ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » සර් අයිවර් ජෙනිංග්ස්ගේ අනෙකා

සර් අයිවර් ජෙනිංග්ස්ගේ අනෙකා 

Ivor

ඔබේ සම්පූර්ණ නම

ගුණදාස සූරියආරච්චි අමරසේකර

උපන්නෙ?

1929 නොවැම්බර් 12

කොහේද?

යටලමත්තේ. යටලමත්තේ කිව්වට අපේ ගම බද්දේගම. මගේ අම්මා ගුරුවරියක්. ඇය ඉගැන්වූයේ යටලමත්ත ඉස්කෝලේ. එහෙ පදිංචි වුණු නිසා මං ඉපදුණේ යටලමත්තේ. අම්මා ඇග්නස් කාරියවසම් බටුවත්ත.

එතකොට පියා?

හෙන්ද්‍රික් සූරියආරච්චි. තාත්තා වෙද මහත්තයෙක්. ප්‍රාචීන උගතෙක්. පිරිවෙන් අධ්‍යාපනය ඔස්සේ පාලි, සංස්කෘත හොඳට ඉගෙන ගත් කෙනෙක්.

ඔබට ගුණදාස වගෙ නමක් දාලා තියෙන්නේ ඇයි?

මගෙ හිතේ ඒ කාලේ බලපෑවේ ධර්මපාල චින්තනය. අපේ මුත්තගෙ නම කරෝලිස්. ඉංග්‍රිසි නම්, ක්‍රිස්තියානි නම් අතහැරලා සිංහල නම් දාන්න කියලනේ ධර්මපාල තුමා කිව්වේ. මගේ අයියා ධර්මදාස.

පවුලේ කී දෙනයි ද?

අයියයි, නංගියි. නංගි හේමා.

ඔබේ නවකතාවල නිරූපණය වන නැගණියගේ චරිතය ඇත්තටම ඔබේ මේ නංගි ද?

ඔව්. ඒ චරිතය මගෙ පොත්වල තරමක් දුරට දක්නට ලැබෙනවා. නවකතාවලට පාදක වන්නේ තමන්ගේ අත්දැකීම්නේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්.

ඔබ කොහෙට ද ඉස්කෝලේ ගියේ?

මුලින්ම අම්මා උගන්වපු යටලමත්ත ඉස්කෝලේ. ඊළඟට බද්දේගම ක්‍රයිස්ට් චර්ච්. මං බද්දේගම රත්නසාරයටත් අවුරුද්දක් දෙකක් ගියා. අන්තිමෙට ගියේ කොළඹ නාලන්දා විද්‍යාලයට.

ඔබේ ගම මොන වගේ ගමක් ද?

ඒ කාලේ හද්ද පිටිසර ගමක්. කොටින්ම බස් යන්න පාරක්වත් තිබ්බෙ නැහැ. දැන් නම් ඉතිං අනෙක් ගම්වලට සිද්ධ වෙනව වගේම අපේ ගමත් නාගරිකරණය වෙලා.

දකුණේ මුහුදුබඩ ගම් සැබෑ සිංහල ගම් කියලා ඇත්තටම කියන්න පුළුවන් ද?

රට අභ්‍යන්තරයට වඩා මුහුදුබඩ ගම් ශීඝ්‍රයෙන් බටහිර බලපෑමට නතු වුණු බව හැබෑව. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වුණා කියන්න බැරි ඕනෑම ගමක අපේ සභ්‍යත්වය ආරක්ෂා වෙලා තිබුණු නිසයි. දැන් නම් මගෙ හිතේ හැම ගමක්ම වගෙ වෙනස් වෙලා. එක අතකට ඒක වළක්වන්නත් බැහැ.

ඔබ විශ්ව විද්‍යාලයට ගියේ?

පනස් ගණන්වල මුල. පේරාදෙණියට ගියේ 1953 දී.

මහාචාර්ය සරච්චන්ද්‍ර ඔබේ ගුරුවරයෙක්. ඔබ කොහොම ද ඔහුව දකින්නෙ?

සරච්චන්ද්‍රයන් බොහෝම උදාර පරමාර්ථ, උදාර පුරුෂාර්ථ තිබුණු කෙනෙක්. එයාට තිබුණා ඕනැනම් සිවිල් සේවයට යන්න. නමුත් එහෙම නොගිහින් මේ වෘත්තියම තෝරගත්තා. ඔහු හිටියේ කුලි ගෙවල්වල. ඔහුට තිබුණේ කබල් කාර් එකක්.

එතකොට සර් අයිවර් ජෙනිංග්ස්? එයානේ විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටියේ?

මිනිහා තමයි අපට හිටපු ලොකුම අධිරාජ්‍යවාදියා. අපි මහත් උජාරුවෙන් වර්ණනා කළාට ඒ මිනිහා කළේ මේ රටට අවශ්‍ය උගතුන් බිහි කරන එක නෙමේ. ආණ්ඩුවට අවශ්‍ය සිවිල් සේවකයෝ බිහි කරපු එක. ජෙනිංග්ස් එංගලන්තයෙන් ආපු ඒජන්තවරයෙක්. ඊට වැඩි දෙයක් ඒ මිනිහාගේ නැහැ. ජෙනිංග්ස් මේ රටට අවශ්‍ය අධ්‍යාපනයක්වත්, චින්තනයක්වත් දුන්නු මනුස්සයෙක් නෙමේ.

අපේ රටේ විශ්ව විද්‍යාලවලින් උගතුන්, බුද්ධිමතුන් බිහි කරලා නැද්ද?

ivor 2

එක බුද්ධිමතෙක්වත් බිහි කරලා නැහැ කියන එකයි මගේ හැඟීම.

එතකොට ඔබ? ඔබ විශ්ව විද්‍යාලයෙන් බිහි කරපු බුද්ධිමතෙක් නෙමෙයි ද?

මම විශ්ව විද්‍යාලයට ගියාට මාව බිහි කළේ විශ්ව විද්‍යාලය නෙමේ. එහෙම නම් කෙනකුට කියන්න පුළුවන්, මාව බිහි කළේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය අංශයෙන් කියලා. සරච්චන්ද්‍රයන් වුණත් විශ්ව විද්‍යාලයට ගියත් එයත් එයින් ලබාගත් දෙයක් ඇතැයි කියලා මං හිතන්නේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, කුමාරතුංග මුනිදාස බිහි කළේ විශ්ව විද්‍යාල ද? විශ්ව විද්‍යාලවල පට්ටම් ගහපු අය හිටියට ගත යුතු බුද්ධිමතෙක් ඔවුන් අතර නැහැ.

එහෙම නම් ඉතිං විශ්ව විද්‍යාලවලින් වැඩක් නැහැනේ?

වැඩක් නැහැ නේන්නම්. තරුණයන් අනාථ කරන ඕවා වහලා දාන්න ඕනැ. දැනටමත් බාගෙට වැහිලනේ තියෙන්නේ. ස්ට්‍රයික් වගේ දේවල් නිසා. දොස්තරලා, ඉංජිනේරුවෝ බිහි කරන්න වුණත් විශ්ව විද්‍යාල ඕනැ නැහැනේ. ඒවා පුළුවන් මෙඩිකල් කොලේජ්, ටෙක්නිකල් කොලේජ්වලින් කරන්න. ඕනැම නම් විවෘත විශ්ව විද්‍යාලය වගෙ එකක් තියා ගත්තට කමක් නැහැ. අපේ රටේ කරපු ලොකුම වරදක් තමයි පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත් කරපු එක. පිරිවෙන් මීට වඩා හොඳයි.

අද විශ්ව විද්‍යාලවලට එන්නේ වෙන මුකුත්ම කරන්න බැරි අය. රස්සාවක් සොයා ගන්න ඇහැක් වුණානම් ඔතැන්ට එන්නෙ නැහැනේ. කෝකටත් මෙතැන්ටත් ඇවිත් බලමු කියලා හිතන අය තමයි එන්නේ. ඉතිං ඒ අයගෙන් අපිට විනය ගරුක ශාස්ත්‍රෝද්ග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

56 පෙරළිය ඔබ කොයි විදියට ද දැක්කෙ?

මම හැමදාම කියනවා වගේ ඒක ධර්මපාලගේ ජාතික විමුක්ති ව්‍යාපාරයේම ප්‍රතිඵලයක්. ඒත් බණ්ඩාරනායක මේක අල්ල ගත්තේ බොහෝම මතුපිටින්. අපේ රටේ සභ්‍යත්වය, සංස්කෘතිය කියලා කියන්නේ රෙද්ද බැනියමයි, කිරිබත් කෑල්ලයි පොල්තෙල් පහනයි කියලා එයා තේරුම් ගත්තේ. ඉන් ඔබ්බට යන තියුණු දේශපාලන විඥානයක් ඔහුට තිබ්බෙ නැහැ.

අපේ මාක්ස්වාදීන් වුණත් එහෙමයි නේද?

ඔව් ලිබරල් වාදයයි, මාක්ස් වාදයයි එකම කාසියේ දෙපැත්ත. දෙගොල්ලන්ටම අපේ සභ්‍යත්වය, ජාතිකත්වය තේරුණේ නැහැ. මාක්ස් වාදීන්ට නම් කොහොමත් වැටහුණේ නැහැ. මොකද ඔවුන්ට පන්තියක් මිසක් ජාතියක් තිබුණේ නැහැනේ. මේ ඔක්කොම ඉංග්‍රිසි අධ්‍යාපනයෙන් බිහි කරපු අනුකාරකයෝ පිරිසක්.

කාල් මාක්ස්ගේ මතුමහල පිළිබඳ සංකල්පය ඔබ පිළිගන්නේ නැහැ?

මාක්ස් කියලා තියෙන්නේ රටක සංස්කෘතිය සමාජය සතු ආර්ථිකය නමැති අඩිතාලය මත ගොඩ නැඟුණු මතුමහලට අයිති දෙයක් විදියටනේ. මේ දෙක අතර ලොකු සම්බන්ධයක් තිබෙන බව හැබෑව. ඒත් සංස්කෘතිය කියන්නේ ස්වාධීන දෙයක්. ඒක හොඳට පේනවා දියුණු සභ්‍යත්වයක් තිබුණු අපේ වගේ රටවල.

ඔබ ලිබරල්වාදයත් ප්‍රතික්ෂේප කරනවා; එසේම මාක්ස්වාදයත් ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් අපේ රටට ගැළපෙන්නේ මොන වගේ දේශපාලන දර්ශනයක් ද?

ඒක තමයි මගේ හිතේ වැදගත්ම කාරණාව. මොකද්ද අපිට අවශ්‍ය දේශපාලන දර්ශනය? මගෙ අදහස තමයි බෞද්ධ සභ්‍යත්වය උඩ, ජාතික චින්තනය මත පදනම් වෙච්ච දර්ශනයක් අපි ගොඩනඟා ගත යුතුයි කියන එක. එහෙම නැතිව අපිට ගැලවීමක් නැහැ. මොකද මේ රටේ අනාගතය තීන්දු වෙන්නේ ඒ මත. අපේ දේශපාලනඥයෝ මේක තවම තේරුම් අරගෙන නැහැ. මගේ හිතේ තියෙන එකම අභාග්‍යයත් ඒකයි.

මෙතැන කිසියම් ආකාරයක ජාතිවාදයක් නැද්ද?

අපොයි ඒක ජාතිවාදයට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ජාතිකත්වය කියන්නේ ජාතිවාදය නෙමෙයි. ඇත්තටම ‘නැෂනලිසම්’ කියන ඉංග්‍රිසි වචනයෙන් වුණත් ජාතිකත්වයේ තේරුම එන්නේ නැහැ. ජාතිකත්වය කියන්නේ අනාදිමත් කාලයක් තිස්සේ ගොඩනඟා ගත් සභ්‍යත්වය. මේ රටේ සභ්‍යත්වය අපි කැමැති වුණත් නැතත් හඳුන්වන්න පුළුවන් වෙන්නේ සිංහල බෞද්ධයන් විසින් ගොඩ නංවන ලද සභ්‍යත්වය කියලයි. එහි උප සංස්කෘති තිබෙනවා. දෙමළ අයට වෙනම උප සංස්කෘතියක් තියෙනවා. සිංහල කතෝලික අයට වෙනම උප සංස්කෘතියක් තියෙනවා.

එතකොට බහු ජාතික, බහු ආගමික බහු සංස්කෘතික සංකල්පය?

ඒක මොන කුණුහරුපයක් ද? මොන රටේ ද දන්නේ නැහැ ඔය කියන බහුභූතය තියෙන්නෙ? ඒක තනිකර විහිළුවක්නේ. ඕක ඊලාම් රාජ්‍යයක් බිහි කරන්න එන්. ජී. ඕ. නඩය පතුරුවන බොරු මතයක්.

ඔබ කියන ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන දර්ශනය ගොඩනැංවීමේදී බෞද්ධ භික්ෂුවට සුවිශේෂ වූ කාර්යභාරයක් තියෙනව ද ඉටු කරන්න?

ඔව්. නියත කාර්ය භාරයක් තියෙනවා. ඒක අද ඊයේ නෙමේ ඓතිහාසිකව උරුම වුණු දෙයක්. මෙතැන ත්‍රිකෝණාකාර ස්වභාවයක් තියෙනවා. ඒ රජය, ජනතාව හා භික්ෂුව. මේ තුනේ සහයෝගයෙන් තමයි මේ රටේ සභ්‍යත්වය ගොඩනැංවීලා තිබෙන්නේ. මිහිඳු හාමුදුරුවෝ ගෙන ආවේ බුද්ධාගම විතරක් නෙමෙයි බෞද්ධ රාජ්‍යයකුත් ගෙන ආවා.

ඒත් හාමුදුරුවරු ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන එක මේ රටේ බහුතරයක් අනුමත කරන්නෙ නැහැනේ.

ඔව්. සුළු පිරිසක් හැරුණුකොට බහුතරය මේක අනුමත කරන්නෙ නැහැ. මෙතැන ප්‍රවණතා දෙකක් තියෙනවා. එකක් ආක්‍රමණශීලී ප්‍රවණතාව. ඒක පටන්ගත්තේ වල්පොළ රාහුල හාමුදුරුවන්ගෙන්. ඒ වේදිකාවට නැඟලා පෙළපාළි ගිහිල්ලා දේශපාලනය කිරීම. ඒකේම දිගුවක් තමයි ඔය බොදු බල සේනා සංවිධානය. අනෙක් ප්‍රවණතාව තමයි මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවන් අනුගමනය කළ සාමකාමි ප්‍රවණතාව. උද්ඝෝෂණ නැතිවුණාට එකෙන් තමයි මේ රටේ ඉතිහාසය වෙනස් වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ, බෞද්ධ කොමිෂන් වාර්තාව එළිදැක්කේ ඒකෙන්. ඒ මාර්ගය තමයි බෞද්ධ භික්ෂුවට උරුම විය යුත්තේ.

බොදුබල සේනාව අන්තවාදියි.

ඒ ගොල්ලෝ ප්‍රශ්නය අල්ලගෙන තියෙන්නෙ වලිගෙන්. පල්ලි කැඩුවට, කඩ කැඩුවට ප්‍රශ්නය විස‍ඳෙන්නේ නැහැ. ඒවා විරුද්ධවාදීන්ට, එන්. ජී. ඕ. කාරයන්ට දෙන ආයුධ. අපි මේක තේරුම් ගන්න ඕනැ.

මේ රටේ අනාගතය භාරගන්නේ ගැමි උගත් තරුණ පරපුර කියලා ඔබ හැට ගණන්වල කිව්වා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ඒ ඇයි?

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල වශයෙන් ගමේ උගත් තරුණ පරපුරක් බිහිවුණා. 71 කැරැල්ලේ හිටියේ ඔය කියන කට්ටියනේ. ඒ අය නූගත් පිරිසක් නෙමෙයිනේ. නූගත් අයත් ටිකක් ඉන්න ඇති. නමුත් බහුතරය කිසියම් අධ්‍යාපනයක් ලබපු අය. නමුත් ඔවුන්ට ගැඹුරු දර්ශනයක් තිබුණේ නැහැ. විජේවීරට වුණත් තිබ්බෙ නැහැනේ. ඔහු චීන පිල, චේ ගුවේරා අනුකරණය කළා විතරයි. අනෙක් කාරණය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඔවුන්ව අතහැර දමනු ලැබීම; නොසලකා හරිනු ලැබීම.

අද ජේ. වී. පී. එක ගැන ඔබ මොකද හිතන්නෙ?

Ivor 3-

ඔවුන්ට කිසිම අනාගතයක් තියෙනවයි කියලා මම හිතන්නේ නැහැ. පරණ මාක්ස්වාදීන් වගේ ඒ අයත් දොඩවනවා. සුළු පිරිසක් ඉඳීවි.

ඔබේ බිරිඳ කවුද?

චන්ද්‍රා සෙනෙවිරත්න. සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ මහාචාර්යවරියක් විදියට කටයුතු කළා.

දරුවන්?

එක පුතයි. නම සුමේධ. එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.

ඔබ ජ්‍යොතිෂය එහෙම විශ්වාස කරනව ද?

ඕකේ ඇත්ත නැත්ත අපි දන්නෙ නැහැනේ. ඒ නිසා ඒක උඩ වැඩ කරන්නෙත් නැහැ. මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.

එතකොට පුනරුත්පත්තිය වගේ දේවල්?

පුනරුත්පත්තිය, කර්මය වගෙ දේවල් බුදු දහමට අවශ්‍ය නැහැ. ඕවා ශ්‍රද්ධාව උඩ පවතින දේවල්. එක අතකට ඒකට දොස් කියන්නත් බැහැ.

සුනිල් මිහිඳුකුල
සිළුමිණ

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...