මේ දක්වා ලිංගිකත්වය ගැන අප කළ සාකච්ඡාව කෙටියෙන් සාරාංශගත කළහොත් එහි අදහස මෙසේය. (1) ලිංගිකත්වය දැනුමේ සීමාවට ඔබ්බෙහි පවතින්නකි. (2) ලිංගිකත්වය යථාර්ථයේ සීමාවට ඔබ්බෙහි පවතින්නකි.

මෙම ප්‍රවාද දෙක එක්සත් කළ විට අපට ලැබෙන උත්තරය වන්නේ ලිංගිකත්වය යනු ඉන්ද්‍රිය පිනවීමක් හෝ අර්ථයකින් හෝ ඉලක්කයකින් කෙළවර වන්නක් නොවන බවයි. ඒ අනුව ලිංගිකත්වය අපට සම්මුඛ වන්නේ ලිංගික ඉන්ද්‍රියන්ගේ පරිණත වීමක් තුළ හෝ එම ඉන්ද්‍රියයන්ට සීමා නොවන ප්‍රපංචයක් ලෙස බවයි. සරලව කිවහොත් ලිංගිකත්වය ආශාවට සීමා වීමක් නොවේ. එහි සැබෑ මානය වන්නේ හඹා යාමයි. හඹා යාමක් කෙළවර වන්නේ ඉලක්ක සපුරා ගැනීමෙන් නොව ඉලක්කය මඟ හැරීමෙනි. හඹා යාමක් මගින් සපථ වන්නේ ජීව විද්‍යාත්මක සත්‍යයක් නොවේ. හඹා යාම අදාළ වන්නේ හැඟවුම්කරණ ව්‍යුහයටය. එනම් භාෂා ව්‍යුහයටය. භාෂාව තුළ ඇති ව්‍යුහය නිසා නිෂ්පාදනය වන්නේ අවිඥානයයි. (Unconscious)

මිනිසාගේ අවිඥානය ව්‍යුහගත වී ඇත්තේ භාෂාවක හැඩයෙනි. ඉන් අදහස් වන්නේ කුමක්ද? අවිඥානය පිළිබඳව අපට ඇත්තේ අගතිගාමී අදහසකි. එම අදහසට අනුව අවිඥානය යනු අපගේ රහස් අඩංගු පෙට්ටියකි. එය අපගේ මර්ධිත ආශාවන්ගේ සහ හැඟීම්වල තටාකයකි. මේ අදහස ලැකාන්ගේ අදහසට අනුව වැරදිය. එසේ නම් අවිඥානය නිර්වචනය කළ හැක්කේ කෙසේද?

අවිඥානය අප වෙත ළඟා වන්නේ අපෙන් පිටත පවතින ලෝකයෙනි. එනම් අපගේ අනෙකාගේ ලෝකයෙනි. අපගේ අවිඥානය සකස් වන්නේ අපගේ අනෙකා කතා කරන සහ පාවිච්චි කරන භාෂා ව්‍යුහයෙනි. අවිඥානය කෙටියෙන් හඳුන්වනවා නම් එය බාහිරින් අපව ආක්‍රමණය කරන ජීවමාන ප්‍රපංචයකි. අවිඥානය අපට එන්නේ පිටතින් බව නිදර්ශනය කිරීම සඳහා අප සංයුක්ත උදාහරණයකට යමු.

සිංහල භාෂාව කතා කරන්නා තම අනෙකාව (තම සංස්කෘතිය) සලකන්නේ අභ්‍යන්තරික අමිශ්‍ර දෙයක් ලෙසය. සිංහල සංස්කෘතියේ මහා අනෙකාට අනුව එය අවිහිංසාවාදය අනුව සකස් වූවකි. ඒ තුළ දරුණු හිංසාකාරී පැවැත්මකට ඉඩ නැත. සිංහල සංස්කෘතියේ අපූර්ව නිර්මාණයක් වූ රෝහණ විජේවීරට අනුව ද සිංහල – බෞද්ධයා අහිංසක කරුණාවන්ත මිනිසෙකි. 87 – 89 යුගයේ දී විජේවීර තම දේශපාලන විප්ලවය ආරම්භ කළ විට එය පදනම් වූයේ මෙම අභ්‍යන්තරික අදහස පෙරදැරි කරගෙනය. 87 – 89 යුගයේ ඔහු තම දේශපාලන විරුද්ධවාදියාට පහර දුන්නේ, එහි ප්‍රතික්‍රියාව ගැන සිංහල – බෞද්ධ පූර්ව අගතියක පැටලීමෙන් අනතුරුවය. එනම් සිංහල – බෞද්ධයාට කාර්යක්ෂම මිනී මරණ යන්ත්‍රයක් වීමට නොහැක යන පූර්ව අගතියක සිට විජේවීර 87 – 89 අරගලය මෙහෙවන ලදී. නමුත් අරගල ක්‍රම ක්‍රමයෙන් ඇදී යන විට හමුදා සොල්දාදුවන් මිනිසුන්ගේ බෙලි කපා රිටිවල ගසා මහජනයාට ප්‍රදර්ශනය කරමින් සහ මහමඟ ටයර් දමා මිනිසුන් පුච්චා දමන විට විජේවීර සහ ගමනායක සිංහල – බෞද්ධ සංස්කෘතියේ අභ්‍යන්තර සාරය පිළිබඳව මනා වැටහීමක් ලබා ගත්තේය. 89 වර්ෂය අග වන විට නිර්මල සිංහල – බෞද්ධ සංස්කෘතිය විසින් විජේවීර ඇතුළුව හැටදහසක පමණ මිනිසුන් ප්‍රමාණයක් කෘෘර ලෙස විනාශ කරන ලදී. විජේවීරගේ විනාශයට තුඩු දුන්නේ සිංහල – බෞද්ධ සංස්කෘතියේ සාරය ඇත්තේ එහි අභ්‍යන්තරය තුළ යැයි නිගමනය කිරීම නිසාය. ඒ යුගය අවසානය සමග වාර්ගික අධ්‍යයනය පිළිබඳ පශ්චාත් – උපාධි පර්යේෂණයකට පැමිණි සමාජ-විද්‍යාඥයකු වූ බෘෘස් කෆ්රේ ද විජේවීරගේ අගතියට (ෆැන්ටසියට) ඇතුළු විය. සිංහල – බෞද්ධ සංස්කෘතික නිර්මිතය තුළම ඇති අනෙකාට කෘෘර වදහිංසා පැමිණවීමේ මූලය සෙවීම සඳහා කෆ්රර් විසින් පර්යේෂණ විධික්‍රමයක් නිෂ්පාදනය කළ අතර එහි නිගමන සටහන් ද පසුව ඔහු ප්‍රකාශයට පත් කරන ලදී. සමාජ – විද්‍යාත්මක අර්ථයෙන් ගත් විට ඔහුගේ සොයා ගැනීම ශාස්ත්‍රීය වශයෙන් අපූර්ව එකක් විය.

ඔහුට අනුව සිංහල-බෞද්ධයාට මෙලෙස අනෙකාට කෘෘර වධ බන්ධන පැමිණවීමේ ශක්‍යතාව එන්නේ පුරාණ විහාරවල බුදුගෙය තුළ පිහිටා ඇති පැරණි දඬුවම් ක්‍රමවලට අදාළ චිත්‍ර සහ මූර්ති හරහාය. කුඩා කල සිට බුදු ගෙවල්වලට පිවිසෙන සිංහල-බෞද්ධ සුහුඹුලා මෙම චිත්‍ර සහ මූර්ති අභ්‍යන්තරීකරණය කර ගනියි. එහි ඵලය වන්නේ වැඩිහිටි වියේදී පලිගන්නා මානසිකත්වයක් බිහි වීමත්, අනෙකාට හිංසා කිරීමෙන් ප්‍රීති වීමටත් ඉගෙන ගැනීමයි. බෘෘස්ගේ මෙම සමාජ-විද්‍යාත්මක ප්‍රවාදයට 90 දශකය තුළ ශ්‍රී ලංකාවේත්, ඉන් පිටත ශාස්ත්‍රීය කව තුළත් මහත් බලපෑමක් සිදු කළේය. බෘෘස් කෆ්රර්, රෝහණ විජේවීර, ගණනාථ ඔබේසේකර වැනි දේශපාලන සංවේදීතාවයන් සහිත බුද්ධිමතුන් සිංහල-බෞද්ධයාගේ ‘අවිඥානය’ පිහිටා ඇත්තේ එම සංස්කෘතියේම අභ්‍යන්තරය තුළය යන අදහස මත ක්‍රියාත්මක වූවන්ය. මෙම න්‍යායික වැරදි අදහස නිසා විජේවීර කොළඹ කනත්තට ගමන් කරන ලදී. 2009 වසරේදී නන්දිකඩාල්වලදී සිංහල-බෞද්ධ සංස්කෘතිය යළිත් තම කෘෘරත්වය (මේ සඳහා වීඩියෝ සාක්ෂි ද පවතියි) ලොවට විදහා පෙන්වන ලද අතර එහි ගොදුර වූයේ ප්‍රභාකරන්ය. අද වනතුරු කිසිදු ශාස්ත්‍රීය බුද්ධිමතකු බෘෘස් කෆ්රර්ගේ ප්‍රවාදයේ විසංවාදය මතු නොකරන ලදී.

එසේ නම් අනෙකාට එරෙහි (දෙමළා, මුසල්මානුවා, ස්ත්‍රිය සහ සමලිංගිකයා) සිංහල-බෞද්ධ කෘෘරත්වය එන්නේ කොහෙන්ද? යුද සමයේ උතුරු ප්‍රදේශයේ හමුදා සෙබලුන් විසින් මිනිස් සංහතියට එරෙහිව පළ කළ කෘෘරත්වය ඔවුන් ඉගෙන ගත්තේ කොහෙන්ද? වෙනත් වචනවලින් කිවහොත් සෙබලුන් කෘෘර වධහිංසාවන් ප්‍රාසාංගිකව දකුණු ප්‍රදේශයේ ජනයා වෙනුවෙන් ඉටු කරන ලද්දේ කුමන අන්තර්ගතයක් හේතුකොටගෙනද? ඔවුන්ට එය පැමිණියේ බටහිර සිනමාවේ යුද චිත්‍රපටවලිනි. බිහිසුණු අපරාධ කරන්නට ඔවුන් උගත්තේ බටහිර හොලිවුඩ් චිත්‍රපටවලිනි. ඒ අනුව සිංහල-බෞද්ධයාගේ අවිඥානක ආශාව සොල්දාදුවා උපුටා ගන්නේ පන්සල්වල බිත්ති චිත්‍රවලින් නොව බටහිර සිනමාවෙනි. විශේෂ කාර්ය බලකාය යනු බටහිර සිනමාවේ අග්‍රඵලයකි. මිනිසාට අවිඥානය එන්නේ පිටතින් යන ප්‍රවාදය අප මුලින් ඉදිරිපත් කළේ මේ නිසාය.

Deepthi Kumara Gunarathne

Lankanewsweb

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔන්න ලංකාවේ ‘වමේ භුමිය’ ගැන නිවැරදි දැක්මක් එන හැරවුමක් …. වසර තිහක් නොතේරුණු මේ දේ දැන් අපි මතුකරලා තියෙන්නේ. බලමු දැන් මෙතන ඉදල වමේ කට්ටිය මොකද කියන්නේ කියල ..

Comments are closed.