පෝලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්තෝෆ් කීස්ලොව්ස්කි පිළිබඳ ලාංකේය සිනමා කතිකාව තුළ සාකච්ඡාවට ලක් වන්නේ “Blue” (1993), “White (1993), “Red” (1994) චිත්‍රපට ත්‍රිත්වය හා “Double Life of Veronique” (1991) වැනි චිත්‍රපට අරභයා ය. එහෙත් ඔහු අධ්‍යක්ෂණය කළ “ඩෙකලොග්“ (Decalogue) (1989-90) ටෙලි චිත්‍රපට මාලාව මෙම කතිකාවෙන් මඟ හැරෙන බවක් දකින්නට ලැබේ. එසේ වන්නේ ඇයි? එසේත් නැතිනම් “ඩෙකලොග්“ කතාංග මාලාව නැරඹීම විඩාබර අත්දැකීමක් වන්නේ ඇයි?

පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ “ඩෙකලොග්“ ටෙලි චිත්‍රපට මාලාව ඉතා නීරස බවක් දනවන බව ය. ඒවා ප්‍රේක්ෂිකාව ආකර්ෂණය කරවන ටෙලි චිත්‍රපට නොව ප්‍රේක්ෂිකාව කෙරෙහි ආතතියක් ජනනය කරමින් ඔවුන් ඉන් විකර්ෂණය කරවන බවකින් යුක්ත ටෙලි චිත්‍රපට ය. අධිකාරිවාදී පාලන ක්‍රමයක් තුළ හැඟීම් විරහිත, සීතල, ඒකාකාරී එදිනෙදා ජීවිතය පිළිබිඹු කරවන කතාංග දහයක එකිනෙකට වෙනස් චරිත දහයක් අතාර්කික, තේරුම් ගත නො හැකි ලාලසාවන් (passion) මඟින් එම ඒකාකාරී ජීවිතය බිඳ දමන්නට දරන උත්සාහයන් දහයක් සහ එම උත්සාහයන් ගෙන් පසු ඔවුන් නව අරමුණු පෙන්නුම් කරමින් නැවතත් පැරණි ජීවිතයට ම ඇතුළත් වන ආකාරය නිරූපණය කිරීමක් ලෙස “ඩෙකලොග්“ කතාංග මාලාවේ තේමාව තනි වාක්‍යයකට ලඝු කළ හැකි ය.

ක්‍රිස්තෝෆ් කීස්ලොව්ස්කි අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි චිත්‍රපට මාලාව ප්‍රධාන ධාරාවේ චිත්‍රපට වලින් වෙනස් වන ලක්ෂණ ලෙස ඒවා මඟින් නිරූපණය වන කර්කශ යථාර්ථය හා අනුභූතිඋත්තරභාවය නම් කළ හැකි ය. නිදසුනකට මෙම කතාංග මාලාවේ එක් කතාංගයක (ඩෙකලොග් 10) හැර ඉතිරි කතාංග නවයේ තීරණාත්මක අවස්ථාවල ප්‍රාදූර්භූත වන මුඩු හිසක් සහිත තැනැත්තා (Artur Bacis) කවුද? පොදු පිළිගත් නාමකරණයක් මඟින් ඇමතිය නො හැකි එම චරිතය විටෙක සුරදූතයෙකු (angel) ලෙස ද තවත් විටෙක බෙලහීන නිරීක්ෂකයෙකු (impotent observer) ලෙස ද ඇතැම් තැන්හි අද්භූත මිනිසෙකු (mysterious man) ලෙස ද තවත් තැන්හි දෙවියන්ගේ නියෝජිතයෙකු (agent of the god) ලෙස ද විවිධාකාරයෙන් හැඳින්වෙනු දැකිය හැකි ය.

“ඩෙකලොග්“ කතාංග මාලාවේ නිරූපණය වන අනුභූතිඋත්තරභාවය ප්‍රධාන ධාරාවේ චිත්‍රපට වල මෙන් චිත්‍රපටයේ කතා තේමාවට පාදක වන සංස්කෘතිය තුළ නිරූපණය වන නිරායාස (එනම්, එම සංස්කෘතියට ම අනන්‍ය වූ – මෙහි දී පෝලන්ත සංස්කෘතිය) අත්දැකීමක් ලෙස පිළිබිඹු නො වේ. එමෙන්ම එම අනුභූතිඋත්තරභාවය සෑම සංස්කෘතියකට ම පොදු විශ්වීය ආකෘතියකින් ද යුක්ත නො වේ. එම අනුභූතිඋත්තරභාවය අනෙකුත් චිත්‍රපට වල නිරූපණය වන්නාක් මෙන් අදෘශ්‍යමාන හා වචනයෙන් විස්තර කළ නො හැකි එකක් ද නො වේ. ප්‍රේක්ෂිකාවගේ පැත්තෙන් මෙම අනුභූතිඋත්තරභාවය තමන් සියල්ල දන්නේ ය යන ප්‍රේක්ෂිකාවගේ සර්වඥභාවයේ නො හැකියාව පෙන්වා දෙන අතර කතාංග මාලා පැත්තෙන් එම අනුභූතිඋත්තරභාවය “ඩෙකලොග්“ කතාංග මාලාවට විෂය වන කර්කශ යථාර්ථයේ අභ්‍යන්තර සීමාව ද පෙනෙන්නට සලස්වයි.

එමෙන්ම අප වටහා  ගත යුතු තවත් කරුණක් නම්, මෙම කතාංග මාලාවේ නිරූපණය වන කටුක වාස්තවික යථාර්ථය ද වෙනත් කිසිවක් නොව ආත්මයේ ම අනුභූතිඋත්තර ක්‍රියාව මඟින් නිපදවන යමක් බව යි. එම්මානුවෙල් කාන්ට්ට අනුව ආත්මීය හැඟීම හා වාස්තවික යථාර්ථය අතර වෙනස අනුභූතිඋත්තරභාවය සහිත ආත්මීය ක්‍රියාවේ ම ප්‍රතිඵලයකි. ලැකාන්ට අනුව ස්වාමි හැඟවුම්කාරකය ද වාස්තවික සංකේත යථාර්ථය දරා සිටින ආත්මීය හැඟවුම්කරණයේ මුහුණුවරයි. වාස්තවික සංකේතීය පිළිවෙලින් මෙම ආත්මීය අතිරික්තය ඉවත් කරන විට ම මෙම වාස්තවිකත්වය ද බිඳ වැටෙයි. තව ද අප යථාර්ථය දකින රාමුව මෙන් ම අප සාකච්ඡා කරන අනුභූතිඋත්තර සීමාව ද සකස් කරන්නේ අවිඥානය මඟින් නො තකා ඇති එහෙත් සංකේතීය ව ඒකරාශි වී ඇති දැනුම (unknown known) මඟිනි.

මෙය අප තවත් සරල කර ගන්නේ කෙසේ ද? කාන්ට්ට අනුව විඥානයට ග්‍රහණය වන දේ ප්‍රපංච ලෙස නම් වේ. එයට හසු නො වන, ඉන් මඟ හැරෙන අනුභූතිඋත්තර දේ නිශ්ප්‍රපංචයන් ය. නමුත්, මෙහි දී කීස්ලොව්ස්කි චිත්‍රපට මාධ්‍යයේ සුවිශේෂ හැකියාව භාවිතා කරමින් (නිරූපණය නැමැති ක්‍රියාව මඟින්) එම අනුභූතිඋත්තරභාවය ප්‍රේක්ෂිකාව ඉදිරියට කැඳවයි. එනම්, එය ප්‍රපංචයක් බවට පත් කරයි. ඒ අනුව එය තවදුරටත් නිශ්ප්‍රපංචයක් නොව පොදු ප්‍රපංචමය යථාර්ථයේ ම කොටසක් බවට පත් වෙයි. “ඩෙකලොග්“ කතාංග මාලාවේ නිරූපණය වන යථාර්ථය නීරස එකක් හා විකර්ෂණීය එකක් ලෙස අපට හැඟෙන්නේ එය අප දන්නා සංකේතිය යථාර්ථයෙන් බැහැර කර ඇති, අපට ආගන්තුක, විය නො හැකි ප්‍රපංචයක් (impossible phenomenon) බවට පත් කර ඇති නිසා ය. ඒ අනුව අප වටහා ගත යුත්තේ නිශ්ප්‍රපංචයෙන් අප ව වෙන් කරනු ලබන පරතරය/හිදැස යනු මූලික ව අපගේ ඥාන විභාගයට සම්බන්ධ දෙයක් නොව මෙම කතාංග මාලාවේ ප්‍රධාන චරිත මඟින් නිරූපණය වන ආකාරයට ආචාර ධාර්මික හා ලුබ්ධිමය ක්‍රියා සමඟ සම්බන්ධ වන දෙයක් බව ය. සැබෑ යථාර්ථයක් වෙනුවට මෙහි නිරූපණය වන අනුභූතිඋත්තරභාවය සහිත යථාර්ථය නම් යථාර්ථය යනු කුමක්දැයි හඳුනාගැනීමට සැකසී තිබෙන අපගේ ඉන්ද්‍රියන්ට නුහුරු, දරා ගත නො හැකි ඉතා දරුණු ප්‍රපංචමය දේවල් මඟින් සමන්විත වී ඇති දෙයකි. එබැවින් “ඩෙකලොග්“ කතාංග මාලාව නැරඹීමේ දී සිදු වන ඥානවිභාගාත්මක බිඳ වැටීම යනු ඉහත සඳහන් කළ ආචාරධාර්මික හා ලුබ්ධිමය ත්‍රස්තයෙහි ම ප්‍රතිඵලයකි.

“ඩෙකලොග්“ කතාංග මාලාව ම එක් අතකින් ප්‍රතිකාන්ට්වාදී ලෙස ද නම් කළ හැකි ය. මෙම කතාංග මාලාව මඟින් නිරූපණය වන සුරදූතයා හෝ නිශ්ක්‍රීය නරඹන්නා පූර්වයෙන් ම සියල්ල දන්නා නමුත් රැඩිකල් ලෙස කිසිවක් වෙනස් නො කරන, තීරණාත්මක අවස්ථාවල දී මැදිහත් නො වන බෙලහීන පුද්ගලයෙකි. මෙම සුරදූතයාගේ මැදිහත් නො වීමේ ක්‍රියාව නොහොත් බෙලහීන බව නමැති සාධකය සරල ලෙස මෙසේ සඳහන් කළ හැකි ය. “ඔබට බැහැ, මන්ද යත් ඔබ එය නො කළ යුතු නිසා“ (you can’t because you must not). සුරදූතයා තීරණාත්මක අවස්ථාවල දී මැදිහත් නො වන එම සාධකය නොහොත් බෙලහීනභාවය අප වටහා ගත යුත්තේ ඔහුට ම අනන්‍ය ලක්ෂණයක් ලෙස නොව සෑම “ඩෙකලොග්“ කතාංගයක ම ආචාරධාර්මික ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයාගේ ම බෙලහීන බව හෝ ගැටලුවක් (අනන්‍ය ලක්ෂණයක්) ලෙසින් ය.

මෙවැනි අනුභූතිඋත්තර මානයක් චිත්‍රපටයකට එන්නත් කළ හැකි වන්නේ එම චිත්‍රපටය ආචාරධාර්මික කලාපය නිරූපණය කරන්නේ නම් පමණි. සෞන්දර්යය, සදාචාරය හා යථාර්ථවාදය තුළ තවමත් ලතැවෙමින් සිටින ලාංකේය සිනමාවට සුරදූතයන් පහළ වන්නේ කවදා ද?

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

ඔබේ අදහස කියන්න...