ශිෂ්ටත්වයේ සිහිනය...|Sunday, September 24, 2017
You are here: Home » News » විරුද්ධත්වය යනු යටත් වීමයි

විරුද්ධත්වය යනු යටත් වීමයි 

rathupaswala2

තුපස් වල ජනතාව බීමට දිය පොදක් ඉල්ලා කළ සාමකාමී උද්ඝොෂණයට හමුදාව විසින් වෙඩි තබා මිනිසුන් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔබ දැනටමත් ඕනෑවටත් වඩා විස්තර දන්නවා ඇත. ඒ ගැන යළි යළිත් සෝද සෝදා මඩේ දමන්නට අවැසි නැත. ඇත්තටම මේ ප්‍රශ්ණය ධමික පෙරේරා නම් ව්‍යාපාරිකයා ගේ කර්මාන්ත ශාලාවක් නිසා අගතියට පත් ජනතාව හට රාජ්‍යය විසින් සිය බලය භාවිතා කර ඉතා අමානුෂික අන්දමින් සලකා ක්‍රියා කොට මිනිසුන් මරා දැමීමට වඩා මිනිස් වර්ගයා ගේ අනාගතය පිළිබද ඉතා ඛේදජනක යථාර්ථයක් අපට පසක් කරවන ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම මෙකී කර්මාන්ත ශාලාව පැය විසි හතරකින් වසා දැමීම මගින් මේ ප්‍රශ්ණයට නිසි විසදුමක් ලැබෙනවා යැයි යමෙකු සිතනවා නම් ඔහු උම්මත්තකයෙකි. ලෝකයේ බීමට පිරිසිදු දිය පොදක් සොයා ගත නොහැකිව දෛනිකව මිය යන දහස් සංඛ්‍යාත ජනතාව අතරට රතුපස්වල ජනතාවත් මේ වන විට එක්ව ඇත. මේ වන විටත් මේ ප්‍රදේශයටත් වඩා අනුරාධපුර ප්‍රදේශයේ  ජනතාව මුහුණ දී සිටින පිරිසිදු පානීය ජලය පිළිබද ගැටළුව තීරණාත්මකය. අප්‍රිකානු කලාපයේ මිනිසුන් මීට වසර ගණනකට පෙර සිට පිරිසිදු පානීය ජලය සම්බන්ධයෙන් උග්‍ර ගැටළුවකට මුහුණ දී සිටියි. ඒ අනුව මේ ගැටළු යනු මනුෂ්‍ය වර්ගයා ගේ අනාගතය සම්බන්ධයෙන් වූ ගෝලීය අර්බුධයේ තවත් පැති මානයකි. නමුත් බොහෝ අයට  අනුව මෙය පහත අකාරයේ ගැටලුවකි.

සදරුවන්ට අනුව මෙය මිනීමරු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මිලේජ්ඡ ක්‍රියා කලාපය විදහා දක්වන තවත් අවස්ථාවකි.

ඩිලාන් පෙරේරාට අනුව මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට කරණු ලැබූ ජේ.වී.පී කුමන්ත්‍රණයකි.

ස්වාධීන රූපවාහිනයට අනුව මෙය රතු පස්වල ජනතාවගේ පානීය ජල ප්‍රශ්ණයෙන් අයුතු ප්‍රයෝජන ගන්නනට තැත් කල කඩාකප්පල්කාරීන් ගේ ක්‍රියාවකි.

සිරස රූපවාහිනියට අනුව මෙය විපක්ෂ නායකයාගේ දුර්වලතාවයක් නිසා විපක්ෂයට බලය ලබා ගන්නට නොහැකි වීම මත ඇති වූ ගැටලුවකි.

පාරිසරික සංවිධාන වලට අනුව මෙය තනිකරම පරිසර ප්‍රශ්ණයකි.

විපරිත දාර්ශණිකයන්ට අනුව මෙය ප්‍රභාකරන් නොමැති සමාජයක මහින්ද රාජපක්ෂ පොදු සතුරා බවට පත් කර ගැනීමේ දෘෂ්ටිවාදී ගැටලුවකි.

මේ ආකාරයෙන් තවත් උදාහරණ ගණනාවක් අපට ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් අප ජීවත් වන ධනවාදී සමාජ ක්‍රමය තුළ මනුෂ්‍ය වර්ගයා ගේ ඉරණම තීන්දු කරන තවත් එක් උග්‍ර ප්‍රශ්ණයක් ලෙස අපට පිරිසිදු පානීය ජලය පිළිබද ගැටලුව අපට හදුනා ගත හැක.

සැබවින්ම ජලය ඉතා වටිනා සම්පතකි.ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මිහිපිට ජීවය පැවතෙන්නේ ජල සම්පත නිසාවෙනි. සාගර,ගංගා,ඇලදොළ,විල් හා අනෙකුත් ජල මුලාශ්‍ර වල ජලය ඉතිරී පැතිරී තිබු හෙයින් මේ ලොව කිසි දිනෙක ජල හිඟයකට මුහුණ පෑමට සිදු නොවේ යන්න එකල පිළිගැනීම විය.කෙසේ වෙතත් ලෝකය පුරා ජනසංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම නුදුරු අනාගතයේ දී පිරිසිදු ජලය ශීඝ්‍රෙයන් අඩු වීමේ තත්වයකට මුහුණ පාන්නට සිදුවන බව එකල විද්වතුන්ගේ මතය විය.  අද නව විට අප මුහුණ පා සිටින්නේ කලින් පුරෝකථනය කළ ජල අර්බුදයේ මූලික අවස්ථාවයි. පෘථිවි ගෝලයෙන් සියයට 70ක් ජලයෙන් වැසී පැවතුන ද ඉන් සියයට 97ක් ම ඇත්තේ සාගර ජලය හෙවත් ලවන මිශ්‍රීත ජලය යි.ජලයෙහි ඇති ගුණාත්මක බව අනුව එය ප්‍රධාන වශයෙන් කොටස් 02කට බෙදා දැක්වේ.එනම් මිරිදිය ජලය හෙවත් පානීය ජලය හා කරදිය ජලය හෙවත් සාගර ජලය යි.

අකාර්යක්ෂම ජල පරිහරණය,ජල දුෂණය,ජල නාස්තිය සහ කාලගුණික විපර්යාසයන් සමඟ ම ඉහළ යන ජන සංඛ්‍යාවට අවශ්‍යයය ජල ඉල්ලුම සපුරාලීමට නොහැකිව පුද්ගලයින් අතර ජාතීන් අතර ප්‍රදේශ අතර පමණක් නොව රටවල් අතර දරුණු ගැටුම් ඇති වීමට ඉඩ හසර පවතිනු ඇත.මෙයට වසර 50කට ප්‍රථම පොදු මතය බවට පත් වී තිබුණේ ජලය යනු අසීමිත එනම් කිසිදා හිඟ නොවන සම්පතක් ලෙස ය.ඒ කාලය තුළ අද ජනගහනයත් සමඟ සසඳා බැලු කළ ජීවත් වූයේ වත්මන් ජනගහනයෙන් හරි අඩක් පමණි.එම ජනගහනයට සරිලන ආහාර හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍යය වුයේ සුළු ජල ප්‍රමාණයකි.නමුත් අද වන විට බිලියන 07 ක් දක්වා වර්ධනය වෙමින් පවතින වත්මන් ලෝක ජනගහනයට ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ඇත්තේ තරඟයකි.ගෝලීයකරණයත් සමඟ ජල පරිභෝජන රටාවන් ඉහළ යමින් වෙනස් වන ලෝකය කරා හැඩ ගැසෙමින් පවතී.කාර්මීකරණය,නාගරීකරණය හා කෘෂි කර්මාන්ත යන අංශ වලින් ජලය සඳහා ඇති ඉල්ලුම හා පරිභෝජනය දිනෙන් දින ඉහළ යමින් පවතී.

ලොව ජල ව්‍යාප්තිය පිළිබඳව විමසා බැලු කළ සමහර රටවල ජල සම්පත බහුල ලෙස පවතින අතර සමහර රටවල ජල සම්පත ඉතා හීන ලෙස පවතී.උදාහරණ ලෙස කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර කොටස, යුරෝපයේ බොහෝ ප්‍ර දේශවල ජල සම්පත බහුල ලෙස පැවතුන ද අප්‍රිකා මහද්වීපය,මැද පෙරදිග,ඔස්ට්‍රේලියාව,දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවල ජල සැපයුම දුර්වල තත්වයේ පවතී.මෙයින් මතු කර ගත යුතු එක් කරුණක් නම් ජල සම්පත මහද්වීපයෙන් මහද්වීපයට,රටින් රටකට වෙනස් වනවා සේම රටක් තුළ ද ජල ව්‍යාප්තියේ වෙනස්කම් පවතින බවයි.

ලොව පුරා පවතින ජල අර්බුදයෙන් දිනපතා ළමුන් 3800 ක්‌ මියයන වතාවරණය තුළ, ලොව පුරා බිලියන 1.1 ක ජනතාවකට අවම ජල අවශ්‍යතාවවත් සපුරා ගත නොහැකි පසුබිමකදී, ප්‍රමාණවත් ජලයක්‌ ලැබ, අප ද ජල අර්බුදයකට ගොදුරු වෙමින් සිටී.

ලෝක ජනගහනයෙන් සියයට 80 ක්ම එනම් බිලියන 5ක් ජීවත්වෙන්නේ තුන්වෙනි ලෝකය තුළය. එනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් යැයි කියන රටවලය. ලෝක ජනගහනයෙන් බිලියන 2කට දිනකට වියදමට ඇත්තේ ඩොලර් 2කට වඩා අඩු මුදලකි. ලෝක ජනගහනයෙන් 3/1 ජීවත් වන චීනයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ දෛනික ආදායම ඩොලර් එකකට වඩා අඩුය. බිලියන 1.5කට වඩා වැඩි ප්‍රමාණයකට බීමට පිරිසිදු ජලය නොමැත. ඒ අතරින් අප්‍රිකාවේ ජනගහනයෙන් 3/2ක වඩා ප්‍රමාණයකට බීමට පිරිසිදු ජලය නොමැත. දියමන්ති,රත්රං, ඇත්දළ,මුතු මැණික් තම අතමානයේ තබා ගෙන සිටියත් බීමට දියපොදක් නොමැතිව අප්‍රිකානු කලාපයේ මිනිසුන් දෛනිකව දහස් ගනනින් මිය යයි.

අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක යැයි අවබෝධ කර ගැනීමේ දී අපට මේ දුප්පත්කම පිළිබදව ප්‍රශ්ණය හුදු තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට බලපාන ගැටලුවක් පමණක් නොවන බව අවබෝධ වේ.  මේ වන විට ධනපති රටවල ද දුප්පත්කම දිනෙන් දින ඉහළ යමින් පවතියි. පිලපීනයේ මැනිලා නගරයේ මෙන්ම නිව්යෝර්ක් නගරයේ ද මිනිසුන් කුණු බක්කි වලින් අහුලා ගෙන කා කුස පුරවා ගනිති. පදිකවේදිකාවේ කාඩිබෝඩ් පෙටිටි අතුරා ගෙන නිදා ගනිති. ඉන්දියාවේ කල්කටාවේ,බොමිබායේ, ප්‍රංශයේ පැරිස්වල,ජර්මනියේ බර්ලින්, ෆ්‍රැන්ක්ෆර්ට්වල, ඇමෙරිකාවේ චිකාගෝ,නිවියෝර්ක්, සැන්ෆ්‍රැන්සිස්කෝවල, කොලොම්බියාවේ බොගොටා වල, අප්‍රිකාවේ නයිරෝබි හෝ ඊජිප්තුවේ කයිරෝ ආදි මෙකී නොකී බොහෝ නගර වල දරිද්‍රතාවය පැහැදිලි දැකිය හැකිය. පාරවල මිනිසුන් සිගාකෑම,මිනිසුන් මහමග මරා දැමීම ඉන්දියාවේ කල්කටාවේ මෙන්ම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරද සිදුවේ. තමන් උපන් ස්ථානයට අනුව මිනිස් ජීවිතය හැඩගැසෙමින් තිබෙන අතර ලෝකයේ බහුතරයක් මිනිසුන් ඉපිද මිය යන්නේ මුලු ජීවිත කාලය පුරාම අනුන් වෙනුවෙන් සේවය කිරීමටය. මුලු ජීවිත කාලය පුරාම ඒකාකාරී රාජකාරි කටයුතු වලින් හෙම්බත් වන මිනිසුන් සිය ජීවිතයට අර්ථයක් එක් කර ගන්නේ ටොයෝටා ඇලියෝන් කාර්, ඇපල් අයි ෆෝන්, වැනි පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයෙනි. එසේ නැතිනම් ලංකාවේ දී කාර්ගිල්ස් ෆුඩ් සිටි හෝ කීල්ස් සුපර් වෙළෙද සැලකට ගොඩවී සමානයන් ලෙස ලොකු කරත්තයක සීමිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුරවා ගෙන ඇවිදිමින් ලබන මානසික තෘප්තියෙනි. ගෝතමාලා රටේ දකුණු කොරියාණු රෙදි කර්මාන්ත ශාලාවක වැඩකරන කාන්තාවක ගේ දිනක වැටුප ජර්මන් මාර්ක් 3කි. නමුත් ඔවුන් නිපදවන රෆ්ල්-ලවුරන් කමිසයක වෙළෙදපොල  මිල  ජර්මන් මාර්ක් 160 සිට 200 දක්වා මිල වෙයි.  එම කමිසයක් ආඩම්බරයෙන් ඇගලා ගෙන සුන්දර තරුණියක සමග සුඛෝපභෝගි අවන්හලක රාත්‍රි කෑම ගන්නා තරුණයෙකු තමන් ගේ පෙමිවතියට ආඩම්බරයෙන් වර්ණා කරන මේ මිළ අධික කමිසයේ පිටුපස කෙළවර ගෝතමාලාවේ දුගී තරුණියකගේ අනවරත ශ්‍රම ක්‍රියාවලියකට සම්බන්ධ බව සිහිනයෙන්වත් දන්නේ නැත. එමෙන්ම ගෝතමාලාවේ දුගී තරුණිය ජර්මනියේ මෙවන් අවහන් හලක් තිබෙන බව සිහිනයෙන්වත් විශ්වාස කරන්නේ නැත. චීනයේ ඇඩිඩාස්, කාට්ටඩ්,ඇපල් සමාගම්වල පැය දහ අටකට වඩා වැඩි කාලයක් වෙහෙසී වැඩ කරන චීන කම්කරුවන් රැකියාවේ පීඩනය දරාගත නොහැකිව සියදිවි හානි කර ගන්නා බව ආඩම්බරයෙන් මේ භාණ්ඩ පරිභොජනය  කරන උදවිය දන්නේ නැත.

පසුගිය දිනෙක රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝොෂණය කළ ජනතාවට හමුදාවේ වෙඩි උණ්ඩයෙන් පිළිතුරු හිමි විය. අප විසින් අරගල කළ යුත්තේ තනි තනි පරමාර්ථයන් මුදුන් පනුවා ගන්නට නොව පවතින ධනවාදී සාමාජ ක්‍රමය පෙරලා දැමීමටය. මේ සම්බන්ධයෙන් ස්ලේවොයි ජිජැක්ගේ (Resistance is Surrender) නම් ලිපියෙන් අපි කොටස් කිහිපයක් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

පසුගිය දශක කිහිපය තුල ඉතා පැහැදිලි වූ කාරණයක් නම් ධනවාදය විනාශ කල නොහැකි බවය. උල් ආයුධයකින් ඇණ මරාදැමූ සෑම අවස්ථාවකදීම නැවත නැගී සිටීමට හැකියාව ඇති පිසාචයෙකු හා (vampire)මාක්ස් ධනවාදය සන්සන්දය කරයි. සංස්කෘතික විප්ලවයේ දී එහි සලකුණු පවා මකා දැමීමට මාවෝ ගත් උත්සාහය ද අවසන් වුයේ ධනවාදය නැවත උත්තානය වීමකිනි.

අද වාමාංශය ගෝලීය ධනවාදයේ ආධිපත්‍යයට, එහි දේශපාලන පරිපුරකයට සහ ස්වතන්ත්‍ර ප්‍රජාතන්ත්‍රයට විවිධ ආකාරයෙන් ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස ආධිපත්‍ය පිළිගන්නා නමුත් ධනවාදයේ නීතින් තුල රැදෙමින් එය ප්‍රකෘතිමත් කිරීම සඳහා කෙරෙන සටන දිගටම පවත්වා ගෙන යයි. (මෙය තෙවන මාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රයයි – (The Third Way Society)එසේත් නැතිනම්, ඔවුන් ආධිපත්‍ය ඇත්තේ රැඳෙන්නට බව පිලිගන්නා නමුත් එහි අන්තරාලයන් අතර සිට විරුද්ධත්වය ප්‍රකාශ කරයි.

තවද, කිසිවක් කළ නොහැකි වන තරමටම ආධිපත්‍ය සියල්ල වසා පැතිරී ඇති බැවින්, අරගලයේ නිෂ්ඵලත්වය පිළිගෙන ‛දිව්‍යමය ප්‍රචන්ඩත්වයක ආන්දෝලනයක්’ (‛අප බේරා ගත හැක්කේ දෙවියන්ට පමණය’ යන හයිඩෙගර්ගේ විප්ලවීය අනුවාදය) බලාපොරොත්තුවෙන් බලා සිටිනවා හැර ඔවුන්ට අන් කිසිවක් කල නොහැක.

එතෙකුදු වුවද, අරගලයේ තාවකාලික නිශ්ඵලත්වය ඔවුන් හඳුනාගනී. වර්තමාන ගෝලීය ධනවාදයේ විජයග්‍රහණය තුල එළඹිය හැකි එකම තර්කය නම් සැබෑ විරෝධතාවය විය නොහැක්කක් බවය. ඉඳින්, ගෝලීය කම්කරු පන්තියේ විප්ලවීය ආත්මය ප්‍රාණවත් වන තුරු සහ සුභසාධක රාජ්‍යයේ නටඹුන් ආරක්ෂා වන තුරු අපට කල හැක්කේ, කිසිදා ඉටු කර නොදෙන බව දන්නා ඉල්ලීම් සමුහයක් සමගින් බලයේ සිටින්නවුන්ට මුහුණ දීමත්, නැතිනම් කෙනෙකුට නිහඬව විවේචනයන් කර ගෙන යා හැකි සංස්කෘතික අධ්‍යයනය දක්වා පල්ලම් බැසීමත් පමණි.

 මෙම ගැටළුව, එනම් ගෝලීය ධනවාදය අවසාන වශයෙන් තාක්‍ෂණයේ ගැබ් වූ මුලධර්මයන් වල හෝ උපකරණීය හේතුන් වල ප්‍රතිඵලයක් බව, ඔවුන් තහවුරු කරයි.

තවදුරටත්, ඔවුන් ප්‍රකාශ කරනුයේ කෙනෙකුට ගෝලීය ධනවාදය විනාශ කර බලය තහවුරු කල හැක්කේ එයට ඉඳුරා ප්‍රහාර එල්ල කිරීමෙන් නොව, එදිනෙදා ජිවිතයේ කෙනෙකු අත් ලොවක් තැනීමට දරන මහා අරගලය දෙස නැවත අවධානය යොමු කිරිමෙන් බවය. මේ ආකාරයෙන්, රාජ්‍ය බලයේ පදනම ටිකින් ටික විනාශ කල හැකි අතර, එක් අවස්ථාවක දී එය කඩා වැටෙනු ඇත. (සැ(Z)පටිස්ටා ව්‍යාපාරය මෙම පිවිසුමේ නිදර්ශනයයි).

එමෙන්ම, ඔවුන් ප්‍රතිධනවාදී අරගලයේ සිට ආධිපත්‍ය සඳහා වූ බහුවිධ දේශපාලනික දෘෂ්ඨිමය අරගලයට මාරුවී පශ්චාත් නුතන මාර්ගයට අවතීර්ණ වන අතර, අනවස්ථිත ප්‍රතිසන්ධානකරණයේ වැදගත්කම තහවුරු කරයි.

තවද, ධනවාදයේ ‛නිශ්චිත නිශේධනය’ අඩපන කිරීමේ පශ්චාත් නුතන තලයේ සම්භාව්‍ය මාක්ස්වාදී හැසිරීම කෙනෙකුට නැවත ක්‍රියාත්මක කල හැකි බව ඔවුන් තර්ක කරයි. වර්තමාන ‛ඥානණ ක්‍රියාවේ’ පිබිදීමත් සමඟ, සමාජ නිශ්පාදනයේ සහ ධනවාදී සම්බන්ධතා අතර පරස්පරතාවය වෙන කවරදාටත් වඩා දරදඬු වී ඇත්තේ පළමු වතාවට ‛පරම ප්‍රජාතන්ත්‍රයේ’ ශක්‍යතාවය විදහා දක්වමිනි. (මෙය හාර්ඩ්ට් සහ නෙග්‍රිගේ පිළිගැනීමය). මෙම පිළිගැනීම් සැබෑ විප්ලවීය වාමාංශික දේශපාලනය මඟහැරීමේ මාර්ගයක් ලෙස ඉදිරිපත් කර නොමැත.

ඇත්තෙන්ම ඔවුන් ඇඟවීමට උත්සාහ කරනුයේ එවැනි පිළිගැනීමක් නොමැති වීමේ අඩුපාඩුවයි. කෙසේ නමුත්, පසුගිය තිස්වසර පුරාවටම දිවෙන කතාන්දරය මෙම වාමාංශයේ පරාජය නම් නොවේ. ධනවාදයේ ඉතිහාසය පුරාවටම වඩාත්ම පැතිරී ගිය දියුණුවක් ලබන චීන කොමියුනිස්ට්වාදීන්ගෙන් හා බටහිර යුරෝපයේ තෙවන මාර්ගයේ (Third way) සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගමනයෙන් තවත් පාඩමක් ඉගෙනීමට ඇත. එනම්, කෙටියෙන් ‛අපට එය වඩාත් හොඳින් කල හැකිය’ යන්නය. තැචර් විප්ලවය එම අවධියේ එක්සත් රාජධානිය තුළ ව්‍යාකූල, ආවේගශීලී බවක් ගත් අතර සිතා ගත නොහැකි තරම් අවිනිශ්චිතභාවයක් ඇති කලේය. එය සංස්ථාගත කරනු ලැබුවේ: හෙගල්ගේ වචනයෙන් නම්, අවිනිශ්චිතභාවයක් හෝ ඉතිහාසගත අත්වැරැද්දක්, අවශ්‍යතාවක් බවට නගා සිටවුයේ ටෝනි බ්ලෙයාර්යග තැචර් තැචර්වාදියෙක් නොවීය: ඇය හුදෙක් ඇයම විය. ඇත්තෙන්ම තැචර්කරණයට ප්‍රාණය ලබා දුන්නේ බ්ලෙයාර් විසිනි.

මෙම ව්‍යාකූලත්වයට සමහර පශ්චාත් නුතන වාමාංශය පිළිබඳ විවේචකයන්ගේ ප්‍රතිචාරය වුයේ, මෙය විරෝධය පිළිබඳ නව දේශපාලනයකට අතවැනීමක් ලෙසය. රාජ්‍ය බලය සඳහා සටන් කිරීම ගැන උදක්ම කියා සිටින්නවුන් එය අත් කර ගැනීම පසෙක තිබිය දී, පැරණි සුසමාදර්ශය තුල සිරවී සිටීම පිළිබඳව චෝදනා ලබමින් සිටී. ඔවුන්ගේ විවේචකයින් කියනුයේ, රාජ්‍ය බලයට විරුද්ධ වීමට නම් අද කල යුතුව ඇත්තේ අදාල බල ප්‍රදේශයෙන් ඉවත් වී පාලනයට එපිටින් නව අවකාශයන් නිර්මාණය කිරීම බවය. මෙය ඉඳුරාම ධනවාදයේ විජයග්‍රහණය පිළිගැනීමේ පෙර නිමිත්තකි. විරුද්ධත්වය පිළිබඳ දේශපාලනය නම් අන් කිසිත් නොව තුන්වන මාර්ගයේ වාමාංශය (Third way left) සඳහා වූ සදාචාරාත්මක පරිපුරකයයි.

මෑතකදී එලි දැක්වුණු සයිමන් ක්‍රිච්ලිගේ (Infinitely Demanding) නම් කෘතිය මෙම පිළිගැනීම පිළිබඳ අනර්ඝ ප්‍රතිමුර්තියකි. ක්‍රිච්ලිට අනුව නිදහස් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය තිබෙනුයේ පැවතීමටය.රාජ්‍ය අවලංගු කිරීමට දැරූ උත්සාහයන් අවාසනාවන්ත ලෙස අසාර්ථක විය. ඒ අනුව, නව දේශපාලනය, යුධ විරෝධී ව්‍යාපාර, පාරිසරික සංවිධාන, වාර්ගික සහ ලිංගික අපයෝජනයන්ට එරෙහිව සටන් වදින කණ්ඩායම් සහ වෙනත් දේශීය ස්ව-සංවිධාන වලින් දුරස්ව පිහිටුවීමට සිදු වේ. එම දේශපාලනය, රාජ්‍ය  විරෝධී විය යුතුය. ඉෂ්ඨ කල නොහැකි ඉල්ලීම් වලින් රාජ්‍ය විනාශ කල හැක්කක් විය යුතුය. එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ සීමාවන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කල හැක්කක් විය යුතුය. විරුද්ධත්වය පිළිබඳ නව දේශපාලනය රාජ්‍යයට එපිටින් පිහිටුවිය යුතුය යන ප්‍රධාන තර්කය, සාධාරණත්වය උදෙසා කෙරෙන සීමාරහිත ඉල්ලීම් වන ආචාර ධාර්මීය මානය හා බැඳී පවතී. රාජ්‍යයේ පරම අභිමතාර්ථය තමාගේම නිෂ්පාදනයක් සහතික කර ගැනීමේ සැබෑ දේශපාලනමය බලාපොරොත්තුවක් වන තුරු කිසිදු රාජ්‍යයකට එම ඉල්ලීමට සවන්දිය නොහැක. ක්‍රිච්ලි මෙසේ සටහන් කරයි: ‛සැබවින්ම, තුවක්කු, පොලු මුගුරු අතින්ගත් මිනිසුන් විසින් පරිචින්න වශයෙන් ඉතිහාසය රචනා කර ඇති අතර, ව්‍යාජ උපහාසයෙන් හෝ පිහාටු දුලිකඩනයකින් කෙනෙකුට එය පරාජය කල නොහැක. නමුත්, අධි-වාමාංශික ක්‍රියාකාරී නාස්තිකවාදයේ ඉතිහාසය ව්‍යක්ත ලෙස පෙන්වා දෙන ආකාරයට, කෙනෙකු පරාජය වන්නේ හෝ විනාශ වන්නේ ඔහු ආයුධ, පොළු මුගුරු අතට ගත් මොහොතේ දීමය. අවුල් සහගත දේශපාලන විරෝධය, එය හරහා වන පැහැදිලි ප්‍රචන්ඩකාරී ස්වාධිපත්‍ය අනුකරණය කිරීමට හෝ නියෝජනය කිරීමට යොමු නොවිය යුතුය’.

ඉදින්, එක්සත් ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදීන් කුමක් කල යුතු දැයි කියන්න. රාජ්‍ය බලය සඳහා සටන් කිරීම නවතා, රාජ්‍ය බලය ජනරජයට අත්වීමට ඉඩහැර, රාජ්‍යයේ අන්තරාලයන් දක්වා පසුබැස තවත් අවුල්සහගත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම ද? තවද, හිට්ලර් වැනි විරුද්ධකරුවකුට මුහුණ දීමට ක්‍රිච්ලිට සිදුවුනා නම් ඔහු කුමක් කරයි ද? සත්තකින්ම, එවැනි අවස්ථාවක දී කෙනෙකුට ඔහු විරුද්ධ වන ප්‍රචන්ඩකාරී ස්වාධිපත්‍ය අනුකරණය කිරීමටත්, නියෝජනය කිරීමටත් සිදුවේ. වාමාංශය කෙනෙකුට රාජ්‍යයට මුහුණදීමේ දී ප්‍රචණ්ඩත්වය හා ගැවසීමට සිදුවන වාතාවරණයන් අතර සහ ව්‍යාජ උපහාසය හා පිහාටු දුවිලි පිස්නයන් භාවිත කිරීමට සිදුවන හා එසේ කිරීමට හැකි වාතාවරණයන් අතර පවතින විලක්ෂණයන් පෙන්වා දිය යුතු නොවේ ද? ක්‍රිච්ලිගේ පිළිගැනීමේ ඇති ව්‍යාකූලතාව තර්කාණුකූලව පිළිගැනීමට නොහැකිය. රාජ්‍ය ඇත්තේ පැවතීමට නම් හෝ ධනවාදය විනාශ කල නොහැකි බව පැහැදිලි නම් යමෙක් රාජ්‍යයේ සිට පසුබැස යා යුතුද? ඇයි රාජ්‍ය තුලම සිට ක්‍රියා නොකරන්නේ?

තෙවන මාර්ගයේ (Third way left)  මුලික සාධ්‍යයන් පිළිනොගන්නේ මන්ද? මනෝරාජිත අර්ථයකින් යමෙක් කැමති වුවා වූ ද, රාජ්‍ය පලවා හැරීම නොව, එය වඩා යහපත් කරවීමේ හෝ එහි දුර්දාන්ත ප්‍රතිවිපාක තුනී කිරීමේ අභිලාෂයෙන් ස්ථාපිත පිළිවෙල වග උත්තර බඳින තත්වයට පැමිනවීමේ හෝ රාජ්‍යය ප්‍රශ්න කිරීමට ඇරයුම් කිරීමේල ක්‍රිච්ලි පවසන ආකාරයේ, දේශපාලනයක් වෙත යමෙක් සීමා විය යුත්තේ මන්ද? ඔහුගේ මෙම වචන සරලවම පෙන්වා දෙනුයේ වර්තමානයේ නිදහස් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය සහ අපරිමිත ඉල්ලීම් සහිත ව්‍යාකූල දේශපාලනය අනෝන්‍ය පරපෝෂිකතාවයක් සහිත සම්බන්ධයක් තුල රඳා පවතින බවය. වියවුල් නියෝජිතයින් ආචාර ධර්මීය චින්තනය බාරව කටයුතු කරන අතර සමාජය නොකඩවා පවත්වා ගැනීමත් පාලනය කිරීමත් රාජ්‍යය විසින් කරනු ලබයි.

ක්‍රිච්ලිගේ වියවුල් ආචාරධර්මීය දේශපාලන නියෝජනය අධි-අහමයක් ලෙස ක්‍රියා කරන අතර ඉල්ලීම් මගින් පහසුවෙන්ම රාජ්‍යය විනාශ කරයි. එමෙන්ම, රාජ්‍ය එම ඉල්ලීම් සෑහීමකට පත්කිරීමට උත්සාහ දරන තරමටම එය වඩ වඩාත් වරදකාරී හැඟීමකින් පෙලෙයි. මෙම තර්කයට අනුව, මෙම වියවුල් නියෝජිතයින්ගේ විරෝධාකල්පය යොමු වනුයේ විවෘත සර්වාධිකාරීත්වයට නොව, තමන්ට ඇතැයි හුවා දැක්වූ ප්‍රතිපත්තීන් තමා විසින් ම පාවා දීමේ වරදට චෝදනා ලබන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කුහක කමදෙසටය.වසර කිහිපයකට පෙර ඉරාකය විසින් ඇමරිකාවට එල්ල කල ප්‍රහාරයට විරුද්ධව ලන්ඩනයේ දී සහ වෝෂින්ටන්හිදී පැවැත්වූ විශාල පෙලපාලී, බලය සහ විරෝධතාවයන් අතර ඇති සංකේතීය සම්බන්ධතාවයට හොඳ නිදර්ශනයක් සපයයි. ඔවුන්ගේ විරෝධාභාසී ප්‍රතිඵලය නම් මෙහි දී අංශ දෙකම සෑහීමකට පත්වීමයි. විරෝධතාකරුවන් ඔවුන්ගේ පිවිතුරු ආත්මයන් රැක ගත්තේය. එය ඔවුන් පැහැදිලි කරනුයේ ඉරාකය ගැන ආණ්ඩුවට ඇති ප්‍රතිපත්තියට ඔවුන් එකඟ නොවන බව පවසමිනි.

බලයේ සිටින්නවුන් ද ශාන්තව එය පිළිගත්හ. තව ද, ඒ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන ද ලැබීමය. මේ තත්වය තුළ, ඉරාකයට පහරදීමට ඒ වන විටත් ගෙන තිබූ තීරණයට විරුද්ධ වීමට විරෝධතාකරුවන්ටද හැකියාවක් නොලැබුණි. ඔවුන් සේවය කලේ ද එකී තීරණය සුජාත කිරීමටය. ඉඳින්, ලන්ඩන් නුවරට ජෝර්ජ් බුෂ්ගේ පැමිණීමට විරෝධය දක්වමින් විශාල ලෙස පැවැත්වූ පෙලපාලි වලට ඔහුගේ ප්‍රතිචාරය වුයේ මෙවැන්කි: ‛පේනවනේල අපි සටන් කරන්නේ මේ වෙනුවෙන්, ඉතින් තමන්ගේ ආණ්ඩුවෙිප්‍රතිපත්තියට විරුද්ධව මිනිසුන් මෙහි කරන සටනම, ඉරාකයේදී වුනත් සිදුවිය හැකිය’. 2006 වර්ෂයේ සිට හියුගෝ චාවේස් විසින් ක්‍රියාවට නැංවූ ක්‍රමවේදය පශ්චාත් නුතන වාමාංශය විසින් තෝරා ගත් ක්‍රමයට සෘජුවම ප්‍රතිවිරුද්ධ වීම පුදුමයට කරුණකි. රාජ්‍ය බලය ප්‍රතික්ෂේප කිරීමට වඩා මුලින් කුමන්ත්‍රණයක් හරහා සහ පසුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් භාවිතයෙන් වෙනිසියුලානු රාජ්‍ය ප්‍රතිපාදිතයන් ක්‍රූර ලෙස භාවිතා කර ඔහු තමාගේ පරමාර්ථයන් ව්‍යාප්ත කලේය. තවදුරටත් ඔහු හමුදා බලය තර කිරිමත් ආයුධ ගත් කණ්ඩායම් පුහුණු කිරීමත් කළේය.

බල ප්‍රදේශයෙන් නැගී එන විරෝධතාවයේ ආර්ථික බලපෑම් ඔහුගේ පාලනයට හානි වන බව දැන, තනි පක්ෂයක් ලෙස සංධාන ගත වී ඔහුට සහයෝගය දක්වන ලෙස ඔහු නිවේදනය කළේය. ඔහුගේ මෙම යෝජනාව ගැන ඔහුගේ සමහර මිත්‍ර පාක්ෂිකයින්ට පවා ඉතා හොඳ පැහැදීමක් නොවීය. ඔහුගේ මෙම යෝජනාව වෙනිසියුලානු විප්ලවයට ප්‍රාණය ලබා දුන් ජනප්‍රිය ව්‍යාපාරයන් නිශ්ඵල කරාවි ද? කෙසේ නමුත්, අවදානම් සහිත වුව ද මෙම තීරණය සම්පුරණයෙන්ම අනුමත කල යුතුය. එසේ කල යුත්තේ, තම පක්ෂය නියම සමාජවාදී පක්ෂයක් ලෙස (personist) ක්‍රියා කිරීමට සැලැස්වීම සඳහා නොව, නව දේශපාලන ආකෘතින් ජංගනය කරනා රථයක් ලෙස ක්‍රියා කිරීමට සැලැස්වීම සඳහා ය (වේගයෙන් ව්‍යාප්ත වන මුඩුක්කු ජනාවාස මෙන්). චාවේස් වැනි අයෙකුට අප කුමක් කිව යුතුද? ‛එපා, රාජ්‍ය බලය තදින් අල්ලා ගෙන සිටින්න එපා, රාජ්‍ය සහ පවතින තත්වයන් ඒ ඒ තැනම තිබෙන්නට හැර ඉවත් වන්න’ අප ඔහුට කිව යුත්තේ මෙවැන්නක් ද? චාවේස් සෑමවිමට විකටයෙකු ලෙස නිශ්ප්‍රභාවිය.

නමුත් එවැනි පහ කිරීමකින් උදක් චාවේස්ව ප්‍රහසන මාර්කෝස්ගේ අනුවාදයක් ලෙස අඩු තක්සේරු වන්නේ ද? අද වන විට බහුතරයක් මාක්ස්වාදී වාමාංශිකයින් මාර්කෝස් හඳුන්වනුයේ (Subcomediate Marcos) ලෙසය: එනම්, ‛උපවිකට මාර්කොස්’ ලෙසය. වර්තමානයේ රාජ්‍යයට ද්‍වවිරෝධය පාන්නේරෑ බිල් ගේට්ස්, එක්සත් දුෂිකයින්, නරි දඩයම් කරන්නවුන් වැනි මහා ධනවාදීන්ය.

මෙයින් උගත හැකි පාඩම නම් සැබවින්ම විනාශකාරී වන්නේ බලයේ සිටින්නවුන්ට ඉටු කිරීමට නොහැකි බව දන්නා අපරිමිත ඉල්ලීම් බල කර ඉල්ලා සිටීම නොවන බව පැවසීමය. ඉල්ලීම් සපුරාම සැපයීමට නොහැකි බව අප දන්නා බව ඔවුනුත් දැන සිටිනා බැවින් අපරිමිත ඉල්ලීම් තුල ගැබ් වූ ආකල්පය බලයේ සිටින්නවුන්ට කිසිදු ගැටළුවක් ඇති නොකරයි. ‛ඒක හරිම අපුරුයි, ඔබලාගේ විවේචනාත්මක ඉල්ලීම්, අප සැවොම ජීවත් වීමට ආශා කරනුයේ කුමන ආකාරයේ ලෝකයකදැයි අපට මතක් කර දෙනව. අවාසනාවකට, අප ජීවත් වන්නෙ, විය හැකි දේ පමණක් කිරීමට සිදුවන සැබෑ ලෝකයකයි. මෙහිදී කිරීමට ඉතිරි වන්නේ එක් දෙයක් පමණි. එනම්, ඉහත සඳහන් තර්කයට හා ඊට ඔවුන් ඉදිරිපත් කල නිදහසට කාරණාවලට පටහැනිව යමින්, බලයේ සිටින්නවුන් විනාශ කිරීමට නම්, ඔවුන්ට ඉහත සඳහන් කල නිදහසට කාරණා නැවත ඉදිරිපත් කල නොහැකි වන සේ හරියාකාරව, උපායශීලීව සහ සීමා සහිතව ඉල්ලීම් ගෙන ඒමය.

විරුද්ධත්වය යනු යටත් වීමයි යන ශීර්ශය යටතේ ජිජැක් විසින් ගොඩ නගන තර්කය අපට උගන්වන්නේ කුමක් ද? එදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනය කර ප්‍රභාකරන් ගේ නිරුවත් ශරීරය ලොවට ප්‍රදර්ශණය කරමින් ත්‍රස්තවාදයට මානුෂික ත්‍රස්තවාදයෙන් පිළිතුරු ලබා දෙනු ලැබූ මොහොතේ මේ රතු පස්වල ජනතාව වීදි බසිමින් විජයග්‍රහනයේ සැමරුමට එක් වෙමින් රතිඥ්ඤා පත්තු කරමින් කිරිබත් කන්නට ඇති බව පැහැදිලිය. මේ ප්‍රෙද්ශයේ තරුණයෙකු මාධ්‍යට පැවසුවේ තමන් හමුදාවට තුන් වතාවක් ලේ දන් දී ඇති බවත් එසේ ලේ ලබා දුන් හමුදාවම තමන්ට පන්න පන්නා අමානුෂික අන්දමින් පහර දුන් නිසා හමුදාවට ලේ ලබා දුන් තම අත කපා දමන්නට තමන් දැන් සූදානම් බවයි. දෙමළ ජාතික අරගල වෙනුවෙන් වසර තිහකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව කැපවී සිටි එල්.ටී.ටී.ඊ සංවිධානය අවසාන මොහොතේ දී සියළුම නායකයන් සමග ඝාතනයට ලක් වන්නට ගත් තීරණය යනු විරුද්ධත්ව යනු යටත් වීමයි යන කාරණය අපට ජීවමානව සපථ කළ අවස්ථාවයි. රතු පස්වල දී තමන්ගේම වුන්ට මේ ආකාරයෙන් පහර දුන් වෙඩි තැබූ හමුදාව එදා නන්නිකඩාල් කළපුවේ දී කෙහොම හැසිරෙන්නට ඇතිද යන්න ගැන අවබෝධකර ගන්න එක් උපහැරණයක් ප්‍රමාණවත්ය. යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවා නම් හාල් මල්ල ගැන කුමන කතා ද?

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...