ඉස්ලාම් දර්ශනය හා ඉස්ලාම් අන්තවාදය අතර ඇති මූලධාර්මික සම්බන්ධය පිලිබඳව ඔබේ අදහස කුමක් ද?


එහි නීති පද්ධතියක් (Sharia Law) ආහාර-පාන පිළිබඳ (Haram-Halal)” මූල්‍යමය ගනුදෙනු කළ යුතු ආකාරය (Islamic Finance), ඉගෙනීමේ ක්‍රියාවලිය (Madrasa හරහ) ඇඳුම්-පැළඳුම් රටාව (Hijab, Niqab, burka) ආදී සියලුම කටයුතු අඩංගුය. මේ ආකාරයට සම්පූර්ණ වශයෙන් ම ඉස්ලාමයට අනුව කටයුතු කරන, ඉස්ලාමයට අනුව පාලනය වන රාජ්‍යයක්, ඉස්ලාමීය රාජ්‍යයක් (Islamic State) ලෙස ඔවුන් හඳුන්වන අතර මෙවැනි ඉස්ලාමීය යුටෝපියානු රාජ්‍යයන් පැවතී ඇත්තේ වසර 1000කට 1500කට පෙර මධ්‍යධරණී/ මැද පෙරදිග ප්‍රදේශවලය. මෙවැනි ඒකදේවවාදි ඉස්ලාමීය කලීෆයක් හෙවත් ඉස්ලාමීය රාජ්‍යයක් සැදීම ඉස්ලාමීය රාජ්‍යය (Islamic State) / IS මතධාරීන්ගේ අභිලාෂයයි. බොහෝ අනෙකුත් ආගමික දාර්ශනයන් විශේෂයෙන් ම ලෝකය පුරා වැඩිපුරම පැතිරි ඇති කතෝලික ආගම 1950-60 පමණ වන විට ප්‍රාග්ධනයට සහ නූතනත්වයට ගැලපෙන ලෙස සිය භාවිතාවන් සහ සම්ප්‍රදායන් වෙනස් කර ගන්නා ලදි.

එම නිසා ඒ ආගම්වලට නූතනත්වය සහ ප්‍රාග්ධනය සමඟ පහසුවෙන් ගනුදෙනු කිරිමට මෙන්ම එකිනෙකා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් හිරිහැර හෝ ගැටලු සහගත තත්වයන් ඇති කර ගැනීමකින් තොරව වර්තමාන කාලය තුළ ගනුදෙනු පවත්වා ගෙන යා හැකි වී ඇත. මධ්‍යතන යුගයේ සිට වර්තමානය දක්වා සිය ගමන් මාර්ගයේ දි මේ ආකාරයට තම භාවිතාවන් සහ බාහිර පෙනුම ප්‍රතියෝජනය කර ගැනීම නිසා කතෝලික සභාවට නූතනත්වය සමඟ මෙන්ම ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප සමඟ ද ගැටලුවක් වර්තමානයේ ඇති වී නැත. එසේම වර්තමානයේ ප්‍රාග්ධනය, නූතනත්වය සහ කතෝලික ආගම එකිනෙකාට උදව් කර ගනිමින් ගමන් කරයි. නමුත් ඉස්ලාමය මේ ආකාරයට නූතනත්වය සමඟ හෝ ප්‍රාග්ධනයේ වර්තමාන ස්වරූප සමඟ පහසුවෙන් ගනුදෙනු කළ හැකි ආකාරයෙන් ප්‍රතියෝජනය (Transform) වූයේ නැත. ඒ අර්ථයෙන් ගත් විට ඉස්ලාමය තවමත් බොහෝ දුරට එහි මුල් මධ්‍යතන (Medieval) ස්වරූපයේ ස්වේච්ඡාවෙන් ම හිර [?] වී සිටියි.

ඉස්ලාමයේ භාවිතාවන් සහ අභිලාෂයන් බොහොමයක් වර්තමාන ප්‍රාග්ධනයේ ස්වරූපයන් සමඟ මෙන් ම නූතනත්වයේ භාවිතාවන් සමඟ ද සමපාත වන්නේ නැති අතර අනිවාර්යයෙන් ම ප්‍රතිවිරෝධතා ඇති කර ගනියි. ඉස්ලාමය තුළ සිටින නූතන මධ්‍යම පාන්තික තරුණ කොටස් බොහොමයකට නූතන ධනවාදි පරිසරයක සිට ඉස්ලාමයට අනුව ජීවත් වන්නට යාමේ දි විවිධ ගැටුම්කාරි තත්වයන් ඇති වන අතර ඒවා බොහෝ දෙනා තුළ අනන්‍යතා අර්බුදයන් (Identity crisis) ඇති කිරිම දක්වා වර්ධනය වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ලෝකය විසින් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු දියත් කරන්නට යෙදුනු ගෝලීය ඉස්ලාම් අන්තවාදින්ට එරෙහි සටන් සහ එහි විවිධාකාර වු ඍණාත්මක ප්‍රතිඵලයන් වර්තමාන ඉස්ලාම් තරුණ ප්‍රජාවගේ අනන්‍යතා අර්බුද තවදුරටත් වර්ධනය කිරිමට හේතු වී ඇත.

මෙම ගෝලීය තත්වයන් සහ ආගමික අනන්‍යතා අර්බුද සමඟ පෞද්ගලික ගැටලු ද එකතු වු විට වඩා හොඳ දිවි නසා ගන්නෙකු (Suicider) නිෂ්පාදනය කිරිමට අවශ්‍ය කරන පසුබිම සහ මූලද්‍රව්‍ය සපයයි.

මෙවැනි අයෙක් පහසුවෙන් වඩාත් විශාල දාර්ශනික ඉලක්කයන් වෙනුවෙන් යොමු කළ හැකි අතර ඉස්ලාමය තුළ වඩාත් රැඩිකල්වාදි අර්ථ නිරූපණ සපයමින් නව අර්ථ කථනයක් පැරණි කුරාණ පාඨයන්ට සහ අනෙකුත් කියවීම්වලට ලබා දෙන ගෝලීය ව ව්‍යාප්ත වු ගුරුකුලයක් නිර්මාණය වී ඇති අතර ඔවුනගේ ප්‍රධාන අරමුණ මෙම අනන්‍යතා අර්බුදයෙන් පෙළෙන මධ්‍යම පාන්තික තරුණ පිරිස් ඉලක්කය කොටගෙන ශුද්ධ වු යුද්ධයක් (Jihad) සිදු කිරිමට උත්සහ කිරීමයි.

ජිහාද්  එහි මුල් අර්ථයෙන් සම්පූර්ණයෙන්ම මේ වන විට බැහැර වී ඇති අතර එය වැරදි ලෙස අර්ථ නිරූපණය කිරිම සඳහා බටහිර මාධ්‍ය ද විශාල වශයෙන් දායක වී ඇත.

ජිහාදය විවිධ රටවල විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ. නයිජීරියාවේ බොකෝ හරාම් (Boko Haram)”, ඇෆ්ඝනිස්ථානයේ අල්-කයිඩා (al-Qaeda)” පකිස්ථානයේ ලක්ෂර්-ඊ-ටයිබා (Lashkar-e-Taiba) සිරියාවේ අයි.එස්.අයි.එස්. (Islamic State of Iraq and Syria) , පිලිපිනයේ ඉස්ලාමික සන්නද්ධ කණ්ඩායම්, ශ්‍රී ලංකාවේ තවුහීද් ජමාත් මේ සඳහා උදාහරණයන්ය. රැඩිකල් සහ විනාශකාරි අර්ථ නිරූපණයක් ඉස්ලාමයට දෙමින් තම අනන්‍යතා අර්බුදයට සහ නූතනත්වයේ භාවිතාවන්ට එරෙහි වන මෙම නව ඉස්ලාමිය ගුරුකුලය ඉතා හොඳින් නව මාධ්‍ය (New Media)සහ සන්නිවේදන තාක්ෂණය භාවිත කරයි.

බොහෝ විට මෙම ගුරුකුලයන්ට අයත් ප්‍රචාරකයන්ගේ ප්‍රචාර අන්තර්ජාලය ඔස්සේ, සංයුක්ත තැටි (CD) ඔස්සේ නරඹා ආහ්ලාදජනක තත්වයට පත්වන විවිධ රටවල ජීවත් වන ඉස්ලාමීය කණ්ඩායම් හෝ තනි තනි පුද්ගලයන් මේවායින් දාර්ශනිකව මත් වී කටයුතු කරනු හඳුනා ගත හැකිය. ශ්‍රී ලංකාවේ මොහොමඞ් සහරාන් සහ ඔහුගේ සගයන් හොඳම උදාහරණයන්ය. IS සංවිධානය ඔවුන්ව තෝරා ගත්තේ නැත. නමුත් ඔවුන් IS සංවිධානය තෝරාගෙන ඇත. මේ අයගේ අදහස ඒකදේවවාදි ඉස්ලාමිය කලීෆයක් ගෝලීය ව නිර්මාණය කිරීමයි.

මෙය යම් දුරකට ගෝලීය සමාජවාදය නමැති සංකල්පයට/ මාක්ස්වාදයට සමානකම් පෙන්නුම් කරයි. නූතන මාක්ස්වාදයේ හෝ සමාජවාදයේ මධ්‍යතන විකල්පය ලෙස රැඩිකල් ඉස්ලාමය යම් දුරකට පෙන්විය හැකිය. විශේෂයෙන් ම ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ලෝකය විසින් සිය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙහි (The Global War against Terrorism) වර්ධනයත් සමඟ එහි ප්‍රධාන අතුරු ඵලයක් වශයෙන් මෙම රැඩිකල් ඉස්ලාමීය ගුරුකුලය ලෝකය පුරා ශීඝයෙන් වර්ධනය වන්නට පටන් ගත් අතර මේ සඳහා සෞදි අරාබිය, තුර්කිය, ඉරානය වැනි රටවල් විසින් දෘෂ්ටිවාදි දේශපාලනික සහ මූල්‍යමය අනුග්‍රහයන් දක්වන්නට යෙදුණි. බටහිර නීතියේ, ආචාරධර්මවල සහ යුධවේදයේ (Military science)පදනම මරණ භය නමැති කාරණාවයි. (Fear of Death). ප්‍රචණ්ඩත්වයේ සහ ජීවිත විනාශ කිරීමේ ඒකාධිකාරිය ඇත්තේ රාජ්‍යයටයි. යම් කිසි වරදකට ලබා දිය හැකි දරුණුතම සහ උපරිම දඬුවම මරණීය දණ්ඩනයයි. එය ලබා දීමේ අයිතිය ඇත්තේ සාමාන්‍ය තනි තනි වැසියන්ට නොව බලාධිකාරියට හෙවත් රාජ්‍යයටයි.

නමුත් මරාගෙන මැරෙන මිනීමරුවෙක් (suicidal homicider) ජීවිත හා දේපළ හානි, යම් කිසි අරමුණක් වෙනුවෙන් හෝ අරමුණක් නොමැති ව සිදු කරන විට වරද කිරීම වෙනුවෙන් මරාගෙන මැරෙන මිනීමරුවාට දඬුවමක් ලබා දීමට නොහැකි වීමෙන් (දැනටමත් ඔහු විසින් ම මරණය තෝරා ගෙන ඇති නිසා) බටහිර නීති පද්ධතිය, ආරක්ෂක විiාව සහ නූතන රාජ්‍යය යන සියලු ආයතන තවදුරටත් අනතුරට පත් වේ. එනම්, මිනීමරුවා විසින් ම තමන්ගේ ම මරණය සිදු කර ගන්නා බැවින් මිනීමරුවා සිදු කරන අනෙකුත් ජීවිත හා දේපළ විනාශයන්ට ඔහුට දඬුවම් ලබා දීමට රාජ්‍යයට/ නීතියට හැකියාවක් නොමැති වී යන නිසාය. මෙය මිනීමරුවාට තමන් නීතියට සහ නූතන රාජ්‍යයට අභියෝග කළ හැකි/ ඉහලින් සිටින කෙනෙකුය යන හැඟීමක් ලබා දෙන අතර එය ඉතා ඉහල වින්දනීය තත්වයකි(Jouissance).උදා- ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සිදු කරන ලද බෝම්බ ප්‍රහාර සියල්ලම පාහේ මරාගෙන මැරෙන මිනීමරුවන් රහිත ව අවශ්‍ය නම් උපායශීලී ව අදාළ ස්ථානවල පාර්සල්/ බෑග් බෝම්බ තැබීම මඟින් ඉටු කර ගත හැකි ව තිබුණි. නමුත් එසේ සිදු කළා නම් අදාළ ජීවිත හා දේපළ විනාශය සිදු වන නමුත් මිනීමරුවන්ට ඔවුන් බලාපොරොත්තු වු උපරිම පූර්ණ වින්දනය (Maximum Jouissance) ලැබෙන්නේ නැත. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පූර්ණ වශයෙන් ම ඉහත දක්වන ලද ආකාරයට නොගැනෙන අතර ඒවා සාමුහික දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සිදු කළ ක්‍රියාවන්ය. එම ප්‍රහාර සාම්ප්‍රදායික ගරිල්ලා සටන්වල වඩාත් වෙනස් මුහුණුවරක් ලෙස පෙන්වා දිය හැකි ය (Contextual Customization of tactics).

මෙවැනි මරාගෙන මැරෙන මිනීමරුවන්ගේ ඉලක්කය ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මික එකක් හෝ ස්වර්ගයේ දි අවසන් නොවන රමණ ක්‍රියාවලියක් සඳහා කන්‍යාවන් 72ක් ලබා ගැනිම හෝ පවුලේ අයගේ අභිවෘද්ධියට මුදල් ලබා ගැනිම වැනි කරුණුවලට වඩා මුල් වන්නේ අනන්‍යතා අර්බුදයෙන් පෙළෙන තමුන් වඩාත් ශුද්ධ අරමුණක් වෙනුවෙන් මරාගෙන මැරුණ බව අනෙකුත් ජනතාව අතර ප්‍රසිද්ධියට පත් කරවීමේ විනෝදාස්වාදය ලැබෙන්නේ යැයි විශ්වාස කරමින් මරාගෙන මැරෙන මිනීමැරුම් සිදු කිරිමයි. එමඟින් ලැබෙන පූර්ණ වින්දනය අන් කිසිවකට වඩා ඔවුහු විඳිති. .නොවේ මෙවන් වින්දනයක් ලොවේ‼ එනම් පුද්ගල ශරීරය මියගිය ද පරමාදර්ශයක් ලෙස තමන්ගේ නම/චරිතය ඉතුරුවේය යන්න ඔවුන්ගේ අදහසයි.

උදා-

(i) මාසයකට පෙර මොහොමඞ් සහරාන් යනු ඉතාමත් සුඵ පිරිසක් දන්නා, කුඩා ගැහැනු ළමයින්ට ආසා කළ ප්‍රාදේශීය දහම් පාසල් ගුරුවරයෙකි. නමුත් අද මුළු ශ්‍රී ලංකාව ම ඔහුගේ නම දන්නා අතර ඔහු ගැන ඇත්තේ බිය මුසු ගාම්භීර ගරු සම්ප්‍රයුක්තිය මිශ්‍ර හැඟීමකි. මෙය ඔහු ජීවත් වු ඉස්ලාම් සමාජය තුළ වඩාත් ධනාත්මකය.

ii) 2001 සැප්තැම්බර් 11 සිද්ධියේ ප්‍රධාන ප්‍රහාරකයා ලෙස කටයුතු කළ මොහොමඞ් අටා මෙම සිද්ධියට පෙර කවුරුත් නොදත් ජර්මනියේ ගෘහ නිර්මාණ ශිල්පය උගත් ශිෂ්‍යයෙකි. නමුත් එම සිද්ධියෙන් පසු ඔහු ව මුඵ ලෝකයම හඳුනා ගත් අතර ඔහුගේ සමාජය තුළ ඔහු වීරයෙකි.

ඉහත ආකාරයේ සමාජ ව්‍යාධිකයන් (Sociopaths) හඳුනා ගැනීම හෝ ඔවුන්ගේ විනාශකාරි උපායයන් හඳුනා ගැනීම ඉතා දුෂ්කරය.

මෙවැනි සමාජ ව්‍යාධිකයන් තනි තනි ව හෝ කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබන විනාශකාරි ක්‍රියා සඳහා සිදු කළ හැක්කේ පෙර සුදානම් වීමක් සිදු කිරිම (Disaster Preparedness) සහ රහස් තොරතුරු අංශ (Intelligence Services) ශක්තිමත් කොට මෙවැනි කණ්ඩායම් හෝ අයවලුන් පිළිබඳ ව සහ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳ වැඩි අවධානයෙන් පසු වීම පමණි.

මෙවැනි ක්‍රියා පූර්ණ වශයෙන් වළක්වා ගැනිම අපහසුය. සිදු කළ හැක්කේ කළමනාකරණය කර හානිය අවම කර ගැනීම සඳහා කටයුතු කිරිම පමණය.


සුළුජාතික කන්ඩායමක් තුලින් මතු වී ඇති මේ අන්තවාදය ඔවුන්ව තව තවත් ආන්තීකරනයට ලක් නොකර ඉන් මුදා ගැනීමට ඔබට ඇති යොජනාව කුමක් ද?


එල්ටීටීඊ සන්නද්ධ අරගලය මගින් රාජ්‍යය ධ්‍රැවීයකරණය වූ අතර එමගින් රාජ්‍ය (State) සතු සර්වත්‍රික (Universal) ගුණයන් වියැකී ගොස් එය සුවිශේෂයන් කරා ඌනනය විය. 2005 – 2015 රාජ්‍ය රෙජිමය බලය අසුරන යුගයේදී යුද හමුදාව, අධිකරණය, පොලීසිය, වැනි රාජ්‍ය ආයතන සහ එහි නිලධාරීන් සිංහලකරණය (සුවිශේෂකරණය) වූ අතර එමගින් සුළු ජාතීන්ට තිබූ සමානාත්ම මූලධර්මය විඛාදනය විය. මෙම තත්ත්වය සඳහා වූ විකල්ප යෝජනාව වන්නේ රාජ්‍ය යන්ත්‍රය යළිත් සර්වත්‍රික කිරීම පමණි. ජර්මනියේ සිදු වූ සිදු වූ නාසිහරණය වැනි ව්‍යාපෘතියක් අපටත් අවශ්‍යය. අනාගත රාජ්‍ය නායකයකු රාජ්‍යය සිංහල හරණය කළ යුතුය. එය රාජ්‍යය අනාගමික කිරීමට වඩා ප්‍රාථමිකය. නැතිනම් එය විදේශයක් අනාගතයේ සිදු කරනු ඇත.


සෘජුව හා වක්‍රව රාජ්‍යය පාලනයේ කොටස්කාර දේශපාලන පක්ෂ හා කන්ඩායම් මුහුන දී ඇති අර්බුදයේ තරමටම වාමාංශිකයන් හා ප්‍රගතිශීලිනුත් එහි ගිලි ඇතැයි කීවොත් ඔබේ පිලිතුර?


ඕපියුමේ විදේශීය සහෝදරවරුන් ලංකාවෙන් විගාමික වීමට පෙර පැවති වාමාංශික පක්ෂ වියුහය සහ නායකත්ව බල රටාව සහමුලින්ම මේ වන විට විකරණය වී ඇත. 2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමඟ ලංකාවේ වාමාංශික දේශපාලනය ගැට ගැසී පැවැති ජාතික ගැටළුව නම් සුවිශේෂය අභාවයට ගියේය. නූතන ගෝලීයකරණය තුළ සන්නද්ධ අරගලයට ඇති සුවිශේෂතා ක්‍රම ක්‍රමයෙන් දිය වන්නට විය. 2010 සිට 2015 දක්වා කුමාර් ගුණරත්නම් සහෝදරයා “සිංහල සමාජය” සංවිධානය කිරීම පිළිබඳ විජේවීරගේ පැරණි සූත්‍රය යළි අත්හදා බලන්නට විය. විජේවීරවාදයට අනුව පන්ති දේශපාලනය පළමුවෙන් ශිෂ්‍යයන් සහ තරුණයන්ගේ දේශපාලනයෙන් ආදේශ විය යුතුය. දෙවනුව එය බහුජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළ යුතු ය. අවසන් වශයෙන් මෙම බහුජන ව්‍යාපාරය සන්නද්ධ ගැටුමක් මගින් රාජ්‍ය ව්‍යාකූල කොට රාජ්‍ය බලය ඩැහැ ගත යුතුය. 87 – 89 යුගය තුළ ක්‍රියාත්මක වූ සූත්‍රයේ හරය එයයි.

2010 – 2015 යුගයේ දී විජේවීරගේ සූත්‍රය 87-89 යුගයටත් වඩා වේගයෙන් 2015 වන විට අතාර්ථික විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාඩර්වරුන් අධික වේගයෙන් වාෂ්ප වීම සිදු වූයේ රාජ්‍ය පිළිබඳ විජේවීරවාදයේ යල් පැනගිය තත්ත්වය නොසලකා හරිනු ලැබූ නිසාය. 2013 වර්ෂයේ දී ඉහත තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා එම පක්ෂයේ යම් පිරිසක් උත්සාහ කළ මුත් ඔවුන් ද උත්සාහ කරන ලද්දේ සංස්කෘතික විප්ලවයක් පමණි. පක්ෂයක මූලික උපාය වේදයන් රැඩිකල් ලෙස වෙනස් කිරීම සංස්කෘතික ගැටලුවක් විසඳීම නොවේ. අනෙක් පසින් 2011 වර්ෂයේ දී සිදු වූ ඛණ්ඩනයට පසු ජනතා විමුක්ති පෙරමුණ අවසාන වශයෙන් ප්‍රතිව්‍යුහගත විය. 2011 ට පසු පක්ෂයේ බහුජන අංශයේ ක්‍රියාකාරී වූ සංස්කෘතික කාඩරය ජනප්‍රිය සංස්කෘතිය තුළ දිය වී ගිය අතර ඒ සඳහා පක්ෂයේ දර දිය අදින ලද ශාරීරික කාඩරය ඊට ආදේශ විය. වාම සංවිධානයක් ලෙස ජවිපෙට ඉතුරු වූයේ ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ “සිංහල රාජ්‍යය” සූත්‍රගත කිරීමේ ගැටලුවයි. 19 වන සියවසේ අග භාගය තුළ හටගත් කාර්මික ධනවාදය විග්‍රහ කිරීමේ විද්‍යාවක් ලෙස මාක්ස්වාදය බිහි විය. නමුත් 21 වැනි සියවසේ ගෝලීයකරණය තුළ තුළ “සිංහල රාජ්‍යයට” සිදු සිදුවූ විපර්යාසය සූත්‍රගත කිරීමේ විභවයක් ජවිපෙට මේ දක්වා හමු වී නැත. ආර්ථික ක්‍රියාවලියක් ලෙස ලෝක මට්ටමින් ධනවාදය (capitalism) මිය ගොස් ඇත. මෙම මරණය ගැන හංස ගීතය වාදනය වූයේ අන්කවරෙකු අතින් වත් නොව ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් නික් බීම්ස් අතිනි. (1995).

” මෙහිදී අපට දක්නට ලැබෙන්නේ ධනවාදී නිෂ්පාදන විදිහෙ බිඳ වැටීමකි. එය හුදෙක්ම හුදෙක්ම කිසියම් ආකාරයකින් සමස්ත පද්ධතිය ඇන හිටුවන වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ. ඊට විපරීතව ධනවාදයේ බිඳ වැටීම ගුනාගීකරණය වන්නේ භූගෝලීය පරිමාවකින් ප්‍රාග්ධනයේ වියරු සහගත ක්‍රියාකාරීත්වයකිනි. (ගෝලීය කරණය?) (ගෝලීයකරණය ; නික් බීම්ස්, පිටුව 57 )

දැන් ගැටලුව වන්නේ “නිෂ්පාදනය කරන්නේ කොහොමද” යන ගැටළුවට මේ දක්වා පැවැති පිළිතුර වූ “ධනවාදය” අපගේ දේශපාලන තලයෙන් වියැකී යාමයි. දෙවන ලෝක යුද්ධයට පෙර සිටම 1917 වර්ෂයේ සිට ඉදිරියට රුසියන් විප්ලවයේ මුඛ්‍ය ගැටලුව වූයේ “පශ්චාත් – ධනවාදී” සමාජයක් දෛනික ජීවිතය තුළ මහජනයාට ආරෝපණය කරන්නේ කෙසේද යන්නය. ලියොන් ට්‍රොස්කි පරාජය වී ජෝසප් ස්ටාලින් පක්ෂයේ බලය අතට ගත්තේ මේ මංසන්ධියේ දී ය. වසර 10 ක සිවිල් යුද්ධයකට පසුව “නොනවතින විප්ලව නියාය” පරාජය වී “තනි රටේ සමාජවාදය” සංකල්පය ජයග්‍රහණය කරන්නේ මෙම සංදර්භය තුළය. නැවතත් නික් බීම්ස් ගේ ඉහත කෘතිය ම උපුටා දක්වන්නේ නම් තත්ත්වය මෙසේ ය.

Trotsky is out of Favour. 1928

” ට්‍රොස්කිගේ පරාජයෙන් මූර්තිමත් කෙරුණේ ධර්මතාවයක් ලෙස ද, ව්‍යාපාරයක් ලෙස ද සම්භාව්‍ය මාක්ස්වාදය පැටලී තිබෙන මූලික අකරතැබ්බය යි – එනම්, විප්ලවවාදී වර්ධනය පිළිබඳ මාක්ස්වාදී දැක්ම ද, පන්ති අරගල න්‍යාය සහ විප්ලවයේ සැබෑ ගමන් මාවත ද අතර ඇති සංගතභාවය බිඳවැටීම සහ ඒවා එකිනෙකින් වෙන් වීමයි. “

ශ්‍රී ලංකාවේ වාමාංශය ගිලී ඇති ප්‍රධාන මිත්‍යාව වන්නේ ඔවුන් මේ ලෝකයේ මේ වන විට නොමැති “ධනවාදයකට” විරුද්ධ සටනේ තවමත් නියැලීමයි. ගෝලීයකරණය තුළ පවතින්නේ පුද්ගලික ධනපතියන්ගේ ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ගැටුමකි. Facebook, Google, Amazon, Wallmart, Glindia, Aramco, HSBC වැනි ආයතන මගින් මූර්තිමත් වන්නේ පශ්චාත් ජාතික පුද්ගලික ප්‍රාග්ධනයයි. මේවා ඊනියා ජාතික රාජ්‍යයන් අභිබවා ඇත. නික් බීම්ස් පන්ති අරගලයේ අන්තර්ගත ය වෙනස්වී ඇති බව හඟ වන්නේ මේ නිසාය. මෙම නව තත්ත්වය වටහා නොගැනීම තුළ ලංකාවේ පශ්චාත් – නූතන වමක් ද බිහි වී ඇත. අනන්‍යතා අර්බුදයකින් පෙළෙන ඔවුන් කැමරා කාච ඉදිරිපිට විවිධ බහු රූ කෝලම් ඉදිරිපත් කරති. ඔවුන් විසඳුම නොව ගැටලුවේ රෝග ලක්ෂණයකි.


මෙවන් අර්බුදයක් තුල දී වත් අවම එකඟතාවයකට පැමිනීමට නො හැක්කේ වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන් තුල ඇති කට්ටිවාදය යැයි කීවොත් ඔබ එකඟ ද?


ගෝලීය බලවතුන් දෙදෙනෙකු වන එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී ඇති නව අධිරාජ්‍යවාදී සීතල යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනය අලුත් වටයකින් ධ්‍රැවීයකරණය වී ඇත. මෙමගින් වාමාංශය තුළ අලූත් වටයකින් බෙදී වෙන් වී කල්ලි කණ්ඩායම් නිර්මාණය කර නැත. ජනතා විමුක්ති පෙරමුණ 90 දශකය අගදී පන්ති දේශපාලනයෙන් ඉවත් වී සුවිශේෂයන් ගැන අවධාරණය කරන්නට පටන් ගත්තාට පසුව වාමාංශය සතුව පැවති ලෝකය විග්‍රහ කිරීමේ  කලාවෙන් වම ඉවත් විය. දෙමළ ජනයා වාමාංශික දේශපාලනයෙන් ඉවත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණයි. ලංකාවේ “රාජ්‍යය” සිංහල මතවාදයේ කොටසක් කළේද ඔවුන් ය. වාමාංශික කල්ලි වාදය යනු රාජ්‍ය වැරදි ආකාරයට කියවීම මිස පුද්ගලයන් අතර ඇතිවන ආත්මරාගී අර්බුද නොවේ. ලංකාවේ වාමාංශික කල්ලි අතර පවතින මුඛ්‍ය ප්‍රතිවිරෝධය වන්නේ රාජ්‍ය අතහැර විවාදය ඉදිරියට ගෙන යාමයි. කැමරා කාච ඉදිරිපිට නටන Facebook පිලවුන් බිහි වී ඇත්තේ මේ නිසා ය. මෙම කල්ලිවාදය අපට සමතික්‍රමණය කළ හැක්කේ සන්නද්ධ ප්‍රහාරයකින් පමණි.

ලංකාවේ සමහර වාමාංශික පක්ෂ දශක පහක් පමණ කාලයක සිට පාරිශුද්ධ ධනපති විරෝධීන් වී ඇත. මේ අය නූතන ගෝලීය කරනය ගැන කිසිදු නව්‍ය අධ්‍යයනයක් කොට නැත. ඔවුන් බහුතරය ගැටෙන්නේ තමන්ගේ අභ්‍යන්තරය සමග නොව අන්‍යයන් සමග ය. ශ්‍රී ලාංකිකයන්ට ජාතිවාදය හමුවේ මාක්ස්වාදය අමතක වී දසක තුනක් පමණ ගත වී ඇත. ඔවුන්ගේ දෛනික දින චර්යාව තුළින් ද වාමාංශය අතුරුදහන් වී ඇත.


මේ මොහොතේ අවම එකඟතාවයක් යටතේ හෝ මේ අර්බුදයට සුභවාදී විසදුම් සෙවීමට වාමාංශිකයන් හා ප්‍රගතීශීලින් එක්ව කටයුතු කල යුතු නම් එය කෙසේ විය යුතු ද?


ශ්‍රී ලංකාවේ පවතින්නේ ධනවාදය පිළිබඳ අර්බුදයක් නොවේ. ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකික සමාජ අර්බුදයේ කැඩපත වන්නේ දෙමළ විමුක්ති අරගලයට සිංහල සමාජය දැක්වූ රැඩිකල් අඥාන ප්‍රතික්‍රියාවයි. ලංකාවේ සමාජ සැකසුම තුළ අධි නිශ්චය වී ඇත්තේ ධනේශ්වර ප්‍රතිවිරෝධයන් නොව සිංහල ඡන්ද දායකයන්ගේ මනෝභාවයයි. සිංහල රාජ්‍යයේ ගමන් මග වැටී ඇත්තේ මෙම සිංහල ජාතික අභිලාෂයන් ගේ සියදිවි නසා ගැනීමේ සන්දර්භය දෙසටය. පසුගිය පාස්කු ප්‍රහාරය ට පසුව ශ්‍රී ලංකාව එක්සත් ජනපද සහ චීන අධිරාජ්‍යවාදයේ සීතල යුද්ධ තුළට ප්‍රවිෂ්ට වී ඇත. ඒ නිසා සිංහල මනෝභාවයට අනුව දෙමළ අභ්‍යන්තරික සතුරාට අමතරව දැන් මුස්ලිම් අභ්‍යන්තරික සතුරෙකු ද ඉපිද තිබේ.

ලංකාවේ වාමාංශික කණ්ඩායම් වලට එකතු වනවානම් එකතු විය හැකි එකම සන්දර්භය ධනපති විරෝධය නොව ජාතික වාදයට එරෙහි දෘෂ්ටිවාදී අරගලයයි. නමුත් ගැටලුව වන්නේ ආත්මරාගය පොදු අරගලවලට වඩා ඉදිරියට පැමිණ තිබීමයි. මේ හේතුව නිසා වාමාංශිකයන් සහ සමලිංගික උද්ඝෝෂකයන් අතර වෙනසක් නැති වී ඇත. සමකාලීන යුගයේ සටන් පාඨය ලෙස ගත යුත්තේ නරක මිනිසුන්ගේ නපුර නොව හොඳ මිනිසුන්ගේ හොඳ හොඳ කමේ නපුරයි. වස්ති You tuber ගේ අනන්‍යතා අර්බුදය සහ ඔහු Audi මෝටර් රථයක් මිලදී ගැනීම අතර පරස්පරය සමකාලීන වාමාංශිකයන් වටහා ගැනීමේදී ද අදාල කර ගත යුතුය. අද බොහෝ දෙනෙකුට අවශ්‍ය කරන්නේ අනන්‍යතාවයක් මිස රාජ්‍ය බලය නොවේ.



දීප්ති කුමාර ගුණරත්න/ ඉන්දික පෙරේරා- ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...