සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය  
ඉස්ලාම් මුලධර්මවාදය නූතන ලෝකයේ චින්තන ගෘහ නිර්මාණය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර එවන් චින්තන ආකෘතීන් ඇති අන් සියළු ශිෂ්ටාචාර විනාශ වී අළු දුවිලි වී යනු පිණිස බෝම්බ දමයි. එය ඔවුන් කරනු ලබන්නේ කිසිදු නූතන සදාචාරයක් කෙරෙහි විශ්වාස නොකරමිනි. නූතන බව විනාශ කිරීම වෙනුවෙන් ඔවුන් මිනිස් අත්දැකීම තුළ ඇති ගැඹුරුම අශ්ලීල සහ අශිෂ්ට බව (පුර්ව නුතන බව) වෙත ප්‍රවිෂ්ට වීමට පසුබට නොවේ. (පසු)නුතන යුගය තුල මිය යමින් පවතින පියාගේ නීතිය ප්‍රතිස්ථාපනය කරනු වස් ඔවුන් ගමන් කරන්නේ සියවස් ගණනක් පැරණි පුර්ව පියා වෙතට ය. නමුත් අප යෝජනා කරන්නේ අප විසින් ම නිර්මාණය කල ගෘහ නිර්මාණය වෙත බෝම්බ දමා, අහිංසකයින් මරා දමා, පතුලක් නැති වෛරය අවුස්සනු සහ අහම තුවාල කර ගනු වෙනුවට නූතන ගෘහ නිර්මාණය නූතනත්වය තුළ ම විසංයෝජනය කරමු යනුවෙණි. ඒ සඳහා අපට ආගම විසින් දායාද කර ඇති දාර්ශනික අඩංගුව නූතනකරණය කළ හැකිද යන්න සොයා බැලිය යුතුය. කෙසේ වුවද අප නූතනත්වය දෙස බලා සිටින්නේ ශුන්‍යතාවය තුළ සිටිමිනි. ශුන්‍යතාවයේ පානය වන ‘කොකා කෝලා’ පානය කරමින් අප ගොඩ නැගූ සියල්ල ශුන්‍යබව තුල ගිලී යනු අප උපේක්ෂා පෙරදැරිව බලා සිටිමු. විරුද්ධාභාෂී නුතනත්වයේ නපුර (evil) අප නුතන්ත්වය තුල ම සිටිමින් විසංයෝජනය කරමු යන්න අප ඉස්ලාමීය සහෝදරත්වය වෙත කරන නිහතමානී යෝජනාවයි. නූතන බව සමග එකතු වීමට නම් අපේ පුපුරා යන තරම් වූ පැරණි ලෝකයේ අහම බිංදුව බවට පත් කරගමු!  


Religion and Rationalism: Modernity as an Unfinished Project beyond Saharan

නූතනත්වය අනිවාර්ය වශයෙන් මිනිස් ප්‍රගතිය කරා ගමන් කරන්නේය යන සාමාන්‍යයෙන් අප දන්නා ප්‍රවාදය තව දුරටත් පශ්චාත් ලෞකික සමාජයන් සම්බන්දයෙන් අදාල නොවන බවට යර්ගන් හබමාස් සිය ‘ආගම සහ සබුද්ධිකත්වය’ නම් කෘතියේ තර්ක කරයි (Religion and Rationality: Essays on Reason, God and Modernity, 2002). ඒ අප මේ ඊයේ පෙරේදා අත්දකින ලද ආපතික සහ ක්ෂිතිමය වර්ගයේ අත්දැකීම් නිසා පමණක් නොව පශ්චාත් කාර්මික සහ ලෞකික සමාජයන් හි සමකාලීන බහුවිධ ගමන් පථයන් (multiple trajectories of the post-secular societies) දෙස බැලූ කල්හි ඔහු නිරීක්ෂණ කරන දෙයක් වන්නේ නුතන කතිකාව පරදමින් ආගමික කතිකාව සියලු සමාජයන් තුළින් ඉස්මත්තට පැමිණ ඇති බවයි. බහුවිධ ගමන් පථයන් යනු නූතනත්වය ගමන් කිරීමට උත්සාහ කරන ලද බහුවිධ මාවත් අර්ථවත් කෙරේ. සමාජවාදය, ධනවාදය, මිශ්‍ර ආර්ථික ක්‍රමය, සමස්තතාවය, සම්ප්‍රදායික ආර්ථිකය යනු මෙවන් බහුවිධ මාවත් වන අතර මිනිස් මනස මේ මාවත් අතර ඇති අවසානයක් නැති ආතතීන් විසින් ව්‍යාකුල කර ඇත. ඒ ව්‍යාකුල බව විසින් සහ නව ලිබරල්වාදයේ බහුත්ව ඉවසීම (tolerant multiculturalism = රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර මොඩලය) මඟින් සමාජයන් තුල ඉස්මතුව ඇත්තේ විකල්ප නූතනත්වය බව සම්භාව්‍ය මාක්ස්වාදී මතයයි. සබුද්ධිකත්වය සහ ලෞකික කරණය තුල විශ්වීය සංකල්ප සහ අප මෙතෙක් දැනසිටි ආචාර ධාර්මික අන්තර්ගතය බිඳ වැටීමට ලක්වීම මිනිසා නැවත ආගම දෙසට ගුරුත්ව බලයකින් මෙන් (gravitational force towards tradition) ඇද ගනිමින් පවතී යන්න ඔහුගේ තර්කයයි. මෙය ඉස්ලාමයට පමණක් පොදු වූ දෙයක් නොව සියලු ආගම් වෙතට මිනිසා නැවත නැඹුරු වෙමින් ඇත. සෝවියට දේශය තුල ක්‍රිස්තියානිය නැවත උත්පාද වීම, චීනය තුල කොන්ෆියුසිස් ධර්මය සහ බුද්ධාගම නැවත හිස එසවීම සහ ඒවා දේශපාලනය සමග ගැට ගැසීම මෙයට උදාහරණ වේ (නව චීන ධනවාදය යනු කොන්ෆියුසියානු ධනවාදයක් ලෙස ජිජැක් මෙය අර්ථකතනය කරයි). මේ ආපසු ගමනයට (return) හේතුව වන්නේ නූතනත්වය ධනවාදය සමග ගැට ගැසීම නිසා මතුව ඇති විපරීත පසු  නූතන (විකල්ප නූතනත්ව) තත්වයකි. නූතන බව මුහුණ දී ඇති මෙම තත්වය පිලිබදව සවිස්තරව ජපාන කියෝතෝ ගුරු කුලය විසින් සාකච්චා කර ඇත (ඔවුන් ඒ සඳහා ජපාන බෞද්ධ සම්ප්‍රදාය ප්‍රතිජීවනය කර ඇති බව අප මිට ඉහත පෙන්වා දී ඇත). උදාහරණ වශයෙන් සමකාලීන වෙළඳ පල තුල මිනිසා කොතරම් රැවටීමට භාජනය කරන්නේ ද? නූතන වෙළඳ පොළ වසඟය තුල මිනිසා කොතරම් මුලා කරන්නේ ද? අප දන්නා මිනිස් වටිනාකම් කොතරම් බල්ලාට දමමින් අප තවත් කෙනෙක් සූරා කන්නේද? එසේ නම් අප දන්නා නුතන මානවවාදයට සිදුවන්නේ කුමක්ද? එසේ නම් මේ පසු නූතන යුගයේ වෙළඳ පල සන්නිවේදනය කරන්නේ ඇත්ත වශයෙන් සත්‍යය ද නැත්නම් ව්‍යාජ බවද? එය ව්‍යාජ බව (inauthenticity)වර්ධනය කරමින් සිටින්නේ නම් නූතන මානව වාදය සහ සබුද්ධික බව ගමන් කරන්නේ කොයිබටද? වඩා උසස් නූතන නත්වයක් දේශනා කල සමාජවාදය අවසානයේ ස්ටාලින් වාදයකින් අවසන් වුවේ කෙසේද? නූතන බව දක්වන මේ අසමත් බව තුළ පූර්ව නුතන ආගම තව දුරටත් ශක්තිමත් ව මිනිස් සන්තානය තුල ලැගුම් ගනී. මන්ද ආගම තව දුරටත් මානව යහපත, පොදු මිනිස් සදාචාරය, මිනිස් ගරුත්වය ගැන කතා කරන සහ විශ්වාස කරන හෙයිනි. සහරාන් යනු (හුදු රූපකයක් පමණි) මේ නූතන හිස් බව වෙනුවට සාමුහික මරණය යෝජනා කරමින් අප ඉදිරියට ආ පූර්ව නූතන නියෝජිතයෙක් වන අතර ඔහු මේ නූතන සමාජයේ අවිනිශ්චිත බව (uncertainty)වෙනුවට නිශ්චිත අවසානයක් ලෙස සාමුහික මරණය යෝජනා කර ඇත. වටිනාකම් නැති සමාජයක ජීවත් වනවාට වඩා අප මිය යමුද? මේ ඔහුගේ ප්‍රශ්නය විය නොහැකිද? එසේ ඔහු තවත් එවන් අසරණ මිනිසුන් පිරිසක් මරණය වෙත ගෙන යෑම සඳහා නෛතික බව (legitimacy)ලබාගන්නේ ආගම ඔස්සේ ය. එය සාධාරණ නෛතික කරණයක් ද? මෙතැන ගැටළුව නම් සහරාන් මිය ගියේ පවත්නා තත්වය එසේම පවත්වා ගෙන යාම වෙනුවෙන් මිස රැඩිකල් ලෙස මුස්ලිම් සමාජය වෙනස් කරනු වස් නොවීම ය. 

නූතන බවේ නපුර වෙනුවෙන් මියයාම වනාහී නැවතත් අප දන්නා නූතන හේතුව (reason and rationality) අපගේ සන්දර්භය තුල අසමත් වන තැනකි. මිනිස් ගරුත්වය (human dignity)නොමැතිව වෙළඳ පොළ තුල දිනපතා  විකිනෙමින්, මෝඩ දේශපාලන කතා අසමින් මෙසේ ජීවත් වීමේ පලය කුමක්ද? එයට නූතන අර්ථයෙන් ගොනුකළ හැකි පිළිතුර කවරේද? මෙවර මරාගෙන මැරෙන භූමිකාව තුල සිටි අයගේ සමාජ පදනම් ගත් විට ඔවුන් ලන්ඩන් ගොස් උසස් අධ්‍යාපනය ලබා, ව්‍යාපාර කර, මුදල් හරි හම්බ කර, සමාජයේ ඉහල ස්ථරායනය වෙත යම් ප්‍රමාණයකින් ලං වූවන් වේ. ‘සාර්ථක මිනිසුන්’ යනුවෙන් හැඳින්විය හැකි ඔවුන්ට සමාජ පිළිගැනීමේ ගැටළුවක් තිබී නැත. එසේ නම් ඔවුන්ට අවශ්‍ය වූවේ කුමක්ද? විගලිතභාව්යේ පංති ප්‍රකාශනයක් ලෙස ඔවුන් මාක්ස්වාදී ප්‍රභේදකරණය තුළට එකවරම දැමිය නොහැකි නිසා මෙම මුලධාර්මික සමාජ කොටස් පිළිබද ගැටලුවේදී මාක්ස් වාදීන් සාමාන්‍යයෙන් කට වසා ගෙන සිටි. ඒ අවසරයෙන් ජාතිකවාදී කොටස් උඩ කස්තිරම් අල්ලයි. මේ වනවිට ලංකාව තුළ සිදුවෙමින් පවතින්නේ මෙයයි. නමුත් මෙම අන්තවාදී යැයි කියනු ලබන මරාගෙන මැරෙන තරුණ කොටස් වලට අවශ්‍ය වූවේ එවන් සමාජ පිළිගැනීමක් නොව පිළිගැනීමට වඩා පිළිගැනීමකි (more recognition than recognition). මෙම ඉස්ලාමීය කොටස් වල ගැටළුව එනයින් අනන්‍යතාව පිළිබද එකක් වන අතර එය තදින් දේශපාලන කරණය (රැඩිකල්කරණය) කර ඇති එකකි. යටත් විජිත ක්‍රියාව තුල තුවාල වූ අහම මෙන්ම නූතන ලෞකික කරන ක්‍රියාව තුලදී ද ඔවුන්ගේ සම්ප්‍රදායික අනන්‍යතාව නව ලෝක දැක්ම හමුවේ අර්බුදයට ගොස් ඇත. ගැඹුරු අර්ථයෙන් ගතහොත් ඔවුන්ගේ ගැටලුව තුවාල වූ අහම පිළිබද එකකි (hurt ego). හබමාස් ගේ වචනයෙන් කියන්නේ නම් ගැඹුරු මිනිස් ලජ්ජාව පිළිබද ගැටළුවකි(humiliation). නව ශිෂ්ටාචාරය තුල ඔවුන්ගේ අහම ලජ්ජාවට පත්ව ඇත (humiliated ego). අධි නිශ්චය වූ මිලියන ගණනක් වන වෙළඳ සඥා තුළ ඔවුන් විසින් විශ්වාස කරන අති මූලික වටිනාකම් (උදාහරණ වශයෙන් ස්ත්‍රිය සම්බන්ද ගෞරවය) අහෝසි වෙමින් පවතී. තම ජීවිතය අහෝසි කර ගනිමින්, අනෙක් මිනිසුන්ගේ ජිවිත ද විනාශ කරමින් ඔවුන් සටන් කරන්නේ තම ආත්මීය ගෞරවය රැකගනු පිණිස ය. තුවාල වූ අහම ද මේ ගැටළුවේ ම කොටසකි. මේ ලජ්ජාවට පත් කිරීමේ ගැටළුව මත ලජ්ජාවට පත් කල ජාතීන් විශ්වීය සහයෝගීතාවය (universal solidarity)වෙතට අන්තර්කරණය කළ හැකි ද යන්න එසේනම් මීළගට අප මුහුණ දෙන ප්‍රශ්නයයි (රෝටි2013). උදාහරණ වශයෙන් අප මුහුණු පොතේ ඉස්ලාම් ආගම සහ ඌරන් සමග කරන සෙල්ලම විසින් හෝ රැඳවියන් හට ඌරු මස් කන්නට දීම හෝ මඟින් කරන අහමේ ලැජ්ජාව ඔස්සේ ඔවුන්ට නැවත සහයෝගීතාවය වෙත ඇතුලත් විය හැකිද එසේ ඇතුලත් විය හැකිනම් ඒ කොයි ආකාරයෙන් ද යන්න අප විමසා බැලිය යුතුය. විශේෂයෙන් යුදෙව් ක්‍රිස්තියානි මුලයන් ඔස්සේ ජිජැක් ගේ දිව්‍යමය ප්‍රචණ්ඩ බවට අප අනුග්‍රහය දක්වන්නේ නම් එසේ අප අනිවාර්යයෙන් එම ප්‍රචණ්ඩ බව න්‍යායිකව සාධාරණීකරණය කළ යුතුය. මා සිතන අයුරින් හබමාස් සහ ජිජැක් ගේ අදහස් අතර මතැනදී බරපතල පරස්පර බවක් සහ විරුද්ධාභාෂයක් පැනනගී. මන්ද හබමාස් විශ්වාස කරන ආකාරයෙන් මිනිස් ගෞරවය අප නූතන බව තුල ම කෙලසන්නේ නම් එවිට අප ඒ වනවිටත් නූතන බව උල්ලංඝනය කර හමාරය. සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු ස්ථාපිත වූ ඇමෙරිකන් වධ කඳවුරු ගැන ජිජැක් විවේචනාත්මක වන්නේ මේ න්‍යායික පදනම ඔස්සේ ය. අහමේ ගැටළුව එසේනම් යුදෙව් ක්‍රිස්තියානි මොසාඩ් තාක්ෂනය ඔස්සේ විසඳිය නොහැකි බව බටහිර විසින් ම පිළිගෙන තිබේ. එමෙන්ම තවත් න්‍යායික ගැටළුවක් බටහිර විචාරකයින් විසින් ම ආරම්භ කර ඇත. එයින් කියවෙන්නේ මනුෂ්‍ය ගෞරවය පිළිබද ලෝක දැක්මවල් දෙකක් (බටහිර සහ පෙරදිග උදාහරණ වශයෙන්) ඝට්ටනය වන්නේ නම් එය විසඳන්නේ කෙසේද යන්න ය. අනෙක් අතට ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ අප සියලු දෙනාම (පෙරදිග, අපරදිග, මැද පෙරදිග) හසුව සිටින්නේ එකම වෙළඳ පළ කුණාටුවකට බැවින් අවශ්‍ය වන්නේ පොදු වටිනාකම් ප්‍රමාණයක් යන්න ය. එසේනම් ඉස්ලාමීය කැරළි කරුවන් මේ යෙදී සිටින්නේ වෙළඳ පළ ප්‍රවාහයට එරෙහි සටනක ද? නැත්නම් අනන්‍යතා සටනක ද? ඔවුන් වඩා නැඹුරුව ඇත්තේ දෙවැන්න වෙත වන බැවින් විශ්වීය අරුතින් සටන් කිරීම ඔවුන්ට මඟ හැරී ඇත. සියළු නිර්ධන ජන කොටස් විඳිමින් ඇත්තේ එකම වේදනාවක් බව ඔවුන්ට එනයින් අමතකව ඇත. ඛේදය එයයි. 

මේ ක්‍රමය තුල තුවාල සිදු වී ඇත්තේ තමාට පමණක් යැයි සිතීම ආත්මීය වරදක් වනවා සේම ඒ ඔස්සේ ආගම යන්න පවා අතිශයින් බලවත් සමාජ විවේචනයක් ලෙස ඉතිහාසය පුරා භාවිතා වී ඇත යන වැදගත් කරුණ පවා ඔවුන් අමතක කර දැමීමකි (උදාරණය වශයෙන් ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය). ඉස්ලාමය පවා යම් සමාජ විවේචනයක් (social critique) වන අතර ඔවුන්ගේ අභිචාර විධි යනු (rituals) ඒ විවේචන වෙනුවෙන් එක් යුගයක ගෙනෙන ලද පිළිතුරු වේ. බුදු දහම ද එසේය. මැල්කම් රංජිත් අගරද ගුරු විසින් බෝම්බ සිද්ධියට පසු ගෙනෙන ලද සමාජ විවේචනය ඉතාම බලවත් වූ ආකාරය ගැන සිතන්න. අගරදගුරු හිමිපාණන් විසින් ගෙනෙනු ලබන්නේ බටහිර වෙත විරෝධයකි (ඒ විරෝධය සහ විචාරය විසින් ඔහු නුතන සමාජයට සම්බන්ද කරයි). මෙහිදී ජිජැක් කියන්නේ ආගම විසින් පශ්චාත් දේශපාලන යුගයේ (post political era) මිනිසා විසින් නිර්මාණය කර ඇති ගැඹුරු ප්‍රචණ්ඩ බව වෙත ප්‍රගතිශීලි විවේචනයක් ගෙන එමින් ඇති බවයි. අනෙක් අතට ආගම විසින් ම මිනිසාගේ ‘අතාර්කික මදය’ (irrational core) ප්‍රචණ්ඩත්වය වෙතට මුදා හරිමින් ඇති බව ද ඔහු දයලෙක්තිකව නිරීක්ෂණය කරයි (Sharpe and Boucher 2010: 196).පාස්කු ඉරිදා අප මේ දයලෙක්තිකය අත් දුටුවෙමු. මේ දෙවැනි කරුණ අයත් වන්නේ රිදුම් දෙන අහම ට ය. මිනිස් පැවැත්මේ මේ අතාර්කික මදය මරණය වෙතට රැඩිකල් කරණය කිරීමට යම් දේශපාලනයක් සමත් වන්නේ ද (ආශාව සහ මරණය රැඩිකල් කරණය කිරීම) එය රැඩිකල් දේශපාලනයේ අගනා සම්පතක් විය හැකි බව ද ජිජැක් විමුක්ති දේශපාලන යථාව (revolutionary political Real) ගැන සඳහන් කරමින් කියා සිටී (ඉහත පිටු 115-6). රොමෑන්තික ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ මර උගුල (deadlock of democracy) මරණය ඔස්සේ අභියෝග කල සහරාන් ගමන් කර ඇත්තේ අප ගමන් කිරීමට මැලිවන යථාව දෙසට වීම අප බරපතල ලෙස සාධනය කරගත යුතු න්‍යායික ප්‍රවේශයකි (මන්ද වමේ දේශපාලනයට යම් දවසක කිරීමට සිදු වන්නේ ද සහරාන් කළ දෙයම ය). කෙසේ වුවද අනන්‍යතාවය පැත්තෙන් ගත් කළ මෙම ‘රැඩිකල් කරණය’ තුවාල අහමේ ගැටළුව සමග හොඳින් සමපාත වේ (අහමේ ගැටළුව ආගමක් තුල වෙනත් අයුරකින් විසඳීමට උත්සාහ කර ඇත්නම් ඒ බුද්ධාගම පමණය). එනයින් ‘විශ්වීය හේතුව’ (සියල්ලෝ ම මෙම ක්‍රමය තුළ විඳවමින් ඇත යන්න) ඔවුන්ගේ අහමේ ගැටළුව සමග ගත්කල ඔවුන්ට නෑසෙන තරම් ය. ගැහැණු පිරිමි හැමෝම ඇත්තේ එකම විඳවීමක ය. එක් ලිංගයක් පමණක් අධිනිශ්චය කිරීමේ පංති හේතුවක් නැත (අර්චන හේතු කෙසේ වෙතත්). එක් ලිංගයක් පමණක් ශුද්ධ වූ දෙයක් වන්නේ ද නැත. මෙම ක්‍රමයට අවතීර්ණ වන අප සියල්ලෝම පියාගේ නීතිය නපුංසක කිරීම තුල ලජ්ජාවට පාත්‍රව ඇත. නමුත් අප පියාගේ නපුංසක බව (දෙවියන් ගේ නපුංසක බව) විපරීත ලෙස විනෝද වෙමින් සිටිමු (නිල් චිත්‍රපට වල ගැහැණිය වේදනාවෙන් කෑ ගැසීම අපට නෑසුනා සේ විනෝද වීම වෙනුවට සහරාන් මරණය තෝරා ගෙන ඇත). පතුලක් නැති ඒ ගුප්ත විනෝදය බාධා කරනු වස් අපට බෝම්බ සමග සහරාන් හමුවේ. ඔහුට ඔප්පු කිරීමට අවශ්‍ය වුවේ දෙවියන් නපුංසක නැති බවයි. මෙය ස්වරූපරාගී (narcissism) ප්‍රශ්නයකි. අපව ගලවා ගත හැක්කේ තමන්ට ම (තමාගේ සර්ව බලධාරී බලයට) ආශා කරන දෙවි කෙනෙකුට නොව වේදනා විඳින දෙවි කෙනෙකුට බව ජිජැක් සඳහන් කරන්නේ මේ නිසාය. අපගේ විපරීත බව තුළ අහම තුවාල කරගෙන අපට දඬුවම් දෙනවාට වඩා එම දෙවියන් අපගේ ක්‍රියාවල වේදනාවට හුරු විය යුතු බව ඔහුගේ තර්කයයි (ජිජැක් 2007). තවත් මිනිසුන් දහස් ගණනක් සමග මරණය කරා යෑමට තීරණය කල සහරාන් මේ ‘පරස්පර සත්‍යය’ තේරුම් ගත යුතුව ඇත. ජේම්සන් සඳහන් කරන පරිදි ඉතිහාසයේ ඛණ්ඩනයන් ඉතා පැහැදිළි බෙදුම් රේඛාවන් ගෙන් (clean breaks) වෙන් නොවී පවතින මෙවන් අවස්ථාවක ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය වැනි දේ මරාගෙන මැරෙනවා ට වඩා වැදගත් විය හැකි බව ජිජැක් ගේ මතයයි (Sharpe and Boucher 2010: 113-4). පුද්ගල භාවයට වැඩි අවස්ථාවක් දුන් ප්‍රොතෙස්තන්ත ආගම වැනි ව්‍යාපාරයක් ඔස්සේ නව සදාචාර දර්ශනයක් (ethical philosophy) ඔවුන්ට ඉස්ලාමය වෙත ප්‍රධානය කළ හැක. ඒ ඔස්සේ ඔවුන්ගේ ගැහැණිය විඳින වේදනාව (සහරාන් ගේ බිරිඳ ගේ කතාව අසන්න) ඔවුන්ට අවබෝධ කර ගත හැකි වනු ඇත. 

Jihan Hameed   

ඉස්ලාම් ධර්මය අදහන්නන් විසින් එම ධර්මය පුර්ව නුතන (මධ්‍යතන) ගෝත්‍රික බවක් වෙත ගමන් කිරීම නවත්වා ගත යුතුව ඇත. ගෝත්‍රික විනෝදය යනු නූතන ෆැන්ටසි තත්වයක් නොව ෆැන්ටස්මික තත්වයකි. අනෙකාගේ වේදනාව ඔස්සේ විනෝද වීමකි (නිකාබ් වෙනුවට මුහුණු වැසුම් පැළඳ යන ගැහැණුන් පෙන්වා අවශ්‍ය නම් මුස්ලිම් ගැහැණු අය මේ වේදනාවට කැමති ඇත යනුවෙන් දැන් තර්ක කල හැකිය. නමුත් අවශ්‍ය වන්නේ බලහත්කාරී නොවන තේරීමකි). උදාහරණ වශයෙන් බුර්කාව මුස්ලිම් පිරිමි සමාජයේ ‘විනෝදය’ ලෙස ගතහොත් අපට එතැනදී ගැටළු දෙකක් මුණගැසේ. එකක් නම් පුරුෂ දැක්ම (male gaze) අනුව ගැහැණියක් ජිවත් විය යුතුද යන ස්ත්‍රීවාදී ප්‍රශ්නය වන අතර අනෙක නම් අන් සියලු සමාජ ගැහැණිය සම්බන්ද තමන්ගේ ෆැන්ටසිය වෙනස් කර ගන්නා අවස්තාවක මුස්ලිම් සමාජය පමණක් එසේ නොකිරීමේ දේශපාලනයයි. වෙළඳ පල විසින් වෙනස් කරන (පසු) නූතන ෆැන්ටසියට එරෙහි වීම දේශපාලනයක් ලෙස ගත්තද ගැහැණිය දේපලක් ලෙස ගැනීම පිළිබද මධ්‍යතන තර්කය සමග අපට එකඟ විය නොහැක. ඉස්ලාමය මතු නොව හබමාස් සඳහන් කරන පරිදි යුරෝපයේ නූතන කේන්ද්‍රය තුලින් ම ඉස්මතු වෙමින් පවතින ආගමික රැල්ල යනු නව ශිෂ්ටාචාර ගෝත්‍ර වාදයක ආරම්භය සනිටුහන් කරයි. ඔවුන් ගැහැණිය සිරගත කරන්නේ මෙම නව ගෝත්‍රකරණය (tribalism) තුලට ය. ඔවුන් මරාගෙන මැරෙන්නේ ද මෙම නව ගෝත්‍ර ගතවීම වෙනුවෙනි (මවගේ ගර්භාෂය වෙත නැවත ගමන් කිරීම). නමුත් නූතන යුගය යනු විගලිත බවේ යුගයක් වන අතර එයට පහසු විසඳුම දීමට නූතනත්වයට නොහැක. මිනිසා හුරුවිය යුත්තේ නූතන යුගයේ අනිවාර්ය කොන්දේසියක් වන ශුන්‍යතාවයට ය. සියල්ල අවසානයේ පවතින හිස්බවට ය. නමුත් ශුන්‍යතාවය මඟ හරිමින් මෙම නව ගෝත්‍ර ගතවීම මඟින් යම් සමාජ- සංස්කෘතික සුව පහසුවක් මෙම තරුණ කොටස් බලාපොරොත්තු වේ (ගර්භාෂයේ සුවය). නමුත් බුද්ධාගම පදනම් කරගෙන විකසිත කල ජපන් දර්ශනය තුල කියවෙන්නේ මිනිසා අවසන් වශයෙන් ජීවත් වන්නේ සහ අත් විඳින්නේ පරම ශුන්‍යතාවයක් යන්න ය (absolute nothingness) (කියවන්න නිශිදා කිතරෝ ගේ Intelligibility and the Philosophy of Nothingness, 2018). ආගමක් ලෙස ඉස්ලාමය නූතනත්වයට ප්‍රතික්‍රියා දක්වනු වෙනුවට ඔවුන් තම අදහන්නන් අද්‍යතන සමාජයේ ශුන්‍යතාවය උකහා ගැනීමට සහ ඒ සමඟ ජිවත් වීමට හුරු කළ යුතුය. තම ස්ථිතික ආගමික පාර භෞතිකයන් නූතන ලෞකික බව වෙත ඔවුන් පරිවර්තනය කල යුතුය. තමා පමණක් නොව අනෙකා පවා අත්විඳින හිස් බව ඔවුන්ට තේරුම් ගත හැකි වනු ඇත්තේ ඒ අයුරිණි (ඔවුන් පමණක් නොව හිස් බවෙන් අපිදු වේදනා විඳිමු).  

Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here