පසුගිය සෙනසුරාදා දිනය විශේෂයෙන්ම  වෙන් කර ගත්තේ  අසාර්ථක විප්ලවයන් දෙකකට නායකත්වය දුන් අපූර්ව මිනිසෙකු ගැන වූ වෘත්තාන්ත චිත්‍රපටයක් නැරඹීමටය. මා උදක්ම ගියේ,  මාද  සෝවියට් දේශයේ උගෙනුම ලැබූවකු නිසා,  හැට ගණන් වල වැනි ඈත කාලයක  සෝවියට් දේශයේ ඉගෙනුමට ගොස් නැවත  පැමිණ  සමාජවාදී විප්ලවයක් දියත් කළ විප්ලව වාදියෙකු ගේ විප්ලවීය  දිවිය ධනවාදී රටක  සුළු ධනේශ්වර දිවියක් ගෙවන  අප වැන්නවුන් ට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද  යන්න වටහා ගැනීමට චිත්‍රපටය උදව්වක් වනු ඇති යයි සිතාය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන අනුරුද්ධ ජයසිංහ මහතා තමන් හිටපු ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් බව  සරසවිය පුවත්පතට පවසා තිබුණි. ඒ අනුව  එතුමා තමන්ගේම  අත්දැකීම් සහ විජේවීර සහෝදරයා ට  තිබෙන අප්‍රමාණ ගෞරවය මත මේ චිත්‍රපටය නිර්මාණය කළ බවට අපට උපකල්පනය කළ හැකිය.   වඩා සුපරික්ෂාකාරිව විමසා බැලුවහොත්  රන්ජන් රාමනායක පන්නයේ චිත්‍රපට වලට වඩා  මෙය ඉතා උසස් සිනමා කෘතියක් බව නොකියා බැරිය.  සැබවින්ම පවසනවා නම් පිට රටවල  දිවි ගෙවන විප්‍රවාසීන් වන අප වාසනාවන්තයයෝ වෙමු.ඒ ඉතා හොඳ  හොඳ නිර්මාණශීලි  සිංහල චිත්‍රපට කිහිපයක්ම පසුගිය සමයේ නැරඹීමට හැකි වූ බැවිනි.

අනුරුද්ධ ජයසිංහ මහතා තෝරා ගත් නළු නිළි සමූහය ම විශිෂ්ඨ ලෙස තම රංගනයෙන් මේ සිනමා කෘතියේ දායකත්වය සැපයූ බව සඳහන් කළ යුතුයි.  කමල් අද්දර ආරච්චි යනු  කොහොමත් විශිෂ්ඨයෙකි. ඔහුගේ රංගන කුසලතාවන් පිලිබඳ විවාදයක් නැති අතර ඇතැම් සුළු තත්පර ගණනකට ඔහුට විජේවීර මගහැරී ගියත් අනුරුද්ධ වෙනුවෙනුත් අප වෙනුවෙනුත් ඔහු සාධාරණය ඉටු කොට තිබේ.    නේ.  උපතිස්ස ගමනායක  ලෙස  ජගත් මනුවර්ණත් රංගනයෙන් ප්‍රබල සහයක් කමල්ට  දී තිබේ. විජේවීරගේ බිරිඳ ලෙස රඟපාන සුලෝචනාද , එතකොට සිරි අයියා, ලයියා හා නන්දන මාරසිංහ ගේ චරිත ද විහිද යන සිනමා පටයට නොමද ආලෝකයක් සපයා ඇත. එසේම ධනුෂ්ක ගුණතිලක නැවතත් තමන් සිනමා කැමරාකරණයේ ඇති දක්ෂයෙකු බව ඔප්පු කර ඇත.

 ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලයනල්  බෝපගේ මහත්මය සමගද කතා බහ කර උපදෙස් ලබා ගත් බව පවසා ඇති නිසා චිත්‍රපටයේ  ඒ මහතා සම්බන්ධ සිදුවීම්  ගොඩක් දුරට සැබැවින්ම සිදුවූ ඒවා යයි ද  උපකල්පනය කළ හැකිය.

නදීක ගුරුගේ ගේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට බොහෝ සමාන යයි මට සිතුනි. සැබවින්ම ඉතා  නිර්මාණශීලි ආකාරයට  නදීක ගුරුග තම කාර්යය මැනවින් ඉටු කර තිබේ. චිත්‍රපටයේ සංගීතය අළලා වෙනම සී ඩී පටයක් වත් නිර්මාණය කිරීමට ඔහුට අදහසක් ඇත්තේ දැයි නොදනිමි. නමුත් මට නැගුන එක සිතිවිල්ලක් නම්  නන්දන මාරසිංහගේ විමුක්ති ගී වලින් ඒ දිනවල  ජනප්‍රිය වූ  ගීතයක් වත් ඇතුළත් කළානම් වඩා සාධාරණයක් ඉටු කිරීමට හැකිව තිබුනා යයි කියාය.
ඒ දිනවල හොරෙන් වාගේ අහපු  “සති පූජා දර සෑයේ , හිර වී මොට්ක්ටැක්කිලියේ , සාර සංඛ්‍ය කප්  සියයක් වධයට කැපවූ කතුනේ ” වගේ ගීතයක කොටසක් හෝ  වාදනය වුණා නම් කියා නොස්ටැල්ජික හිතිවිල්ලක්ද පැන නැගුණි.

නන්දන මාරසිංහ ගැනද  සිහියට නැගුනේ මේ ආකාරයටය..
මට සිතෙන්නේ  නන්දන මාරසිංහ ඝාතනය සාධාරණීකරනය කිරීමක් යාන්තමට වගේ හැඟවුණු බවයි. චිත්‍රපටයේ “නන්දන සහෝදරයා  ව”  ඔහු සිටින අවසාන දර්ශනයක පෙන්වන්නේ නරඹන්නාට  පිටුපස හරවා ගෙන මේසයක  හිඳගෙන කාටදෝ කිසියම් දෙයක් පවසන ආකාරයකිනි. මට පෙනුනේ ඒ  නන්දනට එරෙහිව නගා ඇති “පොලිසියට ඔත්තු දීමක් ” යන චෝදනාව අනුමත කිරීමක් වශයෙනි. ඊටත්  අමතරව විජේවීර සහෝදරයා කෙලින්ම නන්දන විවේචනය කරන තැනක්ද චිත්‍රපටයේ අනවශ්‍ය ලෙස ඇතුළත් කර ඇත. මට සිතුනේ මේ නම් නන්දන  මරා  දැමීමේ  තීරණයේ කැළල මග හරවා ගැනීමට කළ උපක්‍රමයක් ලෙසය.

ලන්ඩනයේ වෙසෙන  පැරණි විප්ලව වාදියෙකු වන ගාමිණී මුතුකුමාරණ සහෝදරයා මා සමග දිනක් දීර්ඝ වාදයක පැටලුනේ මේ ගැනය . ඒ මහතා දැඩි ලෙසින් අවධාරණය කර පැවසුවේ,  නන්දන  අනුරාධපුර පොලිසියට යන බව ඔහු පෞද්ගලිකවම දන්නා බවයි.    හේතුව එවැනි වූ අවස්ථාවක  ඔහුද සිටියේ  අනුරාධපුර පොලිසියේ කූඩුවක බවයි.

නමුත් ලන්ඩනයේදී   මට හමුවුන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා කීවේ වෙන කතාවකි. මා ලෙසින්ම ආචාර්ය සුනිල්ද  ඉගෙනුම ලැබුවේ  සෝවියට් දේශයේය. එසේම  විජේවීර මහතා ලෙසින්ම  ලුමුම්බා විශ්ව විද්‍යාලයේය. ඔහුත්,  සුනිලා  අබේසේකරත්  (මේ කියන්නේ අර ” සොඳුරු සයනේ ගීතය” භාවාත්මක ලෙස ගයන , කාන්තා විමුක්තිය වෙනුවෙන් අභිතව නිරතුරුව සටන් කල , 71 කැරැල්ලටද   සම්බන්ධව සිටි වීර සහෝදරිය ගැනය.) නන්දන ගේ ඝාතනයට  කලින් දිනක රැයේ සුනිලා සහ සුනිල් හිඳ ඇත්තේ නන්දන සමග අනුරාධපුරයේය. ඔවුන් ඝාතනය කිරීමට නියමිත බව  ජවිපෙ හිතවතෙකු ගෙන්ම  ඔත්තුවක්  ලැබී තිබේ. සුනිලාත් , සුනිලුත්   නන්දනට ආයාචනා කලේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවී  සිටින ලෙසය. නන්දන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ  “ජවිපෙ කොල්ලෝ ඔහුට  ‘තියන්නට’ නොඑන බවට” දැඩි විශ්වාසයක් පල  කරමිනි . පොලිසියට ඔත්තු සපයන අයෙකුට එවැනි විශ්වාසයක් තිබිය හැකිද?  අවම වශයෙන් පොඩි හෝ  සැකයක් මතු වන්නේ නැත්ද?
මේ මම 2016 දී නන්දන මාරසිංහ  ගැන ලියූ  ලිපියකි. නන්දන මාරසිංහ ගේ මරණය. මෙහි  රන්ජි නම් සහෝදරයා තරමක  වෙනස් ආකාරයක අන්දරයක් පවසයි.

චිත්‍රපටයේ අනවශ්‍ය ලෙස සඳහන් වන තව අයෙක් නම්  දයාන් ජයතිලකය. අද දින කෙසේ වෙතත් එදානම්  ජවිපෙ  සිටියේ දයාන් විරෝධීවය. මට මතක අහ්ටියට ඒ දිනවල  “කොක්ක ගහන්නට ” පැමිණි සහෝදරයෙකු කීවේ දයාන් සීඅයිඒ කාරයෙක් බවය. ඔහු ඉටු කරන්නේ ශ්‍රී ලංකාවේ සීඅයිඒ ව්‍යපෘති බවය. ඉතින් ඒ නිසාම  මම දයාන්ගේ දේශන කිහිපයකට ගියෙමි. ලතින් අමෙරිකානු විප්ලව ගැන හා ලතින් ඇමෙරිකානු දේශපාලනය ගැන ඒ දිනවල  හොඳම අදහස් ප්‍රකාශ කළේ ආචාර්ය දයාන් ජයතිලක බව සිතමි. අනික් කරණය නම්  මර්වින් සිල්වා මහත්මයාගේ ශ්‍රී ලංකා ගාර්ඩියන් යනු ඒ දිනවල ඉතා  හොඳ දේශපාලනික ලිපි පළවුණු සඟරාවකි. මට හිතෙන්නේ මේ දයාන් විරෝධය පැමිණියේත්  විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ දෙමළ  අරගලය ඈත් කරමින් තනි සිංහල අරගලයක් වෙතට යොමු වීමෙන් පසුව බවයි. ඉතිහාසයේ සරදම නම් ඉන්පසු දයාන් ජයතිලක මහින්ද හරහා ගත්තේ ජවිපෙ ස්ථාවරයමය.

දෙමළ සංවිධාන වලට ඒ දිනවල සහය දුන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ඒ දිනවල විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දිරගේ මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්ති සමග හිටියේ  සෝවියට් කඳවුරේය. දැන් මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග නොවේ. ඉදින්  විජේවීර “සහෝදරයා” පැවසූ   LTTE එක සම්බන්ධයෙන් තිබුනා යයි කියන නඇමෙරිකානු අතපෑම  පිළි  ගැනීමට හැකි එකක් නොවේ. ජූලි කලබල හා ඉන්පසු රජීව්/සෝනියා හරහා ඉන්දීය ස්ථාවරය  වෙනස් වීමෙන් පසු ඇමෙරිකා  එක්සත් ජනපදය වේදිකාවට  එළඹී බවත් ඔවුන් ට යම් ආකාරයක දෙමල ත්‍රස්තවාදී සංවිධාන වලට  බලපෑමක් කළ හැකිව තිබු බවත් සත්‍යයකි. ,නමුත් 1983,-1988 කාලයේ නම් නොවේ. ඒ දිනවල  ද්‍රවිඩ අරගලය පිටුපස තිබුනු  ප්‍රධානතම  විදේශ බලවේගය ඉන්දියාවයි.

චිත්‍රපටයේ ස්වයංනිර්ණය අයිතිය පිලිබඳ අදහස් පල කරන කොටසද අවශ්‍යම නැති එකකි. හේතුව විජේවීර මහත්මයාගේ (සහෝදරයා නොවේ)  ලෙනින් කිව්වාය කියන අදහසම මතභේදයට තුඩුදෙන එකකි.  විජේවීර මහතා පුන පුනා කියන්නේ ස්ටාලින්ගේ අදහස මිසක් ලෙනින්ගේ අදහස නොවේ.  ස්වයන් නිර්ණන අයිතිය පසෙකින් තබා දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගෙනහිර යුරෝපීය  රටවල් සෝවියට් චන්ද්‍රිකා  බවට පත් කර ගත්තේ ස්ටාලින්ය. ලෙනින් පැවසුවේ පීඩිත ජනතාවකගේ  ස්වයං නිර්ණය අයිතිය පිළිගත යුතුය, ඔවුන් මහා ජාතියේ බන්ධනයෙන් මුදවා ගන්නේ නැත්නම් මහා ජාතියේ කම්කරු පන්තිය නිදහස් නැත යනුවෙනි. (පහල ලෙනින් ගේ කෘති වල 22 වෙළුමෙන් උපුටා ගත් සටහන් බලන්න)   රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ ෆින්ලන්තය ළඳරු සෝවියට් රාජ්‍යයෙන් වෙන්වී යන්නේ මේ නිසාය. එසේම ෆින්ලන්තය ආර්ථික වශයෙන් වඩා දියුණු නිසා සෝවියට් රාජ්‍යය ට එය වාසියක් වේ යයිද  ලෙනින් සිතුවේය. ලෙනින්  නිවැරදි බව පසුව ඔප්පු වුනු අතර ෆින්ලන්තය අදත් සමෘද්ධිමත් ආදර්ශවත් රාජ්‍යයකි.

ඒ දිනවල මෙවැනි අදහස් වඩා හොඳින් ග්‍රහණය කරගෙන හිටියේ සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය වැනි අය වගේම ස්වාධින ශිෂ්‍ය සංගමයේ දයා පතිරණය. දයා ඇතුළු කණ්ඩායම  ජවිපෙ සිසුන්ට රැක සිට පහරදුන් කතා මා අසා තිබේ. ඒ හේතුව හෝ වෙන හේතුන් හෝ  දයා මරන්න හේතුවක් නෙමෙයි. මා සිතන්නේ එවකට පැවති ජවිපෙ මතවාදයට ප්‍රබල තර්ජනයක් විශ්ව විද්‍යාල දේශපාලනයේදී යය විසින් එල්ල කළ නිසා ඒ මරණය සිද්ධ වුණු බවයි. කොටිනම් දයාගේ ස්වයං නිර්ණය පිළිබඳ ස්ථාවරය නිසා බවයි.  මා කලින් ලියූ  ලිපියකත් පැවසුවේ ස්වාධීන සිසු සංගමයේ ඇතැමුන්  රජයේ ආරක්ෂක අංශ වල සහයෝගයෙන්  ප්‍රා සංවිධානය ගොඩ නගා කරන ලද  තිරශ්චීන ක්‍රියා මා අනුමත කරන්නේ නැති බවයි. එහෙත්   දයා පතිරණ ඝාතනයෙන් ජවිපෙට වැදුණු  ඉතිහාසයේ කැළල මකා  දමන්නට නම් විජේවීර “සහෝදරයා”  විසින්  රචිත “දෙමළ  ඊළම් අරගලයට විසඳුම කුමක්ද “ නම්  සිරි අයියා විසින්ද  විජේවීර සමග චිත්‍රපටයේ මතක් කරන ග්‍රන්ථය  ගැන නැවතත් දැඩි  විමසීමක් කළ  යුතු බවයි.

නමුත් විජේවීර මහතා ට නොතේරුන දෙය නම්  වාමාංශික දෙමළ  කණ්ඩායම් ජවිපෙ සාමාජිකයන්ට යුධ පුහුණුව දීමටද  කැමති වූ  අවස්ථාවේ  අර ජාතිවාදී රැල්ලට හසුවී දෙමළ වාමාන්ශිකයන්  ප්‍රතික්ෂේප කිරීම ජපන් සමුරායි වරුන්ගේ හරාකිරිය වැළඳ ගැනීමක් බවයි.  මම  දෙමළ  ත්‍රස්තවාදය පැත්තේ සිටි හෝ සිටින අයෙක් නොවේ.  නමුත් තර්කානුකූලව ගත හැකි හොඳම පියවර විජේවීර ඉවත දැමුවේය.   කල්පනා කර බලන්න.

මම වරක් සෝවියට් දේශයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය  සංගමයේ   ප්‍රධාන ලේකම් ව සිටියදී  “වීර පුරන් අප්පු ” චිත්‍රපටය රුසියානු කොම්සොමෝල් ශිෂ්‍යයන් සමුහයකට පෙන්වූයෙමි . ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රශ්නයක් වූයේ ” අර තුවක්කු රැගෙන පේළියට විනයානුකූලව වෙඩි තබන ඉංග්‍රීසි භටයන් ඉදිරියට  කඩු රැගෙන  කෑ ගසමින් පැමිණ වෙඩි කා මැරී වැටෙන්නේ  ඇයිද යනුවෙනි. (කඳුකරයේ සැඟවී ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා  නොකර ). මා ඔවුන්ට පැවසුවේ, ඒ වීර කමට එසේ මිය යාම උතුම් ලෙස ශ්‍රී ලංකාවේ සිංහල වැසියන් සිතන නිසා විය හැකි බවයි. “අප මරා  දැමූවද අප නැගූ  හඬ සදා නොමියෙනු ඇත”  ලෙස ඔවුනුත් හිතන්න ට  ඇති . ලෙනින්,  ට්‍රොට්ස්කි, ෆිදෙල් යනාදීන් හැකි තරම්  උත්සාහ ගත්තේ  තමන්ගේ සගයන්ගේ මරණ අඩු කරගෙන කරන විප්ලවයක් කිරීමටය. තම සාමාජිකයන් ගේ ජිවිත ඔවුන්ට එතරම්ම වැදගත් විය.

ඉදින  1971 ගල් කටස්, ටින් බෝම්බ විප්ලවයෙන් අත්දැකීම් (’71 බාල්දු කිරීමක්  නොවේ) නොගත්තාද  කියා හිතුනේ දෙවෙනි වරටත්  ලී බට වලින් යුධ පුහුණුව ගන්න විටදීය.  ප්‍රේමදාස ආණ්ඩුවෙන් ටී 56 ඒවා ටිකක් අහුවෙන්නට ඇරියේ තමන්ගේ විරුද්ධ වාදීන් කොටසක් මරා ගන්නට පමණක් යැයි  ජවිපෙ සහෝදරවරුන්ට තේරෙන්නට ඇත්තේ පසුව විය හැකිය. වාමාංශික  දෙමළ සංවිධාන වල සහය රැගෙන , ඔවුන්ගේ යුධ පුහුණුව ඉන්දියාවේදී හෝ නිමවා  ඔය කාර්යය කළානම් අද ලංකාවේ තිබෙන්න වෙනත්  ආණ්ඩුවකි. කොටින්ම  වාමාංශික දෙමළ කණ්ඩායම් වල බලය වැඩිවී  ජාතිවාදී ප්‍රභාකරන් ඉදිරියට ඒම නොවීමට බොහෝ ඉඩකඩක් තිබුණි. මෙහි  ලොකුම සරදම් නම්  විජේවීර යටතේ ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දීය විරෝධී වූ අතර  වාමාංශික  දෙමළ  කණ්ඩායම් අතුගා දැමු  ප්‍රභාකරන් උතුරේ  ඉන්දීය විරෝධී සටනක් දියත් කිරීමයි . දෙගොල්ලන්ම පසුව සටන් කලේ ශ්‍රී ලංකාවේ හමුදාවන් සමගය.   ලංකාවේ හමුදාවන්  කොපමණ ශක්තිමත්ද කියා මේ බොළඳ නරෝද්නික්වාදී විප්ලවකාරයන්ට නොතේරීම  ඔවුන්ගේම පමණක් නොව  රටේම අවාසනාවකි.

මම දන්නා විධිහට පෙරටුගාමී ස සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ඉන්දීය හමුදාවට විරුද්ධව බෝම්බ  අටවා තිබේ. එය නවත්වන්නට යයි ඉන්දියන් හයි කොමිෂනර් ඩික්සිත්කි ඉල්ලා තිබෙන්නේ සිරි අයියා ගෙන් යයි මා අසා තිබේ. එසේනම් ඉන්දීය රෝ නියෝජිතයා වූයේ සිරි අයියාද?

ඉන්පසුව කුමාර් ශ්‍රී ලංකා අත් අඩංගුවට ගනු ලැබේ.  සිරි අයියා හා ඒ කාලේ ඉතුරු වී සිටි සටන් සගයන් ඔහුව බේරා අනූ නමයෙන් බේරා ගනිති. එතනදීද  මානව හිමිකම් සංවිධාන හා රතු කුරුසය හැර ඉන්දීය සම්බන්ධයක් තිබුනා  ද යන්න නොදනිමි.
චිත්‍රපටයේ ඉතා සංවේදී අයුරින් දක්වන්නේ  ඒ දිනවල පක්ෂ සාමාජිකයන් මුහුණ දුන් දරුණු භීෂණයයි. එල්ලලා ගැහීමේ සිට ධර්ම චක්කරය දක්වාත් සිදුවුණු දරුණු වධ දීම් ආදියත් ඒ අසීරු අවස්ථාවේ තම  නායකයා පාවා නොදුන් වීර සොයුරන් ගැනද හද දවනා ආකාරයෙන් සිනමාවට නැගේ. මේ පරිත්‍යාගයන් හා වධක කඳවුරු ගැන  හොඳ විස්තරයක් අජිත් පැරකුම් ජයසිංහ ගේ “කේ පොයින්ට් ” නවකතාවෙන් කියවිය හැකිය.

හැබැයි ඔවුන්ට එසේ  වෙද්දී අසහාය විප්ලවීය නායකයා කරන්නේ හෝගා ළමයින් නිපදවීමය.  අනුරු ජයසිංහ ගේ චිත්‍රපටයේ  විජේවීර පියා ඉතා සංවේදීව  ළමයින්ට  දැඩි ලෙස ආදරය කරන සුන්දර චරිතයකි. එහි වරදක් නැත. නමුත්  මගේ ප්‍රශ්නය නම්   මොන හත්තිලව්වට  විප්ලවයක්  කරන්න ගියාද යන්නය.

දැන් ලෙනින් සහ කෘප්ස්කයා ගේ ජීවිතය බලමු? ස්විට්සර්ලන්තයේ,  එංගලන්තයේ තැනින් තැන නතරවෙමින් ගතකල දුෂ්කර ජීවිතය තුළ  ළමයි හදා  ගත්ත නම්  ඔය සීන් කර කර ඉන්නට හැකිද? ලෙනින් ගෙන් ඔහුගේ  මිස්ට්‍රස් හෙවත් අනියම් පෙම්වතිය වන ඉනේස්සා අර්මන්ඩ්  ට දරුවෙක් ලැබීමට සිට නැති වුනු කතාවක් මා අසා තිබේ. මගේ දුක  සිරි අයියා , සදා ලෝයල් , කීකරු උපතිස්ස ගමනායක ආදීන් ගැනය. අර ළමයි සමුහයක් එක්ක විශාල පවුලක් එහෙ මෙහෙ හමුදාවට , පොලිසියට හොරෙන් ගෙනයාම, හංගන්න සිටීමට දරන උත්සාහය සුළු පටු එකක් නොවේ. ඒ කාලේ මොබයිල් දුරකතනද තිබුනේ නැත. පක්ෂේ කීකරු සාමාජිකාවන්ද නවත්වාගෙන ගෙනේ ගිය ඒ සටන වෙනමම  පොතක් ලියන්නට සෑහෙන එකකි.  විජේවීර මහතාට  කසාද බඳින්නට විප්ලවයටම අනුගත වුනු   විප්ලවීය සහෝදරියක් ජනතා විමුක්ති පෙරමුණේ ඇත්තටම හිටියෙම නැත්ද ? අර අකමැති චිත්‍රාංගනීවම බන්දින්නට් ඔහු තීරණය කළේ ඇයි?

ඒ අහිංසක දැරිවි  අපමණ  පක්ෂ සාමාජිකයන පොලිසියෙන් ගුටි කද්දී, ටයර් වල යද්දී විස්සෝප වනුයේ හැංගෙන්න යන්නට තමන්ගේ දිග කොණ්ඩය කැපීමට සිදු වීම ගැනය? මට වෙලාවකට සිතෙන්නේ  මේ චිත්‍රපටය  කුමන්ත්‍රණයක් කියාය.

ලෙනින් හොඳින්ම දැන සිටියේ විශාල විප්ලවයක් කිරමට නම් තමනට ආධාර අවශ්‍ය බවය.  මේ  ජෙහාන් ලෙනින් (-ජෙහාන් ලෙනින් – LENIN AS A PERVERT)  නැමති මා ලියු ලිපිය බලන්න. ලෙනින් ජර්මනිය ය  සමග පැවැත්වූ සම්බන්ධතාව  හා එයට ට්‍රොට්ස්කි එකඟවූ අන්දම මෙහි ඇත. ලෙනින් මොළයෙන් මිස හදවතින් තීරණ ගත් අයෙකු නොවේ.  අවශ්‍ය නම් මේ චිත්‍රපටය ද නැරඹිය හැකිය.

ස්ටාලින් බලය ගත් පසු බොරු කුමන්ත්‍රණ චෝදනා නගා විප්ලවීය සගයන් බොහොමයක් ඝාතනය කළේය.  අවසානයේ වෙඩි වැදී  දුබලව සිටි  ලෙනින් ද නිවාස අඩස්සියේ තැබුවේය. ලෙනින් ගේ අවසාන කාලය පිළිබඳව  සම්මාන දිනූ අති සෝචනීය චිත්‍රපටයක් ටෙලෙත්ස් (ටෞරුස්)  නමින් ඇලෙක්සැන්ඩර් සොකුරෝව් නිර්මානය කර තිබේ.    විජේවීර හිතුවේ මේ ගෝලීය අවධියේ තනියෙන් ගහන්නටය. ඔහුගේ ජීවිතය කෙළවර වන්නේද අති සෝචනීය ලෙසය.  නමුත් අඩුම ගණනේ ලෙනින් තමන්ගේ අභිප්‍රාය මුදුන් පමුණුවා ගත්තේ  සෝවියට් රාජ්‍යය පිහිටුවීමෙනි.

  සාමාන්‍යයෙන් ලෙනින්, ෆිදෙල් වැනි විප්ලවීය නායකයන් ගැන නිපදවූ චිත්‍රපට බොහොමයක් වාර්තා චිත්‍රපට පන්නයේ ඒවාය  (documentary). හොඳ වාර්තා චිත්‍රපටයක් සෑදීම ලෙහෙසි පහසු කරණක් නොවේ. සංවේදී සිනමා පටයක් නිර්මාණය කිරීමද ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් සංවේදී වෘත්තාන්තයක සැබෑ තොරතුරු පැවසීම අවශ්‍යම නැත.
 මේ චිත්‍රපටය නැරඹු බබාලන්ත වාසි කිහිප දෙනෙක් ඉතා සංවේදී වී අදහස් දක්වනු බුකියේ දුටුවෙමි. එම සමහරක් අනිකුත් අවස්ථාවල ඉතා ජාතිවාදී හෝ, බටහිර නිදහස් සමාජය දැඩි ලෙස විවේචන කරන අදහස් දක්වනුද දුටුවෙමි. දෙයියෝ සාක්කි, විප්ලවීය ජවිපෙ ඇත්තටම හිටියේ ඔවුන් සමගද?

මේ චිත්‍රපටයෙන් ජනතා විමුක්ති පෙරමුණට දැඩි හානියක් වී නැත. රජයන් දෙකක්ම පෙරළන්නට හා නව රජයන් ගොඩ නගන්නට සෝමවංශ ගේ මෙන්ම අනුර කුමාර දිසානායක ගේද පශ්චාත් විජේවීර ජවිපෙය සමත් වී අත. අදද පාර්ලිමේන්තුවේ වැඩි හඬ ඔවුන්ගේ ය. ඔවුන් ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවත විජේවීර ගේ බොළඳ පිළිවෙත් වලින් ඈත් වී තිබේ. එසේම ලාල් කාන්ත සහෝදරයා මෑතක පැවසූ පෞද්ගලික විද්‍යාල ප්‍රශ්න, බීමත් වීමේ  ප්‍රශ්න තුලද ඉඳහිට අඩියක් ගහන   සුන්දර මිනිසුන් ගේ ජවිපෙට මින් හානියක් නැත.  

අනුරුද්ධ ජයසිංහ ගේ නිර්මාණය සුනු විසුණු කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පදනමය. මුට්ට කර ගැසූ විජේවීර නැමැති විප්ලවවාදියාගේ චරිතය වෙනුවට සංවේදී උණුසුම් දරුවන් කිහිප දෙනෙකුගේ පියා  විසින් කුමාර් ගුණරත්නම් මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය අංජ බජල්  කර තිබේ. ඉඳහිට හොරෙන් හෝ වයින් වීදුරුවක් වත් නොබොන, සමාව ගැනීම වෙනුවට ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මෙන හිරේ ගිය  කුමාර් මහත්තයාගේ  ගේ විජේවීර භාවිතාව ප්‍රශ්නයට ලක්වීමට   නියමිතය.  පුබුදු ජයගොඩ සහෝදරයා (මහතා ) දැනට කිසිවක් කියා නැත්නම් චිත්‍රපටය ගැන ඔහුගේ අදහස දැන ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවෙමි.

  චිත්‍රපටය ගැන සවුන්ඩ් බයිට් කිහිපයක් යූටියුබයේ දුටුවෙමි. චන්ද්‍රිකා කුමාරතුංග, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යුධ හමුදාපති මහේෂ් සේනානායක ද ඒ අතර විය. විජේවීර අත් අඩංගුවට ගත්  හමුදා නිලධරයා විජේවීර සහෝදරයා ගේ බිරිඳ හා දරුවන් ට වහා ඉවත්ව යන්න ට අනතුරු හැඟවීමක් විජේවීර හරහා කරන ලදී. ප්‍රභාකරන් ගේ දරුවන් මිය ගියාට විජේවීර සහෝදරයා ගේ දරුවන්ට හමුදා ආරක්ෂාව හිමි විය. විජේවීර මහතාගේ උරුමය එයද?

Victorious socialism must achieve complete democracy and, consequently, not only bring about the complete equality of nations, but also give effect to the right of oppressed nations to self-determination, i.e., the right to free political secession. Socialist Parties which fail to prove by all their activities now, as well as during the revolution and after its victory, that they will free the enslaved nations and establish relations with them on the basis of a free union and a free union is a lying phrase without right to secession—such parties would be committing treachery to socialism.

 Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...