයක් වන විපරිත පාඨක සමාජයකටය. ඊනියා දේශප්‍රේමීන් බවට රූපාන්තරණය වී සිටින විශ්‍රාමික වාමාංශිකයන්ගේ සිට රූපවාහිනී කොටු දමන්නන් සහ කපන මණ්ඩලවල සාමාජිකයන් දක්වා ඒ විපරිත පාඨක සමූහයා විසිරී සිටිති.

මොහාන් රාජ් මඩවල තම ලිවීම වියමනක් (Text) බවට පුළුල් කරන්නේ පශ්චාත් ලිවීමකිනි. එනම් කෘතිය පළ කිරීමෙන් පසු පවත්වන සම්මන්ත්‍රණ සහ පුවත්පත්වලට දෙන සම්මුඛ සාකච්ඡා මඟින් එය නැවත ලිවීමෙනි. බොහෝ විට ඒ සම්මන්ත්‍රණවලට ප්‍රස්තුත වන්නේ ඔහු ලියූ නවකතාව සහ රති කලාව (Pornography) තොරොම්බල් කරණ ප්‍රවාදයන්ය. අර සම්මුඛ සාකච්ඡා වලදී යළි යළිත් වර නැ‍ඟෙන ප්‍රශ්නය නම් මොහාන්ගේ නවකතාවල ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර ඇතුළත් වනවා නොවේ ද යන්නය. මේ පිළිවෙත මඟින් ඔහු අර විපරිතයින් වෙත පණිවිඩයක් ගෙන යයි. මින් නිවේදනය වන්නේ මොහාන් රාජ්ගේ නවකතාවල ඇති පදම් ලිංගිකත්වය පිළිබඳ ප්‍රවෘත්තීන් අඩංගු බවය.

විපරිත කාම සංසර්ගයක් පිළිබඳ කදිම වැනුමක් ලොවිනා නවකතාවේ 59 පිටුවේ දැක්වේ. එයට සම්බන්ධ වන්නේ නරේන්ද්‍රසිංහ මහරජු සහ ඔහුගේ ඇතොවුරට අලුතින්ම රැගෙන එන පුන්නා නමැති තරුණියයි. රජු පළමුව කරන්නේ තමා අත වූ මධු බඳුන තරුණියගේ සිරුරට වත් කිරීමය. ඉන් පසු ඇය ඔසවා මඩ කලල් පිරුණු පොකුණට විසි කරන රජු එම වියරුවෙන්ම එම මඩ කලල් පහුරු ගාමින් ඇය සමඟ රමණය කරයි.

පොතෙහි පිටු දෙකහමාරක පමණ වපසරියක දිවෙන එම රමණ විස්තරය පාඨකයාගේ පරිකල්පනය තුළ ඔහුගේ නැරඹුම් කාමය සංතෘප්ත කරන්නේ නිල් චිත්‍රපටයක මෙනි. කිව යුතු දේ නම් විපරිතයා (Pervert) තම නැරඹුම් කාමි ප්‍රවේගයන් මුදා හැරීමේදී යම් ලිංගික ක්‍රියාවක් දෙස රහසේ බලා සිටීමෙන් නොසෑහී තමා එය බලා සිටින බව අනෙකාට අඟවයි.

සියලු කුණුකන්දල් නොසඟවා පෙන්වීම නිල් චිත්‍රපටවල ස්වභාවයයි. ඒ නිසා සිනමා පටය නැරඹීම සඳහා තමා යම් විපරිත ඉරියව්වක ස්ථාන ගත විය යුතු බව කල් තබාම දැනුම් දෙනු ලැබේ. එවිට සිදුවන්නේ විෂයයා (Subject) නැතහොත් නරඹන්නා තමා නරඹන වස්තුවෙහි තැනට පත් වීමය. සරලව කියන්නේ නම් එවිට නිල් චිත්‍රපටයේ රඟන නළුවා සහ නිළියගේ රමණ ද්වරය නැරඹීම වෙනුවට ඔවුන් දෙදෙනාගේ විනෝදය සඳහා ප්‍රේක්ෂකයා වස්තුව (object) බවට පත්වීමය.

ලොවිනා හි මා යට සඳහන් කළ රමණ වැනුම සේම අනෙකුත් එබඳු රමණ විස්තරවලදී සිදුවන්නේ කුමක්දැයි දැන් ඔබට පැහැදිලි විය යුතුය. නවකතාවේ අර 59 පිටුවේ සිටින්නේ නරේන්ද්‍රසිංහ මහරජු නොව කියවන පාඨකයාමය. පුන්නා සමඟ එම විපරිත රමණ කෙළියෙහි යෙදෙන්නේ රජු නොව පාඨක අපමය. අර ඊනියා සදාචාරවාදීන් ඒවා කියවා දත්මිටි කන්නට වන්නේ ද ඒ නිසාමය. ඔවුන් පළමුව රජුට අනන්‍ය වෙමින් එම රමණ ක්‍රියාවේ යෙදී දෙවනුව ඒ ගැන කල්පනා වූ විට තමා ගැනම කෝපයට පත්වේ. ඔව්හු එම කෝපය සදාචාරවාදී බස් වළාවක සැඟවෙමින් මුදා හරිති. මේ නිසා සෙංකොට්ටං නවකතාව අපුල්ලන්නන්ගේ රමණයකැයි කී තැනැත්තාට ලොවිනා කියවා එය හුලවාලියන්ගේ නිදි වැදීම යයි කීමට සිදුවනු ඇත.

මෙහිදී කිව යුතු දේ නම් සුමිත්‍රා, සුනේත්‍රා, ශාන්ති සහ උපුල් ආදී වූ ලේඛක ලේඛිකාවන්ගේ භාෂාව සහ චින්තනය සැකසෙන්නේ ජයලත් ප්‍රපංචයට අනුව වද්දී මොහාන් ගේ ලිවීමේ සෙවණැල්ල සයිමන් නවගත්තේගම වී ඇති බවය. එහෙත් සයිමන්ගේ පොත්වල බහුලව යෙදෙන සාර සුබාව, කතා ලතා ආදී යෙදුම් තමා ලියන වචන අස්සට රිංග වීමෙන් සහ සයිමන් ද අනුදත් ස්ත්‍රී පුරුෂ රමණය තොරොම්බල් කිරීමෙන් පමණක් මොහාන් රාජ් මඩවලට සයිමන් විය නොහැකිය. මොහාන්ට තම ලිවීමේදී මග හැරෙන එහෙත් සයිමන්ගෙ නවකතාවල අපූර්ව ලෙස අනුශීලනය වන ස්ත්‍රී පුරුෂ රමණය හරහා වර්තමාන සමාජ හැඟවුම්කාරකයන් පිළිබිඹු වන ආකාරය විමසීමෙන් එය පසක් වනු ඇත.

නිදසුනක් ලෙස සාපේක්ෂණී නවකතාවේ අවසානයට එන තන්ත්‍රයානික ලිංගික කඳවුර මතකයට නංවන්නේ Eyes Wide Shut නම් සිනමා පටයේ එන ලිංගික දර්ශනය. එහි දැක්වෙන ස්ත්‍රී පුරුෂයන් නිදහසේ රමණයේ යෙදෙන ලිංගික කඳවුරකට ඇතුළුවීමේ රහස් පදය වන්නේ Fidelity නැත්නම් පතිවත යන තේරුම සහිත වදනකි. එසේම සාපේක්ෂණී හි කියවෙන ලිංගික කඳවුර එය කියවන පාඨකයා තුළ මනෝගත දර්ශන කාමය (Scopic Drive) වඩවන සුලුය. සයිමන් එම ලිවීම හරහා එහි එන තාන්ත්‍රික කාමාචාර ලෝකය පශ්චාත් නූතන සයිබර් සංස්කෘතියේ ප්‍රක්ෂේපණයක් බවට පත් කරයි. එහි එන ස්ත්‍රී පුරුෂ එක්වීම තොරොම්බල් කෙරෙන්නේ ආගමික අර්ථයක් සහිතවය. සුරතාන්තය තුළම රමණයේ යෙදෙන ස්ත්‍රී පුරුෂයන් මරා දැමීම Basic Instincts සිනමා පටය තුළ මරණීය සුරතාන්තයක් අත්කර ගන්නා පුරුෂයන්ගේ ඉරණමට සමානය.

එහෙත් මොහාන් රාජ් මඩවල ලොවිනා ලියමින් කරන්නේ කුමක් ද? ඔහු විපරිතයන්ගේ ආශාව ආමන්ත්‍රණය කර ඔවුන්ගේ ඉණ ඉහ අත ගා ගනී. මා මෙලෙස ලියාගෙන යන විට මේ කතාබහ මහ පොළොවට කැඳවීමේ අවැසිතාව මතු වේ. එනම් මේ සියලු ලිවීම් සිදුවන්නේ පසු ධනවාදී සංස්කෘතික සන්දර්භයක් තුළ බව එළිදරව් වීමය.

සංස්කෘතිය සහ ආර්ථිකය අතර සීමා ඉර බොඳ වී ගිය පසු ධනවාදී සමාජයක නවකතාව කියා ප්‍රපංචයක් නැත. එය අද සංස්කෘතික භාණ්ඩයකි. එය ඉහළම මිලකට විකුණ ගැනීමට ක්‍රම දෙකක් යෝජනා වී ඇත. එක්කෝ එය ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත යුතුය. ස්වර්ණ පුස්තකය සංවිධානය කරන්නේ පොත් මුදලාලිලා බැවින් ජයලත් පන්නයේ නවකතා හොඳම පොත් යයි තෝරන ජූරියක් නිර්දේශ කිරීමේ බලය තිබෙන්නේ ඔවුන්ටය. අසරණ සිංහල පාඨකයාගේ රසඥතාව සංවිධානය කරන්නේ ඔවුන් බැවින් ඔවුන්ගේ අනුග්‍රහය ලබන නවකතා විකුණා ගත හැකි සංස්කෘතික භාණ්ඩ බවට පත් වේ.

මොහාන් රාජ් අනුගමනය කරන්නේ දෙවන ක්‍රමයයි. මේ රටේ බහුතරය විපරිතයන් බව ඔහු දනී. ඒ අනුව එම දෙවන ක්‍රමය වන්නේ එකී බහුතරය ඇමතීමය. ඔහු එකී විපරිතයන්ගේ දර්ශන කාමය අවුළුවන සුලු නවකතාවක් ලියා උන්ගේ ඉණ ඉහ අත ගා ගැනීම කවර වරදක් ද? විකිණීම සමාජ භාවිතාවක් වී ඇති සන්දර්භයක ලිංගිකත්වයට ඉහළ ඉල්ලුමක් ඇත. එහි ආදායකයින් වන්නේ ප්‍රමිලා දස්කොන් ද, නරේන්ද්‍රසිංහ මහ රජාණන් ද නැත්නම් මේට්ලන්ඩ් ආණ්ඩුකාර උතුමාණන් ද කියා වෙනසක් දැකිය නොහැකිය

සමන් වික්‍රමාරච්චි
Silumina

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...