ලංකාවේ 80 දශකයේ වාමාංශික දේශපාලනයට කුමන මට්ටමකින් හෝ සහභාගි වූ මිනිසුන් විජය කුමාරණතුංග ඇදහීමේ පුරුද්දකට ඇබ්බැහි වී සිටිති. මෙය, 80 දශකයේ දී කතිකාවක් ලෙස (කතිකාවක් යනු, සමාජ සම්බන්ධයක් බිහි කරන සංවාද භාෂාව යන්න ය. උදාහරණයක් ලෙස, ස්ත්‍රී ලෝලියෙකු ස්ත්‍රියක් දැලේ දා ගැනීම සඳහා ‘අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ’ නම සමාජ අවකාශය තුළ භාවිතා කිරීම. ග්‍රාම්ස්චි යන නම හරහා ඒ අනුව, ස්ත්‍රී ලෝලියා සමාජ සංවාදයක් ගොඩනගා ගනී. එවැන්නෙකු ඇත්තටම කතා කරන්නේ, ග්‍රාම්ස්චි ගැන නොව තම දඩයමට සරිලන ස්ත්‍රීන් දැලේ දා ගන්නා ආකාරය පිළිබඳව යි.) භෞතීස්ම කරනු ලැබුවේ, දයාන් ජයතිලක විසිනි. විජය සහ චේ අතර හිතුවක්කාර ව්‍යුහාත්මක සම්බන්ධයක් දයාන් විසින් තනන ලදී.

                  විජය පිළිබඳවත්, මහජන පක්ෂය පිළිබඳවත් සමාජ විද්‍යාත්මක ප්‍රවාද ‘නිව්ටන් ගුණසිංහ සිට රොහාන් පෙරේරා’ දක්වා බුද්ධිමතුන් එළිදක්වා ඇත. විජය සහ චේ අතර සංසන්දනය නොන්ඩි ගසන සුළුය. චේ යනු, විප්ලවවාදියෙකි. ඊට අමතරව, ඔහු ස්ත්‍රීන්ට පක්ෂපාතී පිරිමියෙකි. මේ අංශ දෙකම විජයට තිබුණේ නැත. චන්ද්‍රිකා සමඟ ඔහුගේ විවාහය අපායක් වූ අතර එහි දී ඔහු විරුද්ධ ලිංගිකයාට සැලකුවේ යටත්වැසියෙකුට ලෙසිනි. ඊට අමතරව, ඔහු සිනමා ක්ෂේත්‍රයේ දී ස්ත්‍රී නිළියන්ව සලකා බලන ලද්දේ ලිංගික භාණ්ඩ ලෙසින් ය. එය, එකල සිනමා ක්ෂේත්‍රයේ බහුතරය දැන සිටි කතන්දරයකි.

              එසේ නම්, දයාන් ජයතිලක නිපදවන ලද ‘විජය කතිකාවට’ වාමාංශිකයන් බහුතරයක් ආකර්ෂණය වූයේ මන්ද? එය සිදු වූයේ, ඔහු සුළු ජාතිකයන්ගේ අරගලයට සහය දැක්වූ නිසා ද? ඇත්තටම, විජය ඝාතනය කිරීමේ ව්‍යූහාත්මක අවශ්‍යතාවය තිබුණේ ජවිපෙට ද නැතහොත්, ප්‍රේමදාසවාදයට ද? ඉතිහාසය ඉහත ප්‍රශ්න වලට තවම පිළිතුරු සපයා නැත.

              කුතුහලයට තුඩු දෙන ප්‍රශ්නය වන්නේ, වාමාංශික අරගලවලට සහභාගී වූ අය විජයගේ ජනප්‍රිය සංස්කෘතිය පැත්තට හැරෙන්නේ මන්ද යන්න ය. නැතහොත්, විජයවාදය දෘෂ්ටිවාදයක් ලෙස වාමාංශිකයන්ට අවශ්‍ය මන්ද?

               සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ප්‍රත්‍යයික වාර්තාවක් – Case Study- වන ‘මූෂික මිනිසා’ – Rat Man- නම් වාර්තාවේ ප්‍රධාන චරිතය R මහතා ය (Mr.R). ඔහුගේ ජීවිතය යනු, ධ්‍රැව දෙකකට ඇදී යන චරිතයකි. වාර්තාව තුළ අඩංගු R මහතාගේ ආත්ම කථනය තුළ එක්තරා වැදගත් සිදුවීමක් හරහා ඔහුගේ සිත දෙකට පැලෙන අයුරු විද්‍යාමාන වෙයි. අපි එම සිදුවීමට දැන් නාභිගත වෙමු.

1. R මහතා පාරක් දිගේ ඔහේ ඇවිදගෙන ඉදිරියට ගමන් කරයි. ඔහු හොඳින් දන්නා තවත් කාරණයක් වුයේ, මෙම පාර දිගේම තම පෙම්වතිය කරත්තයකින් තව ටිකකින් ගමන් කරන බවයි. ඒ නිසා, පාර මැද වන්නට තිබූ ගලක් ඔහු කරත්තයේ ගමනට බාධාවක් වේ යැයි කියා සිතා ඉවත් කරයි. එසේ කරන්නේ, පෙම්වතියට ඔහු ආදරය කරන නිසා ය.

2.කරත්ත ගමනට බාධාවක් වූ ගල පාරෙන් ඉවත් කළ R මහතා ඉදිරියට ගමන් කරන විට, ඔහු තමා තුළ බිහි වන අලුත් චිත්තවේගයක් නිසා කම්පනයට පත්වෙයි. එම චිත්තවේගය මෙසේ ය. ඔහුගේ සිත ඔහුට යළි මෙසේ කියයි. “ ඔබ ඉවත් කළ ගල යළිත් තිබුණ තැනම තබන්න! ”.

 

                 ඉහත සිදුවීම තුළ ඇති මුඛ්‍ය ප්‍රතිවිරෝධය කුමක්ද? R මහතා පළමු ක්‍රියාව එනම්, ගල ඉවත් කරන්නේ සවිඥාණකව ය. තම පෙම්වතියගේ ගමනට බාධාවක් වන අවහිරයක් ඔහු සිහියෙන් ඉවත් කරයි. නමුත් දෙවැනි ක්‍රියාව එනම්, ගල තිබුණ තැනම යළි තබන්නේ අවිඥාණකව ය. මේ දෙවැනි අවස්ථාවේ දී, ඔහුට තම හැසිරීම නිරීක්ෂණය කළ හැකි මුත් ඔහු එසේ කරන්නේ ඇයි ද කියා ඔහු දන්නේ නැත. ඒ අනුව, ඔහුගේ හැසිරීම ඔහුටම ප්‍රහේලිකාවකි. නමුත් මෙම දෙවන ක්‍රියාව මගින් පළමු ක්‍රියාව ප්‍රතික්ෂේප කිරීමක් සිදු වෙයි. එය නිකම් ප්‍රතික්ෂේප කිරීමක් නොව විවේචනාත්මක ප්‍රතික්ෂේප කිරීමකි. R මහතා පළමු සිදුවීමේ දී ගල ඉවත් කරන ලද්දේ, තම පෙම්වතිය කෙරෙහි වූ ආදරය සහ සැලකිල්ල නිසා බව පැහැදිලි වන මුත් නැවත එම ගල පැවති තැනම යළි තිබ්බේ ඇයි ද යන්න ගැන අදහසක් ඔහුට නැත.

               දැන් ගැටලුව වන්නේ, R මහතාගේ දෙවන ක්‍රියාව තුළ අඩංගුව ඔහුටමත් ප්‍රහේලිකාවක් වන්නේ මන්ද යන්න ය. එය, ඔහුට පෙම්වතිය ගැන ඇති පිළිකුලක් හරහා මතුවන කෝපයක් විය හැකි ය. නමුත් මේ කෝපය ඔහු තුළ හැඟීමක් බිහි කර නැත. ඉහත අදහසට අනුව, R මහතාගේ දෙවන ක්‍රියාව සිතුවිල්ලක් බවට පරිණාමනය නො වන්නේ ඔහු තුළම පවතින අවිඥාණක දැනුමක් නිසා ය.

                ෆ්‍රොයිඩ්ට අනුව R මහතාගේ දෙවන සිදුවීමට අදාළ තර්කය අපටම යොදා ගෙන අර්ථකථනය කරන්නේ නම්, තත්වය මෙසේ ය. “මිනිසෙකු ඔහුගේ/ ඇයගේ දකින, විඳින සියලුම ක්‍රියාවන් සහ ප්‍රකාශනයන් සහ ‘මානසික ජීවිතයේ ඉතිරි කාලය’ තවත් කෙනෙකුට බද්ධ කර විනිශ්චය කරන්නේ මන්ද” යන්නයි. මේ සන්ධියේ දී අපට හමු වන්නේ, සවිඥාණය – Self-consciousness- කුමක්ද යන අදහසයි. යම් විඥාණයක් සවිඥාණක වීමට නම් තව කෙනෙකුගේ විඥාණය ‘වස්තුවක්’ – object- කළ යුතු ය. R මහතා තමාව තේරුම් ගැනීමට තම පෙම්වතියව අදාළ කර ගනියි. මිනිසා තමාව වටහා ගැනීමට යන ක්‍රියාවලිය තුළ දී එය වෙනත් පුද්ගලයකුගේ සිතුම් පැතුම් වලට ප්‍රක්ෂේපණය කිරීම ඔහුට හෝ ඇයටම ක්‍රියාවක් ලෙස අවිඥාණක ය. සාත්‍රේ වැනි දාර්ශනිකයෙකු ‘අනෙකා අපායක්’ – Other is Hell – යැයි කීවේ මේ හේතුව නිසා ය.

                R මහතාගේ පළමු සිදුවීම ක්‍රියාවක් ලෙස සැලකීමට අප පෙළඹෙන්නේ නම් අප විසින් ඔහුට යම් යම් විශ්වාසයන් ආරෝපණය කළ යුතුය. ඔහුට අනුව, ගලක් බාධාවක් විය හැකි ය යන්න විශ්වාසයකි. ඊළඟට, ඔහු පෙම්වතියගේ ආරක්ෂාව සඳහා ක්‍රියා කර ඇත. ඇයට උපකාරයක් කිරීමට ඔහු සිතා ඇත. නමුත් අපට ගැටලුව එන්නේ, R මහතා යළි ගල ඒ තිබුණු තැනම යළි තබන්නේ මන්ද යන කාරණය මෙනෙහි කරන විටදී ය. ගල යළිත් තිබුණු තැනම R මහතා තබන්නේ ඇයි ද යන්න ඔහුටම අපැහැදිලි ක්‍රියාවකි.

             ගල ඉවත් කිරීම R මහතාට අවිඥාණක ය. ඔහු එතැන දී පෙම්වතිය හරහා ගමන් කර ඇත. නමුත් ඔහුට අවබෝධ නොවන්නේ, ගල ඉවත් කිරීමට තුඩු දෙන හේතුවයි. දීර්ඝව ෆ්‍රොයිඩ් R මහතා සමඟ කතා කරන විට දී, R මහතාට අනුව ඔහුගේ පෙම්වතිය ඔහු කෙරෙහි ලොකු සැලකිල්ලක් නො දක්වන අතර පහත් කොට සලකයි. මේ නිසා, R මහතා තුළ තම පෙම්වතියගෙන් පළි ගැනීමේ චිත්තවේගයක් හට ගනියි. නමුත් ඔහුගේ ජීවිතයේ මෙම මානසික කොටස ගැන ඔහු නොදැනුවත් ය. නමුත් R මහතා පෙම්වතියට ආදරය කිරීම සහ වෛර කිරීම ඔහුගේ සිත තුළම එකට බැඳී පවතී. මනස තුළ ඇති කොටස් (අහම, අවිඥාණය, සුපිරි අහම) එක්වරක ඒකාබද්ධ වන අතර තවත් විටෙක ඒවා අතර පසමිතුරුභාවයක් හට ගනියි. ඒ අනුව, අප අපගේ මනසේ කොටසක් අනෙකා වෙත ප්‍රක්ෂේපණය කරනවා පමණක් නොව එම ප්‍රක්ෂේපණය හරහා නැවතත් අප අප ගැනම විනිශ්චයකට ලක් කරයි. මා හොඳ හෝ නරක වන්නේ, මා තුළින්ම නොව මා අනෙකා කරගත් අනෙකාගේ බද්ධ දෘෂ්ටියෙනි (Gaze). ඒ අනුව, අපගේ ජීවිතයෙන් වැඩි කොටසක් අප විනිශ්චය කරන්නේ අප තුළින් නොව අනෙකෙකුගේ දෘෂ්ටිකෝණය තුළිනි.

                R මහතාගේ ජීවිතය ගතහොත්, ඒ තුළ ‘ආදරය සහ වෛරය’ අතර සටනක් පෙම්වතිය නිසා හටගෙන ඇත. එනම්, ප්‍රේමයට අදාළ එක් කොටසක් තාර්කික ය. එහි වෛරය කොටස අතාර්කික ය. R මහතාට නොතේරෙන්නේ, ඉහත සටන් දෙකම එකවර ඔහු තුළ ප්‍රාදුර්භූත වී ඇත්තේ මන්ද යන කාරණය යි. සාමාන්‍යයෙන්, සෑම ප්‍රේම කරන ජෝඩුවකටම මෙය අදාළ ය. ඔවුන්ගේ සම්බන්ධය තුළ ප්‍රේම කිරීමට සහ වෛර කිරීමට අදාළ හේතූන් ඕනෑ තරම් ඒ තුළම ගොඩ ගැසී ඇත. නමුත් නිල වශයෙන්, ඔවුන් අතර එකඟතාවය වන්නේ අවම වශයෙන් අන්‍යයන් ඉදිරියේ දී පළිගැනීමේ ක්‍රියාවෙන් මිදෙන බව ය. නමුත් සම්බන්ධය තුළ විටින් විට මෙම පළිගැනීමේ ක්‍රියාවන් මතු වී මැකී යයි. නමුත් ජෝඩුව ඒවා ගැන අවිඥාණක ය. කෙනෙක් තම සහකරුවා හෝ සහකාරිය සමඟ ප්‍රකෝප වන්නේ, ඔහුගේ හෝ ඇයගේ ආදරය ආපසු ලබා නො දෙන තත්වයක් උද්ගත වූ විටදී ය. එවිට, R මහතා මෙන් ගලක් ඉවත් කර එම ස්ථානයේම ගල තැබීමට ජෝඩුව එකඟ වෙති. නමුත් ගල ඉවත් කිරීම R මහතාගේ පැත්තෙන් ගත් විට, එය කෝපයෙන් කරන දෙයක් නොවේ. මන්ද, ඔහුට තවම පෙම්වතිය ගැන කේන්තියක් යෑමට හේතු නැති බැවිනි. කෙනෙකුට සැබැවින්ම කේන්තියක් ඇති වූ විට සම්බන්ධයෙන් ඉවතට ගමන් කරයි. අවසන් වශයෙන්, අපට වැටහෙන්නේ R මහතාගේ දෙවැනි ක්‍රියාව ඔහුට අවිඥාණක මුත් ඔහුට එය දැනෙන දැනුමක් බවයි. ප්‍රේම බන්ධනයේ අවිඥාණක ව්‍යුහය වී ඇත්තේ, පළිගැනීමේ චිත්තවේගය හරහා R මහතාට වේදනාවෙන් සතුටු විය හැකි බවයි. R මහතාගේ ප්‍රේමය සතු සත්තාව වන්නේ, එහි අර්ථය නොව මෙම ‘වේදනා-ආර්ථිකය’ යි.[Libido Economy.]

                 අපට දැන්, විජය වන්න! යන තේමාවට ප්‍රවේශ වීමට හැකි ය. විජයවාදයට ආශක්ත වී ඇති පැරණි තාලයේ වාමාංශිකයන් එසේ කරන්නේ මන්ද? (විජය ෆැන්ටසිය) වාමාංශික දේශපාලනය යනු, ධනවාදී නිෂ්පාදන ආර්ථිකයට එරෙහිව කරන දේශපාලනය යි. එවැනි ක්‍රියාවලියක් තුළ හැඟීම්බර පක්ෂයට ඉඩක් පක්ෂ ක්‍රියාවලිය තුළ නැත. වාමාංශික දේශපාලනය තුළ ආදරය, ප්‍රේම සබඳතා, ලිංගික සබඳතා, විකල්ප සබඳතා සඳහා පක්ෂය තුළ නිල පළිගැනීමක් නැත. කොටින්ම, වාමාංශයට 80 දශකය වනතුරුත් ආදරය පිළිබඳ ෆැන්ටසියක් තිබුණේ ද නැත.

                   ඉහත සන්දර්භයට අනුව ගත් විට, පන්ති අරගලය තුළ දී කරන දේශපාලනයට තෙතමනය සහිත මානුෂික හැඟීම් වලට අතවනන මිනිසුන් නොමැත. එවැන්නක් තුළ දී අපට හමු වන්නේ, ශුෂ්ක, මෝඩ, හැඟීම් මිය ගිය, පෝෂණ පදාර්ථ සහ විටමින් රහිත වීම නිසා මිය ගිය වියළි සමක් සහිත කඨෝර මිනිසුන්ය. ඒ නිසා ම, වාමාංශික දේශපාලනය තුළ ආදරය, අනුකම්පාව සහ සහකම්පනය යනු අවිඥාණක සිතුවිලි ය. ඒවා, මේ වියළි මිනිසුන්ගේ අවිඥාණක ප්‍රාර්ථනා ය. නැතහොත්, ඔවුන්ට අතවනන අතිරික්ත ආර්ථිකය යි. [Surplus Economy] 80 දශකය සෙමින් ගෙවී යන යුගයක දී, ආදරය, ලිංගිකත්වය වැනි ‘අතිරික්ත විනෝදයක්’ ජනනය කරන දේශපාලනයක් ‘අතිරික්ත වටිනාකම්’ කතා කරන දේශපාලනයකට සම්මුඛ විය. විජය කුමාරණතුංග යන නම හරහා ඒකාබද්ධ වූයේ, මේ ආර්ථික දෙකයි.

                     දැනුවත්ව දේශපාලනය කරමින් සිටි වාමාංශිකයන් එක්වරම විජය කුමාරණතුංග දෙසට හැරිණි. R මහතාගේ දෙවන ක්‍රියාව මෙන්ම වාමාංශිකයන් ද ඔවුන් විජය වෙත හැරුණු හේතුව නො දනියි. ඒ සඳහා ඔවුන් කීවේ, පහළ පන්තියේ මිනිසුන් මේ බයිස්කෝප්කාරයාට රුචි වූ බවයි. නමුත්, ඇත්ත හේතුව ඔවුන්ටම අවිඥාණක ය. වාමාංශිකයන් ‘විජය වන්න’ උත්සාහ කරන ලද්දේ, ‘ආදරය’ ඔවුන්ගේ ජීවිත තුළ නැති ප්‍රපංචයක් වූ නිසා ය. කම්කරු අරගලවලට අමතරව ඔවුන් ආදරයට ද ආශක්ත විය. ඔවුන්ගේ වියළි ජීවිතවලට ද ආදරය අවශ්‍ය විය. ඔවුන් විජය වෙතට යොමු වූයේ, පහළ පන්තිය නිසා නොව ඔවුන්ගේ ආදර දරිද්‍රාවය නිසා ය. තමන් තුළ නැති ‘ආදරය’ විජයට ප්‍රක්ෂේපණය කර ඔහු හරහා අපත් ආදරවන්තයන් නොවේ දැයි ඔව්හු අපගෙන් අසති. විජයවත් විශ්වාස නො කරන ආදරයක් ඔහුට ප්‍රක්ෂේපණය කොට ආදරය යනු, විජයගෙන් ලද දෙයක් යැයි වාමාංශිකයින් විශ්වාස කරති. අයිතිකාරයෙක් නැති ආදරයක් සඳහා විජයව භෞතීස්ම කිරීම පරිස්සම් සහගත ය. සමකාලීන ධනවාදී නූතනත්වය තුළ අයිතිකරුවන් නොමැති විශ්වාසයන්ට බොහෝ දෙනා අනන්‍ය වෙති. අප විමල් කැටිපේආරච්චිට කැමති වන්නේ, ‘සමාජවාදය’ පිළිබඳ අපගේ විශ්වාසය අප ඔහු වෙතට ප්‍රක්ෂේපණය කරන නිසා ය. එය ඔහු අප වෙනුවෙන් විශ්වාස කරයි. නමුත් අන්වීක්ෂීය පරීක්ෂාවක් කළ විට, ‘සමාජවාදය’ විමල් වීරවංශ මෙන්ම විමල් කැටිපේ ද විශ්වාස කරන්නේ නැත. අපට ඇත්ත ජීවිතයේ විශ්වාස නො කරන දේවල් පැටවීමට අපට බාහිරින් වීරයන් අවශ්‍ය වේ. අවසානයේ, සමාජය භ්‍රමණය වන්නේ සැබෑ අයිතිකරුවන් නැති මුලාවන් වටා ය. ආදරයට ද උරුම වී ඇත්තේ, මේ තත්වය යි. අප ආදරය කරන්නේ, “අප ආදරය කරන නිසා නොව”, “අපට අනෙකා ආදරය කරනු ඇත” යනුවෙන් කල්පිතයක් අප බාහිරට ප්‍රක්ෂේපණය කරන නිසා ය. ඒ අනුව, අවසන් වශයෙන් ආදරයට අදාළ වටිනාකම් න්‍යායක් අවිඥාණක තලයේ පවතියි. අප තුළ නැති ආදරය විජයට ප්‍රක්ෂේපණය කළ විට, විජය අපට ‘අර්චනකාමී ආදරයක්’ හඳුන්වා දෙයි. අවාසනාවකට මෙන්, අප සේම විජය ද ආදරවන්තයෙකු නොවේ. මුල් පිටපත අහිමි වූ ‘ආදරය’ කොපි වශයෙන් මිනිසුන් අතර හුවමාරු වෙයි. විමර්ශකයක් නැති ‘ආදරය’ උන්මත්තකයන් අතර දී අනාථ වී ඇත.

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

               

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here