2022 අප්‍රේල්  5

පහත පළ වන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්ය ආචාර්ය සමන් පුෂ්පකුමාර මහතා අපගේ X දේශපාලනය පිළිබඳවත්, එහි නායකත්වය පිළිබඳවත් න්‍යායාත්මකව සහ ”තමන්ව මඟ හැර” කරන ලද විචාරයකි. ඔහුගේ මෙම විචාරයට අදාළව පිළිතුරක් ගොනු කිරීමට අපි අදහස් කරන්නෙමු. 90 දශකයේ සිට අප අරගල කරන ලද මූලික තිසීසය වූයේ, නව ලෝකයක් අරභයා වූ මාක්ස්ගේ දහවන තිසීසය යි. එය පහත පරිදි ය.

 

        “ පැරණි භෞතිකවාදයේ දෘෂ්ටිය ‘සිවිල්’ සමාජය යි. නව භෞතිකවාදයේ දෘෂ්ටිය මානුෂික සමාජය යි; එසේ නැතහොත් සමාජීකරණය වූ මනුෂ්‍ය වර්ගය යි ”.

 

        අප දන්නා පරිදි, අද වනතුරු මේ පවතින ලිබරල් හෝ වංක වාමාංශිකයන්ගෙන් අපට කිසිදු ගරුත්වයක් හෝ පිළිගැනීමක් ලැබී නැත. එවැන්නකට අප සටන් කළේ නම්, විශ්වවිද්‍යාල ගුරෙක් වන සමන් කුමාර අපට අපහාස කරන්නේ ද නැත. අප සටන් කරන්නේ, මිනිස් සමාජයක් වෙනුවෙනි. එහි දී, අපට නෝනාවරුන් සහ මහත්වරුන්ගේ කරට අත දා ගැනීමට අවශ්‍ය නැත. මහත්මයා! ඔබ අපගේ දෑත අත හැර ප්‍රතිගාමීන් සමග එක් වීම ගැන ඔබට පින්!

න්‍යායිකව සහ සමපේක්ෂණය තුළින් හමු වෙමු! 

X Politics.

X ​කණ්ඩායමේ ව්‍යාපෘතිය මඟින් විවිධ මහාද්වීපික දාර්ශනිකයන් ගණනාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ය. මේ දාර්ශනිකයන් හා දාර්ශනික ප්‍රවණතාවන් ගැන අදහස් පළ කිරීමට හෝ විවේචනය කිරීමට තරම් අවබෝධයක් තිබුණු අය ශාස්ත්‍රීය ආයතනවල සිටියේ ද නැත. මේ ප්‍රවණතා දෙස විචාරාත්මක ව බැලීමට සමත් දියුණු මාක්ස්වාදීන් ද ලංකාවේ සිටියේ නැත. නිව්ටන් ගුණසිංහ,   කීර්ති බාලසූරිය වැනි අය මිය ගොස් සිටි අතර රෙජී සිරිවර්ධන වැනි අය සිය ජිවිතයේ සැඳෑ සමයට එළඹ සිටියේ ය. ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සහ සුමනසිරි ලියනගේ වැනි අය සීමිත ආකාරයෙන් මේ සම්බන්ධයෙන් මත ඵල කරමින් සිටියහ. මේ නිසා ම සීමා මායිම් නොමැති ව හිතුවක්කාරී ආකාරයට ඉහතින් දැක්වූ චින්තකයන්ගේ අදහස් නිදහසේ පැතිර ගියේ ය. මෙම මහාද්වීපික දාර්ශනික ව්‍යාපෘතීන් මඟින් සම්ප්‍රදායික ව පිළිගත් ආත්මීයත්වය, වාස්තවිකත්වය, සමස්තය, දයලෙක්තිකය හා මාක්ස්වාදයේ පිළිගත් මූලිකාංගයන් ප්‍රශ්න කෙරුණි. දර්ශනයේ හෝ දේශපාලනයේ හෝ මහා අඛ්‍යානයන් පිළිගන්නවා වෙනුවට ක්‍ෂූද්‍ර ආඛ්‍යානයන් ඉදිරියට දැමිණි. දේශපාලන ආර්ථික විද්‍යා පදනම් ගැන කථා කරනවා වෙනුවට උපරිව්‍යූහාත්මක සංස්කෘතික, කලාත්මක පදනම්වලට වැඩි නැඹුරුතාවක් දැක්වී ය.
 
X කණ්ඩායමේ මුල් කාලයේ භාවිතාව තුළ තිබෙන්නේ ඉහතින් දක්වා තිබෙන චින්තකයන් හඳුන්වා දීම සහ ඔවුන්ගේ සංකල්ප තමන් නියෝජනය කරනවා ය යන මතවාදය පෙන්නුම් කිරීම ය. මෙහි දෙවන පියවර වූයේ ලංකාවේ මතවාදී රාජ්‍ය උපකරණ පශ්චාත් ව්‍යූහ බවට පත් වී තිබෙන ආකාරය පෙන්නුම් කිරීම ය. එමෙන් ම සිවිල් චරිත කලාකරුවන් හා බුද්ධිමතුන් පශ්චාත් ව්‍යූහ බවට පත් වී තිබෙන ආකාරයත් හෙළිදරව් කිරීමකි. මුලින් විශ්වවිද්‍යාල වැනි සිවිල් ආයතන අතාර්කික වී තිබෙන ආකාරයත් විද්‍යුත් මාධ්‍ය, පුවත්පත්, ආගමික ආයතන පශ්චාත් ව්‍යූහ බවට පත් වී ඇති ආකාරයත් පසුව මේ ආයතන නියෝජනය කරන පුද්ගලයන් පශ්චාත් ව්‍යූහ බවට පත් වී තිබෙන ආකාරයත් හෙළිදරව්  කිරීම සිදු විය. මෙහි තුන්වන පියවර වූයේ සමාජය මානසික ව රෝගී වී ඇති බව පෙන්නුම් කිරීම ය. සංවිධානය වේගයෙන් මනෝවිශ්ලේෂණය වෙත ආකර්ෂණය වෙමින් සිටි අතර ව්‍යාපාරයෙන් පිටත විවිධ පුද්ගලයන් සයිකොටික, නියුරෝටික හා විපරීත මානසික ආකෘතීන් බවට පත් වී තිබෙන ආකාරය මෙහි දී පෙන්වා දෙන ලදි. 2004 දී සංවිධානය බිඳ වැටීමට පෙර ලියූ විශාලතම කෘතිය වූයේ හිස්ටීරියාව ය. සමස්තයක් වශයෙන් සංවිධානය ගමන් කරමින් සිටියේ සමාජ විවේචනයක සිට සමාජය භය කිරීමේ ව්‍යාපෘතියක් දක්වා ය. සංවිධානයේ විවේචනයට ලක් වූ පුද්ගලයන්ට මානසික රෝගී ලේබලය ඇලවීම මෙහි දී සිදු විය. මේ ක්‍රියාවලීන් සාධාරණීකරණය කිරීමේ දී පාවිච්චි කරන ලද්දේ සමකාලීන ප්‍රංශ දාර්ශනිකයන් ය. 

සමකාලීන ප්‍රංශ දර්ශනය හා ජර්මානු දර්ශනය අතර සන්සන්දනාත්මක විශ්ලේෂණයක් කළොත් අංග ලක්‍ෂණ කිහිපයක් ම හඳුනාගත හැකි ය. ප්‍රංශ දාර්ශනිකයෝ ක්‍ෂුද්‍ර ආඛ්‍යාන ගැන කථා කරන විට ජර්මානු චින්තකයෝ මහා ආඛ්‍යාන ගැන කථා කරති. ජර්මානු චින්කයන් ඒකත්වය ගැන කථා කරන විට ප්‍රංශ දාර්ශනිකයන් යොමු වූයේ විවිධත්වය වෙත ය. ජර්මානු දාර්ශනිකයන් ඉතිහාසය සුවිශේෂ වශයෙන් වැදගත් කරන විට ප්‍රංශ දාර්ශනිකයෝ ඉතිහාසය අතහැර දැමූහ. ජර්මානු දාර්ශනිකයන් ආත්මීයත්වය හා වාස්තවිකත්වය ගැන කථා කරන විට බොහෝමයක් ප්‍රංශ දාර්ශනිකයෝ ආත්මීයත්වය හා වාස්තවිකත්වය විසංයෝජනය කර දැමූහ. ජර්මානු දාර්ශනිකයන් සමස්තය ගැන විශ්වාසය තබන විට ප්‍රංශ දාර්ශනිකයෝ කොටස ගැන කථා කළහ. ජර්මානු දාර්ශනිකයන්ගෙන් සමාජයේ යම් ගැඹුරක් සොයන විට ප්‍රංශ දාර්ශනිකයෝ මතුපිටට යොමු වූහ. ජර්මානු දාර්ශනිකයන් දයලෙක්තික චින්තනයට වැඩි වශයෙන් යොමු වන විට බොහෝමයක් ප්‍රංශ දාර්ශනිකයෝ ප්‍රති-දයලෙක්තිකවාදීන් හා ප්‍රති- හෙගලියානුවාදීන් වූහ. 
Picture
 
X දේශපාලන ව්‍යාපාරය මේ ප්‍රංශ දාර්ශනික ලක්‍ෂණයන්ගෙන් අඩු වැඩි වශයෙන් සමන්විත විය. මේ ව්‍යාපාරයට සමස්තය අහිමි විය. සමාජයේ ප්‍රශ්න මතුපිටින් පහුරු ගෑවේ ය. ඉතිහාසය අහෝසි වී වර්තමානයේ ම හැසිරුණේ ය. සමස්ත දේශපාලනයකට යොමු නො වී අනන්‍යතා දේශපාලනයකට යොමු විය. සමාජය එකතු කරනවා වෙනුවට සමාජයට විසංයෝජන ප්‍රහාරයක් එල්ල කළේය. සමාජය සමස්තයක් වශයෙන් ගෙන විචාරය කරනවා වෙනුවට සමාජයේ පුද්ගලයන් තෝරා ගෙන ඔවුන්ට මනෝවිශ්ලේෂණාත්මක සහ දාර්ශනික ප්‍රහාරයන් එල්ල කිරීමට යොමු විය. 

​X ව්‍යාපාරයේ ආරම්භකයා රොහාන් පෙරේරා වූ අතර ඔහු ප්‍රවාද හා මාතොට සඟරාවලට ලියන ලද  ලිපිවලින් තම ආත්මය ප්‍රකාශ කළේ ආදරය, අවිඥානය, ස්ත්‍රීවාදය වැනි නැවුම් සංකල්පයන් හරහා ය. ලංකාවේ වාමාංශිකයන් කථා නොකළ ක්‍ෂේත්‍රයන් ඔහුගේ අදහස් හරහා ප්‍රකාශයට පත් විය. එයින් වසර 25කට පමණ පසුව ඔහු තම ආත්මය ප්‍රකාශයට පත් කරන්නේ තමන්ගේ ම ශරීරය හරහා ය. ඔහු අද ටයි, කෝට්, අව් කණ්ණාඩි, ඔරලෝසු, සපත්තු පැලඳ ගෙන තමන් ප්‍රකාශයට පත් කර ගනී.
 
හෙගලියානු භාෂාවෙන් කීවොත් ඔහුගේ පරම සත්‍යය (Absolute) ද්‍රව්‍යමය සාරාර්ථයක් (Substance) ලෙස ප්‍රකාශයට පත් වී ඇත. තමන්ගේ මනස උත්කර්ෂණය වනවා වෙනුවට ඔහුගේ ශරීරය ම උත්කර්ෂණය වී ඇත. 

​X කණ්ඩායමේ සිටි අනෙකුත් නායකයන් විසින් මේ ආරම්භකයා X කණ්ඩායමෙන් පන්නා දැමීමේ දී ඔහුට එල්ල කළ ප්‍රධාන චෝදනාව වූයේ ඔහු ‘මානසික රෝගියෙකු’ යන්න ය. ඔහුගේ දේශපාලන භූමිය පවුල ය. පවුල ඇතුළකට ගොස් පවුල පුපුරා දමන්නෙකු ලෙසට පසු කාලයේ විවිධ අයගේ චෝදනාවට ද ඔහු ලක් විය. ඔහු යම් පවුලකට ඇතුළු වූ පසු යම් පවුලක පිරිමියා ගැහැනියක් වීම, ගැහැනිය පිරිමියෙකු වීම, ළමයින් තාත්තලා වීම, දුවලා පියවරුන්ට එරෙහි ව නැඟී සිටීම, පුතාලා තාත්තාලාට නමින් ආමන්ත්‍රණය කිරීම සිදු වී යැයි විවිධ අඳෝනාවන්ද ඉදිරිපත් කෙරුණි. මේ නිසා ම පසු කාලයේ සමහර අය ඔහු තමතමන්ගේ පවුල් තුළට වද්දා නොගැනීම ට තීන්දු කළහ. 

හෙගල්ගේ Philosophy of Right කෘතියට අනුව සදාචාරාත්මක ජීවිතයට (Ethical life) දයලෙක්තික ත්‍රිත්වයක් ඇත. ඒ පවුල, සිවිල් සමාජය හා රජය ය. හෙගල්ට අනුව පවුල ක්‍රියාත්මක වන්නේ පුද්ගලික ආත්මීය අධිෂ්ඨානයන්ගෙන් ය. ‘මම’ ය ‘මගේ’ ය යන්න එහි ප්‍රධාන සංකල්පයකි. පෞද්ගලික ආත්මීය දේවල් එහි දී පරමත්වයට නැගේ. පවුල සෑදී තිබෙන්නේ ධූරාවලිගත ලෙස ය. පියා, මව, දරුවන් ආදි ලෙස එහි සාමාජිකයන් එකට එකතු කරන බැඳීම වන්නේ ලේ සහ ආදරය ය. යම් ආධිපත්‍යයකට යටත් වීම සඳහා මුලින් ම ඉගෙන ගන්නා ආයතනය වන්නේ පවුල ය. මේ ආයතනය ය X කණ්ඩායමේ ආරම්භකයා විසින් උඩුයටිකුරු කර එහි සම්බන්ධතා කඩා බිඳ දමා වෙනත් දෙයක් බවට පත් කරනු ලැබුවේ. හෙගල්ගේ දේශපාලන දර්ශනයේ පදනම නිදහස ය. යමෙකුට වඩාත් පුළුල් නිදහසක් අවශ්‍ය නම් පවුල ඉක්මවා ගොස් සිවිල් සමාජයටත්, රාජ්‍යයටත් යා යුතු ව ඇත. නමුත් ඔහු කරනු ලැබුවේ පවුල ඉක්මවා යාම වෙනුවට පවුලේ ධූරාවලීන් උඩුයටිකුරු කර සුවිශේෂ පවුල්වලින් ම යැපීම ය. ඔහුට තමාගේ ශරීරයෙන් මෙන් ම පවුලෙන් එළියට ඒමට නොහැකි විය. නමුත් ඔහු සාදා දුන් දේශපාලන ආකෘතිය දිගට ම පුනරාවර්තනය විය. ඔහුගෙන් ගැලවුණා යැයි කියු අය පමණක් නො ව, ඔහුගෙන් ගැලවී වෙනත් දේශපාලන, දාර්ශනික ආකෘති ගොඩනගන්නට උත්සාහ කළ අයත් ඔහුගේ ආකෘතිය සවිඥානික ව හෝ අවිඥානික ව ශේෂගත කර ගත්හ. 1

X කණ්ඩායමේ නායකයා දීප්ති කුමාර ගුණරත්න වූ අතර රොහාන්ට වඩා දයලෙක්තික ඉදිරි පිම්මක් ඔහු පැන්නේ ය. නමුත් ඔහු තුළ රොහාන් බිහි කළ සමහර ලක්‍ෂණයන් සංරක්‍ෂණය විය. රොහාන්ගේ විපරීත පවුල වෙනුවට තම සංවිධානය තුළ මධ්‍යම පාන්තික පවුලක් සෑදීමට දීප්ති උත්සාහ ගත්තේ ය. පවුල ලස්සන කිරීම, පවුලේ සංස්කෘතික මට්ටම ඉහළට ගැනීම, පවුල ලස්සන කිරීම සඳහා සංගීත හා සිනමා වින්දනය ඉහළ දැමීම, ඒ සඳහා උපකරණ ලබා ගැනීමට උපදෙස් දීම, පවුල තුළ පියාගේ නීතිය ස්ථාපනය කිරීම, පවුල ශක්තිමත් කිරීම සඳහා මනෝවිශ්ලේෂණ උපදෙස් ලබා දීම මුල් කලෙක දී X කණ්ඩායමේ ප්‍රධාන මාතෘකා සහ ක්‍රියාකාරීත්වය විය. උසස් මධ්‍යම පාන්තික පවුල උත්කර්ෂණයට නැංවීම සහ ආදර්ශමය කිරීම ආදිය ද සිදු විය. මේ අනුව, ගුණාත්මක වශයෙන් දීප්ති නිර්දේශිත පවුල රොහාන්ගේ පවුලට වඩා උසස් විය. කෙසේ නමුත් පවුල යන්න X ව්‍යාපාරය තුළ දයලෙක්තික වශයෙන් ශේෂගත කළ අතර ම පවුල ඉක්මවා ගොස් සිවිල් සමාජයේ දේශපාලනය කිරීමට උත්සාහයක් ගත්තේ ය.​
Picture
 
Deepthi Kumara Gunarathne
ජයදේව උයන්ගොඩ සිය සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමකටද? (2011) පොතෙහි සිවිල් සමාජය හඳුනා ගන්නේ පහත සඳහන් ආකරයට ය. සිවිල් සමාජය යනු ‘ක්‍රියාකාරී පුරවැසියන්ගෙන් සමන්විත සමාජය ය’ (උයන්ගොඩ 2011, 2). ඔහු තවත් තැනක දක්වන්නේ, ‘සිවිල් සමාජය යනු සමාජයට , ආණ්ඩුවට, මහජන මතයට බලපෑම් කළ හැකි ජනමාධ්‍යයේ නිතර පෙනී සිටින පුද්ගලයින්  සිටින, සාපේක්‍ෂ වශයෙන් වරප්‍රසාදලාභී සමාජ අවකාශයකි’ යන්න ය (උයන්ගොඩ, 2011, 3). දීප්ති කුමාර ගුණරත්න වැඩි වශයෙන් සිය දේශපාලන භූමිය කර ගත්තේ මේ ක්‍ෂේත්‍රය ය. හෙගල්ට අනුව සිවිල් සමාජය යනු බල්ලන් සහ බල්ලන් කා ගන්න මධ්‍යම පාන්තිකයන්ගේ ලෝකය ය. සිවිල් සමාජයේ එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට සම්බන්ධ වන්නේ මූලික වශයෙන් වෙළෙන්දන් ලෙසට ය. පවුලෙන් එළියට යන පුද්ගලයා ඇතුළු වන්නේ සිවිල් සමාජයට ය. මේ සමාජය කලහකාරී, දබරකාරී; තරඟකාරී ව්‍යාපාරික ලෝකයකි. සිවිල් සමාජයේ සාමාජිකයා නිදහස සාක්ෂාත් කර ගන්නේ රැකියාවක් තෝරා ගැනීමෙනි. 
 
මෙහි සදාචාරාත්මක වර්ධනය සිදු වන්නේ සමාගම් (cooperations), වෘත්තිය සංවිධානයන් හරහා ය. සිවිල් සමාජය සඳහා ධනවාදී සමාජය යන නම ද පාවිච්චි කරයි. සිවිල් සමාජය එක්සත් තැනක් නො ව ප්‍රතිවිරෝධයන්ගෙන් ගහන තැනකි. පුද්ගල ආත්මාර්ථකාමීත්වය මෙහි ප්‍රමුඛ ලක්‍ෂණය ය.

දීප්ති කුමාර ගුණරත්න සිය වැඩ බිම කර ගත්තේත්, විවේචනය කළේත්, ආශා කළෙත් මේ සිවිල් සමාජයට ය. ඔහු මේ මධ්‍යම පාන්තික සමාජ ජීවිතයට ආශා කළ අතර ම එහි පුද්ගලයන්ට පහර ගැසීම ද කළේ ය. ලංකාවේ ඇකඩමියාවට පහර දුන් අතර මේ ඇකඩමියාව තුළ තමන් අගය කරන අය ආරක්‍ෂා කළේ ය. ලංකාවේ ඇකඩමියාවට පහර දුන් අතර යුරෝපීය හා ඇමෙරිකානු ඇකඩමියාවට ආශා කළේ ය. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවෝ මධ්‍යම පාන්තික බුද්ධිමත්තු රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් ඔහුගේ විවේචනයට, අපහාසයට උපහාසයට භාජනය වූ අතර ම ඔහු මේවාට අභ්‍යන්තරික ව ආදරය  කළේ ය. හෙගලියානු භාෂාවෙන් කීවොත් ඔහු සිවිල් සමාජයේ මධ්‍යම පාන්තික ජීවිතයට අනන්‍ය වූ අතර වෙනස ද පෙන්නුම් කළේ ය (Identity and difference). සිවිල් සමාජයේ සමහර මිනිසුන් හා ගැහැනුන් සමඟ අභ්‍යන්තරික ව අනන්‍ය වූ අතර බාහිරව වෙනස පෙන්නුම් කළේ ය. නගරය සමඟ අනන්‍ය වූ අතර ගමට පහර දුන්නේ ය. සුදු හම සමඟ අනන්‍ය වූ අතර කළු හමට පහර දුන්නේ ය.  දක්‍ෂිණාංශික දේශපාලනය සමඟ අනන්‍ය වූ අතර වාමාංශික දේශපාලනයට පහර දුන්නේ ය. වමෙන් තමන්ට උරුම වූයේ හොරි පමණක් යැයි කියමින් වාමාංශික ව්‍යාපාරය නිග්‍රහයට ලක් කළේය. මධ්‍යම පාන්තික ස්ත්‍රිය සමඟ අනන්‍ය වූ අතර පහළ පාන්තික ස්ත්‍රිය අවඥාවට ලක් කළේ ය. ඉංග්‍රීසි කථා කරන්නාට ආසා කළ අතර ඉංග්‍රීසි බැරි පුද්ගලයින් නිග්‍රහයට ලක් කළේ ය.
 

නමුත් මෙහි මූලික පරස්පරයක් පැවතිණි. එක් පැත්තකින් X කණ්ඩායම කාලයෙන් කාලයට සිය සඟරා ලිපි ලේඛන, පොත්පත් සාකච්ඡා මඟින් ජනප්‍රිය කළ ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය, පශ්චාත් මාක්ස්වාදය හා මනෝවිශ්ලේෂණය වැනි දර්ශනවාදයන් සියල්ල ම පාහේ අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ නියෝජනය නො කරන, ධූරාවලීන් නඩත්තු නො කරන, සියුම් හෝ වර්ගවාදයන්, ප්‍රාදේශීයවාදයන්, සාරවාදයන්, නිර්ණයවාදයන් හා ඌනිතවාදයන්ට එරෙහි වන ඒවා ය. නමුත් X කණ්ඩායම ඇතුළතින්  භාවිතය තුළ දී අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ, ධූරාවලීන්, තෝරා ගත් පුද්ගලයන්ට පහර දීම්, ප්‍රාදේශීයවාදයන් මතු වූයේ කෙසේ ද? මෙයට පිළිතුරු කිහිපයක් උපකල්පනය කළ හැකි ය.

1. එක්කෝ දීප්ති කුමාර ගුණරත්න මේ විවිධ දර්ශනවාදයන් ගැන කථා කළත් මේ දර්ශනවාදයන්ගේ සාරය ග්‍රහණය කර ගෙන නැත.

2. නැත් නම් මේ දර්ශනවාදයන් ගැන අවබෝධයක් තිබුණත් ඔහු දැනුවත් ව මේ දර්ශනවාදයන් අපහරණය හෝ අපයෝජනය කරයි. ඔහුගේ ආත්ම අභිමාථාර්ථයන් සඳහා මේවා පාවිච්චි කරයි. ඔහුට මේ දර්ශනවාදයන් හරහා සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජ අරමුණක් නැත. නමුත් මෙ දර්ශනවාදයන් හරහා සාක්ෂාත් කර ගන්නා පෞද්ගලික අරමුණක් ඇත.

මාගේ නිගමනය වන්නේ X ව්‍යාපාරයේ න්‍යායාත්මක ක්ෂේත්‍රයේ වැඩ කළ අයට යුරෝපියානු දාර්ශනික ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් තිබුණත් මේ දර්ශනවාදයන් පාවිච්චි කළේ සමාජ ප්‍රගමනය, සමාජ විමුක්තිය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා අධ්‍යාපනික මට්ටම ඉහළ දැමීමට හෝ මේ දර්ශනවාදයන්ගේ ආභාසයක් ලබමින් විධිමත් සාමූහික දේශපාලන ව්‍යාපාරයන් ගොඩනැගීමට නො ව මේවා අනුසාරයෙන් තමතමන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා බව ය. මෙහි ආන්තික ම ප්‍රකාශකයා වූයේ X කණ්ඩායමේ නායකයා ය.

සිවිල් සමාජයේ චරිතවලට පහර දීම X ව්‍යාපෘතියේ ප්‍රධාන උපාය මාර්ගයක් විය. කාලයෙන් කාලයට අර්ජුන පරාක්‍රම, සුචරිත ගම්ලත්, නලින් සුවාරිස්, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, සසංක පෙරේරා, රංජිත් පෙරේා, සුනිල් විජේසිරිවර්ධන, ධර්මසේන පතිරාජ, ලියනගේ අමරකීර්ති වැනි අයට පහර දීම දීප්ති කුමාර ගුණරත්න පුරුද්දක් කර ගත්තේ ය. එක්කෝ මේ අය න්‍යාය දන්නේ නැති බව හෝ ඔවුන් ‘ගමේ වීම’ හෝ වැනි කරුණු ඉස්මතු කර පහර දුන්නේ ය. එසේත් නැත් නම් කුමක් හෝ ලිංගික කාරණයක් ඉස්මතු කර මේ පහර දීම සිදු විය. ඇත්ත වශයෙන් ම මේ පහර දීම්වලට සාධාරණ හේතුවක් තිබුණේ ද? මොවුන් යම් හෝ ආකාරයකට සමාජ ප්‍රගමණයට බාධා කළේ ද? ඔවුන්ගේ දැනුමේ අඩුපාඩුවක් තිබුණේ ද? ඔවුන් දැනුවත් ව X කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට බාධා කළේ ද? මේ කිසිවක් සිදු නොවුණ බව මාගේ අදහස ය. එසේ නම් මේ ප්‍රහාරය සිදු වූයේ ඇයි? මේ බොහොමයක් අය එක්කෝ යම් කාලයක දී මේ රටේ විකල්ප දේශපාලන ධාරාවන්හි වැඩ කළ අය ය. නැත් නම් තමතමන්ට හැකි ආකාරයට රටේ යම් චින්තනමය වෙනසක් වෙනුවෙන් වැඩ කළ අය ය. එසේ තිබිය දී මෙවැනි අයට පහර දුන්නේ ඇයි? X කණ්ඩායම මේ අය දාර්ශනික ව යටත් කිරීම (coercion) විනා මේ අය දිනා ගැනීම සිදු කළේ නැත (consent). එමෙන් ම මෙහි වංචනිකත්වයන් ද තිබිණි. මන්ද, මෙසේ ප්‍රහාරයට ලක් වූවන් විසින් යම් හෝ ආකාරයකට X කණ්ඩායමේ නායකත්වයට පිළිගැනීමක් ලබා දුන්නේ නම් ඉහත තත්ත්වය වෙනස් වන බව පෙනී ගිය හෙයිනි. සරල ව කීවොත් X කණ්ඩායම් නායකත්වයට අවශ්‍ය වූයේ පිළිගැනීම ලබා ගැනීම ය. ඔහු පිළිගැනීම ලබා ගැනීම සඳහා ජීවිතයත් මරණයත් අතර අරගලයක නිරත විය (struggle for recognition). අදටත් ඔහු අරගල කරන්නේ මේ පිළිගැනීම ලබා ගැනීමට ය. ඔහුගේ සමස්ත අවධානය යොමු වී තිබෙන්නේ තමන්ට හිමි පිළිගැනීම, ගරුත්වය තහවුරු කර ගැනීමට ය. සරල ව කීවොත් ඔහුගේ කොන්දේසි විරහිත ව පිළිගත යුතු කාන්ටියානු පරම විධානය වන්නේ, ‘කලින් ම බුද්ධ පූජාව වෙන් කරනු! එයින් පසුව අනිත් උන් බෙදා හදා ගෙන කනු!’ යන්න ය. දීප්ති මෙහි දී පෙන්නුම් කරන්නේ දැඩි ආත්මවාදයකි; සෑම දාර්ශනික හෝ දේශපාලන මැදිහත් වීමක් තුළ ම තමන් ස්ථාපිත කර ගැනීමට, තමන් දැකීමට ගන්නා ආත්මවාදී උත්සාහයකි.
හෙගල්ට අනුව පිළිගැනීම ලබා ගැනීමට උත්සාහ කරන විඥානය පවතින්නේ දයලෙක්තික වර්ධනයේ ආරම්භක මොහොතක ය. හෙගල්ට අනුව පරමාත්මයේ වර්ධනය තුළ විඥානය ලබන එක් අනුභූතියක් වන්නේ පිළිගැනීම ලබා ගැනීමට කරන මානසික උත්සාහය ය. පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාවට අනුව මේ විඥාන මොහොත උදාවන්නේ විඥානයට (Consciousness) පසුව උදාවන ස්වයං-විඥානය (Self-Consciounsness) නම් මොහොතේ දී ය. මේ අවස්ථාව දයලෙක්තික චින්තනය තව මත් පරිපූර්ණ නොවුණු මුල් අවස්ථාවකි. මෙහි දී යම් විඥානයකට අවශ්‍ය වන්නේ තමන්ගේ ඇගයුම් අනුන්ගේ ඇගයුම් බවට පත් කිරීමට ය. රොහාන් පෙරේරාගේ අවසන් ආශාව තමන්ගේ ශරීරය ම ය. කොජෙව්ට අනුව ගියොත් ඔහුගේ ආශාව යනු අනෙකාගේ ආශාවය (desire is desire of the other’s desire) නමුත් දීප්ති මෙහි දී පියවරක් ඉදිරියට ගොස් පිළිගැනීම ලබා ගැනීමේ ආශාව දක්වා ඉදිරියට යයි (Desire for Recognition).  ඔහු ජීව විද්‍යාත්මක ආශාවන්ගෙන් ගැලවී ජීව විද්‍යාත්මක නොවන ආශාවන්ට යොමු වේ. ඔහු හැම විට ම බලන්නේ අනෙකා තමන්ට පිළිගැනීම ලබා දෙනවා ද යන්න ය. තමන්ට පිළිගැනීමක් ලබා ගැනීමට නම් අනෙකෙකු සිටිය යුතු ය. මේ නිසා ඔහු අනෙකා සම්පූර්ණයෙන් ම මරා දමන්නේ නැත. අනෙකාට මිය යන්නට නො දී කෙසේ හෝ ඔහු හෝ ඇය ජීවමාන ව තබා ගැනීමට උත්සාහ ගනී. මේ නිසා ම තම සංවිධානයෙන් අතීතයේ කැඩී ගිය අය ඔහුට සම්පූර්ණයෙන් අමතක කළ නොහැකි ය. සමහර අවස්ථාවල දී අනෙකාගෙන් තමන්ට අවශ්‍ය පිළිගැනීම ලැබෙන්නේ නැත් නම් ඔහු විසින් ම විවිධ පිටස්තරයන් සයිබර් අවකාශයේ නිර්මාණයක් කර ඒ ‘පිටස්තරයන්’ ලවා තමන් ගැන වග වර්ණනා කර ගනී. මෙවැන්නෙකු සිතන්නේ ‘මම සෑම දෙයක් මල මා සඳහා කර ගතිමි. ඔබ ඔබ සඳහා කිසිවක් නො කර ගත යුතු ය. මා ජීවත් වන්නේ මා සඳහා ම ය. මා ජීවත් විය යුත්තේ ඔබ සඳහා නො ව මා සඳහා ය. ඔබට ඔබේ කියා ජීවිතයක් නැත. එනිසා ඔබ මිය ගිය කෙනෙකි’. යනුවෙනි.

X කණ්ඩායමේ නායකත්වය අදටත් හිරවී සිටින්නේ මේ ආත්මගත චින්තනයේ ය. ඔහුට මේ ඝනීභූත ආත්මගත චින්තනය දයලෙක්තික වශයෙන් සමතික්‍රමණය කිරීමට නොහැකි වී ඇත. අනෙකා සම්බන්ධයෙන් ඔහුගේ බොහෝමයක් නිගමනයන් බිහි වී තිබෙන්නේ තම ආත්මයට ඌනනය වූ චින්තනය මඟින් ය. තමන්ගේ චින්තනය ක්‍රියාත්මක වන්නේ හෙගලියානු දයලෙක්තිකයට අනුකූල ව යැයි කීවත් ඔහු සිර වී සිටින්නේ දයලෙක්තික චින්තනයේ ප්‍රාථමික අවධියක ය. 

හෙගලියානු දයලෙක්තිකයට අනුව එක ම දේ නැවත නැවත මුණගැසිය නොහැකි ය. වෙනකෙකු ට්‍රොට්ස්කි ගැන ලිව්වොත් දීප්තිගෙන් එළියට පනින්නේ ට්‍රොට්ස්කිට තිබුණු ගෑනු ප්‍රශ්නයකි. යමෙකු ග්‍රාම්ස්චි ගැන ලියුවොත් ඒ අය නොදැකපු ග්‍රාම්ස්චිගේ ගෑනු ප්‍රශ්නයක් ඔහු සොයා ගනී. යමෙකු ලෙනින්ගේ චින්තනය හා දේශපාලනය ගැන ලිව්වොත් ඔහු ලෙනින්ගේ ගෑනු ප්‍රශ්නයක් සොයා ගනී. මා විසින් එස්.බී.ඩී. සිල්වා 2018 දී මිය යාමෙන් පසුව රාවය පුවත්පතට ලිපි කිහිපයක් ලිවීමෙන් අනතුරු ව දීප්ති ඒ සම්බන්ධයෙන් විවේචනාත්මක ව කියා සිටියේ එස්. බී. ඩී. ගේ ගෙදර තුනපහ, රම්පා, කරපිංචා, ගොරකා කෑල්ල ගැන පවා ලියා තැබූ මට එස්. බී.ඩී. හඳුන්වා දුන්නේ ‘දීප්ති’ බව මා කියා නැති බව ය! ඇත්ත වශයෙන් ම මේ ලිපි පෙළ තුළ දීප්ති සොයා තිබෙන්නේ තමන් ගැන යමක් ලියා තිබේ ද යන්න ය. දෙවනු ව එස්. බී.ඩී. ගේ දේශපාලන ආර්ථිකය ගැන ලියූ මට ඔහුගේ ගෑනු ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න අමතක වී තිබෙන බව ය. රැල්ෆ් බුල්ජන්ස් විසින් මාක්ස්ගේ අතිමහත් දේශපාලන ආර්ථික දාර්ශනික කරුණු කාරණාවන් වෙනුවට මාක්ස් තම ගෙදර සිටි වැඩකාර කෙල්ලක සමඟ ලිංගික සබඳතාවක් තිබුණා ය යන චෝදනාවක් කළ අතර 2  කාලෝ ෆොන්සේකා මේ චෝදනාවට ලබා දුන් උත්තරය  ‘මාක්ස්ගේ කොට්ටය පරීක්‍ෂාව’ යන තේමාව යටතේ දැක්වූ අතර එහි දී ඔහු කියා සිටියේ රැල්ෆ් බුල්ජන්ස් වනාහි පොල්  කෝම්බයක් ඇතුළතට රිංගා ගත් කඳපණුවෙකු සේ පොල් ලොඳ කා ඉන් එළියට ඒමට නොහැකි ව දඟලන්නෙකු බව ය.

දීප්තිගේ ලිපි තුළින් කථා බහෙන් එළියට පනින්නේ එක්කෝ තමන්ගේ නාගරික බව වෙනුවට අනෙකාගේ ඇති ‘ග්‍රාමීය’ බවකි. එසේත් නැත් නම් තමන්ට ඇති අනෙකාට නැති ඉංග්‍රීසි දැනුමකි. නැත් නම් තමන්ගේ මානසික නිරෝගී බව වෙනුවට අනෙකා තුළ ඇති මානසික රෝගී තත්වයකි. එසේත් නැත් නම් තමන්ගේ දියුණු පවුල වෙනුවට අනෙකාගේ සංස්කෘතික වශයෙන් දුගී පවුලකි. ඔරලෝසු දුන්නක් ක්‍රමානුකූල ව දිග හරිමින් ඉදිරියට යනවා සේ පෙනෙන ගමනක් තමන් ප්‍රකාශයට පත් කළත් ඔහුගේ ආත්මගත චින්තනය නිසා හැම විට ම සිදු වන්නේ තමන් අතින් ගිලිහෙන ඔරලෝසු දුන්න කැරකැවී තිබුණු තැනට ම ආපසු කරකැවීමකි. ඔහුගේ ඕනෑ ම විචාරයක් කරකැවෙන්නේ එක ම තැනක ය. මේ නිසා ඔහුගේ චින්තනය දයලෙක්තික ලෙස ඉදිරියට විකාශනය වන එකක් නො ව බලු වලිගයක් මෙන් ආපසු කරකැවී තමන්ගේ ම පිටෙහි වදින එකකි. මේ බලු වලිග න්‍යාය උණ පුරුකයේ දැම්මත් දිග හැරිය නොහැකි එකකි.

යම් පුද්ගලයකු තමන් උපන් ගම නිසා ඔහුගේ චින්තනය පසුගාමී වන බව කීවොත් එය දයලෙක්තික එකක් නො වේ. එය දයලෙක්තික නොවනවා පමණක් නො ව ව්‍යූහවාදී එකක් ද නො වේ. ව්‍යූහවාදය මඟින් භාෂාවේ ප්‍රාදේශීයවාදයන් බිඳ දැමුවේ ය. දීප්ති තමන්ගේ දයලෙක්තික නොවන බලු වලිග චින්තනයට අනුව ගොස් තමන්ගේ ප්‍රතිවාදීන් ලෙස සැලකූ බොහෝ අයට පහර දුන්නේ ඔවුන්ගේ ගම මතක් කරමිනි. යමෙකු පොළොන්නරුවේ ඉපදීම නිසා හෝ තවත් කෙනෙකු කුලියාපිටියේ ඉපදීම නිසා හෝ ඔහුගේ චින්තනය ඒ අනුව තීන්දු වෙනවා හෝ සීමා වෙනවා යැයි ගැනීම දයලෙක්තික ප්‍රවේශයක් නො වේ. 
‘ආචාර්ය නිව්ටන් ගුණසිංහ: ශාස්ත්‍රවේදියෙකුට උපහාරයක් ලෙසින්, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, මඟින් ප්‍රකාශයට පත් කළ නිව්ටන් ගුණසිංහ තෝරා ගත් ලිපි, (2011) ග්‍රන්ථයේ ජයදේව උයන්ගොඩ මෙසේ ලියා තිබේ:

’ආචාර්ය ගුණසිංහ ඉපදුනේ 1946 අප්‍රියෙල් 5 වැනිදා නාවලපිටියේ දී ය. නාවලපිටියෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනයත් ලැබූ හෙතෙම 1963 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ය. එහි දී රැල්ෆ් පීරිස්, ගණනාත් ඔබේසේකර සහ ලක්සිරි ජයසූරිය යන මහාචාර්යවරුන් යටතේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව හැදෑරී ය. උපාධි ලාභයෙන් පසු ව ඔහු උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික කොමිසමේ සභාපති වූ මහාචාර්ය ගුණපාල මලලසේකරගේ පර්යේෂණ නිලධාරියා ලෙස සේවය කළේ ය. හෙතෙම වසරක් පුරා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරකු ද විය. 1973 දී ඔස්ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබූ නිව්ටන් ආචාර්ය උපාධි අධ්‍යාපනය පිණිස එංගලන්තය කරා ගියේ ය. මැක්ස් ග්ලක්මන් සහ පීටර් වුස්ලි යන විශිෂ්ට ශාස්ත්‍රවේදීන් දෙදෙනාගේ අධිපතිත්වයෙන් යුත් සමාජ මානව විද්‍යාව/සමාජ විද්‍යාව අංශය පිහිටා ඇති මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයට හේ සම්බන්ධ වූයේ ය. පසුව සසේක්ස් විශ්වවිද්‍යාලයට මාරු වී 1979  දී ස්වකීය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ය. (උයන්ගොඩ, 2011, 9-10)
Picture
 
​Dr.Newton Gunasinghe
 
මෙම උපුටනය පරික්‍ෂාකාරී ව කියෙව්වොත් පෙනී යන කාරණයක් වන්නේ නිව්ටන් ගුණසිංහගේ චින්තනය දයලෙක්තික ලෙස වර්ධනය වන ආකාරය ය. නාවලපිටියේ උපත ලැබීම ඔහුගේ චින්තනය සීමා කර නැත. ඇත්ත වශයෙන් ම සිදු වන්නේ තමන් උපදින අවකාශයේ සීමාවන් බාධාවන් තිබේ නම් ඒවා ජය ගැනීම සඳහා ඊළඟ අවධියට ගමන් කිරීමත් එහි දී හමු වන බාධාවන් හා සීමාවන් ඊට වඩා දියුණු අවධියක දී විසඳා ගැනීමත් ය; ඒ ඒ අවධිවල දී තමන්ට හමු වන විශේෂ පුද්ගලයන්, ආයතනයන් හරහා තම චින්තනය පුළුල් කර ගැනීමත් ය. දයලෙක්තිකයේ ඇති මූලික නීතියක් වන්නේ බාධාවන්, සීමාවන් හා ප්‍රතිවිරෝධතා සාධනීය ලෙස ගැනීම ය. නමුත් දීප්තිගේ බලු වලිග චින්තනය අනුව නිව්ටන් ගුණසිංහගේ ගම නාවලපිටිය වීම නිසා ඔහුව නිග්‍රහයට ලක් විය යුතු ය; අපහාස උපහාසයට ලක් විය යුතුය. 

මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන මිය යාමෙන් පසුව උගතුන් කිහිප දෙනෙකුගේ ලිපි එකතුවක් ලෙස 2011 දී සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මඟින් ප්‍රකාශයට පත් කළ ‘ලෙස්ලි ගුණවර්ධන’ පොතට කේ. ඉන්ද්‍රපාලා ලියන ලිපියේ මෙවැන්නක් කියයි:
1938 වසරේදී උපත ලත් ලෙස්ලිට බාලවියේදීම දෙමාපියන් අහිමි විය. එතැන් පටන් ඔහු හැදුනේ වැඩුනේ ස්වකීය ආදරණිය මාමා සමඟ ය. බෑනා වෙනුවෙන් ස්වකීය මුලු කාලය කැප කළ යුතු යැයි සිතූ නිසාදෝ මාමා විවාහයකට පවා ඇතුළත් නොවී තනියම කල් යැවී ය. ගමේ පාසල වන තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඇතුළු වූ කාලයේ සිට ම ලෙස්ලි ස්වකීය අසාමාන්‍ය කුසලතාවන් සහ බුද්ධි මහිමය ප්‍රදර්ශනය කරන්නට පටන් ගති. එවකට ශ්‍රී ලංකාවේ පිහිටා තිබූ එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලයට ග්‍රාමීය පාසැලකින් ඇතුළත් වූ පළමු වැන්නා ලෙස්ලි ය. 1956 අවුරුද්දෙහි ඔහු විශ්ව විද්‍යාල ප්‍රවේශ කලා ශිෂ්‍යත්වය ද උපාධි අපේක්‍ෂකයන්ට පිරිනමන රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වයද දිනා ගති. විසිවන සියවසේ පළමු වන අඩ සියවස ඇතුළත රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන  ලද මධ්‍ය මහා විද්‍යාල නිදහස් අධ්‍යාපන ක්‍රමයේ මල්ඵල නෙලාගත් දිදුලන උදහරණයක් ලෙසින් ලෙස්ලි හඳුන්වා දෙනු ලැබීය. ග්‍රාමීය ප්‍රදේශවලින් මතුවන ශිෂ්‍ය ශක්‍යතාවයේ මස්තකප්‍රාප්තියක් හැටියටත් ලෙස්ලි හඳුන්වා දෙනු ලැබීය. (කේ. ඉන්ද්‍රපාලා 2011, 30-31)

ලෙස්ලි ගුණවර්ධනට තම ගමෙහි පාසැල වූ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය සිය චින්තනයේ දයලෙක්තික වර්ධනයට බාධාවක් වී තිබේ ද? දීප්තිගේ බලු වලිග න්‍යාය අනුව නම් ලෙස්ලි තෝංලගමුවේ නිසා නිග්‍රහයට ලක් විය යුතු පුද්ගලයෙකි. දීප්තිට මිනිස් චින්තනයේ දයලෙක්තික වර්ධනය සම්බන්ධයෙන් දැවැන්ත වරදක් සිදු වන්නේ තමන් කේන්ද්‍ර කරගත් ඒකපාර්ශ්වීය දැක්ම නිසා ය. ඔහුගේ ආත්මීය විඥනවාදී චින්තනය සෑම තැනක ම තමන්ගේ මුද්‍රාව දැකීමට ඔහු පොළඹවයි. හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළත් තර්කවිද්‍යාව කෘතිය තුළත් කරන්නේ අප හිරවී සිටින ඝනීභූත චින්තනයන්ගෙන් අපව ගලවා ගැනීම ය. නමුත් දීප්තිට තමන් සම්බන්ධයෙන් වත් ප්‍රපංචවිද්‍යාත්මක ගමනක් යා නොහැකි වී ඇත. සමස්තය (totality) හා මැදිහත්වීම් (mediation) යන දෙක ම ගැන සවිඥානක වීම දයලෙක්තික චින්නයේ පදනම ය. දීප්තිට අහෝසි වී තිබෙන්නේ මේ දයලෙක්තික චින්තනයේ පදනම ය. එසේ තිබිය දී මේ පද්ධතියේ එක් තැනක් එනම් ඔහුගේ  ප්‍රතිවාදියෙකු ඉපදුනු ගම වැනි ඝනිභූත ප්‍රවර්ගයක් පමණක් ඔහු උත්කර්ෂණය කර එයට පහර ගසයි. මා ඉපදුනේ කාලය, දේශය, දීපය, කුලය මව නම් පස්මහාබැලුම් බලා නො වේ. මට තිබුණේ පූර්ව උපකල්පන විරහිත ආරම්භයකි (presuppositionless begining). නමුත් දීප්ති ඉපදී තිබෙන්නේ කලින් ම පස්මහබැලුම් බලා ය. ඔහුගේ මේ දයලෙක්තික විරෝධී චින්තනය නිසා යමෙකු සියබස්ලංකාරය හදාරා තිබෙන නිසා ඔහුට ඩෙරීඩා අවබෝධ කර ගැනීමට හැකියාවක් නැතැ යි යන දයලෙක්තික විරෝධී නිගමනයක් එළියට එයි. මෙහි දී උත්ප්‍රාසය වන්නේ තමන් වැනි නාට්‍යකාරයකුට ඩෙරීඩා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුණේ කොහොම ද යන්න ය. යම් ආත්මීය මැදිහත් වීමක් කර ඕනෑ ම චින්තකයකු අවබෝධ කර ගනීමට සෑම කෙනෙකු තුළ ම විභවයක් ඇත. චින්තකයන් අවබෝධ කරගැනීම සුවිශේෂ පුද්ගලයන්ට පමණක් ලැබෙන සුවිශේෂ වරප්‍රසාදයක් නො වේ. එමෙන් ම කිසි ම චින්තකයකු පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගන්නවා යනුවෙන් දෙයක් ද නැත. 

අවම වශයෙන් වසර 18ක පමණ කාලයේ සිට මා යෙදී සිටින්නේ එක ම ව්‍යාපෘතියක ය. ඒ හෙගලියානු දයලෙක්තික විධික්‍රමය, එහි ඥානවිභාගාත්මක සහ සද්භවවාදී දැක්ම විකල්ප විමුක්ති දේශපාලනයකට යොදා ගන්නේ කෙසේ ද යන්න පරීක්‍ෂා කිරීම ය. අපගේ දේශපාලනය සඳහා හෙගලියානු-මාක්ස්වාදයක් යෝජනා කිරීම මේ ව්‍යාපෘතියේ කේන්ද්‍රයේ ම ඇත. මේ ඉතිහාසය ගැන සවිඥානකත්වයකින් තොරව දීප්ති කරන විවේචන තුළින් පෙන්නුම් කරන්නේ ඔහු සැබෑ වශයෙන් හෙගලියානු දාර්ශනික සාරය ග්‍රහණය කර ගෙන නොමැති බව ය. මෙයින් මා එන නිගමනය කුමක්ද?

1. ඔහුට හෙගල් අවශ්‍ය වූයේ තමන් මුහුණ දුන් දේශපාලන අර්බුදයක් පියමන් කිරීමේ උපක්‍රමයක් වශයෙන් පමණි. ඔහුට අවශ්‍ය වන්නේ හෙගල්ගේ පිට පොත්ත පමණි. එහි සබුද්ධික මදය ඔහුගෙන් ගිලිහී ඇත.

2. ඔහුට හෙගල් වනාහි දාර්ශනිකයන් අතර තවත් එක් දාර්ශනිකයකු පමණි. සෝෂියර්, ඩෙරීඩා, ෆුකෝ, ලැකාන්, ලැක්ලාව්, ජිජැක් වැනි දාර්ශනිකයන් අතර තවත් එක් දාර්ශනිකයකු පමණි. මනිබඩුකාරයෙකු ළඟ ඇති විවිධ වර්ගයේ භාණ්ඩ අතර තවත් එක් භාණ්ඩයක් පමණි. 

3. පුද්ගලයන් සමඟ දයලෙක්තික වශයෙන් අභිමුඛ නො වී තම අභිමතය පරිදි නාමික වත් නිර්නාමික වත් අනෙකාට පහර දීම ඔහුගේ පුරුද්ද ය. එස්. බී. ඩී. සිල්වා ජීවත් ව සිටින කාලයේ දී දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඔහු සමඟ සැබෑ සංවාදයකට යාමේ අවස්ථාව ඕනෑ තරම් තිබිය දී එස්. බී. ඩී. ගේ දේශපාලන ආර්ථික විද්‍යාව ඔහු මිය ගිය පසුව තමන් විසින් සමතික්‍රමණය කර තිබෙන බවත්, එස්. බී. ඩී. නොදැන සිටි ලුබ්ධිමය ආර්ථිකය තමන් දන්නා බවත්, එස්. බී. ඩී. ට ලිංගික හා ගැහැනු ප්‍රශ්න තිබුණු බවත් පැවසීම දයලෙක්තිකවාදියෙකුගේ ප්‍රවේශය නො වේ. යමෙකු ජීවත් ව සිටිය දී සත්‍ය සංවාදයකට නො යා ඔහු මිය ගිය පසු ඔහුගේ සොහොන් කොතට ගල් ගැසීම දයලෙක්තික ප්‍රවේශයක් නො වේ.  

​ක්‍රි.පූ. 470-399 කාලයේ සිටි සොක්‍රටීස් අපෝහක ක්‍රමය හඳුනා ගන්නේ මේ ආකාරයට ය.
Picture
 
Socrates
සාමාන්‍යයෙන් සොක්‍රටීස් භාවිත කරන ලද ක්‍රමය අපෝහන ක්‍රමයකි. සත්‍යය සොයා ගැනීමේ මේ ක්‍රමය හුදෙක් වචනයෙන් ජය ගැනීම පරමාර්ථය කොට ඇති තාර්කිකයන්ගේ වාදයකට වෙනස් ය. අපෝහක ක්‍රමය විද්‍යාවන් අතුරෙන් ඉතා මත් උසස් විද්‍යාව වූ යහපතෙහි ආකෘතිය පිළිබඳ විද්‍යාවට අයත් ය. බොහෝ දුරට සිදු විය හැකි යමක් හෝ ඇතුළත් කිරීමක් ගෙන එයට එකඟ වන දේ සත්‍යය හැටියටත් එකඟ නොවන දේ වැරදි හැටියටත් දක්වනු ලැබේ. මෙය කරන තුරුත් කල්පිතයේ ප්‍රතිඵලයන්හි න්‍යාය විරෝධී යමක් තිබේ දැයි සොයා බලන තුරුත්, කල්පිතය ගැන ප්‍රශ්න ඇසීමට පිළිතුරු දෙන්නාට ඉඩ දෙනු නො ලැබේ. කල්පිතයේ ප්‍රතිඵල න්‍යාය විරෝධී වුව හොත් පමණක් කල්පිතයේ ආරක්‍ෂකයාට එය සංශෝධනයට අවසර දෙනු ලැබේ. සොක්‍රටීස්ගේ විවේචන ක්‍රමය වූකලි තීරණයන් එකිනෙකට පරස්පර විරෝධී බව හෝ සාමාන්‍ය දැනීමට නොහොත් පළපුරුද්දට, නැති නම් නීතිය වැනි තාර්කික මූලධර්මයකට පරස්පර ව සිටින බව නීතිය හෝ දැක්වීමෙන් න්‍යාය විරෝධී බව ඔප්පු කිරීමේ ක්‍රමයකි (මර්ලින් පීරිස්, ඩී. පොන්නම්පෙරුම, 1996, 8)
 
සොක්‍රටීස් අවබෝධ කර ගත් කාරණයක් වූයේ දයලෙක්තිකය යනු වචනයෙන් ජය ගැනීමක් නොවන බව ය. දීප්තිගේ දයලෙක්තිකය යනු වචනයෙන් ජය ගැනීමට ගන්නා උත්සාහයකි. හෙගල් විසින් දයලෙක්තික ක්‍රමය උපරිමයකට වර්ධනය කළේ ය. දීප්ති තමන්ගේ විශ්ලේෂණය තුළ දයලෙක්තිකය යන වචනය පාවිච්චි කළ ද ඔහු කිසි ම දෙයක් සම්බන්ධයෙන් සංයුක්ත දයලෙක්තික විශ්ලේෂණයක් කිරීමට අපොහොසත් වේ. තමන්ට අවධානය දිනා ගැනීම  සඳහා අනෙකාට පහර දීමත්, තමන් තුළ කිසිදු විසංවාදයක් නැතැ යි හඟවමින් අනෙකා තුළ විසංවාදය පෙන්වා දීමත් ඔහුගේ පුරුද්ද ය.

මා සම්බන්ධයෙන් දීප්ති විසින් විවේචන කිහිපයක් ගෙන ආවේ ය. ඒවායෙන් සමහරක් ත්‍රිමාණ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය. මේවායින් එකක් සලකා බලමු.

වරෙක ඔහු කියා සිටියේ මාගේ විග්‍රහයන් තුළ තිබෙන්නේ හුසර්ලියානු ප්‍රපංච විද්‍යාවක් බව ය. දාර්ශනික ව ප්‍රපංචවිද්‍යාව (phenomenology) යනුවෙන් අදහස් කරන්නේ විඥානය (consciousness)  විශ්ලෙෂණය කිරීමේ හා විස්තර කිරීමේ ක්‍රමවේදයකි. විඥානයට දෙන ලද දේ විස්තර කිරීම මෙහි දී සිදු වේ. දේවල්වලට ම ආපසු යාම (back to things themselves) මෙහි ක්‍රමවේදය ය. මාගේ මනසට ලබා දෙන අනන්තර, අව්‍යවහිත සාරයන් වෙත යොමු වීම, මනසින් යමක් අනුභූතිමත් කිරීමේ දෘෂ්ටිකෝණයෙන් ලෝකය දෙස බැලීම (consciousness is consciousness of something) මෙහි දී  සිදු වේ. කාටීසියානු ආකාරයේ මම සහ ලෝකය වශයෙන් ද්වෛතවාදී දැක්මකට නො වැටී ප්‍රති-විද්‍යාවාදී (anti-scientism), ප්‍රති-මනෝවිද්‍යාවාදී (anti-psychologism) හා ප්‍රති-යථානුභූතවාදී (anti-positivistic) මඟක් ගනිමින් මනසට පෙනෙන ලෝකය විස්තර කිරීම හුසර්ල්ගේ ප්‍රවේශය විය. හුසල් තමාගේ ප්‍රවේශය තුළ අලුත් දාර්ශනික සංකල්ප ගණනාවක් හඳාුන්වා දුන්නේ ය. අභිප්‍රායතාව/චේතනාත්මක බව (intentionality) පූර්ව උපකල්පන විරහිත බව (presuppositionless) අභිප්‍රායමය වස්තුව (intentional object), අනුභූති උත්තර ආත්මය (transcendental ego), මම-යමක්-ගැන-සිතන-බව (I-think-something/ego-cogito-cogitatum), සාරාත්මක ඌනනය (eidetic reduction), ප්‍රපංචවිද්‍යාත්මක ඌනනය (phenomenological reduction), අත්හිටුවීම (suspension/epochê), වරහන්ගත කිරීම් (bracketing), අනුභූති උත්තර ඌනනය (transcendental reduction) අන්තර් ආත්මීයතාව (inter subjectivism), ජීවිත ලෝකය (life-world/Lebenswelt) ඔහුගේ සංකල්ප අතරින් කිහිපයකි.

මාගේ අදහස වන්නේ මා හුසලියානු ප්‍රපංචවේදියෙකු නම් මේ සංකල්ප මාගේ ලිපි ලේඛන තුළ අන්තර්ගත වන ආකාරය දීප්ති විසින් පෙන්වා දිය යුතු බව ය. එසේ නොහැර තමන්ගේ අතට හසුවන වචන හා සංකල්පවලින් තමාගේ ‘මනසට පෙනෙන’ ආකාරයට ප්‍රතිවාදීන්ට ගසා දැමීම දයලෙක්තික ප්‍රවේශයක් නො වේ. අඩු ම වශයෙන් හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව හා හුසල්ගේ ප්‍රපංචවිද්‍යාව අතර වෙනස තේරුම් නො ගැනීම උත්ප්‍රාසය ජනක ය. X ව්‍යාපාරයේ දැකිය හැකි පොදු ලක්‍ෂණයක් වූයේ දාර්ශනික පණ්ඩිතකම් ප්‍රදර්ශනය කිරීමත්, සමාජය දාර්ශනික ව බය කිරීමත් ය. ඔහුගේ ඊනියා දාර්ශනික ලිපි සිහිබුද්ධියෙන් පරීක්‍ෂා කළොත් පෙනී යන්නේ ඔහු ඉතා ම සරල ආකාරයට මහාද්වීපික දාර්ශනික සංකල්ප සමඟ සෙල්ලම් කරන බව ය.

මෙහි දී වැදගත් වන්නේ දීප්ති කියන්නේ කුමක්ද යන්න නො ව ඒවා එසේ කියවෙන්නේ ඇයි ද යන්න ය. ඔහු නගන ප්‍රශ්න හා විවේචන අව්‍යාජ සංයුක්ත දේශපාලන විවේචනයන් නො ව තමන් ආරක්‍ෂා කර ගැනීමට, තමන්ට පිළිගැනීම ලබා ගැනීමට, සෑම සාධනීය දෙයක ම උත්පත්තිය තමන් බව කියා පෑමට දරන උත්සාහයන් ය. ඔහු සැම දා කරන්නේ විවිධ ක්‍ෂේත්‍රවල ස්වාධීන ව චින්තනමය කාර්යයන් කරන පුද්ගලයන්ට දාර්ශනික ප්‍රහාරයන් එල්ල කිරීමත් තමන්ට කිසි දා කළ නොහැකි වූ භෞතික අරගලයන් කළ වෘත්තිය සමිති නායකයන්ට, සමාජයේ වඩාත් ව්‍යාප්තව පැතිරුණු විකල්ප දේශපාලන ව්‍යාපාරවල නායකයන්ට එරෙහි ව පවත්නා ආණ්ඩුවල අවශ්‍යතාවන් වෙනුවෙන් දාර්ශනික කොන්ත්‍රාත් භාර ගැනීම ය. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂවලට හා එහි නායකයන්ට එරෙහි ව දාර්ශනික විවේචන, මඩ, අවලාද නැගීමට පෙර තමන්ට දෙතුන් දෙනෙකු වත් එකතු කර ගෙන සංවිධානයක් සාදා ගැනීමට නොහැකි වන්නේ ඇයි ද යන්න ගැන ඔහු දයලෙක්තික විශ්ලේෂණයක්  කළ යුතු ය. 

ආත්මයකට ඌනනය වූ මිනිසෙකුට පෙරටුගාමී ව්‍යාපාරයක් හෝ සමබිමක් බිහි කළ නොහැකි ය. හෙගලියානු අර්ථයෙන් නිදහස උදා කර ගැනීමට වෙහෙසෙන සමාජ ව්‍යාපාරයක් යනු අනන්‍යතාවන් හා වෙනස්කම් එක්තැන් කර ගත් අනන්‍යතාවකි. ඒ අනුව, පරිපූර්ණ ඒකත්වයක් කිසි දා බිහි කළ නොහැකි ය යන්න පිළිබඳ ව ඕනෑ ම දේශපාලන ව්‍යාපාරයක් සවිඥානක විය යුතු ය.

X ව්‍යාපාරයේ පියා වූ රොහාන් පෙරේරා ශරීරයකට ඌනනය වීමත් එහි අනුප්‍රාප්තිකයා වූ දීප්ති ආත්මයකට, මනසකට ඌනනය වීමත් යන ක්‍රියාවලියේ ඊළඟ තාර්කික ප්‍රතිඵලය වන්නේ දෙවියෙකුට ඌනනය වු මිනිසෙකු බිහි වීම ය. මෙම දෙවියන් බිහි වූයෛ් රතු ව්‍යාපාරයේ නායකත්වය තුළිනි. එයින් බයිබලයේ පියා-පුතා ශුද්ධාත්මය නම් ත්‍රිත්වය සම්පූර්ණ විය. 

දිව්‍යත්වය කරා ළංවන්නෙකු ශරීරයට හෝ මනසට ඌනනය වූ ඝනීභූත ආත්මයන් හා ඒකපාර්ශ්වීය භාවයන් ක්‍රමානුකූල ව දයලෙක්තික ආකාරයට දිය කර හරියි; සමතික්‍රමණය කරයි. එසේ සමතික්‍රමණය කරන්නෙකුට ශරීරයකට ඌනනය වූ සහ ආත්මයන්ට ඌනනය වූ පුද්ගලයන්ට වඩා වපසරියක් දැකිය හැකි ය. වෙනත් ලෙසකින් කීවොත් සමස්තය සහ ඒ තුළ වූ අන්තර් සම්බන්ධයන් විනිවිද දැකිය හැකි ය. මා මුලින් සිතුවේ රතු ව්‍යාපාරයේ නායකයා තුළ මේ ලක්‍ෂණයන් තිබෙන බවට ය. වාස්තවික පිළිවෙළ (substance) ගැන කථා කෙරෙන දේශපාලන ආර්ථික විද්‍යාව ඔහු නිතර නිතර අවධාරණය කළ අතර ආත්මීය පිළිවෙළ (subject) ගැන කථා කරන මනෝවිශ්ලේෂණය ඔහු නිතර සාකච්ඡාවට ගත්තේ ය. මා ඇත්ත වශයෙන් ම සිතුවේත් සාරාර්ථය දෙස පමණක් නොව ආත්මය දෙසත් බැලිය හැකි පරමත්වය (the Absolute) රතු ව්‍යාපාරයේ නායකයා තුළින් බිහි වී තිබෙන බව ය. 

නමුත් ඉතාමත් කෙටි කලකින් මට අවබෝධ වූයේ රතු ව්‍යාපාරයේ නායකයා යනු ස්වර්ගයේ සිටින දෙවියකු ලෙසින් පෙනී සිටීමට උත්සාහ ගත්තත් ඔහු සත්‍ය වශයෙන් පාතාලයේ දෙවියෙකු බව ය. ඔහු හැසිරුණේ අතීතයේ දී කිසිදු කෙනෙකු මේ ව්‍යාපාරයේ වර්ධනයට සාධනීය දායකත්වයක් කර නැති බවට ය. ඔහුගේ උත්සාහය වූයේ ව්‍යාපාරයේ සමස්ත අතීතය මකා දමා තමන්ගෙන් ආරම්භ වන ව්‍යාපාරයක්  ගැන කථා කිරීමට ය. ඔහු දීප්ති විසින් ලියූ කියූ දේවල්වල පමණක් නො ව මා සහ රුවන් කුමාර විසින් ලියන ලද දේවල්වල අඩුපාඩු දුර්වලතා කලින් ම දැක ඇත. අප වරද්දවා ගන්නවා ඒ කාලයේ දී ම නිරීක්‍ෂණය කර ඇත. පාතාලයේ සිට මේවා දෙස බලා ගෙන සිට ඇත. හෙගලියානු ප්‍රපංචවිද්‍යාවට අනුව යමෙකුට ප්‍රඥාව පහළ වන්නේ ගොම්මනේ දී ය. නමුත් මොහුට උදෑසන ම ප්‍රඥාව පහළ වී ඇත. හෙගල්ට අනුව ප්‍රඥාව පහළ වන්නේ යම් ක්‍රියාවලියක වර්ධනය අවසානයේ දී ය. නමුත් රතු ව්‍යාපාරයේ නායකයාට ක්‍රියාවලිය ආරම්භයේ දී ම සවිඥානකත්වය ලැබී ඇත. හෙගලියානු චින්තනයට අනුව අනාගතය ගැන අනුමානයන් හා උපකල්පනය කිරීම් කළ නොහැකි ය. මෙහි දී කළ හැක්කේ අතීතය ගැන සම්ප්‍රජානනයක් ඇති කර ගැනීම ය. නමුත් රතු ව්‍යාපාරයේ නායකයා අතීතයේ දී ම අනාගතයේ අපට විය හැකි දේ පෙර දැක ඇත. පාතාලයේ දෙවිවරුන් කරන්නේ තමන් සමඟ යම් හෝ එකඟත්වයක් නැති අය විනාශ කිරීම, ඔවුන් ගැන ඔත්තු බැලීම සහ තමන්ට අනුග්‍රහය දක්වන අය පමණක් උප්පරවැට්ටි යොදා ගනිමින් තමාට බැඳ තබා ගැනීම ය. 

මෙවැන්නෙකු ඉදිරියේ සංවිධාන සාමාජිකයන්ට හා සංවිධානයට විවිධ ආකාරයෙන් උදව් උපකාර කරන්නන්ට අත් වන ඉරණම කුමක් ද? කිසිම විචාරයකින්, ප්‍රශ්න කිරීමකින් තොර ව නායකයාගේ දේශනවලට සවන් දීම ය. එම දේශන දොහොත් මුදුනින් බාර ගැනීම ය. සංවිධානයට විවිධ ආකාරයෙන් උදව් කරන්නාට සිදු වන්නේ ඉතා මත් උපයෝගිතාවාදී ආකාරයට තමන් පාවිච්චි වීම ය. තමන් ගැන දැවැන්ත අධිතක්සේරුව, උද්ධච්ඡභාවය, බොරු කීම තමන්ට නැති බලයක් ප්‍රදර්ශනය කිරීම තමන් සියල්ල දන්නවා යැයි පෙන්වීම මෙවන් පාතාල දෙවියන්ගේ ලක්‍ෂණයන් ය. 

දෙවියන් වහන්සේ තුළ ම ය යක්‍ෂයා ජීවත් වන්නේ. මුල් ම හීබෲ ගෝත්‍රිකයෝ එක් සුපිරි දෙවියෙකු ගැන විශ්වාසයෙන් සිටියහ. සියලු ම ද්‍රව්‍යමය දේවල්හි මෙන් ම සදචාර නියමයන්ගේ නිර්මාපකයා ද මේ දෙවියන් යැයි සිතූහ. නමුත් මේ දෙවියන් ම ය ඒදන් උයනින් ආදම් පන්නනු ලබන්නේ. මිනිසුන්ට එක භාෂාවක් තිබෙන බව දැන ගන්නා මෙම දෙවියන් ඔවුන් එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස ඔවුන්ගේ භාෂාව අවුල් කිරීමට තීන්දුව ගනී. මේ දෙවියන් වහන්සේ ම ය බාබෙල් ශිෂ්ටාචාරය විනාශ කරන්නේ. දෙවියන් මෙහි දී  මෙසේ කියයි. “නුඹලා ඔවුන්ට ආචාර නොකළ යුතු ය. සේවයද නොකළ යුතු ය. මක්නිසා ද නුඹලාගේ ස්වාමි වූ මම ඊර්ෂ්‍යා සහගත (Jealous) දෙවි කෙනෙකි (බයිබලය උත්පත්ති 8:22). “මට වෛර කරන්නාවු පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ගෙන් පළිගන්නා වූ දෙවි කෙනෙකි”. (බයිබලය, ලෙව් කථාව 20 :70).

රතු ව්‍යාපාරයේ නායකයා තුළින් දෝංකාරය දුන්නේ දෙවියන් තුළ ම පවත්නා පාදඩකම ය. මා කලින් හිතුවේ රතු ව්‍යාපාරයේ නායක දෙවියන් දේශපාලන, ආර්ථික විද්‍යාව, මනෝවිශ්ලේෂණය හරහා ලෝකය දෙස බලන උත්කෘෂ්ට දෙවියකු බව ය. නමුත් පසුව අවබෝධ වූයේ ඔහු පාතාල ක්‍රම මඟින් ලෝකය තේරුම් ගන්නා අනෙකා සම්බන්ධ ව මඩ ගසන, කුමන්ත්‍රණ කරන, ඔත්තු බලන පාතාල දෙවියකු බව ය. දෙවියා මෙන් ම යක්‍ෂයා ද බිහි කරන්නේ අවසන් අර්ථයේ දී මිනිස් ආත්මයක් මඟින් ය.  වෙනත් ලෙසකින් කීවොත් දෙවියන් මෙන් ම යක්‍ෂයා බිහි කරන්නේ දේවාලයේ කපුවා ය. කපුවා විසින් තිරයක් සාදා තිරයෙන් ඔබ්බෙහි එක්කෝ දෙවියන් නැත් නම් යක්‍ෂයා ඇතැ යි කියා සිටී. දෙවියන්ගෙන් හෝ යක්‍ෂයාගෙන් වැඩ ගැනීමට කැමති බැතිමත්තු කපුවාට දොළ පිදේනි, පූජා වට්ටි, මිල මුදල් ලබා දෙයි. තිරයෙන් ඔබ්බෙහි කිසිවක් නැති බව වඩාත් හොඳින් ම දන්නේ කපුවාය. එසේ දැන දැන ම කපුවා දොළ පිදේනි, පුජා වට්ටි, මුදල් බැතිමතුන්ගෙන් ලබා ගනියි. කපුවා මේවා ලබා ගන්නේ දෙවියන් හෝ යක්‍ෂයා සඳහා නො වේ. 

X ව්‍යාපාරයේ නායකයන් කර තිබෙන්නේ තමන්ගේ සතුරන් කා දැමීම සඳහා විලෝපිතයන් බිහි කිරීමත් ඒ විලෝපිතයන් තමන්ට මත් තර්ජනයක් වූ විට වෙනත් විලෝපිතයන් බිහි කිරීමත් ය. මේ විලෝපිතයන් සමාජයට මුසු වී දේශපාලනය, කලාව හා දර්ශනය කා දැමීමත් ය. X ව්‍යාපෘතියේ අවසන් ප්‍රතිඵලය සමාජ හෝ දේශපාලන විමුක්තියක් නො වේ. ඒ වෙනුවට පුද්ගලයන් කේන්ද්‍ර කර ගත් දාර්ශනික කල්ලි සහ විපරීත දාර්ශනිකයන් බිහි වීම මේ ව්‍යාපාරයේ තාර්කික අන්තය ය.

ශරීරය බවට ඌනනය වූවන්ගේ, මනස් බවට ඌනනය වූවන්ගේ සහ දෙවියන් බවට ඌනනය වූවන්ගේ සීමාවන් තේරුම් ගැනීමටත් ව්‍යාජ හෙගලියානුවන්ගේ හා විපරීත දාර්ශනිකයන්ගේ බිහි වීම තේරුම් ගැනීමටත්, ඔවුන් කරමින් සිටින දෙය අවබෝධ කරගැනීමටත් මා යෝජනා කරන්නේ වඩාත් දියුණු හෙගලියානු මාක්ස්වාදයකි. පවත්නා යථාර්ථයේ බල රටාවන් හෙවත් ගතිකත්වයන් සවිඥානික ව තේරුම් ගනිමින් එය යම් අලුත් ඉලක්කයක් කරා මෙහෙය වීම සඳහා මා යෝජනා කරන්නේත් හෙගලියානු-මාක්ස්වාදයකි. මේ සඳහා හෙගලියානු නිෂේධනයට අතිමහත් බලයක් තිබෙන බව අවධාරණයෙන් පවසමි. 

සවිඥානක පාලනයට ලක් කළ ආත්ම-ව්‍යූහයක්

භෞතික, සමාජ, දේශපාලන හා ආර්ථික ව්‍යූහයන් මෙන් චින්තනමය දෘෂ්ටිවාදී රාමුව සොබාවික එකක් නො ව මිනිසාගේ ම භෞතිකමය හා චින්තනමය මැදිහත් වීමක නිර්මාණයකි. මේ නිසා ම මේ භෞතිකමය ව්‍යූහය හා අදහස්මය රාමුව වෙනස් කිරීමේ හැකියාව තිබෙන්නේ ද මිනිසාට ය. මෙය හෙගලියානු භාෂාවෙන් කීවොත් භෞතිකමය හා චින්තනමය ලෝකය ආත්මයේ දිග හැරීමක් වන  අතර මෙම දිග හැරුණු ලෝකය අපගෙන් පරාරෝපිත එකක් වූ විට එයින් ගැලවීමේ හැකියාව තිබෙන්නේත් මිනිස් ආත්මයන්ට ය. පුද්ගල මිනිස් ආත්මයකට ඇති අතිමහත් බලය ස්වයංසිද්ධ ව ජනනය වූවක් නො ව අනෙකුත් ආත්මවල බලයන් හරහා සමුච්චනය වූවකි. ආත්මය පවත්නා සමාජ, ආර්ථික, දේශපාලන හා චිනත්නමය තත්ත්වයන් සමඟ පූර්ණ සහවාදයකට හෝ සුසංවාදයකට යන්නේ නැත. මිනිසුන් විසින් තත්ත්වයන් බිහිකරන අතර මිනිසුන් විසින් ම තත්ත්වයන් වෙනස් කරයි. ලංකාවටත් මේ යථාර්ථය පොදු ය. 

ලංකාවේ දී පවත්නා තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටියේත්, කරන්නේත් පුද්ගල ආත්මයන්ගේ එකතුවෙන් සැදුම් ලත් දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් වන අතර පවත්නා තත්ත්වයන් සමඟ සහවාදයකට හෝ සුසංවාදයකට හෝ නො ගොස් භෞතිකමය හා චින්තනමය වශයෙන් ගැටුම්වලට ගියේත්, යන්නේත් පුද්ගල ආත්මයන්ගෙන් සමන්විත දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් ය. ලංකාවේ 20 වන සියවසත්, 21 වන සියවසේ ආරම්භයත් පරීක්‍ෂා කළ විට පෙනී යන්නේ අපව පාලනය කරන, අපට සොබාවික ඒවා ලෙස පෙනෙන තත්ත්වයන් බිහි කර තිබෙන්නේ ඉංග්‍රීසි යටත් විජිතවාදීන්, ඔවුන්ගෙන් බලය ලබා ගත් දේශීය පාලක පන්තීන්, ඇමරිකානු, ඉන්දියානු හා චීන දේශපාලන තීන්දු හා ජාත්‍යන්තර ප්‍රාග්ධනය යන ඒවා මඟින් ය. මේ එකදු තත්ත්වයක් වත් ස්වාභාවික ඒවා නො ව මිනිස් මැදිහත් වීම් ය. මේ දේශපාලන ව්‍යාපාර සංකල්පීය ගොනු කිරීමකට ලක් කළොත් හෙගලියානු ආකාරයේ ත්‍රිත්වයන් හඳුනාගත හැකි ය.   

1. නිශ්චිත ව්‍යූහ විසින් මිනිසුන් අරගලවලට යොමු කරන බව පිළිගන්නා ව්‍යාපාර. ලංකාවේ මාක්ස්වාදී, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාර තුළ මේ ලක්‍ෂණ පවතී. ආර්ථික ව්‍යූහ මඟින් මිනිසුන් අරගලවලට කැන්දවන අතර ම මේ ආර්ථික ව්‍යුහ මඟින් ම අරගල දිය කර හරින බවත් මෙහි දී විශ්වාස කෙරෙයි. උදාහරණ ලෙස කීර්ති බාලසූරිය සිය ‘ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා පන්ති ස්වභාවය’ නම් පොතෙහි ජනතා විමුක්ති පෙරමුණ ගැන කියන මේ අදහස සලකා බලමු.
​​
Picture
 
Keerthi Balasooriya
ගොවියන්ට ඉඩම් නැතිකම, තරුණයන්ට රැකියා නැතිකම, වියලි කලාපයේ නියඟය හා අනෙක් තැන්වල ගංවතුර, සෝදා පාළුවීමෙන් ස්වාභාවික සම්පත් විනාශවීම යන මේ සියල්ලන්ම නිසා ගැමි ජනතාවට හා විශේෂයෙන්ම ඔවුන්ගෙන් මතු වී සිටින රැකියා නැති තරුණයන්ට ඇති වී තිබෙන අසහනය ජනතා විමුක්ති දේශප්‍රේමී බඳු පත්‍රවල පිටුවක් ගානේ ම ඉතාම හොඳින් ම පිළිබිඹු වේ… මේ අසහනය ම පදනම් කරගෙන ඔවුන් ගොඩනගා ඇති විරෝධතා ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. ඉහත කී සුවිශේෂී ප්‍රශ්න උඩ තරුණයන් සංවිධානය කර පෙරට ම ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ යත්න දරන විට ම මේ තරුණයන් ඉල්ලන ප්‍රතිසංස්කරණයන් ධනපති ක්‍රමයට සැලසිය නොහැකි නිසා ම අර්බුදයට හසුව ම ඇති ලාංකික ධනේශ්වර පන්තියේ ප්‍රධානතම පක්‍ෂයන් දෙක වන යුඇන්පියත්, ශ්‍රීලනිපයත් මේ ව්‍යාපාරයට විරුද්ධව සිටී. (බාලසූරිය 2007, 36-37) මේ විග්‍රහය යට ක්‍රියාත්මක වන දැක්ම වන්නේ ජවිපෙ වැනි දේශපාලන ව්‍යාපාරයක් නිශ්චිත ව්‍යූහාත්මක තත්ත්වයන්ගෙන් පැන නැගෙන ආකාරය ය. මේ ආකාර විග්‍රහයන් ඉදිරිපත් කරන පක්‍ෂ හෝ සංවිධාන කියා සිටින්නේ වර්තමානයේ පැන නැගෙන ගොවි අරගල, ගුරු අරගල, සිසු අරගල ආර්ථිකමය ව්‍යූහාත්මක තත්ත්වයන් මඟින් මතු වන බව ය. මේ අරගල නිශ්චිත දේශපාලන ආත්ම විසින් එනම් පක්‍ෂ හෝ කණ්ඩායම් විසින් සංවිධානය කරන ඒවා ලෙසට මෙහි දී සැලකෙන්නේ නැත.
 
X කණ්ඩායමේ විග්‍රහයන් තුළත් මේ ව්‍යූහවාදී ලක්‍ෂණයන් අන්තර්ගත ව පැවතිණි. භාෂා ව්‍යූහ මඟින් යථාර්ථය තීන්දු වන බව, අවිඥානක ව්‍යූහ මඟින් පුද්ගලයන් අරගලවලට ගෙන එන බව හෝ අවිඥානක ව්‍යූහ මඟින් අරගල පාවා දෙන බව මේ විග්‍රහ තුළ පැවතිණි. ව්‍යූහ ගොඩනැගීමට හා පවතින ව්‍යූහ වෙනස් කිරීම සඳහා ආත්මයකට ඇති අතිමහත් බලය මේ ව්‍යාපාර තුළ දී නො තකා හැරිණි. මේ ව්‍යාපාර තුළ න්‍යාය සාරාර්ථයක් ලෙස හැම විට ම ශේෂ ගත වේ. න්‍යායාත්මක නිවැරදි බව ආරක්‍ෂා වේ. අරගල කඩා වැටුණත් අවසානයේ දී ව්‍යූහයන් හා න්‍යායන් මණ්ඩි ලෙස ඉතිරි වේ. ව්‍යූහවාදියා ගඟට බසින්නේ නැත. ඔහු මතුපිට සිට ගඟ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ව්‍යූහයන් ගැන අපට කියා දෙයි. යමෙක් ගඟට බැස්සොත් ඔහුට වෙන දෙය ඔහු න්‍යායාත්මකව විග්‍රහ කරයි. යමෙකු ගඟට බැස ගිලුණොත් ව්‍යූහවාදියා කියන්නේ ‘මම කලින්ම කීවේ ඕක තමයි’ කියා යි. මේ නිසා ව්‍යූහවාදියා ගඟට බැස ඇඟ තළා ගන්නේ නැත. ඔහු හැම විට ම තමන් වත් තම න්‍යායත් ආරක්‍ෂා කර ගනී. ඔහු තමාගේ විප්ලවීය කන්‍යාභාවය ඉරා ගැනීමට කැමති නැත. මේ අය අතින් සමාජයේ වෙනසක් සිදු වන්නේ නැත. වෙනත් අය විසින් කරන වෙනසකට එරෙහි ව න්‍යායාත්මක ප්‍රතිචාර දැක්වීම පමණක් සිදු කෙරේ. එනිසා ම මේ අයට කවදත් තමන්ගේ ශුද්ධවන්ත බව ආරක්‍ෂා කර ගත හැකි ය. 

2. සංවිධානාත්මක බලයක් ගොඩනගා පවත්නා ව්‍යූහ වෙනස් කළ හැකි බවට විශ්වාස කරන ව්‍යාපාර මෙහි දෙවන ප්‍රවර්ගය යි. ආත්මීය මැදිහත් වීම හරහා සමාජය නිශ්චිත දිශාවක් කරා චලනය කළ හැකි ය යන විශ්වාසය මත මේ ව්‍යාපාර ක්‍රියාත්මක වේ. මේ ප්‍රවර්ගයට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ විමුක්ති කොටි ව්‍යාපාරය, චම්පික රණවක විසින් ගොඩනැගූ ජනතා මිතුරෝ, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යපාරය ගත හැකිය. මේ ව්‍යාපාර, න්‍යායේ පාරිශුද්ධත්වය ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ නොගත් අතර අනාගතයේ දී තමන්ට එල්ල විය හැකි විවේචන නො තකා ක්‍රියාත්මක විය. දේශපාලන ක්‍රියාවලියකට පෙළඹීමේ දී තුන්වැන්නෙකු තමන් දෙස බලා සිටිනවා ය වැනි හැඟීමක් මොවුන්ට ඇති වන්නේ නැත. ඓතිහාසික නීති මඟින් තමන් තත්ත්වාරෝපණය කරනවා හෝ ‘නිවැරදි මොහොත’ තමන් වෙත එළඹෙන තෙක් මෙම ව්‍යාපාර බලා නොසිටී. එමෙන් ම තත්ත්වයන් මෝරන තෙක් මේ ව්‍යාපාර බලා නොසිටින අතර බහුතරයක් තමන් සමඟ නැති බව හෝ වාස්තවික තත්ත්වයන් අපට අවාසි යැයි සිතා දේශපාලන මැදිහත් වීම කල් දැමීම හෝ නො කරයි. මේ අය ගං ඉවුරේ සිට න්‍යාය ගැන කථා කරන්නේ නැති අතර ගඟට බසිති. ගඟට බැස උඩු ගං බලා පීනීමට කටයුතු තරන අතර බොහෝ අවස්ථාවල ගඟෙහි පහළට ගහගෙන යයි. ගඟ පහළට ගසා ගෙන යන අය කෙසේ හෝ ගං ඉවුරකින් ගොඩ වී නැවතත්  ගඟට පැන උඩු ගං බලා පිහිනීමට කටයුතු කරති. 

ජනතා විමුක්ති පෙරමුණ 71 දී හා 89 දී පැවතුණු ආණ්ඩුවලට එරෙහි ව කැරලි ගැසූ අතර කොටි ව්‍යාපාරය ඉන්දියාවේ අගමැති මෙන් ම ලංකාවේ ජනාධිපති ඝාතනය කිරීමට පසුබට වූයේ නැත. නලින්, චම්පික මෙන් ම ජවිපෙ කොටි ව්‍යාපාරය වැනසීමට එවකට පැවතුණු ආණ්ඩු සමඟ සම්මුතිගත විය. මොවුන් තමන්ගේ ක්‍රියාවන්ට අනුකූල ව න්‍යාය සංශෝධනය කිරීමට මැලි වූයේ නැත. මේ ව්‍යාපාරයන් තුළ ආත්මීය සාධකයේ මැදිහත් වීමට වැඩි ඉඩක් පැවතිණි. එමෙන් ම අනාගතයේ විය හැකි ප්‍රතිවිපාක ගැන නො සලකා දේශපාලන ක්‍රියාවන් හා මැදිහත් වීම්වලට මේ ව්‍යාපාර යොමු විය. පළමු වර්ගයේ ව්‍යාපාර ව්‍යූහයන් තුළ සිරවී සිටියත් දෙවන වර්ගයේ ව්‍යාපාර ව්‍යූහයන් කඩා ගෙන ඉදිරියට යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. පළමු වර්ගයේ ව්‍යාපාරවල අඩුව දෙවන වර්ගයේ ව්‍යාපාර මඟින් ජය ගෙන තිබිණි. නමුත් මේ දෙවන වර්ගයේ ව්‍යාපාරවලත් අඩුවක් තිබිණි. තමන් විසින් ගන්නා තීන්දුවලින්, ක්‍රියාකාරකම්වලින් සහ මැදිහත් වීම්වලින් ජනිත කරන දයලෙක්තික ප්‍රතිවිපාකයන් ගැන තක්සේරුවක් මොවුන්ට තිබුණේ නැත. උදාහරණ ලෙස ජනතා විමුක්ති පෙරමුණ, නලින් ද සිල්වා, චම්පික රණවක යන අය දෙමළ විමුක්ති ව්‍යාපාරයට එරෙහි ව ජනතාව බලමුළු ගැන්වීමට කටයුතු කළහ. දෙමළ විමුක්ති ව්‍යාපාරය යුධමය වශයෙන් පරාජය කිරීමට චීනය, ඉන්දියාව, ඇමරිකාව, ලංකා ආණ්ඩුවට සහය දෙන විට එය නිහඬ ව අනුමත කළෝය. දෙමළ විමුක්ති ව්‍යාපාරය මැඬලීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් උල්ලංඝනය කරන විට නීතිය අවභාවිතාවෙහි යොදවන විට ව්‍යවස්ථා විරෝධී වැඩකටයුතු කරන විට, මානව හිමිකම් උල්ලංඝනය කරන විට මේ ව්‍යාපාරයන් නිහ`ඬ ව සිටි අතර ඒ සඳහා අභිප්‍රේරණය කිරීම ද කෙරිණ. අද ජනතා විමුක්ති පෙරමුණට, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට පමණක් නොව 43 කණ්ඩායමටත් අරගල කිරීමට සිදු වී තිබෙන්නේ තමන්ගේත් මැදිහත් වීම සහිත ව දෙමළ විමුක්ති ව්‍යාපාරය මැඬලීම සඳහා සාදන ලද ව්‍යූහයට එරෙහි ව ය. මෙවන් ආකාර ව්‍යූහයක් තමන්ගේ ම ක්‍රියාව නිසා අතුරුඵලයක් වශයෙන් බිහි වේ යැයි සවිඥානකත්වයක් උදා කර ගැනීමට එදා ඔවුන්ට හැකි වූයේ නැත. දයලෙක්තික චින්තනයේ අවශ්‍ය ම අංග ලක්‍ෂණයක් වන්නේ තම ක්‍රියාව තුළින් ම තමන්ට එරෙහි ව බිහිවන බලවේගය තක්සේරු කිරීමට ඇති හැකියාව ය. සැබෑ දයලෙක්තික භෞතිකවාදයක් යනු ඕනෑම ප්‍රතිඵලයක් වුණා වේ කියා ක්‍රියාවකට යොමු වීම නො වේ. සැබෑ දේශපාලන ක්‍රියාවක් යනු අවිඥානක මැදිහත් වීමක් නො ව සවිඥානක දේශපාලන මැදිහත් වීමකි. එමෙන් ම තම ක්‍රියාවේ ප්‍රතිඵලය ගැනත් සවිඥානක වෙමින් කරන මැදිහත් වීමකි. මේ ව්‍යාපාරයන් දේශපාලන ක්‍රියාවන්ට පෙළඹුණු නමුත් එහි ප්‍රතිඵලය ගැන පරාවර්තනමය චින්තනයක් අත්පත් කර ගත්තේ නැත. 

X කණ්ඩායම දේශපාලන ක්‍රියාවන්ට පෙළඹුණේ නැති නමුත් දාර්ශනික මැදිහත් වීම්වලට යොමු විය. නමුත් මේ දාර්ශනික මැදිහත් වීම් ද ‘ඕනෑ දෙයක් වුණා වේ’ යන ශෛලියේ දයලෙක්තික සවිඥානකත්වයක් නොමැතිව කළ ක්‍රියාවකි. විපරීත දර්ශනවාදීන්, ඊර්ෂ්‍යා සහගත දෙවිවරුන්, පාතාල චින්තකයන්, බිහි වූයේ මේ දාර්ශනික ක්‍රියාවන්ගේ අතුරු ඵලයන් ලෙසට ය. මෙවැනි ප්‍රවණතා බිහි වේ යැයි තක්සේරු කිරීමට තරම් පරිණත සවිඥානක දයලෙක්තික දැක්මක් X ව්‍යාපාරයට තිබුණේ නැත. 

දයලෙක්තික ත්‍රිත්වයේ තුන්වන මොහොත වන්නේ ඉහතින් සඳහන් කර තිබෙන ව්‍යාපාර රාමු දෙක මඟින් ලැබූ අත්දැකීම් අනුසාරයෙන් සවිඥානක ව බිහි කර ගැනීමට හැකියාවක් ඇති ව්‍යාපාර ආකෘතියකි. වෙනත් ලෙසකින් කීවොත් ආර්ථික, භාෂාමය හා අවිඥානක ව්‍යූහයන් ගැන අවබෝධයක් සහිත, ආත්මයන්ගේ සවිඥානක මැදිහත් වීමෙන් මේ ව්‍යූහ වෙනස් කළ හැකි ය යන දැක්ම සහිත, ව්‍යූහයන් ආත්මයන්ගේ සවිඥානක පාලනයට ලක් කර ගැනීමට හැකි ව්‍යාපාරයකි. ව්‍යූහයට පරිපූර්ණ වීමට ඇති බාධාව ආත්මය බවත්, ආත්මය සෑම විට ම ව්‍යූහයන්ගේ බලපෑමෙන් තර්ජනයට ලක් වී ඇති බවත් ආත්මය හා ව්‍යූහය අතර පිරවිය නොහැකි, එකිනෙකට ඌනනය කළ නොහැකි, නිෂේධනාත්මක හිඩැසක් තිබෙනවා ය යන අවබෝධයක් සහිත අනාගත ව්‍යාපාරයක් දයලෙක්තික ත්‍රිත්වයේ තුන්වන මොහොතෙන් බලාපොරොත්තු වේ. මෙහි දී ගං ඉවුරේ සිට ව්‍යූහ ගැන න්‍යායාත්මක අවබෝධයක් ලබාදෙන්නන්ගේ සීමාව මෙන් ම කිසිදු න්‍යායාත්මක අවබෝධයක් නොමැති ව ගඟට බසින්නන්ගේ සීමාව ද තේරුම් ගැනීම බලාපොරොත්තු වේ. ව්‍යූහය ගැන අවබෝධයක් සහිත ව, ගඟට බැස උඩුගං බලා පිහිනන අයගේ එකතුවක් බලාපොරොත්තු වේ. 

ව්‍යූහාත්මක නිර්ණයන් අවබෝධ කර ගනිමින් ඒවා නිෂේධනය කිරීමේ අතිමහත් බලයක් ආත්ම ය සතු වේ. නිෂේධනයේ තර්කය වඩාත් ගැඹුරු අර්ථයකින් සූත්‍රගත කර තිබෙන්නේ හෙගල් ය. 
1. මේ ආකෘතිය සම්බන්ධයෙන් තිලක් කෝදාගොඩගේ Better Dead Than Red (2021) පොතෙහි දීර්ඝ විස්තරයක් කර ඇත. 
2.  රැල්ෆ් බුල්ජන්ස් The Secret of Marx යනුවෙන් පොතක් ලියා මේ චෝදනාව එල්ල කළේය.
 
ආශ්‍රිත ග්‍රන්ථ: 

Blunden. A (2019): Hegel for Social Movements,Leiden:Brill.
Engels, F (1976): Anti- Duhring, Peaking: Foreign Language Press. 
Hegel, G.W.F.(1967): Hegel’s Philosophy of Right, Tr. By T.M.Knox, London: Oxford University Press. 
Hegel, G.W.F. (1969): Science of Logic, Tr. by A.V. Miller, London: George Allen and Unwin.
Hegel, G.W.F. (1977): Phenomenology of Spirit, Tr. by A.V. Miller, Oxford: Oxford University Press.
Hegel, G.W.F. (1988): Lectures on the Philosophy of Religion, Tr. by R.F.Brown, 
R.F.Hodgson, J.M.Stewart, Berkley: University of California Press. 
Hegel, G.W.F. (2010): Hegel’s Logic: Part One of the Encyclopedia of Philosophical Sciencesin Basic Outline: Part I: Science of Logic, eds. K. Brinkmann and D.O. Dahlstrom, Cambridge: Cambridge University Press.
Ilyenkove, E. (1979): Materialism is Militant and Therefore Dialectical’, in Kommunist, No 6, pp. 47-60.
Ilyenkove, E. (1979): Lenin’s Dialectics and the Metaphysics of Positivism, New Park Publications.
Ilyenkove, E. (2019): Intelligent Materialism: Essays on Hegel and Dialectics, Leiden: Brill.
JamesC.L.R. (1989): The Black Jacobins: Toussaint L’Ouverture and the San Domingo Revolution, New York: Vantage Books. 
Johnston, A. (2019): Prologemena to Any Future Materialism, Vol. Two, A Weak Nature Alone, Evanston: Nortwestern University Press. 
Lukacs, G. (1971): History of Class Consciousness, London: Merlin Press. 
Marx,K (1978): The Poverty of Philosophy, Peaking: Foreign Language Press. 
McGown, T. (2019):Emancipation After Hegel: Achieving a Contradicting Revolution, Columbia: Columbia University Press. 
Susan Buck-Morss (2009): Hegel Haiti and Universal History, Pittsburgh University Press. 
Zizek, S (2012): Less Than Nothing: Hegel and the Shadow of Dialectical Materialism. London: Verso.
කලංසූරිය, ඒ.ඩී.පී. (1973): නූතන බටහිර දර්ශනය, කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
රසල්.බි. (1970): බටහිර දර්ශනයේ ඉතිහාසය, කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
පීරිස්. එම්, ඩී.පී. පොන්නම්පෙරුම (1996): සොක්‍රටීස්: ජීවන චරිතය, කොළඹ: ගුණසේන සහ සමාගම
ද.සිල්වා, එන්(1999): අපෝහකයේ රූපිකය. මහරගම: චින්තන පර්ෂදය
උයන්ගොඩ, ජේ. (2011): සිවිල් සමාජය: කුමක්ද? කාගෙද? කුමටද?, කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය
ඉන්ද්‍රපාලා, කේ. (2011): ‘ලෙස්ලි ගුණවර්ධන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වතෙකි’, ලෙස්ලි ගුණවර්ධන, කොළඹ:සමාජ විද්‍යාඥයන්ගේ සංගමය
උයන්ගොඩ, ජේ. (2000): ‘ආචාර්ය නිව්ටන් ගුණසිංහ: ශාස්ත්‍රවේදියෙකුට උපහාරයක්’, නිව්ටන් ගුණසිංහ, ලිපි එකතුව’, කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය
එංගල්ස්, එෆ්. (1978): ලුඩ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය, පරි. සුචරිත ගම්ලත්, කම්කරු මාවත ප්‍රකාශකයෝ
බාලසූරිය, කේ, සුචරිත ගම්ලත්, (1999): කල්පනාලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ
කෝදාගොඩ, ටී. (2011) : Better Dead Tham Red, කතෘ ප්‍රකාශන
කුමාර, ඩී, සමන් පුෂ්පකුමාර, රුවන් කුමාර (2002): විනෝදය, අරගලය, පෙරටුගාමී පක්‍ෂයේ ප්‍රකාශන
ලෙනින්, වී. අයි. (1981): සටන්කාමී ද්‍රව්‍යවාදයේ වැදගත්කම, තෝරාගත් කෘති, වෙළුම 12, ප්‍රගති ප්‍රකාශන මන්දිරය.
ශුද්ධ බයිබලය (1980)
 
 
Dr. Saman Pushpakumara articles in kinihiraya.com
 
ආචාර්ය සමන් පුෂ්පකුමාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකි. ඔහු එහි මහාද්වීපික දර්ශනය ඉගැන්වීමෙහි ව්‍යාවෘත ව සිටී.  සිය ආචාර්ය උපාධිය සඳහා හෙගලියානු දර්ශනවාදය සම්බන්ධයෙන් ලියූ  නිබන්ධය ජර්මනියේ  Verlag Traugott Bautz GmbH ආයතනය මඟින්  The Tremendous Power of the Negative නමින් පොතක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දක්වා ඇත.

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here