ලංකාවේ බහුතරයක් ජනයා ගමන් කරන්නේ වෘත්තයක් දිගේය. ඒ නිසා ඔවුන්ට වරක් වූ දෙය යළිත් සිදු වෙයි. වරක් දුටු දෙය යළිත් පෙනෙයි. එවිට ඔවුන් විශ්මයට පත් වෙයි. අසූව දශකය මුල සංවර්ධනයේ සංකේතය ලෙස ඔවුන්ට මහවැලි ව්‍යාපාරය හමුවූ අතර ඊට වසර 30 කට පසුව යළිත් එයම අධිවේග මාර්ග යනුවෙන් හමු වී ඇත.

1988 වසරේදී රොහාන් පෙරේරාට ‘යාත්‍රා’ නම් සගරාවක් සහ ‘දීප්ති’ නම් පුද්ගලයෙක් හමු වූ අතර 2013 වර්ෂයේදී යළිත් ඔහුටම ‘පැපරාසියා’ නම් සගරාවක් සහ ‘සේපාල්’ නම් පුද්ගලයෙකු හමු වී ඇත.

වෘත්තයක ගමන් කරමින් ධනවාදය විශ්ලේෂණය කරන අයෙකුට අනුව ලෝකය දෙකට බෙදෙයි. (1) ධනවාදී සමාජය – මුදල් රජ කරන ලෝකය (2) මුදල් රජකරන ධනවාදී ලෝකය ඇතුළේ ජීවත්වන පුද්ගලයා.

මෙම දෙකට බෙදුණු ලෝකය නිසා ආචරණ දෙකක් බිහි වී ඇත.

(1) ධනවාදය ගැන වාස්තවික අදහසකට යාම

(2) පුද්ගලයා ගැන වාස්තවික අදහසකට යාම.

මෙම ආචරණ දෙක අතර බිහිවන නිරන්තර ‘පරතරය’ ඉතිහාසයේ මේ දක්වා විසඳී නැත. ධනවාදය ගැන කරන ඕනෑම විශ්ලේෂණයකට පොදු මෙම ප්‍රවණතාවය නිසා බිහි වී ඇත්තේ අපූර්ව ආකාරයේ විරුද්ධාභාසයකි. මෙම විරුද්ධාභාසය රොහාන් පෙරේරා පැපරාසියා 2013 – සැප්තැම්බර් කලාපයේදී විශ්ලේෂණය කරන්නේ පහත පරිදිය.

”දැං අපි එක්තරා අනුභූතියක් ස්ථානගත කරමු. ආණ්ඩුවත් එක්ක ජනතා විරෝධී ව්‍යාපෘති ගොන්නකට මහ බැංකුව හරහා දායක වන ගමන් අශෝක හඳගම ‘මේ මගේ සඳයි’, ‘අක්ෂරය’ වගේ චිත‍්‍රපටි කිරීම ගැන කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ. එතැන ස්වාභාවික තර්කය වන්නේ, අරක හඳගමගේ රස්සාව, මේක එයාගේ සමාජ වැඩ යනුවෙනි. මේ ස්වාභාවික තර්කය කුමාර චාපා බණ්ඩාරට අදාළ නොවන්නේ කෙසේද? (චාපාගේ දෙබිඩි ජීවිතය සේපාල් ප්‍රශ්න කිරීම ගැටලූව ආරම්භ කරයි. එහි නිධාන කතාව සැකෙවින් මෙසේය. වෙජිටේරියන් කෙනෙක් වුණු චාපා කොහොමද මැක්සීස් කියන කුකුළු ඝාතක ව්‍යාපාරය එක්ක එකතු වෙලා සමාජ සංවර්ධන වැඩ කරන්නේ? ගැටලූව වන්නේ මේ දෙකම එක පුද්ගලයෙක් කිරීමේ උභතෝකෝටිකයයි – සටහන මගේ)”

ඉහත ‘පැපරාසියා’ සගරාවේම 20 වන පිටුවේ සගරාවට එවන ලද ලිපියක් කිසිඳු සංස්කරණයකින් තොරව පහත පරිදි පළ කර ඇත.

”දීප්ති අද දවසේ කරන්නේ කුමක්ද? දීප්තිගේ වර්තමාන තේරීම ද ඇත්තේ තරු පන්ති දේශපාලනයයි. විවිධ කණ්ඩායම් ආමන්ත‍්‍රණය කරමින් ඔවුන්ව දැනුම්වත්කොට ක්‍රියාකාරී කරනවාට වඩා දීප්ති වර්තමානයේ තෝරාගෙන ඇති ක්‍රමය ඔහුගේ ශරීරයට සැපදායී බවට සැක නැත. අතීතයේදී දීප්ති කුමාර ගුණරත්න අන් අය තමන් වටා කරකවා ගත්තේය. ඒ වෙනුවට අද දීප්තිගේ ලෝකය කැරකැවෙන්නේ අනාගත එ.ජා.ප. ආණ්ඩුවක ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයක සුභ සිහිනයක් දකිමින් සිටින සුදර්ශන ගුණවර්ධන වටාය. සුදර්ශනගේ ලෝකය කැරකැවෙන්නේ රනිල් වික්‍රමසිංහ වටාය. (න්‍යායික කවටකමක් කරන්නේ නම් අද දවසේ දීප්තිගේ සංකේත පියා සුදර්ශනය, සීයා රනිල්ය.)සුදර්ශන වෙනුවෙන් කුලියට ලිවීම, කතා පැවැත්වීම පිළිබඳව දීප්තිට කීමට ඇත්තේ කුමක්ද?”
– ඉසුරු රංගනාත් කරුණාතිලක –
(මෙම නම බොහෝවිට අන්වර්ථ නාමයකි.)

අපට කියන්නට ඇත්තේ කුමක්ද? යථාර්ථය විශ්ලේෂණය කිරීමට ක්‍රම දෙකක් ඇත.

(1) යථාර්ථය සහ අදහස් සම්පාත වෙයි.[Reality= Idea]

(2) යථාර්ථය යනු අදහස්වලට සම්පාත නොවී ඊට විරුද්ධව ඉතිරි වන ශේෂය ‘සැබෑව’ (Real) ලෙස ගැනීම.

ඉසුරුගේ අදහස්වලට අනුව දීප්තිගේ සහ සුදර්ශනගේ අභිප‍්‍රායන් ටක්කෙටම දනියි. නමුත් සේපාල්ගේ ‘පැපරාසියා’ සගරාවට මුදල් දෙන්නේ කවුද? ඒ ඇයි? යන ප‍්‍රශ්න ඔහු අසන්නේ නැත. රොහාන් පෙරේරා ‘අශෝක හඳගම’ ගැන අහන ප‍්‍රශ්නය ඔහු සේපාල් උදෙසා නොඅසයි. හඳගමගේ සමාජ භාවිතය කෙතරම් දෙබිඩිද එතරම්ම සේපාල්ගේ භාවිතාවත් දෙබිඩිය. ‘යථාර්ථය’ පිළිබඳ ලෙනින් වැනි විප්ලවවාදියෙක් හැම විටම අහන්නේ මෙම මූලික ප‍්‍රශ්නයයි. ඔහුගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ගැන ඇසූ විට පෙරළා ඔහු අසන්නේ මෙවැන්නකි, ‘කාටද? මොකටද?’. ඉසුරු රංගනාත් සහ රොහාන් පෙරේරා අනුන්ගෙන් අහන ප‍්‍රශ්න තමන්ගෙන්ම නොඅසන්නේ ඇයි? යථාර්ථය ඇතුළත අපිරිසිදු වී අනෙක් මිනිසුන් සිටිත්දී, නෙළුම් මල් මෙන් මඩ නොගෑවුණු මේ මිනිසුන්ගේ පැවැත්ම ඇත්තේ ධනවාදයෙන් පිටත අකනිටා බඹ ලොවද? නැත. මේ අය ද ජීවත් වන්නේ මේ කුණු වලෙහි මඩ නාගෙන අසූචි බුදිමින් බව නොදන්නේ සමාජ විචාරය ගැන A,B,C නොදන්නා තොත්ත බබාලාය.

ඉහත දී ඉසුරු කරුණාතිලකත් ඇතුළුව සමහරුන් නිරීක්ෂණය (අනුභූතිකව) කරන පරිදි මගේ ආර්ථිකය ගැන ඔවුන්ගේ නිගමන අයිති වන්නේ ‘සැබෑවට’ නොව ‘ෆැන්ටසීන්’වලටය. සාමාන්‍ය මිනිසුන් සමාජයේ ජනපි‍්‍රය චරිත දෙස බලා තමන් නොලබන පරිසමාප්ත විනෝදයක් ඔවුන් විඳිතැයි උපකල්පනය කිරීම අහම්බයක් නොවේ. එය ආත්මීය අවශ්‍යතාවයකි. මෙය වාමාංශික දේශපාලන ව්‍යාපාරයට එන විට සමීකරණය මෙලෙස වෙනස් වෙයි. මට විඳින්නට තිබූ පරිසමාප්ත විනෝදයක් ඔහු මගෙන් හොරකම් කර ඇත. නැතහොත් මට විඳින්නට ඇති පරිසමාප්ත විනෝදයකට ඔහු බාධා කරමින් සිටියි.’

සතුටු වන්න! [Enjoy Life] යන නියෝගය සහිත සමාජයකදී සුපිරි-අහම (Super Ego) විසින් යෝජනා කරන්නේ චෝදනා කළ හැකි සතුරකු බාහිරින් සොයා ගන්නා ලෙසයි. එය රාජකාරිය වැනි උතුම් කැපකිරීමකි. ලංකාවේ ජීවත්වන ඕනෑම වාමාංශික නායකයෙකුට වඩා මගේ ආර්ථිකය ඇත්තේ පහළින්ය. නමුත් මට මගේ දුර්වල තැන ගොදුරක් ලෙස වේශ නිරූපණය කර හිගා කන්නට අවශ්‍ය නැත. මට අවශ්‍ය මිනිසුන් මගේ ශක්තිමත් තැන වූ ‘චින්තනය’ සමග ගැටීමයි. වෙළඳපොළ ආර්ථිකයට සහ පරිභෝජනවාදී සංස්කෘතියට මගේ ඇති බැඳීම යනු ද ෆැන්ටසියක් මිස සැබෑව නොවේ. මගේ ආදායමෙන් මෙම පාරිභෝගික සංස්කෘතිකය තුළ කළ හැක්කේ මාජරීන් සහ MD ජෑම් මිලට ගැනීමත් උදේට සම්බෝල සමග පතෝල සහිත බත් වේලක් කෑමය. මුදල් හදල් සහිත මගේ මිතුරන් සමග බොහෝ දෙනෙකුට මාව පැටලීයාම මගේ වරදක් නොවේ. විටින් විට මෙවැනි ආකාරයේ මිතුරෙකු අක‍්‍රමවත්ව ලබා දෙන ආධාර මුදල් නැත්නම් මගේ ආර්ථිකය කම්මුතුවී බොහෝ කල්ය.

බොහෝ දෙනෙකුට කට උත්තර නැතිවී වැරදිකාර දෘෂ්ටියක හිරවෙන ඉහත අභියෝගය අපි දැන් න්‍යායික විශ්ලේෂණයකට භාජනය කරමු.

මාගේ වර්තමාන න්‍යායික අවබෝධයට අනුව පුද්ගලයා සහ සමාජය ලෙස දෙකට බෙදූ සමාජය විශ්ලේෂණය කිරීම දෘෂ්ටිවාදී වැඩ බිමකි. මෙය මාගේ අදහසක් නොව මාක්ස්වාදී දර්ශනයේ මූලධර්මයකි. (කෞට්ස්කි ද්‍රෝහියා කියා ලෙනින් කියන විට ඉන් අදහස් වන්නේ කෞට්ස්කිගේ දෙබිඩිබවක් නොව ඔහු දෘෂ්ටිවාදයට සම්බන්ධ තැනයි) මාක්ස්වාදයට අනුව පුද්ගලයා සහ සමාජය ලෙස දෙකට බෙදා (මෙහි උපරිම දාර්ශනික වර්ධනය වන්නේ සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂය – හොඳ/නරක, ව්‍යවහාරය/න්‍යාය, ද්‍රව්‍යය/අදහස්, උසස්/පහත්, පක්ෂ මතය/අපගමණය) කරන විග‍්‍රහයන් අවසන් වන්නේ විනෝද වන අනෙකෙකු පිළිබඳ ෆැන්ටසි සාගරයකින්ය. (දෘෂ්ටිවාදය යනු ගැටුම්, භේද, පසමිතුරුභාවයන් නැති සුසංවාදී සමාජයක් වෙතට අපව රැගෙන යන ආත්මීයත්වය සමග බද්ධ වූ සමාජයීය අදහස්ය.)

සමස්තය පොළවක් ලෙස සලකා එය පුද්ගලයා සහ සමාජය ලෙස දෙකට කඩා විශ්ලේෂණය කිරීම සීතල යුද්ධ යුගයේ හට ගත් බුර්ෂුවා සමාජ-විද්‍යාවේ මූලික අංගයකි. ජාතික රාජ්‍යයන් තුළ ජීවත් වන පුද්ගලයන්ගේ ජාතික අනන්‍යතාවයන් අර්බුදයට යාම, අධිරාජ්‍යවාදය නැගගෙන ඒම සහ පන්ති ව්‍යුහයත් එම ව්‍යුහයන්ගේ වටිනාකම් පද්ධතිය අභාවයට යාමත් යන කරුණු නිසා සීතල යුද්ධයේ ආරම්භය සමග සමාජ-විද්‍යාවට අලූත් මානයක් බිහිවිය. නූතන ධනවාදී සමාජ ක‍්‍රමය ඇතුළත එක පැත්තකින් වඩ වඩා පරමාණුකරණය (හුදෙකලා වන) වන පුද්ගලයෙකු සිටින අතර අනෙක් පසින් වඩ වඩා නිශ්ශබ්ද වන ‘මහජනතාවක්’ බිහි වෙයි. බුර්ෂුවා සමාජ-විද්‍යාවේ ක‍්‍රමවේදය වන්නේ මේ පැති දෙකටම පොදු වූ ආකෘතික ලක්ෂණ (formal) මගින් සමාජය විචාරය කිරීමයි. හනා අරෙන්ඞ්, විල්හෙල්ම් රයික්, එරික් ෆ්‍රෝම් වැනි සමාජ විචාරකයන්ගේ රචනා මගින් ප‍්‍රකට වන්නේ මෙම දෙබිඩි සමාජ-විද්‍යාවේ ආකෘතික ලක්ෂණයි. මෙම සමාජ-විද්‍යාවේ ඉතාම අන්තගාමී නිගමනයන්ට අනුව ‘සමාජවාදය’ සහ ‘ෆැසිස්ට්වාදය’ යනු පරිපූර්ණ සමාජයක් වෙතට යන විට හමු වන සිහින ආකෘති දෙකකි. මෙම සිතීමේ ක‍්‍රමයට අනුව සමාජවාදයත්් ෆැසිස්ට්වාදයත් යනු එකම කාසියේ දෙපැත්තයි. එනම් සර්වාධිකාරයයි (Totalitarianism). කුමුදු කුසුම් වැනි තනි අලියෙකු සහ රහසිගත සිංහල ජාතිවාදියෙකු උත්සාහ කරන්නේ අපගේ ධනවාදී විරෝධය සර්වාධිකාරියකින් අවසන් වන බව පෙන්වීමටය.

2004 වර්ෂයේ මුල සිට එම වර්ෂයේ අග දක්වා මා වෙත යොමු කළ නිර්නාමික ලිපි විශේෂයක් අපගේ සංවිධානයට ලැබෙන්නට පටන් ගත්තේය. එම ලිපිවල අන්තර්ගතය ඉසුරු රංගනාත්ගේ ලිපිවල අන්තර්ගතයට ඉතා සමීපය. එම ලිපිවල තර්ක පමණක් වෙනස්ය. 2004 දී ලැබුණු ලිපිවලට අනුව මා කතා කළ සියල්ල වැරදිය, මා ඒකාධිපතිය, මගේ අවසානය අත ළගය. මේ ලිපි එවූ පේ‍්‍රමනීය ජෝඩුව පසුව විවාහ වී දරු සුරතල් බලමින් දැන් ඇමරිකාවේ ජීවත් වෙයි. වර්තමාන ලිපිවලදී මා කළ සාධනීය දායකත්වය පිළිගනියි. ගැටලූව වන්නේ එවන් සාධනීය වැඩක් සුදර්ශනලා[දැන් මේ නම වෙනස් විය යුතුය] වැනි පිරිස් මගින් අපවිත‍්‍ර කර ගන්නේ ඇයිද යන්නය. මේ අය බලා සිටින්නේ මහා-අනෙකාගේ අවසරය සහ භක්තියට යටත්වී විප්ලවයක් කිරීමටය. ලෙනින් එතැනදී වෙනස්ය. ‘විප්ලවය දැන් කරමු’ යැයි කී විට කෲප්ස්කයා ඇතුළු අනෙක් සහෝදරවරු කීවේ පිස්සුද කියාය. ලංකාවේ කී දෙනෙකුට පිස්සුදැයි මම නොදනිමි.

දීප්ති කුමාර ගුණරත්න

2013

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here