ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » News » රාජපක්ෂ සමයේ විකට රූප සහ රෝස මලේ නම

රාජපක්ෂ සමයේ විකට රූප සහ රෝස මලේ නම 

knowledge and Power

 

උම්බර්තෝ එකෝගේ The Name of the Rose සියලූම මරණ සිදු වී තිබුණේ එම දේවස්ථානය මධ්‍යයේ පිහිටි සුවිශාල පොත් ගුලකය. මෙම මරාදැමීම්වලට හේතු වී තිබුණේ මිය ගිය වුන් එක්තරා සුවිශේෂ පොතක් කියවීමට ප‍්‍රයත්න දරා තිබීමයි. එකී පොත අනෙකක් නොව ඇරිස්ටෝටල් විසින් ලියන ලදැයි විශ්වාස කරන ඔහුගේ Poetics ග‍්‍රන්ථයේ දෙවන වෙළුමය. අස්ථානගතව තිබුණ මෙම ග‍්‍රන්ථය එම දේවස්ථාන පොත් ගුලෙහි තිබිණි. පොතට විෂ ගල්වා තිබුණ බැවින් එය පරිශීලනය කරන කවරකු වුව ද මරණයට පත් වන බව බැස්කර්විල්හි විලියම් සොයා ගත්තේය. මෙම මරණවලට වග කිව යුත්තා මෙම පොත් ගුලෙහි භාරකරුව සිටි ජෝර්ජ් නමැති අන්ධ දේවගැතිවරයා බව ද විලියම් එළිදරව් කරගෙන තිබිණි. 

ඇරිස්ටෝටල්ගේ Poetics [කාව්‍ය ශාස්ත‍්‍රය] ග‍්‍රන්ථයේ පළමු වෙළුම ශෝකාන්තය  (Tragedy) පිළිබඳ විවරණයකි. ඔහු දෙවන වෙළුම මඟින් සුඛාන්තය  (Comedy) පිළිබඳව ලියා තිබූ බව විශ්වාස කෙරිණි. එහෙත් මෙතෙක් එබඳු පොතක් සොයාගෙන නැත. ඇරිස්ටෝටල් එම පොත මඟින් හාස්‍යය තොරොම්බල් කළ බවක් කියවේ. ඒ අනුව මෙම දෙවන වෙළුම කියවන්නන් මරණයට පත් කිරීමෙන් ජෝර්ජ් අපේක්ෂා කළේ කුමක්ද? ඔහු විලියම් ඉදිරිපත් කළ පාපෝච්චාරණයට අනුව සිනහව යනු විශ්වාසයට තර්ජනයක් වන බැවින් එය විවිධාකාරයේ සැක කිරීම්වලට වාහකයක් ලෙස සේවය කරයි. මෙම තර්ජනය එන්නේ අනෙකකුගෙන් නොව මධ්‍යකාලීන යුගයේ දී ඉමහත් සම්භාවනාවට පත්ව සිටි .

power

power

ඇරිස්ටෝටල්ගෙන් වීම වඩාත් බියජනකය. ඇරිස්ටෝටල්ගේ ග‍්‍රන්ථයේ දෙවන වෙළුම කියවන්නන් පොතෙහි ගල්වා තිබූ විෂ ශරීරගත වී මරණයට පත් වීමට ඉඩ හැරීමෙන් ජෝර්ජ් අපේක්ෂා කළේ එම කරුණ යටපත් කිරීමය. 

ජිජැක්ට අනුව The Name of the Rose වූ කලී සමස්තතාවාදයේ  (Totalitarianism) මුල් තිබෙන්නේ සිනහවෙන් තොර වීම තුළ යයි පවසන විදියේ නවකතාවකි. සෑම විටම සමස්තතාවාදී රෙජීමයක් යනු අනෙකා තුළ සිනහව පුපුරා යන තරමේ කි‍්‍රයා සන්තතියක පැවැත්මකි. චැප්ලින් The Great Dictator සිනමා පටය මඟින් පවසන්නේ ද එයමය. මේ පිළිබඳ හොඳම උදාහරණය අපට සපයන්නේ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. 

මහින්ද රාජපක්ෂ රෙජීමය සමයේ සිදු වූ සිදුවීම් කෙනෙකු බඩ අල්ලාගෙන සිනහ විය යුතු තරම් හාස්‍යජනක දේවල් වුවත් කිසිවකු සිනාසුණේ නැත. නිදසුනක් ලෙස තම ඇඳුමට කුරහන් සාටකයක් පැලඳීමේ සිට රාජපක්ෂ ජනතාව ඉදිරියේ පෙනී සිටියේ විකටයකු ලෙස නොවන්නේ ද? එල්ටීටීඊය හමුදාමය ලෙස පැරදවීමෙන් පසු ලක් දිවට පැමිණෙන මහින්ද රාජපක්ෂ පහත් වී පොළොව සිප ගනී. මෙම විකට ජවනිකාවට කිසිවකු සිනාසුණේ නැත. 

නාමල් රාජපක්ෂ තම පියා මෙන් කුරහන් සාටකයක් පැලඳ වේදිකාවට නැඟී අපේ හාන්දුරුවනේ යයි සංඝයා අමතන විකට ජවනිකාවලට කිසිවකු සිනාසුණේ නැත්තේ මන්ද? මධ්‍යකාලීන යුගයේ දී මෙන් සිනහව යටපත් කර දමා තිබුණ බැවිනි. එලෙස සිනහව යටපත් කිරීමට ලොකු මිලක් ගෙවීමට සිදු වන බව එකල සිදු වූ දේවල්වලින් ස්ථුට විණි. උම්බර්තෝ එකෝගේ නවකතාවට අනුව හාස්‍යය යටපත් කිරීමට මිනී මැරීමට පවා සිදු වේ. 

යහපත උදෙසා අධිකතර ලෙස කැපවීම පාර කපන්නේ නපුරටය. සැබෑ නපුර යනු උමතු ලෙස යමකට ආධානග‍්‍රාහී වීමය. මේ තිසීසය ආගමික විශ්වාසවල කොටසක් බවට දැනටමත් පත් වී අහවරය. අප යහපත  (Good) සමඟ ග‍්‍රස්ථිකව බැඳී ලෞකික දේ පිළිකුල් කරන්නේ නම් යහපත සමඟ බැඳීම නපුරෙහි බලවේගයක් (Force Of Evil) බවට පත් වේ. එනම් අප විශ්වාස කරන යහපතට නොගැළපෙන සියලූ ලෞකික දේට විනාශකාරී ලෙස වෛර කිරීමය. සිනහව යටපත් කරන විට මෙම විනාශකාරී විශ්වාසයන් සුරක්ෂිත වේ. 

එකෝගේ නවකතාව මඟින් කියවෙන්නේ උත්ප‍්‍රාසනීය දුරස්ථ බවින් මිදීම පිණිස හාස්‍යයේ ප‍්‍රති – සමස්තතාවාදී බලවේග මත විශ්වාසය තැබීම පිළිබඳවය. එහෙත් සමකාලීන සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික හෝ සමස්තතාවාදී හෝ වුවත් යට කී නරුමවාදී දුරස්ථ බව, හාස්‍යය, උත්ප‍්‍රාසය වූ කලී එම ක‍්‍රීඩාවේම කොටසකි. ඉන් අදහස් වන්නේ පාලක දෘෂ්ටිවාදය එහි අර්ථයෙන්ම බරපතළ ලෙස නොගත යුතු බවය. භාග විට සමස්තතාවාදය මුහුණ දෙන අනතුර නම් ජනයා එහි දෘෂ්ටිවාදය වචනානුසාරයෙන්ම ගැනීමය. එකෝගේ නවකතාවේ ජෝර්ජ් යනු සිනා නොමසෙන, යල් පැන ගිය, ආධානග‍්‍රාහී විශ්වාසයන්ගේ ප‍්‍රතිමූර්තියකි. ඔහු සමස්තතාවාදී ජනයෙකි. ඔහු පවත්නා සමාජ සහ දේශපාලන බලවේග නියෝජනය නොකරයි. 

රාජපක්ෂ රෙජීමයේ විකට වැඩසටහන් මඟින් උපදවන හාස්‍යය විඳ ගැනීමට ජනතාවට නොහැකි වූයේ දුරස්ථ භාවය නිසාය. එකෝ තම නවකතාව තුළ පරිකල්පනය කරන පරිදි ඇරිස්ටෝටල්ගේ පොතෙහි මුල් පේළි තුළ කියවෙන්නේ හාස්‍යයෙහි ඇති විශිෂ්ට බවය. ඇරිස්ටෝටල් මෙසේ ලියා තිබිණැයි උම්බර්තෝ එකෝ පරිකල්පනය කරයි. [පහත දැක්වෙන්නේ එහි දළ පරිවර්තනයකි]

”පළමු පොතෙහි ලා අප ගැටුණේ ඛේදාන්තය සමඟ වන අතර එහි දී කරුණාව සහ භීතිය ඇවිළ විණි. ඉන් භාව විශෝධනය නිපදවෙයි. යට කී හැඟීම් පවිත‍්‍රකරණය වන්නේ එයිනි. අප පොරොන්දු වූ පරිදිම දැන් අපි සුඛාන්තය (Comedy) (උපහාසය සහ අභිරූපණය සේම* සමඟ ගැටෙන්නෙමු. එහි දී හාස්‍යකාරී බවේ සතුට  (Pleasure of the ridiculous) අවුළුවාලමින් එම ආවේගයන් පවිත‍්‍රකරණය කෙරෙයි. මේ පොතේ කියා ඇති පරිදි අපට දැනට ඇති වටිනාම විමර්ශනය එයයි. මක් නිසාදයත් [සතුන් අතර පමණක් වුව] සිනාසීමට හැක්කේ මිනිසාට පමණක් වන බැවිනි. සුඛාන්තය යනු අභිරූපණයෙන් මතු කරන ඉංගිතයන්  (Actions) ලෙස අපි අනතුරුව නිර්වචනය කරන්නෙමු. ඉනික්බිති සුඛාන්තය හාස්‍යය අවුළුවන ක‍්‍රමවේද අපි විභාග කරන්නෙමු. මේ ක‍්‍රමවේද වූ කලී කි‍්‍රයාවන් සහ කතාබහය. ඉංගිතයන්ගේ හාස්‍යකාරී බව උපදින්නේ හොඳම දේ නරකම දේට සමාන වීමෙන් සහ එහි විලේපනයෙන් බව අපි පෙන්වා දෙන්නෙමු. ඉනික්බිතිව, විවිධ දේවලට යෙදෙන සමාන වචන සහ සමාන දේවලට යෙදෙන විවිධ වචන වරදවා වටහා ගැනීමෙන් ආදී ලෙස කතාවෙහි හාස්‍යකාරී බව මතු වන සැටි අපි පෙන්වන්නෙමු.”

උම්බර්තෝ එකෝ – රෝස මලේ නම 468 පිටුව.

sex and poer

sex and power

එකෝගේ පරිකල්පනයන් පමණක් වූ යට කී ඊනියා ඇරිස්ටෝටලියානු ප‍්‍රවාදය කියවන කෙනෙකු රාජපක්ෂ රෙජීමය හඳුනා ගනු ඇත්තේ හාස්‍යය රජ කළ යුගයක් ලෙසය. එකල සිදු වූ හැම කි‍්‍රයාවන්ම, කතා බහක්ම මතු කළේ විකට රසයකි. එහෙත් ජී. ඇල්.පීරිස්ගේ සිට හැමෝම මේ විකට ජවනිකා බරපතළ ලෙස ගනිමින් නරුමවාදී ලෙස බලා සිටියහ. දේශපාලනයේ දී මතු නොවන වැදගත් පණිවුඩයයි. අමතක නොකළ යුතු දේ නම් හාස්‍යය හැම විටම දුරස්ථ බව විසින් යටපත් කර දමන බවය.

මෙම නවකතාව මඟින් අවධාරණය වන තවත් වැදගත් කරුණක් ඇත. එනම් පොත් නොකියවා පොත් කියවන්නේ කෙසේද යන්නය. රහස් පරික්ෂක බැස්කවිල් හි විලියම් ඇරිස්ටෝටල් ලියුවේ යයි කියන පොත කියවන්නේ නැත. එය කියවීම අත්වැසුම් ගලවා ඇඟිලි දිවෙන් තෙත් කරමින් කළ යුතුව තිබිණි. එය මරුට අත වැනීමක් බව විලියම් දැන සිටියේය. එහෙත් ඔහු අපරාධකරුවා වූ ජෝර්ජ් අන්දමන්ද කරමින් ඇරිස්ටෝටල් ලියා ඇති දේ පොත නොකියවාම කියයි. ඔහු එසේ කළේ කෙසේ දැයි මේ කාලයේ බර පොත් ගැන සඳහන් කරන කෙනෙකුගෙන් අසා දැන ගන්න. 

Saman Wicramarachchi

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...