Beyond Post-Marxism – විවාද තරඟ වලදී අපට සම්මුඛ වන්නේ, සම්භාෂකයන් ය. සදාචාරය මැනීමට ගියහොත් අපට මුණගැසෙන්නේ, හොඳ/ නරක ය. කලාව විනිශ්චය කිරීමට ගියහොත් අපට මුණගැසෙන්නේ, සුන්දරත්වය/ විරූපීත්වය යි. ආර්ථිකය මැනීමට ගියහොත් අපට මුණගැසෙන්නේ, ලාභය/ අලාභය යි. නමුත් දේශපාලනයේදී අපට බාහිරින් සම්මුඛ වන්නේ, මිතුරා හෝ සතුරා ය. මේ සතුරා සදාචාරාත්මකව යක්ෂයෙක් හෝ සෞන්දර්යාත්මකව විරූපී කෙනෙක් නොවේ. ඔහු ආර්ථික අංශයෙන් තරඟකරුවෙකු ද නොවේ. නමුත් දේශපාලනිකව භයානක කෙනෙකි. මා ඉහත සාරාංශගත කරනු ලැබුවේ ‘දේශපාලනය’ යනු, මනුෂ්‍යත්වයට වැටී ඇති විකල්ප මාවතක් යැයි කී කාල් ශ්මිට් චින්තකයා ‘දේශපාලනය’ අරභයා ලබා දෙන නිර්වචනය යි.
ශිරාල් ලක්තිලක තම බොළඳකමට (තමන් පරිණත යැයි සිතන අයට අනුව) හෝ මා සමඟ දේශපාලන විවාදයක් ආරම්භ කර ඇත. ‘හංස විලක්’ පිළිබඳ විචාරකයෙක්; ජනප්‍රිය සංස්කෘතිය ගැන පොතේගුරෙක්; ස්ත්‍රී-පුරුෂ ලිංගික සබඳතා පිළිබඳ මනෝ විශ්ලේෂණාත්මක විචාරකයෙක් යන සංස්කෘතික මට්ටමට ඇද දමා ඇති මා හට ජාතික තලයේ අවධානයක් යොමු කරමින් සිටින්නේ, ශිරාල් ය. එය අනුර කුමාර හෝ ටිල්වින් සිල්වා හෝ වෙනයම් කිසිඳු දේශපාලකයෙකු හෝ කිසිදු මාධ්‍ය හිමිකරුවෙකු විසින් නොකරන ක්‍රියාවකි. ඒ අයගේ රහස් ක්‍රීඩාවේ රීතීන් නිසා ය.[The Rules of the Game]
වරාය නගරය පදනම් කර ගනිමින් ලංකාවේ ‘දේශපාලන-ආර්ථිකය’ පිළිබඳව ලිපි 3 ක් මේ වන විට මම ලියා ඇත්තෙමි. ආර්ථිකය යනු, හුදු පොදු පහසුකම් ප්‍රජාතාන්ත්‍රිකව ලබා දෙන අඩවියක් පමණක් නොවේ. ධනවාදී ආර්ථිකය යනු, යම් කටුක සත්‍යයක් විද්‍යාමාණ කරන අඩවියකි. නමුත් මාක්ස් විසින් විග්‍රහ කරන ‘දේශපාලන-ආර්ථිකය’ සංකල්පයට ‘ඔහු’ ලිබරල් සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන්ට වෙනස් අර්ථයක් ලබා දෙයි. මාක්ස්ගේ ඇතුල් නුවණ වන්නේ, දේශපාලනය හෝ ආර්ථිකය වෙන වෙනම සලකා බැලීම ඉවතලා ආර්ථිකය තුළ පවතින දේශපාලනය විච්ඡේදනය කළ යුතු බවයි. ඒ පවතින නූතන ලෝක තත්වය තුළ ලාභයට (Profit) වඩා බදු කුලියෙන් [Rent] ධනපතියන් (උදාහරණයක් ලෙස, අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සමාගම්) මුදල් සොයන නිසාත්, රාජ්‍යය සතු අතපෙවීමේ බලය එන්න එන්නම වැඩි වන නිසාත් ය.
මම දැන් ‘දේශපාලන-ආර්ථිකයෙන්’ දේශපාලන විද්‍යාවට මාරු වෙමි. සරලව කිවහොත්, රාජ්‍යය පාලනය කරන සමාජ කණ්ඩායම් එය සිදු කරන්නේ කෙසේ ද යන ගැටලුව අපි හැකිතාක් විශාලනය කරමු. උදාහරණයක් ලෙස, ශිරාල් ලක්තිලක විසින් මා ලියන දේවල් විචාරය කිරීමට මැදිහත් වීම ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වන යම් රීතියක් උල්ලංඝනය කිරීමකි. ලංකාවේ දේශපාලනය ”පක්ෂ/ විපක්ෂ, ලිබරල්/ ජාතිවාදී, වම/ දකුණ” යන මේ භේද කුමක් වුවත් ඒ සියලුදෙනාටම පොදු වූ සාධකයක් (Rules of the Game) පවතී.
දෘශ්‍යමාණයට අනුව ලංකාවේ ලිඛිත නීති රට පාලනය කිරීම සඳහා ඕනෑ තරම් ඇත. ඒවා ව්‍යවස්ථාවේ සිට ආයතන සංග්‍රහය දක්වා පුළුල් පරාසයක විහිදී ගොස් ඇත. පොදුවේ, අපි මේ නීති Written Laws යනුවෙන් හඳුන්වන්නෙමු. ශිරාල් සහ මා දන්නා පරිදි ලංකාවේ රාජ්‍යය, රාජ්‍ය ආයතන සහ දේශපාලන පක්ෂ පාලනය වන්නේ, ලිඛිත නීති වලින් නොවේ. ඉන් අදහස් වන්නේ, රටේ පොදු දේශපාලන සංස්කෘතියම (ජනාධිපති කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා) පාලනය වන්නේ, අලිඛිත නීති-රීති (Unwritten Laws and Rules) සමූහයකින් යන බව ය. මේ අලිඛිත නීති-රීති නොදන්නා අය ලංකාවේ දේශපාලන සමාජයේ සාමාජිකාවක් නොවේ. උදාහරණයක් වශයෙන්, වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ අලිඛිත නීති-රීති ගැන අවබෝධයක් නැත. ඔහු ඊට පිටස්තරයෙකි.
ඕනෑම ජන සමාජයක සාමාජිකයෙකු වීමට, එම සමාජයේ අලිඛිත නීති-රීති ගැන දැනුමක් අවශ්‍ය ය. එම දැනුම නොමැති නම් ඔහු/ ඇය එම සමාජයේ ඓන්ද්‍රීය සාමාජිකාවක් නොවේ. [Idiot] උදාහරණයක් වශයෙන්, සිංහල සමාජයේ අපි සියලුදෙනා ස්ත්‍රීන් සමඟ ටෙලිෆෝනයෙන් කතා කරන විට යටිපෙළ අරුතක් ජනනය කරන විහිළු තහළු කරන්නේමු. නමුත් රංජන් රාමනායක එවැනි විහිළු පටිගත කරන ලද අතර පසුව වෙනත් පාර්ශවයක් විසින් ඒවා හෙළිදරව් කරන ලදී. එසේ කිරීම නිසා, වැදගත් යැයි සම්මත ජීවිත ගත කරන බොහෝ දෙනෙක්ගේ ජීවිත අවුල් ස්වභාවයකට පත් විය. සමාජයක යටිබඩ – underside- නිරූපණය කරන අශ්ලීල අලිඛිත නීති සමූහයක් ඇති අතර ඒවා දෘශ්‍යමාණය තුළ නැතිවාක් මෙන් අපි කටයුතු කරන්නෙමු. ස්ත්‍රියකට මෙම අලිඛිත නීති-රීති සමඟ ගනුදෙනු කිරීමට ඉතා දුෂ්කර වන්නේ, ඒවා ලිංගිකත්වය ඉලක්ක කර ගන්නා නිසා ය. පිරිමින් ද මේ රීති හරහා තම පුද්ගලික ජීවිතයේ අනුකූලත්වය සඟවා ගනියි.
ඇමරිකන් ධනවාදී සමාජයට 20 වැනි සියවස මැද භාගයේ දී ‘අයින් රෑන්ඩ්’ (Ayn Rand) නම් චින්තිකාවක් හමු විය. බෝල්ෂෙවික් විප්ලවය පිළිකුල් කළ ඇය රුසියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ රැඩිකල් ස්ත්‍රියකි. ඇගේ සුවිශේෂය වූයේ, ඇමරිකානු ධනවාදයට (American Capitalism) ඇය දැඩි ලෙස අනන්‍ය වීමයි. මේ හේතුව නිසා, ඇමරිකන් ධනවාදයට පැල්මක් – gap- බිහි විය. අප කලින් ද කී පරිදි, ඕනෑම ‘සමාජ දේහයක්’ පාලනය කිරීම සඳහා ලිඛිත මෙන්ම අලිඛිත රීතීන් ද අවශ්‍ය කරයි. රෑන්ඩ්ගේ සුවිශේෂත්වය වන්නේ, ඇය ඇමරිකන් ධනවාදය ක්‍රියා කරන අසභ්‍ය, යටිබඩ නොදැනුවත්ව හෙළිදරව් කිරීමයි. සාමාන්‍යයෙන්, ඇය ඇමරිකාවට එනතුරු ඇමරිකන් ධනවාදයේ ප්‍රකාශකයන් තමන් පුද්ගලවාදීන් (Selfish Ethics) කියන්න බයෙන් හිටියේ. නමුත් ඇය තමන් පුද්ගලවාදියෙක් බව ප්‍රසිද්ධියේ කියන්න බය වුණේ නැහැ වගේම ඇගේ ක්‍රියාව ඇය විසින්ම න්‍යායගත (Objectivism) කරන ලදී. ඒ සඳහා, නවකතා දෙකක් (The Fountain Head; 1943, Atlas Shrugged; 1957) ඇය විසින් ලියන ලදී. මේ නවකතාවල මූලික අරමුණ වූයේ, ධනපතියෙක් වෙන එක නිර්මාණශීලී දෙයක් කියලා පෙන්වා දෙන එකයි.
ඇගේ මෙම ‘ප්‍රකාශමාණ ධනවාදය’ නිසා ඇමරිකානු ධනවාදයේ යටිබඩ හෙළිදරව් විය. ඇගේ අධිඅනන්‍යතාවය නිසා සාමාන්‍යයෙන්, දැන් ධනේශ්වර සමාජයක ක්‍රියාත්මක වන රහස් කවුළුව විවෘත කරන්න ඇයට පුළුවන් වුණි. ඇමරිකන් ධනවාදයේ කාර්යක්ෂමතාවය තහවුරු කරපු අශ්ලීල අඩංගුව ඇය නිසා මතුපිටට පැමිණියේ ය. නමුත් ඇය කිසිදු ආකාරයක විප්ලවවාදී ස්ත්‍රියක් නොවේ. ඇය කළේ, පද්ධතිය ක්‍රියාත්මක කරවන අලිඛිත නීති-රීතීන් එළියට ඇදලා පෙන්වන එකයි. ඇය මේ කර්තව්‍යය ඉටු කිරීමේ දී, යකඩ වැනි ආත්ම ශක්තියක් ඇති හිස්ටෙරික පිරිමින්ට තදින් අනන්‍ය වුණි. ඇය කළේ, දෘෂ්ටිවාදයේ ගම්‍යමානය හෙළිදරව් කරන එකයි.
බොහෝවිට, යම් සමාජයක පවතින අලිඛිත නීති-රීති අවබෝධ කර ගැනීම දුෂ්කර ය. මන්දයත්, ඒවා පුරුදු පුහුණු, ඇබ්බැහිකම්, යාතුකර්ම වලට සම්බන්ධ මිස න්‍යායට සම්බන්ධ නැති නිසා ය. මේ හේතුව නිසා, යම් සමාජයක ක්‍රියාත්මක වන රීතීන් නිශ්චිත වශයෙන් මේවා යැයි අපට කලින් කීමට නො හැකිය. මේ අර්ථයෙන් ගත් විට, ක්‍රීඩාවල පවතින රීති වලට වඩා සමාජයක ක්‍රියාත්මක වන අලිඛිත නීතීන් අවිනිශ්චිත ය.
ඉහත ආකාරයට ක්‍රියාත්මක අලිඛිත රීතිවලට අදාළ ලිඛිත නීති ක්ෂේත්‍රයක් නැත. ඒ පිළිබඳ ආගමික ලේඛණ ද නැත. අවසන් වශයෙන් හැසිරීම, චර්යාව පිළිබඳ පොතපත කියෙව්වා කියා ද අලිඛිත රීති ඉගෙන ගත නොහැකිය. ඒවා, තමන් විසින් පුරුද්දෙන්ම උගත යුතුය. ඒ සඳහා, බාහිර ගුරුවරුන් ගැලපෙන්නේ නැත. මෙම රීතීන් ඉගෙන ගැනීමේදී ප්‍රධානම පදනම වන්නේ, හික්මීම සහ කීකරුකමයි. ලිඛිත නීති කැඩුවත් ඔබ අලිඛිත නීතිය ඉදිරියේ කීකරු නම්, ඔබ අනිවාර්යෙන් එම සමාජයේ තීරණාත්මක තැනකට එනු ඇත. එපමණක් නොව, මෙම අලිඛිත නීති කිසිවෙකුට නොකියා එක්වරම වෙනස් වීමට ද හැකිය. දෛනික ජීවිතයේ හැඩ රටාව බිඳ නොදැමීම මෙම අලිඛිත නීතිවල මුඛ්‍ය පරමාර්ථය යි. මෙවැනි අලිඛිත නීති සමාජයකට අවශ්‍ය වන්නේ, ඊට සාරයක් – essence- නැති නිසා ය. සාරයක් පවතිනවා නම්, කෙනෙකුගේ ක්‍රියාවන්ගෙන්- activity- තොරව සමාජයට ස්වායත්ත විය හැකිය.
සමාජයක මෘදු ගාමකත්වය තීන්දු වන්නේ, මෙම අලිඛිත නීතිවලින් ය. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවට යන කෙනෙකු තම රාජකාරිය කර ගැනීමට යම් අල්ලසක් දිය යුතු ය යන අලිඛිත නීතිය නොදන්නේ නම්, ඔහුට/ ඇයට රස්තියාදු වනවා හැර වෙන ප්‍රතිඵලයක් නැත. මේ සන්දර්භය තුළ සමාජයේ යටිපෙළ හෝ අලිඛිත නීතිවලට අනුව ක්‍රියාකරන්නෙක් යනු, ”අනුකූලවන්තයෙකි” (Conformist). ඒ අර්ථයෙන්, ‘අයින් රෑන්ඩ්’ හෝ යටි පෙළට අනුගත වන ඕනෑම කෙනෙක් යනු, පවතින සමාජයට යටත් වී ඉන් අශ්ලීල ආර්ථිකයක් – Libido-Economy-ගොඩනඟා ගන්නෙකි. බාහිරින් පෙන්වන රැඩිකල්භාවය යට ඇත්තේ, අනුකූලතාවයකි.
ශිරාල් ලක්තිලක යන පුද්ගලයාව විශ්ලේෂණය කිරීමෙන්, ඔහුගේ සමාජ අනුකූලත්වය අසාර්ථක වන ආකාරය – Hysteric point – සලකා බැලිය හැකි ය. ‘ශිරාල්’ සම්බන්ධයෙන් දේශපාලන සමාජයේ තිබෙන්නේ, අවිනිශ්චිත ආකල්පයකි. ඔහු මුලින් ජී. ඇල්.පීරිස් ළඟ වැඩ කළේ ය. පසුව, ටික කලක් මහින්ද ළඟ නතර වී පසුව රනිල් වික්‍රමසිංහට සමීප විය. වැඩි කලක් රනිල් ළඟ පදිංචි වී සිටි ඔහුට රනිල්ගේ ‘පුංචි සමාජයේ’ අලිඛිත නීති-රීතිවලට පුරුදු වීමට නො හැකි විය. ඔහු රනිල්ගේ සමාජයට මුල් මොහොතේ කැමති විය. ඔහුගේ ආශාව ජවලනය කරන්නට රනිල් සමත් විය. නමුත් රනිල්ගේ ‘පුංචි සමාජයේ’ අලිඛිත රීති වටහා ගැනීම පහසු නැත. රනිල්ගේ ආශාව ඔහුටත් ප්‍රහේලිකාවක් නිසා ඔහුගේ පුංචි ලෝකය ද ප්‍රහේලිකාවකි.
උදාහරණයක් ලෙස, මලික් සමරවික්‍රම ගමු. රනිල්ගේ පුංචි සමාජයට (UNPයට නොවේ) ඇතුල් වෙන කෙනෙකුට ඔහු අවට නිර්මාණය වී ඇති කතිකාවෙන් හැඟවුම් කරන්නේ මලික් යනු, රනිල්ගේ පාසැල් කාලයේ සිට මිතුරා කියා ය. නමුත් කතිකාවේ වෙන පැත්තකින් ප්‍රවේශ වන විට, ඇස් අදහාගත නොහැකි තවත් කතාවක් ඇසෙයි. ඊට අනුව, නායකයාට බාහිරින් එන කුණු බැනුම් සෘජු ලෙස ඔහු කරා එනු වෙනුවට මලික්ව ළඟ තියා ගැනීම නිසා ඔහුට එය එල්ල වෙයි.[Scapegoat- a person who is blamed for the wrongdoings, mistakes, or faults of others, especially for reasons of expediency.] ”රනිල් – ක්‍රීඩාවේ” රීතියට වෙනස් නොවන රීති නැත. එම රීති ද වෙනස් වෙයි. සාගල එක කාලයක කිට්ටු වෙයි. තව කාලයක දී අකිල කිට්ටු වෙයි. චෙස් ක්‍රීඩාවට මෙන් නිශ්චිත නීති-රීති ”රනිල්- ක්‍රීඩාවට” නැත. කොටින්ම, එය ක්‍රීඩාවක් ද – game – යන්න පවා අවසන් මොහොතේ දී අවිනිශ්චිත ය. ඔහුට අවිඥාණයක් තිබේ ද යන්න පවා අවිනිශ්චිත ය.
රනිල්ගේ ක්වොන්ටම් සමාජ-විද්‍යාව තුළ ‘සමීප කෙනා’ සහ ‘දුරස්ථ කෙනා’ යන ඛණ්ඩාංක දෙක සමකාලීන සහ විෂමකාලීන වශයෙන් අතාත්වික වෙයි. ඔහුට කිට්ටු යැයි හිතන කෙනෙකුට ක්වොන්ටම් සිදුවීමක දී ‘ඔහු’ රනිල්ට දුරස්ථ බව වැටහෙයි. වරක්, රනිල් තමන්ට ඉතා සමීප යැයි සිතූ කෙනෙක් එක්සත් රාජධානියේ ලංකා තානාපති කාර්යාලයට කතාකර වීසා ගැටලුවක් විසඳන ලෙස ඉල්ලා සිටියේ ය. එවිට, රනිල් ඔහුට මෙසේ විනීතව කීවේ ය. “ ඒ වගේ වැඩ අපි කරන්නේ නැහැ”. රනිල්ගේ ක්වොන්ටම් සමාජ කක්ෂවල චලනය වූ බොහෝ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන තම තමන්ගේ හිස් අවුල් කර ගන්නේ මේ නිසා ය.
මේ මෑතක දී, රනිල් වික්‍රමසිංහ සමඟ ‘ඊශ්වරන් රත්නම්’ නම් චින්තකයෙක් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් වරාය නගරය අරභයා සිදු කළේ ය. එහිදී ඔහු කීවේ, මෙහි පාලනයට රැගෙන එන විදේශිකයන් ප්‍රශ්නයක් විය හැකි බවයි. ඔහු එය කියන්නේ, ලංකාවේ දේශපාලනය කරන අය හොදින් දන්නා ‘අලිඛිත ක්වොන්ටම් නීතියට’ අනුව ය. බැසිල් රාජපක්ෂ වැනි චින්තකයෙකු රනිල්ගේ මේ කතාව සත පහකට ගණන් ගන්නේ නැත.
නමුත් ‘කලින් බොළඳ දැන් පරිණත’, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය රනිල්ගේ ‘වචන’ තදින් සලකා බලයි. ඔහු රනිල්ගේ වචන තදින් සලකා බලන්නේ ද බොරුවට ය. ඔහු ද දන්නා පරිදි රනිල් මේ කියන්නේ, ක්‍රීඩාවේ නීති-රීති වලට අදාළ කතාවකි. ඒ කතා දේශපාලනය කරන වෙන කිසිවෙකු තදින් සලකා බලන්නේ නැත. කොටින්ම, රනිල්ට ද ඒ වචන එතරම් වැදගත් නැත.
“Colombo Telegraph” වෙබ් අඩවියට බැසිල් දුරින් සම්බන්ධ නිසා ‘කලින් බොළඳ දැන් පරිණත’, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උව්ඳු කුරුකුලසූරියගේ රනිල් අමාරුවේ දාන කතා රනිල් සත පහකට ගණන් ගන්නේ ද නැත. පාක්‍යසෝති සරවණමුත්තු ‘සිනමන් ග්‍රෑන්ඩ්’ හෝටලයෙන් දිවා භෝජනය ගත් විට එහි බිල රුපියල් 30,000ක් පමණ වීම ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු පැමිණිලි කරන විට, US Aid ආයතනයට එය සත පහකට වැඩක් නැත. මේ සියලු දෙනා දේශපාලනය කරන්නේ, අලිඛිත නීති-රීති අනුගමනය කරමින් නිසා පොදුවේ ධනවාදය කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙයි..
අවසන් වශයෙන්, ශිරාල් ක්‍රියාත්මක වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ය. එහිදී ද ශිරාල්ට බලය ක්‍රියාත්මක වන රෝමානු ගෘහ නිර්මාණ තුළ දී අලිඛිත නීතියට පුරුදු වීමට නොහැකි විය. ඉන්පසුව, සජිත් ප්‍රේමදාස ළඟදී ද සිදු වූයේ එයම ය.
ලංකාවේ දේශපාලන බලයට අදාළ ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක වන ”අලිඛිත අශ්ලීල නීති-රීතීන්” මේ වන විට, වරාය නගරය ආශ්‍රිතව ද සිදු වෙයි. ශිරාල් සහ වාමාංශික දේශපාලනය තුළ මා ද අසාර්ථක වූයේ, අපගේ අවිඥාණක ක්‍රියාකාරීත්වය නිසා වම/ දකුණ/ ලිබරල් භේදයකින් තොරව ඔවුන්ගේ යටි බඩවල් විවෘත වූ නිසා ය. ලංකාවේ බලය වෙතට ඇති දිශාණතිය ඇත්තේ, මෙම අශ්ලීල අලිඛිත ක්‍රීඩා නීති සමතික්‍රමණය කිරීම තුළ ය. 2005-2014 කාලය තුළ මාගේ අධ්‍යයන ක්ෂේත්‍රය වූයේ, මෙම අලිඛිත නීති වල ක්‍රියාකාරීත්වය සහ ඒවා මෙහෙය වන ඒජන්තවරුන්ගේ අවිඥාණය යි.
Note –
The word repression is utilized in liberal theory as a reproach against state and politics.This would have been nothing more than a powerless curse of political debate if it had not been integrated into a large metaphysical and historical system.
-
Carl Schmitt-
දීප්ති නායක තුමා තුල අලිකිත නීතිය වැඩ කරන විදියත් පැහදිලියි! ඔහු ගෝටාබය ගැන කියන වචන වලින්ම
“උදාහරණයක් වශයෙන්, වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ අලිඛිත නීති-රීති ගැන අවබෝධයක් නැත. ඔහු ඊට පිටස්තරයෙකි.”
ගෝටාබය යනු අලිකිත නීතිය හොදට කරපු කෙනා, ඔහුම කියනවා “මම තමයි හොන්දටම කරෙ කියලා”.
ලසන්ත ,එක්නැලිගොඩ…. ඝාතනය වගෙ වැඩ දීප්තිට අමතක වී ඇත..
ඒවා අයත් වෙනෙ කැටගරිය මොකක්ද?
ඔබ රනිල්ව විවෙචනය කරන විඩියට ගෝටාබය විවෙචනය නොකරන්නෙ ගෝටා ගැන හොදින් දන්නා අලිකිත නීතිය නිසා තමයි!
Comments are closed.