Yannis Stavrakakis

 

1989 නොවැම්බර් මාසය ලාංකීය වාමාංශික ඉතිහාසයේ  ලේ පැල්ලම් සහිත සංධිස්ථානයක් වූයේ රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ නායකයින්ගේ ඝාතනයන් තුළිනි. දීප්ති සහෝදරයා 1989 වර්ෂයේ දී යාත්‍රා සගරාවේ ලේඛකයෙකු සහ සංස්කාරකවරයෙකු වශයෙන් දේශපාලන කාර්යයන් සිදුකළ රටේ පසුබිම එය විය.  ප්‍රධාන වශයෙන්ම 1989-1990 වකවානුව තුළ යාත්‍රා සගරාවත්, 1993-1996 දක්වා රශ්මිය සහ හිරු යන ටැබ්ලොයිඩ් පුවත්පත්  තුළ දීප්ති සහෝදරයාගේ මැදිහත් වීම් සහ 1993 දී ආරම්භකරන ලද දේශපාලන අධ්‍යයන කවයන් නොවන්නට අද කතා කරන්නට  X කණ්ඩායමක් හෝ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය නිර්මාණය වන්නේ නැත.

ඉන්පසුව 1996 වසරේදී ගාමිණි විජේතුංග විසින් සංස්කරණය කරන ලද මාතොට සගරාවේ දීප්ති සහෝදරයා විසින් ලියන ලද චින්තන අතිරේකය තුළ දේශපාලන ලේඛන එවකට දේශපාලන සඟරාවක පළකරන ලද රැඩිකල් චින්තනයක් ගැබ්ව පැවතිනි. මාතොට ආයතනය සමග දීප්ති ගේ තිබුණු දේශපාලන හිතවත්කම් සහ දේශපාලන මැදිහත්කරුවෙකුට පැවතිය යුතු විනය ගත දේශපාලන භාවිතාවත් හේතුවෙන් සම්පූර්ණයෙන් 1997 නොවැම්බර්යේ සිට   X කණ්ඩායමට මාතොට සඟරාවෙහි කණ්ඩායමක් ලෙස ලියන්නට ලැබුණි.  දීප්ති විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ධම්මගේ කාමරයේ පවත්වන ලද දේශපාලන අධ්‍යයන කවයේ එවකට ඉගනගනිමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ම ඉන්පසුව කණ්ඩායමක් ලෙස මාතොටෙහි ලියන්නට විය. පසු කලෙක ලන්ඩන් සගරවේද මේ අයගෙන් කිහිපදෙනෙකු ලියන ලදී.

  (* කුමරි මල් පත්තරයට ලියා ලේඛකයෙකු වන්නට ගිය වූ බුද්ධිකට පසුකලෙක සංකේත මල්ලක් ලැබුණේ දීප්ති විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ  උගැන්වූ දේවල් ගිරාපෝතකයෙක් ලෙස ලේඛන ගත කළ බැවිනි. ගල්කිස්සේ ප්‍රභා කුරුනෑගල බුද්ධිකට කැමති වුණේ X කණ්ඩායමට අයත්  ලන්ඩන් සඟරාවට ලියු නිසාය. එම කසාදයේ දෛවය කුමරිපත්තරේ ලියන්නෙකුට මහබඹා කොටා නැත්තේය. ) 

1993 වර්ෂයේ සිට දීප්ති සහෝදරයා විසින් ඇරඹි දේශපාලන පංතිවලට පැමිණිපිරිස හා සමානවම පිටවී ගිය ප්‍රමාණයද විශාල විය. එම පිටවී ගිය පිරිස දීප්තිගේ ලේඛන  1989 වසරේ සිට හැදෑරූ අය නොවේ.1989 වර්ෂයේ සිට තබා දීප්ති විසින් එවකට මාතොට සගරාවට ලියු දේශපාලන ලේඛන හෝ අධ්‍යනය කරන්නට ඔවුන්ට අවශ්‍යතාවක් නොවුණි.  ඔවුන් වඩාත් ආශා කළේ එම ලිපි පිළිබදව වෙනත් අයගෙන් අර්ථකථන ලබා ගැනීමටය. දීප්තිගේ අධ්‍යනයන්ට වඩා රෝහණ විජේවීරගේ හෝ මා ඕ කියූ දේවල්  ඔවුන්ට වැදගත් කියා පසු කළෙක තීන්දු කර ඇත. එසේ නැතිනම් දීප්තිගේ ලිපි අර්ථකථනය කරන්නෙකු පසුපස යෑමත්, එම අර්ථ කථනකරුගේ  අනුගාමිකයින් බවට පත්වීමට ඔවුන් ආශා කළෝ ය.

දීප්ති විසින් ලාංකීය වාමාංශික දේශපාලන ව්‍යාපාරයට අලුතින් එක්කරන ලද්දේ කුමක්ද? සහ එය සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයක ලක්ෂණ වලින් වෙනස් වන්නේ කෙසේද යන්න විමසිය යුතුය.

1930 දශකයේදී මෙරට ඇතිවූ ප්‍රථම දේශපාලන පක්ෂය වූයේ ලංකා සමසමාජ පක්ෂයයි. එකල එම පක්ෂයේ ආරම්භකයින් මෙරට රදළ වෙළද පංතියේ දරුවෝ වූහ. ඔවුන් තම උසස් අධ්‍යාපනය ලැබීමට ගියේ යුරෝපයටය. එවකට ලෝක සමාජවාදී රැල්ලත් සමග විකසිත වූ මොවුන්ගේ වාමාංශික සිහිනය ලංකාවේදී ස්ථාපිත කරන්නට සිටියේ ඔවුගේ ම වලව්වල බැලමෙහෙවර කරමින් සිටි සිළිදුලාය….බබුන්ලා…හින්නි හාමිලා ය… මේ අනුව ඔවුන්ට යුරෝපීය අර්ථයෙන් කම්කරුවෙක් නැතිවා පමණක් නොව, තම ජීවිතයට ‍‍ඓන්ද්‍රීයව බැදී නැති ප්‍රවේණීදාසයෙකුට,  සියලු සමාජ අයිතිවාසිකම් සහිත සමාන සහෝදරත්වයෙන් සැලකීම පිණිස තමන්ගේ වලව් දෘෂ්ටිවාදයෙන් ඉඩක් නොලැබුණි. මෙම පරතරය නිසා මෙරට ස්ථාපිත සම සමාජ පක්ෂයට සිදුවුණේ සිනිඳුලාගේ සුභසාධන කටයුතු වල නියැලීම මගින් ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම  පමණක් වන අතර, නිර්ධන පංතියට දේශපාලන අධ්‍යාපනය ලබා දීමට තරම් වටපිටාවක් හෝ අවශ්‍යතාවක්  වලව්පංතියට නොවුණි.

02

පසුව 1965 දි ඇරඹි ජ.වි.පෙ තුළ විජේවීර රුසියානු අභාසය සහිතව දේශපාලන විප්ලවයක් සදහා කාඩර්වරුන් තැනුවේ, එවකට පැවැති සමාජ දේශපාලන ආර්ථිකය ට අදාළව  සකස්කරන ලද අධ්‍යාපන පංති 5 ක් සහිත වය. එම පංති පහෙන් පසුව ජවිපෙ කාඩර්වරයාට සිදු වුණේ තම පුද්ගලික හැකියාවන් වර්ග අනුව විප්ලවය සදහා අදාල කාර්යය කොටස් සිදු කිරීමය. ඒ අනුව වාමාංශික පක්ෂයක් වැඩ කළ යුත්තේ  දාඩිය පෙරාගෙන කායික ශ්‍රමය වැගිරීමෙන්ය, ප්ලේන්ටි බීමෙන් ය, හිස පීරන්නේ නැතිව රස්තියාදු ගැසීමෙන් ය, පොඩි වුණු චීත්ත ගවුම් ඇදීමෙන් ය, ගෙවුණු රබර් සෙරෙරෙප්පු පැලදීමේන් ය යන දෘෂ්ටිවාදයන් ඔවුන්ගේ දේශපාලනයේ හදුනා ගැනීමේ ස්ථාවර ලක්ෂණ ලෙස උරුමයක් ලෙස ලැබුණි.

ඉන්පසුව 1990 දශකයේදී දීප්ති සහෝදරයා විසින් අලුතෙන් ආරම්භය ලබා දෙන්නේ මෙන්න මේ අමාරු දේශපාලනයට මැදිහත්වී කණපිට හරවන්නට ය. ප්‍රධාන වශයෙන්ම  ඒ සදහා ඔහුගේ හැදෑරීම්වල ඉතිහාසය වසර 25කට අධික කාලයක්ය. මේ අනුව 90 දශකය තුළ දීප්ති විසින් ආරම්භ කළ වාමාංශික දේශපාලන අධ්‍යාපන පංතිවල සුවිශේෂි භාවය වනුයේ එතෙක් වාමාංශික දේශපාලනයට අඩුවක්ව පැවැති කාඩර්වරයාව විධිමත් පරිදි සකස්කිරීමට අවශ්‍යය බුද්ධිමය භාවිතාවකට යෑමයි. මන්දයත් වෙනත් රටවල වාමාංශිකයන්ට වඩා ලංකාවේ වාමාංශිකයන් යනු බුද්ධිමය භාවිතාවක් නැති අය බවත්, ලංකාවට අදාළව වාමාංශික දේශපාලනයේ ගැටළුව ස්ථාපිතව ඇති “නිලය” වන්නේ මෙය බවත් එවකට දීප්ති විසින් හදුනා ගන්නා ලදී.

ඒ අනුව ඔහු විිසින් පශ්චාත් මාක්ස්වාදීන් ගේ න්‍යායන් නූතන දේශපාලන ව්‍යාපාරයේ බුද්ධිමය භාවිතාවට ඉවහල් කර ගන්නා ලදී. ඔහුගේ 90 දශකයේ දේශපාලන කවයන් හි සිටියේ පැරණි මාක්ස්වාදය තුළි ගිලී ගිය වුන් ය. ඔවුන් දැන සිටියේ මාක්ස්,එංගල්ස්, ලෙනින්, ස්ටාලින්, ට්‍රොස්කි, මා වෝ…. වැන්නන් ය. ඔවුන්ගේ දෙවියන් බවට පත්ව සිටියේ කාල් මාක්ස් ය. මාක්ස් මිය යන තෙක්ම සිදු කළේ බුද්ධිමය කර්තව්‍යකි. එය ඔහුගේ ජීවිතකාලයෙන්  වසර ගණනාවක් දිගුය. ලෙනින් විප්ලවීය නායකත්වය ලබා දුන්නාට ඔහුගේ පර්යේෂණ කෘති අදටත් සම්භාව්‍ය මාක්ස්වාදයේ අගනා කෘතීන් ය. ජවිපෙ කාඩර්වරයා අමතක කර දමන්නේ ඔවුන්ගේ දෙවියන්ගේ මෙම භාවිතාවයි. ජවිපෙ කාඩර්වරුන් වඩාත් කැමැතිවන්නේ රුසියානු සාහිත්‍යයේ  එන ජනප්‍රිය නවකතාවල විප්ලවීය චරිතය ඔවුන්ට ආරූඨකරගන්නටය.

එවකට දීප්ති විසින් ස්වඋත්සාහයෙන් පොත් සොයාගෙන, ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යනය කර රෝලන්ඩ් බාත්ස්, අල්තුෂර්,ෆ්‍රොයිඩ්, ලැකාන්, ඩෙරීඩා, ෆූකෝ, ජිජැක් වැනි චින්තකයින් තම අධ්‍යයන කව වල ශිෂ්‍යයින්ට හදුන්වා දුන් අතර, එම න්‍යායන් ලාංකීය අත්දැකීම් හා කාලීන සිදුවීම් දේශපාලනිකව තේරුම් ගැනීමට අදාළව දීප්තිගේ දේශපාලනික අධ්‍යාපනික පාඩම් සංවිධානයේ අධ්‍යන කවයන්තුළ දැනුම ලෙස බෙදා දුනි. නව දේශපාලන අධ්‍යන කවයන්හි ගුරුවරයාලෙස දීප්ති මූලිකව කටයුුතු කළේය. එමෙන්ම හිරු, මාතොට, ලන්ඩන් සඟරාවන්හි දීප්ති විසින් නව දැනුම ලේඛන ගත කරන ලදී. කල්‍යානන්ද වැනි කාඩර්වරයෙකු එම පාඩම් අසා එවෙලෙට චූන් වනවා හැර, ඉන් ඉදිරියට මුල් කෘති කියවා තම දැනුම වර්ධනය කර ගැනීමේ බුද්ධිමය භාවිතයට ගියේ නැත. ඒ වෙනුවට මොවුන් සිදු කළේ මෙතරම් බැරෑරුම් දේශපාලන න්‍යායන් තම තමන්ගේ ගෙදර ලෝකය, පරණ ලෝකය, පරණ දේශපාලනය නැවත අර්ථකරතනය කර ගැනීම සඳහා  භාවිතාවට ගැනීමයි. මේ නිසා ලංකාවේදී මේ නව චින්තකයින් නිසා බිහි වුණේ පැරණි භාවිතයට ඇදිගිය කාඩර්වරයෙකි. තම පැරණි දෘෂ්ටිවාදයන් අලුත් ආකාරයකට සකස් කරගන්නවා වෙනුවට, නව ඔළුවක් තනා ගන්නවා වෙනුවට,  ඔවුන් සිදු කළේ තම කඳට පැරණි ඔළුවම වෙස්මුහුණක් දමා පැලඳ ගැනීමය. තමා විසින් පැලඳි  වෙස් මුහුණට රැටටුණු අය අතර තමන් ද සිටින බව ඔවුන් නොදනී.

උදාහරණයක් ලෙස බස්නායක වැනි සාමාජිකයෙක් විප්ලවය කරන්නට නිවසේ සිට පැමිණි ආකාරයටම (කිසිදු  අභ්‍යන්තර වෙනසක් සිදු නොවී) සංවිධානය අතහැර නැවත නිවසට යත්දි  සිටියේ ය. නව දේශපාලයේ ගැඹුරින් නියැලුන කෙනෙකුට එසේ යහතින් නිවසට පෙර ස්වරූපයෙන්ම යෑමට හැකිද? නැතිනම් දීප්ති සමග තරහා වී විප්ලවය අතහැරිය හැකිද? මෙයින් නිගමනය කළ හැක්කේ කුමක්ද? බස්නායක වැනි බොහෝ සමාජිකයින් සංවිධානය තුළ සිටින්නට ඇත්තේ නිද්‍රාවට පත්වීගෙන බව ය. නිද්‍රාවට පත්වූ දරුවන් අවදි වූ විගස සොයා යන්නේ තම මව ය. දේශපාලනය තිබෙන්නේ මවගේ ලෝකයේ නොවේ ය.

ජිරාෆයාගේ බෙල්ල දිගුවී ඇත්තේද එවකට පරිසර තත්වයන්ට වෙනස්වීමට අවශ්‍ය පරිණාමීය ලක්ෂණයක් ලෙසින් බව සත්ව විද්‍යාවේදි උගන්වයි. පශ්චාත් නූතන තත්වයේදී සමාජීය, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතිය සම්බන්ධයෙන් නව සිතීමකට යෑමට අවශ්‍ය චින්තකයින්ගේ දැනුම දිප්තිගේ අධ්‍යනකවයන් මගින් ලබා දුන්නද කල්‍යානන්ද වැනි සමාජිකයින් පරිණාමය වූයේ ම නැත. ඔහු තමන් ගේ බුද්ධිමය භාවිතයට යෑමට ඇති අවිඥානික නොකැමැත්ත බහිෂ්කරණය කරන්නේ දීප්ති හිට්ලර් කෙනෙක් ලෙස  “පරිකල්පනීය බාධකයන්” නිර්මාණය කරමින්ය.  දේශපාලනයේදී පරිකල්පනීය බාධාවන් නිර්මාණය කර ගනිමින් සැබෑ දේශපාලනය මග හැර සිටීම නිකමෙකුට ඉතාම පහසු සහ කදිම ක්‍රීඩාවකි.

නමුත් බුද්ධිමය භාවිතාවකට යෑමට අවශ්‍ය මූලික පදනම වන්නේ දවසේ වැඩි වේලාවක් පොත් කියවීම සහ එම විෂය කරුණු තාර්කිකව සිතීම වෙනුවෙන් තම මනස පුහුණු කිරීම සිදු කළ යුතු වීමයි. නමුත් අධික ලෙස බත් ,මස් සහ කොත්තු ඇතුළු පාන් පිටි ආහාර  අනුභවකර නිදා ගන්නා  කල්‍යා ඇතුළු සමාජිකයින්ට  එම පුහුණුව ලබාදීම අතිශයින් අසීරු කාර්යයක් වුවත්, දීප්ති කිසිදිනෙක තම කාර්යය අත නොහැර දිගින් දිගටම මෙම සමාජිකයින්ගේ දැණුම වර්ධනය කිරීමට අවශ්‍ය අධ්‍යන කාර්යයයේ නිරතවිය. අද දවසේ  ද දීප්ති සිදු කරන්නේ එයමය.

කිසිදු  ඉදිරි වැඩ පිළිවෙලකින් තොරව අසංවිධිතව විසිර ගිය බුද්ධික ප්‍රබා ඇතුළු නඩය විසින් 2005 දී  විප්ලවවාදීන් ලෙස ලියූ  විප්ලවීය ලේඛනයක් පහතින් උපුටා දක්වා ඇත. මෙම උපුටා දැක්වීම් තුළ ඇති වචන වලින් විප්ලවය කළානම් අද වන විට ධනවාදය පරාජය වීමේ ලාංකීය පුරෝගාමීන් වන්නෝ ඔවුන් නොවෙද? කරුණාකර ඔවුන්ගේ විප්ලවීය සිහිනය සහිත වචන කියවා සිනහා නොවන්න. තමාගේ ජීවන පැවැත්ම සදහා සිහින – යථාර්තයන් කරනවාට වඩා සිහින – වචන ලෙස ලියන එක පහසු බව ඔවුන් අපට පශ්චාත් නූතන තත්වයේදී උගන්වා ඇත.

“සැබෑ අරගලය පවතින්නේ මෙම මුළු මහත් සමාජ දේශපාලනික ව්‍යුහයම රැඩිකල් වෙනස් කිරීමක් තුළය. එය කෙසේවත් හුදකලාවී කරනු ලබන අරගලයක් තුළ ජයග්‍රහණය කළ හැකි යයි පෙර ලෙස අප විශ්වාස නොකරමු”

2005  ජන-පෙබ-ලන්ඩන් පිටුව 03

“පසුගිය මාස දෙක-තුන තුළ අප සමග කිසියම් දේශපාලන සංවාදයක නියැළුණ බොහෝ දෙනෙක් අපගෙන් විමසා සිටියේ පැවැති ව්‍යාපෘතිය බැරෑරුම් ලෙස ප්‍රශ්න කරනු ලැබීමෙන්  ඉක්බිතිව අප අලුතෙන් ඉදිරිපත් කරන දේශපාලන දැක්ම කුමක්ද යන්නයි. ඇත්ත වශයෙන්ම පසුගිය මාස 02 ක පමණ කාලය තුළ කළ අපගේ අභ්‍යන්තර සංවාදය මූලික වශයෙන්ම යොමු වී තිබුණේ මෙම ගැටළුව වටාය.  එම සංවාද තුළ මතුවූ ප්‍රධාන කරුණ වූයේ අපගේ කර්තවය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට, එසේ නැතිනම් මේ මොහොතේ එහි අකෘතිය වූ ගෝලීයධනවාදයේ ආධිපත්‍යයට එරෙහිව වාමාංශික දේශපාලන අවකාශයක් උදෙසා අරගල කිරීම බවයි”                                                                    -2005 ලන්ඩන් මාර්තු-අප්‍රේල්  පිටුව 3

“මෙම තතු යටතේ මේ මොහොතේ වාමාංශික දේශපාලන අවකාශයක් උදෙසා අරගල කන්නන් ඉදිරියේ එක් අතකින් අභ්‍යන්තර වශයෙන් වාම දේශපාලන අවකාශයක් උදෙසා වූ සංවාදය අපගේ වාම දේශපාලන  සංවාදය තුළට ගෙන ඒමත්, සම්ප්‍රදායික වාමාංශික දේශපාලනය ලගා නොවූ පරාසයක් කරා වාම දේශපාලනය ක්‍රියාකාරීත්වයක් විහිදුවා ලීමටත් හදිසි කර්තවයක් ලෙස පවතී”

                                                                                             -2005  ලන්ඩන් මාර්තු  – අප්‍රේල් පිටුව 3 

දිගින් දිගටම දීප්ති විසින් හදුන්වා දුන් බුද්ධිමය භාවිතයට නොගොස් නිර්ධනයින්ට විමුක්ති මාර්ගය ලබා දීමට ලොකු ලොකු කතා කියූ…. ගැඹුරු දේශපාලනයක නියැලීමට පෙරුම්පිරූ….අපගේ මෙම විප්ලවවාදීන්ට දැන් සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් පැමිණි තැනටම නැවත ගොස් ඇත. ඉහත ලන්ඩන් සඟරාවට මෙම අදහස් ලේඛනගත කළ බුද්ධික සහ ප්‍රභා තම ඇත්ත ජීවිතයේ භාවිතාවන් තමන්ටම ඔක්කාරයක් වී ඇති නිමේෂයක තමන්ගේ අතීතයේ ලන්ඩන් සඟරාවට ලියූ මනස්කාන්ත කතුවැකිය දුටු විට කුමක් සිදු වේද? ඔවුන් ධනවාදයේ ඉතාම හොද පාරිභෝගිකයන් හෙයින් ඔවුන්ට තමන් ලියූ- කියූ කෙරූ කිසි දෙයක් සම්බන්ධයෙන් හෘද සාක්ෂි නොමැත. එබැවින් ඔවුන්ට කිසිදු දෙයක් සිදු වන්නේ නැත. ඔවුන් තමන්ගේ ඕනෑම බලු වැඩක් සදහා  යොදගෙන ඇති න්‍යායාත්මක  වචනය වන්නේ “ආචාරධර්මික ක්‍රියා” කියා ය. එහි නියම අර්ථයවත් නොදැන සිටින මොවුන් දීප්ති එක්ක තරහ වී විප්ලවය ද අතහැර, දීප්ති වෙනුවෙන් සහ ඔවුන්ට හිනාවෙන බොහෝ පිරිස වෙනුවෙන් දරුවෙක් සදාගෙන පවුලක් පංසලක්වී සිටියි. ඉදහිටක බ්ලොග් එකක ගෝලීය ධනවාදයට විරුද්ධව ලිපියක් ලියා තම කුණු ජීවිතයේ විප්ලවීය ආතතිය සමනය කරගනී. මෙය බුද්ධික සහ ප්‍රභාට පමණක් අදාළ නොවන අතර, විප්ලවය කිරිමට පැමිණ නැවත ගෙදර ගිය අයට, සහ විප්ලවය කිරීමට පැමිණ හොද බිස්නස්මන් කෙනෙකු වුණු මාවනැල්ලේ සරදියල්ට  ද අදාළය.

අද වන විට තම ජීවිතයේ විඳවීම සැපක් සේ සලකන හිටපු විප්ලවවාදීන්ගෙන් සමහරු දේශපාලනය වෙනුවට වස විස නැති ලෝවක් පතමින් සිටියි. ඒ අතර විෂම ලිංගිකයින් සම ලිංගිකයින් බවටද, රොහානියානු ස්ත්‍රීවාදී  රැඩිකල් පොරවල් ස්ත්‍රීවාදීනියක වන බිරිදට කොසුමිට කැඩෙන්ට ගසන්නට ද හයිය ලැබී ඇත. නිකං කතිකාචාර්යයවරුන් රජයේ අධ්‍යක්ෂ ජනරාල්ලා බවටද, කසාද නොබදින්න හිටි අය කසාද ද, දරුවන් නොසාදන්නට තීරණය කළ වුන් දරුවන් දෙතුන් දෙනාද සාදා ගනිමින් ද ජීවිතය ගෙවා දමමින් අද වන විට සමාජ ජාලා ජංජාලයක් කරමින් සිටියි. සමාජ සංවිධානයකින් ඉවත්වූ කාඩර්වරුන් පසුව විපරිතභාවයට පත්වන්නේ ඇයි?

ගෝලීය ධනවාදය සම්බන්ධයෙන්, බොහෝ විචාර සහිතව මාතොට- ලන්ඩන් සගරා අශ්‍රිතව දෙසා බෑ මේ විප්ලවවාදීන්ට සැබෑ දේශපාලනයක නියැලුණේ නම් ඉහත නීරස ජීවිත වල යලි හොදින් සැරිසරන්නට හැකිවෙන්නේද? මෙම ඇල් මැරුණු උදාසීනත්වය,  ක්‍රියාකාරී කාඩර්වරයෙකුට ඔරොත්තු නොදෙන තරම් වූ මේ සීතලට වකුටුවී සිටින දේශපාලනය පැමිණෙන්නේ කොතනින්ද?

මෙම උදාසීනතත්වය පිළිබදව මේ වන විට අප සංවිධානය විසින්  විශ්ලේෂණය කිරිමට ආරම්භකර ඇති අතර මහේෂ් සහෝදරයා ගේ ලිපි මගින් අර්ථකතනය කිරීමට පටන්ගෙන ඇත්තේ මේ ලාංකීය උදාසීන මිනිසාගේ දෘෂ්ටිවාදයයි. නැතිනම් බස්නායකලාව දීප්ති විසින් හදුන්වා දුන් බුද්ධිමය සම්ප්‍රදායට ඇතුළු කර ගැනීමට අසමත් වූ දෘෂ්ටිවාදයයි.  ලාංකීය උදාසීන ආත්මය වාමාංශික දේශපාලනයේ නව භාවිතයකට ගැනීම කෙතරම් අසීරුදැයි මේ මොහොතේ ඔබට ඔබගේ ආත්මයෙන්ම හදුනාගත හැකිය.

Confucius

ඔබේ අදහස කියන්න...