ලාංකීය සාහිත්‍ය විචාරය ෆැන්ටසියකි. මේ රටේ සිටින සමහර ලේඛකයින්, කවීන් සහ මහාචාර්යවරුන් ඉල්ලා සිටින විචාරය කුමක් ද? ඔවුන්ගේ සිහිනය විචාරකයින් නැති ලෝකයක් ගොඩ නැගීමය. සරලව කියන්නේ නම් තමන් මුරුංගා අත්තේ තබන විචාරකයින් සිටින ලෝකයක් බිහි කිරීම ලෙසත් එය හැඳින්වීමට පිළිවන. පොත් ගැන ලිවීමට වෙන් වුණ මෙම තීරුවේ ඉඩ මෙවර මම ඔවුන්ගේ ඊනියා විචාර විරෝධය විමසීම සඳහා වියදම් කිරීමට අදහස් කළෙමි.

මෙහිදී මගේ අවධානයට ලක්වන්නේ එක්තරා දිනපතා පුවත්පතක ප්‍රශ්න විචාරකයෙක් සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යවරයා අමාරුවේ දමා තිබූ අවස්ථාවකි. අර ප්‍රශ්න විචාරකයාගේ ලනුව එහෙම පිටින්ම ගිල දමා මහාචාර්යවරයා පවසන්නේ අද ඩෙරිඩා ගැන කතා කරන අය අභිනව ගුප්ත ගැන නොදන්නා බවය. ප්‍රශ්න විචාරකයා මහාචාර්ය වරයාගෙන් පෙරලා නොඅසන ප්‍රශ්නය නම් අභිනව ගුප්ත ගැන ඩෙරිඩා දැන සිටියේ ද යන්නය. ලංකාවේ සාහිත්‍ය විචාරය පිළිබඳ තීන්දු ගන්නට යෝජනා කරන්නේ මෙබඳු විහිළු සපයන්නන් ය.

සුනන්ද මහාචාර්යවරයාගේ ප්‍රකාශය කියවූ සැනින් මගේ මතකයට නැගුනේ නැගෙනහිර යුරෝපයේ ප්‍රචලිත අපූරු විහිළු කතාවකි. එය වූ කලී අපේ කාලයේ දාර්ශනිකයකු වූ ස්ලැවෝජ් ජිජැක් ගේ සිත් ගත් විහිළුවකි. මේ විහිළු කතාවේදී එක්තරා මිතුරන් දෙදෙනෙක් පදමට මත් පැන් පානය කර රඟ හලකට යති. නරඹමින් සිටි නාටකය ඔවුනට නීරස විය. මේ අතර එක් අයෙකුට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඇති වී අනෙකාට තම අසුන බලා ගන්නා මෙන් පවසා ඔහු රඟහල කොරිඩෝරයට පිවිසුනේය. එහි කෙලවරක වැසිකිළි දොරක් වූ බවක් ඔහුට මතක තිබිණි. කොරිඩෝරය දිගේ ඇවිද යන මිනිසාට එවැන්නක් හමු නොවූ නමුත් එහි ඇර තිබූ දොරකින් ඇතුළු වූ ඔහුට දක්නට ලැබුණේ මල් පෝච්චියකි. ඔහු එම මල් පෝච්චියට තම මුත්‍රාශයේ බර සැහැල්ලු කළේය. මහත් අස්වැසිල්ලෙන් ආපසු පැමිණි ඔහු මිතුරා අසලින් ව‍ාඩි විය. මිතුරා ඔහුට මෙසේ පැවසීය.

“අපරාදෙනෙ! තමුසෙට හොඳම කෑල්ල මිස් වුණා. කව්දෝ හාදයෙක් ස්ටේජ් එකට ඇවිත් අර මල් පෝච්චියට මුත්‍රා කළානෙ.”

ජිජැක් මෙම විහිළුව උපුටා දක්වන්නේ ප්‍රචාණ්ඩත්වය පිළිබඳ ඔහු ලියන කෘතියක නගන තර්කය විස්තර කිරීමෙක් වශයෙනි. අප හැමෝම මත් වූවන් ලෙස ජාත්‍යන්තර වේදිකාවේ රඟ දැක්වෙන නීරස නාඩගම දෙස ඔහේ බලා සිටින්නෙමු. ර‍හසේ ම මුත්‍රාශය සැහැල්ලු කිරීමේ අධික වුවමනාවක් අපට දැනේ. මේ මුත්‍රා බර නිසාම අපද කොටස්කරුවන් වී සිටින නාඩගමේ වාස්තවික යථාර්ථය අපට මග හැරෙයි. අප කරන්නේ වේදිකාව මතට නැග මුළු ලෝකයට ම පෙනෙන පරිදි මුත්‍රා කිරීමය.

මා යට සඳහන් කළ මහත්වරුන් කරමින් සිටින්නේ වෙනස් දෙයක් නොවේ. අභිනව ගුප්ත ගැන සඳහන් කරන තැනකට ඩෙරිඩා කැඳවීමේ ඇති ඔලමොට්ටල නොගැළපීමවත් මේ මහැදුරන්ට නොවැටහේ. ඉන් පෙන්නුම් කරන්නේ ඔවුන් ඩෙරිඩා ගැන තබා අභිනව ගුප්ත ගැනවත් හරි හැටි නොදන්නා බවය. අභිනව ගුප්ත යනු 10 වන සහ 11 වන සියවස්වල ඉන්දියාවේ විසූ තාන්ත්‍රික ධර්ම පිළිබඳ විශේෂඥ‍යකු විය. එහෙත් ඔහු වඩාත් ප්‍රකට වන්නේ භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳ ලියන අභිනව භාරතී නම් කෘතිය නිසාය.

ඩෙරිඩා යනු වර්තමානයට අයත් බටහිර දාර්ශනිකයෙකි. මහාචාර්යවරයා මෙම පඬිවරුන් දෛදනා දෙපස නැඟීමෙන් කරන්නේ තමා ඩෙරිඩා කියවා නැති බව එළිදරව් කිරීමය. ඔහු පවසන්නේ බටහිර ඩෙරිඩා ට වඩා පෙරදිග අභිනව ගුප්ත ධූරාවලික ලෙස උසස් බවය. එහෙත් මහාචාර්යවරයාම ඩෙරිඩා විසින් විසං‍යෝජනය කරනු ලැබූ බටහිර දර්ශනයේ පාර භෞතික බව පෙරදිග නගා ලීම සඳහා නැවත කැඳවීම විහිළුවකි.

ලාංකීය සන්දර්භය තුළ විසංයෝජනය (deconstruction) යන වචනය විකාරයක් වී තිබෙන්නේ එය කඩා බිඳ දැමීම හෝ කඩා නැවත ගොඩ නැගීම වැනි අර්ථයක් තුළ අසරණව තිබීම නිසාය. එහෙත් ෂාක් ඩෙරිඩා විසංයෝජනය ලෙස හඳුනා ගන්නේ අන් කිසිවක් නොව අනෙකා තමාව නොවැළැක්විය හැකි ලෙස කරන ආක්‍රමණය විශ්ලේෂණය කිරීමටය.

ඉහත ඡේදයේ අනෙකා (other) යනු මහාචාර්ය සුනන්දට අනුව බටහිරය. බටහිර නව මතවාද තමාගේ සුරක්ෂිත බව ආක්‍රමණය කරතැයි ඔව්හු බියගෙන සිටිති. ඩෙරිඩා තර්ක කළේ බටහිර දර්ශනය රඳා පවතින්නේ ම ප්‍රතිපක්ෂ (binary oppositions) මත බවය. මේ ප්‍රතිපක්ෂ ධූරාවලිකය. (hierrachical) එනම් එකක් මහ ඉහළින් තොරොම්බල් කරද්දි අනෙක ඌනිත ප්‍රපංචයක් බවට හෙලා දැකීමය. සංස්කෘතියට වඩා ස්වභාවධර්මය වරප්‍රසාද ලාභි වන්නේ එලෙසය. දෙමළාට වඩා සිංහලයා උතුම් වන්නේ එලෙසය. එක්කෝ බටහිරට වඩා පෙරදිග නැත්නම් පෙරදිගට වඩා බටහිර උසස් වන්නේ එලෙසය. එහෙත් මේ යෙදුම්වලට ප්‍රතිවාදයක් ලෙස ස්වායත්ත පැවැත්මක් නැත. ඒ එක් එකෙහි අර්ථය අනෙක නිර්වචනය කිරීම මත පවතින්නකි. විසංයෝජනය යනු අනෙකා තමාව ආක්‍රමණය කිරීම විශ්ලේෂණය කිරීමකැයි කියන්නේ එම අර්ථයෙනි.

අපගේ ඊනියා පඬිවරුන් පත්ව සිටින අවුල පැහැදිලිය. ඔවුන් තුළින් නිරන්තරව පළවන්නේ තම නොදැනුම නැතහොත් තමාට මෙතෙක් අවිෂයව පවතින දැනුම තමා ආක්‍රමණය කරනු ඇතැයි යන බියයි. ඩෙරිඩා මෙය නම් කළේ අවිද්‍යමානය (absence) වශයෙනි. හැම විටම විද්‍යමාන දේ (persence) නැතහොත් පෙනෙන්ට තිබෙන දේ (තමන් දන්නා දේ) පමණක් සත්‍ය ලෙස ගැනීම බටහිර දර්ශනයේ පාර භෞතික ස්වරූපය විය. තම තමාගේ රැකවරණය පිණිස පෙරදිග නගා ලීමට තැත් දැරුවද මේ මහත්වරු චිත්තමය වශයෙන් බටහිර පාර භෞතික මඩ ගොහොරුවේම ලැග සිටිති.
saman wickramarachchi – silumina

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

      • Yes, I know very well about that guy, who is a high court judge and when you say to me be careful your unconscious gets revealed…. Anyway are you still related with that “powerful” guy ?

Comments are closed.