සමස්තයක් ලෙස නැගෙනහිර යුරෝපයේ පැවති සමාජවාදය තුළ අත්විදින්නට වූ සමාජ මර්ධනයත් එහි සුවිශේෂයක් ලෙස මිලාන් කුන්දේරාගේ ‘පියාපතක් වන් සැහැල්ලු ජීවිතයක්’ යන නවකතාවත් අප සාකච්ඡා කළෙමු.

මර්ධනකාරී පාලන තන්ත්‍රයක් පිළිබඳව ජනප්‍රිය වාම මතවාදය වන්නේ එවැනි තන්ත්‍රයන්ට මිනිසුන් නිසර්ගයෙන් විරෝධය දක්වන බවයි. නමුත් මනෝවිශ්ලේෂණය නම් විද්‍යාව(දැනුම) අපට උගන්වන්නේ ඉහත අදහසේ නොපිට පැත්තයි. මනෝවිශ්ලේෂණයට අනුව මිනිසාගේ අවිඥාණය මර්ධනකාරී පාලන තන්ත්‍රයන්ට අනුරාගීය. මිලාන් කුන්දේරා අපට සාහිත්‍යකරුවෙකුට වඩා දෘෂ්ටිවාදය විචාරය කරන්නෙකු ලෙස වැදගත් වන්නේ මෙම මංසන්ධියේදීය.

ලැකානියානු මනෝවිශ්ලේෂණ සාහිත්‍යයේදී ප්‍රකට ලෙස වහරණ වදනක් (Term) වන්නේ මහා අනෙකා (Big Other) යන සංකල්පයයි. ලැකානියානු විශ්ලේෂණයට අනුව මනුෂ්‍යයෙක් සමාජ සබඳතා වලට එළඹෙන්නේ කල්පිත අනෙකෙකු හරහාය. මෙම කල්පිත අනෙකා බාහිර ලෝකයේ ජීවත් වන සැබෑ අනෙකා (Real Other) නොවේ. එබැවින් මනෝවිශ්ලේෂණය තුළ සාකච්ඡා කරන අනෙකා යම්කිසි උත්තරීතර හෝ අනුභූතී උත්තර සාරයක් නියෝජනය නොකරයි. මෙම න්‍යායික විග්‍රහයට අනුව අනෙකා යනු ෆැන්ටාස්මැතික නිර්මිතයකි. හිතන, පතන මිනිස් ආත්මය නිරන්තරයෙන් මෙම කල්පිත අනෙකා වෙතට ස්වකැමැත්තෙන් උත්තර බඳින අතර එම ෆැන්ටාස්මැතික අනෙකා තමන්ගේ ක්‍රියාවන්වල සහ විශ්වාසයන්ගේ විනිශ්චයකරුවා ලෙසින් සලකයි. ආත්මය තමන්ගේ ක්‍රියාවන් සහ ගන්නා තීරණවල නිර්ණායකය ලෙස සලකන්නේ ද මෙම කල්පිත අනෙකාය. එබැවින් ආත්මයේ කේන්ද්‍රය පවතින්නේ බාහිර තැනක ඇතැයි විශ්වාස කරන මෙම කල්පිත අනෙකාගේ සංගතභාවය මතය. එය තත්‍යසමාන භූමියකි.

සැබැවින් පවතින අනෙකා (ශ්‍රමිකයා, බිරිඳ, පවුල, දරුවන්, ධනපතියා) සහ තත්‍යසමාන අනෙකා (Virtual Other) ; එනම් ජනමාධ්‍ය, දෙවියන්, සමාජවාදය, මහජනයා, ජනතාව, ස්ත්‍රිය, ලිංගික අනෙකා අතර පැහැදිලි පරතරයක් (Gap) පවතියි. මෙම පරතරය සාංදෘෂ්ටික පරතරයක් නොවේ. නමුත් සමපේක්ෂණ ක්‍රියාවලිය තුළ මිනිස් ආත්මය ”මහා අනෙකා” සැබැවින්ම පවතියි යන මතිභ්‍රමයට එළඹෙයි. උදාහරණයක් වශයෙන් X කණ්ඩායමේ සිටි බහුතරයක් දෙනා ‘ජනතාව’ යනුවෙන් සැබෑ මහා අනෙකෙක් ඇතැයි සැබැවින්ම විශ්වාස කළ නිසා ඔවුන් මේ ලියන මම ඒකාධිපතියෙක් ලෙසින් සමප්‍රේක්ෂණය කරන ලදී. ඒ අනුව සැබැවින්ම මහා අනෙකෙක් නැති වුවත් එමඟින් සැබෑ ප්‍රතිඵල සමාජය තුළ උත්ගත කරවයි. ලැකානියානු මනෝවිශ්ලේෂණයේ මූලික සංකල්පයක් පවා ඔවුන්ට වැටහී තිබුණේ ඒ ආකාරයටය. ‘ජනතාව’ යනු සැබෑ අනෙකෙක් නොව ෆැන්ටාස්මැතික අතිරික්තයක් ජනනය කරන සහ අපගේ අශ්ලීල, ස්වඋල්ලංඝණීය ආශාවන් ප්‍රක්ෂේපණය කරන වැඩබිමකි. කෙටියෙන් කිවහොත් ජනතාව යනු ෆැන්ටසියක් නොව ෆැන්ටාස්මැතිකයකි. අපගේ අශ්ලීල , මර්ධිත ආශාවන් ‘ජනතාව’ නම් කල්පිතයට ආරෝපණය කළ හැක. ජාතිවාදීන් කරන්නේ මෙම ක්‍රියාවයි.

කුන්දේරාගේ ‘පියාපත් වන්’ නවකතාවේ ප්‍රධාන චරිත හැසිරෙන්නේ අප ඉහත විග්‍රහ කරන ලද මහා අනෙකාගේ විනිශ්චයන්ට අනුවය. නවකතාවේ ප්‍රධාන චරිත බලපෑමට සහ පාලනයට යටත් වන්නේ මහා අනෙකාගේ පැවැත්මේ ව්‍යාකරණයට අනුවය. උදාහරණයක් ලෙස නවකතාවේ ප්‍රධාන චරිතයක් වන ෆ්‍රාන්ස් යනු ජිනීවා නගරයේ ජීවත් වන මහාචාර්යවරයෙකි. ඔහුගේ දෛනික ජීවිතය ගත වන්නේ පොත කියවීමට,ඇකඩමික රචනා ලිවීමට, දේශණ පැවැත්වීමට සහ පොත් ප්‍රකාශයට පත් කිරීමටය. ඊට අමතරව ඔහු තම බිරිඳට සහ දියණියට අවංක , කරුණාවන්ත පුද්ගලයෙකි. ඔහුගේ ජීවිතයට ඔවුන් දෙදෙනා කදිමට නොගැලපෙන මුත් ඔවුන් ව ඉවසීම ඔහුගේ ජීවිතයේ උසස් පරමාර්ථයකි. ශීලයකි.

නමුත් හදිසියේ ඔහුට හමුවන සබීනා නම් සුන්දර, බුද්ධිමත් තරුණියක් නිසා ඔහුගේ ජීවන සමස්තය වහා පුපුරා යයි. යහපත් පවුල් ජීවිත ගත කරන බොහෝ පිරිමින්ගේ සාන්ත දාන්ත සාමකාමී ජිවිතය ඇස්ටරොයිඩයක් බාහිරින් කඩා වැටීම තුළ ක්ෂණිකව විනාශ වීම අප ජීවත් වන පශ්චාත් නූතන ධනවාදී නූතනත්වය තුළ හුදු අහම්බයක් නොවේ. මධ්‍යම පාන්තික සාමකාමීත්වය ඉල්ලා සිටින්නේම බාහිර ප්‍රචණ්ඩත්වයකි. කාලයක් තිස්සේ රහසිගතව සබීනා සමඟ සම්බන්ධයක් පවත්වාගෙන යන ෆ්‍රාන්ස් එක් මොහොතක දී සියල්ල තම බිරිඳට ප්‍රකාශ කිරීමට තීරණය කරයි. නමුත් මෙම ක්‍රියාවට පසුව ඔහු බලාපොරොත්තු නොවූවක් සිදු වෙයි. සබීනා සමඟ එක්වන්නට ගන්නා ඔහුගේ තීරණය අවසන් වන්නේ ඇය ඔහුව අතහැර යාමෙන් ය. ඉන්පසු අද්භූතජනක දෙයක් සිදුවෙයි. සබීනා ඔහු අතහැර යාමෙන් පසු ඇය ඔහුගේ මහා අනෙකා බවට පත් වෙයි. ඔහු ඉන්පසු සිතන්නේ සබීනා අදෘෂ්‍යමාණ දෙවියෙක් බවයි. ඇය ඔහු කියන කරන දෙය බලා සිටින තාරකාවක් බවට පරිවර්තනය වෙයි. ‘ස්ත්‍රියක්’ පුරුෂයෙකුගේ ක්‍රියාවන් විනිශ්චය කරන්නේ නම් එය කෙතරම් පාරභෞතිකද? සමාජවාදය , වාමාංශික දේශපාලනය වැනි පරමාදර්ශ වෙනුවට එතැනට ස්ත්‍රියක් ආදේශ වන්නේ නම් එම ජීවිතය කෙතරම් සැහැල්ලුවක්ද?.

2019 වර්ෂයේ ග්‍රේෂන් ත්‍යාගය හිමි වූ ”අරූන් Welandawe – ප්‍රේමතිලක” 90 දශකයේ අප නොදුටු අලුත් ලැකානියානු ආප්තයක් හඳුන්වා දෙයි. ඔහු සමලිංගිකයෙකි. ඔහුගේ පෙම්වතිය විෂමලිංගිකය. මෙය 90 දශකයට වෙනස් 21 වැනි සියවසේ අලුත් සූත්‍රයකි. ලිංගික සබඳතා යනුවෙන් දෙයක් – There is no Sexual Relation – නැත යන්න තහවුරු කරන ෆැන්ටසි මානයකි. බ්‍රහ්මචාරී ද නොවන ෆැලික ද නොවන මෙම නව විකල්පයේ දේශපාලන මානය අපට හඟවන්නේ කුමක්ද?. නිසැක ලෙසම ලැක්ලාවියානු පසමිතුරුභාවය මෙම නව-මිනිස්(?) සම්බන්ධය විසින් යථෙහි ආධිපත්‍ය දෙසට විස්ථාපනය කර ඇත. ග්‍රාම්ස්චියානු හෙජමොනිය මෙම නව නස්වභාවික ලිංගික ෆැන්ටසිය විග්‍රහ කිරීමට අදාල නැත. සමලිංගික පුරුෂයෙකු විෂම- ලිංගික ස්ත්‍රියක් සමඟ එකට විසීම ‘සංස්කෘතිය’ සමතික්‍රමණය කිරීමකි. මෙමඟින් ඕනෑම ලිංගික සබඳතාවයක පිහිටිය හැක ප්‍රතිවිරෝධයක් මඟ හැර යාමේ විකල්ප මාවතකි. භාවනා නොකර සමාධියට එළඹීමකි. ‘පසමිතුරුභාවයන්’ නොමැති ලිංගි සබඳතා වලට පැවතිය හැකි හොඳම ආකෘතිය වන්නේ මෙම සම- විෂම අසම්පාතයයි. 21 වැනි සියවසේ අනාගත බහුතරය ප්‍රාර්ථනා කරන්නේ ගැටුම් සහ අතිරික්තයන් (නොගැලපීම්) නොමැති යුගල සබඳතාය. පශ්චාත් – නූතන අර්ථයෙන් මෙම සබඳතා ”පශ්චාත් – මානුෂීකය” (Post Human). ලිංගික පසමිතුරුතාවයන් (Sexual Antagonisms) ජය ගන්නා මෙම නව ආකෘතිය (සාමය රජයන රාම රාජ්‍යය) සිත් ගන්නා සුළු ෆැන්ටසියකි. අරූන් ට මේ සඳහා නොබෙල් ත්‍යාගය යෝජනා කළත් අප පුදුම විය යුතු නැත. හැගවුම්කාරකයට හිමි නියම ස්වායන්තතාවය දැන් එයට හිමි වී ඇත.

දෘෂ්ටිවාදය (Ideology) යනු සත්‍යයේ විරුද්ධ පැත්ත නොවේ. එය වරදක් (Error) හෝ මුලාවක් (Deception) හෝ ලාභය සඳහා කියන බොරුවක් නොවේ. දෘෂ්ටිවාදයේ ක්‍රියාකාරීත්වය දැනුමට වඩා සහමුලින් වෙනස් ය. දෘෂ්ටිවාදය යනු අලුත් අදහසක් නිශ්පාදනය වීමට අදාලව තත්ත්වයන් නිශ්පාදනය කිරීමයි. එනිසාම දෘෂ්ටිවාදය ඉන් බාහිර අනුභූතික කරුණු වලින් කරැණාවක්, සහතිකයක් බලාපොරොත්තු නොවේ. දෘෂ්ටිවාදය මඟින් සංකේතවත් වන්නේ කෙනෙකු සමාජය තුළ ජීවත් වන විට අත්විඳින බිය, සැක, සංකා, අවිනිශ්චිතාවයන්, ප්‍රාර්ථනා, කැමැත්තවල්, බලාපොරොත්තු සමඟ බද්ධ වූ පරිකල්පනීය ආබ්‍යානයකි. එනම් දෘෂ්ටිවාදය යනු අපගේ සමාජ බිය පළවා හරින මායාවක් නොවේ. දෘෂ්ටිවාදය යනු අපගේ අසරණකම ව්‍යුහගත කරන අවිඥාණාක ෆැන්ටසියකි. එබැවින් එය අපගේ සමාජ යථාර්ථයම වෙයි. එබැවින් දෘෂ්ටිවාදය පිහිටන්නේ වරද හෝ අනුභූතික දත්ත මත නොව ෆැන්ටසිය සහ සමාජ යථාර්ථය මතය. අරූන්ගේ දෘෂ්ටිවාදය වසා දමන්නේ සමකාලීන ලිංගික සබඳතාවල ස්වපීඩා- පරපීඩා හිංසනයයි.

කුන්දේරාගේ නවකතාවල පෙම්වතුන් සහ පෙම්වතියන් විඳවන්නේ වෙන් වීමෙනි. එකට සිටීමට නොහැකි වීමෙන්ය. කුන්දෙරා විඳවීම ශරීරයකට බද්ධ කරයි. නමුත් අරූන් යෝජනා කරන විඳවීම ශරීරයක් රහිත විඥාණයකි. එනම් වියුක්තනය පූර්ණ වී ඇත. විඳවීම සහමුලින් විඥාණ ක්‍රියාවලියකි. ස්ත්‍රී මනෝවිශ්ලේෂණය කියා විෂයක් නොමැති නිසාත්, බාධාවක් රහිතව විනෝද වීමේ මාර්ග සත්යක් යෝජනා කරන නිසාත් මෙහිදී ‘ලිංගික අර්ථය’ යන්න සහමුලින් බිඳ වැටෙයි. ඒ වෙනුවට ටොම් සහ ජෙරී ලිංගික හඩායාමක්(Drive) යෝජනා වෙයි. එමඟින් අවසාන ධනවාදයේ තෘප්තිය වූ ‘අතෘප්තිය’ විකල්පය බවට පත් වෙයි. මධ්‍යම පන්තික ලිංගික සබඳතාවල ‘විඳවීම’ ශාරීරික වශයෙන් වාෂ්ප වෙයි. පශ්චාත් මාස්ටර් කතිකාවක් ලිංගිකත්වය උදෙසා ඉදිවෙයි. මෙය පශ්චාත්- නූතන හිස්ටීරියාවේ සමාරම්භයක් ද? නැතහොත් ලිංගිකයෙන් ලිංගිකත්වය වෙන් කරන ගණිකාකරණයක්ද?.

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here