රාජ්‍ය රැකියා සැපයීම දේශපාලනීකරණය විමේ විපාක

0
333

 

ශ්‍රි ලංකාවේ රාජ්‍ය සේවයේ පූර්ව අවධිය ලෙස සලකුණු කළ හැකි වන්නේ 1833 කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණයයි. එවකට පැවති රාජකාරි ක‍්‍රමය අහෝසි කර බි‍්‍රතාන්‍ය කිරීටයේ නියෝජනය ලෙස අග‍්‍රාණ්ඩුකාරයා මූලික කර මැකොලියානු ක‍්‍රමයේ පාලනයක් බි‍්‍රතාන්‍යයන් විසින් ස්ථාපිත කරන ලදි. ඒ යටතේ රජු වෙනුවට ආණ්ඩුකාරයන් දිසාවේවරු වෙනුවෙන් දිසාපතිත් දිසාපති යටතේ කණිෂ්ඨ පාලකයන් ලෙස මහමුදලි රටේ මහත්තයා, ආරච්චි ලෙස මහජන පරිපාලනය සහ ආදායම් එකතු කිරීම සංවිධානය වී තිබුණි. දිසාපති සහාය වීමට ලිපිකරු සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ක‍්‍රියාත්මක විය. මේ ක‍්‍රමයෙන් බලාපොරොත්තු වූයේ ඇති කරන ලද පාසල් මඟින් ක‍්‍රමිකව රජයේ ඉහළම තනතුර හැර අනෙක් තනතුර සඳහා ස්වදේශිකයන් යොදාගෙන පාලන ක‍්‍රමය ගෙන යෑමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථම වරට ලාංකිකයන්ට ද සහභාගි විය හැකි ලංකා සිවිල් සේවා විභාගය 1871 දී පැවැත්වුණි. එයින් සමත් වූ ලාංකිකයන් අග‍්‍රාණ්ඩුකාරවරයාට පමණක් දෙවෙනි වන ආණ්ඩුවේ දිසාපති තනතුරට (මහ ඒජන්ත) පත්වීමේ හැකියාව ලැබුණි. මෙසේ ක‍්‍රමිකව ඇති වූ රාජ්‍ය සේවය වඩාත් විධිමත් කිරීම ආරම්භ වන්නේ 1931 ඩොනමෝර් ව්‍යවස්ථාව සමඟය. සර්වජන ඡුන්ද බලය මත පදනම්ව පැමිණි ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්ගේ ඉල්ලීම් මත එතෙක් පැවති දිසාපතිගේ කනිෂ්ඨ නිලධාරියා වූ රටේ මහත්තයා (මුදලි) තනතුර අහෝසි කර ඒ වෙනුවට දිස්ත‍්‍රික් ආදායම් නිලධාරි තනතුර ඇති කළේය. 1931 සිට 1948 පමණ වන විට එනම් බි‍්‍රතාන්‍යයේ නිදහස ලබන අවස්ථාව වන විට රාජ්‍ය ආයතන ගණනාවක් මහජන සේවය වෙනුවෙන් ඇති කර තිබුණි. සෞඛ්‍ය, අධ්‍යාපන හා සමාජ සේවා වෙනුවෙන් 100000 කට වඩා වැඩි රජයේ සේවක පිරිසක් වර්ධනය වී තිබුණි.

1948 සොල්බරි ව්‍යවස්ථාවෙන් ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමත් සමඟ රාජ්‍ය සේවය පාලනය කිරීම සඳහා එනම් බඳවා ගැනීම/ මාරු කිරීම/ විනය කටයුතු සහ සියලූම නියාමන කටයුතු වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටුවා තිබුණි. ඒ අනුව රජයේ රැුකියාවලට බඳවා ගත් පසු මහජන සේවා පවත්වාගෙන යෑමේ සම්පූර්ණ නිල බලය පැවතියේ රාජ්‍ය නිලධාරීන් සතුවය. රජය විසින් මහජනතාවට ලැබිය යුතු වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් පිළිබඳ පාර්ලිමේන්තුවේ තීරණය කළ පසු එය ලබා දෙන්නේ කෙසේද, කාටද යන්න තීරණය කිරීමේ බලය රඳා පැවතියේ රජයේ නිලධාරීන් සතුවය. (ඉඩම් කච්චේරි ක‍්‍රමය මෙයට හොඳම උදාහරණයයි).

1956 බලය ලබා ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සභාග රජය විසින් පෞද්ගලික අංශය සතු ව්‍යාපාර රජයට පවරා ගැනීම සහ නව රාජ්‍ය ව්‍යාපාර ඇති කිරීම නිසා රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය ශීඝ‍්‍රයෙන් වර්ධනය විය. 1956 සිට 1970 දක්වාම වර්ධනය වූ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සේවයේ අතාර්කික බව ආරම්භ වන්නේ 1972 ඇති කළ ජනරජ ව්‍යවස්ථාව සමඟය. 1972 දක්වාම රාජ්‍ය සේවයේ පාලනය වෙනුවෙන් පවත්වාගෙන ගිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කර ඍජුවම කැබිනට් මණ්ඩලයේ අභිමතය පරිදි රාජ්‍ය පාලනය කරගෙන යා හැකි ආකාරයට ව්‍යවස්ථාව සකස් වී තිබුණි. මේ යටතේ නිලධාරීන්ගේ කුසලතාවය වෙනුවට අදාළ ඇමැතිවරයාගේ අභිමතය පරිදි රජයේ නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම ආදිය කළ හැකි විය. මෙය වඩාත් අශෝභන ලෙස ක‍්‍රියාත්මක වූයේ ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා තුළය. මේ ආයතනවල රැකියා ලබා දීම ඍජුවම සිදු වූයේ අදාළ ඇමැතිවරයාගේ අභිමතය පරිදිය.

1977 පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද මේ ක‍්‍රමයේ පැවති ජුගුප්සාජනක බව තවත් තීව‍්‍ර කර ගනිමින් පවත්වාගෙන ගියේය. රැුකියා බැංකු ක‍්‍රමයක් ඇති කර තම පාක්ෂිකයන්ගෙන් රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පිරෙව්වේය. 1977 සිට 1991 දක්වා මේ තත්ත්වය පැවතියත් 1990 ජවිපෙ මර්දනයෙන් පසුව එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ඇති කළ තරුණ අසහන කොමිෂමේ නිර්දේශ මත ප‍්‍රථම වතාවට රජයේ රැුකියා වෙනුවෙන් තරග විභාග ක‍්‍රමයක් ඇති කළේය. මේ යටතේ රජයේ දෙපාර්තමේන්තුවල රැුකියා සඳහා තරග විභාග අත්‍යවශ්‍ය විය. මෙය එක්තරා ආකාරයක ප‍්‍රගතිශීලී පියවරක් විය. රජයේ ව්‍යවස්ථාපිත ආයතන හා සංස්ථා සම්බන්ධව මේ නීතිය ක‍්‍රියාත්මක නොවීය.

1994 බලයට පත් ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ සන්ධානයේ පිළිවෙත වූයේ ද එතෙක් ක‍්‍රියාත්මක වූ තරග විභාග ක‍්‍රමය අහෝසි කර තම හිතවතුන්ට රාජ්‍ය අංශයේ රැුකියා දීම ආරම්භ කළේය. එම ක‍්‍රමය සාධාරණීකරණය කරමින් එවකට හිටපු කැබිනට් ඇමැතිවරුන් ප‍්‍රකාශ කළේ තම පාක්ෂිකයන්ට වසර 17 කින් රැුකියා ලැබී නැති බැවින් මේ ක‍්‍රමය අනුගමනය කිරීමට සිදු වී ඇති බවය. 2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ශ‍්‍රීලනිප ආණ්ඩුවද මේ ක‍්‍රමය වඩාත් අශීලාචාර කරමින් පවත්වාගෙන ගියේය.

1948 – 2017 නිදහසින් පසු වසර 70 ක් ගෙවන විට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් වාගේ අතාර්කික වී ඇත. සමස්ත ශ‍්‍රම බළකායෙන් 15% වැඩි ප‍්‍රමාණයක් රාජ්‍ය සේවයේ යෙදෙමින් ඇත. රාජ්‍ය සේවයේ මූලික අභිමතාර්ථය ජනතාවට අවශ්‍ය සේවා ගුණාත්මකව සහ ප‍්‍රමාණාත්මකව පවත්වාගෙන යෑමයි. ඊට ප‍්‍රතිපක්ෂව දැන් සිදු වී ඇත්තේ රාජ්‍ය සේවා ලබා දෙන ආයතන මහජන මුදලින් නඩත්තු කිරීමටය. මේ ඇති වූ තත්ත්වයන් මත විවිධ අවස්ථාවල රාජ්‍ය සේවයේ ඇති ව්‍යවස්ථා මණ්ඩල සහ සංස්ථා ප‍්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදි ආධාර ලබා දෙන ඒජන්සිවල නිර්දේශ මත කොමිෂන් සභා පත්කර තිබුණත් නිර්දේශිත ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වූයේ නැත. මේ ලියුම්කරු දන්නා තරමට රජයේ කිසිදු ආයතනයක් තුළ සේවා සේවා අවශ්‍යතාව සහ පිරිවැය පිළිබඳ ඇගයීමක් කරන්නේ නැත. (රජයේ ආදායම් බෙදා දෙපාර්තමේන්තුවේ රුපියල් 100 ක් එකතු කිරීමට වැය වන්නේ රුපියලකට අඩු ප‍්‍රමාණයක් බව ගණනය කර ඇත.) දැනටමත් රජයේ බොහෝ ආයතනවල බඳවා ගැනීම් සිදු කරන්නේ සේවා අවශ්‍යතාව මත පදනම් නොවී දේශපාලන අවශ්‍යතාවය මතය. එකල පැවති හාස්‍යජනක උදාහරණයක් වූයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ එක බස් රථයකින් යැවීමට 17 ක් සිටින බවය. මේ ආයතනයේ අද වන විට ද සේවකයන් සඳහා ගෙවිය යුතු අර්ථසාධක අරමුදල් ගෙවා නොමැත. එය එසේ වුවද මේ ආයතන විනාශ කළ කිසිදු කෙනෙකු වගවන්නේ නැත. තවත් උදාහරණයක් ලෙස මෑතකාලීනව පෙන්විය හැක්කේ මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ ලබා දී ඇති උපදේශක තනතුරු සංඛ්‍යාවයි. මේ බොහෝ උපදේශකයන් ආයතනයට පැමිණෙන්නේ නැති බවත් සමහර අය අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් බවටත් චෝදනා ඇත.

මේ තත්ත්වය සම්බන්ධව ලංකාවට උපදෙස් ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු නියෝජිතයන් උපදෙස් ලබා දෙන්නේ රාජ්‍ය අංශය මෙලෙස පවත්වාගෙන යෑම අනවශ්‍ය බවයි. පවත්වාගෙන යෑමෙන් ඇති වන මූල්‍ය අස්ථාවරත්වය හේතුකොටගෙන රාජ්‍ය අස්ථාවර වීමේ අවදානමක් ඇති බවයි. නමුත් ගැටලූව වන්නේ ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටකට රාජ්‍ය අංශයේ දායකත්වය දැඩිව අවශ්‍යව තිබීමයි. ලෝක බැංකුවේ හිටපු නොබෙල් ත්‍යාගලාභී සහ ක්ලින්ටන් ආණ්ඩුවේ ආර්ථික උපදේශන මණ්ඩලයේ සභාපති ජෝසප් ස්ටිගලිව්ස් පවසා සිටින්නේ සෑම රාජ්‍යයකම යහපැවැත්මට විශාල රාජ්‍ය අංශයක් පැවතීම අත්‍යවශ්‍ය බවයි. ඒ මන්දයත් පෞද්ගලික ව්‍යවසායකයන් සියල්ල සම්පාදනය කරනුයේ ප‍්‍රාග්ධනය උපරිම කිරීම වෙනුවෙනි. පාඩු ලබන හෝ මහජන සුබසාධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඔවුන් සූදානම් වන්නේ නැත. උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි වන්නේ තරගකාරීව කොතරම් බස්රථ තිබුණත් රාත‍්‍රී කාලයේ දැනට ධාවනය කරන්නේ ගමනාගමන මණ්ඩලයට අයිති බස් රථ පමණි. පෞද්ගලික අංශය පවත්වාගෙන යෑමට යටිතල පහසුකම් තවදුරටත් සපයන්නේ රජය විසිනි. (විදුලිය, ජලය, මහාමාර්ග සහ ණය වැනි දෑ උදාහරණය)

රාජ්‍ය සේවය පැවැත්ම අනිවාර්යය සාධකයක් වුවත් සාමාන්‍ය මතය වනුයේ එය ඉතාම අකාර්යක්ෂම බවය. එය රජයේ ආයතනයක සේවය ලබා ගැනීමට ගිය  ඕනෑම කෙනෙකුට අත්දැකිය හැකි සිදුවීමකි. වසර 2001 දී ලක්ෂ හයක් වූ රාජ්‍ය සේවා නියුක්තිය මේ වන විට ලක්ෂ දාහතරක් වී ඇත. එසේ නම් කාර්යක්ෂමතාවය දෙගුණයකින් වැඩි විය යුතුය. සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්තය. ලෝකයේ දියුණු රටවල රාජ්‍ය සේවා ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යයි. ජපානයේ ශ‍්‍රම බළකාය 30% ආසන්නව රජය සතු සමාගම්වල සේවය කරයි. රාජ්‍ය ආයෝජන ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස 40% කි. ජර්මනිය, නෙදර්ලන්තය, කැනඩාව රාජ්‍ය ආයෝජන 40% ක් 50% අතර ඇත. එංගලන්තයේ රාජ්‍ය ආයෝජන 30% ප‍්‍රමාණයේ ඇත. ශ‍්‍රී ලංකාවේ මුළු ආයෝජනම පෞද්ගලික අංශය සමඟ ඇත්තේ 31.5% කි.

ආසියාතික රටවල් සැලකුවද ප‍්‍රධාන පෙළේ ව්‍යාපාර පාලනය වන්නේ රාජ්‍ය අංශය මඟිනි. මැලේසියාවේ ව්‍යාපාර බහුතරයක් පාලනය වන්නේ රජය සතු සමාගම් 800 ක් මඟිනි. ඉන්දුනීසියාවේ රජය සතු ව්‍යාපාර 164 ක් සේවකයන් 700000 කට ප‍්‍රමාණයක් යොදමින් සාර්ථකව පවත්වාගෙන යයි. 1997 සිට රටට අවශ්‍ය සියලූම ආහාර ආනයන/ බෙදාහැරීම කරනුයේ රජය සතු සමාගමකිනි. තායිලන්තයේ රජය සතු විශාල ව්‍යාපාර 67 ක් ඇත. බැංකු රක්ෂණය සියල්ලේ අයිතිය පවතින්නේ රජය සතුවය. ලෝකයේ දියුණුම රාජ්‍ය අංශය පවතින්නේ සිංගප්පූරුවේය. ද.දේ.නිෂ්පාදනයෙන් 60% ආසන්න ප‍්‍රමාණයක් ලබා දෙන්නේ රාජ්‍ය අංශය මඟිනි. ලෝකයේ කාර්යක්ෂම ගුවන් සේවය පවත්වාගෙන  සිංගප්පූරුවේ රජය මඟිනි. ලෝකයේ රටවල් 25 ක පමණ ප‍්‍රමාණයක ඇති ව්‍යවසායන් පාලනය වනුයේ රජයේ ව්‍යාපාර ලෙසය. සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළෙන් 25% කට වඩා අයිතිය ඇත්තේ ප‍්‍රසිද්ධ රාජ්‍ය සමාගම වන තමසෙක් ආයතනය සතුවයි. ලංකාවේ රජය සතු ව්‍යාපාර 205 කට ආසන්න ප‍්‍රමාණයක් ඇත. කිහිපයක් හැර සාතිශය බහුතරයක් පවත්වාගෙන යන්නේ භාණ්ඩාගාරය මඟිනි.

ලෝකය දෙස බැලීමේ දී පෙනී යන්නේ රාජ්‍ය සේවා සහ රාජ්‍ය ව්‍යාපාර කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි බවය. අපේ රටේ රාජ්‍ය ආයතනවලට සිදු වී ඇත්තේ කුමක්ද.  මේ සම්බන්ධව සොයා බැලීමේ දී පෙනී යන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීම පෙරදැරි කරගෙනය. 1972 සිට සියලූ බඳවා ගැනීම් සිදු වී ඇත්තේ විද්‍යාත්මක ඵලදායිතා ඇගයීමක් නොකරය. ඵලදායිතා ඇගයීමක් කළේ නම් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සිංගප්පූරුව පැරදවිය යුතුය. වසර 2000 සිට අද දක්වාම රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට (බොහෝ අයට) නිශ්චිත රාජකාරියක් නැත. ඔවුන් ලබන වැටුප වෙනුවෙන් කළ යුත්තේ කුමක් කියා කිිසිදු කෙනෙක් නොදනී. මෙය රැුකියාලාභීන්ගේ වරදක් නොවේ. වරද ඇත්තේ කළමනාකාරීත්වය තුළය. ඵලදායිතාවයක් නැතත් ඔවුන්ට වැටුප්, වැටුප් වැඩි වීම හා විශ‍්‍රාම වැටුප් භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතුය. රාජ්‍ය සේවා ප‍්‍රතිව්‍යුහගත කිරීමට කොතරම් කොමිෂන් දැමුවත් එයින් සිදු වී ඇති සෙතක් නැති බව  ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය.

රජය සතු ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා අදටත් පවත්වාගෙන යන්නේ දේශපාලනඥයන්ගේ හිතවතුන්ට රැකියා සපයන ස්ථාන වශයෙනි. විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය, ගුවන් සේවා මීට උදාහරණය. මේ සියල්ලේම අනියම් කම්කරුවා සිට සභාපති දක්වා සියලූ නිලධාරීන් පත් කරන්නේ අමාත්‍යවරයා විසිනි. (විශේෂ කුසලතාවය සැපරිය යුතු රැුකියා හැර) අමාත්‍යවරයා රැුකියා ලබාදීමේ දී සලකා බලන්නේ දේශපාලන පක්ෂපාතීත්වය පමණි. පත්වන සේවකයාද සලකන්නේ රැුකියාව ලැබුණේ දේශපාලන අනුග‍්‍රහයෙන් බැවින් සේවා ලබා දීම අවශ්‍ය නැති බවයි. 1995 දී ඛනිජ තෙල් සංස්ථාවේ රැුකියාවට නොගොස් ගෙදර සිට පඩි ලබාගත් සේවකයන් සිටියේය.

ගැටලූව මේ තත්ත්වය අද දේශපාලනයේ සිටින හැමදෙනෙක්ම දැන සිටීමය. එසේ දැනගෙන ඔවුන් මේ ආයතන ප‍්‍රතිව්‍යුහගත නොකරන්නේ ඇයි. හැම කෙනෙක්ම උත්සාහ කරනුයේ මේ තියෙන වියවුල්කාරීත්වය තුළ ගසා කෑමටය. මේ දේවල් වෙනස් කරන අනාගත දේශපාලනයක හැඩරුව කෙසේ වෙයිද?

විපුල කරුණාතිලක

ඔබේ අදහස කියන්න...