කාලය සමඟ වෙනස් වන මිනිසාගේ ඇගයුම් පද්ධතිය අභ්‍යන්තරයෙන් ඛණ්ඩනය වන ස්ථානය මිනිසාගේ ‘ආත්මය’ බව, පැට්ට්‍රිෂීයා හයිස්මිත්ගේ නවකතා මාලාවේ මුඛ්‍ය චරිතය වන ‘රිප්ලි මහතා’ මඟින් අපි නිදර්ශනය කළෙමු. ජන සමාජයක සමාජ-ආර්ථික පිළිවෙල නිශ්චිත ඛණ්ඩනයකට ලක් වන විට (උදා-1977 ට පසු මෙන්), එම සමාජය තුළ ජීවත් වන්නවුන්ගේ චිත්ත ස්වභාවය සහ සිද්ධාන්තමය දැනුම අතර අනවරත ගැටුමක් බිහි වෙයි. මෙම ගැටුමට සම්මත උත්තරය ලෙස සකස් වන්නේ, අනුභූතිය පරදා හදවතේ උත්තරය තහවුරු වීමෙන්ය. ප්‍රාග්ධනය මඟින් මෙහෙය වන සමාජ මූලධර්ම තාර්කික වන්නට වන්නට සාම්ප්‍රදායික හර පද්ධතිය අතාර්කික වෙයි. රිප්ලි යනු, මෙම සාම්ප්‍රදායික හරි වැරැද්ද සාපේක්ෂ තත්ත්වයකට පත් කරන චරිතයකි. සාපේක්ෂ සදාචාරවාදය ධනවාදයේ අලුත්ම විද්‍යාවයි. රිප්ලි වැනි චරිත බිහි වන ඓතිහාසික මූලය කුමක්ද?

             ශ්‍රී ලංකාව නම් රටෙහි නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය, බහුතර ජනයා (බුද්ධිමතුන් අතහැර) විසින් සාදරයෙන් පිළිගෙන ඇත. ගැටලු තිබුණ ද, නැවත අපට මේ හේතුව නිසා සංවෘත ජාතික ආර්ථිකයකට යළි ප්‍රවේශ වීමට නොහැකිය. ධනවාදය විසින් ඝන වූ සියල්ල වාෂ්ප කරයි. ඒ අර්ථයෙන්, මෙම තත්ත්වය හර පද්ධතිය සඳහා ද අදාළය. පැරණි සමාජයකට යළි ප්‍රතිනිෂ්පාදනය වීමට අධ්‍යාපනය අවශ්‍ය වුවත්, නූතන ධනවාදයට අධ්‍යාපනය ද හුවමාරු වටිනාකමකි.

               ‘රිප්ලි’ වැනි චරිත සිංහල සාහිත්‍ය තුළ විරල වුවත්,බටහිර සාහිත්‍ය තුළ ඔවුන් විරල නැත. නමුත් සැබෑ ජීවිතයේ දී, අපට ඕනෑතරම් රිප්ලිලා හමු වෙයි. රිප්ලි තම දඩබිම සොයා ගෙන ඇමරිකාවෙන් යුරෝපය වෙත ගමන් කරන මෙන් ලංකාවේ රිප්ලිලා ප්‍රාග්ධනය හිඟ ගම්වලින් කොළඹ නගරයට පැමිණ ‘පහසු ජීවිතයක්’ බලාපොරොත්තු වෙති. ඔවුන් එම ඉලක්කය සපුරා ගැනීමට රිප්ලි මෙන් සාරධර්ම සහ පුරුෂාර්ථ සාපේක්ෂකරණයට ලක් කරයි. සමකාලීන ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක සාපේක්ෂකරණයේ යටිපෙළ එය යි. මින් අදහස් වන්නේ, කොළඹ යනු සදාචාරයේ මිනුම් දණ්ඩ යන්න නොවේ. කොළඹ යනු, සංකේත නීතියේ ප්‍රමිතිය නම් එය ලබා ගත හැක්කේ අධ්‍යාපනය හරහා ය. ලංකාවේ විශ්ව-විද්‍යාල ගැමියන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ඔවුන්ගේ සදාචාරය අන් අය තහවුරු කරන්නේ නැත.

                 1990 වර්ෂයට පසුව, ලංකාවේ ඉපදුණු අය මහා සම්මතයන් ඉගෙන ගන්නේ හෝ තකන්නේ නැත. සරලව කිවහොත්, පොදු සංකේත නීතිය ඉගෙන නොගෙන, 90ට පසු පරම්පරාවන්ට සමාජයට මුක්ත වීමට හැකිය. නමුත් ලිඛිත නීතිය මඟින් රාජ්‍ය ව්‍යුහයේ මහා සම්මතය සකස් වී ඇත. 90 ට පසු පරම්පරාව මහා සම්මතයක් ලෙස දන්නේ පරිභෝජනවාදය පමණි. අපොස උසස් පෙළ විභාගයෙන් ඊනියා උසස් ලෙස සමත් වුවත්, වෛද්‍ය පීඨ සහ ඉංජිනේරු පීඨවලට ඇතුළත් වන මුත් සංකේත නීතිය හරහා ඔවුන් ශික්ෂණය වී නැත. යම් පුද්ගලයෙකු සමාජයට පොදු සංකේතීය මූලධර්ම නො ඉගෙන මුක්ත වුවහොත්,ඒ තැනැත්තා සමාජයේ හැසිරෙන්නේ පරිකල්පනීය රටාවකට අනුව ය. ජිජැක්ට ‘ශිෂැක්’ කියන්නේ , මින්නේරියෙන් කොළඹ ආ පුද්ගලයෙකි. ‘රාවය’ පුවත්පතේ සහ තවත් මුද්‍රිත මාධ්‍යවල මෙම වැරදි නම පළවන්නේ, එම මුද්‍රිත සංස්ථාපිතයන්ගේ ප්‍රධානීන් ද පොදු සම්මත සංකේත රටාව නොදන්නා නිසාය. උදාහරණයක් වශයෙන්, ‘රාවය’ පුවත්පතේ කතුවරයා වන විමලනාත් ජිජැක්ගේ නම හරියට ලියන්නට දන්නේ නැත. ඔහුට ජිජැක් ගැන හැදෑරීමක් ද නැත. ඒ ගැන උනන්දුවක් ද නැත. නමුත් ‘ජිජැක්’ ගැන ඕනෑම මුසාවක් ලියන කෙනෙකුගේ ලිපියක් ‘රාවය’ පුවත්පතේ පළ කරන්නට තරම් ඔහුගේ හදවත කාරුණික ය. එසේ කරන්නේ ඇයි දැයි අප ඔහුගෙන් ඇසුවොත් ඔහු නිරුත්තර වෙයි. (ලෙනින්ගේ නම ලිනන් කියා පුවත්පතක පළ වුවහොත් කුමක් සිදුවේද? ලංකාවේ පියා පිළිබඳ විනෝද ගැටලුව කෆ්කාටත් වඩා ෆැන්ටාස්මැතිකය. මට විරුද්ධ පිරිමින් හාස්කමකින් මෙන් එක්සත් වන්නේ, මෙම විනෝද ආර්ථිකය නිසාය. මා සමඟ එකට සිටි පිරිමියෙකු මට විරුද්ධ ව ලියූ වහාම මට විරුද්ධ පිරිමි කුලයේ  සාමාජිකයෙකු බවට වහා පත්වෙයි. න්‍යායික බහුබූත දොඩවන මේ තක්කඩින් බාහිර සතුරා යනු , තමන්ගේම සද්භාවවේදයක් බවවත් ග්‍රහණය කරගෙන නැත. මේ දේවල් වලට අත ඔසවන මෝඩයන් ගැන අපට නම් වර්ගීකරණයක් නැත.) ලංකාවේ විශ්ව විද්‍යාලවලට දැන් පොදු සම්මතයක් නැත. ඒ නිසා, ඇකඩමික් දෝෂ ගැන විමලනාත්ගෙන් විමසා ද ඵලක් නැත. ඒ අනුව, ‘රාවය’ පුවත්පතේ පළවන විවිධ ‘පරිකල්පනීය’ රචනා යනු, පොදු සංකේත පිළිවෙල අධ්‍යාපනය හරහා අභ්‍යන්තරීකරණය නොවූ අයගේ ලිඛිත සාක්ෂිය. සමාජ විරෝධී දේවල් කිරීමෙන් පසුව ඒ ගැන කිසිදු හෘද සාක්ෂියක් හෝ වෙනත් තර්කයක් නැත්තේ ඒ නිසාය. මැදිරිගිරිය පැත්තේ රියදුරකු මා සමඟ මෙසේ කීවේ අහම්බයකින් නොවේ.

           “Telecom කියන්නේ තැපැල් කන්තෝරුවක්. ඕවායේ රස්සාවට යන්නෙ මෝඩයෝ”. මේ රියදුරා Telecom පිළිබඳව සංකේතකරණය වී නැත. මේ තත්ත්වය ලංකාවේ මහා සම්මතය වුවහොත්……..

                 යම්කිසි පුද්ගලයෙකු පොදු සංකේත චර්යා ධර්ම (සාරධර්ම, ගුණධර්ම, පුරුෂාර්ථ)   නො-ඉගෙන ගෙන සමාජයට මුක්ත වුවහොත් එවැනි චරිත අයත් වන්නේ, ‘රිප්ලි’ වර්ගයටම ය. ලංකාවේ බහුතර සංස්ථාපිතයන්  බිමට කඩා වැටී ඇත්තේ, මෙවැනි පරිකල්පනීය පුද්ගලයන් එම ආයතන වල ප්‍රධානීන් වීම නිසා ය. සමාජ ක්ෂේත්‍රය තුළ හැසිරෙන පුද්ගලයන්ගේ සමාජ හැසිරීම රඳා පවතින්නේ, සංකේත මහා අනෙකාගේ සාරාත්මක බව අප පිළිගන්නා පරාසය තුළයි. විදුලිය, ජලය, ඉන්ධන වගේ මූලික සමාජ ගැටලුවල ඉඳලා ‘ශිෂැක්’ වගේ අමාරිස් ප්‍රශ්න දක්වා පරාසය සමාජ උමතුභාවයේ ප්‍රතිඵලයක් ය. නමුත් ගැටලුවේ මූලය ගැටලුවට විසඳුම ලෙස අප බාර ගන්නවා. වෝල්ටර් බෙන්ජමින් කියනවා වගේ ප්‍රාදේශීය කතුවරු රටේ බුද්ධිමතුන් වෙනවා. සංකේත නීතිය යනු කුමක්ද යන්නත්, එය අභ්‍යන්තරීයකරණය නොවීම සමාජ ගැටලුවක් වන ආකාරයත් දැන් ඔබට පැහැදිලි ඇති. මෙම තත්ත්වය රාජ්‍ය පාලනය දක්වා දිගු වූ විට ගැටලු රැසක් බිහි වෙයි.

                ‘ටොම් රිප්ලි’ යනු, පොදු සමාජ නීතිය තමන් තුළ අභ්‍යන්තරීයකරණය නොකර ගත් පුද්ගලයෙකි. ඔහුව බාහිර කෙනෙකුට ඉතාම සාමාන්‍ය පුද්ගලයකු ලෙස දෘශ්‍යමාන වූවත්, ඔහුගේ අති-සාමාන්‍ය ස්වභාවය (very normal) සයිකෝසික තත්වයකි. ඔහු වැනි පුද්ගලයන්ට ලිංගයක් නැත. ඒ නිසාම ඔහු වැනි අය ලිංගභේදය නොදන්නා අතර ලිංගික ආශාව යනුවෙන් දෙයක් ද නැත. අර්ථය නියෝජනය කරන හැඟවුම්කාරකය ඔවුන් වෙත පැමිණ නැත. ලිංගික අවිනිශ්චිතතාවය නිසා රිප්ලි වැනි අය ද්විලිංගික (Bisexual) ලෙසින් සමහරු වටහා ගනිති. තරමක නිශ්චිතභාවයකින් මේ අය ගැන කිව හැක්කේ, මේ අය සීතල (Cold) බවයි. මේ අයව උණුසුම් හැඟීම් ඇති අය ලෙස සලකන්නන්ට අවසානයේ මරණය හිමි වෙයි.

               ටොම් රිප්ලි යනු, රැඩිකල් ලෙස ආශාව අහිමි චරිතයක්ය (Radical absence of desire). රිප්ලිට තමන් කරන වැරැදි ගැන කිසිදු පසුතැවීමක් (Remorse) නැත්තේ ඔහු ආශාවේ ව්‍යාකරණ නොදන්නා නිසා ය. මෙම පුද්ගලයන්ට විවාහ වී දශක ගනන් සීතල ලෙස ලිංගික ආශාවකින් තොරව ජීවිතය ගත කළ හැකිය. බොහෝවිට, රිප්ලි වැනි චරිතවලට යම්කිසි දෙයක් පිළිබඳ නිශ්චිත ස්ථාවරයක් නැති අතර ඇත්තේ උභය ස්ථාවරයන් ය (Either/ or). රිප්ලි වැනි චරිත සම්බන්ධයෙන් අනුභූති උත්තර, අත්දැකීම් අදාළ නැත. ඔවුන්ට අවිඥාණයක් නැති අතර ඔවුන් ඉතාම හොඳ නිරීක්ෂකයන් ය. වාස්තවික න්‍යායන් ගැන විශ්වාස කරන බොහෝ දෙනා රිප්ලි වැනි අයට උසස් වාස්තවික ඥාණයක් ඇතැයි නිගමනය කරයි. රිප්ලි මහතා වැනි අයට මනෝවිද්‍යාවක් නැති නිසාත්, ඔහු අන් චරිත අනුකරණය කරනවා මිස අන් යමක් නොකරන නිසාත් ඔහු ගැන කතා කරන විවිධ සමපේක්ෂණයන් මුලාවන්ගෙන් අවසන් වෙයි.

               රිප්ලි මහතා වැනි පුද්ගලයන්ව වැරදි ආකාරයට කියවූ විට, ‘ඇන්තනී මින්ගෙලා’ වැනි සිනමාකරුවන්ගේ අර්ථ විවරණයට  අප ඌනනය වෙයි. රිප්ලි තම ජීවිතය සීතල ලෙස ගත කිරීම තුළ ඇත්තේ වාස්තවික හේතුවක් නොව ආත්මීය හේතුවකි. ඔහු සංකේතකරණය ගැන නොදන්නා කෙනෙකි. ‘කොළඹ සන්නිය’ චිත්‍රපටයේ ‘ග්‍රාමීය- භූමිකා’ කොළඹ විත් ප්‍රභූ සමාජයක ජීවත් වීමට නොදන්නා නිසා ඔවුන්ව හාස්‍යයට ලක් වෙයි. නමුත් රිප්ලි වැනි චරිත කොළඹ සන්නියට වඩා සංකීර්ණය. 

Corona virus

                 රිප්ලි තමන් නොදන්නා සමාජ සංකේත අවකාශයකට ඇතුල් වූ පසු නිශ්ශබ්ද වෙයි. ඔහු අඩුවෙන් ක්‍රියාකාරී වෙයි. ඔහු එසේ කරන්නේ එවැනි තැන් වල හැසිරිය යුතු ආකාරය නොදන්නා නිසාය. එය නරඹන අනෙකා අනුමාන කරන්නේ, ඔහු ඉතා තැන්පත් පුද්ගලයෙකු බවයි. ඔහු සහ සංකේත චර්යා-ධර්ම අතර පවතින පරතරය නරුම නොව සැබෑවක් ය [real]. ඔහුට පුටුවක්, මේසයක් , මෝටර් රථයක් සහ තවත් මිනිසෙක් අතර වෙනසක් නැත. මේ සියල්ල ඔහුට වස්තූන්ය. මිනිසෙක් සහ පුටුවක් අතර ගුණාත්මක වෙනසක් රිප්ලිට නැත. මෙතැනදී, රිප්ලි යනු, ‘ඇට මැස්සාට’ වඩා ප්‍රායෝගික සහ උපයෝගීතාවාදී මිනිසෙකි. ඔහු මිනිස් සබඳතා ඌර්ධවපාතනයට ලක් කරයි. මන්ද, රිප්ලිට ඉතිහාසය සහ මතකය යනුවෙන් ප්‍රපංච නොපවතින නිසා ය. ඔහු සමඟ කෙනෙක් සමීපව ආශ්‍රය කළාට, එකට කා බී විනෝද වූවාට, එකට ගමන් ගියාට ඒවා ගැන නිනව්වක් හෝ මතකයක් ඔහුට නැත. රිප්ල් ඉතිහාසය සහ මතකය සමතික්‍රමණය කර ඇත. අතීත මතකයන් මතක් කළ විට, රිප්ලි කොක් හඬලා සිනහා වීම හැර වෙනත් උණුසුමක් පෙන්නන්නේ නැත.

                        1999 දී, ඇන්තනී මින්ගෙලා විසින් අධ්‍යක්ෂණය කළ ‘The Talented Mr. Riply’ චරිතයේ ඇති ‘සීතල’ බව මින්ගෙලා විසින් ‘උණුසුම’ බවට පරිවර්තනය කරයි. හයිස්මිත් තමන්ගේ රිප්ලි චරිතයේ හේතූන් සඳහා සිද්ධාන්ත නිපදවන්නේ නැත. ඇය විසින් නිර්මාණය කළ චරිතය හොඳ නොකර ගන්නා තුවාලයකි. නමුත් මින්ගෙලා තමන්ගේ රිප්ලිව නිපදවා ඇත්තේ, ඔහුගේ චරිතයේ හිස්තැන් උණුසුම් මානුෂික අන්තර්ගතයන්ගෙන් පුරවමින් ය. උදාහරණයක් ලෙස, හයිස්මිත්ගේ රිප්ලිට ලිංගික අනන්‍යතාවයක් නැත. ඔහු නිර්ලිංගිකය. නමුත් මින්ගෙලා තමන්ගේ රිප්ලිව නිපදවා ඇත්තේ, සමලිංගික පිරිමියෙකු ලෙසින් ය. මෙය භයානක වරදකි. රිප්ලිගේ මනෝභාවයන් යනු, ඔහුගේ ආත්ම මූලිකත්වයේ රැඩිකල් කේන්ද්‍රය වන හිස් බවයි. ඇත්තටම, ටොම් රිප්ලි යනු, හිස් මිනිසෙකි. ඔහුට අප සමලිංගික තොප්පියක් දැමූ විට එය ඔහු සතුටින් භාර ගනියි. නමුත් ඔහු ‘ඔහු’ තුළ ලිංගයක් දන්නේ නැත. ඒ නිසා, මින්ගෙලා කරන දෙයින් සිදුවන්නේ, චරිතයේ  නැති දෙයක් අපි පිටතින් ආදේශ කිරීමයි. ඒ නිසා, මින්ගෙලාගේ ‘ටොම් රිප්ලි’ යනු, අප විසින් ඔහුට ප්‍රක්ෂේප කරන ලද විවිධ පෞර්ෂ අන්තර්ගතයන්ගේ එකතුවකි. ඇන්තනී මින්ගෙලාගේ රිප්ලි යනු, මින්ගෙලා හරහා පෞර්ෂකරණයට ලක් වූවෙකි. මෙය දැඩි ලෙස දෘෂ්ටිවාදී වූ ක්‍රියාවකි. එමගින්, අප ඔහුගේ භීමත්වය උණුසුම් මානුෂිකකරණයට ලක් කරයි. වටහාගත නොහැකි මිනිසෙකු මින්ගෙලාගේ දෘෂ්ටිවාදය නිසා අවබෝධ කරගත හැකි උණුසුම් මිනිසෙකු වෙයි. රිප්ලිගේ නොපෙන්විය යුතු තැන් පෙන්වන්නට ගිය විට, නැතහොත්, පෙන්වීමට නොහැකි දෙය පෙන්වීමට ගිය විට ‘තිරිසනා’ මිනිසකු බවට අපි අතින් පරිවර්තනය වෙයි. මින්ගෙලා එතැනදී ශුද්ධ දෘෂ්ටිවාදියෙකු වෙයි. රිප්ලිගේ වේදනාව අපට මානුෂිකකරණය කළ නොහැකිය. එය තුවාලයකින් වේදනා විඳීම වැනි සතුටකි. රිප්ලි යනු, හයිස්මිත්ගේ සින්තෝමය යි. ඇයගේ ලිවීම මඟින් අප ද වේදනාවට පත් විය යුතු මිස මානුෂිකකරණය නොවිය යුතුය. ගොලුබෙල්ලා එළියට එන්නේ පරිසරය රසවිඳින්නට නොව වේදනාව ප්‍රසාරණය කරන්නටය. ‘සත්‍යය’ ඇත්තේ මේ අනවරත ලිවීම තුළ මිස කවච ඇතුලේ අන්ධකාරය තුළ නොවේ. ජර්මානු විඥානවාදය හරය වනාහි සාරය දෙස නොබලන්න සටන් පාඨය යි.

-දීප්ති කුමාර ගුණරත්න-    

ඔබේ අදහස කියන්න...