කොතරම් අර්ථකථනය කලද අවිඥානයේ ලෝකයට ඔබව රැගෙන යාම ඉතා අසීරු කාර්යයක් බව අප හොදින්ම දනිමු. කුඩාකල සිට අප හුරු වුයේ කාලයත් සමග ඉදිරියට සිදුවෙමින් තිබෙන  සිද්ධීන් යථාර්ථය යැයි සලකා එම සිද්ධීන්හි සත්‍ය අවබෝධ කරගැනීමටයි. නමුත් අපගේ මැදිහත්වීම ඔබව ව්‍යකුලත්වයට පත් කරන ලදී. අප සිදුවීම් කණපිට හරවමින් අර්ථකථනය කරන ලදී. ඔබ ඉතා මහන්සියෙන් ගවේෂණය කල සත්‍යක් වැරදි බව සනාථ කිරීමට අපට වැය කල යුතු වුයේ ඉතා සුළු පරිශ්‍රමයකි. නමුත් ඒ සියලු දේ අවසානයේදී පවා ඔබව අපට අවශ්‍ය තැනට රැගෙන යාමට නොහැකි වී තිබේ.

”The sun rises at different times upon the globe today” – Spivak

අප යෝජනා කරන චින්තන සම්ප්‍රදායේ වැදගත් ලක්ෂණයක් වන්නේ එය සියලු පැරණි තර්කනයන්ගෙන් ඛණ්ඩනය විය යුතු දෙයක් වීමයි. පුද්ගලයාව  පාලනය කරනු ලබන අවිඥානයේ මානය කුමක්ද යන්න ග්‍රහණය කරගත හැකිවන්නේ මෙම ඛණ්ඩනය පිළිබද ඔබ සවිඥානික නම් පමණි. උදෘතයක් ලෙස මතක තබා ගැනීමට පහසු ලෙස සදහන් කරන්නේ නම්, ඔබට සැබෑ නිදහස හිමිකරගත හැකි වන්නේ ඔබ යනු හිස්කමක් පමණක් බව තේරුම් ගැනීම මගිනි. නමුත් මෙම හිස්තැන කිසියම් අඩංගුවකින් පිරවීමට ඔබ උත්සහ කරන තාක් එය   ඔබට හමුවන්නේ ක්ෂණිකව හටගෙන ක්ෂය වී යන විදුලි ධාරාවක් ඔබේ ශරීරය තුලින් භූගත වූ විට ඇතිවන කම්පනය වැනි  අත්දැකීමක් ලෙස පමණි. එසේ විදුලිය වැදීමෙන් පසු නැවතත් එවැනි දේ වලක්වා ගැනීමට උත්සහ කිරීම සාමාන්‍ය දෙයකි. එනම් යථ සම්මුඛ වීමෙන් ආරක්ෂා වීමයි. එහෙත් විදුලිය මෙන් නොව යථ සම්මුඛ වීම  සදහා මුහුණදීමට අවශ්‍ය උපකරණ අප සතුය. මේ නිසා ඔබ ක්‍රමයට ගැටගැසී ඇති අවිඥානය කුමද්ද යන්න අර්ථදැක්වීමට අපට හැකිය. ක්‍රමයට ජීවය දෙන්නේ ඔබ නම්  එය තේරුම්ගත් පසු ක්‍රමය පැවතිය යුතුද නැද්ද යන්න තීරණය කිරීම සදහා විප්ලවයක් අවශ්‍ය නැත. මන්ද ඒ මොහොත වන විට විප්ලවය සිදු වී හමාර බැවිනි. එසේ නම් අප ඔබෙන් බලාපොරොත්තු වන වෙනස  යනු විප්ලවීය මොහොතකට පසුව සිදුවන වෙනසකි. මේ නිසා ඒ වෙනුවෙන් දිගු කාලයක් පුරා  මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවීම ගැන අප කණගාටු වන්නේ නැත.

දැන් අප තවත් වෘතාන්තයක් පාදක කරගනිමින් ඉහත අදහස්   තවදුරටත් විදාරණය කර ගැනීමට උත්සහ කරමු. ඩේවිඩ් ලින්ච් හෝ ඇල්ෆ්‍රඩ් හිච්කොක් වැනි සිනමාකරුවන් ලංකාවේ බිහි නොවුන නිසා මෙවැනි  පරිකල්පනීය සිදුවීම් සිනමා තිරය මතට ප්‍රක්ෂේපනය කිරීම සිදු නොවිණ. අපගේ කතාවේ කතා නායකයන් දෙදෙනෙකු වෙයි. ඔවුන් නම් වශයෙන් බුද්ධික සහ බස්නායකය. ගමෙන් කොලබට පැමිණෙන ඔවුන් නාගරික දේශපාලන සංවිධානයකට සම්බන්ධ  වෙයි. සංවිධානයේ දේශපාලන අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන මොවුන් මිචෙල් ෆුකෝ වැනි දාර්ශනිකයන්ගේ දර්ශනය පිළිබද ප්‍රවීණ බුද්ධිමතුන් බවට පත් වෙයි. මේ අතර සංවිධානය ගොඩනැගීම සදහා උපකාර කිරීමට විවිධ තරාතිරමේ පුද්ගලයන් සංවිධානය සොයා පැමිණෙයි. එමෙන්ම ඔවුන් මුණගැසීම සදහා එම පුද්ගලයන්ගේ නිවෙස් සහ  කාර්යාල වෙත යාමටද සංවිධානයේ සාමාජිකයන්ට සිදුවෙයි. එසේ ඇතිකරගනු ලබන සම්බන්ධතා සහ හිතවත්කම් මත සංවිධානයට පැමිණෙන පුද්ගලයන් පිළිබද බුද්ධිකට සහ බස්නායකට තිබුනේ විවේචනාත්මක ඇසකි. ඔවුන් නිතරම සිතුවේ මෙවැනි පුද්ගලයන් සංවිධානයේ වැඩපිළිවෙල කඩාකප්පල් කර දමනු ඇති බවයි.

කාලය මෙසේ ගත වන අතරතුර බුද්ධිකට සහ බස්නායකට සංවිධානයට උපකාර කිරීමට ඉදිරිපත් වූ සාමාජිකාවකගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනාවක් ලැබේ. සංවිධානයේ නායක සහෝදරයා සමග මෙම ගමන සදහා  එක්වන බුද්ධික සහ බස්නායක මේ තම තමන්ගේ ජීවිත වල ඉරණම තීන්දු කරන ගමනක් බව නොදත්හ. මෙකී සාමාජිකාව ඉහල මධ්‍යම පාන්තික කාන්තාවකි. ඇයට අවිවාහක දියණියක්ද වෙති. නිවසට ඇතුළු වත්ම බුද්ධික සහ බස්නායක දෙදෙනාට හැගෙන්නේ තමා වෙනත් ලෝකයකට ඇතුළු වුවා වැනි හැගීමකි. බුද්ධික බස්නායකගේ කණට කොදුරා මෙසේ කියයි ‘මචං අපි ඒ කාලේ වෙසක් එකට දන්සැල් වලට  අධාර එකතු කරන්න මේ වගේ ගෙවල් වල ගේට්ටුව ලගට ගිහින් තියෙනවා ඇරෙන්න අද තමා ඇතුලට ආවේ’.  නිවසට ඇතුළු වූ පසු ඔවුන්ට සාලයේ අසුන් ගැනීමට ආරාධනා කෙරෙයි. මෙවැනි ආලින්දයක කිසිදා අසුන් ගෙන නොතිබූ බුද්ධික සහ බස්නායක සෝපාවේ අසුන් ගන්නා විට සමබරතාව නැති වී ගොස් පුටුවේ හරහා වැටීමට යාම වලක්වා ගන්නේ අනුනමයෙනි. නිවසේ සාලයට යාබදව නවතා ඇති මෝටර් රථය ඔවුන්ට ඉතා පැහැදිලිව දිස් වේ. එපමණක් නොව මුළුතැන්ගෙය පවා සාලයට යාබදව වෙන් නොකර නිර්මාණය කර තිබේ. නිවසේ ඇති වටිනා ගෘහ භාණ්ඩ තමා දෙස බලා සිටිනවා වැනි හැගීමක් බුද්ධිකට සහ බස්නායකට ඇති වෙයි. මේ සියලු හැගීම් සමග අපහසුවෙන් අසුන්ගෙන සිටින ඔවුන් දෙදෙනාට සම්පුර්ණයෙන්ම පිරවූ විශාල ඇපල් යුෂ වීදුරු දෙකක් රැගෙන එන්නේ සමාජිකාවගේ දියණිය විසිනි. 

මෙම තරුණිය බුද්ධික සහ බස්නායක සමග  ඉතා සමීප බවකින් යුක්තව කතාබහ කරයි. සංවිධානය තුල ඔවුන්ට ඇති පිළිගැනීම නිසා තරුණියද ඔවුන්ට ආකර්ෂණය වෙයි. නිවස තුල ටික වෙලාවක් සිටින ඔවුන් ඇය පිළිබද විවිධ ෆැන්ටසි ගොඩනගයි. මෙවැනි තරුණියක් විවාහ කරගැනීමට හැකිනම් තමාගේ ජීවිතය අතිශයෙන්ම සාර්ථක කරගත හැකි බව ඔවුන් දෙදෙනාම කල්පනා කරයි. ඇයද ඔවුන්ට කැමති බව පෙන්නුම් කරන නිසා ඇගේ ආදරය දිනා ගැනීමට ඇත්තේ තව එක් පියවරක් පමණි. මේ දක්වා බුද්ධිකට සහ බස්නායකට තිබු දේශපාලන ෆැන්ටසිය අමතක වී යන අතර ඒ වෙනුවට  තරුණිය පිළිබද ලිංගික ෆැන්ටසියක් අධිනිශ්චය වෙයි.

කතාවේ අවසානය අතිශයින්ම ශෝකජනකය. නිවසේ සිදුවීමෙන් ටික කලකට පසු තරුණියගේ ආදරය දිනා ගැනීමට බස්නායක සමත් වෙයි. නමුත් බස්නායක සමග සම්බන්ධය පවත්වන අතරතුර ඇය බුද්ධික සමගද සම්බන්ධයක් පවත්වයි. එම  සබදතාවල ප්‍රතිඵලයක් ලෙස සංවිධානයේ දේශපාලන වැඩපිළිවෙල සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමට මෙම පුද්ගල ත්‍රිත්වය කටයුතු කරයි. අවසානයේ තරුණිය බුද්ධික සමග පැන යයි. තරුණියට සුවකළ නොහැකි මානසික අබාධයක් ඇති බව බුද්ධික දැන ගන්නා විට සියල්ල සිදු වී හමාරය.

දැන් අප කතාවේ න්‍යායික පසුබිම වෙත හැරෙමු. කතාවේ අවිඥානය ඇත්තේ කොතැනද? එය බුද්ධික හෝ බස්නායක තුල ඇතැයි යමෙකු පවසන්නේ නම් එම හදුනාගැනීම අයත් වන්නේ ෆ්‍රොයිඩ්යානු අවිඥානයටය. පසුගිය ලිපියේ සදහන් කල පරිදි අවිඥානය බාහිර දෙයක් බව අප මේ වන විට දැන සිටිය යුතුය. අවිඥානය බාහිර දෙයක් නම් ඉහත කතාවේ අවිඥානය පිහිටන තැන් මොනවාද? කතාව රචනා කර ඇත්තේ එම ස්ථාන පහසුවෙන් හදුනාගත හැකි වන පරිදිය. ඒවා මෙසේය. ඉහල මධ්‍යම පාන්තික නිවස, සෝපාව, සාලයට යාබදව නවතා තිබු මෝටර් රථය, සාලයේ තිබු ගෘහ භාණ්ඩ, ඇපල් යුෂ වීදුරු දෙක. සංකේතීය විශ්වයක් තුල මේ සියලු වස්තුන් ජීවයක් සහිත කතා කරන වස්තුන් වෙති. මෙම වස්තුන් බුද්ධික සහ බස්නායකට ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එතැන් පටන් ඔවුන්ගේ ක්‍රියාව හාත්පසින්ම වෙනස් වෙයි. දේශපාලන ෆැන්ටසිය නැතිනම් දේශපාලනික  යුතෝපියාව සම්පුර්ණයෙන්ම අවලංගු වෙයි.               

වදුරන් හරියටම ගහකින් ගහකට පනින්නේ උන්ට විඥානයක් නැති බැවිනි. එක් වදුරෙකු හෝ නැවතී කල්පනා කළහොත් ඌ බිම ඇද වැටීමට නියමිතය. බුද්ධිකට හෝ බස්නායකට විඥානයක් තිබුණි නම් පන්ති වෙනස හරහා යමින් තමන්ට අත වනන තරුණිය තුල කිසියම් අඩුපාඩුවක් තිබෙන්නට පුළුවන් බව කල්පනා කිරීමට අවස්ථාව පැවතින. ඔවුන් දෙකොට්ඨාශය අතර පවතින පරතරය නොසලකා හරින පිරිමි පාර්ශවය තරුණිය තමන්ට කැමති වන්නේ තමන් තුල ඇති තමාට වඩා දෙයක් නිසා බව සිතයි. නමුත් සත්‍ය වන්නේ මෙම ගැහැණියත් සමග කරන්න දෙයක් නොමැති වීමයි. ඉහල පන්තිය ගැහැණුන් ඇතුළු සියලු වස්තුන්ගේ ගුණාත්මක කොටස තෝරා ගැනීමෙන් අනතුරුව පහල පන්තියට ඉතුරු වන්නේ අවශේෂය (රොඩ්ඩ) පමණි. අප ප්‍රතික්ෂේප කලද විෂයමුලික සත්‍යයෙන් ගැලවීමට අපට හැකියාවක් නොමැත.  පරිභෝජනවාදී සමාජයක වස්තුවක් සමග පුද්ගලයා එකතු වන්නේ ආත්මය වස්තුව පිළිබද සිතන නිසා නොවේ. පුද්ගලයා තුල පවතින අසංගතභාවයට ඇබය ගසා ගැනීමට වස්තුවට හැකියාවක් ලැබේ. නමුත් එම සම්බන්ධ වීම පුද්ගලයා තුල පවතින ගැටළු සදහා පිළිතුරක් වන්නේ නැත. අපගේ කතාවට අනුව බුද්ධික සහ බස්නායක බුද්ධිමතුන් නම් ඔවුන් දෘෂ්ටිවාදයට හසුවන තැන, වඩා දෙය (more) සමග , වන්නේ ඉහල පාන්තික තරුණියක විවාහ කරගැනීමට සදහා ඔවුන්ට තිබු  අවිඥානික ආශාවයි.

අවිඥානික ආශාවේ මානය අශ්ශීල සහ කුරිරු දෙයකි. ඇත්තටම මෙම ආශාව කුමක්ද යන්න ආත්මය දන්නේ නැත. නමුත් එය කෙනෙකුගේ ජීවිතය කථා වස්තුවක් බවට පත් කල විට කියවීමට හැකිය. පසුගිය සතියේ සාකච්ජා කල රතීගේ උදාහරණයේදී ඇයට තිබු එක් පුරුද්දක් වුයේ තමා සම්බන්ධ දේශපාලන සංවිධානයට හොරෙන් ඉහල පන්තියේ සාප්පු වලින් ඇදුම් මිලදී ගෙන සාද සදහා සහභාගී වීමයි. ඇගේ මෙම ආශාව කුමක්ද? එය පක්ෂයෙන් සගවන්නේ මන්ද? ඇත්තටම ඇයට මෙම කුරිරු ආශාව ගොඩනගා දෙන්නේ පක්ෂය විසිනි. ඇය සාදයක නටමින් විනෝද වන විට කල්පනා කරන්නේ කුමද්ද? ‘මම අරුන්ට අරිනවා’.වාමාංශික දේශපාලනය වර්තමානයේ කොතරම් අශ්ශීල ආශාවන් ගොඩනැගීමට හේතු වන්නේද යත් අද ලිංගික සබදතාවයක් මගින් ලබන විනෝදය රුපිකව නිර්මාණය කරනු ලබන්නේ  ලෙනින්ගේ පින්තුරයක් මත  ලිංගික සම්බන්ධය පවත්වන අකාරයටය.

පශ්චාත් නුතන පරිභෝජනවාදී සමාජක් තුල ආත්මයට සුපිරි අහම ලබා දෙන අණ වන්නේ ඔබ විනෝද විය යුතුයි යන්නයි. නමුත් මෙම විනෝදය වියනොහැකි (impossible) දෙයකි.එය සෑම විටම අඩුවක් (lack) නිර්මාණය කරයි. මේ නිසා ආත්මයට එක දිගට පාරිභෝගික භාණ්ඩ පරිභෝජනය සදහා යොමු වීමට සිදුවේ. විනෝදය මගින් ආත්මයන් දෙකක් අතර සම්බන්ධයක් ගොඩනගන්නේ නැත. ඒ වෙනුවට එය ආත්මය සහ වස්තු අතර සම්බන්ධයක් ගොඩනගයි. ආත්මයන් අතර සම්බන්ධය ගොඩනගන්නේ ආදරය විසිනි. ධනවාදයෙහි පැවැත්මේ හදවත වන්නේ මෙම විනෝද සාධකයයි. මේ නිසා ධනවාදයට විකල්ප ක්‍රමයක් පිළිබද වූ දේශපාලනයකදී විචාරයට ලක්විය යුත්තේ ආත්මය විසින් අත්විදීමට උත්සහ කරන විනෝදයයි. පවතින ක්‍රමයට විකල්පයක් නොමැති බව නරුමවදීන්ගේ මතයයි.  මේ මොහොත වන විට එවැනි විකල්පයක් පිළිබද දැනගැනීමට හෝ එවැනි විකල්පයක් පිළිබද සිතීමට පවා තහනමක්  අප තුල නිර්මාණය වී තිබේ. අප යමක් යෝජනා කරන විට නරුමවාදීන් අපට පෙරළා පවසන්නේ ‘යථාර්ථය දෙස බලන්න’ කියාය. ධනවාදය අවසන් සමාජ ක්‍රමය බවට වූ නියමය පැමිණෙන්නේ නරුමවාදීන්ගේ කතිකාවෙනි. අනෙක් අතට මෙම ක්‍රමය කුරිරු සමාජ ක්‍රමයක් බවද ඔවුන් හොදින්ම දනී. නමුත් ඔවුන් එය නොදන්නා සේ ජීවත් වෙති.

අප බලාපොරොත්තු වන වෙනස ඇති කිරීමට නොහැකි බවට බොහෝ දෙනෙකු අප සමග තර්ක කරනු ඇත. නමුත් පවතින ක්‍රමය ඉදිරියට යමින් අවසන් ප්‍රතිඵලය ලෙස අපට ඉතුරු කරන්නේ පිස්සු යථාර්ථයකි. ඊට පිළියමක් ලෙස ක්‍රමය විසින් ලබා දෙන පිළිතුරු මගින් තව දුරටත් එම පිස්සු යථාර්ථයම අපට උරුම කර දෙයි. විනෝදයෙන් අත්මිදීම යනු තවදුරත් පවතින ක්‍රමය මත පරායත්ත වීමෙන් ගැලවීමයි. පාරිභෝගික භාණ්ඩ පසුපස හබා යමින් අප ලබා ගැනීමට උත්සහ කරනු ලබන විනෝදය කිසිදා සම්පුර්ණ කරගත නොහැකි බව තේරුම ගත යුතුය.ඔබගේ ආත්මය සැබෑ නිදහස කරා ළගා වන්නේ එවිටය.

Anushka Ariyarathne

ඔබේ අදහස කියන්න...