බොහෝ විට මිනිසාගේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් මතු වන විරුද්ධාභාසයක් ඇත. එක පැත්තකින් මිනිස් ලිංගිකත්වය ‘සතුට’ නම් නිෂ්ටාව දෙසට ගමන් කරයි. අනෙක් පැත්තෙන් මෙම සතුට නම් නිෂ්ටාව තුළම අපට දුක හෝ වේදනාව සම්මුඛ වෙයි. මෙම තත්ත්වය පරස්පරයක් ජනනය කරයි. මෙම පරස්පරය ජය ගන්නට මිනිසා දරන වෑයම් අවසන් වන්නේ බොහෝ විට භාවනාවෙනි.

90 දශකය මැද දී ආරම්භ වූ X කණ්ඩායමේ දේශපාලන කතිකාව තුළ ලිංගික විශ්වයේ එතෙක් පැවති ගුප්තමය ස්වභාවය ප්‍රශ්න කරන ලදී. එහි ඵලයක් ලෙස සමාජයෙන් ඊට ආ ප්‍රතිචාරය වූයේ X කණ්ඩායම වූ කලී Sex කණ්ඩායමක් බවයි. මෙම ප්‍රතිචාරය තහවුරු කිරීමට උත්සාහ දරන ලද්දේ ලංකාවේ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යකරුවන්ය. නමුත් 2004 වර්ෂයේදී X කණ්ඩායම ඛණ්ඩනය වූ මොහොතේදී එහි එක් කණ්ඩායමක් නායකත්වයට චෝදනා කරන ලද්දේ X යනු ලිංගික නිදහස මර්ධනය කරන ස්ථානයක් බවත්, එම ස්ථානය පැරීසියේ පැවති පූර්ව-විප්ලවීය සිරගෙයක් වූ බැස්ටීලයට සමක බවයි. මෙය X කණ්ඩායම පිළිබඳ එතෙක් පැවති සමාජ මතයට පරස්පර එකකි. සමාජයේ බහුතර අධිපති මතවාදයට අනුව X කණ්ඩායම යනු පූර්ණ නිදහස් ලිංගිකත්වයක් සහිත එකකි. නමුත් 2004 සංසිද්ධියේදී මතු වූ කාරණය වූයේ එවැනි ලිංගික නිදහසක් එතැන නොතිබුණු බවයි. X තුළ සිටි පැරණි වාම දේශපාලනය තපුල්ලන ලද සමාජවාදියකු මට ගරහන ලද්දේ මෙසේය. “දීප්ති කියන්නෙ නූතන යුගයේ ධර්මපාල කෙනෙක්’’ 2004 වර්ෂයේ සිට අද දක්වා X කණ්ඩායම තුළ පැවති මෙම විරුද්ධාභාසය ගැන කිසිවකු විචක්ෂණ නොවීය. එක පැත්තකින් ‘ලිංගික නිදහස’ පිළිබඳ සටන් පාඨයත්, අනෙක් පැත්තෙන් ‘ලිංගික සදාචාරය’ (ලිංගිකත්වය යම්කිසි ප්‍රමිතිගත සූත්‍රයකින් පාලනය විය යුතුය යන අදහස) පිළිබඳ සටන් පාඨයත් එකම මොහොතේ අනුනාද දෙන යුගයක අද අපි ජීවත් වන්නෙමු. කිසිදු බාහිර මර්ධනයකින් තොරව පවතින ලිංගික සංස්කෘතියක් ගැන එක පිරිසක් උද්ඝෝෂණය කරන අතර තවත් පිරිසක් ලිංගිකත්වයට මර්ධනයකින් තොර පැවැත්මක් නැති බව අවධාරණය කරති. මේ තත්ත්වය න්‍යාය විරෝධයකි. මෙහි දෙපැත්තම නිවැරදි බව අවශ්‍ය නම් කෙනෙකුට ඔප්පු කළ හැක.

90 දශකයට පසු ගෙවී ගිය වසර 20 තුළ කැපී පෙනෙන ලෙස මතු වන නව ප්‍රපංචයක් වෙතට අප අවධානය යොමු කරන්නේ නම් තත්ත්වය මෙසේය. 20 වැනි සියවසේ ආරම්භයේ සිට 80 දශකය දක්වා වූ කෙටි යුගය තුළ (මාක්ස්වාදී ඉතිහාසවේදියෙක් වන එරික් හොබ්ස්බෝම්ට අනුව 20 වැනි සියවස යනු කෙටි සියවසකි. එය 1917 දී රුසියන් විප්ලවයෙන් ආරම්භ වී 89 වර්ෂයේදී බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් අවසන් විය) ‘ලිංගිකත්වයේ ඉතිහාසය’ අපූර්ව ආකාරයක සුසමාදර්ශී තැන් මාරුවකට ලක් විය. 20 වැනි සියවසේ මුල් නවකතාකරුවකු වූ ඩී.එච්. ලෝරන්ස් විසින් සිය ප්‍රසිද්ධ නවකතාව වූ ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ තුළ අවධාරණය කරන ලද්දේ මිනිසා ‘ලිංගික ක්‍රියාව’ (රමණය?) තුළින් කෙතරම් ආශ්වාදයක් විඳින්නේද යන්නත්, ඉන් කෙතරම් විමුක්තියක් අත්පත් කර ගන්නේද යන්නත්ය.

ලිංගික ක්‍රියාව ශාරීරික ක්‍රියාවක් හැටියට අප සලකන්නේ නම් එහි නිෂ්ටාව සාක්ෂාත් වූයේ 68 ශිෂ්‍ය අරගලය හරහාය. සියලුම ආකාරයේ ලිංගික අත්දැකීම් ඒ හරහා අත්හදා බලන ලදී. අද දවසේ ලංකාවේ සිදු වන ඕනෑම ආකාරයේ ලිංගික පර්යේෂණයක් ප්‍රංශ ශිෂ්‍ය අරගලයේ භාෂාවෙන් ගත් කල ඒ ගැන ඇති නොදැනුම තුළ හටගත් ඒවාය. සරලව කිවහොත් පුරුෂාධිපත්‍යය ඉක්මවා ගිය ස්ත්‍රී නිදහස යනුම පුරුෂ ෆැන්ටසියකි. 70 දශකයකට පසු බටහිර යුරෝපයේ වාණිජ සංස්කෘතියේ සංකේත සහ ප්‍රතිරූප බවට පත්වූයේ 68 ශිෂ්‍ය අරගලයේ ප්‍රධාන නළුවන්ය.

ලිංගිකත්වය හෝ ලිංගය සම්බන්ධයෙන් මගේ මතය අනුව මූලික ප්‍රශ්නය වනුයේ 90 දශකයට පෙර හා පසුව අඛණ්ඩත්වය සහ ඛණ්ඩනය පිළිබඳ ගැටලුවයි. මෙහි දී නව තත්ත්වය වටහා ගැනීම සඳහා අල්තූෂර්ගේ ‘ඛණ්ඩනය’ (Break) යන අදහස අදාළ කරගත හැකිය. මෙතනදී අප පෙන්වා දෙන්නේ 77ට පසු සිදු වූ ආර්ථික ඛණ්ඩනය වැනි අදහසක් 90 දශකයට පසුව ‘ලිංගිකත්වය’ තුළ ද පෙන්වා දිය හැකි බවයි. කෙනෙක් මතුපිට පහුරු ගාන්නේ නම් ඩී.එච්. ලෝරන්ස් සහ සයිමන් නවගත්තේගම අතර අවිච්චින්නභාවයක් හඳුනා ගනු ඇත. දෘශ්‍යමානයට අනුව ලෝරන්ස්, සයිමන්, කේ.කේ සමන් කුමාර, චින්තන ධර්මදාස අතර අඛණ්ඩතාවයක් දකිනු ඇත. මින් අදහස් වන්නේ මේ සියලුදෙනාගේ සාරාත්මකය පවතින්නේ ලිංගිකත්වය තුළ බවයි. විවිද ආකෘතීන් පැවතියත් මේ අය ‘ලිංගික ක්‍රියා’ ප්‍රාසාංගිකකරණය කරන අතර එමගින් අධිපති ලිංගික සංස්කෘතිය ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාවේ ලිංගික කතිකාව නිර්ලිංගික දේශපාලනයක් මගින් ප්‍රශ්න කරන ලද ප්‍රථම පුද්ගලයා රොහාන් පෙරේරාය. ඔහු 80 දශකය මැද දී ‘ලිංගික ක්‍රියාවෙන්’ (Sexual activity) ලිංගික තෘප්තිය වෙන් කරන ලදී. අප බොහෝ දෙනා ඔහු මේ වෙන් කිරීම -අවිඥානකව- කරනතුරු මේ වෙනස නොදැන සිටියේය. වසර 20 ක් පුරා තවම ඔහු කරමින් සිටින්නේ එකම ක්‍රියාවකි. ‘තෘප්තියෙන්’ ක්‍රියාව වෙන් කිරීම ඔහුගේ රාජකාරියයි. තවමත් ඔහු එම ක්‍රියාවම කරන බවට ජීවමාන සාක්ෂියක් කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම කෘතිය වූ ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ හි පෙරවදන තුළ සිදු කර ඇත.

”සංසර්ගයට පස්සෙ ඇඳේ ලේ තියනවද කියල බැලීම.”
– පිටුව 13 –

මාර්කේස් සාද් යනු ප්‍රංශ රදළ පන්තියේ සාමාජිකයෙකි. ඔහු කතා කරන්නේ ඉහළ පන්තියේ ලිංගික සංස්කෘතියක් සහ එහි සදාචාරයක් ගැනය. ඔහුගේ නවකතා තුළ ඔහු වැඩිපුර අවධානයට යොමු කරන්නේ ලිංගික ක්‍රියාවටය. මෙය ලෝරන්ස් වෙතට එන විට ද තත්ත්වය එසේමය. නමුත් මෙම තත්ත්වය කේ. කේ. සමන් කුමාර, රොහාන් පෙරේරා වෙතට එද්දි රැඩිකල් ලෙස ඛණ්ඩනය වෙයි. පිරිසිදු නියුරෝසික පුරුෂ හිස්ටෙරිකයන් වන රොහාන්, කේ. කේ. සමන්, සයිමන් වැනි ලේඛකයන් වෙතට එද්දී ලිංගික තෘප්තිය (Sexual Satisfaction) ලිංගික ක්‍රියාවෙන් (රමණය, සංසර්ගය) කතාවට (Speech act) මාරු වෙයි. මෙම නව තත්ත්වයට අනුව මිනිසාට ක්‍රියාවට සහභාගි වීමටත් වඩා කතා කිරීමෙන් තෘප්තිමත් විය හැක. මෙය ලිංගික ඉතිහාසයේ ඛණ්ඩනයකි. එය 77 ආර්ථික පෙරළියට වඩා සමාජ ප්‍රතිවිපාක විද්‍යමාන කරයි.

දීප්ති කුමාර ගුණරත්න

Lankanewsweb

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here