අතුල පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘කළුවර  මුහුද’ නම් කෙටි චිත්‍රපටය විකාශය වූයේ, සිංහල-බෞද්ධ සංස්කෘතියේ මුඛ්‍ය ප්‍රකාශකයෙක් වන ‘දෙරණ’ නාලිකාවේ ය. ටෙලි වෘත්තාන්තයේ කතාව ආරම්භ වන්නේ, ලෙස්බියන් සබඳතාවක විනෝද වෙමින් සිටි ජෝඩුවක එක තරුණියක් (සුලෝචනා) හදිසියේ එය නවතා ‘විෂම-ලිංගික’ විවාහයකට ඇතුළු වීමට තීරණය කිරීමෙනි. සබඳතාවේ අනෙක් පාර්ශ්වය (ගීතා අලහකෝන්) කිවිඳියක් වන අතර ඇය තම ලිංගික සහ ආදර සහකාරියගේ විෂම-ලිංගික තෝරා ගැනීම පිළිබඳව වික්ෂිප්ත වෙයි.  චිත්‍රපටයේ ප්‍රධාන නිළියන්ගේ මුහුණු පොත් ආශ්‍රිත අධ්‍යයනයකදී මට වැටහී ගියේ ඔවුන් දාර්ශනික ස්ත්‍රීන් බවයි.

Atom Egoyan

                චිත්‍රපටියේ මෙම කතා ව්‍යුහය ලංකාවට අපුර්ව වුවත් ලෝක මට්ටමෙන් ගත් කල එය කලින් අත්හදා බලන ලද පර්යේෂණයකි. උදාහරණයක් ලෙස ගතහොත්, ‘ඇටම් එගෝයන්’ (Atom Egoyan) නම් කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ‘ක්ලෝයේ’ (Chole-2009) චිත්‍රපටයේ කතා තේමාව ආකෘතිය අතින් ගත් විට ‘කලුවර මුහුද’ චිත්‍රපටයට සාම්‍ය කළ හැකිය. එම චිත්‍රපටයේ මිනිස් සබඳතා ත්‍රිත්වය වන්නේ, කැතරීන් (බිරිඳ), ඩේවිඩ් (මහාචාර්යවරයෙක්) සහ ක්ලෝයේ නම් දගකාර යුවතියයි. කැතරීන් තම සැමියා වූ ඩේවිඩ් ගැන සැක කරයි. ඇය සිතන්නේ තම සැමියාට විශ්ව-විද්‍යාලයේ ශිෂ්‍යාවක් සමග සම්බන්ධයක් ඇති බවයි. එය සැකයකි. මේ නිසා ඇය ‘ක්ලෝයේ’ නම් තරුණියගේ සේවාව ලබා ගැනීමට උත්සාහ කරයි. එවිට ‘ක්ලෝයේ’ ඩේවිඩ් ගැන ඔත්තු බලන අතර ඔහුට යම් සම්බන්ධයක් තිබේ නම් ඒ ගැන කැතරින්ට වාර්තා කරයි. කලක් ගතවන විට කලින් අපේක්ෂා නොකළ දෙයක් සිදු වෙයි. එනම්, ක්ලෝයේ සහ ඩේවිඩ් අතර ලිංගික සම්බන්ධයක් ඇති වූ බවට ක්ලෝයේ විසින් කියා පෑමයි. එමගින්, කැතරින්ගේ ආශාව ඇවිස්සෙන අතර ක්ලෝයේ විසින් කරන්නේ ඇය සහ ඩේවිඩ් අතර පවතින සම්බන්ධයේ ‘රස නහර’ කැතරින් සමග බෙදා ගැනීමයි. එමගින්, කැතරින් සහ ක්ලෝයේ අතර සම්බන්ධයක් ගොඩ නැගෙයි. බාහිර දෘෂ්ටිකෝණයකින් නරඹන විට අපට පෙනෙන්නේ එතැන ලෙස්බියන් සම්බන්ධයක් බිහි වී ඇති බවයි.

              නමුත් අපි පසුව වටහා ගන්නා පරිදි යථාර්ථය තුළ (එනම් Reality) ක්ලෝයේ-ඩේවිඩ් අතර කිසිදාක ලිංගික සම්බන්ධයක් තිබී නැත. එය ක්ලෝයේ විසින් මවා පෙන්වන ලද ව්‍යාජයකි. එය ප්‍රබන්ධමය මානයක් පමණි. ස්ත්‍රීන් දෙදෙනකු අතර ලිංගික සම්බන්ධයක් අප අනුභූතිකව දුටු විට අපට සිතෙන්නේ එය ලෙස්බියන් සම්බන්ධයක් කියා ය. එය අපගේ පැත්තෙන් ‘යථාර්ථය’ වෙතට ප්‍රක්ෂේපණය කරන සමපේක්ෂණයකි. ‘ලෙස්බියන්’ සංකල්පය එවැනි සමපේක්ෂී යථාර්ථයක් ප්‍රේක්ෂක අපගෙන් බලාපොරොත්තු වෙයි. ඩේවිඩ් සහ ක්ලෝයේ අතර ඇත්තටම ලිංගික සම්බන්ධයක් නොමැති වුවත් එමඟින් කැතරින්ගේ ‘ආශාව’ යළි යළිත් කුළු ගැන්වෙයි. කැතරින් සහ ක්ලෝයේ අතර පවතින්නේ ස්ත්‍රීන් දෙදෙනකු අතර ආදර සම්බන්ධයක් වුවත් එය අනිවාර්ය ලෙස ලෙස්බියන් සම්බන්ධයක් නොවේ. අප මෙම තත්ත්වය පහදන්නේ කෙසේද? (එනම් ස්ත්‍රිය සොයන ආශාවේ සාක්ෂරතාවය)

                  කැතරින්ගේ ෆැන්ටසිය තුළ දී රාජසභා කතන්දර ආකෘතිය තුළ දී ස්ත්‍රිය යනු හිමිකරගත හැකි වස්තුවක් නොවේ යන්න මගින් විද්‍යාමාන වන්නේ ඩේවිඩ් නිසා කැතරින්ට ක්ලෝයේ ලබාගත නොහැකි ස්වයං-බාධාවේ බාහිර මූර්තිය ඩේවිඩ් බවයි. ඉන් අදහස් වන්නේ, ‘ඩේවිඩ්-කැතරින්’ ආදර සම්බන්ධයේ නොහැකියාව විද්‍යාමාන කරවන්නේ ක්ලෝයේ බවයි. එනම් ‘ඩේවිඩ්-කැතරින්’ විෂමලිංගික අනිවාර්යතාවයේ ව්‍යාතිරේකය ක්ලෝයේ බවත්, ඒ නිසා ඇය මඟින් විද්‍යාමාන වන්නේ පුරුෂත්ව අතිරික්ත-විනෝදයේ තාර්කික ව්‍යුහයයි. මේ දක්වා විග්‍රහ කළ න්‍යායික කරුණ සාරාංශගත කරන්නේ නම්, ‘ලෙස්බියන් දෘශ්‍යමානය’ මගින් සංකේතවත් වන්නේ එමඟින් සගවන හෝ නිශේධනය කරන විෂම-ලිංගිකත්වය යි. බාහිරින් අපට විද්‍යමාන වන ලෙස්බියන් ලිංගික සබඳතාවල අවිද්‍යමාන වන කොටසක් වන්නේ, ඔවුන්ගේ සම්බන්ධයට බාධා කරන නමුත් එම ආශාව කුළුගන්වන බාහිර විෂමලිංගික පිරිමියා ය. ‘නිම්මි හරස්ගම’ ඇතුළුව ලංකාවේ ලෙස්බියන් ලෙස නාමකරණය වන ප්‍රතිරූප පසුව පිරිමියෙකු සමග විවාහ වන්නේ මෙම  ලුබ්ධි-ආර්ථිකය නිසාය. ‘ලෙස්බියන්’ සංකල්පය ගැන අප බාහිර සිට කරන අනුභූතික නිරීක්ෂණය ඉහත උදාහරණ නිසා අසංගත වෙයි. අප මෙතෙක් සිතුවේ ‘ලෙස්බියන්’ යනු ‘ගැහැණු-ගැහැණු’ ලිංගික තෘප්තියක් ලෙස නම් අපගේ එම සමපේක්ෂණ අනන්‍යකරණය ‘ක්ලෝයේ’, ‘නිම්මි’, ‘සුලොචනා-ගීතා’ වැනි සම්බන්ධ වලට පිටින් ඇති ‘පුරුෂ-අතිරික්තය’ නිසා විසංයෝජනයට ලක්වෙයි. අප මෙතෙක් නොදුටු ලෙස්බියන් ව්‍යුහයේ අවිද්‍යමාන කොටස වූ ‘පිරිමි බව’ දුටු විට ලෙස්බියන් සංකල්පය ඇතුළෙන් පුපුරයි.

               එසේ නම්, ස්ත්‍රී ආත්ම මූලිකත්වය (Feminine subjectivity) යනු කුමක්ද?  කලාකෘති වලදී උත්කර්ෂණයට ලක් වන ස්ත්‍රිය මූලික කොටගත් තර්කනවල සැබෑ බැඳියාව පවතින්නේ, පුරුෂ තාර්කික ව්‍යුහය තුළමය. පුරුෂයා සෑමවිටම පවතින සංකේත පද්ධතියට ව්‍යතිරේකයක් වන උන්මාදනීය ස්ත්‍රියක් සොයයි. පිරිමින්ට ‘විප්ලවය’ සහ ‘මෝහනීය ස්ත්‍රීත්වය’ පැටලෙන්නේ අහම්බයකින් නොවේ. ඇමරිකන් සිවිල් යුද්ධයේ කුසලාකුසල විනිශ්චය (Ethics) ගැන තිතට ලියන පිරිමියෙක් මනමෝහනීය යැයි තමන්ම උත්කර්ෂණයට ලක් කරන ස්ත්‍රියක් ඉදිරියේ වලිගය පුකේ ගහ ගැනීම අහම්බයක් නොවේ. පිරිමි චින්තනයට අනුව මේ මහා අසාර ලෝකයට එපිටින් උන්මාදනීය සාරයක් ඇත.

               නමුත් ස්ත්‍රී චින්තනයට අනුව ඔවුන් තමන්ගේ ‘විනෝදය’ සංවිධානය කර ගන්නේ සංකේතීය ලෝකයට අභ්‍යන්තර තැනකය. නැතහොත් සංකේතීය ලෝකය අවිනිශ්චිත මංසන්ධි වලදී ‘ස්ත්‍රී විනෝදය’ මතුපිටට නෙරා එයි.  ඇය මෙය පහසුවෙන් කරන්නේ ඇයට අනුව අපගේ සද් ක්‍රියාවන් සඳහා අපගේ ලෝකයට බාහිරින් දෙවියෙකු හෝ උත්තම විනිශ්චයකරුවෙකු නොපවතින නිසා ය. කිසිවෙක් ඇයට ‘එවන් උත්තරීතර මිනිසෙකු’ සංකේතනයට පිටතින් පෙන්වූ විට ඇය කරන්නේ ඒ තැනැත්තාව යළි සංකේතනය තුළ ඒ තැනැත්තාට හිමි ස්ථානයේ තැබීමයි. උදාහරණයක් ලෙස ගතහොත් මා ඉහත සඳහන් කළ ඇමරිකන් සිවිල් යුද්ධයේ සඳහම් ගුණය ගැන තිතට ලියූ පුද්ගලයාව මම සංකේතනයට පිටතින් නිර්මාණය කළ ‘සිවිල් සමාජ ක්‍රියාකාරිකයා’ නම් උත්කර්ෂණීය ස්ථානයේ තැබුවෙමි. නමුත් ස්ත්‍රියක් ඔහු අසළට පැමිණ සංකේතනය තුළ ඔහුටත් නොදැනී ඔහු එතෙක් පැවැති අවිඥාණක ආශාවේ ස්ථානය වූ ‘යුතුකම් අමතක නොකරන පෙම්වතාගේ’ ස්ථානයේ යළි පිහිට වූයේ ය. ‘ඔහු’ තමන්ගේ දෛවය ලෙස පසු ආවර්තිතව සලකා බලන්නේ ස්ත්‍රියක් තම විනෝදය සහතික කිරීමට ඔහුට සංකේතනය තුළ ලබාදුන් ස්ථාන මාරුවයි. මින් අදහස් වන්නේ, ස්ත්‍රිය විසින් සංකේතනයට යළි ‘යථ’ හමු කරන බවයි.

              ස්ත්‍රී විනෝදය හෝ ස්ත්‍රී ආත්ම-මූලිකත්වය ‘ස්ත්‍රී’ වන්නේ ඒවා ‘ෆැල්ලසය’ (පිරිමි බලය හඟවන හැඟවුම්කාරකය)  දෙසට දිශානත නොවී පැවතීම නිසාය. මේ හේතුව නිසා ස්ත්‍රී ආත්ම මූලිකත්වය හෝ විනෝදය ව්‍යුහගත වන්නේ, ඕනෑම සංකේත පද්ධතියක් ‘අසම්පූර්ණය’ (Incomplete) යන පූර්ව වැටහීම මත පාදක වෙමිනි.  මෙයට ප්‍රතිවිරුද්ධව පිරිමි ආත්ම මූලිකත්වය හෝ පුරුෂ විනෝදය ව්‍යුහගත වන්නේ සංකේත පද්ධතියක සීමාව ඉක්මවා යන හෝ ඉන් පිටත ගැන සමපේක්ෂණය කරන හැඟවුම්කාරක (විප්ලවය, වීරයා, සමාජවාදය, බඩුකාරයා, සල්ලිකාරයා)  දිශානත කරගෙනයි. මෙමගින් අපට පිරිමින් සහ ගැහැණුන් කුලක වශයෙන් වෙන් කළ හැකිය. අපි කලින් තර්ක කළ ක්‍රමයට අනුව පිරිමින් සියලු දෙනාව එකම කුලකයකට දැමිය හැකිය. ඔවුන් සෑම දෙනාම ‘පොදු’ වන්නේ ඔවුන් සියලුදෙනාම පවතින දේට හෝ ක්‍රමයට වඩා බාහිර දෙයක් ව්‍යතිරේකයක් ලෙස කල්පනා කරන නිසාය. ජාතිවාදියා තම ජාතියේ සතුරන් ඇති ලොවක් ගැන සිතයි. සමාජවාදියා ධනවාදය ඉක්මවා ගිය යුතෝපියාවක් ගැන සිතයි. නමුත් ස්ත්‍රීන් අපට එකම කුලකයකට දැමිය  නොහැකිය. මන්ද ඔවුන් හිතන්නේ, විනෝද වන්නේ එක එක විදිහටය. ඔවුන්ගේ කුලකය සංවෘත නැත. එය විවෘත, අසම්පූර්ණ එකකි.

               පිරිමින්ව සහ ස්ත්‍රීන්ව කුලක දෙකකට දමා ගැනීමේ දේශපාලන අවශ්‍යතාවය කුමක්ද? දෘෂ්ටිවාදය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන්නේ පුරුෂ චින්තන සෛලය-cell- තුළ ය. එසේ වන්නේ පුරුෂයා මෙලොව නැති දෙයක් ගැන සෑම විටම මෙනෙහි කරමින් සිටින නිසාය. දෘෂ්ටිවාදය මේ හේතුව නිසා පුරුෂයාගේ හිතන සෛලයට ඇතුල්වී අකනිටා බඹ ලොවට රැගෙන යාමේ සිහිනය සැබෑවක් කිරීමට පොරොන්දු දෙයි. සරලව කිවහොත්, පිරිමියාගේ අසම්පූර්ණ ආශාව සම්පූර්ණ කර දීමට ‘දෘෂ්ටිවාදයන්’ පොරොන්දු ලබා දෙයි.  නමුත් ස්ත්‍රී චින්තන සෛලයට මෙලොව නැති දේවල් පරිපූර්ණ කිරීමේ මායාවක් නැත. අප කලින් කතා කළ සිවිල් සමාජ ක්‍රියාකාරිකයා තම ”අඩුව”-lack- වූ ඉහළ දේශපාලන තනතුරක් සඳහා ලුහු බඳිද්දී ඔහුගේ ගැමි පෙම්වතිය කොළඹින් නිවසක් මිලට ගත්තේය. ඇය ජීවිතය වඩා පරිපූර්ණ කිරීමට පොරොන්දු දෙන දේශපාලන දෘෂ්ටිවාදයන්ට රැවටුණේ නැත. සිහින ලොවක පිරිමියා ඇස් රතුවන තුරු විස්කි පානය කරන අතර ඒ ස්ත්‍රිය තම ‘නිවස’ අරන් දුන් පිරිමියාගේ දරුවා සුරතල් කරයි. පුද්ගලික ලෝකයක පවතින ලිංගික සබඳතාවල නොහැකියාව පෙර බිමෙහි විද්‍යමාන වන විට පසුබිමින් (Background) ප්‍රකාශමාණ  වන්නේ සිංහල-දෙමළ ගැටුම නිසා උපන් සිවිල් දේශපාලන නොහැකියාවයි.

              දැන් අපි නැවතත් අතුල පීරිස්ගේ ටෙලි චිත්‍රපටය වන ‘කළුවර මුහුද’ චිත්‍රපටයට අවධානය යොමු කරන්නේ නම්,ඒ තුළ සුලෝචනා සහ ගීතා අතර ගොඩනැංවෙන ‘සමලිංගික තලය’ ‘ක්‍රියාව’ සිදු වීමට සාපේක්ෂව කිසිදු මට්ටමක සමලිංගික නොවන එකකි.  ඔවුන් අතර ඇති ”ලෙස්බියන් සම්බන්ධය” ෆැන්ටසිය නම් මානයේදී විෂමලිංගික ය. සරලව කිවහොත්, දෘෂ්‍යමානය ‘ලෙස්බියන්’ වුවත් එමගින් ආරක්ෂා වන ‘රහස’ විෂමලිංගික ය. නමුත් මෙම ලෙස්බියන් සම්බන්ධය නිසා ‘සුලෝචනා-ගීතා’ අතර පවතින ලෙස්බියන් ලිංගික ආදරයක් නිර්මාණය කරයි. ‘කලණ’ සහ ‘සුලෝචනා’ අතර ලිංගික නොවන ව්‍යාතිරේකමය ප්ලෝටෝනික පවුල් ජීවිතයක් හටගන්නේ ‘සුලෝචනා-ගීතා’ අතර පවතින ලෙස්බියන් ලිංගික ආලය නිසාය. කෙසේ වෙතත්, ‘සුලෝචනා සහ ගීතා’ අතර පවතින ලෙස්බියන් ලිංගික ආලයේ ෆැන්ටසි මානය කලණට හෙළිදරව් වන නිසා සුලෝචනා සහ කලණ අතර ප්ලෝටෝනික ආදරයට ද ආතතිය හමුවෙයි. යථාර්ථය ‘ලෙස්බියන්’ වුවත් ‘යථ’ ලෙස අපට හමු වන්නේ, විෂමලිංගික බාධාවකි. කතාව අවසානයේ සුලෝචනා මිය යන නිසා විෂමලිංගික ප්‍රේක්ෂකයන්ට සහනයක් යෝජනා වේ.

ලංකාවේ බොහෝ ලෙස්බියන්ලා පිරිමින් සමග විවාහ වන්නේ මන්ද යන දශක තුනක පමණ ගැටලුවට දැන් සන්දර්භයක් ලකුණු වී ඇත. තිර රචනය අපට අද්භූත රූප රාමුවක් යෝජනා කර ඇත. එය මෙසේය. අපි දකින රාමුව තුළ සුලෝචනා සහ ගීතා ආදරයෙන් සිප වැළඳ ගනී. රාමුවේ අප නොදකින පහළ තැනක සිට ස්ත්‍රීන් දෙදෙනාගේ ලිංගේන්ද්‍රයන් කලණ නම් පිරිමියා උත්තේජනය කරමින් සිටි. චිත්‍රපටය තුළ මෙම දෙවන කොටස නැත. එය සිතාගත යුතුය. චිත්‍රපටය අපට යෝජනා කරන අශ්ලීල විනෝදය එයයි. එක පැත්තකින් ප්‍රභාකරන්ගේ මිය ගිය ශරීරය යළි යළිත් පෙන්වමින් සිංහල ජාතියේ විනෝදය ‘දෙරණ’ නාළිකාව අපට සහතික කරයි. එය ජාතික දේශපාලනයේ නොහැකියාවයි. අනෙක් පසින් නාළිකාවේ පෙරබිම තුළ ‘ලෙස්බියන්’ කාන්තාවන් දෙදෙනෙකු සිප වැළඳ ගන්නා අතර ඔවුන්ව කුල්මත් කරන පිරිමි දිවක් ගැන ෆැන්ටසිකරණය කරන්න යැයි අපට යෝජනා කරයි. එක පසෙකින් ‘පන්ති අරගලය’ අසමත් වීම අනන්‍යතා මගින් හෙළිදරව් වෙයි. අනෙක් පසින් ‘ස්ත්‍රී විනෝදය’ මගින් පිරිමි සංකේත ලෝකය හෙළිදරව් වෙයි. 

     – දීප්ති කුමාර ගුණරත්න- 

Kaluwara Muhuda (කළුවර මුහුද)

Kaluwara Muhuda is a sinhala short film exclusively on Gluuoo.[web link]

Cast: Sulochana weerasinghe, Kalana Gunasekara, Geetha Alahakoon, Divya Shalika, Asanka Mendis
Direction: Athula Peries

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[==========

 නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. උද ප්‍රතිචාරය දාල තියෙන්නේ හොඳ හිස්ටරිකයෙක් හා හා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here