පොදු අවකාශය තුල සාකච්චා කිරීමට නම් ඕනෑම ආගමික පාර භෞතිකයක් (religious metaphysics) පෙරළා ලෞකික භාෂාවක් වෙතට පරිවර්තනය කල යුතු බව පවසන හබමාස් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ආගම තුල ඇති අන්තර්ගතයන් තව දුරටත් සබුද්ධික කිරීමේ හැකියාවක් පවතින බවයි. බොහෝ අඩුපාඩු සහිතව හෝ පශ්චාත් යටත් විජිත සන්දර්භයක් තුල එවන් උත්සාහයක් අප විසින් ද න්‍යායිකව අත්හදා බලන ලද අතර එය ‘මේ සිංහල අපගේ රටයි’ ළිපි මාලාව තුළ ඔබට දැකගත හැකිය.
සම්ප්‍රදාය නූතන කරණය (modernization of tradition) පිළිබද කරුණ හබමාස් සම්බන්දයෙන් ගත්විට ඉතාම වැදගත් දෙයක් වන අතර එහි සබුද්ධික අන්තර්ගතයෙන් (rational content) මිනිස් ශිෂ්ටාචාරයට ලෙහෙසියෙන් ගැලවිය නොහැකි කරුණේදී අප දේශපාලනය කරන්නවුන් ලෙස සියවස් ගණනක් අප තුල පැළපදියම් වී ඇති සම්ප්‍රදාය ගැන ඉතාම සවිඥාණික විය යුතුය. සෙන් බුද්ධාගම සහ ෂින්ටෝ දහම ඔස්සේ ජපානය කර ඇත්තේ එක් ආකාරයකට මෙවන් හබමාසියානු ක්‍රියාවකි. ඒ ඔස්සේ ඇතැම් වැදගත් යැයි හැඟුණ කරුණු අප ඉහත දැක්වූ ‘මේ සිංහල අපගේ රටයි’ ළිපි මාලාව පෙළ ගස්වා ඇති අතර නූතනකරණය සමග බද්ධ වූ බුද්ධාගමක් (දර්ශනයක්) පිළිබද කරුණ අප එහිදී ඉස්මතු කර ඇත. එය අවසානයේ ජිවන දර්ශනයක් ලෙස ලෞකිකකරණය සමග බද්ධ වන්නේ කෙසේද යන්න මෙහිදී අප පැහැදිලි කරගත යුතු බරපතල ගැටළුවක් වන්නේ බුද්ධාගම ආගමක් ලෙස ගත්විට එය ලෞකික ආගමක් නොවන බැවිණි. ආගමක් ලෙස එය ලෝකෝත්තර වුවත් ගිහි ජීවිතය ගෙවන අයෙක් වෙනුවෙන් වූ ක්‍රම වේදයක් බුද්ධාගම තුල ම දක්නට ලැබේ. එවිට අපට ජර්මන් විඥානවාදයේ ශුන්‍යතා කොටස සමග බෞද්ධ ශුන්‍යතාවය සම්බන්ද කල හැක. අවසානයේ නූතන ලෝකය තුල ම සහ ලෞකික බව තුල ම මිනිසාට මුණගැසෙන ශුන්‍ය බව (හිස් බව සහ අවසන් අරුතක් නොමැති බව) තරණය කල හැකි සවිඥාණික බවක් (consciousness) වෙතට අපට ගමන් කල හැකි වනු ඇත. තම අහම තමා තුලම දියකර හැරීම ඔස්සේ සහ ක්ෂිතිමය මතකයන් සුවපත් කර ගැනීම ඔස්සේ අනෙකා සමග යහපත් සම්බන්දයක් වෙතට මිනිසාට එවිට ගමන් කල හැකි වනු ඇත. එය මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් කරන අහමේ ප්‍රතිචාරයක් නොවනු ඇත. ඉස්ලාමය සම්බන්දයෙන් වුවද මෙවන් නූතන සහ ප්‍රතිසංස්කරණ (reformation and modernization) වැඩ පිළිවෙලක් අවශ්‍ය බව මුස්ලිම් සහෝදරත්වයේ වැදගත් චින්තකයෙක් වූ තාරික් රමදාන් පෙන්වා දෙයි (Ramadan, 2009). එමෙන් ම රැඩිකල් ඉස්ලාමයේ සමාජ ආපසු ගමනය ඉතාම ප්‍රභල දෘෂ්ටිවාදයක් වී ඇත. යථාර්තයේ වේදනාව වෙනුවට කන්‍යාවියන් සිහිත දෙව් ලොවක් ෆැන්ටසි ගත කිරීම වෙනුවෙන් යහමින් මුදල් ඇති මුස්ලිම් තරුණ තරුණියන් වෙත පවා ෆැන්ටසි අල්ලසක් දීමට තරම් ඉස්ලාමීය ගරිල්ලන් රැඩිකල් කරණය වී ඇත. දෙව් ලොවට ගියද ඔවුන්ගේ අහම මෙලොවදී මෙන්ම අතොරක් නැති ‘විනෝදය’ ඉල්ලා සිටී. සිදුවීම් දිග හැරෙමින් යන ආකාරය අනුව අහමේ ශුන්‍යතාවය (සහ බාහිර ලෝකයේ ශුන්‍යබව) ගැන කතා කළ ඉහත ‘මේ සිංහල අපගේ රටයි’ ළිපි පෙළ ඔස්සේ මුද්‍රණය කිරීමට නියමිත ‘සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාව’ පොත් පිංච මේ මොහොතේ ලංකාව සම්බන්දයෙන් ඉතාම දේශපාලනික විය හැක. සෙන් බුද්ධාගම ඔස්සේ පැමිණි ස්වභාව ධර්මය ගැන ඇති සවිඥානික බව, පිළිවෙල, මේ මොහොත, පිරිසිදු කම, තදින් නො ඇලීම, ශුන්‍යතාවය, අනිත්‍යය, වෙනස් වීම, විසංයෝජනය යන තේමා මෙසේ නූතන බව වෙත සහ එහි ලෞකික බව වෙත ආගමනය වූ බටහිර නොවන (සම්ප්‍රදායික) පෙරදිග කතිකා කලාපයන් ය (ජපානය තුළ ද සබුද්ධික කර ඇත්තේ සම්ප්‍රදාය වන අතර මුරකමි වැනි රචකයෙක් මෙහිදී වඩා බටහිර වන අතර ඔහු එනයින් ජපන් නොවන ලේඛකයෙක් වශයෙන් පවා විචාරකයින් හඳුන්වයි). ජිජැක් විසින් ක්‍රිස්තියානිය උපයෝගී කරගනු ලබන්නේ ද ඉහත අර්ථයෙනි. මහායාන මූලයන් ගෙන් වෙනස් වුවද ඉහත තේමා ඔස්සේ ම අනාත්මවාදී ථේරවාද බුද්ධාගම නුතන බව වෙත රැගෙන යාම අපහසු විය නොහැක.  

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ලාංකික උගතුන් කිහිප දෙනෙක් නූතනත්වය ගැන සහ ඉස්ලාම් ආගම නූතන බව සමග සම්බන්ද විය යුතු බවට උඩින් පල්ලෙන් සඳහන් කර තිබුනද ඒ සම්බන්දව ඔවුන් යෝජනා කරන දාර්ශනික වැඩ පිළිවෙලක් සන්නිවේදනය කර තිබුනේ නැත (සබුද්ධික අයුරින්). තම ලිපිවල මාතෘකා ලෙස නුතන බව යනුවෙන් සදහන් කර කර තිබුනද එම නුතන බව සමග සියවස් ගණනක සම්ප්‍රදායික සමාජයක් වන අප සම්බන්ද වන්නේ කෙසේද යන න්‍යායික කරුණ ගැන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව ධාරියෙක් ලෙස මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම ලිපියේ යෝජනා නොකරයි. එක්වරම සම්ප්‍රදායික දැනුමක් සම්ප්‍රදාය විරෝධී (නූතන) ප්‍රපංචයක් සමග ගැට ගැසෙන්නේ කෙසේද යන්න විකිපීඩියාව ද සඳහන් නොකරයි. ඒ සඳහා එවන් දේවල් අපට කලින් අත්හදා බලනු ලැබූ ගෝලීය උදාහරණ දෙස බැලිය යුතුය. ආසියාව පැත්තෙන් ජපානය සහ චීනය එනිනෙකට වෙනස් මාදිලින් දෙකක් උදාහරණ ලෙස සපයයි. 

ආචාර්ය තිරු කන්දයියා(2018) කියන අයුරින් පේරාදෙණිය ගුරු කුලය පවා උත්සාහ කලේ ඉහත නූතන බව සමග ගැට ගැසීමට ය. එහිදී ඔවුන්ගේ ක්‍රමවේදය වී තිබුණේ ජපානයේ සිදු වුවා සේ සම්ප්‍රදාය තුල තිබු අන්තර්ගතය ප්‍රබුද්ධකරණය කිරීමේ වැඩ පිළිවෙලයි. නමුත් ඔවුන් ජපානයේ දාර්ශනික මූලයන් අධ්‍යනය කර තිබුණේ නැති වීම බරපතල තත්වයකි. ඒ නිසා ම බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරමින් නූතන බටහිර දර්ශනය සමග එය ගැට ගසා ගනිමින් පෙරදිග සහ අපරදිග අතර දාර්ශනික පාලමක් තනා ගැනීමට ඔවුන්ට ඒ මොහොතේ නුපුළුවන් විය. ඒ පාලම ලෙස ඔවුන් ඇතැම් විට විශ්වාස කලේ මාක්ස්වාදය විය හැකි වුවත් පේරාදෙණිය පරම්පරාවේ ම ගුණදාස අමරසේකර මාක්ස්වාදයට විරුද්ධව ජාතිකවාදය ඉස්මතු කරමින් බටහිර නූතන බවෙන් ඈත් වීම සලකුණු කිරීම ඔස්සේ පේරාදෙණිය තව දුරටත් ලංකාව තුළ වලංගු නොවීය. කෙසේ වුවත් ඔහුගේ දේශීය බව කිතරෝ ගේ ජපන් ජාතිකවාදයෙන් ඉඳුරා වෙනස් විය. අමරසේකර ට අවශ්‍ය වුවේ තමන්ගේ දේශීය දර්ශනය (එවැන්නක් වී නම්) පුළුල් විශ්වීය බවක් වෙත ගෙනයාම නොවේ. නමුත් ජපන් බුද්ධිමතුන් ගේ ව්‍යායාමය වුවේ ජර්මානු විඥාණවාදය බෞද්ධ විඥාණවාදය සමග සම්බන්ද කර ඒ ඔස්සේ පෙරදිග ජපන් සමාජය බටහිර සමාජයේ දාර්ශනික පදනම් සමග සම්බන්ද කිරීමය. බටහිර අහමේ උත්කෘෂ්ට කරණය පෙරදිග බුදු දහම ඔස්සේ විසංයෝජනය කිරීමය (නිශිටනි 1990). එම විචාරය ඔස්සේ බටහිර තරණය කිරීමය. බටහිර අච්චුවේ නිමවුන බටහිර දර්ශනය වෙත පෙරදිග විචාරයක් ගෙන ඒම නම් ස්ථානයේදී ඔවුන් බෙහෙවින් සාර්ථක විය. නමුත් ඔවුන්ගේ මහායාන බෞද්ධ මූලය මෙහිදී පුර්ණ ලෙසම ඛණ්ඩයට ලක් වූ අතර තව දුරටත් ඔවුන් ආගමික බව තුළ අර්ථකතනය කර නොහැකි විය. එමෙන්ම ඔවුන් දර්ශනයේ බටහිර මූලය ප්‍රතික්ෂේප කිරීමට කිසිසේත් උත්සාහ නොකරන ලදී (ලංකාවේ සිදු වුවේ මෙය නොවේ). ඉස්ලාමීය බුද්ධිමතුන් අතින් පවා සිදුවිය යුත්තේ මෙවන් ක්‍රියාවකි. ජපන් දාර්ශනිකයින් හට සිදු වූවා මෙන් එහිදී අපගේ ඇතැම් හුරු පුරුදු මූලයන් අත් හැරීමට අනිවාර්යයෙන් සිදුවනු ඇති බව මගේ තර්කයයි.  
  
ශුන්‍යතාවය යනු මිනිස් ආත්මයෙන් පිටත ඇති යමක් නොව මිනිසා තුලම ඇති රික්තකයකි. පැල්මකි. උදාහරණ ලෙස විශ්වය පුරා අරක්ගත් ශුන්‍යතාවය වෙනුවට නිපදවූ දෙවියන් විසින් මිනිසා විසිකර දමන්නේ හිස් කාබනික ලෝකයකට ය. ඔහුගේ තනියට ගැහැණිය මවනු ලැබුවත් (බාහිර වස්තුවකි), ගස් වැල් මවනු ලැබුවත් (බාහිර) මිනිසා තම අභ්‍යන්තරයෙන් හිස් ය. ජපන් දර්ශනයේ පදනම එයයි. දෙවියන් විසින් මවනු ලැබූ පරිපුර්ණ නොවන ලෝකය තුල අතරමං වන සහරාන් ලා සොයන්නේ පරිකල්පිත පරිපුර්ණ ෆැන්ටසියකි. තමා තුළ නළියන ශුන්‍ය බව ඔවුන් පුරවා ගැනීමට උත්සාහ කරන්නේ නැවත අකාබනික දිව්‍ය ලොවක් වෙත යෑමෙන් ය. කාබනික ලෝකයේ නැති පරිපුර්ණ බව ඔවුන් දිව්‍ය ලෝකයේ සොයයි. නමුත් මේ අපරිපුර්ණ බව නම් පරිකල්පනය යනු අප තුල ම ඇති පරිපුර්ණ බවේ ෆැන්ටසියකි. ජර්මානු විඥාණවාදය (ෂෙලින්, හේගල්) යනු මේ පරිපුර්ණ බව අකාබනික සහ කාබනික ලෝක අතර (transcendental) සොයනා දාර්ශනික උත්සාහයක් වේ. මාක්ස් එය ද්‍රව්‍යමය ලෝකයේ අත්හදා බැලීමට උත්සාහ කළේය. ඒ පරිපුර්ණ බව සෙවීම සඳහා ඔවුන්ට බලය අවශ්‍ය විය (authority). පදනම් අවශ්‍ය විය (foundations). ඒ පදනම් ඇසුරින් ඒවායේ ද්වයිතයන් බටහිර දර්ශනයට අවශ්‍ය විය (වැඩවසම් සහ ධනවාදී ක්‍රමය අතර පදනම් වල ඇති පරස්පර බව). හෛඩගර් විසින් මුල්වරට මේ ද්වෛතයන් ගෙන් වියුක්ත දර්ශනයක් දේශනා කරන්නේ ඇතුල සහ පිට යන දෙබෙදුම තුල ඇති ගැටලුව හඳුනාගත් බැවිණි. ඇතුල සහ පිට යනුවෙන් දේවල් තේරුම් ගැනීම නිසා ඇතිවන පැල්ම යනු හිස් බවකි. මිනිසා මෙම හිස් බව නිසා ආතති ගත වන අතර එම ආතතිය විසින් ඔහුව ප්‍රචණ්ඩ බව වෙත යොමු කරන බව හෛඩගර් කියා සිටී (මිනිසා තුළ ඇති පරිකල්පනය ට අනුව බාහිර ලෝකය වෙනස් කිරීම මෙම ප්‍රචණ්ඩ බවේ ආරම්භය යි). පිටත සහ ඇතුලත යනුවෙන් ලෝකය තේරුම් ගන්නවා වෙනුවට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ දෙකම එකවිට පවතින බවයි. පිටත සහ ඇතුලත යනුවෙන් තේරුම් ගන්නේ අප තුල ඇති ඥාන විභාගයේ සීමාවක් නිසා යන්න බුද්ධ දේශනයයි. නැතනම් ඇත්තේ එකකි. දෙකක් නොවේ. බුදුන් විසින් දේශනා කරන ලද පෙරදිග චින්තනයේ මිනිස් පැවැත්ම තුල ඇති නොපැවැත්ම (දෙකම එකට පැවතීම) තේරුම් ගන්නේ කෙසේද? හෛඩගර් ට අනුව මෙම ප්‍රශ්නය තේරුම් ගැනීම වෙනුවෙන් සද්භාවවේදී සද්භාවයක් අවශ්‍ය ව ඇත (Ontico-Ontology). එහි අදහස නම් මේ තත්වය තේරුම් ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමේ විද්‍යාවක් අවශ්‍ය යි යන්නය. සාමාන්‍යයෙන් බටහිර තර්කනය අනුව යම් විෂය -හේතුවක් යම් දෙයක් සමග අනන්‍ය කරයි (identify). සෙම්ප්‍රතිශ්‍යාව ට හේතුව යම් වෛරසයක් යන්න බටහිර විද්‍යාවේ හේතුවයි. නමුත් පෙරදිග යනු එවන් එක් හේතුවක් මත විෂයක් පදනම් නොකරයි. යම් දෙයක් උත්පාද වන්නේ හේතු ගණනාවක් නිසා බව පට්ච්ච සමුප්පාදයේ පිළිගැනීමයි. 
  
ඒ ඔස්සේ ගමන් කරමින් කිජී නිෂිතනි පෙන්වා දෙන්නේ හිස් බව යනු අපෙන් පිටත ඇති යමක් නොව අප තුල ම පවතින බහුරූපී පැල්මවල් ගණනාවක් විසින් ඇතිකර ඇති සංතෘප්ත බවක් ලෙසය (saturation of polymorphous fissures). මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ බෞද්ධ අන්තවාදය යනු මේ ආකාරයට යම් නිශ්චිත එක හේතුවක් නිසා ඇතිවන්නක් නොව හේතුන් ගණනාවක් නිසා ඇතිවන්නක් වේ. නූතන බවේ විගලිත ජීවිතය, සම්ප්‍රදාය විසින් ගෙනෙනු ලබන පීඩනය, ආර්ථික හේතු, ස්ත්‍රිය, ආගමික අධ්‍යාපනය, අනන්‍යතා ගැටළු ආදී වශයෙන් මේ හේතුන් විවිධ ස්වභාවයන් ගනී. ඒ සියලු හේතු මගින් ඇතිකරන පීඩනය සත්‍යයක් වුවද ඒ පීඩනය වෙනුවෙන් ඔවුන් තෝරා ගන්නා කිසිදු විකල්පයක් යනු මිනිසාගේ අතිමූලික හිස් බව පුරවා ලන්නක් නොවේ. නූතන ආතතිය වෙනුවෙන් මොවුන් මෙසේ කරන ලදැ’යි අප සැක කෙරුවද නූතන බව වෙත පැමිණීමෙන් හෝ නැවත සම්ප්‍රදාය වෙත යෑමෙන් හෝ උසස් නුතන බව තුළදී හෝ මෙම ශුන්‍ය බව නොවිසඳී පවතී. අප තේරුම් ගත යුත්තේ එයයි. හේතුව විසින් මිනිසා වෙත යම් සද්භාවී සහනයක් ගෙනෙනු ලැබුවද මිනිසා පෙලන විගලිත බව හේතුව විසින් ශුන්‍ය නොකරයි. ආගම විසින් වුව ද එය සුවපත් කරන්නේ නැත. නමුත් හේතුවේ සීමාව තුල ඇති විනෝදය එය විසින් තහවුරු කරයි. නුතන යුගයේ මිනිසා තව තවත් ආගම වෙත ගමන් කරන්නේ හේතුව තුල පවතින සීමාව ඔහුට තේරුම් ගත නොහැකි නිසාය. උගත් තරුණ තරුණියන් ආගමේ අන්තවාදී අන්තර්ගතය තුල දකින්නේ ඔවුන් ඉගෙනගත් නූතන අධ්‍යපනයේ සීමාව යි. එතරම් උසස් නූතන බව තුල මෙතරම් පරස්පරතා පවතින්නේ ඇයි? මේ ඔවුන්ගේ ප්‍රශ්නයයි. අවසානයේ එය බටහිර විරෝධයක් දක්වා ගමන් කර ඇත. මුස්ලිම් ආගමික අන්තවාදීන් පමණක් නොව බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමික අන්තවාදී කොටස් පවා තේරුම් ගත යුතු කාරණාව වන්නේ අප දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එළඹී ඇති බටහිර නූතනත්වය යනු බරපතල විරුද්ධාභාෂ සහිත සමාජ ක්‍රමයක් යන්න ය. නුතන බව තුල නපුර අවශ්‍යයෙන් පවතින බව ඔවුන් තේරුම් ගත යුතුය. අප නූතන බව වෙත ප්‍රවේශ විය යුත්තේ එහි තාර්කික විවේචකයින් ලෙසය (rational critics). ආගමික බව ඔස්සේ නොවේය. ජපන් චින්තකයින් විසින් කරනු ලැබුවේ එයයි. ඔවුන් බුදු දහම, කොන්ෆියුසිස් සහ ෂින්ටෝ දහමේ අභාෂය ඔස්සේ නූතන බවේ ඇතැම් ගැටළු ගැන තාර්කික විවේචක අක්ෂයක් දියුණු කළේය. ඒ ඔස්සේ ඔවුන් නූතන බවේ තාර්කික අන්තර්ගතයෙන් පළා නොයමින් ඒ තුල ම සිටිමින් නව දර්ශනයක් දියුණු කළේය. එනයින් ඔවුන් විද්‍යාවෙන් සහ තාක්ෂයෙන් පළා ගියේද නැත. ඒ ඔස්සේ විද්‍යාවේ දියුණු ලක්ෂණ ඔවුන් තමාගේ සමාජයට උරුම කළේය. බොරු බටහිර විරෝධයක් වෙත නොයමින් තමන්ගේ ම වූ දියණු දර්ශනයක් ජපන් පොළොවේ ස්ථාපිත කළෝය. ඔවුන් බටහිර දේ තවත් දියුණු කරමින් ම බටහිර ට වෙනස් ‘විසංයෝජන ගෘහ නිර්මාණයක්’ (deconstructing architecture) තම දර්ශනය තුලට එකතු කළෝය (කරතානි 1995). ව්‍යුහයන් යනු වෙනස් වෙමින් යන ප්‍රපංචයක් මිස හැමදාම බඩ බැඳගෙන සිටිය යුතු දෙයක් නොවන බව ඔව්හු පෙන්වා දුන්නෝය. බටහිර ස්වයං නිශ්චිත බවට (self-certainty) ප්‍රති පක්ෂව ව්‍යුහයන් මෙන්ම ආත්මය ද ස්ථාපිත වන්නේ අති මුලික ශුන්‍ය බවක් තුල යන්න මුලින් ම පෙන්වා දුන්නෝ ඔව්හු ය. 
Rashid Hameed is an importer of BMW vehicles. Rishard’s body was identified in Colombo’s hospital a few hours after the blasts.  According to his wife , Rishard went to the gym at the Shangri-La hotel and was killed at the restaurant serving breakfast.
මිනිස් අහමේ ඇති පතුලක් නැති ගැඹුර (bottomless depth) හේතුවෙන් බටහිර මනෝ විශ්ලේෂණය අවිඥාණය යනුවෙන් යමක් නම් කර ඇති බව පහදන නිෂිතනි මේ හේතුව නිසා ලකාන් මිනිස් ආත්මය නැවත වරක් බෙදුමකට ලක් කරන පෙන්වා දෙයි. ඒ බෙදුම නම් මිනිස් ආත්මය සහ ආත්මය තුල ම ඇති ආත්මයයි. ඒ අනුව ආත්මය තුල ම ඇති බෙදුම විසින් ආත්මය ආත්මයෙන් ම විගලිත වේ. තමා තමා වෙතින් ම විගලිත වන බව නිෂිතනි පෙන්වා දේ. මේ හේතුව මත ‘තමා කළ දෙය තමා වත් නොදන්නා’ වශයෙන් වන යෙදුම් මනෝ විශ්ලේෂණයේ සුලබ යෙදුම් වේ (ලැකානියානු මනෝ විශ්ලේෂණය පදනම් කර ගනිමින් අප පවා ලියන්නේ ‘ඔවුන් කළ දෙය ඔවුන්වත් නොදන්නා බැවින්’ – For They Know Not What They Do යනුවෙනි). බටහිර මනස ශුන්‍යතාවය තමාගේ මනසට බාහිරෙන් පවතින දෙයක් ලෙස තේරුම් ගන්නා බැවින් ඔවුන් වෙනස් කිරීමට උත්සාහ කරන්නේ තමාගෙන් පිටත ලෝකය බව ඔහු පෙන්වා දෙයි. නමුත් මෙය මිනිසා විසින් ම පරිකල්පනය කරන දෙයකි. ඒ පරිකල්පනය ඔස්සේ ඔහු තමා දකින සියළු දෙය තුළ හිස් බව දකී. මිනිස් සම්බන්දතා, ස්වභාව ධර්මය, ඇඳුම් පැළදුම්, නගර, යන මේ සියල්ලක් ම අර්ථ ශුන්‍ය දේ ලෙස ඔහු සලකයි. මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් බවට පත්වීමට අවශ්‍ය සියළු අඩුම කුඩුම මේ ඔස්සේ ඔහුට ලැබේ. මරණය සිදු වීමට තව අඩු පරිපුර්ණ ෆැන්ටසියක් පමණි. ඒ පරිපුර්ණ බවේ ෆැන්ටසි ය ද ආගම විසින් ම සපයයි. පරස්පරතා නැති ගැටුම් නැති කන්‍යාවියන් සහිත දෙව්ලොවක් යනු අප මේ විඳින කටුක යථාර්තයට් ගෙනෙන ෆැන්ටසි විසඳුමකි. නමුත් සෑහෙන පමණ පොහොසතුන් වූ ඇතැම් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ට අවශ්‍යනම් කන්‍යාවියන් මෙලොව දීම මිළදී ගැනීමේ හැකියාව පවා තිබී ඇත. නමුත් ලෞකික සැප ලබාගත හැකි වූ අය පවා උත්සාහ කලේ නොදන්නා දෙව් ලොවක් වෙත යාමය, නැත්නම් කොතරම් ලෞකිකව දියුණු වුවද තමාගේ නො සුවපත් අහමේ තුවාලය වෙනුවෙන් ප්‍රචණ්ඩ ප්‍රතිචාර දැක්විමකට ය. නමුත් ඔවුන් තේරුම් ගත යුත්තේ පරස්පරතා නැති භෞතික සැප පිරුණු දිව්‍ය ලෝකයේ පවා අවසානයට ඇත්තේ ශුන්‍ය බව යන්න ය. අප ඒ ශුන්‍ය අවකාශය සමග ජිවත් විය යුතු විනා අප තුළ නළියන එම ශුන්‍යතාවය අනෙකා තුලට ප්‍රක්ෂේපනය කිරීමේ තේරුමක් නැත්තේ අනෙකා තුල ඇත්තේ ද අප තුල තරම්ම වූ හිස් බවක් නිසාවෙනි. යේසුස් වහන්සේ කලේ අනෙකා තුල තිබු හිස් බව තමා වෙතට ගැනීම මිස (ආදරය) අනෙකා මරා දැමීම නොවේ. මෙහි පවතින තවත් අති මූලික ගැටළුවක් වන්නේ අප ජිවත් වන කාබනික ලෝකය සහ අකාබනික පැවැත්ම අතර පරතරය (split) පියවීම සඳහා ස්ථිර පදනමක් බටහිර ආගම් විසින් සෙවීමයි. ඒ අනුව මෙම විගලිත කාබනික ලෝකයේ අස්ථිර බව වෙනුවට ස්ථිර නොවෙනස් ලෝකයක් ඔවුන් පරිකල්පනය කරයි. ඒ ලෝකය දිව්‍ය ලෝකය වන අතර ඒ ස්ථිර දිව්‍ය ලෝකයට යනු පිණිස මිනිසාගේ සියළු කුඩා කුඩා අතිරික්ත විනෝද සාධක මේ ලෝකය තුල තහනම් කර ඇත. ශරීරය නිරාවරණය කිරීම, ප්‍රේම කිරීම, ඌරු මස් කෑම, අරක්කු බිම, සිගරට් බිම වැනි මුලික අතිරික්ත ප්‍රමෝදයන් තහනම් කර ඔවුන් මෙළොවින් පිට පාර ලෝකයක පුර්ණ විනෝද පදනමක් සොයනු ලබයි. 

නමුත් ශුන්‍යතාවය තුල මෙලොවට පැමිණෙන අප එම ශුන්‍යතාවය තුල ජීවත් වී, ශුන්‍යතාවයේ කොකා කෝලා පානය කර, එම ශුන්‍යතාවය තුල ම මියයනු ලබයි. අප තුළින් ඉවත් කරනු ලැබූ(sucked off) හිස් බවක් සොයා පලක් නැති අතර අපගෙන් බාහිර වූ (outside ourselves) ලෝකයේ පවතින හිස් බවක් සොයා පලක් ඇත්තේ ද නැත. දයලෙක්තිකයේ ආතතිය (ඇතුල සහ පිටත අතර ආතතිය) අප බටහිරින් ණයට ගෙන ඒ ඔස්සේ දුක්විය යුතු ද නොවේ. මුලින් අහෝසි කර ගත යුත්තේ තමා නම් අහම වන අතර තමා අහෝසි වූ විට තමාගෙන් විකේන්ද්‍රණය වූ ආත්මයක් සොයා පලක් වන්නේ ද නැත (de-centered spirit from I-hood). ‘මා නම් වූ ශුන්‍ය බව මා විසින් ම නිර්මාණය කල සියළු නිර්මාණයන් මා වෙතින් පලවා හැරිය යුතුය’ යන්න නිෂිටනි ගේ ඉගැන්වීමයි(I – this nihility-  shall drive out my various creations out of myself). ටොයෝටා, බෝයින්, රෝල්ස් රොයිස්, කාඩේෂියන් යනු අපගේ ෆැන්ටසි නිර්මාණ වන අතර (ඒවා නොපවතින බවක් මෙයින් අදහස් නොවේ) අප ඒවායේ සිරකරුවන් විය යුතු නොවේ. රට, ජාතිය, ආගම, සිංහලකම යනු ද මෙවන් විසංයෝජිත මිනිස් නිර්මාණ මිස අපි මරණීය ලෙස අනන්‍ය විය යුතු දේවල් ද නොවේ. අධිකාරී බලය සහ සදාචාරය අයිති වන්නේ ද මෙම ප්‍රවර්ගයට ම ය. Max Stirner මෙසේ කියයි, ‘රාජ්‍ය අධිකාරිත්වයේ පවතින හිස් බව සහ ශුන්‍යතාවය සෑමවිටම නිර්මාණශීලි මිනිස් අහමේ ඇති අසහාය බලය සහ හැකියාවන් ගේ තරමට ප්‍රමාණාත්මකව සැසදේ’ (1905). මේ වනවිට ලංකාව තුළ වඩාත් අධිකාරිමය පාලනයක් ඉල්ලා ජාතිකවාදීන් මොර දෙන්නේ පසුගියදා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂාව කේන්ද්‍රීය බලයක් වටා ගොනුවිය යුතුය නම් තර්කයේ සිටය. නමුත් අප අමතක කරන්නේ එවන් අධිකාරිමය බලයක් වෙනස් කරනු වස් අප කොතරම් මහන්සි වුවේද යන්න ය. එමෙන්ම එම ප්‍රහාරයෙන් පසු ජාතික වාදය තවත් වටයකින් විශ්වීය වටිනාකම් අර්බුදයට ලක් කර ඇති අතර ඇතිව ඇති සංකාමය ආතතිගත තත්වයෙන් සමාජය මුදවා ගැනීමට විශ්වීය වාදීන්ට මෙන්ම ජාතික වාදීන්ට යන දෙකොටසට ම මේ වනවිට නොහැකි වී තිබේ. පශ්චාත් ක්ෂිතිමය ආතතියෙන් මිදීමට නම් අප සමාජයක් ලෙස මෙතෙක් ගොඩ නැගූ සියල්ල දෙස නැවත සිතා බැලිය යුතුය. විශ්වීය වටිනාකම් මෙන්ම ජාතිකවාදය ද යන දෙකම අසමත් නම් අප දැන් සිතිය යුතු නව මාවත කුමක්ද? මා එයට දෙන පිළිතුර නම් අපේ උරුමය නැවත නුතන බව වෙත ප්‍රතිජීවනය ඔස්සේ නව විශ්වීය බවක් ගොඩ නැගිය යුතු බවයි. අපගේ ම වූ නව ලාංකික ලෞකික අනන්‍යතාවයක් බුදු දහමේ වටිනාකම් ඔස්සේ ම ගොඩ නැගිය යුතුව ඇත. දැනටත් බටහිර කරණය වෙමින් පවතින අපගේ අනන්‍යතාවය සමග බෞද්ධ වටිනාකම් දාර්ශනිකව සමමුහුර්ත කරගත යුතුව ඇත (philosophical synchronization). අප බේරා ගැනීමට බටහිර සුදු ස්වාමියා එන්නේ නැත. ජිජැක් එන්නේ ද නැත. අපේ හිසට සෙවනැල්ල අපගේ ම අත පමණි. 

පරම දැනුම (absolute knowledge) යන හෙගලියානු ප්‍රවාදය (ජිජැක් 1991, 100) බොහෝ දුරට ම බෞද්ධ සහ ඉන්දියානු දර්ශනයේ එන පරම ශුන්‍යතාවය (absolute nothingness) පිළිබද අත්දැකීම සහ සමපාත වන බව අපට ජිජැක් හරහා ම පෙනීයයි. ජිජැක් පවසන්නේ මිනිසා අවසන් ලෙස අත්දකිනු ලබන දෙය නම් ‘ශුන්‍ය බවේ සත්‍යය’ යන්නයි (the truth of nothingness). උදාහරණ වශයෙන් අප කිසිදා නොදුටු ලස්සන ෆැන්ටසි ස්ත්‍රියක් අප දුටුවා යැයි සිතමු. මෙතෙක් කිසිදා අප තුල නොවූ උපාදානයක් (අධි අනන්‍ය වීමක්) ඇයගේ ෆැන්ටසි රූපය නිසා අප තුළ හටගනී  (කිතරෝ 1958, 1982; චන්දවිමල 2008). බටහිර අරුතින් ගත්විට දැන් එම ආශාව තරණය කිරීම වෙනුවෙන් ප්‍රේරණයක් (drive) අප තුළ හට ගනී. යථාව විනිවිදීම ලෞකික තත්වයක් වන හෙයින් අපට එම ප්‍රේරණය ප්‍රතික්ෂේප කල නොහැකි අතර මිනිසා එම ආශාව වෙත යනු අපට බලා සිටීමට සිදුවේ (ආගමික අර්ථයෙන් කියනු ලබන්නේ එසේ නොකරන ලෙසයි). නමුත් ඉන් පසු සිදු වන්නේ කුමක් ද? අප හොලිවුඩ් උදාහරණයක් වෙත යමු. ඕනෑම හොලිවුඩ් චිත්‍රපටයක ලිංගික හැසිරීමකින් පසු සිදු කරන්නේ දුම් වැටියක් ඉරීමයි (‘කැසබලන්කා’ මේ සඳහා සම්භාව්‍ය උදාරණය යි). අනෙකා විනිවිදීම නම් ක්‍රියාවේ ආතතිය මිනිසා මුදා හරින්නේ තවත් එවැනිම මරණීය ක්‍රියාවක් වන දුම් වැටිය හරහා මරණය ඔස්සේ ම ය (death itself). වොන් ට්‍රියර් ගේ සිනමාව තුළ පෙන්වන්නේ ද මෙයම ය. ක්‍රියාවේ හිස් බව (ආශාව තරණය ඔස්සේ ලැබෙන අත්දැකීම) යනු මෙම පරම අත්දැකීමයි (absolute experience). එම පරම අත්දැකීම ව්‍යුහගත වන්නේ යථාව ඔස්සේ ය. සියලු අත්දැකීම් වලින් පසු එළඹෙන මෙම පතුලක් නැති ශුන්‍යතාවයේ මොහොත යනු යථාවේ හමුවීමයි. අත්දැකීමේ කෙළවරක් නොපෙනෙන අචින්ත්‍ය බවයි (infinite nature of experience). මැඩෝනා මොන තරම් දේ කලත් ඇයගේ තරුණ බව වෙත ආපසු යා නොහැකි බවයි. මයිකල් ජැක්සන් කොතරම් වියදම් කලත් ඔහු ගතකළේ තෘප්තිමත් ජිවිතයක් නොවන බවයි. ජීවිතයේ අචින්ත්‍ය වේදනාව වෙනුවෙන් ඔවුන් තෝරා ගත්තේ දෘඩ මත්ද්‍රව්‍ය වර්ගය (මරණය හා සමාන යථාවේ අත්දැකීමට සමාන අත්දැකීමක් සපයන). නිෂිතනි පෙන්වා දෙන පරිදි ටෝකියෝ නගරයේ විලාසිතා දැක්මේ සැරිසරන බෝනික්කියන් බඳු ලස්සන ස්ත්‍රීන් තව වසර විස්සක් තිහකදී ඇට සැකිළි බවට පත් වීමේ යථාව මිනිස් සද්භාවයට මඟ හැරිය නොහැක. ආශාවේ පශ්චාත් අත්දැකීම නැවතත් වේදනාවක් වන අතර මේ වේදනාවේ නැවතීමක් මරණය අත්දකින තුරු ම සිදුවන්නේ නැත. හිස්ටරික අත්දැකීම* නම් යථාවේ ආගමනය (මරණීය යථාව වෙත යනු පිණිස ඉල්ලන උමතු අභිනය) මිනිස් පැවැත්මේ හෛඩගරියානු මදය වන අතර (ජිජැක් 1991) ඊඩිපස් සංකීර්ණය යනු මේ යථාව මුණ ගැසීම පිණිස (encountering the Real) ගොඩ නගන ලද එක් මිනිස් ව්‍යායාමයකි. සියළු මිනිස් ශිෂ්ටාචාර විසින් කුමක් හෝ විධි ක්‍රමයක් මේ යථාවේ හිස්ටරික හමුවීම වෙනුවෙන් සකසා ඇති අතර (ජිජැක් 1991, 103) අපගේ විධි ක්‍රමය වන්නේ බුදු දහම බව මම යෝජනා කරමි. ඒ විධි ක්‍රමය (method) සකස් වී ඇත්තේ උපේක්ෂාව**(indifference) සහ මැදුම් පිළිවෙත (middle path) ඔස්සේ බව වැඩි දුරටත් යෝජනා කරමි. ඉස්ලාමය වුවද බෝම්බ බඩේ බැඳ ගෙන පුපුරුවා ගැනීම ආගමික විධි ක්‍රමයක් ලෙස යෝජනා කර නැත. මුළු ලෝකය ඉස්ලාම් කරණය කිරීමේ පුර්ව නුතන ෆැන්ටසියෙන් ඔවුන් මිදිය යුතුව ඇත (දෙවියන් ඔහේ වේදනා විඳපුවාවේ!).               

ජපන් ශුන්‍යතා වාදීන් හෛඩගර් කියවූ ආකාරයට කිසිදු බටහිරයෙකුට හෛඩගර් කියවිය නොහැකි විය. මිනිස් පැවැත්මේ රැවටිලිකාරී බවත් අප අවට ලෝකයේ ඇති කෙළවරක් නොපෙනෙන හිස් බවත් තුල මිනිසාට ඒකාත්මික විය හැක්කේ ‘මම’ සහ ‘ලෝකය’ යන ද්වෛතයෙන් නිදහස් වූ ස්වයං හෙළිදරව් වීමේ ක්‍රියාවලියක් තුලට අවතීර්ණ වීමෙන් ය යන්න නිෂිතනි ගේ හෛඩගරියානු ඉගැන්වීමයි. ජපන් දාර්ශනිකයින් බටහිර දෙස බලා තමන්ගේ වූ දර්ශනයක් තම ඓතිහාසික තත්වයන්ට අනුරූපව නිපදවා ගන්නා විට අප කරන්නේ බටහිර ගෙඩි පිටින් කොපි කිරීමයි. අප දේශපාලඥයින් ට බණින ගමන් කල්පනා කල යුත්තේ අප අපගේ වගකීම ඉටු කළාද යන්නය. අප කළ යුත්තේ දර්ශනයන් කොපි කිරීම නොව අපගේ ම ආකාරයකට කියවීම ය. අප පවා කළ යුත්තේ විඥානවාදයන් දෙකක් (බටහිර ශුන්‍යතාවය සහ බෞද්ධ හිස් බව) සංකලනය කර ගැනීමය. නිෂිතනි ගේ වචනය ණයට ගන්නේ නම් ‘හෙගලියානු බෞද්ධ’ (Hegel-Buddhism)කියවීමක් අපට අවශ්‍යව ඇත යන්න ය. අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමන් විසින් කියන ලද පරිදි නව සහජීවනයක් උදෙසා බෞද්ධකම පදනම් කරගත් නව වටිනාකම් පද්ධතියක් අප නිර්මාණය කර ගත යුතුය (එකම දෙය සිංහල බෞද්ධ බව යන්න ද අවසන් අනන්‍යතාවයක් නොව වෙනස් වෙමින් බටහිර කරණය වෙමින් පවතින දෙයක් වීමය). එහිදී අපට අපගේ බුදු දහම පවා රැඩිකල් ලෙස ප්‍රති අර්ථකතනය කිරීමට සිදු වනු ඇත. හේතුව සහ ලෞකික දර්ශනය ඇතුලත ම එය සබුද්ධික කරණය කිරීමට සිදුවනු ඇත. ඒ පරිවර්තනයේ දී බුදු දහම තව දුරටත් පැරණි දෙය ම නොවනු ඇත. නො-අවසන් නූතනත්වය වෙතට නව බෞද්ධ දර්ශනයක් (ආගම නොව) රැගෙන ඒමට සිදුවනු ඇත. ඒ ඔස්සේ ම නූතනත්වය වෙතට අපගේ විවේචනය ඉදිරිපත් කිරීමට ද හැකිවනු ඇත. එම විවේචනය යනු අපට නූතන බව වෙත දාර්ශනිකව ප්‍රවිෂ්ට වීමේ කවුළුවක් සපයනු ඇත. කියෝතෝ ගුරු කුලය හරහා ජපනුන් කලේ බටහිර ආත්මය සොයන ස්ථිර පදනමක් (fixed foundation) පිළිබද ගෘහ නිර්මාණය විසංයෝජනය කර දැමීමයි. කිසිවකට කිසිදු අවසන් පදනමක් නැති බව ලෝකයට පෙන්වා දීමයි. කඩ කඩා හදමින් හද හදා කඩමින් සියල්ල අනිත්‍යය තුළ විකසිත වන හිස් බවක් යන්න පෙන්වා දීම ඔස්සේ ලෝකයේ වඳ වෙමින් යන ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වීමයි.  

Mahesh Hapugoda

මුලාශ්‍ර:

අමරකීර්ති, ලි. (2019). ඉස්ලාම් මූලධර්මවාදය සහ බටහිර නූතනත්වය. Colombo Telegraph (2019 May 03). read online.

අබේසිංහ, ටෙ. (2019).  නූතනත්වයේ ඉදිරියට පියවරක් පැත්තකට- පශ්චාත් පාස්කු දේශපාලනය. Opiumaleft. com. read online

චන්දවිමල, රේ. (2008).  පටිච්ච සමුප්පාද විවරණය.  read online
               
දේවසිරි, නි. ර. (2019) “සිංහල බෞද්ධයන් මුස්ලිම් ජනයාට කියන්නේ මෙයයි: නූතනත්වය වෙතින් ආපසු නොයනු.” මුහුණු පොත. 

Habermas, J. (2002). Religion and Rationality: Essays on Reason, God and Modernity. (ed. Eduardo Mendieta). Cambridge. MIT Press. 

Habermas, J. (2006). Religion in the Public Sphere. European Journal of Philosophy. (14.1) P. 1-25.

Heisig, J.W. (2001). Philosophers of Nothingness: An Essay on the Kyoto School. Honolulu. University of Hawaii Press.

Kandaih, T. (2018). Speech at the English Association, Sabaragamuwa University of Sri Lanka. Belihuloya.

Kitaro, N. (1958). Intelligibility and Philosophy of Nothingness: Three Philosophical Essays. (trans. Robert Schinzinger). Honolulu. East-West Center Press.

 

Kitaro, N. (1982). Religion and Nothingness. Berkley. University of California Press.

Lehto, O. (2002). Nothingness as Nihilism: Nishitani Keiji and Karatani Kojin. read online.

Nishitani, K. (1990). Self-Overcoming of Nihilism. New York. State University of New York Press.

Ramadan, T. (2017). Muslims Need to Reform Their Minds. The Guardian. read online.

Rorty, R. (2003). Humiliation or Solidarity. Dissent. read online.

Sharpe, M. and Boucher, G. (2010). Zizek and Politics: A Critical Interrogation. Edinburgh. Edinburgh University Press.

Stirner, M. (1907). The Ego and His Own. (trans. Steven T. Byington). New York. Benj R. Tucker. (Project Gutenberg).

Zizek, S. (1992). For They Know Not What They Do: Enjoyment as a Political Factor. London & New York. Verso. 

Zizek, S. (2007). Only a Suffering God Can Save Us. Lacan.com. read online.

Wells. C. (2014). The Subject of Liberation: Zizek, Politics and Psychoanalysis. New York. Bloomsbury. 

*(1) හිස්ටරිකයා පවත්නා තත්වය රැඩිකල් ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටී (වෙල්ස් 2014). මේ යුගයේ එවන් ඉල්ලීම් කරන ව්‍යාපාර දෙකක් ඇත. එකක් රැඩිකල් වම වන අතර අනෙක වන්නේ නුතන ධනවාදය තුල ක්‍ෂය වෙමින් පවතින අනන්‍යතාව පිළිබද ව්‍යාපාරයයි. රැඩිකල් ඉස්ලාමය අයිති වන්නේ මේ දෙවන අනන්‍යතා ව්‍යාපාරය වෙතටය. නමුත් රැඩිකල් ඉස්ලාමය කියන්නේ පවත්නා පුර්ව නුතන තත්වය එසේම පවත්වා ගෙන යන ලෙසයි. එනයින් වමේ දේශපාලනය හිස්ටරික ලෙසත් (hysteria) අනන්‍යතා දේශපාලනය විපරීත (perversion) ලෙසත් වෙල්ස් පෙන්වා දෙයි. ඉස්ලාමයට විරුද්ධව සිටින ලංකාවේ බොදු බල සේනා සහ රාවණා බලය සහ මහසොහොන් බලකාය යන සියළු සංවිධාන ඒවායේ ජාතිවාදී අර්තර්ගතය සහ පැරණි ලෝකය කෙරේ දක්වන අනුරාගය හේතුවෙන් සැළකිය යුතු ලෙස විපරීත වේ. මන්ද ඔවුන් (ඉස්ලාමය මෙන්ම බොදු බලය) යථාව මුණ ගැසීම මඟ හරියි. එනම් සමාජ ප්‍රගමනය අවසානයේ ඇති කිසිවක් නැති බව (nothingness) ඔවුන් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ‘අර්ථවත්’ පුර්ව නුතන ආගම සහ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටි. ධෛර්යය තිබිය යුත්තේ ප්‍රගතිය අවසානයේ ඇති මේ ශුන්‍ය බව වැළඳ ගැනීමට ය. ජපන් අධ්‍යාත්මය මේ යථා ව ප්‍රතික්ෂේප කළේ නැත. ඔවුන් ප්‍රගතිය වැළඳ ගත් අතර මානසික දියුණුව ඔස්සේ යථාව (ප්‍රගතියේ හිස්බව) තුළ අවබෝධාත්මක වේ. ඒ තුළ ජීවත් වේ. ඔවුන් නලින් ද සිල්වා ගෙන් වෙනස් වන්නේ මෙතැනිණි. වෙල්ස් ගේ මතය වන්නේ ඉහත හිස්ටරික බව (වම) සහ විපරීත බව (අන්තවාදය) අතර ඇති දේශපාලන මර උගුල (political deadlock) අප අතික්‍රමණය කල යුතුය යන්න ය (පිටුව 9). ඒ සඳහා ඔහුගේ න්‍යායික විධික්‍රමය වන්නේ අසමාන්තර-අසම්පාතය– දැක්ම යි (parallax view – මෙය මුලින් ම හදුන්වා දෙන්නේ සමකාලීන ඩෙරීඩියානු ජපන් චින්තකයකු වන කොජින් කරතානි ය). එනම් මේ හිස්ටරික සහ විපරීත බව දෙස අප බලන ස්ථානය (gaze point) වෙනස් කර ගත යුතු බවයි. විශ්වීයවාදීන් මේ සත්‍යය අවබෝධ කර ගත යුතුව ඇත. 

(අප පුනරුද නූතනත්වය සහ ප්‍රගතිය ප්‍රතික්ෂේප නොකරන බැවින් පශ්චාත් නුතනවාදය සහ පුනරුද නූතනත්වය අතර මුලධාර්මික ආතතිය තුලට ඇඳ නොවැටේ).     

**(2) උපේක්ෂාව යන්නෙන් යථාර්තයෙන් නරුම දුරස්ථ බවක් නඩත්තු කිරීම (cynical distance) හෝ බහු සංස්කෘතික ඉවසීම (tolerant multiculturalism) හෝ අදහස් නොවේ. මුලධාර්මික ප්‍රවණතා මෙතරම් උත්සන්න වීම කෙරේ ජාතිකවාදයට විරුද්ධ කඳවුර විසින් සමාජගත කල ජනප්‍රියවාදී ඉවසන සුළු බහු-සංස්කෘතික බව බලපාන ලදී. පාස්කු ඉරිදාවෙන් පසු බොහෝ අය කට පියා ගෙන සිටීම ස්වයං ආරක්ෂණවාදී කපටි දේශපාලන ක්‍රමවේදයක් කරගත් විට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද දේශපාලඥයින් කිහිප දෙනෙක් විසින් අවම වශයෙන් මෙම ‘ඉවසන සුළු නපුංසක බව’ පාර්ලිමේන්තුවේ දී අභියෝගයට ලක් කළේය. සුළු ජාතික චන්ද කෙසේ වෙතත් කියා ඔවුන් කළ ජනප්‍රිය නොවන දෙය අගය කල යුතුය.   

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here