ශිෂ්ටත්වයේ සිහිනය...|Friday, July 28, 2017
You are here: Home » News » සමලිංගිකත්වයෙන් බේරාගන්න හදන මේ අහිංසක ගැමියා කවුද?

සමලිංගිකත්වයෙන් බේරාගන්න හදන මේ අහිංසක ගැමියා කවුද? 

lacan 5

 


ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ විචාරක අවධානයට දැඩි ලෙස යොමු වූ චිත‍්‍රපටයක් වූ Vertigo (හිසේ කරකැවිල්ල – 1958) සම්බන්ධයෙන් අමෙරිකානු වාරණ මණ්ඩලයට ප‍්‍රශ්නයක් ඇති විය. කතාබහට තුඩු දුන් මෙම දර්ශනයේ අන්තර්ගතය මෙසේය. චිත‍්‍රපටයේ කතා නායකයා වූ ස්කොටි මුහුදට පැන්න ජූඩිත්ව බේරාගෙන නිවසට රැුගෙන එයි. ඉන්පසු අපට පෙන්වන දර්ශනය ආරම්භ වන්නේ වියළීම සඳහා වැලක එල්ලා ඇති ජූඩිත්ගේ ඇඳුම්වලින්ය. ඉන්පසු දර්ශනය මාරු වන්නේ නිදන කාමරයේ නිදි ඇඳ මත හාන්සි වී සිටින ජූඩිත්ගේ දර්ශනයකටය. වාරකයන් විසින් හිච්කොක්ට යෝජනා කරනු ලබන්නේ අර ඇඳුම් එල්ලා ඇති දර්ශනය කපා හරින ලෙසය. එවිට හිච්කොක් විසින් එයට හේතුව විමසන අතර වාරකයන් අමුතුම ආකාරයේ අදහසක් යෝජනා කරයි. ඔවුන්ට අනුව වේළා දැමීමට දමා ඇති මේ ඇඳුම් වනාහි ජූඩිත්ගේ යට ඇඳුම්ය. ඒ අනුව පේ‍්‍රක්ෂකයන් මෙම දර්ශනය අර්ථකථනය කරන්නේ මෙසේය. හදිසි අනතුරෙන් ජූඩිත්ව ගලවා ගන්නා ස්කොටී ඉන්පසු ඇඳුම් ගලවා රමණය කර ඇති බවයි. එවිට හිච්කොක් විසින් එම ඇඳුම් අතර කිසිදු යට ඇඳුමක් නැති බව පෙන්වයි. නමුත් වාරකයන් එය ගණන් ගන්නේ නැත. Slow Motion කළ හැකි අද වැනි යුගයක මෙම දර්ශනය හිමිහිට චලනය වන්නට ඉඩ දී බලන විට ද එහි යට ඇඳුම් නැත.

lacan 1
එසේ නම් වාරකයන් විසින් මේ ආරක්ෂා කිරීමට යන අහිංසක නිරීක්ෂකයා කවුද?

ඔවුන්ට අනුව මෙම දර්ශනය නරඹා අගතියට පත් වන දුර්වල නිරීක්ෂකයකු සිටියි. ඔහුව මෙම දූෂ්‍ය දර්ශනයෙන් ගලවාගත යුතුය. අනෙකාගේ විනෝද වීම අනෙකා විනෝද වීමටත් ප‍්‍රථමයෙන් වාරකයන් සූත‍්‍රගත කර ඇත.
මීට ඉතාම සමාන්තර සිදුවීමක් ලාංකේය සමාජයේ ද දැන් සිදු වී ඇත. යුරෝපය විසින් ලංකාවේ මානව හිමිකම් සංවර්ධනය කිරීම අරබයා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. ඒ අතර එකක් වන්නේ පැරණි දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් සමලිංගික සබඳතා තහනම් යන්නය. මෙවැනි නීතියක් සිංහල සංස්කෘතිය දන්නේ නැත. ඊට හේතුව වන්නේ යුරෝපීයයන් ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ මිනිසුන්ට ලිංගිකත්වය ගැන කතිකාවක් සහ න්‍යායක් නොමැතිව තිබූ නිසාය. ඉතා පටු අර්ථයෙන් ප‍්‍රකාශ කළහොත් ලාංකිකයන්ට ‘ලිංගික සබඳතා’ සංකේතකරණය (අවබෝධ කරගන්නට* කරගන්නට දැනුමක් නැත. එවැන්නක් හදා ගන්නට අවශ්‍ය පසුබිම අපට නැත. මේ හිස්තැන ලංකාවේ දී පුරවනු ලබන්නේ සදාචාරය, ආගම සහ කටකතා විසින්ය. ස්ත‍්‍රිය සතුටු කිරීම පිළිබඳව ලාංකික පිරිමින්ට තවම ඇත්තේ මෑ මල මිරිකීම, ඨ ස්පොට් අතගෑම වැනි මිථ්‍යා විශ්වාසය. ලිංගිකත්වය යනු භාෂාවේ වෙනස්කම් මත පදනම් වන විඥාන බල රටාවක්ය. මෙම අර්ථයෙන් ගත්විට ලිංගික සතුටු වීම යනු එක ශරීරයක් මාස්ටර් වී අනෙකා සේවකයා වී කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හදා ගන්නා සමාජ ගිවිසුමකි. එයට ශරීරය (සොබාවිකත්වය – සොබාව පවා නිර්වචනය වන්නේ සංස්කෘතිය මඟින්ය) සම්බන්ධ නැත.

lacan 2
ලංකාවේ බලධාරීන් පවසන්නේ මෙම සමලිංගිකත්වය ලංකාවේ සංස්කෘතියට සහ සභ්‍යත්වයට අනුකූල නොවන බවය. අවාසනාවකට මෙන් ඔවුන් නොදන්නේ මෙම අදහස අපගේ එකක් නොව අපගේ යටත්විජිත ස්වාමියාගේ එකක් බවය. සමලිංගිකත්වය තහනම් කරන්නේ ලංකාවේ රජවරු හෝ ලංකාවේ භික්ෂූන් නොවේ. එය කරන්නේ අපගේ ඉංග‍්‍රීසි යටත්විජිත ස්වාමියාය. අපගේ යැයි මේ නම් කරන ‘සිංහල සංස්කෘතියේ සාරය’ යනු අපගේ එකක් නොව සුද්දාගේ එකක්ය. එනිසා සුද්දාගේ සාරයෙන් මිදී අප මේ සොයා යන ‘අපේකම’ යනු සුද්දාගේ ආශාව පසුපසම දිවීමයි. අපම පිළිකුල් කරන සුද්දාගේ ෆැන්ටසියට වශී වීමකි.
අපට මේ සමලිංගිකත්වයට එරෙහිව දණ්ඩ නීති පැනවූ යුරෝපීය ජාතිකයන් 68 ශිෂ්‍ය අරගලයට පසු සමලිංගිකත්වයට එරෙහි නීති ඉවතට විසි කරන ලදී. ‘නිදහස’ යනු බාහිර බලපෑම්වලින් නිදහස් වීම නොවේ. අප තුළම ඇති අභ්‍යන්තර අවිඥානික විශ්වාස, අගති, හුරුපුරුදු යනු ද අප තුළම නිදහසට ඇති නොකැමැත්තයි. ගැඹුරෙන් කිවහොත් ‘හරවත් නිදහස’ යනු බාහිර බාධාවලින් නිදහස් වීම පමණක් නොවේ. අපගේ චිත්ත අභ්‍යන්තරයේ ඇති අභ්‍යන්තර බාධාවලින් (මේවා ද සමාජ නිර්මිතයන්ය) නිදහස් වීම සැබෑ නිදහසයි. මිනිසාගේ සැබෑ නිදහස යනු අභ්‍යන්තරයෙන් සිදු වන මෙම නිදහස් වීමයි. හේගල්ගේ දර්ශනය තුළ කතා කරන්නේම මෙම අභ්‍යන්තර (Inner Freedom)
ගැනය.

lacan 4
ලංකාවේ සමලිංගිකත්වය ගැන ඇති අගතිගාමී අදහස යට ඉන්නේ අධිපති පක්ෂවල සිටින ආකල්පමය වෙනසක් ඇති නොකර ගත්තා වූ මිනිසුන් පමණක් නොවේ. ලංකාවේ වමේ පක්ෂවලට ද සමලිංගිකත්වයට එරෙහි වූ ඔවුන්ටම ආවේණික විෂමලිංගික අදහසක් ඇත. ඔවුන්ට අනුව සමලිංගිකත්වය යනු ලිංගික අපගමනයකි. දරුවන් ලැබෙන්නේ නැති, පවුලක් සාදන්නේ නැති සමලිංගික සබඳතා යනු විපරිත ආකල්පයකි. එනිසාම සමලිංගිකත්වය යනු පන්ති අදහසකි. ඔවුන්ට අනුව පාලක පන්තිය පීඩිත පන්තියේ සැබෑ සමාජ ප‍්‍රශ්න යට ගැසීමට ගොඩනගන දෘෂ්ටිවාද අතරින් ප‍්‍රධාන එකක් වන්නේ මේ සමලිංගිකත්වයයි. සමලිංගිකත්වය පිළිබඳ මෙම විපරිත ආකල්පය විෂම ලිංගිකත්වයට අදාළ නැතැයි ඔවුන් සිතයි. මනෝ විශ්ලේෂණය නම් මිනිස් සබඳතා පිළිබඳ ක‍්‍රමවත් විද්‍යාව අපට උගන්වන්නේ විෂම ලිංගිකත්වය හරයෙන්ම සමලිංගික බවයි. එහි දී සිදු වන්නේ මිනිසෙක් තම ෆැන්ටසි වස්තුව සමඟ සහසම්බන්ධ වනවා මිස පිටත කෙනෙකු සමඟ සම්බන්ධ නොවන බවය. ඒ අනුව විෂම ලිංගිකත්වය යනු ස්වයං මෛථුනයකි. එය ‘තමන්’ තමන් සමඟම හස්ත මෛථුනයේ යෙදීමකි. ඒ මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව විෂම ලිංගික සබඳතා සූත‍්‍රගත කරන ආකාරයයි. ඊළඟට පිරිමි සමලිංගිකත්වය යනු ස්ත‍්‍රියකට (මවට ඇති බැඳීම) ආලය කිරීමයි. ශරීර පිරිමි වුවත් පිරිමි සමලිංගිකතාව තුළ එක ශරීරයක් ෆැන්ටාස්මැතිකව පිරිමි වන අතර අනෙක ස්ත‍්‍රී වේ. එක් අයකු ක‍්‍රියාකාරී වන අතර අනෙකා අකර්මණ්‍යය. පිරිමි සමලිංගිකත්වය තුළ යෝනිය වෙනුවට ගුදය අධිනිශ්චය වෙයි. එවැනි රසායන විද්‍යාවක් රසවත් කිරීමට අවශ්‍ය කොන්ඩොම් සහ ලිහිසි ද්‍රාවණ මේ වන විට විද්‍යාව සොයාගෙන ඇත. එනිසා තත්ත්වය දැන් සෞඛ්‍ය සම්පන්නය. මනෝ විශ්ලේෂණයට අනුව නියම විෂම ලිංගිකත්වය වන්නේ ස්ත‍්‍රී සමලිංගිකත්වයයි. ලෙස්බියන් සබඳතා ෆැන්ටසි අර්ථයෙන් ගත් විට සැබෑ විෂම ලිංගිකත්වයකි. පුරුෂයකු රැඩිකල් ලෙස ස්ත‍්‍රියකට ආලය කරන්නේ ලෙස්බියන් සබඳතාවලදීය.
ලංකාවේ ඡුන්ද දායකයන් අතරින් 90% ක් දන්නා පරිදි රාජ්‍ය පාලනයේ ප‍්‍රධාන නිල භූමිකාවක් සංකේතීයව අද නිරූපණය කරන්නේ සමකාමියෙකි. නමුත් ‘නරුමවාදීව’ අප මේ සියලූ දෙනාම දන්නා සත්‍යය නොදන්නවා මෙන් සිටිති. යටත්විජිත ස්වාමියාගේ නීතියක් අපේ රටේ ‘සංස්කෘතිය’ ලෙස බදා ගැනීම ද අඥානකමකි. මාක්ස් කී පරිදි ”ඔවුන් නොදන්නේ ඔවුන් කුමක් කරනවාද” යන්නය. රටේ තිබෙන සැබෑ ප‍්‍රශ්නවලට සාපේක්ෂව මෙය චූල ගැටලූවක් බව සැබෑය. නමුත් යම් දිනෙක ‘සමලිංගික නිදහසට’ අප ඉඩ දෙනවා යනු මිනිසා තමන්ගේ අභ්‍යන්තර නිදහස අවබෝධ කර ගැනීමකි. ‘නිදහස’ පිළිබඳ ඉතිරි සාර්වත‍්‍රික කරා (සමානාත්මතාවය, සහෝදරත්වය, අභ්‍යන්තර නිදහස) එවිට අපට වේගවත් විය හැකිය. ලංකාවේ වාමාංශිකයන් දන්නේ බාහිර බාධා ගැනය. ඔවුන්ට චින්තනය තුළ ඇති අභ්‍යන්තර බාධා ගැන වැටහීමක් නැත. ජාතිකවාදීන් සහ ඔවුන් අතර සමලිංගිකත්වය පිළිබඳ සමාජමය ආකල්ප සම්බන්ධයෙන් වෙනසක් නැත. ඔවුන්ට ද විෂම ලිංගිකත්වය සොබාවිකය. වාමාංශික පක්ෂ තුළ ස්ත‍්‍රිය දෘෂ්ටිවාදයේ උත්කර්ෂවත් වස්තුවක් වන්නේ මේ නිසාය.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...