වර්තමානය අප ගතකරන්නේ ශූන්‍යතාව තුළ පොරොත්තු වෙමිනි; නිශ්චිත වාමවාදී අනාගතයක් පිළිබඳව නිශ්චිත සිහින නොදකිමිනි. රුසියාව සහ චීනය ධනවාදය දෙසටත්, පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර ජාතිවාදය දෙසටත් කියුබාව සහ තවත් එවන් රටවල් බලාපොරොත්තු රහිත අනාගතයක් දෙසටත් අපගමනය වන විට 2000 දශකය ආරම්භ වන්නේ වාමවාදය පිළිබඳ කිසිඳු සිහිනයක් ඉදිරිපත් නොකරමිනි. මේ නිමේෂය යනු, පරමාදර්ශ අර්ථකථනය කිරීම කෙසේ වෙතත් පරමාදර්ශ වාමවාදයේ අර්ථයෙන් සම්පූර්ණයෙන් අහෝසි වි යන මොහොතකි. ඉඳින් අපි මේ මොහොතේ කළ යුත්තේ කුමක් ද? වමේ සියල්ල වෙළෙඳපොළ විසින් ගිලගනු ලබන මොහොතේ වමේ කාර්ය කෙබඳු විය යුතු ද? සියල්ල වෙළෙඳපොළ විසින් අවශෝෂණය කරගන්නා නිසා ම අපි සියල්ල අත්හැරි දැමිය යුතුද? නැත… කිසිසේත්ම නැත… එසේ අත්හැර දමන නිමේෂය යනු ‘පරාජයේ නිමේෂය’ යි.
වෙළෙදපොළ යථාර්ථය තුළ ම අපිට යම් විමුක්ති සඥාවක් නිපදවිය නොහැකිද යන්න අපි විමසා බැලිය යුතුය. මේ සඳහා වාමවාදී කඳවුර තුළ ම අත්හදා බැලු උදාහරණ තිබේ. රෝලන්ඩ් බාත් ‘පිටස්තරයා’ නවකතාව ඇසුරෙන් මෙම සඥා බුර්ෂුවාකරණය වීම සම්බන්දයෙන් මෙසේ කියයි.
ඇල්බෙයා කමු ගේ යම් ‘නිෂ්ක්‍රීය රචනාවක්’ (neutral writing) තුළ ට බුර්ෂුවා වටිනාකම්වලට සහ එම සදාචාරයට රිංගිය හැකිද යන්න ඔහු විමසයි. (කියවන්න Pleasure of the Text කෘතිය). සාත්රේ (Satre) විසින් යෝජනා කරනු ලබන ‘ඛණ්ඩ රචනා ශෛලිය’ විසින් බුර්ෂුවා සඥා රචනාව තුළට අවශෝෂණය වීම වැළකිය හැකි බව ඔහු පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස ‘පිටස්තරයා‘ නවකතාවේ මර්සෝ විසින් භාවිතා කරන භාෂාව තුළ ඇති සුවිශේෂ ලක්ෂණය නම් තම සෘජු සංවේදන පමණක් භෞතික ලෙස ප්‍රකාශ කිරීමයි.
‘ මම හිටියේ මරිගේ බඩටඔළුව තියාගෙන ඇගේ තන් දෙක අතගාමින්’
(මගේ) (සියුමැලි) (ලස්සන)
‘මගේ’ (මරි) නම් බුර්ෂුවා පවුල් අයිතිය (වෙළෙඳපොළ වැඩියෙන් පාවිච්චි කරන්නේ පවුල යි), ‘ලස්සන’ (තන්) නම් ව්‍යාජ අලංකාර, ‘සියුමැලි’ (බඩට) වන් පෙළඹවීම් කමුගේ ලේඛනය තුළ දක්නට නොලැබෙන (ශුන්‍ය) අතර එවන් යෙදුම් සඳහා කමුගේ ‘ඛණ්ඩ – නිෂ්ක්‍රීය’ (fragmented and neutral) මෙන්ම ‘ශුන්‍ය ලේඛනය’ (zero degree writing) තුළ අවකාශයක් ද නැත. එසේ යම් විදියකින් එවන් යෙදුම් ඇතුළත් කළොත් සමස්ත නවකතාව ම බිඳවැටෙන බව බාත් නිරීක්ෂණය කරයි. මෙම ‘ශුන්‍ය ලිවීම’ තුළ යම් නිර්-බුර්ෂුවාකරණ (de-bourgeois) ලක්ෂණ දක්නට ඇති බව බාත් ප්‍රකාශ කළ ද එය බෙන්ජමින් සඳහන් කරන කතුවරයාගේ නිර්පාක්ෂික ලේඛනය සමඟ පරස්පර විය හැකිය. නමුත් ඔහු සඳහන් කරන පන්ති පක්ෂපාතිභාවය නම් මෙම ශුන්‍ය ලේඛනය තුළ මැනවින් දක්නට ඇත. (කියවන්න ‘පිටස්තරයා නවකතාවේ ශුන්‍ය රචනා ශෛලිය තුළ ඇති නිර්-බුර්ෂුවාකරණ ශක්‍යතාවය මැන බැලීම’ (2010) නම් ලිපිය). මෙම තත්වය සිහිතබා ගනිමින් ම අප මෙලන්කොලියාව නිර්වචනය කරගැනීම ආරම්භ කරමු.
ඉහත සියලු ලක්ෂණ තිබියදීත් ‘පිටස්තරයා’ නවකතාව අද දවසේ සියලු ආකාරයේ බුර්ෂුවා ලක්ෂණවල බලපෑමට නතුවී ඇති බව වාස්තවික ලෝකය දෙස බැලූ විට දැකගත හැකිය. ඇකඩමියාව තම බුර්ෂුවා බුද්ධිමතුන් බිහිකිරීමේ කාර්යය සඳහා එය තම විෂය නිර්දේශ තුළට ඇතුළු කරගෙන උදේ දිවා පතුරු ගසයි. එම නවකතාවේ භාෂා භාවිතාව ගැන කියා දෙයි. සිසුන් එම භාෂා භාවිතාව ඉගෙන ගෙන එම දැනුමින් ම පසු ජාතික විකුණුම් ජාලාවල වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරයි. අනෙක් පැත්තෙන් බුර්ෂුවා විචාරකයන් තමන්ට කැමති කැමති අයුරින් එය කලින් කලට තලුමරයි. ඒ සැමටම වඩා එක එක ප්‍රකාශකයින් එය එක එක මාදිලියේ පිටකවර දමා වෙළඳ පොලට විසිකරයි. පරිවර්තකයෝ තමන්ට කැමති කැමති ලෙස එය පරිවර්තනය කරයි. අර්ථකථනය කරයි. මේ සියලු දේවල අවසානයක් නැති මුත් මෙම නවකතාවේ නිර්-බුර්ෂුවා (බුර්ෂුවා විරෝධී මානව සම්බන්දතා කලාපය) අන්තර්ගතය කිසිඳු නිර්ධන පන්ති ව්‍යාපාරයක් විසින් තම අරගලය තුළට අවශෝෂණය කරගන්නේ නැත. එයට හේතුව නම් එක් අතකින් නිර්ධන පන්ති ව්‍යාපාර පවා බුර්ෂුවා සහ වික්ටෝරියානු වටිනාකම්වල අවිඥානික ගොදුරු වී තිබීම සහ එසේ නොණ ද ඒ සඳහා වන විචාර ක්‍රමවේදයක් ඔවුන් විසින් නිර්මාණය කරගෙන නොතිබීමයි. අනෙක් අතින් නොසැලකිල්ල සහ හැදෑරීමට ඇති නොකමැත්තයි. එමෙන්ම අතීත රතු විප්ලවයේ උරුමය ගැන ඇති අහංකාර පරවශ බවයි. ඉදින් තමන්ට කිසිවක් අහිමි වී ඇති බව (loss) සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාර විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප (disavow) කරන්නේ නම් එවිට මේ කිසිදු විචාරයකින් පලක් වේද? ඇතැමුන් තම අහිමිවීම පිළිගත්ත ද අහිමි ඇත්තේ කුමක්ද යන්න නොදනී. මෙම තත්ත්වය මෙලන්කොලියාවේ ආරම්භයයි.
සත්‍යයවශයෙන් ම මෙලන්කොලියාව නමැති මනෝවිශ්ලේෂීය තත්ත්වය උද්ගතවන්නේ කුමන මොහොතේ දී ද? ධනවාදයේ සීඝ්‍ර වර්ධනය සහ එහි අධිවේගී ජය මාවත මෙලන්කොලියාවේ ආරම්භය නොවේ. එම ජයග්‍රහණය එක් තත්ත්වයක් පමණි. මෙලන්කොලියාව ආරම්භ වන්නේ ‘ධනවාදයේ ජයග්‍රහණය නිසා වාමාංශිකයන් ස්වරූපරාගී ලෙස තම පැරණ වාමවාදයේ ප්‍රාණය නිරුද්ධ මළකුණකට ආදරය කිරීම’ නම් තත්ත්වය හේතුවෙනි. Mourning and Melancholia (1917) නම් සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ නිබන්ධනයට අනුව අහිමි වීම නිසා ශෝක වීම උපදින මුත් එය මනෝවිශ්ලේෂී අර්ථයකින් ප්‍රතිකාර අවශ්‍යය කරන තත්ත්වයක් නොවේ. (පිටුව 243)
ශෝක වීම තම ආදරණීයකුගෙන් වෙන්වීම නිසා හටගනියි. එසේ නැතිනම් එලෙස ආදරය කළ දෙයක් අහිමි වීම වියුක්ත තලයක දී සිදුවිය හැකි ය. උදාහරණ වශයෙන් නිදහස (Liberty) අහිමි වීම, යම් පරමාදර්ශයක අහිමි වීම බඳු වියුක්ත යමක් ඉහත ආදරණීයයාගේ අහිමි වීම නම් ස්ථානයට ආදේශ විය හැකි ය. සාමාන්‍යයෙන් විශාල අහිමි වීමක් (grave loss) විසින් ශෝක වීම යන්න ජනන කළ හැකි වුවත් මෙය රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වන්නේ කෙසේද යන්න වැදගත් මනෝවිශ්ලේෂී මානයකි. මන්ද අද්‍යතන වාමවාදයේ අහිමි වීම අපි පිළිගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නිසා අපිට සිදුවී තිබෙන්නේ එහි මළකුණට ප්‍රේම කිරීමට වීම අපි වහාම වටහා ගත යුතු තත්ත්වයකි. අපි මීට පෙර දිගින් දිගට ම ‘විසිවන සියවසේ වාමවාදය අවසන්’ යැයි අපි පිළිගත යුතු බව කියා සිටියේ මෙම විෂාදි තත්ත්වයෙන් ගොඩ ඒමට ලාකික පැරණි වමට තවමත් නොහැකි නිසා ය. මෙය ඉතා වැදගත් ජිජැකියානු ස්ථාවරයකි.
අහිමි වීම (Loss) යනු කාලයත් සමඟ ම පෞරුෂයක් විසින් ඒත්තු ගන්වනු ලබන්නක් නම් මනෝ විශ්ලේෂණයේ මැදිහත් වීම සහ ප්‍රතිකාර නිර්දේශ කිරීම අවශ්‍ය නොවේ. නමුත් යමෙක් දිගින් දිගටම එම අහිමිවීම ප්‍රතික්ෂේප කරමින් මළකුණට ආදරය කරන්නේ නම්, එවිට එම පෞරුෂයට හානියක් වන බැවින් ප්‍රතිකාර නිර්දේශ කෙරේ (refer to medical treatment). ඒ පිළිබඳව ප්‍රොයිඩ් මෙසේ කියයි.
‘‘මෙලන්කොලික පෞරුෂයක සුවිශේෂ මානසික ලක්ෂණය නම්, ඉතාම ගැඹුරින් ඇති වේදනාත්මක කලකිරීම යි, බාහිර ලෝකය පිළිබඳ ඇති හැඟීම නතරවීම යි, ආදරය කිරීමට ඇති හැකියාව හීන වීම සහ ආත්ම ගෞරවය පිළිබඳ හැඟීම වඩා ක්ෂය වීම යි. (පිටුව 244)”
මායාමය තත්ත්වයකට පත්වෙන මෙම චරිතය විසින් ස්වයං දඬුවම්කාරී ලක්ෂණ ප්‍රකට කරයි යනුවෙන් පෙන්වා දෙන ප්‍රොයිඩ් ශෝකී වීමේ දී ද මිනිසා තම ආත්ම ගෞරවය අමතක කරන බව සඳහන් කරයි. ගැඹුරු ම ශෝකී වීමේ දී ද තම ආදරය කරන්නාගේ වෙන්වීමේ දුක පිළිබඳව මානසික තත්ත්වය තුළ දී බාහිර ශෝකය පිළිබඳ ආශාව අහෝසි වි යයි (සාමානයයෙන් මළ ගෙදරකදී ශෝක වීම යන ක්‍රියාව බාහිර අයගේ නිරීක්ෂය තිබුණ ද නැතද යන්න සැලකිල්ලට නොගෙන යථාර්ථයෙන් ඉවත්ව කරන ක්‍රියාවකි). එනයින් බාහිර ලෝකයේ වෙනත් ආශා වස්තුවක් මගින් තමාට අහිමි වූ වස්තුව (ඔහු/ඇය) විතැන් (replace) කිරීම නම් සාමාන්‍ය තත්ත්වය ශෝකී මනෝභාවය සහ මෙලන්කොලියාව යන තත්ත්ව දෙකට ම පොදුවේ බලපායි.
තමා මෙතෙක් ආශා කළ ආශා වස්තුව මින් මනත නොපවතින හෙයින් මෙතෙක් එම වස්තුව සමඟ බැඳුණු ලිබිඩෝ ශක්ති සියල්ල එනයින් එම වස්තුවෙන් ඉවත් කරගත යුතු වේ. (All the libido shall be withdrawn from its attachments to that object). නමුත් යථාර්ථයේ අපි දන්නා තත්ත්වය නම් ප්‍රොයිඩ් ඉහත නිවැරැදිව සදහන් කරන පරිදි, මිනිසුන් කිසිදා තම ආශාව එමඟ බැඳුණ ලිබිඩෝ තත්ත්ව ස්ව කැමැත්තෙන් නතර නොකරන බවයි. බෞද්ධ සාහිත්‍යයේ උදාහරණයක් වෙත යොමු වුවහොත් කිසාගෝතමී කතා වස්තුවේ කිසාගෝතමී තමා මෙතෙක් ආදරය කළ ශක්තිය (කිරි දීම, උණුසුම් කිරීම, ගර්භනී වීම, දරුවා බිහිකිරීමේ ප්‍රයත්නය) තම දරුවා නම් වස්තුව නැති වූ මොහොතේ (The moment of loss) වහාම නතර කළේ නැත. අවසානයේ බුදුන් වහන්සේ විසින් එවන් තවත් අහිමිවීම් ගණනාවක් පෙන්වා දී (කිසිවෙක් නොමරුණ ගෙයකින් අබ සෙවීම) කිසා ගෝතමියගේ මායා තත්ත්වය භාෂා විශ්වය තුළ විසංයෝජනය කරන තෙක් ඇය ඇය මළකුණ කරගසාගෙන ඔබ මොබ දුවමින් උන්නා ය. මෙම කතා වස්තුවේ කිසාගෝතමිය නැවත සුවපත් වන්නේ ‘යථෙහි ප්‍රතිවිරෝධය’ (antagonism in the Real) එනම් ‘ව්‍යුහාත්මක හේතුව’ (structural causality) බුදුන් වහන්සේ හරහා අවබෝධ කර ගැනීමෙනි. පැවතීම (ජීවිතය) සහ නොපැවතීම (මරණය) අතර වෙනස ට අමතරව ඇති විමුක්තිය පිළිබඳ මාර්ගය පෙන්වා දීම සඳහා බුදුන් වහන්සේට උපකාරී වුවේ ඇය තුළ ම තිබු හිස්ටරිකයා ගේ කතිකාව තුළ පවතින සාර්වත්‍රික ස්වාමි හැඟවූම පිළිබද විශ්වාශයයි. එම විශ්වාසය විසින් ඇය ආශා වස්තුවේ ලිබිඩෝවෙන් මානසික අවකාශය ට ගමන් කර, සසුන් ගතවී (ව්‍යුහයට ඇතුළු වී) අන් අයට ද එම විශ්වාසය කියා දෙන්නියක් බවට පත් වුවාය.
ප්‍රොයිඩ් පවසන්නේ මෙම විතැන් කිරීම ඇතැම් විට වෙනත් විකල්පීය ආශා වස්තුවක් තිබිය දී පවා මිනිසුන් නොකරන බවයි. එනිසා මිනිස් ශිෂ්ටචාරයේ තවත් අපුරු දෙයක් බිහිවේ. මිනිසා තම ආශා ලිබිඩෝ වේ ම එල්බ ගනිමින් සිටීම නිසා සහ විතැන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා පෙරුම් පුරණ ආදරය බිහිවෙයි. නමුත් එම තත්වය මායාවකට (delusion) ගමන් කරයි නම්…?
එසේ මිනිස් විෂයය විසින් තදින් ම වැලඳ ගන්නා තම අහිමි වස්තුව පිළිබඳ ව ආශාව යථාර්ථයෙන් මිදී මෝහන මාධ්‍යයක් ඔස්සේ මෙන් සයිකෝටික ලෙස බලාපොරොත්තු දල්වාගනී (wishful psychosis). මිය ගිය වම පිළිබඳව බොහෝ වාමාංශිකයන් තුළ ඇත්තේ මෙවන් බලාපොරොත්තු සහගත සයිකෝසික තත්ත්වයකි. ඔවුන් එනිසා කියන්නේ කිසිදා තමන්ට ‘ආපසු හැරිය නොහැකි’ බවයි. පශ්චාත් නූතන තත්ත්වයක් තුළ යථාවේ පරස්පරතාව මගහරින ඔවුන් (යථාර්ථයේ ඇති සත්‍යය අහිමි වීම පිළිගැනීම) නැති වු අහිමි වීමක් නැවත අත්පත් කරගැනීමට වඩා ‘කිසිවක් නැති වී නැති බව’ නම් මායාවේ දිවි ගෙවයි. (අතීතය පිළිබඳ නොස්ටැල්ජික ජාතිවාදයටත් වඩා මෙය භයානක ය.) චාල්ස් වේල්ස් (Charles Wells) නම් ජිජැකියානු විචාරකයාගේ The Subject of Liberation කෘතියේ ‘පැරණි වමේ ගැටලුව’ (The Old Leftist Problem) නමින් හැඳින්වෙන්නේ මෙම අනුරාගික බැඳීම (Passionate Attachment) තුළින් උපදින මිනිසාගේ සයිකෝටික ගැටලුවයි. තව දුරටත් පවසන්නේ නම්, විමුක්තියේ ගාමක ඒජන්තයා වන කම්කරුවා නම් රුපකයේ මියයාම (වැඩ කරන පන්තියේ බලය නිර්-නෛතිකකරණය) හේතුවෙන් එම ස්ථානයට ‘බලහත්කාරය’ ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ ඓතිහාසික සයිකෝටික ස්ථානය (මෙම බලහත්කාරය ස්ත්‍රීවාදය විසින් නැවතත් ඓතිහාසිකව වැරදියට කියවනු ලබයි.) වමේ ප්‍රොබ්ලමැතිකය වශයෙන් වේල්ස් හඳුනාගනී. (පිටු 26, 27) දැන් අපිට ස්ටාලිනියානු දේශපාලනයේ තර්කය පැහැදිලි විය යුතු යැයි හැඟෙන්නෙමි.
අතිතයේ අපගේ ආශා වස්තුව සමඟ පැවති සැම ස්මෘති නිමේෂයක ම ලිබිඩෝ ශක්තිය විමෝචනය වීම ඔස්සේ පුද්ගලයා සාමාන්‍ය යථාර්ථයට පැමිණේ. එවිට ශෝක වූ තැනැත්තා මෝහනයෙන් යථාර්ථයට පැමිණි පසු ඔහුගේ අහම (Ego) සුවපත් වේ. මෙලන්කොලික පෞරුෂය මීට සමාන හැසිරිම් රටාවක් පළ කළ ද මෙලෙන්කොලික රෝගීභාවය විසින් නැති වූ තැනැත්තා (Whom he has lost) පිළිබඳව සවිඥානික වුව ද එම තැනැත්තාගේ ‘නැති වූ දෙය’ (what he has lost in him) වෙනත් වචනයකින් පවසන්නේ නම්, නැති වූ තැනැත්තා තුළ ‘තිබූ දෙය’ පිළිබඳව සවිඥානික නොවිය හැකි ය යන්න ප්‍රොයිඩ් පෙන්වා දෙයි. (පිටුව 245). ඒ අර්ථයෙන් ශෝක වන්නා ‘නැති වූ දෙය’ පිළිබඳ සවිඥානික කළ හැකි වුවත් මෙලන්කොලිකයා නැති වු දෙය නොදන්නා බැවින් ‘නැති වීම නම් තත්ත්වය පිළිබඳව සවිඥානික කළ නොහැකි ය. මන්ද නැති වූ දෙය (Object – loss) යන්න සවිඥානිකයෙන් ඉවත් වී ඇති දෙයක් වන හෙයිනි.
නැති වූ දෙය නොදන්නා බැවින් මෙලන්කොලිකයා ‘නැති වූ බව’ ප්‍රතික්ෂේප කරයි. (Disavow) එනයින් මෙලන්කොලියාව යන්න අර්ථකථනය කළ හැකිවන්නේ ‘වරක් ආදරය කළ සහ පසුව නැති වූ යමක් නැවත අත්පත් කර ගැනීමේ ආශාව පිළිගැනීමට ප්‍රතික්ෂේප කරන්නා’ යන ආකාරයෙන් ය.‘කොමියුනිස්ට් පුකාශනය’ සහ එකී පොරොන්දු මනෝරාජිකය වාමාංශික අර්ථයෙන් අපිට අහිමි වී තිබේ. එය අපි ආශා කළ දෙය යි; අපගේ ශක්තිය වැය කළ දෙයයි; මිලියන ගණනක ගේ ජිවිත වැය කළ දෙයයි. ඒ වෙනුවට අපගේ මනෝරාජිකය තුළ අද දවසේ පවතින්නේ වෙළෙඳපොළ ධනවාදය යි. අපගේ ලිබිඩෝ ශක්තිය වැයවෙන්නේ ඒ ධනවාදය දෙසටයි. අපි විවාහ ගිවිසගෙන සිටි ඇය දැන් වෙනකෙකු සමග හඳපානේ ම පැන ගොස් ඇත. මෙලන්කොලික රෝගීන් ලෙස අපි දැන් අප ආශා කළ ඇය වෙනකෙකු සතු බව පිළිගන්නවාද? නැද්ද? නැතිනම් ඇය වෙනුවෙන් ම ඉදිරියටත් ශෝක වෙමින් සිටිනවා ද?
(චාල්ස් වේල්ස්ගේ The subject of liberation ග්‍රන්ථය පිළිබද මගේ අවධානය යොමු කළ දිප්ති කුමාර ගුණරත්න සහෝදරයාට ස්තූතියි!)
Mahesh Hapugoda