මා දන්නා පරිදි ස්ටාලින් ගේ බොහොමයක් ප්‍රතිමා සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඉවත් කරන ලදී. නැතහොත් ඔහුගේ පාලන සමයේ භීෂණයට අසුවුණු අයගේ නෑදෑයින් විසින් කඩා දමන ලදී. ලෙනින් ගේ ප්‍රතිමා බොහෝ විට බලයට පැමිණි යෙල්ට්සින්ගේ පක්ෂයේ නාගරික සභා මගින් ඉවත් කරන ලදී. ලෙනින්ගේ පිළිමයක් තිබේ දැයි සොයා බැලූ මට ඉලිචා චතුරශ්‍රයේ පිළිරුව ඉවත් කර නොමැති බවට ආරංචි විය. ඉලිචා හෙවත් ඉලිච් යනු ලෙනින් ගේ දෙවැනි නමයි.
සාන්ත පිතර්බුර්ගයේ ඉතා පියකරු පෙදෙසක පිහිටි මේ චතුරශ්‍රයේ ලෙනින් බලා සිටින්නේ නේවා ගඟ දෙසය.
ඉලිචා චතුරශ්‍රය |
පහත ඇත්තේ කාලතුවක්කු (artillery) සඳහා පිහිටුවා ඇති හමුදා ඇකඩමියයි. මෙහි කාලතුවක්කු වර්ග, යුධ ටැංකිවල කාලතුවක්කු පිහිටුවන ආකාරය, ෂෙල් වැටෙන දුර නිර්ණය කිරීම ආදිය සියල්ල උගන්වන අතර කාලතුවක්කු පිලිබඳ විශේෂඥයන් බිහි කිරීම මෙහි පරමාර්ථයයි. මෙහි ඉගෙනුම පිලිබඳ වියදම දරන්නේ යුධ හමුදාවයි.
නේවා ගඟ අසල හිරු බැසයන අන්දම
ගඟ අසබඩින් ඇවිද ඉන්පසු අලෙක්සන්ද්රෝව්කි සද් නමැති ගිම්හාන සෘතුවේ ඇවිදීමට සාදා ඇති උද්‍යානයට පිවිසුනෙමි. මේ එහි ඇති රෝම හා ග්‍රීක ප්‍රතිමා කිහිපයකි.
ශාන්ත පිතර්බුර්ග් නගර මධ්‍යයේ සුන්දර ශීත මාලිගාව ඉදිරිපිට චතුරශ්‍රයේ පිහිට ඇති මෙම කුළුණ 1917 විප්ලවයෙන් පසුව ඉවත් නොකරන ලද්දකි. එය පිහිටුවා ඇත්තේ රුසියානු ජෙනරාල් කුතුසොව් ගේ හමුදා 1812 දී නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදා පරාජය කිරීම සිහි කිරීමටය. මේ කුලුනේ විශේෂත්වය වන්නේ එය එහි පිහිටා ඇත්තේ එහි බරින් පමණක් වීමයි. එනම් පදනමක් (foundation) නැතිවය.