සිංහල නවකථා විචාරය හා සම්බන්ධ තෙවැනි ආකෘතිය මතු කොට දක්වන ලද්දේ ගුණදාස අමරසේකර මහතා විසින් බව මම මීට ඉහත දී ප්‍රකාශ කළෙමි. මෙහි අපගේ සුවිශේෂ අවධානයට ලක් විය යුතු අංශ කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න යථාර්ථවාදයෙහි වැදගත්කම තහවුරු කිරීම හා ඒ සංකල්පයට අර්ථවත් විවරණයක් සැපයීමයි. යථාර්ථවාදය හා තාත්විකත්වය අතර පැහැදිලි වෙනසක් ඇත. තාත්විකත්වය නමැති සංකල්පය අපගේ විමර්ශනාක්ෂිය යොමු කරවන්නේ සිදුවීම් මාලාවක ඇති ඇදහිය හැකි බව කෙරෙහිය; විශ්වසනීයත්වය කෙරෙහිය.
යථාර්ථවාදය ඊට වඩා ගැඹුරු විෂය ප්‍රදේශයක් අමතන සංකීර්ණ සංකල්පයකි. එය දාර්ශනික ප්‍රතිෂ්ඨාවක පිහිටා වර්ධනය වූවකි. දෙවැන්න, ඉතිහාසය නමැති සංකල්පයයි. මෙයද ගුණදාස අමරසේකරයන්ගේ විචාර ආකෘතියෙහි වැදගත් තැනක් හිමි කොටගෙන තිබේ. මානව සමාජය කෙරෙහි ඉතිහාසය නමැති බලවේගය ආනුභාව පාන ආකාරය සාහිත්‍ය විචාරකයන්ගේ විශේෂ සැලැකිල්ලට යොමු විය යුතු බව ඔහු අවධාරණය කරයි. මෙහිදී ජෝර්ජ් ලූකෑෂ් වැනි චින්තකයන්ගේ විශ්ලේෂණ ඔහු කෙරෙහි බලපා ඇති බව පෙනේ.
ගුණදාස අමරසේකර සූරීන්ගේ නවකථා විචාර ආකෘතිය හා සම්බන්ධ තෙවැනි වැදගත් සංකල්පය දෘෂ්ටිවාදයයි. නවකථා නිර්මාණයේදීත් නවකථා අර්ඝනයේදීත් දෘෂ්ටිවාදය බෙහෙවින් වැදගත් වේ. නවකථාකරුවාට දැනුවත්ව හෝ නොදැනුවත්ව, කථා ශරීරය නිර්මාණය කිරීමේදීත්, චරිතයන් ගොඩනැඟීමේදීත් දෘෂ්ටිවාදය අනිවාර්යයෙන්ම බලපායි. ෆේරඩ්රික් ජේම්සන් වැනි විචාරකයන් මෙම කරුණ මැනැවින් විශද කර ඇත. ‘ගම් පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ වැනි නවකථාවල ඇතුළත් චරිත විවරණය කිරීමේදී ‘අබුද්දස්ස යුගයක්’ ග්‍රන්ථයෙහි අමරසේකර දෘෂ්ටිවාදය නමැති සංකල්පය වහල් කොටගෙන ඇත.
ඔහු එහිදී දෘෂ්ටිවාදය යන පාරිභාෂික පදය පරිහරණය කොට නොමැති බව සැබවි. එහෙත් ඔහුගේ විශ්ලේෂණ පථය දිවෙන්නේ එම සංකල්පය කෙරෙහිය. අමරසේකරයන්ගේ නවකථා විචාරය හා සම්බන්ධ සතරවැනි විශේෂත්වය නම් නවකථා නිර්මාණය හා විචාරය ජන සමාජයෙහි ප්‍රභවය ලබන උත්තර සංවාදයක් සමඟ බැඳී තිබිය යුතු බව අවධාරණය කිරීමයි. නවකථාවක් අර්ථවත් කලා මාධ්‍යයක් බවට පත්වන්නේ එය සමාජ ප්‍රශ්න හා ආතතිය සමඟ සමීප වශයෙන් බැඳී, ඒවා කෙරෙහි ආලෝක ධාරාවක් යොමු කළ විට බව ඔහු පවසයි.
ගුණදාස අමරසේකර මහතාගේ නවකථා විචාර ආකෘතිය විවරණය කිරීමේදී ‘අබුද්දස්ස යුගයක්’ හා ‘නොසෙවුණා කැඩපත’ යන ග්‍රන්ථ දෙක විශේෂයෙන් වැදගත් වේ. මීට අමතරව ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු’ ‘ජාතික චින්තනයයි ජාතික ආර්ථිකයයි’ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද’ වැනි සමාජ විචාර ග්‍රන්ථ පරිශීලනය කිරීම ද වැදගත් වේ. මේ විචාර ග්‍රන්ථ සිංහල පාඨකයන් කෙරෙහි මහත් බලපෑමක් ඇති කළේ ය. සමාජ ප්‍රවර්ධනය සඳහා බුද්ධිමත් සංවාදයක් අවශ්‍ය බවත්, එබඳු අර්ථවත් සංවාදයක් සඳහා කැඩපතක් සැපයීමේ කාර්යභාරය ප්‍රබුද්ධ සාහිත්‍යකරුවන් සතු බවත් අමරසේකරයෝ විශ්වාස කරති. මෙම අභිලාෂය ඔහුගේ නවකථා විචාර ආකෘතියට පදනම් වී ඇත.
වර්තමාන සිංහල නවකථා විචාරයෙහි ශෝචනීය තත්ත්වය විග්‍රහ කරමින් ගුණදාස අමරසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේ ය. මා සිතන අයුරු මේ තත්ත්වයට ප්‍රධාන හේතුව නම් සාහිත්‍යය සතු මේ මහඟු කාර්යය ඉස්මතු කර දක්වන නවකථා විචාරයක් මෙහි නොමැති වීමයි. අද තවමත් මෙහි බල පවත්වන්නේ සරච්චන්ද්‍රයන් විසින් පේරාදෙණිය මුල් කර ගනිමින් බිහි කරන ලද සමාජ සත්තාව අමතක කළ ‘කල්පනා ලෝක’ නවකථා විචාරයයි.
එහි ආධිපත්‍යය ගිලිහී ගොස් ඇති නමුදු එහි තැන ගත හැකි හරවත් නවකථා විචාරයක් පහළ වී නොමැති ය. (vii වැනි පිට) අනෙක් අතට මෙයට පිළියමක් වශයෙන් මාක්ස්වාදී යයි කියා ගන්නා ඇතැම් විචාරකයන් ඉදිරිපත් කළ විචාර ද අසාර්ථක වූ බව ගුණදාස අමරසේකර මහතා පවසයි. මීට එක් හේතුවක් වශයෙන් ඔහු දක්වන්නේ මේ විචාරකයන්ට විචාරකයෙකු සතු වූ වාසනා ගුණය නොතිබුණු බවයි.
නවකථාවත් කාලීන සමාජයත් අතර ඇත්තේ අතිශයින් අර්ථවත් වූ සම්බන්ධයකි. මේ සම්බන්ධයෙහි යථා ස්වරූපය නොවටහාගෙන විශිෂ්ට නවකථා විචාර කලාවක් බිහි කළ නොහැකි බව ගුණදාස අමරසේකර සූරීහු පෙන්නුම් කරති. රේමන්ඩ් විලියම්ස් ෆේරඩ්රික් ජේම්සන්, එඩ්වර්ඩ් සයිද් වැනි මගේ ගෞරවය දිනා ගෙන ඇති සාහිත්‍ය විචාරකයන් මෙම අදහස සාකල්‍යයෙන් ම අනුමත කරනු නියත ය. ජනතාව සමඟ පවත්වාගෙන යන බුද්ධිමය සංවාදය හා නවකථා රසාස්වාදනය එකිනෙකා පරිපෝෂණය කරයි. මේ කරුණ සනාථ කිරීම අමරසේකරයන්ගේ නවකථා විචාරයෙහි එක් අභිප්‍රායකි.
ගුණදාස අමරසේකරයන්ගේ නවකථා විචාරයෙහි යථාර්ථ වාදයට මෙතරම් වැදගත් තැනක් හිමිවන්නේ මේ හේතුව නිසා ය. ‘නොසෙවුණා කැඩපත’ කියවන බුද්ධිමත් පාඨකයාට යථාර්ථවාදයෙහි අර්ථාන්විත භාවය හා අවශ්‍යතාව මැනවින් ඒත්තු යනු ඇත. ඔහු පවසන පරිදි යථාර්ථය යනු නවකථාවේ නිජබිමයි. නවකථාව යථාර්ථවාදයේම එක් ව්‍යවහාරයක් වෙයි; භාවිතයක් වෙයි. ඒ දෙක එකිනෙකින් වෙනස් කළ හැකි නොවේ. (16 වැනි පිට) ජෝර්ජ් ලූකෑෂ් නම් සම්භාවනීය චින්තකයා පළ කළ පරිදි යථාර්ථවාදය නවකථාවේ පදනම වෙයි. මෙහිදී මතුවන ප්‍රශ්නය යථාර්ථවාදය ඉක්මවා රචනා කරන ලද නවකථාවක් නවකථාවක් ලෙස නොසැලකිය හැකිද යන ප්‍රශ්නයි.
උදාහරණ වශයෙන් නොබේල් ත්‍යාගයෙන් සම්මානිත නවකතාකරුවන් තිදෙනෙකුගේ කෘති තුනක් ගෙන බලමු. එම කෘති තුන නම් ගාර්සියා මාතේස්ගේ ‘වන් හන්ඩ්‍රඩ් ඉර්යස් ඔෆ් සොලිටියුඩ්’, ගුන්ටර් ග්‍රාස් ගේ ‘ට්‍රින් ඩ්‍රම්’ හා ටෝනි මොරිසන්ගේ ‘බිලව්ඩ්’ ය. මෙම නවකථා තුන ම මායා යථාර්ථවාදී රීතිය සිහිගන්වයි. සාමාන්‍ය යථාර්ථවාදය ඉක්මවයි. එහෙත් නවකථාවේ ගැඹුරු අර්ථ ඒ ඒ සමාජවල ඓතිහාසික අත්දැකීම් සමඟ දැඩි ලෙස බැඳී පවතී. එබැවින් මෙහිදී යථාර්ථවාදය යන්න අප විසින් ස්මරණය කළ යුතුව ඇත්තේ එහි අභ්‍යන්තර සංස්ථිතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනි. යථාර්ථවාදය යන්න එහි බාහිර ස්වරූපයට පමණක් සීමා කළහොත් එහි නියම සංකීර්ණ අර්ථ සමුදාය පසක් කර ගත හැකි නොවේ.
මහාචාර්ය විමල් දිසානායක
Silumina