පසුගිය දිනෙක ජාතිවාදී භික්ෂුවක් අනුර කුමාර සහෝදරයාට කළ නරුම විවේචනයට පසුව වම අතර ඇති විවාදයේ දී අප පරිස්සම් විය යුතු ය. ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් ද්‍රවිඩ අරගලයට එරෙහිව උසි ගැන්වූ පිස්සු බල්ලන් ඔවුන් පසුපස පැන්නීම දැන් ආරම්භ වී ඇත. ලංකාවේ දේශපාලනය ගැන අද ඇත්තේ, ‘ජනප්‍රිය මනස’ -Pop Psych – විසින් තප්පුලන මනෝභ්‍රාන්තීන්ය. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය නම් විපරිත අවකාශය නිසා මහජනයා ‘සමාජ ගැටලු’ සම්බන්ධයෙන් අන් කවරදාකටවත් වඩා අඳුරක ගිලී ඇත. කොටියෙක් එනවා යැයි විවිධ මොහොතවල් වල බය කළ ‘කොටියා’ ඇත්තටම ඒමට නියමිතය.

                 නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සීතල යුද්ධ සමයේ අතපෙවීම් මානයක් තිබුනේ නැත. විශේෂයෙන්, ‘යටත්විජිතවාදයට’ පසුව දකුණු ආසියාව සහ අප්‍රිකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයට අමුද්‍රව්‍ය වලටවත් එතරම් උනන්දුවක් තිබුණේ නැත. ලතින් ඇමරිකානු මහද්වීපය සම්බන්ධයෙන් නම් කියුබානු විප්ලවයට පසුව එක්සත් ජනපදයට උපාය මාර්ගයක් පැවතියේ ය. එය අභ්‍යන්තර ගැටුම් විසඳීම සඳහා වූ ද්විත්ව උපාය මාර්ගික වැඩසටහනකි.

1.ප්‍රතිකැරලි න්‍යාය යුධ හමුදාවට පුහුණු කිරීම හරහා කැරලිකරුවන් විනාශ කිරීම.[Counterintelligence] ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී වීම.

2.මානව-හිමිකම් ප්‍රවර්ධනය, පුහුණුව සහ මැදිහත්වීම සඳහා පුද්ගලයන් නිර්මාණය කිරීම. රාජ්‍යය ඉක්මවා ගිය අධි යාන්ත්‍රණයක් හරහා යටත්විජිත නොවන ආකෘතියකින් ගැටුමට සම්බන්ධ වීම. (එක්සත් ජාතීන් හරහා බලවත් ජාතීන් ක්‍රියාත්මක කරවන්නේ මෙම යාන්ත්‍රණය යි.) ‍ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කිරීමට සිවිල් සමාජය යොදා ගැනීම.

 

                    වර්තමාන භූ දේශපාලනික සන්දර්භය තුළ එක්සත් ජනපදය ඇතුළුව අනෙකුත් බලවත් ජාතීන් ඉහත උපාය මාර්ගික සැලැස්ම හරහා තනි රටක ”දෙවර්ගයක” මිනිසුන්ව බිහි කරනු ලැබේ. බ්‍රිගේඩියර් නිලයට ඉහළ නිලධාරීන්ට ප්‍රති-කැරලි න්‍යාය උගන්වන අතර මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට මානව හිමිකම් නීතිය ඇතුළුව මානව හිමිකම් උද්ඝෝෂණ ආකෘතියක් උගැන්වීම එක්සත් ජනපද සාර්ව උපාය මාර්ගික සැලැස්මයි. මෙම තත්ත්වය මගින් මාඕගේ සම්භාව්‍ය ප්‍රතිවිරෝධතාවයන් කළමනාකරණය කිරීමේ සන්දර්භය තහවුරු වෙයි. එනම්, ප්‍රතිපක්ෂයන්ගේ එකමුතුව විනිවිදීම සහ වෙනස් වීමයි. වාර්ගික ගැටලුව හරහා එකම රටක් තුළ චින්තන ආකෘති දෙකක් බිහි වීම එක්සත් ජනපද උපාය මාර්ගික සැලැස්මේ ගුණාත්මක පරිවර්තනයක් මිස හුදු ආගම හෝ භාෂාව මත පදනම් වන සංස්කෘතික ගැටලුවක් නොවේ. ඒ අනුව, සරත් ෆොන්සේකා, ශවේන්ද්‍ර සිල්වා වැනි චරිත එක පසෙකින් බිහි වන අතර අනෙක් පසින් ජාතිවාදීන් බිහි වෙයි.

                      මා ඉහත නිගමනවලට ආවේ, හුදු වියුක්ත සංකල්පීයකරණය හරහා පමණක් නොවේ. ඒ සඳහා, මගේ දේශපාලන ජීවිතයේ ක්ෂේත්‍ර සටහන් සහ නිරීක්ෂණයන් ද අදාළ ය. ‘Rights Now’ සංවිධානයේ උන්මුල දෝෂය හටගන්නේ, ඉහත උභයාවේගී එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය හරහා ය. මින් අදහස් වන්නේ, වාර්ගික ගැටලුව අරබයා විසඳුමක් ඒමට නියමිත වන්නේ ආත්ම මූලික සන්දර්භයක දී පමණක් යන්න ය. අනාගත දිනෙක එක්සත් ජනපදයේ ජනාධිපතිගේ බිරිඳ සමඟ නිදා ගන්නා දක්ෂ දෙමළ කොල්ලෙකුට දැනට සිතාගත නොහැකි බොහෝ දේවල් කළ හැකි ය. කටාර් අර්බුදය දියත් කරන ලද්දේ සහ ජේරුසලමට එක්සත් ජනපද තානාපති කාර්යාලය ගෙන ගියේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජෙරාඞ් කූෂ්නර් විසිනි. බොලීවියාවේ තාවකාලික ජනාධිපතිවරයා බලයෙන් පහ කරන ලද්දේ, මොරාලෙස්ගේ ඔත්තුකරුවෙකු විසින් porn-hub වෙතට නිකුත් කළ නිල් චිත්‍රපටියක් මඟිනි. පශ්චාත්-නූතන ධනවාදයේ බල යාන්ත්‍රණය එතරම් අශ්ලීල ය.

               ‘Rights Now’ මානව හිමිකම් ආයතනයේ 2014 වර්ෂය වන විට ඇති වූ ‘ගෑණු කුණාටුව’ දීප්තිගේ දුර්වලතාවයක් හෝ ‘පුද්ගලික ජීවිතේ ගැටලුවක්’ ලෙසින් අභිෂේක ලැබීම ද ඒ අනුව අහම්බයක් නොවේ. නූතන බල ක්‍රීඩාව තුළ බලය පතුරුවන අය මෙන්ම එහි ගොදුරු ද උත්කර්ෂණය වනවා මිස නින්දාවට පත් වන්නේ නැත. වම/ දකුණ සහ සමාජවාදය/ ලිබරල්වාදය නොතකා දෙපිරිසම එකසේ අශ්ලීල ය.

                  පසුගිය දිනෙක අම්බලවානර් සිවානන්දගේ ‘when memory dies’ කෘතිය වෙනුවෙන් පවත්වන ලද දේශනයේ දී රෝහිත භාෂණ සහෝදරයා මෙසේ ප්‍රකාශ කරන ලදී. “මුල්ලිවෛයික්කාල් කියන්නේ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාර ඛණ්ඩනය යි”. 

                    මම ඔහුගේ අදහසට තව එකතු කිරීමක් කරමි. මෙම ශිෂ්ටාචාර ඛණ්ඩනයට උර දුන්නේ, එක්සත් ජනපදය නොව මහජන චීනය යි. ඒ අනුව “මුල්ලිවෛයික්කාල් යනු, සමාජවාදී ශිෂ්ටාචාරයේ අවසානය යි.” මින්පසු, මහජන චීනයට සමාජවාදය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. ජනතා විමුක්ති පෙරමුණට ද එය අදාළ ය. ලංකාවට රාජපක්ෂලා හඳුන්වා දුන්නේ, ඔවුන් ය. එසේ නැතිව රාජපක්ෂලා අහසින් කඩා වැටුණු මිනිසුන් නොවේ. ධනවාදී විචාරය වෙනුවට ලංකාවට වර්ගවාදය හඳුන්වා දුන්නේ ද ජවිපෙය.

                 භාෂණගේ අදහස් ඉදිරිපත් කිරීමට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිර්මිතය වර්ග සංහාරකය. අයුක්තිය හෝ අසාධාරණය දේශපාලනිකව මතු කිරීම වෙනුවට අද වන විට වාමාංශයත් ඇතුළුව මතු කරන්නේ, භාෂාව, ආගම හා අනන්‍යතාවය ආශ්‍රිත සංස්කෘතික ගැටලු ය. ඔහු නොකී දෙය මෙලෙස එකතු කළ හැකි ය. ඉංග්‍රීසි යටත්විජිතවාදයට පසුව නූතන රාජ්‍යයක් බිහි කිරීමට ඉතාම ධෛර්යසම්පන්නව සටන් කර ඇත්තේ, දෙමළ ජාතිය යි. ලංකාවේ වම පවා ‘නූතන රාජ්‍යයක්’ නිපදවීමේ ව්‍යාපෘතිය අතහැර දමා තිබේ. ලංකාවේ අලුතින් තැනිය යුත්තේ, ව්‍යවස්ථාවක් නොව රාජ්‍යයකි.

Inside of American imperialism

                පසුගිය දිනෙක විමල් කැටපේ විසින් මතු කරන ලද්දේ, ‘උමාරියා සිංහවංශට’ සිදු වූ පුරුෂ අසාධාරණය යි. තරංගා කුලරත්න අවධානය යොමු කරන්නේ ද ස්ත්‍රීන්ට බීමට ඇති අයිතිය ජවිපෙ මර්ධනය කළ බවයි. මේ ප්‍රශ්න සියල්ල දේශපාලනය සංස්කෘතිකකරණය කිරීමක් පමණි. නියම පසමිතුරුභාවය මේ මොහොතේ තිබෙන්නේ, ‘වර්ග සංහාරය’ සහ ශිෂ්ටාචාරය අතර මිස සංස්කෘතික ජීවිතයේ පොහොසත්භාවය තුළ නොවේ. මෙවැනි විරෝධාකල්ප යහමින් තමන්ගේ පිටේ එල්ලා ගන්නා අයට ඇත්තේ, අනන්‍යතා ගැටලුවක් මිස ශිෂ්ටාචාර ගැටලුවක් නොවේ. සූරාකෑම පිළිබඳ ගැටලුව ‘වාර්ගික සතුරෙකු’ දක්වා පල්ලම් බැස ඇත.

                විමල් වීරවංශ 1993 දී බිම නිදා ගත්තේ පත්තර කඩදාසි මත ය. ඔහු දැන් නතර වී සිටින්නේ, BMW 7 Series වාහනයක් තුළ ය. විමල් කැටපේ අපට කියන්නේ, ඔහු මේ ‘සමාජ ක්‍රමයට’ තවදුරටත් ආශා කරන බව ය. නමුත් රෝහිත භාෂණ හෝ 80 දශකයේ දී ජාතික ගැටලුව වෙනුවෙන් එඩිතරව පෙනී සිටි උඩුවරගේ හෙන්රි සහෝදරයා අපට කියන්නේ, ලංකාවේ ශිෂ්ටාචාර අර්බුදය ගැන ය. ‘හිස් බව’ හැර වෙනත් කිසිම අනන්‍යතාවයක් දැන් අපට හිමි නැත.

                උමාරියාට විප්ලවයට අඬ ගැසීම තරම් නාස්තිකවාදී ස්ථාවරයක් තවත් නැත. අපි මේ දැන් ගෙවන ජීවිතයට කුමන හෝ සාංදෘෂ්ටික අර්ථයක් යෝජනා කරන්නෙකු ජීවත් විය යුත්තේ කටුගෙයක් තුළ ය. ‘Joker’ චිත්‍රපටයේ වීරයාගේ වෙස් මුහුණට යටින් උණුසුම් හදවතක් ඇති මිනිසෙක් නැත. එපරිදිම කැටපේ හෝ තරංගා යට තෙත හදවතක් නැත. ඔවුන් දෙදෙනාම තම ජීවිත තුළ ආතෘප්තියකින් තොර පාරිභෝගිකයන් ය. ඔවුන්ට පෙන්වා දීමට පරමාදර්ශ නැත. 89 වර්ෂයේ දී, මහින්ද/ වාසු මානව හිමිකම් සැසියට සහභාගී වීම ලංකාවේ අභ්‍යන්තර ගැටලුවකට අතපෙවීමක් නොවන්නා සේම අද ද ‘මානව හිමිකම්’ ගැන ජිනීවා හි කතා කිරීම රටේ අභ්‍යන්තරයට අත පෙවීමක් නොවේ. අතපෙවීම් ඒමට නියමිත වන්නේ, 2025 වර්ෂයේ Port City ව්‍යාපෘතිය අවසන් කළ පසුව ය. 

Deepthi

++++++++++++++++++++++++++++++++++++++++++++

Click below.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

                 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. 2025 වර්ෂයේ PORT CITY ව්‍යාපෘතිය අවසන් කළ පසුව ය. – බොහෝවිට නිවැරදි විය හැකි අනාවැකියකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here