ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » ලංකාවේ නවකතාවල ෂානරීය විවිධතාව අඩුයි.

ලංකාවේ නවකතාවල ෂානරීය විවිධතාව අඩුයි. 

Fighter1

 

ලියනගේ අමරකීර්ති

 

මෙම වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි කරගන්නා ලද්දේ ‘ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද කුරුලු හදවත නවකතාවයි‘. මෙය ස්වර්ණ පුස්තක උළෙලට පෙරාතුව අමරකීර්ති මහතා සමඟ ලංකා හෙරල්ඩ් කළ සංවාදයකි.

 දෙවනි වතාවටත් ඔබේ නවකථාවක් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන කෘති පහ අතරට තේරී පත් වී තිබෙනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නෙ?

මේ නවකතාව පළවුණේ අටවක පුත්තු ස්වර්ණ පුස්තක අවසාන වටයට ගිහින් අවුරුදු හයකට පස්සෙ. ඒ කාලෙ ඇතුළත හොඳ නවකතාත් හොඳ නවකතා කීපයකුත් බිහි උනා. නවකතා ලියන කෙනෙක් විඳියට මාව අමතක වෙන්න තරම් කාලයක් ඒක. කුරුලු හදවත පළ උනාට පස්සෙ හුඟක් දෙනෙක් ඒ ගැන ලිව්වා. දැන් ස්වර්ණ පුස්තක අවසාන වටේටත් ඇවිත් තියෙනවා. ඒ නිසා කතා කියන්න මට තියෙන ආසාව සහ අවශ්‍යතාවට දිරියක් ලැබෙනවා. අනික අටවක පුත්තු සහ කුරුලු හදවත කියන්නෙ ආඛ්‍යාන කලාව අතින් මාර්ග දෙකක් ගන්නා නවකතා දෙකක්. ඒ දෙකම ප‍්‍රධාන සම්මාන උළෙලවල නියෝජනය වීමෙන් පේනවා නවකතාව යන ෂානරය විවිධ ස්වරූපයෙන් මතුවිය හැකිය යන්න පිළිබඳ විශ්වාසයක් සමාජය තුළ තියෙනවා කියන එක. මෙවර ස්වර්ණ පුස්තක අවසාන වටයෙ තියෙන නවකතා පහම කතා කලාව අතින් අත්හදා බැලීම්වාදියි. ඒකත් හොඳ ලක්ෂණයක්.  

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පිළිබඳව බොහෝ ලේඛකයන් එතරම් ඇල්මක් සහ විස්වාසයක් දක්වන බවක් පේන්න නැහැ. මේ තත්වයට හේතු වෙන්නෙ මොකක් කියලද ඔබ හිතන්නෙ?

ඔබට එහෙම පේනවාද? මට නම් පේන්නෙ  ඕනැවට වැඩි උනන්දුවක් තියෙන බව. ප‍්‍රවීන ලේඛකයො පවා ඒකට බැණ වදින්නෙ ඒක හින්දා නේද? මට හිතෙන්නෙ නවකතා කලාව ගැන විශාල උනන්දුවක් මේ උත්සවේ නිසා ඇති වෙලා තියෙනවා. නවකතා එකසිය ගාණකින් 10ක් හෝ 5 ක් නම් කෙරෙන කොට විශාල ලේඛකයෝ පිරිසකගෙ හිත රිදෙනවා ඇති. හැම අවුරුද්දෙම ඒ තරඟෙට සලකා බැලෙන කෘති සියල්ල ගැන එක ඡේදයක් හෝ බැගින් සටහන් කෙරෙන ප‍්‍රකාශනයක් වාර්ෂිකව පළ කරනවා නම් හොඳයි. එවිට කාටත් දැනෙනවා තමන්ගෙ කෘතිය බරපතළෙට සැලකිල්ලට ගෙන තියෙන බව. එතකොට ඒක පසුකාලීන පර්යේෂකයන්ට පවා පාවිච්චි කළ හැකි ලේඛනයක් වෙනවා.

ලංකාව වගේ රටක ගොතික් නවකථාව ,කොලාජීය භාවිතාව(බොහෝ විට) යන ජෝරයන්(Genres)  භාවිතා වීමක් දක්නට නැහැ. මෙයට හේතුව මොකක් කියලද ඔබ හිතන්නෙ?(ලංකාව තුළ ජෝරයට ෂානර යන වදන භාවිතා වුවද ප්‍රංශ යෙදුම හා ගැළපෙන සිංහල යෙදුම වන්නේ ජෝරයයි-ලියුම්කරු)

 ගොතික් නවකතාව කියන්නෙ යුරෝපීය නවකතා ඉතිහාසයෙ එක් අවධියකදි පහළ වූ ෂානරයක්. ලෝක ප‍්‍රසිද්ධ ගොතික් නවකතාවක් වන මැතිව් ලූවිස්ගෙ ද මන්ක් වගේ නවකතාවක් ගන්නකො. ඒකෙ තියෙන්නෙ ස්පාඤ්ඤයේ කතෝලික පල්ලි ඇසුරේ සිද්ධ වුණ මිනිමැරුම්, ලිංගික සම්බන්ධතා, දේශපාලන බල අරගල, කුමන්ත‍්‍රණ, පලිගැනීම් ආදිය. මධ්‍යකාලීන යුගයෙ විශාල පල්ලිවල ඇතුළ, කන්‍යාරාම, සොහොන් බිම්, උමංමාර්ග, හොල්මන්, වෙස්වලා ගැනීම් වගේ දේවල් හැම ගොතික් නවකතාවකම වගේ තියෙනවා. පස්සෙ කාලෙ ගොතික් ලක්ෂණ සහිත කතා ලියපු අය ඉන්නවා. ඇලන් පෝගෙ සමහර නවකතාවල උනත් ගොතික් ලක්ෂණ තියෙනවා. මුල්කාලීන සිංහල නවකතාවල ඩබ්ලිව් ඒ සිල්වාගෙ වගේ ගොතික් නවකතාව සමහර ලක්ෂණ තිබුණ කියා කියන්න පුළුවන්. දැන් ලංකාවේ ගොතික් නවකතා ලියවෙන් නැත්තෙ ඇයි කියන එක එච්චර අර්ථවත් ප‍්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඔබේ ප‍්‍රශ්නයේ ඇඟවුම වෙන්නෙ ලංකාවෙ නවකතාවල ෂානරීය විවිධතාව අඩුයි කියන එකේ නම් ඒකෙ ඇත්තක් තියෙනවා. අපි විවිධ ස්වරූපයේ නවකතා ලියවෙනවා අඩුයි.

වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සාහිත්‍යයට ලැබිලා තියෙන ඉඩ කඩ ගැන ඔබ මොකද හිතන්නෙ?

එන්න එන්නම ආර්ථික සංවර්ධනය පිණිස යැයි කියන අධ්‍යාපනය වෙත අවධානය යොමු කරනවා. ඒ තුළ සාහිත්‍ය කලාවලට තියෙන ඉඩ අඩුයි. සාහිත්‍ය අධ්‍යාපනයේ වැදගත්කම ගැන කතා කරන අතරම මහජන සංස්කෘතිය තුළ සාහිත්‍ය කලා පරිශීලනය පිණිස උනන්දුවක් ඇති කිරීමත් සිදු විය යුතුයි. අපේ රටේ උනත් විශාල සාහිත්‍ය පාඨක පිරිසක් ඉන්නවා නිල අධ්‍යාපනය තුළදී සාහිත්‍ය අධ්‍යයනය නොකළ. නියම පුරවැසි සංස්කෘතියක් තුළ සාහිත්‍ය කලාවලට ඉඩ තිබිය යුතුයි කියන කතිකාවයි අප වර්ධනය කළ යුත්තේ. ඊට අධ්‍යාපනයත් ඇතුළත්. එහෙම ගත්තම පවුල තුළ දරුවන් ඇති දැඩි කිරීමේදී කියවීම නමැති සංස්කෘතික පුරුද්ද ඇති කරන්න පුළුවන්. ඒ දරුවො පාසැල් අධ්‍යාපනයෙදිත් සාහිත්‍ය ධාරාවේම ඉගෙන ගන්න  ඕනෙ නෑ. සාහිත්‍ය වගේ විෂයක් නිල අධ්‍යාපනය මගින් බලෙන් ශිෂ්‍යයා මත පැටවීමට වඩා හොඳයි කෙනෙකුගේ ජීවන ගමනෙ විවිධ අවස්ථාවලදි ඔහුට හෝ ඇයට සාහිත්‍යය මුණ ගැසෙන්නට සැලසෙන පුරවැසි සංස්කෘතියක් ඇති කිරීම.

  මා කීවොත් ඔබ ජෝෂුවාගේ රටාව අනුගමනය කරමින් අටවක පුත්තු නවකථාව රචනා කළා කියලා. කුමක්ද ඔබේ පිළිතුර වෙන්නෙ?

  මං දන්නෙ නෑ යෝෂුවාගේ රටාව කියන්නෙ මොකක්ද කියලා. අටවක පුත්තු ලියන කාලෙ මං පූර්ණ කාලීනව සාහිත්‍ය අධ්‍යයනය කරමින් හිටියෙ. විවිධ පශ්චාත් යථාර්ථවාදී ආඛ්‍යාන ක‍්‍රම මට ඒ සඳහා බලපෑවා. නමුත් එහිදී ද්විත්ව-විඥානයක් ගොඩ නැගීම කියන කාර්ය අතින් මං කාටවත් ණය නෑ කියලයි මං හිතන්නෙ.

වර්තමානයේ බිහි වූ නිර්මාණ වලින් ඔබ කියවූ හොඳම නිර්මාණ මොනවාදමා අසන්නේ හොඳ යන නිර්ණායකය ඔබට සාපේක්ෂවයි.

හොඳම කියන වචනෙ පාවිච්චි කරන්න තරම් මං සාහිත්‍ය ගැන දන්න කෙනෙක් නෙමේ. මං කැමති නිර්මාණ කීපයක් කියන්න පුළුවන්. පොදු පුරුෂයා, කන්දක් සේමා,

කුරුලු හදවත නවකතාව ලියන්න පදනම වැටෙන්නෙ කොහොමද?

මං ඉස්සර මුවන් පැලැස්ස, මොණර තැන්න, හන්දියෙ ගෙදර අහන්න හුලූ අතු බැඳගෙන ගිය අවසන් පරම්පරාවෙ කෙනෙක්. අපේ ගෙදර තිබුණ රේඩියො එක තාත්තා පොළොවෙ ගහල කැඩුවා. ඊට පස්සෙ අපි අර නාට්ටි අහන්න අපේ ගේ ළ`ග හිිටපු ජෝන් බාසුන්නැහැලගේ ගෙදර ගියා. ඔය කුලියාපිටියෙ දීගල්ලෙ . අපේ අත්තලා කිරි අම්මලත් හ්ම් සද්දයක් නැතුව ඔය නාට්ටි අහනවා. රේඩියෝ එකට ලියන කෙනෙක් දෙන්නෙක් ඔය ගම්වල හිටියා.

 ලංකාවේ ලිබරල් ධනවාදයත් එහි ජීවන විලාසිතාව වන පරිභෝජනවාදයත් පැතිරීම ලංකාවේ ගුවන්විදුලි මාධ්‍යය වානිජකරණය වීමට සමාන්තරයි වගේ මට පෙනුණා. ඊට හේතුව හැත්තෑව අසූව දශකවල ගුවන්විදුලිය පිළිබඳ මගේ මතක. මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය ගුවන්විදුලි රසිකයෙක්. අසූව දශකයේදී ඔහු ගුවන්විදුලිය නම් අවකාශය භාවිත කරනවා එක්තරා ක්ෂුද්‍ර විප්ලවයක් සඳහා. එය ගුවන්විදුලි සංස්ථාව පවා හීනෙන්වත් දැකපු විප්ලවයක් නෙමේ. ඒ තමයි එක්තරා කුලපීඩිත ප‍්‍රජාවකට පිළිගැනීම ලබා ගැනීම. නමුත් මේක කුලය ගැන නවකතාවක් නෙමේ.

ඔහු ඒ වැඬේ කරන්නෙ තමන්ගෙ ගමට කුල ප‍්‍රභූවරුන් විසින් දෙන ලද නම වෙනුවට තමන් කැමති නමක් දීලා ඒක ලංකාව පුරා ප‍්‍රසිද්ධ කිරීමෙන්. ඔහු ඒ සඳහා භාවිත කරන්නේ අසන්නන්ගේ ඉල්ලීම් වැනි වැඩසටහන්. ඒ ක්ෂුද්‍ර විප්ලවය සඳහා ඔහු භාවිත කරන්නේ ගුවන්විදුලිය සහ තැපැල් දෙපාර්තනමේන්තුව වැනි රාජ්‍ය උපකරණමයි. මේ ක්ෂුද්‍ර විප්ලවයේ නායකයා අනූව දශකයෙන් පසු වානිජකරණය වූ රේඩියෝවේ සන්නිවේදකයෙක් වෙන්නට ගොස් තමාම ජයගත් අර ක්ෂුද්‍ර විප්ලවය පාවා දෙනවා. ඔහු ජනප‍්‍රිය ජාතිකවාදයන්ගේත් ජාත්‍යන්තර ධනවාදයේත් ඒජන්තයෙක් වෙනවා. මේ ඒජන්තකම් දෙක අතර කිසිම ගැටුමක් නෑ. මේ වානිජ රේඩියෝවට සංස්කෘතිය කියන්නෙ විකිණිය හැකි දෙයක් මිස තේමාවක් හෝ වර්ධනය කළ යුතු විෂයක් හෝ නෙමෙයි. මේ සංස්කෘතික-දේශපාලන තේමාව පිටුපසින් තවත් තේමා කිහිපයක් වර්ධනය වෙනවා. ගම නමැති සංස්කෘතික අවකාශයේ නියම ස්වරූපය සහ ප‍්‍රතිනිර්මාණිත ස්වරූපය අතර ගැටුම මේකෙන් පේනවා. පරමාදර්ශි පේ‍්‍රමය සහ පරම ආදර වස්තුව කියන්නෙ මොකක්ද වැනි දේවල් සාකච්ඡා කෙරෙනවා. මේ නවකතාව ලියා තියෙන්නෙ ඉතා කෙටි මතකමය ආඛ්‍යායිකා සමූහනයක් විදියට.

අවසාන වශයෙන් අහන්නෙඔබ හිතනවද අද්‍යයතන ලාංකීය සාහිත්‍යය විශ්ව සාහිත්‍යය සමඟ හැම්මෙන්න සූදානම් කියලා?

මෙහෙමයි. හැම රටකම සාහිත්‍යය මගින් කෙරෙන්නෙ ඒ සමාජයේ තියෙන යම් වැදගත් කතිකාවලට සහභාගි වීම. ඒ කතිකාව දේශපාලන වෙන්නත් පුළුවන්. කලාත්මක වෙන්නත් පුළුවන්. ඒ නිසා සෑම නවකතාවක්ම එය ලියවෙන සමාජ-සංස්කෘතිකයට බද්ධ වෙලයි තියෙන්නෙ. ඔය අතර සමහර නවකතා තියෙනවා ඒවගේ සමාජ-සංස්කෘතික සංදර්භය සෑහෙන තරම් ජාත්‍යන්තර වෙන්න ඉඩ තියෙන. ඉංග‍්‍රීසි භාෂාවෙන් ඉන්දියාවෙ ලියවෙන ඇතැම් නවකතා සමස්ත දකුණු ආසියාවටම නැත්නම් ලෝකෙටම ආමන්ත‍්‍රණය කරනවා. ඒවගේම මොන නිශ්චිත සමාජ සංදර්භයක ලියවුණත් විශ්වීය මානව ගැටලූ ගැන අවධානය කරන නවකතාත් තියෙනවා. ආදරය, වෛරය, ආරක්ෂාව පවුල පිළිබඳ හැ`ගීම, මිත‍්‍රත්වය, කැරලිකාරිත්වය යනාදී. මේ ආදී අංග ගැන විශිෂ්ට ආකාරයකින් ගනුදෙනු කරන නවකතාවලට ඒවා ලියවුණු සංදර්භයෙන් පිට ඉන්න පාඨකයන්ටත් යමක් විඳින්න හැකියි. අපි ලතින් ඇමරිකාවෙ නවකතා කියවන්නෙ යට කී මිනිස් ස්වභාවයන් වෙත ඉතාම සංකීර්ණ ආකාරවලිනුත් අවංකවත් ප‍්‍රතිචාර දක්වන නිසා. ඒවගේම අපි ඒව කියවනවා ඒවාගෙන් ඉහළ කතා රසයක් දැනෙන නිසා. අපේ නවකතාවෙන් මෙකී අංග පිළිබඳ යම් විශිෂ්ටතාවක් අත් කර ගන්න පුළුවන් නම් ලෝක සාහිත්‍යය සමග එක්වෙන්න පුළුවන්. යම් දේශයක ලියවෙන කෘතිවලට විශ්වසාහිත්‍යය සමග එක්වෙන්න පුළුවන්ද කියන එක නිර්ණායකයක් විදියට භාවිත කරන එකේ තේරුමක් නෑ. අපේ පළමු ප‍්‍රශ්නය විය යුත්තේ අපේ සමාජය සම්බන්ධයෙන් තීරණාත්මක වගේම විවාදාත්මක කතිකාවකට සහභාගි වෙන්නත් අපේ ජීවිතය සහ ජීවන කොන්දේසි පිළිබඳ වැදගත් අන්තර්දෘෂ්ටීන් සපයන්න අපේ සාහිත්‍යයට පුළුවන්ද කියන එකයි.

සංවාද සටහන

බාසුරු ජයවර්ධන

basurujayawardana@gmail.com

Lanka Herald

 

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...