ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » News » රෝසමලේ නම

රෝසමලේ නම 

umberto eco-

 

නොකියවීමෙන් කියවීමට

රෝසමලේ නම

උම්බර්තෝ එකෝ (Umberto Eco) ගේ රෝසමලේ නම (The Name of the Rose) නවකතාවේ කේන්ද්‍රීය පුවත වන්නේ මධ්‍යකාලීන යුගයේ ක්‍රිස්තියානි දේවස්ථානයක සිදුවන අබිරහස් මිනීමැරුම් කීපයකි. එහෙත් එහි තේමාව (නො) කියවීමය. එනම් කිසියම් පොතක් නොකියවා එය සපුරා කියවූ බව අන් අයට පෙන්වා සිටින්නේ කෙසේදැයි මෙම නවකතාව අපට කියා දෙයි. ඒ අනුව බලන කල “රෝස මලේ නම” යනු පශ්චාත් – නූතන නවකතාවකි.

මෙම තීරුව මඟින් ප්‍රශ්න කෙරෙන්නේ ලාංකීය (නො) කියවීම් සංස්කෘතියයි. ඒ ප්‍රශ්න කිරීම තුළ දැනුම මර්දනය කිරීම සේම එහි අවභාවිතය පිළිබඳව ද කතාබහක් මතුකර ගැනීමට අවකාශ ඇත. විශේෂයෙන් ම මෙහිදී සමකාලීන දාර්ශනික කියැවීම් (නිදසුන් ලෙස ජෙම්සන්, ඩෙරිඩා, ලැකාන්, ජිජැක්) සරසවි තුළට වැද්ද නොගත යුතු යැයි අගාකරන සමහර සරසවි ඇදුරන්ගේ ශාස්ත්‍රීය හීනමානය එළිදරව් කිරීමට සිදුවීම ගැන කළ හැකි දෙයක් නැත. සැබවින්ම ඉන් නිරුවත් වන්නේ ශාස්ත්‍රාලයීය බුද්ධිමය දරිද්‍රතාවයි.

මෙතනදී උම්බර්තෝ එකෝගේ නවකතාවේ මැදිහත් වීම සිදුවන්නේ කෙසේ ද? යන්න පැහැදිලි කිරීම අවශ්‍ය බව පිළිගතිමි. එකෝ විස්තර කරන පරිදි බැස්කර්විල්හි විලියම් නම් තවුසකු ඇඩ්සෝ නම් වූ තම සහායකයා ද සමඟ (මේ කතාව අවුරුදු ගණනකට පසු ලියන්නේ ඇඩ්සෝ විසිනි.) උතුරු ඉතාලියේ පිහිටි අදාළ දේවස්ථානයට පැමිණෙන්නේ අර අබිරහස් මරණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ය. දේවස්ථානය මධ්‍යයේ පිහිටා තිබුණේ වංක ගිරියක ආකෘතියකින් සැකසුණ පොත් ගුලකි.

මිනිමැරුම් පිළිබඳ පවත්වාගෙන ගිය පරීක්ෂණවලදී බැස්කර්විල්ට වැටහී ගියේ එයට පොත් ගුල සමඟ සබඳතාවක් වූ බවයි. ඇත්තටම නම් එකී තවුසන් මියගොස් තිබුණේ පොත් ගුලෙහි වූ අනෙකකු කියවතැයි ඊර්ෂ්‍යාවෙන් සඟවා තිබුණ එක්තරා අබිරහස් පොතක් කියැවීමට තැත් කිරීමේදී බව ඔහු සොයා ගනී. ඒ පොතෙහි අන්තර්ගතය කුමක් ද යන්නත් පොත් ගුල බාරකරු එය කියවීමට තැත් කරන්නන් මරා දමන්නේ මක්නිසාද යන්නත් ඔහුට ක්‍රමයෙන් වැටහිණි.

නවකතාව අවසාන වන්නේ රහස් පරීක්ෂකයා සහ මිනීමරුවා මුහුණට මුහුණ සම්මුඛ වීමෙනි. මිනීමරුවා දේවස්ථානයේ පූජකයකු වූ ජෝර්ජ් නමැත්තෙකි. ඔහුගේ දෑස් අන්ධ ය. අබිරහස සොයා ගැනීම පිළිබඳව බැස්කර්විල් පසසන ජෝර්ජ් මිනීමරු පොත කියැවීම පිණිස ඔහු අත තබයි. ඒ වූකලී විවිධ භාෂාවන් ගෙන් ලියවුණ වෙළුමක් විය. ආරාබි වියමනක්, සිරියානු වියමනක්, බයිබලයේ හාසානුකරණයක නිර්වචනයක් සහ ග්‍රීක වියමනක් යන සිව් වියමනකින් එය සමන්විත විය. එය කියැවීමට තැත් කරන්නවුන්ට මරණය කැඳවූයේ ග්‍රීක වියමනයි.

සැබවින් ම මෙය අන් කිසිවක් නොව ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය (Poetics) නම් කීර්තිමත් කෘතියෙහි අස්ථානගත වූයේ යැයි කියන දෙවන වෙළුම ය. ඇරිස්ටෝටල් පළමු වෙළුමෙහි ලා ශෝකාන්තය (tragedy) ගැන කතා කර තිබූ බව සැමෝම දනිති. දෙවන වෙළුම ඇරිස්ටෝටල් වෙන් කරන්නේ සිනහවටය (laughter). ජෝර්ජ්ගේ ඉල්ලීම පරිදි බැස්කවිල් පිටු තුන හතරක් කියවාගෙන යන්නේ ආරක්ෂිත ලෙස අත්වැසුම් දමාගෙන ය. එහෙත් ඉන් ඉදිරියට කියැවිය නොහැක්කේ පොතේ ඉහළ දකුණු කෙළවර එකිනෙක ඇලවී තිබුණ බැවිනි. අත්වැසුම් ගලවා පොත කියවන ලෙස කරන ජෝර්ජ්ගේ ඉල්ලීම බැස්කර්විල් ප්‍රතික්ෂේප කරයි. ඇඟිල්ල දිවෙන් තෙමා පොත පෙරළන විට එහි ඇති වස තම ශරීර ගතවීමෙන් මරණය සිදුවීමට හැකි බව ඔහු දනී.

එහෙත් ඒ කොටසෙහි තිබෙන්නේ කුමක් ද යන්න බැස්කර්විල්හි විලියම් විස්තරාත්මක ව ජෝර්ජ් සමඟ පවසයි. පොත නොකියවාම පොතෙහි අඩංගු දේ පැවසීම ඉදිරියේ ජෝර්ජ් විස්මයට පත්වෙයි. තමා එම හැකියාව ලබා ගන්නේ ඇරිස්ටෝටල්ගේ පළමු වෙළුම කියැවීමෙන් සහ මේ පොත මීට පෙර කියැවීමට උත්සාහ කළවුන් තැබූ සටහන් ඇසුරින් බව විලියම් පැහැදිලි කරයි.

එහෙත් ඔහුට ඇති ප්‍රශ්නය නම් මේ පොතේ අන්තර්ගත දේ පිළිබඳ දැනුම අනෙක් පූජකයින් වෙත ළඟාවීම වැළැක්වීම සඳහා ඔවුන් මරා දැමුවේ මක් නිසා ද යන්නයි. ජෝර්ජ්ගේ පිළිතුර වන්නේ හාස්‍යය නැතහොත් සිනහව පිළිකුල් කරනු වෙනුවට මේ වෙළුම මඟින් එය උත්කර්ෂයට නංවා ඇති බව ය. සිනහව යනු මාංශයාගේ මූඪත්වයයි, දූෂණයයි, දුබලකමයි යනුවෙන් ජෝර්ජ් තම පිළිකුල පළ කරයි. එහෙත් හාස්‍ය පිළිබඳ වෙනත් විවරණ ඇති පදනම් තිබියදී ඇරිස්ටෝටල්ගේ මේ පොත ම මැඩලන්නේ මන්දැයි නඟන විලියම්ගේ පැනයට ජෝර්ජ් දෙන පිළිතුර වන්නේ එහි කතුවරයා දාර්ශනිකයකු වීම නිසා බව ය.

එකෝගේ නවකතාව විසින් උසිගන්වනු ලබන වෙනත් මානයක් නම් කෙනෙකු නොකියවා කතා කරන පොත නියම පොතෙහි ආදේශකයක් පමණක් වන බව ය. එහි කියවෙන ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථය තථ්‍ය සමාන වස්තුවකි. (Virtual Object) එය ජෝර්ජ්වත් බැස්කර්විල්වත් ඇත්තට ම කියවා ඇති පොතක් නොවේ. ජෝර්ජ්ට තම දෘෂ්ටිය අහිමි වූයේ බොහෝ කලකට පෙර ය. ඔහු පොත ලෙස දක්වන්නේ වෙනත් අයගෙන් අසා දැනගත් දේවල මතකයයි. හැරත් ඔහු උමතු වූවෙකි.

බැස්කර්විල් පොත ලෙස පෙන්වා දෙන්නේ ඔහුගේ ම හිතලුවකි. එහි ඇති අවිනිශ්චතතාව ඔහු පොතේ අන්තර්ගතය පිළිබඳ කියා සිටින කරුණුවලින් ම පැහැදිලිය. ඒ අනුව මේ මිනිසුන් දෙදෙනා නිසැකවම කතා කරනුයේ එකිනෙකට වෙනස් පොත් දෙකක් පිළිබඳ ව ය. එකිනෙකා කරන්නේ තමාගේම වූ ෙපෟද්ගලික න්‍යාය පත්‍රයකට අනුව පරිකල්පනික වස්තුවක් නිර්මාණය කිරීම ය.

සමකාලීන (නො) කියැවීම් සංස්කෘතිය තුළ රෝසමලේ නම අනුශීලනය විය හැක්කේ කෙසේදැයි දැන් ඔබට වැටහිය යුතුය. පොත් නොකියවා පොත් ගැන කතා කිරීම ගැන කියන්නට පියරේ බයාඩ් (Pirre Bayard) නම් ලේඛකයා පොතක් ම ලියා ඇත. එහෙත් අපේ රටේ පොත් නොකියවා පොත් ගැන කතා කරන්නන්ට ඒ කලාව බයාඩ්ට වුවත් ඉගැන්වීමට පිළිවන.

මේ ඊනියා පොත් කියවන්නන්ට ඒ සඳහා වේලාව තිබෙන්නේ කොහේද? එක්කෝ ඔවුන් තමන් විසින් අටවා ගත් වෙබ් අඩවිවල හෝ බ්ලොග්වල තාවර වෙමින් සිටිති. නැත්නම් මුහුණු පොතට වැදී හිස්ටරික අවකාශයක ඔහේ පාවෙති. එසේ තිබියදීත් ඔවුන් කොළඹ විවිධ සමාජ කණ්ඩායම්වල හමුවීම්වල හෝ මාධ්‍ය සමඟ සිටිනු දුට හැකිය. එහෙත් ඔවුහු අසවල් පොතේ මෙසේ තිබිණැයි වහසි බස් දොඩති. ඔවුන් මෙකියන පොත් කියවූයේ කවර වේලාවක ද? ඇත්ත නම් මේ බොහෝ දෙනෙකු කතා කරමින් සිටින්නේ තමන් නොකියවූ පොත් ගැන බව ය.

මේ තීරුව ලියැවෙන්නේ එකී ඊනියා කියැවීම නැතහොත් නොකියවීම ප්‍රශ්න කරමිනි. යථාර්ථවාදී නවකතාවේ කන්‍යාභාවය ගැන වැලපෙන්නවුන් නොසලකා හරින යථාර්ථයේ ප්‍රබන්ධ මානය (Fictional aspect of reality) මේ නොකියවීම් තුළ යටපත් වන අයුරු විමසීමට ය. එහිදී ෆ්‍රාන්ස් කෆ්කා ගේ සිට මිලාන් කුන්දේරා දක්වා වූ නවකතාකරුවන්ගේ නිර්මාණවල පිළිබිඹු වන යථාර්ථයේ ෆැන්ටසිමානය සේම ඒ පිළිබඳ වූ විවිධ න්‍යායික කියැවීම් ද හමුවීමට අවකාශ සැලැසේ.

සමන් වික්‍රමාරච්චි

Silumina 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...