මේ සිංහල අපගේ රටයි (III කොටස)
a

‘නෑ මහායානයේ බෝධිසත්වයා කියන්නේ මානසික දුර්වලතා තියෙන කෙනෙක්. එක් අවස්ථාවක එම බෝධිසත්වයා ගැහැණියක් එක්ක සෙට් වෙන්න වහලක් දිගේ යනවා. වහලේ පරාල දිගේ යද්දී ඒක කඩාගෙන බිම වැටිලා කොන්ද කඩා ගන්නවා’ (කේ. කේ. සමන් කුමාර, සිළුමිණ 2018 ජූලි 11).

ගැහැණු දිහා බලන්න හිතුනම වහලවල් දිගේ යන, එහෙම ගිහිල්ල බිමට වැටෙන, බිමට වැටිලා කොන්ද කඩාගන්න, කොන්ද කැඩුන නිසා ආයේ වහලට නගින්න බැරි, වහලෙට නගින්න බැරි නිසා යතුරු හිලෙන් බලන වර්ගයේ අතිශය සාමාන්‍ය බෝසතුන් කෙනෙක් නිරුපණය වීම ‘වාරණය’ කරන ලද ‘සිංහල බෞද්ධ ථේරවාද’ ප්‍රපංචය පිළිබද සමන්ගේ විවේචනය ගැන අපි මෙහෙම කල්පනා කරලා බලමු. යතුරු සිදුරෙන් එබී බලන බෝධිසත්ව චරිතයක් අපේ බෞද්ධ සාහිත්‍යයේ නැහැ. නමුත් ඉතාම ‘සාමාන්‍ය ජිවිතයක්’ ගතකරපු බෝධිසත්ව චරිතයක් මහායාන බුද්ධාගමේ තියෙනවා කියන එක ඇත්ත. එවැනි සාමාන්‍ය චරිතයක තියෙන්න පුළුවන් අශ්ලීල ලක්ෂණ රාශියක් මහායාන බෝධිසත්ව සාහිත්‍යයේ හමු වෙනවා. නමුත් මහා විහාරය හරහා සංස්කරණය වන මහාවංශය වගේම අනෙක් ථේරවාද පොත්පත් වල ඉන්නේ ‘ශුද්ධවාදී’ බුද්ධ චරිතයක්. සමන් කියන වර්ගයේ දුර්වලතා අපේ බෝධිසත්ව චරිතය තුල අපට සම්මුඛ වෙන්න අපේ ඉතිහාස කරුවන් ඉඩ තබන්නේ නැහැ. එවන් ‘දුර්වල ලක්ෂණ’ අප විසිනුත් වාරණය කරලා තියෙනවා හරියටම ග්‍රීක වීරයන් බිහිකරගන්න ග්‍රීසිය කළා වගේම. වෙනත් විදියකට කිව්වොත් වික්ටෝරියානු යුගය එන්න ගොඩක් කලින් අපිට ලිංගිකත්වය සහ අශ්ලීල බව (සහ ඒ නිසාම බිහිවිය හැකි දුර්වලතා) අතර සම්බන්දය දකින්න පුළුවන් වෙලා තියෙනවා (වික්ටෝරියානු යුගයත් වීරයින්ගේ යුගයක් කියන එක අමතක කරන්න එපා). ඒ අනුව අපිට ඉන්නේ සංකේතීය බෝධිසත්ව කෙනෙක් මිසක් වහලෙන් රූටල බැහැල ගැහැණුන්ගේ කාමර වලට රිංගපු බුදුන් (හෝ බෝධිසත්ව) කෙනෙක් නෙවෙයි. අපි දන්න බුදුන් වහලවල් වලින් වැටිලා කොන්ද කඩාගන්නේ නැහැ. කේ. කේ. සමන් කුමාර එහෙම අශ්ලීල (දුර්වල) බුදුන් කෙනෙක් ගැන කොතරම් පරිකල්පනය කලත් අපේ අතීත මුතුන් මිත්තෝ බුදුන් වහන්සේ ගැන එහෙම ලියල කියල නැහැ තමන්ගේ සංකේතනය ඇතුලේ. අපි බෝධිසත්ව චරිතය දැක්කේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ඒ හැම භවයකම දාන පාරමිතා පුරලා මමංකාරය නැති කරගන්න හදපු උත්තමයෙක් හැටියට (මමංකාරය නැති කිරීමේ අවසාන අදියර තමයි බුද්ධත්වය කියන්නේ). අපි දන්නා බුදුන් සාමාන්‍ය දෙයකට කලේ තමාගේ ඥාතීන් ඉන්න නගරය දෙස ආපසු හැරිලා බලපු එක විතරයි. ‘ආනන්ද මට මගේ ඥාතීන්ගේ සුවඳ තාම එනවා’ කියල කියල වදාරනවා උන් වහන්සේ එක තැනක… කොහොම වුනත් දේශපාලනික අර්ථයෙන් සමහර සංකේතීය නොවේ යැයි සිතපු දේවල් සංස්කරණය කළා වෙන්න පුළුවන්. ඒ වුණාට මොනවා හරි ජනප්‍රිය දේවල් ටිකක් දාල උපාසක අම්මල පන්සලට අද්දවා ගන්නවා වෙනුවට අපි අපේ ඉතිහාසේ ඇතුලේ කරලා තියෙන්නේ අමාරු වැඩක්. ඒ තමයි සංකේතනය වෙතට නැත්නම් සදාචාරය වෙතට මිනිස්සු හුරු කරන්න හදපු එක. පිස්සු නටපු බෝධිසත්ව කෙනෙක් වෙනුවට තමන් කරන දේ ගැන දැනුවත් සහ ඒ ගැන බරපතල ලෙස සිතපු බුදු කෙනෙක් අපිට ථෙරවාද සාහිත්‍යය ඇතුලේ මුණ ගැහෙන්නේ යහපත පිළිබද පුර්ව විනිශ්චයක් (priori) බුද්ධ චරිතය වෙතට ප්‍රක්ෂේපනය කරමින්. එහෙම විනිශ්චයක් එක්ක අපේ අතීත කතුවරු වැඩ කළේ ඊටත් වඩා අමාරු සහ දුෂ්කර (සංකීර්ණ) දෙයක් මිනිසුන්ට කියල දෙන්න. ඒ තමයි වහලෙන් රූටන සහ යතුරු හිලෙන් බලන ‘මම’ වගේම මම එසේ බලා සිටින ‘වස්තුව’ (ගැහැණිය කියල කියමුකෝ සමන්ට තේරෙන විදියට) යන දෙකම නොපවතින බව කියා දීම පිණිස අපගේ මනස හුරු කිරීම ට. ඒක ඇරිස්ටෝටල් කරපු දෙයට වඩා අමාරු දෙයක්. ශුන්‍යතාවය (nothingness) කියන්නේ වටහා ගන්න අමාරුයි වගේම ඒ තුල ජිවත් වෙන්නත් අමාරුයි. ගැඹුරු දෙයක් වටහා ගන්න නම් අපි මේ පිස්සෝ වගේ දුවන දිවිල්ල නවත්වන්න ඕනි. ඒක නිසයි මිහිඳු හිමියන් කියන්නේ ‘තිස්ස නවතින්න’ කියල. ඉතින් මේ අධිවේගී ධනවාදය ඇතුලේ සමන් ටිකක් නවතින්න! එතකොට ගොඩක් දේවල් තේරෙන්න ගනීවි.

‘ශුන්‍යතාවය (හිස්බව) නම් දාර්ශනික ස්ථානයේ (philosophical position) සිට බාහිර ලෝකය වෙත නෙත් හැර බැලූ විට ඔබට අප වසා පැතිර ඇති ඝනදුරු ප්‍රබන්ධ අන්ධකාරය (fictional darkness) දක්නට හැකිවනු ඇත. නමුත් ප්‍රථම කොටම අපට එම අඳුර නොපෙනෙන්නේ අපගේ අවිද්‍යාව (avidhya*) නිසාය’ (කීජි නිෂිතානි). පතුලක් නැති ශුන්‍යතාව (abyss of nothingness) අපගේ ලෝක දෘෂ්ටිය ලෙස ගතහොත් අපි ලෝකය දිහා බලන්නේ අනිත්‍යය පාදක කරගෙන. සියල්ල තියෙන්නේ (තියෙනවනම්) වෙනස් වෙමින් යන අනිත්‍යභාවයේ ප්‍රවාහයක (flux). ඒ ධර්මතාව ඇතුලේ ඉඳගෙන තමයි අපේ රජවරු වැඩ කරලා තියෙන්නේ. සාමුහිකත්වය සහ මමත්වය ගැනත් සමන් කතා කරනවා. අපේ රටේ සාමුහිකත්වය කියන්නේ වෙනස්ම දෙයක්. ඒක ආගමික (spiritual) දෙයක් හැටියටයි ඉතිහාසේ ඇතුලේ පැහැදිලි වෙන්නේ (සාමුහිකව යුද්ධයට ගියෙත් බුද්ධාගම බේරා ගන්න). වෙනත් අර්ථයන් ගොඩක් අඩුයි. නිකම් බලන්න සංගීත සංදර්ශනයක ඉන්න ලාංකික මිනිස්සු ගැන. සංගීත කණ්ඩායම කොච්චර කෑ ගැහුවත් ඒ අය වගේ වගක් නැතුව ඉන්නේ තමන්ට නෙවෙයි වගේ. මමත් මුලින් හිතුවේ ඇයි මේ අය බටහිර අය වගේ ගීතයට සම්බන්ද වෙන්නේ නැත්තේ කියල. බොන් ජොවී සින්දු කියන කොට ඔක්කොමල ඒ එක්ක මුමුණනවා වගේ ඇයි අපේ අය ඒ එක්ක ආත්මියව සම්බන්ද වෙන්නේ නැත්තේ කියල. හේතුව තමයි අපි බාහිර ලෝකයට සම්බන්ද වෙන්නේ බටහිර අය සම්බන්ද වෙන ඇතුල සහ පිටත අතර ඇති බහි-සංසේචිත (ex-timacy) ආකාරයට නෙවෙයි. ඒ අයට ජිවිතයේ අර්ථය එන්නේ පිටතින් වුනාට අපිට ජිවිතයේ අර්ථය එන්නේ අප තුලින්මයි. තමාගේ ජිවිතයට අර්ථයක් ගෙනෙන බාහිර වස්තුව හැටියට බොන් ජොවී ව ඔවුන් දැක්ක හැටියේම ප්‍රමෝදයට පත් වෙනවා. ඒ ප්‍රමෝදයෙන් ඔවුන් කෑ ගසන්න ගන්නවා. බටහිර තරුණ, මැදි වයස් ස්ත්‍රිය ජොවී හරි ස්ප්‍රින්ස්ටීන් හරි වැළඳ ගන්නේ එම පතුලක් නැති ප්‍රමෝදය ඇතුලේ. එම ප්‍රමෝදය එන්නේ බාහිර වස්තුවක් (අනෙකා) හරහා මිසක් තනිකරම තමා තුලින් නෙවෙයි. නිකම් බස් වල දාල තියෙන සංගීත සංදර්ශන වීඩියෝ දිහා බලන්න. අපිට විසිල් එකක් අප්පුඩියක් ගහන්න කියල නිවේදක තරුණයා කෑ කොස්සන් ගැහුවට අපේ අය ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේරියන්ස් එකේ නලින් හරි ජිප්සීස් සුනිල් හරි වෘෂණ කෝෂ බිම වැටෙන්න කෑ ගැහුවත් මිනිස්සු ඇහැරෙන්නේ නැහැ. එකක් තමයි ඔවුන්ගේ ආත්මය ඇත්තටම සුනිල් හෝ නලින් එක්ක සම්බන්ද වෙන්නේ නැහැ. අනික් අතින් මිනිස්සු දන්නවා සුනිල් වගේම නලින් කියන්නෙත් පරාල දිගේ නැගල ඒක කඩාගෙන බිමට වැටුන ‘බෝදිසත්ව’ කට්ටිය කියල. පයිප්ප බට විකුණපු සුනිල් දැන් ටී. වී. එකේ දාර්ශනික කතා කිව්වට එයා මොන පරමාදර්ශයක් වත් මේ ලාංකික පොළොවට නොදුන්න කෙනෙක් කියන්න මිනිස්සු දන්නවා. සෝමාවතී මහා චෛත්‍ය රාජයාගේ රැස් මාලාවට වඳින ජාතියකට සුනිල් නලින් වගේ කට්ටිය මහා ලොකු චරිත නෙවෙයි. ගැහැණුන්ට දෙපැත්ත කැපෙන කතා කිය කිය ස්ටැග් නයිට් කරපු අයට ජෙ. වී. පී. කට්ටිය වේදිකා හදල දුන්නට බලන්නකෝ වෙලාවට මිනිස්සු කරන දෙය.  

ඉතින් වීර කාව්‍යයක් හැටියට මහාවංශය වේවා අනෙක් සමකාලින බෞද්ධ ග්‍රන්ථ වේවා බුදුන් ගේ චරිතය නිරුපණය කරන්නේ විශාල සංකේතනයක් ආරෝපණය කරලා. කවුරු කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි සත්‍යය. ස්වාමි හැඟවුමක් හැටියට මෙතන හරිම දේශපාලනිකයි. මොකද බෞද්ධ කම (සංකේතනය) සිංහල කම (යථ) එක්ක මෙතැනදී සම්බන්ද වෙනවා (මුල්ලි වයික්කාල් දක්වාම ඒක එනවා). ඉතින් ඒ සමකාලින රජ වරුන්ටත් එම සංකේතනය ම ආරෝපණය කරනවා මහා වංශය. නිකම් හිතල බලන්න වළගම්බා වගේ රජ කෙනෙක් ගැන. අනුරාධපුරේ ඉදල පටන් ගත්තොත් ඇඹිලිපිටිය හරියෙන් තමයි ඉවර වෙන්නේ එතුමාගේ විහාර කරණය. ඔක්කොම වගේ ලෙන් විහාර. හැම විහාරෙකම සිතුවම් තියෙනවා. දඹුලු විහාරේ කියන්නෙම ලෝක පූජිත යුනෙස්කෝ කලාපයක්. තමන්ට කියල මාලිගාවක් නොතිබ්බ රජ කෙනෙක් කොච්චර වෙහෙර විහාර කරවල තියෙනවද සමන්. ඒක නෙවේද අපේ උරුමය? ධාතුසේන රජතුමාගෙන් දරුවෝ වස්තුව ඉල්ලුවම එයා කළේ කලාවැව ලඟට එක්කරගෙන ගිහින් ‘මෙන්න මගේ වස්තුව’ කියල පෙන්නපු එක. ධනය කියන්නේ  අපේ පැරණි රජවරුන්ට ‘මසුරන්’ වලින් මණින්න ඕනි උන දෙයක් නෙවෙයි (දකුණු ඉන්දියාවෙන් නම් ආවේ වස්තුව කොල්ල කන්න). ධාතුසේන රජතුමා ධනය කිවේ තමන් කරපු වැඩ (work) වලට. නැවතත් ඒක සංකේතීය දෙයක්. අද්විතීය රජ කෙනෙක් වුන මහසෙන් (මහා + සේන) ට මිනිස්සු කිව්වේ මින්නේරි දෙවියෝ කියල. ඒ කියන්නේ ඔහුගේ ‘වැඩ’ නම් සංකේතීය ලෝකය ඔහුව දේවත්වයට පත්කරනවා (‘මහා’ කියන විරුදාවලිය මම හිතන හැටියට පැරණි රජවරු දෙන්නෙකුට විතරයි තියෙන්නේ. එක්කෙනෙක් මහා පැරකුම්බා වන් අනිත් කෙනා මහසෙන්). දුටුගැමුණු රජතුමා තමන්ගේ දෑස පියා ගන්නේ තමා නිමකරපු රුවන්වැලි සෑය දිහා බලාගෙන. ඒ කියන්නේ මෙතනින් වෙනත් ලෝකයකට යන්න ඔහුට පුළුවන් වුනේ තමාගේ යුතුකම (duty) සහ වැඩ (work) සමග පාර අනුභූතිකව සම්බන්ද වෙමින්. ටොඩ් මැගෝවන් කියන්න කලින් ඒ මිනිස්සු දැනගෙන ඉදල තියෙනවා තෘප්තිය තියෙන්නේ සංකේතනය ඇතුලේ කියල (වෙනත් විදියකට කිව්වොත් පරාල පල්ලේ වැටෙන්නේ නැතුව ඉදීමෙන් කියල). ඒක නිසා තමයි ‘උදය වලාකුළු’ කෙටි කතාවේ කිකුයි මිස් තමාගේ ශිෂ්‍යාව එක්ක යටලී පරාල අස්සේ රිංගුවේ නැත්තේ. ඒක නිසා තමයි ‘ගුරු ගීතයේ’ දුයිෂෙන් අල්තිනායි එක්ක නිදා ගත්තේ නැත්තේ. ඒක දුර්වල කමක් නෙවෙයි. මේ කාන්ටියානු සදාචාරය සහ ආශාවේ ශුන්‍යතාවය අපි කතා කරන කොට සමන් කියන මේ පරාල බෝධිසත්ව කතාව දැන් දැන් ගොඩක් නැගල යන බව පේනවා වමේ කියන කවයන් ඇතුලේ. ඒ අයගේ මුහුණු පොත් වල වීරයා සමන්. මොකද ඒ අයගේ ජීවන ලෝකය නම් ‘සාමාන්‍ය ජීවිතය’ එක්ක සමන් කියන දේ පෑහෙනවා. මේ ධනවාදී වටිනාකම් රහිත ලෝකයේ එහෙම ඉන්න එක පහසුයි. නමුත් අපි කියන දේ පිටස්තරයි. කාටවත් දුයිෂෙන් වෙන්න ඕනි නැහැ. කාටවත් අධ්‍යාත්මික බව වැඩක් නැහැ. අලුත් කියල රට පුරා පෝස්ටර් ගහපු ‘සිළුමිණ’ උනත් පිටුවක් පුරා සමන්ගේ කතාව පළ කරන්නේ ඇයි කියන එකට උත්තරේ සරලයි. අපි ඉන්නේ විපරීත බව සාමාන්‍ය කරණය වුන ලෝකයක. ‘ජපන් කාම කතා හෙවණැල්ල’ ලියපු මාටින් වික්‍රමසිංහ හිටපු ‘සිළුමිණ’ මෙසේ වීම ගැන මට නම් පුදුමයක් නැහැ. නමුත් ජපන් ගුප්ත (mystery) බව ඇතුලෙම මම මෙහෙම කියන්නම්. ‘අපි පාර අන්ධ භාවයෙන් එහෙ මෙහෙ ඇවිදින කොට සමහර වෙලාවට මියගිය ප්‍රාණ කරුවන් ඇවිත් අපිට සත්‍යය මුණ ගස්වනවා’ (නිකම් හිතන්න ගුප්ත හොල්මන් කතා සහිත චිත්‍රපට බටහිර මෙච්චර ජනප්‍රිය ඇයි?). ගුප්ත අර්ථය ඇතුලේ ගත්තත් ‘සිළුමිණ’ තමන්ගේ කතෘ නැති කර ගත්තා අනුරාධපුරේ පුණ්‍ය භුමිය තුලම. ඉතින් පොඩ්ඩක් බලාගෙන ඉමු මොකද වෙන්න යන්නේ කියල ඉස්සරහට. 

මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමග ම ගස් ගල් වැඳපු අපිට නව ආගමක් හමුවෙනවා. ඒ තමයි බුද්ධාගම. එතැන් සිට සියවස් ගණනක් අපේ චින්තනය සකස් වුණේ බුද්ධ වචනය සහ එම සද්භාවය පදනම් කරගෙන (සිතන විදිය නැත්නම් ලෝක දෘෂ්ටිය ආගමික දෙයක් බවට පත්වුණා කියන එක). යහපත ගැන අපිට ඒ ඔස්සේ විශ්වීය යමක් හමුවුණා වසර දෙදාස් පන්සීයකට කලින්ම (බටහිර මිනිස්සු අඳුරේ අතපත ගාන කොට). හොරකම් කිරීම, බොරු කීම, කාම මිත්‍යාචාරය, පරපණ නැසීම වගේ දේවල් ගැන අපිට අදහසක් තිබුණා වගේම ඒ ඔස්සේ අපේ ජිවිත හැඩ ගැහුණා. පිස්සු නටපු රජවරු අපිට හිටියත් (යථ) ආපසු අපි සංකේතනය වෙතට ආවේ බුදුවදන ඔස්සේම තමයි (යථාව තියෙන්නේ සංකේතනය එක්ක ම තමයි. සමහර වෙලාවට සංකේතනය රැක ගන්න යථාවට යන්න වෙනවා. බෞද්ධ අවිහිංසාව රැකගැනීම පිණිස ම සමහර රජවරුන්ට යුද්ධ කරන්න උනේ ඒකයි. සංකේතනය අසමත් වුන බැරිම තැන තමයි අපිට මරණ දඬුවම ගේනවා කියන්න වෙන්නේ*. සංකේතනය සහ යථ ගැන හොඳටම දන්න ජිජැක් වුණත් කියනවා ස්ත්‍රී දුෂකයින්ට මරණ දඩුවම දෙන්න ඕනි කියල). යුද්ධ කලත්, වැව් බැන්දත්, වෙහෙර විහාර හැදුවත්, මොනවා කලත් අපි එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි සියල්ල අනිත්‍යයි – දුකයි – අනාත්මයි කියන එක (වෙනත් විදියකට කිව්වොත් සංකේතනය, යථ සහ පරිකල්පනය කියන ලැකානියානු ත්‍රිකෝණය අපි අපේම විදියකට දැනගෙන හිටියා). නිශ්චිත යැයි අපිට දෘශ්‍යමාන ලෝකය සියළු නිමේශයන්හි වෙනස් වන බවත්, සැපයයි අප සිතන සියල්ල තුල ඇත්තේ දුක බවත්, දිගින් දිගට ඇදෙන වෙනස් නොවන අහමක් (self or ego) නොමැති බවත් අප සියවස් ගණනක් තිස්සේ දැනගෙන හිටියා. ආත්මය හට ගන්නෙම දුක හේතු කරගෙන (හේතුවාදය නොවේ) කියල දැනගෙන හිටපු අපේ මුතුන් මිත්තෝ බටහිර වගේ පැවැත්මේ සාරයක් හෙව්වේ නැහැ (සාරයක් නැති නිසා). දුකට හේතුව නැති කරන එක තමා අපේ ජීවන දර්ශනය වුනේ. ආත්මය හෙවත් අහම නැති කිරීම ඔස්සේ තමයි අපි ජීවිතය ගැන හිතන්න ඕනි. එතකොට තමයි බටහිර කියන ශුන්‍යතා සංකල්පය අපිට විසංයෝජනය කරන්න පුළුවන් වෙන්නේ හෝ එයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. සරලම විදියට ගත්තත් මම නැත්නම් ශුන්‍යතාවයකුත් නැහැ. ඒ කියන්නේ ෆ්‍රොයිඩියානු වගේම ලැකානියානු කැඩපත් අවධිය (mirror stage) කියන එක විසංයෝජනය කරන එක තමයි අපේ දාර්ශනික කාර්යය විය යුත්තේ (‘මම’ කියල මම කැඩපත ඉදිරියේ හදුනාගන්නා දෙය). අනාත්ම සංකල්පය නාගර්ජුන හරහා මහායානයට යනකොට ඒක ශුන්‍යතා සංකල්පය සමග බද්ධ වෙනවා. ඒක තමයි කියෝතෝ ගුරු කුලයේ මූලිකයා වන කිතරෝ නිෂිදා විසින් හෛඩගර් ගේ ශුන්‍යතාව සමග සම්බන්ද කරන්නේ.  
          
නිෂිදා ගේ ගෝලයා නිෂිතානි තමන්ගේ Religion and Nothingness (1982) නම් කෘතිය ඇතුලේ මෙහෙම පෙන්නලා දෙනවා. බටහිර ආත්මය කියන්නෙම දෙකට බෙදුණ යථාර්තයක් (divided self). ඉතින් නිෂිතානි ට අනුව දාර්ශනිකයාගේ කාර්යය තමයි එම බෙදුණ ආත්මය සුවපත් කරන එක. හරියටම ක්‍රිස්තියානි ලබ්ධිකයෙක් ලෙස හඳුනා ගත නොහැකි හෛඩගර් විසින් බොහෝ ක්‍රිස්තියානි සංකල්ප භාවිතා කරන බව හඳුනා ගන්නා නිෂිතානි ප්‍රකාශ කරන්නේ හෛඩගර් ගේ දර්ශනය ලෞකික සාන්දෘස්ටික වාදයක් ලෙසයි. ඔහුගේ දර්ශනය පදනම් වන්නේ සාංකාව (angst) මත බව නිෂිතානි නිරීක්ෂණය කරනවා. මෙහිදී ක්‍රිස්තියානි ආගම විසින් බටහිර ආත්මය අතිමුලික විගලිත භාවයකට (fundamental alienation) පත්කර ඇති බව නිෂිතානි හඳුනා ගන්නවා. මෙළොවට විසි කර දමන බටහිර මිනිසා ගේ එක් කොටසක් දිව්‍යමය වෙනකොට තව කොටසක් කාබනික ලොව සමග සම්බන්ද වෙනවා (වැඩි විස්තර සඳහා බලන්න ‘මගේ ලෝකයෙන් පසු ලෝකය’ (2018)). නිෂිතානි ට අනුව තම අභ්‍යන්තර සාමය උදෙසා එම බෙදුණ ආත්මයේ කොටසක් කාබනික ලෝකය පුරා ද්‍රව්‍යය (matter) සොයා යමින්, ගවේෂණය කරමින්, පර්යේෂණ කරමින් සිටින අතර පෙරදිග අපගේ ආත්මය අපගේම සාන්දෘස්ටික ශුන්‍යතාව විසංයෝජනය කරමින් සිටිනවා. අප කියෝතෝ කඳු මුදුණට නගින්නේ කන්ද ගවේෂණය කිරීමට නොව අපගේම ආත්මයේ දෝංකාරයට සවන් දීමටය යන්න නිෂිතානි ගේ මතයයි. බටහිර අයෙකු කන්ද ගවේෂණය කිරීමෙන් පසු ඔහුගේ ආත්මය (අහම) තව තවත් විශාල වන බව (ඔව් ‘මම’ ඒ කන්දත් නැග්ගා..’මම’ ඒ කන්දත් දැක්කා. ‘මම’ ඒ මෘගයාත් ජයගත්තා යනාදී වශයෙන් මම යන්න ඉස්මතු වීම) සඳහන් කරන නිෂිතානි ඉතා වැදගත් ලෙස පෙන්වා දෙන්නේ ‘බටහිර සිතුවිලි නම් ගෘහ නිර්මාණ ශිල්පය’ (architecture of western thoughts) විසින් බටහිර මිනිසාට මමත්වය අහෝසි කිරීමේ ඉඩකඩක් විවර නොකරන බවයි. නමුත් අප කියෝතෝ කන්ද (සමනල කන්ද) නගින්නේ  ආත්මය දියකර (dissolve) හරිනු පිණිසය. බටහිර ශිෂ්ටාචාරයේ රෝග ලක්ෂණය (සාංකාව) ගවේෂණය කරන හෛඩගර් යටතේ දර්ශනය හදාරණ නිෂිතානි ගේ නැවුම් සොයාගැනීම වන්නේ ඉහත ගැටළුවට හෛඩගර් ට පවා විසඳුමක් නැති බවයි. ජිජැක් ගේ පවා මුලික හැදෑරීම පසුබිම් වන්නේ හෛඩගර් වටා වීම මේ අනුව පුදුමයක් නොවේ. මෙම විසඳුමක් නැති බව විසින් ජිජැක් මනෝ විශ්ලේෂණය වෙතට යොමු කරනු ලබයි (විසඳුමක් නැති බව නිසාම පොත් බොහෝ ගණනක් ලියයි). අවසන් විසඳුමක් ලෙස ජිජැක් මාක්ස්වාදය සහ ක්‍රිස්තියානි රූපකය අතර සිරගත වන විට නිෂිතානි කියන්නේ බටහිර මෙන්ම පෙර අපර සියලු මිනිසුන්ගේ සංකාමය විගලිත බව (ශුන්‍යතාව) ස්වයං-අතික්‍රමණය කල යුතු බවයි (self-overcoming of nihilism). එනම් බටහිර අදහස් නම් ගෘහ නිර්මාණයම විසංයෝජනය කල යුතු බව ඔහුගේ අදහසයි (deconstructing the western architecture of thoughts). එයින් ඔහු අදහස් කරන්නේ බටහිර මමත්වය ශුන්‍යතාවයක් දක්වා රැගෙන ආ යුතු බවයි (nullity of the non-self). නිෂිතානි අනුව ඉහත බටහිර ගෘහ නිර්මාණයේ මුලික කුළුණු නම් ව්‍යුහය, රාජ්‍යය, මම සහ වස්තුව යන ඒවාය. ඉතින් ඔහුට අනුව ශුන්‍ය කල යුතු වන්නේ ඉහත සංඝටකය.  

පාර-භෞතික චින්තන පද්ධති දෙකක් අවිහිංසාවාදී ලෙසත්, අර්ථකාරී ලෙසත් සම්මුඛ වන බැවින් ජපන් දාර්ශනිකයන්ගේ මෙම කාර්යය විසින් බටහිර සහ පෙරදිග අතර අගනා පාලමක් සකස් කර ඇති බව කොජින් කරතානි (Kojin Karatani) ගේ මතය වෙනවා. ශිෂ්ටාචාර අතර ගැටුම මේ අනුව වෙනස්ම දිශාවක් වෙත ගමන් කරනු ඇති බව කරතානි සඳහන් කරනවා. බටහිර විසින් මම යන්න ශක්තිමත් ලෙස ගොඩනගා ඇත්තේ කටේසියානු සැකය මත පදනම් වෙමින්. ‘මම සිතමි. එම නිසා මම වෙමි’. යන්න එහි පදනමයි. නමුත් නිෂිතානි නිරීක්ෂණය කරන්නේ ඉහත සැකය තුලම ඇත්තේ බටහිර ආත්මයේ ශුන්‍යතාවය බවයි. නැතහොත් ඉහත ගැටලුව පවා සාංකාව මත පදනම් වී ඇති බවයි (මම පවතීද නැද්ද). බටහිර සංකා තත්වය යනු නිෂිතානි ට අනුව පතුලක් නොපෙනෙන වේදනාවකි. එය වරෙක අවුදින් තව වරෙක නැති වන්නක් නොවේ. සදාකාලික දෙයකි. අවම වශයෙන් ලාස් වොන් ට්‍රියර් ගේ චිත්‍රපට තුළ දක්නට හැකි මෙම රෝගී තත්වය භූමියක් අහිමි වීම (groundless-ness) නිසා සිදු වන්නකි (හෛඩගර් විසින් රූපණය කරන අපව මෙලොවට විසිකර දමා ඇති තත්වය). බෙදුම, වෙනස, ආශාව, පරතරය යනාදී වචන වලින් ඩෙරීඩා, ලකාන්, ක්‍රෙස්තෙවා, බාත් යන අය හැදින්වීමට උත්සාහ කළේ එකම දෙයක් බව නිරීක්ෂණය කරන නිෂිතානි ඒ සෑම වචනයකම කේන්ද්‍රය සකස්ව ඇත්තේ මමත්වය (self or ego) පිළිබද ගැටළුව විසින් බව පහදා දෙයි. එම සියලු දාර්ශනිකයන් හැමවිටම මතුව ඇත්තේ බටහිර අහම තර්ජනයට ලක්වූ විට බව පෙන්වා දෙයි. නමුත් මෙයට පරස්පරව පෙරදිග දර්ශනය සකස් වන්නේම අහම මියයාම තුලය (death of ego). ‘මා කවුරුන්ද යන්න  කිසිදා මට සොයාගත නොහැකි වේද’ (කොගිටෝව) යන බියෙන් තැතිගත් බටහිර ආත්මය වෙනුවට පෙරදිග ආත්මය සකස් වී ඇත්තේ නිස්සාර බව සහ අනියත බව පදනම් කර ගෙනය. තම පැවැත්ම සාධනය කරනු වස් බටහිර ආත්මයට කුමක් බවට හෝ පත්විය යුතුමය. අවම වශයෙන් එය ශුන්‍යතාවය වුවද විය හැක (අවසානයේ ජිජැක් ශුන්‍යතාවය ධෛර්යමත්ව වැළඳ ගත යුතු යැයි කියන්නේ මේ නිසාය. බලන්න ඔහුගේ Courage of Hopelessness කෘතිය, කොකා කෝලා සහ ශුන්‍යතාවය උදාහරණය වගේම සාරයක් නොමැති කෝපි උදාහරණය). පැවැත්මේ වෙනස නඩත්තු කරමින්ම බටහිර ආත්මය තම පැවැත්ම තහවුරු කර ගැනීමට සිතන විට ජපන් ආත්මය සෑම මොහොතකම ස්වයං විසංයෝජන ක්‍රියාවලියක නිරත වන බව කරතානි පෙන්වා දෙයි. කරතානි ගේම වචනයෙන් කියන්නේ නම් ‘කුමක් හෝ යමක් බවට පත් නොවී බටහිර මනසට පැවතිය නොහැක. එබැවින් තමාගේම පිටස්තර බව ඔවුන් විසින් සෑම තත්පරයකම කල්දමනු ලබයි’.  

චායාරූපය 01: තෙරක් පතුලක් නැති ශුන්‍යතාවය ඉදිරියේ ධෛර්යවන්තව එයට මුහුණදෙන ජිජැකියානු බටහිර ආත්මය පිළිබද මනඃකල්පිත චායාරූපයක්. නිෂිතානි ට අනුව මෙම ශුන්‍යතාවය යනු බටහිර අර්ථයෙන් යම් දෙයකි (a thing). කුමක් හෝ දෙයක් බවට පත් විය යුතු බැවින් අවසානයේ ඔවුන් ශුන්‍යතාවය බවට හෝ පත්වෙයි. නමුත් කිතරෝ අදහස් කරන ශුන්‍යතාවය යනු එවන් සාපේක්ෂ දෙයක් නොව නිරපේක්ෂ පරම දෙයකි. බුද්ධ දේශනාව පදනම් වන්නේ ශුන්‍යතාව යේ අවසානය සහ මමත්වයේ අවසානය අරමුණු කරමින්ය.    

 

Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙය පක්ෂයේ නිල මතයද? Is it a paradigm shift in the line of thought?

Comments are closed.