2025 Vision නමින් ආණ්ඩුවේ දැක්ම මීට මාස 02 කට ඉහත දී එළිදැක්වීය. මේ සම්බන්ධව සාධනීය හෝ නිශේධනීය සංවාදයක් ඇති නොවීය. යම් ආණ්ඩුවකට වැඩපිළිවෙළක් තිබීම සාධනීය ලක්ෂණයකි. වැඩපිළිවෙළක් තිබුණත් ඒ සඳහා ක‍්‍රියාකාරී සැලැස්මක් නැත්නම් ඇති වැඩක් නැත. 2017 වසර පටන් ගන්නා විටම එය දුප්පත්කම නැති කිරීමේ වසර ලෙස නම් කළේය. දැන් වසර අවසන් වන විටත් ආණ්ඩුව සතුව ක‍්‍රියාකාරී සැලැස්මක් නැත. ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2025 දැක්මද එහි ඉලක්කගත දර්ශක ද සපුරාගත නොහැකිය. සපුරාගත නොහැකි ඉලක්ක සහිත දර්ශක ඉදිරිපත් කළ විට සිදුවන්නේ එය හුදු ලියවිල්ලක් බවට පත්වීමයි. බොහෝ දුරට මේ දැක්මවල් හදන්නේ ඒ පිළිබඳ විශේෂඥයන් නොවන වෙළෙඳ දැන්වීම් ආයතනවල පිටපත් රචකයන්ය. ඔවුන් ඒ සඳහා බොහෝ දුරට උපයෝගී කරගන්නේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාජ සංවර්ධනය සඳහා යොදාගන්නා දර්ශකය. මේ සමාජ සංවර්ධන දර්ශක කොපමණ ප‍්‍රමාණයකින් යථාර්ථවත් අයුරින් පුරෝකථනය කළ හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මේ පිටපත් රචකයන්ට නොමැත. පළමු යෝජනාව ලෙස එහි සඳහන්ව ඇත්තේ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමය. ඒ සඳහා ඔවුන් සමපේක්ෂණ කරනු ලබන ඉලක්ක ගණනාවක් ඇත. 2017-2020 වන විට ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 ක් දක්වා ඉහළ දැමීම අපේක්ෂා කර ඇත. ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාකාරී සැලැස්මක් තවමත් සකස් කර නැත. කාන්තා ශ‍්‍රම දායකත්වය වැඩි කිරීම, සංචාරක ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන ආදායම ඉහළ දැමීම, අපනයන ආදායම ඩොලර් බිලියන 20 කින් වැඩි කිරීම, ඍජු විදේශීය ආයෝජන ඩොලර් බිලියන 05 දක්වා අපේක්ෂා කිරීම, රාජ්‍ය ආයෝජන ද.දේ.නි. ප‍්‍රතිශතය 5% දක්වා වැඩි කිරීම, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඵලදායිතාව නැංවීම, වතු ජනතාවගේ සංවර්ධනයට අවශ්‍ය පසු – යටිතල පහසුකම් නැංවීම, සමාජ ආරක්ෂණය විධිමත් කිරීම, රටේ සියලූම ශ‍්‍රමිකයන්ට විශ‍්‍රාම වැටුප් ලබා දීම, රජයේ සියලූම කාර්යයන් සඳහා වගවීම සහ පාරදෘශ්‍යභාවය ඇති කිරීම, අපේක්ෂා කරනු ලබන සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතියක් ගොඩනැංවීම, කලාපීයව අපනයනය කේන්ද්‍ර කොටගත් අපනයන කලාප ඇති කිරීම, රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් සේවා ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය ආදායම 2017-2020 වන විට ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස 16% දක්වා ඉහළ නැංවීම. මේ ඉදිරිපත් කර ඇති 2025 දැක්මේ පරිදර්ශනයකි. (Overview)

මේ ඉදිරිපත් කර ඇති දැක්ම යථාර්ථයක් බවට පත්කර ගත හැකිද. මේ අපේක්ෂා කරන ඉලක්ක යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවම වශයෙන් ඩොලර් බිලියන 200 කට නොවැඩි ආයෝජනයක් කිරීමේ හැකියාවක් ආණ්ඩුවට තිබිය යුතුය. ඩොලර් බිලියන 05 ක ආසන්න ඍජු විදේශ ආයෝජනයක් අපේක්ෂා කළත් පසුගිය වසර 02 තුළම ඩොලර් බිලියන 01ක් වත් විදේශීය ආයෝජන සිදුවූයේ නැත. අපනයනය ඩොලර් බිලියන 20 කින් ඉහළ දැමීම අපේක්ෂා කළත් පසුගිය අවුරුදු 02 තුළ ඩොලර් බිලියන 01කින්වත් වැඩි කර ගැනීමට නොහැකි විය. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ද.දේ.නි. දක්වන දායකත්වය 2015 වසරට වඩා 2016 සහ 2017 වසරේ දී අඩු විය. සමාජ ආරක්ෂණය වෙනුවෙන් රජය වැය කරන මුදල වේගයෙන් ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස අඩුවෙමින් පවතී. 1995 දී සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් ද.දේ.නි. 3% වෙන් කරන විට 2017 දී එය ද.දේ.නි. 05%ට අඩු වී ඇත. අධ්‍යාපනය සඳහා වැය කරන මුදල 1995 ද.දේ.නි. 3% පමණ වන විට 2017 එය 1.8% දක්වා අඩු වී ඇත. 2016 සංචිත අර්බුදයට යෑම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ සංචිත තර කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට සිදු විය. පසුගිය අවුරුදු 02ට අපේක්ෂා කළ අයවැය පරතරය සහ රාජ්‍ය ණය ප‍්‍රමාණය අඩු කරගත ගැනීමට හැකි නොවීය. අපේක්ෂිත ඉලක්ක ළඟා කර නොහැකි වීමට ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ඇති වූ දේශපාලන හා කාලගුණික විපර්යාස ද හේතු විය. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, කෘෂිකර්මාන්තයේ ඵලදායිත්වය අඩු වීමට නියඟය ද බලපෑවේය. ආණ්ඩුව විසින් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට යෝජනා කර තිබුණ ද පවතින රාජ්‍ය ආයතන ද පවත්වා ගැනීමට සිදු වී ඇත්තේ දේශීය සහ විදේශීය ණය මත පදනම් වෙමිනි. මේ අප හමුවේ ඇති යථාර්ථයයි. ගැටලූව වන්නේ මේ යථාර්ථය මත පදනම්ව ආණ්ඩුව විසින් සැලසුම් සකස් නොකිරීමයි. පසුගිය ආණ්ඩුවේද මීට සමාන දැක්මක් ඉදිරිපත් කර තිබුණි. එම දැක්මද සකස් කර තිබුණේ වෙළෙඳ දැන්වීම් ආයතනයක් මඟිනි. එයින් අපේක්ෂා කළ කිසිදු ඉලක්කයක් වෙත ළඟා වීමට නොහැකි වූවා පමණක් නොව ලංකාව විශාල ණය උගුලක ද පටලවා සාර්ව ආර්ථිකය අර්බුදයකට තල්ලූ කළේය. පැවති එම ආණ්ඩුවේ එකම සාධනීය යෝජනාව වූයේ මහාචාර්ය ඩබ්.ඞී. ලක්ෂ්මන් විසින් ගෙන ආ බදු ප‍්‍රතිසංස්කරණ යෝජනාය. අවාසනාවට ඒ ආණ්ඩුව විසින් එය ක‍්‍රියාත්මක නොකළේය. 2025 දැක්මට අනුව නම් 2025 වන විට ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන ශක්තිමත් ආර්ථිකයක් සහිත රටකි. 2025 දැක්ම සාර්ථක කරගත හැකිද යථාර්ථය නම් එය කරගැනීමට වැඩපිළිවෙළක් යෝජනා වී නැත. අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමට අවශ්‍ය මූලික පදනමක් මෙවර අයවැයෙන් අපේක්ෂා කළ හැකිද.

2025 දැක්මට අනුව ලංකාවේ අධ්‍යාපනයේ ඇත්තේ විශාල ගැටලූවකි. ගැටලූව විසඳීමට ආණ්ඩුව සතුව වැඩපිළිවෙළක් ඇතිද. 1970 දශකයේ සිටම උසස් අධ්‍යාපනයේ ගැටලූවක් ලෙස පෙන්නුම් කරන්නේ විශාල වශයෙන් බිහිවන්නේ කලා උපාධිධාරීන් බවත් ඔවුන්ට රැුකියා වෙළෙඳපොළ තුළ ඉල්ලූමක් නැති බවත්ය. එයට බලපාන ප‍්‍රධානම හේතුව වී ඇත්තේ ලංකාව තුළ විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හැදෑරීමට ඇත්තේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 10%කටත් අඩු ප‍්‍රමාණයක් නිසාය. ආණ්ඩුව විසින් කළ යුතුව ඇත්තේ අවශ්‍ය විධිමත් විද්‍යා විෂය ධාරාව ඇති පාසල් ඇති කිරීමය. තාක්ෂණ අංශයෙ පුහුණු හෝ රැුකියා ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඊට අවශ්‍ය කුසලතා ලබා ගැනීමට අවශ්‍ය ගණිත හැකියාව බොහෝ දරුවන්ට නොමැති වීමය. ලංකාවේ ගණිත විෂය සමත් වන්නේ සමස්ත ශිෂ්‍යයන්ගෙන් 50% ක ප‍්‍රමාණයකි. ඉංග‍්‍රීසි විෂය සමත් වන්නේ 50% ක ප‍්‍රමාණයකි. තොරතුරු තාක්ෂණය හෝ ඩිජිටල්කරණය යනුවෙන් සඳහන් කළාට තවමත් අවුරුදු 15ට වැඩි සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් පරිගණක සාක්ෂරතාව ඇත්තේ 25% කට පමණය. එසේ නම් මෙවර අයවැයෙන් මේ ක්ෂේත‍්‍ර දියුණු කිරීම වෙනුවෙන් යෝජනා සකස් විය යුතුය.

2025 දැක්මට අනුව ලංකාවේ ශ‍්‍රම වෙළෙඳපොළ තුළ ඇත්තේ විශාල ගැටලූවකි. අවම ආදායම් ලැබීම, සේවා සුරක්ෂිතතාවක් නොමැති වීම ආදියයි. මේ සඳහා රජය විසින් පාරිභෝගික මිල දර්ශකයක් සහ ආසන්න මට්ටමේ අවම වැටුපක් පෞද්ගලික අංශයට යෝජනා කළ යුතුය. අද වන විට අවම වැටුප් පවතින්නේ රුපියල් 10000 කය. අවම වැටුප් ලබන්නේ බොහෝ දුරට සේවා අංශයේ සිටින ශ‍්‍රමිකයන්ය. එබැවින් රජය වැටුප් වැඩි කිරීමට බිය විය යුතු නැත. ඊට අමතරව දැනට සිටින සේවා කොන්ත‍්‍රාත්තුවක් නැති මෑන් පවර් වැනි සේවා සපයන ආයතනවලට සේවා කොන්ත‍්‍රාත් සහිත කම්කරු කොමසාරිස්ගේ පාලන යටතේ ඇති නියාමන අධිකාරියකින් පාලනය වන ක‍්‍රමයක් ඇති කළ යුතුය.

රාජ්‍ය මූල්‍යය ස්ථාවර කිරීම වෙනුවෙන් යෝජිත බදු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ යුතුය. රාජ්‍ය ආදායම අනිවාර්යයෙන් ඉහළ දැමීම වෙනුවෙන් කටයුතු කළ යුතුය. ගියවර අයවැයෙන් වැට් බදු ආදායම අපේක්ෂාවෙන් වැට් බදු ගෙවන පිරිස වැඩි කිරීමේ යෝජනාව ඇති වූ විරෝධතා නිසා හකුළා ගැනීමට සිදු විය. අපේක්ෂා කරනු ලබන රාජ්‍ය ආයෝජන වැඩි කිරීමට නම් රාජ්‍ය ආදායම ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස අවම වශයෙන් 16% දක්වාවත් වැඩි කළ යුතුය. ඒ සඳහා සැලැස්මක් බදු යෝජනා තුළ තිබිය යුතුය. රාජ්‍ය මූල්‍ය ස්ථාවර කර ගැනීම සම්බන්ධව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රමවේදයක් තිබිය යුතුය.

සමාජ ආරක්ෂණය සම්බන්ධව 2025 දැක්මේ සඳහන්ව ඇත. නමුත් මේ ඉලක්ක සපුරා ගැනීමේ ක‍්‍රියාකාරී වැඩපිළිවෙළක් දක්වා නැත. මන්දපෝෂණය සම්බන්ධව දක්වා ඇතත් එය නැති කිරීම වෙනුවෙන් දියත් කරනු ලබන කෙටිකාලීන වැඩපිළිවෙළක් තිබිය යුතුය. අඩු ආදායම් හා මධ්‍යම ආදායම් ලබන පිරිසගේ නිවාස ප‍්‍රශ්නය විසඳීම සඳහා යම් වැඩපිළිවෙළක් තිබිය යුතුය. දැනට ක‍්‍රියාත්මක මධ්‍යම පාන්තික නිවාස ක‍්‍රමයෙන් බොහෝ දුරට සහනය ලබන්නේ ඉහළ ආදායම ලබන 20% අයත් ජන කොටසය. කොළඹ අවට ඉදිකළ හා දැනට ඉදිවෙමින් පවතින නිවාසවල මිල ගණන් වන්නේ ලක්ෂ 35 සිට ලක්ෂ 120 දක්වාය. මේ නිවාස මිලදී ගැනීමට අඩු ආදායම් ලාභීන්ට හැකියාව නොමැත.

රාජ්‍ය නොවන හා අවිධිමත් ක්ෂේත‍්‍රවල රැුකියාවල නියුතු අය වෙනුවෙන් යම් විශ‍්‍රාම පාරිතෝෂිකයක් ඇති කළ යුතුය. ඒ සඳහා යෝජනා අයවැයේ ඇතුළත් විය යුතුය. විශේෂයෙන් වැඩිහිටි ජනගහණය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම වෙනුවෙන් ක‍්‍රියාකාරී සැලැස්මක් තිබිය යුතුය.

දැනටමත් තනි ඒකකයක් ලෙස වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ විගාමික ශ‍්‍රමිකයන්ගෙනි. පසුගිය අවුරුදු 02 ක තුළ යම් කුඩා හෝ වර්ධනයක් පෙන්නුම් කළේ මේ ක්ෂේත‍්‍රය තුළය. මේ අයගේ සුබසාධනය වෙනුවෙන් රජය විසින් මීට වඩා මැදිහත් වීමට අවශ්‍ය සැලැස්මක් තිබිය යුතුය.

2025 දැක්ම යථාර්ථයක් කර ගැනීමට ඇති සම්භාවිතාව ද ඉතා අඩු බැවින් යථාර්ථයක් බවට පත්කර ගත හැකි දැක්මක් ඇති කරගත යුතුය. 2018 අයවැයෙන් මහා දේවල් අපේක්ෂා කළ නොහැකිය. දැනටමත් රජය ඉදිරි මැතිවරණය වෙනුවෙන් මැතිවරණ අයවැයක් ඉදිරිපත් කිරීමේ සේයාවක් ඇත. මැතිවරණ ආසන්නයේ ඉදිරිපත් වූ අයවැය විසින් ඇති කළ නපුරු පූර්වාදර්ශ බොහෝමයක් අපට ඇත. 1995 සිට 2017 දක්වාම ලංකාවේ ආර්ථිකය පාලනය වී ඇත්තේ මැතිවරණ ඉලක්ක කරගෙනය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇති වී ඇත්තේ රාජ්‍ය ණය බර වැඩි වීම, අය වැය පරතරය ඉහළ යෑම, රාජ්‍ය ආදායම පහළ යෑම ආදියයි. යෝජිත අය වැය යෝජනා යථාර්ථවාදී සීමිත ඉලක්ක සහිත ස්ථාවර යෝජනා වනු ඇතැයි අපේක්ෂා කරමු.

 විපුල කරුණාතිලක

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here