20 වැනි සංශෝධනය පිළිබඳ විවාදය නැවත ඇරඹී ඇත. 80 දශකයේ සිට එන විරෝධාකල්ප රැල්ල අලුත් වටයකින් ආරම්භ වී ඇත. විරෝධාකල්පවල සුවිශේෂී විරුද්ධාභාසය වී ඇත්තේ, ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමයි. 19 වන සංශෝධනය මඟින් සිදු කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ 20 වන සංශෝධනය නිසා අහෝසි වන බව මැද පන්තියේ අදහසයි. මැද පාන්තික බුද්ධිමතා අප ජීවත්වන යුගයේ දී ජනතාව නම් ප්‍රහේලිකාව නිසා අන්දමන්ද වී ඇත. ‘ජනතාව’ එකවර ඒකාධිපතිත්වයකට සහ ඊට පරස්පරව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් (2015) ඡන්දය දී ඇත.  මැද පන්තියේ උද්ඝෝෂණවාදී බුද්ධිමතුන් දැන් නව උභතෝකෝටිකයකට මුහුණ දී ඇත. 2015 දී තමන්ගේ අතටම ආ පන්දුව සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පාවා දුන් පසු මැද පන්තියේ බුද්ධිමතාට දේශපාලන කාර්යභාරයක් ඉතිරිව ඇත්ද? ඔවුන්ට යළි සමාජ පිළිගැනීමක් ලැබෙයි ද?

                             පසුගිය දශක හතර පුරාම දෘෂ්ටිවාද තුනක් අතර දැඩි පසමිතුරුභාවයක් බිහි විය. ඒවා නම්, ලිබරල්වාදය, සමාජවාදය සහ ජාතිකවාදය යි. 2009 දී, යුද්ධයේ ජයග්‍රහණය සමඟ ජාතිවාදයේ උච්චතම රැල්ල ඇති විය. 2015 දී තාවකාලිකව ජාතිවාදය පසුබැස්සත් මේ වන විට ජාතිවාදය පාර්ලිමේන්තු බලය පූර්ණ වශයෙන්  අත්පත් කරගෙන ඇත. රනිල් වික්‍රමසිංහට කෙසේ වෙතත් ජාතිවාදයේ අශ්ලීල ජයග්‍රහණය සමඟ මැද පන්තියේ යම් කොටසක් ලැජ්ජාවට පත් වී ඇත. 

                               ලාංකීය ධනවාදයේ සක්‍රීය නියෝජිතයන් වූයේ, එක්සත් ජාතික පක්ෂය යි. වාමාංශික පක්ෂ දශක හතක් පමණ සිතුවේ, රාජ්‍ය බලය ලබා ගැනීමේ දී පරාජය කළ යුතු  බලවේගය වූයේ, UNP ය යන්න යි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔවුන් දැන් සහමුලින් ම පරාජය වී ඇත. UNP  සතුරා සහමුලින් ම මිය ගිය තත්වයක් තුළ වාමාංශිකයන් ද ඊට නොදෙවෙනි ලෙස සොම්බින් බවට පත් වී ඇත. අද ඔවුන්ගේ විරෝධාකල්ප වැඩබිම වී ඇත්තේ, ‘සංස්කෘතිය’ යි.

                             80 දශකය අග වන විට, මැන්ඩෙල්ගේ ප්‍රවාද මත පදනම් වෙමින් ෆෙඩ්රික් ජෙම්සන් විසින් මතු කරන ලද ධනවාදය පිළිබඳ න්‍යාය වූයේ, පශ්චාත්-නූතනවාදය යි. ඉන් අදහස් කරන ලද්දේ, සංස්කෘතිය හුවමාරු භාණ්ඩ ක්ෂේත්‍රයට පැමිණීම යි. සංස්කෘතිය වාණිජ ආර්ථිකයක් තුළ වර්ධනය වීමත් සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ව්‍යුහාත්මක විපර්යාසයක් සිදු විය. යුධ ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟම පුද්ගලික අංශය හැකිලී ගිය අතර රාජ්‍ය අංශය අන්තවාදී ලෙස ප්‍රසාරණය විය. 2005 වර්ෂයට පසුව රැකියා උත්පාදනය සිදු වූයේ, රාජ්‍ය අංශයේ මිස පුද්ගලික අංශයේ නොවේ. එවන් තත්වයක් තුළ රාජ්‍යය වඩ වඩාත් ආර්ථික ක්‍රියාවලිය තුළ සුජාත වූ අතර පුද්ගලික ප්‍රාග්ධනය අතාර්කික විය. නව තත්වාරෝපිතය තුළ රාජ්‍යය මෙහෙය වන දේශපාලන පක්ෂය රැකියා සපයන්නා බවට පත් වූ අතර විපක්ෂ බලවේග සංස්කෘතික බලවේග බවට ඌණනය විය. පොදුවේ විපක්ෂයක් සුවිශේෂීව වමාංශයන් සංස්කෘතික රැල්ලකට හසු වන්නේ, ඉහත ව්‍යුහාත්මක විපර්යාසයේ ඵලයක් ලෙස ය. මාක්ස්වාදයට විකල්පය ලෙස සංස්කෘතිය සැලකීමේ විපාක කවරේ ද?

                         පසුගිය දශකයක පමණ කාලය තුළ පුපුරා යන තරම් වේගයෙන් සංස්කෘතිය සමාජ දේහය පුරා පැතිර ගොස් ඇත. දේශපාලන ප්‍රශ්න සංස්කෘතික ගැටලු ලෙස වටහා ගැනීමේ මැද පාන්තික පුරුද්ද බහුතර දෙනෙකුට තාර්කික වී ඇත. සමකාලීන සමාජ ජීවිතය තුළ දේශපාලනය, රාජ්‍යය, බලය, මනස, න්‍යාය, අධ්‍යාපනය යනාදී මේ සියල්ල සංස්කෘතික රැල්ලකට හසු වී ඇත. බහුතරය සිතන්නේ, මෙය පුනර්ජීවනයක් කියා ය. සංස්කෘතිය සමාජ දේහය තුළ හාත්පස පැතිර යාම තුළ තවත් නව ප්‍රවණතාවයක් මතුවෙමින් පවතියි. ආර්ථිකය මෙන්ම පුද්ගලවාදය ද නව සුසමාදර්ශයකට මුහුණ දී ඇත. ධනවාදය තුළ ලාභ සෙවීමේ ව්‍යාපෘතිය සහ නව පුද්ගලවාදය තුළ අධිනිශ්චය වී ඇති අව්‍යාජ ජීවිතයක් ගවේෂණය කිරීමේ ව්‍යාපෘතිය හොඳින් එකිනෙකට සම්පාත වී ඇත. ඉතාම අර්ථාන්විත ජීවිතයක් සොයා යෑම යනු, අනෙක් පසින් එම අව්‍යාජත්වයම සේවාවක් වශයෙන් හුවමාරු ක්ෂේත්‍රයට ඇතුළු වීමකි. නූතන පරිසරවාදය, ආධ්‍යාත්මවාදය සහ භාවනා විකල්ප, මත්ද්‍රව්‍ය හරහා විවිධ ඇබ්බැහිකම් වලට පුරුදු වී ආත්ම ගවේෂණයේ යෙදීම, ආර්ථික පසමිතුරුභාවයන් සදාචාරකරණය කිරීම, සත්තාවේ ගැටලුව සිතීමේ පාරභෞතික තුළ විසඳීම යනාදී මේ සියලු ප්‍රපංචයන් සමාජ සබඳතා වලදී සංස්කෘතිය අධිනිශ්චය වීමේ විපාකයන් ය.

                             ඉහත පසුබිම තුළ ‘සංස්කෘතිය’ පාරිභෝගික භාණ්ඩ හා සේවා ක්ෂේත්‍රයට ඇතුළු වීම (ආර්ථිකය වටිනාකම් නිපදවීම උදෙසා සංස්කෘතිය සහ සිතුම්-පැතුම් ලෝකය ආක්‍රමණය කිරීම) පිළිබඳ ජෙම්සන්ගේ ප්‍රවාදයට අපට අලුත් පියවරක් හදුන්වා දිය හැකි ය.  එක පැත්තකින්, ධනවාදී ආර්ථිකය තුළ හුදෙකලා වන පුද්ගලභාවයන් අපට ඇත. අනෙක් පසින්, මේ හුදෙකලාභාවය අව්‍යාජ ජීවන විලාසයක් කරා ගාල් කරවන පාරිභෝගික භාණ්ඩ සහ සේවා ක්ෂේත්‍රයක් ඇත. මෙම අන්ත දෙක පරස්පර නැත. මේවා එකක් අනෙක පෝෂණය කරයි. මෙම නව සන්දර්භය ඇතුළත විචාරක බුද්ධිමතා පවා තම අව්‍යාජත්වය සහ විරෝධය පෑම, සටන් කිරීම සංස්කෘතික ක්ෂේත්‍රයට සීමා කරයි. මෙවන් තත්වයක දී ජයගන්නේ, ආත්ම රාගය මඟින් ජ්වලනය වන අහම පමණි. මෙම තත්වය ධනවාදයේ නව ස්පිරිතුවයි. වෙළඳ දැන්වීම් සහ සැබෑ ජීවිතය අතර වෙනස නව තත්වය තුළ මැකී යන්නේ මේ නිසා ය. විරෝධාකල්ප යනු ද වෙළඳ දැන්වීමකි. උද්ඝෝෂණය, සටන් කිරීම, එරෙහිව යාම තවදුරටත් වාම බුද්ධියේ සංඝටක නොවේ. ඒවා නූතන ධනවාදී පාරිභෝගික සංස්කෘතියේ අග්‍ර ඵලයන් ය. එමඟින් තහවුරු වන්නේ, පසු ජාතික සමාගම් මඟින් මෙහෙය වන ධනවාදයේ නූතන පාලන තන්ත්‍රය යි.

                         20 වැනි සියවසේ අවසන් මොහොතේ කරළියට පැමිණි හොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘American Beaty’ (1999) මඟින් නිරූපණය වූයේ, 60 දශකයේ බිහි වූ දේශපාලන විකල්ප සංස්කෘතිය 90 දශකයේ දී ධනවාදී පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයට ආදේශ වූ ආකාරය යි. ඒ අර්ථයෙන් ගත් විට, ‘90 දශකය’ යනු, ‘60 දශකය’ පුනරාවර්තනය වීමකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස්ටර් බර්න්හැම් ය. ඔහු ඉතාම නීරස, ඒකාකාරී ජීවිතයක් ගත කරන්නෙකි. ඔහුගේ බිරිඳ සහ දුව ඔහුව පයිසයකට ගණන් ගන්නේ නැත. ඔහු තම ජීවිතයට අව්‍යාජත්වය රැගෙන එන්නේ, 60 දශකයේ විරෝධාකල්ප සංස්කෘතිය භක්ෂණය කිරීමෙනි. උදාහරණයක් ලෙස, ඔහු දවස පටන් ගන්නේ ස්වයං-මෛථුනයෙනි. එය රැඩිකල් විරෝධාකල්පයකි. තමන්ගේ නීරස ජීවිතයෙන් පලා යාමට ඔහු තමන් අවට ඇති පාරිභෝගික ප්‍රතිරූප ම රැඩිකල් ආකාරයකට වැළඳ ගනියි. උදාහරණයක් ලෙස, ඔහු තමන්ගේ ඒකාකාරී, වෙහෙසකර ලිංගික ජීවිතය උත්තේජනය කර ගැනීම සඳහා තම දුවගේ මිතුරියක් වන ‘ඇන්ජලා’ සමඟ සබදතාවයකට යන්නේ දෘශ්‍යමානයේ දී ඇය Fast Number එකක් යැයි පෙනී යන නිසා ය. නමුත් ඇය කන්‍යාවියකි. අවසානයේ දී සිදු වන්නේ, ලෙස්ටර් කබලෙන් ලිපට ඇද වැටීම පමණි.

                          ධනවාදය තුළ ව්‍යුහාත්මක පෙරළියක් සිදු වී ඇත. තවදුරටත් අප ජීවත් වන්නේ, ඉංග්‍රීසින් නිර්මාණය කළ පශ්චාත්-යටත්විජිත රාජ්‍යය තුළ නොවේ. එය රාජපක්ෂලා මඟින් ඇමරිකානුකරණය වෙමින් පවතියි. මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහගේ සිට රාජපක්ෂලාට රඟපාන්නට සිදු වී ඇත්තේ, ජාතක කතාවලට නොව ඩේවිඩ් ලින්ච්ගේ තිර පිටපත් වලට අනුව ය.

 

        



ඇමරිකානු ධනවාදයේ මාෆියා මුහුණත 

 

                        මහින්ද රාජපක්ෂගේ රෙජීමය විසින් වසර 2005 ට පසු හඳුන්වාදුන් ඇමරිකානු ධනවාදය ගැන වැටහීමක් නැතිව ලංකාවේ ධනවාදී සමාජ සැකැස්මට සිදු වූ වෙනස කියවීමට නොහැකි ය. ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂව අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමෙන් පසුව ඒ වන තෙක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටි බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ගොඩ බැස්සේ ය. ඔවුන් දෙදෙනා වසර 10ක් ඇතුළත ‘පවුලක්’ ලෙස ඒ දක්වා ලංකාවේ පැවැති ඉංග්‍රීසි ධනවාදය වෙනස් කරන ලදී. බැසිල් සහ ගෝඨාභය ලංකාවට හඳුන්වා දුන් ‘ඇමරිකානු සිහිනය’ ජය ගන්නා ඇමරිකන් ධනවාදය කුමක්ද?

                            අපට මේ සඳහා සෘජු මාවතක් නැත. බොහෝදෙනා උත්සාහ කරන්නේ, රාජපක්ෂ රෙජීමයට අදාළ යථාර්ථය විග්‍රහ කිරීමට ය. නමුත් අපි ඒ සඳහා වක්‍ර මාවතක් තෝරා ගත්තෙමු. බැසිල් සහ ගෝඨාභය යනු, ඇමෙරිකාවේ පදිංචි සිංහල ජාතික ඩයස්පෝරාවේ සාමාජිකයන් ය. ඇමරිකාව තුළ ජීවත් වන විවිධ ඩයස්පෝරා ජාතිකයන්ට අනන්‍ය වූ වෙනම අනන්‍යතාවයන් ඇත. බැසිල් සහ ගෝඨාභය ලංකාවට විත් අපට හඳුන්වා දුන් ඇමරිකානු ධනවාදයට අනුව එහි ලක්ෂණ අපට ගම්‍ය කරන්නේ, ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ ‘The Godfather’ (1972) සහ ඩේවිඩ් චෙස්ගේ ‘The Sopranos’ (1999-2007) යන ටෙලි නාටක මාලාව යි. මෙම දෘශ්‍ය නිර්මාණ දෙක විශ්ලේෂණය කරන විට ලංකාව තුළ හටගත් නව ඇමරිකානු ධනවාදය වටහා ගැනීමට හැකි ය. 

                            දෙවනුව, මෙම ඇමරිකානු ධනවාදය ශ්‍රී ලංකාවේ දකුණේ සමාජය පුරා තහවුරු වන විට එය සමාජයට බලපෑ ආකාරය පැහැදිලි කිරීමට මයිකල් හැනකි (Michael Haneke) නම් ඔස්ට්‍රියානු සිනමාවේදියාගේ ‘Funny Games’ (1998) චිත්‍රපටය විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.

                                කොපෝලාගේ ‘Godfather’  චිත්‍රපටය අපූරු එකක් වන්නේ, එය මදාවියන්ගේ (Gangster films) සිනමා ශානරය රැඩිකල් ලෙස වෙනස් කරන නිසා ය. බොහෝවිට, මදාවියන්ගේ සිනමා ශානරය තුළ සාකච්ඡා කරන්නේ සංවිධානාත්මක අපරාධ හරහා මුදල් එකතු කිරීම පිළිබඳව යි. නමුත් කොපෝලා විසින් මෙම ශානරය ඇමරිකාවේ සුළු ජාතික අනන්‍යතාවක් දක්වා දිගු කරයි. ‘ගෝඩ් ෆාදර්’ යනු, 20 වැනි ශතවර්ෂයේ මුල ඇමරිකාවේ බිහි වූ ආර්ථික අවපාතය මැද අනන්‍යතා අර්බුදයට ලක්වූ ඉතාලි-ඇමෙරිකානු සුළු ජාතිකයන්ට යළි අනන්‍යතාවක් හිමිකර දුන් හොලිවුඩ් චිත්‍රපටයකි. මෙම අනන්‍යතාවය හිමිකර ගැනීමේ කතන්දරය සඳහා ප්‍රාග්ධනය එකතු කිරීමේ මාදිළියක් ද සවි විය. මෙම මාදිළිය එක අතකින්, අනෛතිහාසිකය. අනෙක් පැත්තෙන්, දේශපාලනිකය. චිත්‍රපටයේ දී සාකච්ඡා කරන්නේ, ප්‍රධාන ප්‍රතිවිරෝධයක් විසඳා ගන්නා ආකාරය යි. එක පැත්තකින්, ඉහළ-මධ්‍යම පන්තියට අයිති වැදගත් ඉතාලි ඇමරිකානුවෙකු වීම පිළිබඳ ප්‍රශ්නය ඇත. අනෙක් පැත්තෙන්, මේ වැදගත්කම ආරෝපණය කර ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ හරහා ප්‍රාග්ධනය රාගීගත කළ යුතු ය. මේ අන්ත දෙක යා කිරීම කළ නොහැකි ය. ඒ දෙක අතර ඇත්තේ පරතරයකි. මෙම පරතරය සදහා යෝජනා කළ හැකි නම වන්නේ මාෆියා ආත්මය යි.

                                ‘Godfather’ චිත්‍රපටය හරහා ඇමෙරිකානු ධනවාදයට එකතු වූ අලුත් ශානරය වූයේ, මාෆියා ධනවාදය යි. ධනවාදය පිරිසිදු ලෙස, සාර්වත්‍රිකයක් ලෙස ක්‍රියා කරන්නේ නැත. එයට මේ නිසා පාරිශුද්ධ ආකෘතියක් නැත. ඒ සඳහා, ධනවාදයට යම් ජාතිකත්වයක් දෙමුහුම් වීමට අවශ්‍ය ය. මාෆියා ධනවාදය මූලික වශයෙන් සාම්ප්‍රදායික (Conservative) ය. එසේ වන්නේ, මාෆියා දේශපාලනය අවසාන වශයෙන් පවුල් කේන්ද්‍රීය නිසා ය. ධනේශ්වර ආර්ථිකයට හිමි අස්ථාවරභාවයෙන් ගැලවීමට නම් පවුල තුළ ස්ථිර ලෙස සහයෝගීතාවය අවශ්‍ය ය. සරලව කිවහොත්, පවුලේ සාමාජිකයන් දැඩි ලෙස එකිනෙකාට බැඳී පැවතිය යුතු ය. මෙය මරණය දක්වා දිගු විය යුතු ය. ඇමරිකාව තුළ සුළු ජාතිකයෙක් ලෙස ලබන පරාරෝපණයෙන් ගැලවීමට අවශ්‍ය නම් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය ය. තනි පුද්ගලයෙකු ලෙස ප්‍රාග්ධනය රැස් කර ගැනීමෙන් ද ඵලක් නැත. පිළිගැනීමක් ඇති කර ගැනීමට අවශ්‍ය නම් එය සාමූහික අනන්‍යතාවක් විය යුතු ය. මේ සාමූහික අනන්‍යතාවය රැහැනක් සේ බැඳ තබා ගන්නේ, පවුලේ චාරිත්‍ර-වාරිත්‍ර හරහා ය.

                                 ‘ගෝඩ් ෆාදර්’ චිත්‍රපටය ඇමරිකාව තුළ සිතුවාට වඩා ජනප්‍රිය විය. මේ හේතුව නිසා, මාෆියා සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියේ සංඝටකයක් බවට පරිවර්තනය විය. ඇමරිකාවේ පදිංචි වී සිටි ඉතාලි ජාතිකයන් පමණක් නොව ඒ සඳහා විවිධ ව්‍යාපාර ආයතන, විවිධ වාම සහ දක්ෂිණාංශික සංවිධාන ද එයට ආකර්ශණය විය. සංවිධිත සමාජ වැඩසටහනක් සඳහා මුදල් එකතු කිරීමට මාෆියා ආකෘතිය යොදා ගැනීම පිළිබඳ උදාහරණ විවිධ ලතින්-ඇමරිකානු ගරිල්ලා ව්‍යාපාර වලින් අපට පෙන්වා දීමට හැකි ය.

                                      මිනිස් ආශාවට නොසන්සිඳෙන දේශපාලන මානයක් තිබේ. බොහෝ විට, මිනිස් ආශාව දේශපාලනය තුළ දී සලකා බැලෙන්නේ ජයගත යුතු ප්‍රපංචයක් ලෙසින් ය. එය දේශපාලන වැඩසටහනක දී ජව සම්පන්න ලෙස යොදා ගත හැකි යැයි විශ්වාස කරන්නේ, ස්වල්ප දෙනෙකි. මෙම හේතුව නිසා, ආශාව සහ දේශපාලන වැඩ බොහෝ දෙනා සලකන්නේ එකිනෙකට පරස්පර ලෙස ය. බොහෝ දෙනෙකුට අනුව ආශාව පුද්ගලික ය. දේශපාලන අරගලය සාමූහික ය. මෙම සැළැස්ම අනුව යමෙකුගේ ආශාව යම් මොහොතකට පසු ඒ කෙනාගේ දේශපාලන වැඩසටහන සමතික්‍රමණය කරයි.

                               ඉතාලි නව තාත්විකවාදී සිනමාව යනු, ඉහත සූත්‍රය උඩි යටිකුරු කරන්නකි. මෙම සිනමාවේ චිත්‍රපට වලින් ප්‍රකාශයට පත්වන්නේ, ආශාව ජව සම්පන්න ලෙස දේශපාලන වැඩසටහන සාර්ථක කරන ආකාරය යි. බොහෝවිට, ඉතාලි නව තාත්වික සිනමාව තේමා ගත වන්නේ අධික ලෙස මර්ධිත සමාජ සැකසුම් තුළ ය. එම චිත්‍රපටවල කතා නායකයන් එක්කෝ කම්කරුවන් ය. නැතහොත්, පීඩිතයන් ය. මේ චරිතවල ආශාව දිග හැරෙන්නේ සාමූහික අවශ්‍යතා ඔස්සේ ය. මාෆියා දේශපාලනය සහ වාම දේශපාලනය දෙමුහුම් වන තැනක් මෙතැන දී සලකුණු කළ හැකි ය. මාෆියා දේශපාලනය යනු ද පුද්ගලික ආශාවක් තෘප්තිමත් කර ගැනීමක් නොවේ. එය එක්තරා දුරකට, අධිරාජ්‍යයක් තිබෙන රටක සුළු ජාතික අනන්‍යතාවයක් පිහිටුවා ගැනීමට කරන සාමූහික අරගලයකි. මෙතැන දී ‘පවුල’ යනු, හුදු ජීව විද්‍යාත්මක හෝ ඊඩිපසියානු කේන්ද්‍රීය පවුල නොවේ. මාෆියා කණ්ඩායමක් අපරාධ කරන්නේ, තම කෲරත්වය සමාජයට විදහා පෑමට නොවේ. එය ඔවුන් කරන්නේ, පවුලට සමාජ තත්වයක් සහ ප්‍රාග්ධනය එකතු කිරීමට ය. එය සංවිධානය වී කළ යුතු සාමූහික වැඩකි. ඇමෙරිකාව තුළත්, ඉන් පිටතත් ‘ගෝඩ් ෆාදර්’ නැරඹූ බොහෝදෙනා ඊට වශී වූයේ, ඒ තුළ ඇති රැඩිකල් මදය නිසා ය. එනම්, ‘සමාජ පිළිගැනීම’ සහ ‘ප්‍රාග්ධනය’ ලබා ගැනීමට මාෆියා දේශපාලනය පහසු මඟක් නිසා ය.

                             ‘ගෝඩ් ෆාදර්’ චිත්‍රපටයේ ජනප්‍රියත්වය නිසා මාෆියා සංස්කෘතිය තුළ ම අලුත් තත්වයක් බිහි විය. මාෆියා සංස්කෘතිය හුදු ප්‍රබන්ධයක් පමණක් නොව ඒ ආකාරයට සැබැවින්ම ජීවත් විය හැකි බව විවිධ මාෆියා කණ්ඩායම් හිතන්නට පටන් ගත්තේ ය. ‘The Soprano’ නම් රූපවාහිනී මාලා නාටකය ඇමරිකාවේ බිහි වූයේ, මේ තතු යටතේ ය. මාලා නාටකයේ ප්‍රධාන තේමාව වූයේ, මාෆියා චරිතයක් ප්‍රධාන ධාරාවට ඇතුළු වීම පිළිබඳ ගැටලුවයි. අධ්‍යාපනය සහ විවිධ ආයතන හරහා තමන්ගේ තෙවැනි පරම්පරාවට වැදගත් මිනිසුන් වීමට හැකියාවක් ඇතැයි අනුමාන කොට චරිත විකාශය සිදු විය. මාෆියා කණ්ඩායම් වලට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන ගැටලුව වූයේ, මුදල් සහ බලය කෙතරම් තිබුණත් ඔවුන්ට සාමාන්‍ය මිනිසුන් සේ ජීවත් වීමට සිදු වීමයි. එයට හේතුව වන්නේ, කෙනෙකු ‘බුර්ෂුවා’ වීම සිදු වන්නේ ආයතන හරහා නිසා වීම යි. මාෆියා කණ්ඩායම් වලට රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කිරීමට නොහැකි වීම නිසා ඔවුන්ට බූර්ෂුවා පන්තියේ සාමාජිකයන් වීම යුතෝපියාවක් පමණි.

                                   ශ්‍රී ලංකාවේ ‘ධනවාදය’ 1977ට පසු ජේ. ආර් උත්සාහ කරන ලද්දේ, ඇමරිකානු ධනවාදය සමඟ ගැට ගැසීමට ය. 80  දශකය තුළ හටගත් සිවිල් යුධ තත්වය නිසා ඇමරිකානු සිහිනය ලංකාව තුළ පැල වීම ප්‍රමාද විය. නමුත් 2005ට පසු මහින්ද රාජපක්ෂ විසින් ඇමරිකානු ධනවාදය එහි ඉතාලි සංස්කෘතික ලක්ෂණ සමඟ ලංකාවට ආනයනය කළේ ගෝඨාභය සහ බැසිල් ය. ඔවුන් උත්සාහ කරන ලද්දේ, මාෆියා සංස්කෘතිය රාජ්‍ය මතවාදී උපකරණ වලට සහ මර්ධන උපකරණ වලට එන්නත් කිරීමට ය. 

Deepthi Kuamara Gunarathne

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. අද අලුතින් සාර්ථක වෙමින් යන්නේ මෙවැනි මාෆියා මතවාදයක් හා ධනවාදය මුසු කරගත් ව්‍යපරයමය රාජ්‍යයකි. පූටින් හසුරුවන්නේ එවැන්නකි. මේ සාර්ථක වීම තුල පුටින් සිරියාවේ අසාද් ට පක්ෂ වීම තුලින් හා කියුබාවට උදව් කිරීම තුලින් එක්තර වාමාංශික මුහුණුවරක් ගන්නා එහෙත් දක්ෂිණාංශික ධනවාදී ක්‍රමයක් රැගත් අර්ධ ඒකාධිපති රාජ්‍යයකි . බ්‍රසීලයේ සිට ට්‍රම්ප් ගේ ඇමෙරිකාව දක්වාත් කිසියම් ප්‍රමාණයකට මේ තත්වයට සහය වීමට හැකි දක්ෂිණාංශික රජයන් බිහිව තිබේ. ලිබරල් මටහ්වාදය ප්‍රයජට වෙමින් පවතී. නමුත් ලෝකය සැම විටම එසේ පවතින්නේ නැත. ඉතිහාසය නැවතත් රිපීට් වීමට සැරසෙමින් පවතී .

  2. ලිබරල් මතවාදය පරාජය වෙමින් පවතී. නමුත් ලෝකය සැම විටම එසේ පවතින්නේ නැත. ඉතිහාසය නැවතත් රිපීට් වීමට සූදානම් වේ. .

Comments are closed.