මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ මා නිරීක්ෂණය කරන පරිදි විග්‍රහ කිරීමකි. එසේම වර්තමාන තත්වයන් යටතේ බටහිර රටක සිට ලිවීමේදී ඇතැම් කරුණු මග හැරීමට සිදුවේ. ඊට හේතුව දැන් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ ඇත්තේ නිල නොවන යුධමය වාතාවරණයක් නිසාය. එසේ සිදුවීමට හේතුව රුසියානු නායකයා විසින් න්‍යෂ්ටික අවී භාවිතාව පිළිබඳව කරන ලද නියෝගයයි.
රුසියානු යුක්රේන යුද්ධය පටන් ගත් මුල සතියේ බොහෝ දෙනාට ඇති වූ ප්‍රශ්නයක් වූයේ රුසියාව එතරම් ප්‍රබල නොවන භට කණ්ඩායම් හා පරණ යුධ රථ එව්වේ මන්ද යන්නය. එසේම යුක්‍රේන් ජනතාවගේ ප්‍රතිවිරෝධය හමුවේ රුසියානු භටයන් පසු බසින බවද ඔවුහු වාර්තා කළහ. නමුත් සත්‍යය එලිවුනේ පසුවය. මූලික රුසියානු හමුදා සිදුකළේ විදගෙන (incursion) යාමකි. එහි අරමුණ වූයේ යුක්‍රේන් නගර වල ඇති ගුවන් යානා නාශක අවි විනාශ කිරීමය. එසේම යුක්රේන ගුවන් හමුදාව බල රහිත කිරීමය. රුසියානු ජනාධිපතිවරයා බොහෝවිට සිතන්නට ඇත්තේ මෙම මුලික ආක්‍රමණ ක්‍රියාවෙන් හා දොන්බාස් ප්‍රදේශය එනම් ලුගාන්සක් , දනියෙත්ස්ක් ස්වාධින රජයන් ලෙස පිළි ගැනීමෙන් පසු බටහිර මෙන්ම යුක්‍රේනියානු රජය නේටෝ වට ඇතුළු වීමේ නිගමනය ආපසු හරවනු ඇත කියා යයි සිතමි.
එය සිදුවුනේ නැත්තේ බොහෝවිට යුක්‍රේන ජනාධිපතිවරයාට සහය දෙන ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සෙලෙන්ස්කිට එසේ නොකිරීමට උපදෙස් දුන් නිසා විය හැකිය. යුක්‍රේනය සමග වන යුද්ධය හරහා පුටින් බලයෙන් පහ කිරීම ඔවුන්ගේ පරමාර්ථය විනැයිද සිතමි.
මේ යුද්ධයේදී යුක්‍රේනය හා එහි ජනතාව බලවත් ජාතීන් ගේ වැරදි වලට වන්දි ගෙවන බව පැහැදිලිය. එසේම පුටින් කිහිප වතාවක් වසර 2000 සිට නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබුණි. එයට පිළිගැනීමක් බටහිරින් විශේෂයෙන් එක්සත් ජනපදයෙන් නොලැබුණි. (මේ කිසිවක් යුද්ධය සාධාරණය කරන්නේ නැත)
පූටින් ගේ යුධ මෙහෙයුම දෙස බැලීමේදී ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය පරාජය කල ජෙනරාල් ෂුකොව් ගේ යුධ සැලැස්ම අනුගමනය කරන බවක් පෙනී යයි. බොහෝ බටහිර මාධ්‍ය වලට එය මග හැරී ඇත.
නාසි ජර්මනිය පළමුව සෝවියට් දේශයට ඇතුළු වූයේ බෙලරුසියාවේ බ්‍රෙස්ට් නමැති නගරයෙනි. ඒ 1941 ජුනි 22 ය.බ්‍රෙස්ට් නගරයට ඔවුන් ඇතුළු වූයේ පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුවය. ඒ සමගම ඒ වනවිට වර්තමාන නේටෝ රටවල් වන රුමේනියාව ,චෙකොස්ලොවේකියාව ද නාසීන් ආක්‍රමණය කර තිබුණි.හිට්ලර් 1941 අගෝස්තු මාසයේ යුක්රේන සෝවියට් සමුහාණ්ඩුව ආක්‍රමණය කළේය.
අපට වැදගත් සිද්ධීන් දෙකක් තිබේ. පලමුවැන්න හිට්ලර් ගේ ඔපෙරේෂන් බාබරෝසා ය (Unternehmen Barbarossa බාබරෝසා යනු 12 සියවසේ ජර්මන් රජෙකි.). ඒ හිට්ලර් ගේ සෝවියට් දේශය අල්වා ගැනීමේ මෙහෙයුමට දැමූ නමයි. ඒ යටතේ හිට්ලර් ගේ කීව් නගරය අල්වා ගැනීමේ මෙහෙයුමේදී ජර්මන් හමුදා සම්පුර්ණයෙන්ම කීව් නගරය වට කල අතර මෙම පළමු කීව් යුද්ධයේ දී ලක්ෂ 7 පමණ සෝවියට් රතු හමුදා භට පිරිසක් දිවි පිදුහ. වැදගත් සිද්ධියක් නම් හිට්ලර් ඔඩෙසා වරාය නගරයටද එකවර පහර දීමයි. ඒ මගින් රතු හමුදාවට කීව් නගරයේ සහයට ඒම වලක්වන ලදී. ජර්මන් හමුදා සමග ඉතාලි සහ රුමේනියානු හමුදා ද එක්ව සිටියහ. සෝවියට්සේ නාංක කිහිපයක්ම මෙහිදී යටත් වුනි. ඉන්පසු හිට්ලර් මොස්කව් සහ ලෙනින්ග්‍රාද් නගර අල්ලා ගැනීමට හමුදා පිටත් කල අතර ඉතාම ලෙහෙසියන් අල්ල ගැනීමට සිතා ක්‍රිමියාව , නැගෙනහිර යුක්‍රේනයේ දොන් බාස් පෙදෙස මෙන්ම රොස්ටොව් නගරය දෙසටද හමුදාව මෙහෙයවිය. හිට්ලර් ගේ හමුදා මේ හැම තැනදීම පරජයට පත්විය. ස්ටාලින්ග්‍රාඩ් නගරය අල්ල ගැනීමේ යුද්ධයේදී මිලියන් දෙකක් මියගිය ලොව සිදුවූ දරුණුතම මෙහෙයුමක් විය. එහිදී හිට්ලර් ගේ හමුදාවේ පරාජයට අඩිතාලම වැටුණි.
හිට්ලර් ගේ නිවැරදි තැන ඔඩෙසා , ලිතුවේනියා ආදී පැතිවලට එකවර පහරදී රතුහමුදා සැපයුම් මාර්ග බිඳ දැමීමයි. ඔහුට වැරදුන තැන ක්‍රිමියාව සහ නැගෙනහිර උක්රයිනය අල්ලා නොගැනීමයි. සේම තම හමුදා සෑම තැනකටම යවා විහිදුවිමයි.
දැන් මාෂල් ශුකොව් මෙහෙයවූ දෙවැනි කීව් මහා යුද්ධය දෙස බලමු. මෙය සිදු වුනේ 1943 දීය. මෙය සෝවියට් දේශය බේරා ගැනීමේ මෙහෙයුමේම කොටසක් වුවද කීව් දක්වාවූ සෝවියට් හමුදා වල් මෙහෙයවීම, විමසීම වටී. මෙම මෙහෙයුම ද්නීපර් යුද්ධය ලෙසින් හඳුන්වන ලද අතර එහි කුර්ස්ක් සඳහා වූ සටන මුල්ම සටන විය. මෙහිදී වොරෝනේෂ් නගරයේ සිට සෝවියට් හමුදා සටන් කරමින් ඉදිරියට ගිය අතර මෙය පසුව පළමු යුක්රේනියානු පෙරමුණ ලෙස නම් කරන ලදී. රතු හමුදාවේ දෙවන යුක්‍රේනියානු පෙරමුණ කිශිනෙව් (මොල්දාවියානු නගරයෙන්) යුධ පෙරමුණ සමග සම්බන්ධ විය. මේ හමුදා කුර්ස්ක් දිනූ බල ඇණි සමග හර්කොව් (ඛාකිව්) නගරය අල්ල ගන්නා ලදී. දෙවන කීව් යුද්ධයේදී නැගනහිර යුක්රේනය සෝවියට් හමුදා අත පැවති අතර ඔඩෙසා නගරයද ක්‍රිමියාවද සෝවියට් හමුදා අත තිබුණි. මේ පැත්තෙන් හිට්ලර් ගේ හමුදා පරාජය විය. අනිත් පැත්තෙන් චර්නොබිල් -රදොම්ශිල් මෙහෙයුමද චෙර්නොබිල් ගොර්ණස්ටයිපිල් (hornostaipil) මෙහෙයුමද සමගාමිව අරඹන ලදී. මේ නගර කීව් ප්‍රදේශයේ වමෙන් සහ උතුරින් (සිතියමේ උඩ) පිහිටා තිබේ. ලුෂ්ටෙක් මෙහෙයුමේදී ජර්මන් 24 වැනි හමුදා කොටු කර ගන්නා ලදී. මෙහිදී නොමග යාමේ උපක්‍රමයක් වශයෙන් බුර්කින් ප්‍රදේශයට , කීව් නගරයට උතුරින් ප්‍රහාර එල්ල කළ සෝවියට් හමුදා ඉන්පසු පසුබැස්සහ.
මේ අතරේදී ද්නිපරය පැත්තෙන් පැමිණෙන හමුදා කීව් වට කල අතර ජර්මන් 4 වන පැන්සර් හමුදාව පරාජය විය. ඉතිරි ජර්මන් හමුදා කීව් නගරය අතහැර පෝලන්තයට පසු බැස්සහ. (මේ යුද්ධයේ තව විස්තර මෙහි තිබෙන අතර මා ලීවේ ලිපියට අවශ්‍ය දෑ පමණි. ) මේ මෙහෙයුම් 1943 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ගෙනයන ලදී.
දැන් පූටින් ගේ යුධ සැලසුම දෙස බලන්න. මගේ අදහසේ හැටියට ඔහු මෙය සැලසුම් කරන්නට ඇත්තේ 2010 දී යුක්රේනය නෙටෝවට එක් නොවීමේ ව්‍යවස්ථාව අවලංගු කළ පසු විය යුතුය. ඔහු කලේ මුලින්ම 2014 දී ක්‍රිමියාව නැවත ඈඳා ගැනීමය. ක්‍රිමියා ව මූලික කරගෙන මෙහි සිට හමුදා විහිදුවිම (staging post) හොඳින් කළ හැකිය. ඉන්පසු ඔහු යුක්‍රේනය දෙකඩ කළේ භාෂා ප්‍රතිපත්තිය මතය. (රුසියානු වැසියන්ට එම භාෂාවෙන් ඉගෙනීම තහනම් කිරීම හා හිංසා කිරීම යන හේතු මත) . නැගෙනහිර යුක්‍රේනය (දොන්බාස් පෙදෙස) දැන් ඔහු අතේය.
කාලයක් බලා සිටි පූටින් කෝවිඩ් ප්‍රශ්නය අතරතුර හමුදා තර කරමින් සිටියේය. ඉන්පසු කීව් ආසන්නයේ බෙලො රුසියාවේ හමුදා අභ්‍යාස පටන් ගති. පෙබරවාරි 24 දා යුද්ධය ඇරඹු ඔහු කළේ කීව් වලට උතුරින් ඇති චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා ගිය ස්ථානය අල්ලා ගැනීමයි. දැන් එම පෙදෙස් ඔහු අතේය. ඉන්පසු එතන සිට චෙර්නිව් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටි. ඒ අතරේ ෂුකොව් කලාක් මෙන් අනිත් පැත්තෙන් මරියපෝල් නගරයට පහර දෙන අතරේ කෙර්සන් වරාය නගරය අල්ලා ගන්නා ලදී. ඒ අතරේ හර්කොව් (ඛාකිව්) වලටද පහර දෙයි. මේ නිසා යුක්‍රේන හමුදා දිග ඇදී ඇති අතර ඔවුන්ට කීව්වල සහයට යාමට නොහැකිය.
පූටින් ඇරැඹු මේ යුද්ධයට තවම ගතව ඇත්තේ සති දෙකකි. ඔහු ඔඩෙසා නගරය අල්ලා ගත් පසු මොල්දෝවා පැත්තෙන්ද හර්කොෆ් (ඛාකිව්) නගරය පැත්තෙන්ද කීව් කරා එනු ඇත. සඵරෝශියාව දැනටමත් යටත් වී ඇත. බොහෝ ෆේස්බුක් පණ්ඩිතයන්ගේ අදහස කුමක් වුවද පූටින් යන්නේ තමන්ගේ සැලසුමට හෙවත් මාර්ෂල් ෂුකොව් ගේ සැලසුමට අනුව පැහැදිළිය. ඔහු ඉක්මන් නොවන්නේ එබැවිනි.
දැනට යුක්‍රේන හමුදාවන්ට උඩින් පහර දීමට නොහැක්කේ ඔවුන්ගේ ගුවන් යානා මුලින්ම විනාශ කර දැමූ නිසා බව සිතමි.
යුක්රේනයට නේටෝ රටවල් අවි ආයුධ මගින් සහය දුන්නද රුසියනු හමුදාව භට පිරිස හා යුධ ටැංකි ඇතුළු අනෙකුත් ආම්පන්න අතින් පොහොසත්ය. තෙල් සහ ගෑස් වලින් මුදල් එනතුරා භාණ්ඩාගාරය ට ප්‍රශ්නයක් ද නැත. ඔහු තවම ගුවන් යානා මෙන්ම බර අවි වලින් කොටසක්ද භාවිතා කර නැත. ඉදිරියේදී මෙය තවත් බිහිසුණු කොටසකට ඒමට නියමිතය. යුක්‍රේන ජනාධිපති සහ ඔහුගේ හමුදාවේ ප්‍රබල විරෝධය හමුවේ වුවද පූටින් පහර දෙනු ඇත. වෙනත් හදිසි දෙයක් සිදු නොවුහ හොත් (බහුතරයක් රුසියානුන් යුද්ධයට එරෙහිව නැගී සිටීම වැනි) මගේ අදහස වන්නේ මාර්තු 24-31 වනවිට ඔහු කීව් නගරය සම්පුර්ණයෙන්ම යටත් කර ගනු ඇත කියාය. ඔහු ල්වෝව් නගරයට නොයනු ඇත යනු මගේ විශ්වාසයයි. ඒ නගරය පෝලන්තය ආසන්නයේ පිහිටා ඇති අතර දැනට පෙනෙන්නේ නේටෝව සමග යුද්ධයකට එළඹීමට ඔහුගේ ඇති අකමැත්තයි. නේටෝව “යානා පියාසර තහනම් කලාපයක් ” (no fly zone ) ප්‍රකාශ නොකරන්නේ ද එබැවිනි. එවැන්නකින් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැලැක්විය නොහැකි වේ. අගමැති බොරිස් ජොන්සන් කලේ සිහි බුද්ධිය ඇති ප්‍රකාශයකි.
ඕනෑම යුද්ධයකට මම විරුද්ධය.මහාමාර්ග , ගොඩනැගිලි නැවත ගොඩ නැගිය හැකි වුවත් යුද්ධයකදී මියයන සොල්දාදුවන් සහ ජනතාව නැවත ඉපදවීමට නොහැකිය. දෙපසම නයුවන්ට ඥානය පහල වෙනු ඇතැයි පතමි.
– අජිත්
මගේ ලිපියට විරුද්ධ මතයක් මේ ලිපියේ ප්‍රකාශ වේ. එයද කියවන්න.
සමහර අමතර හමුදා ගැන සඳහනක් වෙන නිසා කියවීම වැදගත් විය හැක.
Let us then hope that—out of simple necessity, because for these countries, in the long run, this is their only means of survival—Russia or another country like it will invent a true and simple second way—a way of breaking the vicious circle of global capitalism versus nationalist closure.
https://theoryreader.org/2020/08/13/nato-as-the-left-hand-of-god-by-slavoj-zizek/
Comments are closed.