ලංකාවේ ස්ත්‍රීවාදය කට කා ගත් බහුතර සිතන්නියන් සහ විලාසිතාමය ස්ත්‍රීවාදය වැළඳගත් ලිංගිකකරණය වූ පිරිමින් ‘ජීන් පෝල් සාත්‍රේ සහ සිමොන් දි බුවාර්’ සලකන්නේ, ප්‍රේමයේ පන්සල ලෙසය. 1949 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ ‘දෙවන අනෙකා’ (The Second Sex) කෘතිය අදටත් සිංහල භාෂාවෙන් පළ නො වුව ද (වැඩකට නැති නවකතා පොත් විශාල ගණනක් පරිවර්තනය වන සන්දර්භයක) ලෝක සන්දර්භය සලකා බලන්නේ, ස්ත්‍රී විමුක්තියේ බයිබලය ලෙසිනි. ඇගේ කෘතියේ හරයාත්මක අදහස මෙලෙස සාරාංශගත කළ හැකි ය. “දිව්‍යමය සැලැස්මකින් තොරව මිනිසාව පැවැත්මට විසිකර ඇත. ඉන් අදහස් වන්නේ, මිනිසා ඉපදෙන්නේ නිදහස්ව බවයි. නමුත් සංස්කෘතිය සහ සභ්‍යත්වය විසින් ස්ත්‍රියව යම් අච්චුවකට යටත් කරයි”. සාත්‍රේගේ ජීවන දර්ශනය වූ සාංදෘෂ්ටිකවාදයට අනුව මිනිසාගේ හර පද්ධතියට වඩා පැවැත්ම මූලික ය. බොහෝවිට, පැවැත්ම සාරයක් කොට ගන්නේ පිරිමින් ය. ස්ත්‍රීන් වඩා මූලික කොට සලකන්නේ, පැවැත්මයි. සිමොන් දි බුවාර්ගේ ස්ත්‍රීවාදි රැල්ල විසින් නියෝජනය කරන ලද්දේ පිරිමින් හා ”සම අයිතිය” සෑම ක්ෂේත්‍රයකදී ම සමාන විය යුතු බව ය.
ජනප්‍රිය සංස්කෘතියේ අයිකන බවට පත් වූ රිචට් බර්ටන්- එලිසබෙත් ටේලර් හෝ ලංකාවේ එඩී ජයමාන්න- රුක්මණී දේවි වැනි ජෝඩු පරිදි දර්ශනය විෂයේදී ලෝක ප්‍රකට ජෝඩුව වූයේ, සාත්‍රේ සහ සිමොන් දි බුවාර් ය. මොවුන් මධ්‍යම පන්තිකයන් ය. නමුත් දර්ශනයේ මූලය වන ‘හිස් බව’ ගවේෂණය කිරීම නිසා ඔවුන් ද තමන්ව සලකන ලද්දේ අල්පේච්ඡ නිර්ධයන් ලෙසිනි.
නමුත් අද මගේ ප්‍රශ්නය තුළින් මට කතා කිරීමට අවශ්‍ය වන්නේ, ඔවුන්ගේ ස්ත්‍රීවාදය ගැන නොවේ. පසුගිය වසර කිහිපයක දී ‘සාත්‍රේ-සිමොන්’ ගැන පොත් කිහිපයක් පළ වූ අතර එමඟින් ඔවුන්ගේ ආත්මීයත්වය නොහොත් රහස් ජීවිතය විදාරණය විය. මෙම අන්තර්ගතයන්ගේ ජාගර කොටස වෙනුවට අප අවධානය යොමු කළ යුත්තේ, ‘නිදහස’ පිළිබඳ බුර්ෂුවා සන්දර්භයට ය. ‘නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය’ යනු, ප්‍රංශ විප්ලවයේ මුඛ්‍ය සටන් පාඨයන් ය. රජතුමා සහ වංශාධිපතියන්ගේ ප්‍රජා සමාජය තුළ වෙළඳ සමාජ සබඳතා වලට සමාන පදනමක් නැති නිසා, ගැසූ කැරැල්ල නිසා හට ගත් ඵලය වන්නේ ප්‍රංශ විප්ලවය යි. බොල්ෂෙවික් විප්ලවය යනු, ප්‍රාග්ධනයට එරෙහි කැරැල්ලකි. ඒ නිසා, බොල්ෂෙවිකයන් යනු මධ්‍යම පාන්තිකයන් නොවේ. මෙම විප්ලව දෙකෙහි වෙනස වටහා ගැනීම දුෂ්කර ය. ඇලන් බදියු වැනි නූතන දාර්ශනිකයෙකු පවා මේ වෙනස නිවැරදිව නො කියවයි. [‘සාත්‍රේ-සිමොන්’ තමන්ගේ ම රහස් ලිවූ නිසා ඔවුන් නරුමවාදී නැත.]
ලංකාව ද ඇතුළත්ව ලොව පුරා බොහෝ වාමාංශිකයන් සාත්‍රේ-සිමොන් ජෝඩුව කියවන්නේ, සාමූහිකත්වය සමඟ සුවිශේෂව බද්ධ කළ හැකි ආදරවන්තයන් දෙදෙනකු ලෙසිනි. අර්නෙස්ටෝ චේගෙවාරා සමඟ සාත්‍රේ-සිමොන්ගේ ජනප්‍රිය ඡායාරූපය මීට කදිම සාක්ෂියකි.
නමුත් සමකාලීන කෘති මඟින් ඊට වඩා වෙනස් පින්තූරයක් පෙන්වමින් තිබේ. අප මෙම නව අන්තර්ගතය කියවිය යුත්තේ, දේශපාලන නිරවද්‍යතාවයෙන් නොවේ. කවුරුත් දන්නා පරිදි, ‘සාත්‍රේ-සිමොන්’ යනු, විවාහ නොවූ නමුත් එකට ජීවත්වීමට පොරොන්දු වූ දෙදෙනෙකි. ඔවුන් අතර ගිවිසුම වූයේ, ඔවුන්ගේ සම්බන්ධයට ඇතුල් වන්නෙකුට නො කියන දෙයක් ඇත යන්න ය. බොහෝවිට, සිමොන්ට සාත්‍රේ හැර වෙනත් පිරිමින් විශාල සංඛ්‍යාවක් සිටි අතර ඔවුන් සමඟ ඇය නිදා ගත් විට ඉන් ඇය ලබන රසය සාත්‍රේට කතාවක් හැටියට කිය යි. (මෙය ධර්මදාසගේ sex කතා සමඟ පටලවා නො ගන්න. ලාස් වොන් ට්‍රියර්ගේ ‘Breaking The Waves’ චිත්‍රපටයේ කතා නායිකාව වන බෙස් විසින් ද තම අකර්මණ්‍ය සැමියාට තම ලිංගික අත්දැකීම් වචන බවට පෙරළා කිය යි. ස්ත්‍රිය පිරිමියාට වඩා ගැඹුරින් ආත්මයක් වන්නේ, මෙතැනදී ය. ආශාව යන්නට සැබෑ අර්ථයක් ජනනය වන්නේ, ආශාව පරාර්ථක නැතහොත් අනෙකාගේ ආශාව හා බද්ධ වූ විට ය. ස්ත්‍රිය වඩා නියුරෝසික ලෙස අනෙකාගේ ආශාව හරහා මාරාන්තික ලෙස අනන්තයට ම ගමන් කරයි. මෙය ඊර්ෂ්‍යාවේ කණපිටයි. එනම්, දෙවියන් හා මුහු වීමයි).
හේගල් සාකච්ඡා කරන ‘මාස්ටර් සහ සේවක’ හෝ ‘ස්වපීඩා-පරපීඩා’ ලිංගිකත්වයේ සන්දර්භය වන්නේ, කෙනෙකුට සවිඥාණක වීමට (තමාට තමා ගැන දැන ගැනීමට) නම් අනෙකෙකු ඇතුළට ගමන් කළ යුතු අතර ශුක්‍රය එළියට යනවා සේ ආත්මීයත්වය ද අනෙකා හරහා එළියට ගමන් කරයි (බහි ආත්මීයත්වය- Extimacy- The sharing of experiences or thoughts usually considered private. Coined to suggest an opposition to “intimacy.”). පිරිමින් සවිඥාණක වීමට ලැජ්ජා වන අතර ස්ත්‍රීන්ට ඊට කිසිදු බියක් නැත. පිරිමින් බොහෝ විට ස්ත්‍රීන්ගේ වීරත්වයට රහසින් ඊර්ෂ්‍යා කරන්නේ, පිරිමි ලෝකය තුළ රහස් හෙළි වීම තත්වය බාල්දු වීමක් කොට ගන්නා නිසා ය. හේගල්ගේ සමතික්‍රමණය (Sublimation) තුළ එකිනෙකට පටහැනි අදහස් දෙකක් ඇත. එකක්, සංරක්ෂණය යි. අනෙක, අහෝසි කිරීම යි. පිරිමින් බොහෝ විට, අනෙකාව නිෂේධනය කරන්නේ, ස්ව-පැවැත්ම සංරක්ෂණය කිරීමට ය. ස්ත්‍රීන් අනෙකාව නිශේධනය කිරීම හරහා තමාවම නිශේධනය කර ගනී. වොන් ට්‍රියර්ගේ චිත්‍රපටය අවසානයේ දී ‘බෙස්’ මිය යන විට, පල්ලියේ ඝණ්ඨාර හඬ නැංවෙයි. ආදරය යනු, තමාව අතුරුදහන් කර අනෙකාව උත්පාද කිරීමයි.
මෑතක දී පළ කළ පොත් පත් බොහොමයක ලුබ්ධි ආර්ථික න්‍යායට අනුව සිමොන් යනු, සාත්‍රේගේ පිම්පියෙක් ලෙස සලකා ඇත. සාත්‍රේ කන්‍යාවියන් සමඟ රමණයේ යෙදීමට රුචි කළ අතර සිමොන් තමන්ගේ ගැටවර ශිෂ්‍යයාවන් ඒ සඳහා නම්මවාගෙන සාත්‍රේ සමඟ නිදා ගැනීමට පෙළඹ වූයේ ය. නමුත් කන්‍යාවියන් සමඟ නිදාගත් පසු එහි රසයන් සිමොන්ට වචනයෙන් කිවීමක් සිදු වන්නේ නැත. මේ හේතුව නිසා, ළමයින්ගේ දෙමාපියන් පැමිණිලි කළ නිසා සිමොන්ගේ ගුරු අවසර පත්‍රය ප්‍රංශ රජය විසින් අහෝසි කර දමන ලදී. මීට අමතරව, සාත්‍රේ සමඟ නිදා ගන්නා ශිෂ්‍යාවන් ගැබ් ගත් පසු ගබ්සාවන් සඳහා ස්ථානවලට යොමු කරන්නේ ද සිමොන් ය. එක් වරකදී, එක් ශිෂ්‍යාවක් මෙම ගබ්සා ක්‍රියාවලිය නිසා මරණාසන්නයට පත් විය. සාත්‍රේ නිසා සිමොන් ‘ද්වි-ලිංගික’ (Bisexual) විය. ඇය පිරිමියෙකු සමඟ නිදාගත් පසු ඒ ගැන රසවත් විස්තරයක් සාත්‍රේ ට කරයි. ඔවුන් අතර තිබූ එකඟතා ගිවිසුමට අනුව තෙවැන්නෙකු ඔවුන්ගේ සම්බන්ධයට හානිකර ලෙස ඇතුල් වන්නේ නම්, ඔවුන්ගෙන් කෙනෙක් සිය අනෙකාගේ ජීවිතය විනාශ කර දමනු ලැබේ. ඒ පිළිබඳව බලවත් ප්‍රකෝපයකින් ජීවිත කතා ලියූ බොහෝ පිරිසක් ද වෙයි. සාත්‍රේ මානසික ආතතියෙන් ගැලවීමට කලක දී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකි. එහි දී ඔහුව රැක බලා ගන්නේ ද සිමොන් ය. මේ සියල්ල සිදුවන යුගයේ දී [1920 -46 ] ”දේශපාලන නිරවද්‍යභාවය”[PC] නම් ඇමරිකානු දෘෂ්ටිවාදය නො පැවති අතර ලිංගික හිංසනය යන්න ද සංකල්පගතව නො තිබුණේ ය. අද වැනි යුගයක දී නම්, මේ ජෝඩුව හිරේට යාම අනිවාර්ය ය.
In 1952 (or in 1951) the philosopher Simone de Beauvoir spent some time in Chicago visiting the writer Nelson Algren. During that visit the photographer Art Shay, who was Algren’s best friend and was 30 years old at that time, made his famous candid photo of Simone de Beauvoir getting dressed in the bathroom.
එසේ නම්, සිමොන් දි බුවාර් නම් ස්ත්‍රීවාදිනියගේ ජීවිතයේ විරුද්ධාභාසය අප වටහා ගන්නේ කෙසේ ද? ඇය ස්ත්‍රීවාදිනියක් වන අතරේම ඔම්ලට් සෑදීමට ගොස් බිත්තර විශාල ගණනක් බිඳ ඇත. යටත් විජිතයක්ව පැවැති රටක ජීවත් වූ පශ්චාත්-යටත් විජිත ස්ත්‍රීයක් සහ සිමොන් දි බුවාර් නම් ප්‍රංශ අධිරාජ්‍යයක්ව පැවති සහ විප්ලවයක් සිදු වූ රටක ස්ත්‍රියක් අතර වෙනස කුමක් ද?
අපි දැන් හේගල්ගේ ආප්තයකට යමු.
“ආත්මයට ස්වකීය ආශාව වටහාගත හැක්කේ, අන්‍යයෙකුගේ මැදිහත් වීම හරහා පමණි. වෙනත් වචනවලින් කිවහොත්, අනෙකාගේ ආශාව නම් මැදිහත් වීම ආත්මයට හඳුනා ගැනීමට නොහැකි වුවහොත්, ආශාවේ බාධාව ‘බාහිර දෙයක්’ ලෙස මිස ස්වකීය ආශාවක්- Self – consciousnesses – ලෙස නොවැටහේ”.
ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන පශ්චාත්-යටත්විජිත ස්ත්‍රියක්, සිමොන් දි බුවාර් මෙන් පිරිමියෙකු ඉදිරිපිට හැසිරෙන්නේ නැත. උදාහරණයක් ලෙස, සුනිලා අබේසේකර වැනි සිංහල ස්ත්‍රීවාදිනියක් ඇයට හමු වූ පිරිමින්ව සලකා බලන ලද්දේ, බාහිර සතුරෙකු ලෙස මිස ආදරයේ වගන්ති ඔස්සේ නොවේ.
නමුත් සිමොන් දි බුවාර් තම ආශාව ලෙස ගත්තේ, ජීන් පෝල් සාත්‍රේගේ ආශාව යි. එහිදී, ඇය ඔහු විඳින ‘ඇය නොවිඳින’ විනෝදයක් පරිකල්පනය කළේ නැත. සුනිලා මෙන් ඇය ද ද්වි-ලිංගික වුවත්, ඇය තමන්ගේ අභ්‍යන්තර මළපුඩුව දුටුවේ යථාර්ථයේ ගැටලුවක් ලෙසින් නොව ස්වකීය ආත්මයේ ගැටලුවක් ලෙසිනි.[Ontological Problem]
ඉහත අප සාකච්ඡා කරන ලද්දේ, සුනිලා/සිමොන් යන සහසම්බන්ධ ප්‍රතිපක්ෂය නොව ආශාව යනු, ෆැන්ටසියකින් සාක්ෂාත් වන ප්‍රපංචයක් නොවන බව ය. සුනිලා තම අනෙකා වූ පිරිමියාගේ විනෝදය ගැන ඊර්ෂ්‍යා කරන විට, සිමොන්ට සාත්‍රේ යනු ස්වකීය ආත්මයේ (ස්ව-අනන්‍යතාවයේ) මළ පුඩුවයි. කෙනෙකු සවිඥාණක වනවා යනු ; නැතහොත්, ස්වයං-අවබෝධය ලැබීම යනු, තමන්ගේ ආශාව අනෙකා වෙනුවෙන් කොන්දේසි විරහිතව කැප කිරීම බව අවබෝධ කර ගැනීමයි. ආදරය යනු, තමන්ව පාවා දී අනෙකාව පාවා නොදීමයි. සිමොන් දි බුවාර්ගේ ආදරයේ අක්ෂර වින්‍යාසය එය යි. ධනේශ්වර බුර්ෂුවා පවුලේ ලුබ්ධි-ආර්ථිකය සතු අතිරික්ත විනෝදයේ නිෂ්ටාව කෙළවර වන්නේ, ස්ත්‍රියගේ පැත්තෙන් ආදරයත්, පිරිමියාගේ පැත්තෙන් සමාජ පිළිගැනීමත් සහතික වීමෙනි. සිමොන් දි බුවාර් යනු, මඩෙහි හිටවන ලද නෙළුම් මලක් නොවේ. ඇය සාත්‍රේගේ ආශාව ඇයගේ ආශාව කොට ගත් නිසා ඇගේ දෑත් වල මඩ තැවරී ඇත. උදාහරණයක් ලෙස, සාත්‍රේ වෙනත් ස්ත්‍රීන් සමඟ නිදා ගන්නා විට සිමොන් ඒ ගැන විඳවන මුත් ඒ ගැන ලංකාදීපයේ ‘දෙයියෝ සාක්කි’ කොළමට ලියන්නේ නැත.
බුර්ෂුවා ස්ත්‍රීවාදී චින්තනයේ සීමාව සීමොන්ගේ ලිබරල් ස්ත්‍රීවාදී කතිකාවෙන් අවසන් වෙයි. ලිබරල් ස්ත්‍රීවාදයේ පරිණාමය වනාහි එක්තරා අන්දමක අනන්‍යතා දේශපාලනයකි. එමඟින්, ආදරය තහවුරු වන මුත් ලිංගික වෙනස අවධාරණය වන්නේ නැත.
අපි බුර්ෂුවා ලිබරල් ස්ත්‍රීවාදයෙන් ක්‍රමිකව මාක්ස්වාදී ස්ත්‍රීවාදය වෙත ගමන් කරන්නේ නම්, ‘පන්ති අරගලය’ තුළ ස්ත්‍රීවාදය පිහිටවිය යුතු ය. සරලව කිවහොත්, ලිංගික ආශාව මත පදනම් නොවී ‘වැඩ කිරීම’ (Working) නම් සංකල්පය මත පදනම්ව ‘ලිංගික වෙනස’ අතර වෙනස ප්‍රාග්ධනයට ඇති සම්බන්ධයට විදාරණය කළ යුතු ය. (උදා:- පවුල තුළ වැඩ කිරීම, වැඩ බෙදා ගැනීම, දරුවන් වැදීම, හැදීම, උගැන්වීම, ස්වෙච්චා ශ්‍රමය, ස්ත්‍රී වැඩවලට නො ගෙවීම)
අපි දැන්, ඉතාම කෙටි අනාගතවාදී බොල්ෂෙවික් ස්ත්‍රීවාදයකට ගමන් කරමු. පවතින ‘නූතන ආලය’ (Modern Love) හැමවිටම පාපයකි. මන්දයත්, එය ආදරවන්තයන්ගේ හදවත් සහ හැඟීම් පුද්ගලිකකරණය කොට සාමූහිකත්වයෙන් ජෝඩුව හුදෙකලා කරන නිසා ය. අනුන්ට පේන්න love කරන, ආදරයෙන් වැළඳගත් ආදරවන්තයන් දේශපාලනය දිහා බලන්නේ හිරිකිත දෘෂ්ටියකින් ය. බුර්ෂුවා සංස්කෘතිය තුළ වැඩ කිරීම සහ ආදරය කිරීම කියන්නේ, සහසම්බන්ධ ප්‍රතිපක්ෂයකි. ඔබ ආදරයට ප්‍රමුඛ ස්ථානයක් දීමට බලාපොරොත්තු වන විට, ආදරය/ වැඩ කිරීම යන ප්‍රතිපක්ෂයම අහිමි වෙනවා. දෙදෙනාම වැඩ කරන නූතන ධනවාදී පවුල තුළ ආදරයත්, වැඩ කිරීමත් යන ක්‍රියා දෙකම වරදකාරීත්ව හැඟීමකින් කෙළවර වීම අහම්බයක් නොවේ. අනෙකාට ගරු කිරීම අන්තවාදීව දිගු කළ විට ඉන් අදහස් වන්නේ, ඔබ ‘අනෙකාට’ කොහොමටවත් ගරු කරන්නේ නැති බවයි.
අනෙක් පසින්, හුදු වැඩ වලට පමණක් ප්‍රමුඛතාවය ලබා දීම පුරුෂ ප්‍රායෝගිකත්වයේ විපරිත ස්වරූපයක් බව වටහා ගැනීම දුෂ්කර නැත. වැඩ…. වැඩ යනු , සුපිරි-අහම විසින් විනෝද වීමට ඇති කරන අභ්‍යන්තරික බලහත්කාරය යි. අපි දැන්, ජෝඩුවේ දෙදෙනාම එකතු වී පොතක් කියවීම උදාහරණයක් ලෙස ගමු. මේ පොත කියවීම නිසා සමහරවිට සිප ගැනීම පවා අමතක වනු ඇත. මෙහි දී සිදු වන්නේ, වචනවල බලය විශ්වාස කිරීම සහ පොත් කියවීම නම් ක්‍රියාව ලිංගික කටයුත්තක් වීමයි. එය බුද්ධිමය ලිංගිකත්වයක් නොවේ. එවිට, ‘වැඩ කිරීම’ ආදරයක් බවට පෙරළෙන විට වැඩ කිරීම/ ආදරය යන බුර්ෂුවා බෙදීම ද අතුරුදහන් වෙයි.
ලෙනින්ගේ මධ්‍යම-කාරක සභාවේ සාමාජිකාවක් සහ බොල්ෂෙවික් විප්ලවවාදීනියක් වන ‘ඇලෙක්සැන්ඩ්‍රා කොලන්තායි’ විසින් යෝජනා කරන ‘කොමියුනිස්ට් ආදරය’ යනු, ඓතිහාසික විශ්ලේෂණයකි.
ශිෂ්ටාචාරයේ උදෑසන දී වැඩ කිරීම තුළ ‘පවුල තුළ සහ පවුලෙන් පිට’ යන භේදය හට ගත් නිසා ස්ත්‍රියගේ ශ්‍රමය ගෘහාශ්‍රිත විය. එහිදී, කෘෂිකර්මයට එනතුරු පවුල් බැඳීම යන්න ප්‍රමුඛ විය. ඒ අනුව, පවුලේ ඒකක තුළ ‘පවුල් ආදරය’ (ආදරය ඊඩිපස්කරණය වීම) අධිපති ආකෘතිය විය. නමුත් වහා ඉඩම මූලික කොටගත් ශිෂ්ටාචාරය ප්‍රමුඛ වීම මඟින් වැඩවසම් ක්‍රමය බිහි වූ අතර ඒ තුළ දී වංශාධිපතියන් සහ පවුලෙන් පිටත ‘ප්ලෝටෝනික ආලය’ අලුත් ආකෘතිය විය. එමගින්, රාජ සභාවේ ආදර අන්දරය පටන්ගත් අතර ඉන් නිරූපණය වූයේ, බලවත් පිරිමියෙකුට අයත් ස්ත්‍රියකට ආලය කිරීමේ මාරාන්තික ‘දස්කොන්’ ආකෘතිය යි. නමුත් 19 වන සියවස වන විට, වෙළදාම මූලික කොටගත් හුවමාරු සබඳකම් සහිත සමාජ ලෝකයක් බිහි විය. මෙම තත්වය එංගල්ස් විසින් ‘පවුල, පුද්ගලික දේපළ සහ රජය ඇති වූ සැටි’ යන පත්‍රිකාවෙන් පැහැදිලි කළේ ය. සමාජ ප්‍රති-නිෂ්පාදනයේ තැනුම් ඒකකය මෙම ධනවාදය තුළ ‘පවුල’ ලෙස ස්ථාපිත විය. රොමෑන්තික නොහොත් භාවාතීශමය ආදරය බිහි වූයේ, බුර්ෂුවා පවුල තුළ ය. නමුත් කොමියුනිස්ට් ආලය යනු, වැඩ කිරීම මත පදනම් වූ සහයෝගීතාවය හරහා මතුවන ‘ආදර-ක්‍රීඩාවයි’ (Game Love). කොමියුනිස්ට් ආලය යනු, ක්‍රීඩාවකි. මා ඉහත දී සාරාංශගත කරන ලද්දේ, කොලන්තායි විසින් ‘ආදරය’ සංකල්පය ඉතිහාසය දිගේ විචලනය වූ ආකාරයන් ය.
කොමියුනිස්ට් ආලයේ මූලික ආකෘතිය මෙලෙස සාරාංශගත කළ හැකි ය. ‘ඔබ පිරිමියෙකුගේ ඛේදවාචකයක ඛේදජනක වස්තුවක් වනවා වෙනුවට- ඇගේ ආත්මය විසින්ම නිපදවන ඛේදවාචකයක කතා නායිකාව වෙන්නට ඉඩ හැරීම කොමියුනිස්ට් ආදරයේ ප්‍රථම පියවරයි’. මෙම නව සන්දර්භය නිසා, කොමියුනිස්ට් ශෘංගාරය එහි භාවිතාවේ ම එම රීතීන් තුළින්, එනම් ඊට අන්තරස්ථව සදාචාරය ගොඩනඟයි. කොමියුනිස්ට් ආලයේ දී ලිංගික ආලය අපට නිදහස් ශරීරවල ජීව රසායන ක්‍රියාවක් ලෙසින් ද වටහා ගත හැකි ය. එය රොමෑන්තික නොවන්නේ, ශරීරවල යක්ෂාවේශය බාහිර අරුත්වලින් නිදහස්ව ගොඩනැගිය හැකි නිසා ය. (ඕනෑම ලිංගික සබඳතාවයක මානසිකව ඉන්නේ, ‘ස්ත්‍රී/ පුරුෂයන්’ පමණක් නිසා) ‘කොමියුනිස්ට් ආලය’ ලුබ්ධිමය එකක් නොවන තැනකට අනාගත දිනක දී සේන්දු වනු ඇත. අතිරික්තයකින් ජ්වලනය නොවන හිත් දෙකක් ශරීර දෙකක් හමුවන නිසා ‘භෞතික විද්‍යාවට’ අධ්‍යාත්ම විද්‍යාව බිය නොවනු ඇත. සිමොන් දි බුවාර් විසින් ජීන් පෝල් සාත්‍රේගේ සොහොන ඉදිරිපිට දී කළ ප්‍රතිඥාව මෙහි දී වැදගත්ය. (පසමිතුරුභාවයේ සාක්ෂරභාවය)
“ඔහුගේ මරණය අපව වෙන් කරා
මගේ මරණය අපි යළි එකතු නොකරයි ”
‘ආදරය’ට මිනිස් ඇගයීමක් ලබා දී එය දාර්ශනිකකරණය නොකර සිටින්නට පුළුවන් නම්, ආදරයට හොඳ ය. ආදරයේ දී ඔබ නිර්මාණය කරන ප්‍රහේලිකාව ඉදිරිපිට මම නිශ්ශබ්ද නම් ‘අතිරික්තය’ මෙලොවින් අතුරුදහන් වනු ඇත. ආදරය පිළිබඳ මගේ පණත මෙසේ ය. ‘මරණය තෙක් මම ඔබ ගැන නොකියනු ඇත’. සාමූහිකත්වය තුළ මා තනි නොවන්නේ ඒ නිසා ය. මගේ සතුරන්ට සහ මිතුරන්ට මෙසේ කියමි. ”ඔබ ද දන්නා පරිදි මම ඔබ ගැන බොරු හැර ඇත්ත කියා නැත”.
Go to the other like as follows.
Deepthi kumara Gunarathne.
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
අයදුම් කිරීමට මෙතන Click කරන්න
සමබිම පක්ෂය
හොඳ ලිපියකි
Comments are closed.