ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » News » සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්

සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක් 

Rohana-

 

සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්

ජිජැක් ගේ කතාවෙන්  පස්සේ කෙලින්ම හිතුන දෙයක් තමා අපි සෝවියට් දේශය විවේචනය කලත් දුෂිත සමාජවාදය කියල, තව කොපමණ හොඳ දේවල් තිබුනද කියන එක. එකක් තමා කෑම. මේ පෝලිම්  ගැන නෙමේ කියන්නේ. කොම්පෝත් හෙවත් පලතුරු යුෂ බීම හා ආහාර ගැන. සෝවියට් එළවළු  කඩවල හා සුපර්මාර්කට් වලත් නිතර දකින්න තිබුන දෙයක් තමා පලතුරු යුෂ බීම. කොපෙක්  විස්සක් වගේ සුළු මුදලක් පමණයි.
සමහර විට ඊටත් අඩුයි.  එවෙලේම හදල දෙනවා පෙයාර්ස් වලින්. නැත්නම් ඇපල් හෝ දොඩම් යුෂ. සිනි ඕනේ නම් දාගන්න පුළුවන්. තිබහම නැත්නම් පෝලිමේ ඉඳන් මේවා බොන්න යන්නේ නැහැ. කඩේ මේවා ගන්න තිබ්බත් කලාතුරකින් තමා ගත්තේ.
එතකොට කොමියුනිස්ට්  පක්ෂයේ හොර ගෙඩියන්ට තිබ්බ කඩවල වික්කේ  පිටරට එව්වා. කේ ජි බි කට්ටියටත්, විදේශික ශිෂ්‍යයෝ අඳුනන කට්ටිය ටත් ඉතින් පිටරට බීම  වර්ග ගණන් පුළුවන්.
ඉතින් ගොර්බචොව් ගේ පාලනය ආවහම රට පොඩ්ඩක් විවෘත වුනා නේ.  ඔන්න ඉතින්  පෙප්සි කෝලා, කොකා කෝලා එන්න ගත්ත. සීනි දාල හදපු දොඩම් යුෂ හෙවත් දොඩම් පාට  ෆැන්ට ආව. ස්ප්‍රයිට් ආව. මමත් ඉතින් රූම් එකට එනකොට අරන් එනවා ගොඩක්. මගදී බොන්නෙත් ඒවා. යාලු වෙලා ඉන්න ගෑල්ලමයි ඉල්ලන්නෙත් ඒවා. පාටියක් දැම්මත් දැන් අර “ලාභ ජරා” සෝවියට් පලතුරු යුෂ වෙනුවට හොයන්  යන්නේ මේවා. මම වැඩියෙන්ම කැමති පෙප්සි බොන්න.
දැන් අවුරුදු විස්සකින්  විතර ඉස්සරහට එමු. එංගලන්ත ජිවිතයට. අපේ ළමයින්ට කොකා කෝලා , පෙප්සි දෙන්නේ නැහැ. ඇසිඩ් එනවා. සීනි වැඩියි. සීනි හොඳම නැහැ. අපි දැන් බොන්නේ දුඹුරු සීනි. සුදු සීනි ඇඟට  පුරුදු වුනහම කොකේන් වගේලු. තනිකර කෙමිකල් ප්‍රොඩක්ට් (සමාවෙන්න රසායනික නිෂ්පදනයක්) එකක්.  මම දැන් සිනි දාන්නෙත්  නැහැ තේ වලට. ගහක කොළ වලින් හදපු රස කාරකයක් භාවිතා කරන්නේ.  ළමයින්ට පෙයාර්ස් වලින් හදපු යුෂ බිම නැතත් දොඩම් යුෂ දෙන්නේ දුඹුරු සීනි දාල. ගෙදර පිටිපස්සේ බිරින්දෑ ඇඹුල් චෙරි ගහක් හිටෙව්වා. ඇඟට ගුණයි කන එක බොන එක. එයා  ඒකෙන්  ජෑම් හදනවා . ඇඹුල් බිමක් හදනවා. නින්ද නොමැති කමට , කෑම  දිරවන්න, හන්දි  පත් රුදාවට හොඳයි. ඒ දවස් වල කීසෙල් කියල පහල පින්තුරේ තියෙන ඇඹුල් චෙරි වලින් හදපු බීමක් සෝවියට් දේශයේ තිබ්බ. (පහල පින්තුරය)  මම කටේ තිබ්බේ නැහැ. දැන් තමා දන්නේ ඒවායේ හොඳ .

එංගලන්තේ ස්මුතී කියල බිමක් ආව. දැන් හරි ජනප්‍රියයි. සෞඛ්‍ය සම්පන්නයි. තනිකරම පලතුරු යුෂ කෙසෙල්, ස්ට්‍රෝබෙරි ආදිය එකට දාල හදන්නේ. ටිකක් ගණනුත් වැඩියි. ටිකක ලං වෙලා බලන කොට මේ අර සෝවියට් දේශයේ තිබ්බ ලාභ පලතුරු යුෂ බිම එකමනේ කියල තේරෙනව. එංගලන්තේ සීනි වැඩි , ලුණු වැඩි බීම ලාභයි. ගුණ වැඩි යුෂ වර්ග හෙම ගණන්. ලාභ ඒවා ජරාව. 
අර සෝවියට් විද්‍යාඥයෝ ආහාර  දෙපාර්තමේන්තුවේ  පරීක්ෂණ කරලා මිනිසුන්ට බොන්න හොඳයි කියල දුන්න ඒවා සෝවියට් වැසියෝ ගනං ගත්තෙත් නැහැ. අපි ගණන් ගත්තෙත් නැහැ. ඇයි  ඔක්කොම ලොකු පොරවල්,  නිලධාරියෝ බීවෙත් පිටරට ඒවනේ.
ගොර්බගේ කාලෙම ආපු තව දෙයක් තමා බ්‍රොයිලර් කුකුළු මස්.  මම ටිකක සීනියර් වෙච්ච කාලේ  ඉතින් කඩේ වැඩ කරන අඳුනන රුස්සෝ රුස්සියෝ ලවා  ගන්නව. පෝලිම තිබුනත් නැතත්. අපේ හිටි පොෂ් ලංකාවේ කෙල්ලෝ  හෙම සමුහ ගොවි පලවල සෝවියට් කුකුළු මස් වලට කිව්වේ රබර් වගේ ඇදෙන ෆ්‍රීස් (ශීත  කරන ලද ) කරලා තිබ්බ ගං කුකුල්ලු කියල. සමුහ ගොවි පලවල හදන ජරාව.  ඒ වගේද හොලන්ඩ් පැත්තේ ඉඳං  එන  බ්‍රොයිලර් කුකුල්ලු. ඒ පැත්තෙන් හුලන් වැදිලා ආවත්  සැපට රහයි. සැපට හැදිච්ච ලොකු රසවත් කුකුල්ලු. 
දැන් ආයෙත් අවුරුදු විස්සක් විතර ඉස්සරහට එමු. බ්‍රොයිලර් කුකුල්ලු කියල කියන්නේ දවස් 28 විතරක් ජිවත් වෙන කුකුල්ලු. උන් ඉන්නේ පුංචිම පුංචි හතරැස් කොටුවක. උන්ව මහත් කරන්න ඕනේ නිසා ඇවිදින්න දෙන්නේ නැහැ. උන් කරන්නේ කන එක විතරයි. දවස් 28 කින් නියම මහතට ආවහම මස් මඩුවට යවනවා. 
 
මේ කුකුලන්ට ස්ටේරෝයිඩ්ස් දෙනවා (හෝමෝන) මහත් වෙන්න. ඒවා අපේ ඇඟවල් වලට හොඳ නැහැ.  කැන්සර් වුනත් හැදෙන්න පුළුවන් වෙන විධිහේ බෙහෙත් උන්ට දෙනවා. ප්‍රති ජීවක ඖශධ වගේ දේ. ඉතින් මොකද කරන්නේ. දැන් අපි ගන්නේ ෆ්‍රී රේන්ජ් චිකන් ඒ කියන්නේ දුවල පැනල නිදහසේ ෆාර්ම්  එකේ හිටපු කුකුල්ලු. එහෙම නැත්නම් කෝර්න් ෆෙඩ් හෙවත් ඉරිඟු කන්න දුන්  “නිදහස්” කුකුල්ලු. එහෙමත් නැත්නම් ඔර්ගනික් කුකුල්ලු – ඒ කියන්නේ කාබනික අහරගන්න  අර කූඩු  අස්සේ හිර නොවී ඉන්න එවුන්. දැන් වැඩේ මේ කුකුළු මස් ඔක්කොම ගණන්. කිලෝ එකක් පවුම් 6-8ක් විතර. රුපියල් 1200-1400 විතර. හැබැයි අර දින 28 බ්‍රොයිලර් එවුන් පවුම් 3ටත් අඩුයි සමහර වෙලාවට. 
 
මම පසුගිය අවුරුද්දක ලංකාවට ආපු වෙලේ මල්ලිත් එක්ක සුපර්මාර්කට් එකකට ගියා. පොර කුකුළු මස් ගන්න කොට මම කැමති වුනේ නැහැ. පෙනුමට අර බ්‍රොයිලර් වගේ. මම ඇහුවා ගං  කුකුල්ලු නැත්ද කියල මල්ලි ගෙන් . පස්සේ කැරකිලා කැරකිලා පොඩි කඩේකට  ගියා. මල්ලි කණු කුණු ගෑව , මේක හරියට සුද්ධ වෙලත් නැහැ, සුපර්මාර්කට්  එකේ වගේ හොන්ඩ පාටක් නැහැ. මේ ගම්වල ගෙවල් වල හදන කුකුලොනේ, කියල. මන් කිව්වා හරි ඒකම තමා  ඕනේ කියල. 
සමුහ ගොවිපලවල් කුකුලන්ට නිදහසේ  ඇවිදින්න කරන්න නිදහසත් තිබ්බ. හැබැයි ගං කුකුල්ලු කියල අපි කැමති වුනේ නැහැ. වෙජිටේරියන් වුනා නම් වඩා ලේසියි. ඒත් වැඩක් නැහැ ගහන පලිබෝධ නාශක ප්‍රමාණය දිහා බැලුවහම.
ලංකාවේදී  A/L කරන කාලේ මගේ යාළුවෙක් එක්ක උදේට දුවනවා. යාලුව රගර් ගහපු නිසා හොඳට ව්‍යායාම කරන කෙනෙක්.   එන ගමන් කිරි පැකට් එකක් බොනවා අරගෙන.  මුකුත් ප්‍රශ්නයක් නැහැ. සෝවියට්  දේශයේ ස්මිතානා කියන යෝගට් වගේ පානය ට  මම හරි කැමතියි.  ඒ වගේම කෙෆිර් කියන යෝගට් පානය. අපේ හිටිය වඩුගේ කියල සීනියර් අය්යා කෙනෙක්. එයා ගෙන්  තමා ඒක බොන්න පුරුදු වුනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. 
අවුරුදු විස්සක් ඉදිරියට එමු . පහුගිය අවුරුදු දහය ඇතුලත හරිම අමාරුවෙන් හිටියේ. බඩේ අමාරුවක් නිසා. බඩ  පිපෙනවා. මොනවා කෑවත් හිටපු ගමන් පලු වගේ එනවා. රෑට නිදා ගන්න බැහැ  හුස්ම හිර වෙනවා. ටින් කෑම , බෝතල් කෑම , චීස්  කිරි පොඩ්ඩක් වත් බොන්න බැහැ. යෝගට් කන්න බැහැ. ක්‍රීම්  දාපුව කන්න බැහැ.  ජර්මනියේදී ට්‍රයි කරා ඔර්ගනික් (ඓන්ද්‍රිය නැත්නම් ස්වභාවික)  කිරි. ඒත් හරි ගියේ නැහැ. ජීපී (ආණ්ඩුවේ පවුලේ දොස්තර) ට කිව්වහම අසාත්මිකතාවය තියෙන එක හොයා ගන්න කියා කිව්වා මිසක් මුකුත්  කලේ නැහැ. පස්සේ ඔෆිස් එකෙන් දෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ගියා චෙක් කරන්න. පවුම් 2000 ක විතර රක්ෂණයෙන් ගෙව්වා එකට. පරීක්ෂණ දහයක් විතර කරලා කිව්වා මට කිරි වල තියෙන ලැක්ටෝස් හරි යන්නේ නැතිලු. (lactose intolerance). මට මල පැනපු පාර කන්සල්ටන්ට් එක්ක වාද කලා . එහෙම නම් කොහොමද මම පොඩි  කාලේ කිරි බිව්වේ ලංකාවේදී. රුසියාවේදී බිව්වා ප්‍රශ්නයක් වුනේ නැත්තේ මොකද වගේ දේ? මිනිහ කිව්වා කිරි වල ප්‍රශ්නය ආසියාවේ හැමෝටම තියෙනවා කියල. අපි හරියට පරිණාමය වෙලා නැහැල්ලු. මැරෙන්න හිනා ගියා ඒක අහල. ඉන්දියාවේ කිරි ඔච්චර බොන්නේ ඇයි කියල ඇහුවම කට උත්තර නැති වුනා පොරට.   පස්සේ මම ඉන්දියාවට ගිය වෙලේ 2008 විතර, ඉන්දියන් තේ බිව්වා කිරි වලින්ම හදන වතුර නොදා. පස්සේ යෝගට් කෑව. තව කිරි වලින් හදන බිම බීව. කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔය අතරේදී මට කල්පනා වුනා මගේ ළමයි පුංචි කාලේ කිරි බොන කොට , යෝගට් කන කොට අසාත්මික තාවක්  ආව නේද  කියල.  අපි පාට  පාට, ගණන් යෝගට් නැතුව සරල  ඔර්ගනික් යෝගට් දුන්නම හරි ගියා. 
ළමයි නිකන් කිරි වලට පුරුදු වුනා  වගේ දෙයක් වුනේ. (ලොකු දුවට ආයෙත් ඒක  හැදිලා දැන් ). ඔය අතරේදී ගිය එංගලන්තේ ගොවිපලක් බලන්න. ළමයි ව එක්කන් ගියා චාරිකාවක් නිසා. එතැනදී දැක්ක  දෙයින් මට වැටහුනා මගේ ප්‍රශ්නය. එතන එළදෙනුන්ට තණකොළ දුන්නත් කන්නේ නැහැ වගේ  දැක්කේ. උන් කන්නේ පොඩි දර කෑලි  වගේ (පුන්නක්කු නොවේ) ජාතියක්. අහල බලන කොට ඒ ගව ආහාර වල  ස්ටෙරෝයිඩ් (හෝමෝන ජාති) , ප්‍රති ජීවක ඖෂධ, විටමින් ජාති , කිරි වැඩි පුර එන්න මොකක්ද රසායනිකයක් වගේ දේවල්  දාල හදපු කෑමක්. ඉස්සර හරක් හා බැටළු මසුත් තිබිල තියෙනවා. අර හරකුන්ට හැදුන  CJD ලෙඩෙන් පස්සේ මස් අඩංගු කෑම දීම තහනම්. ඒත් මාළු තියෙනවා මන් හිතන්නේ. තණකොළ කන්නේ නැති හරක්. මට වෙලා තියෙන්නේ මේ කිරි වල තියෙන  රසායනික වලින් එන අසාත්මික තාවයක්.  හොයල බලන කොට මේ එළකිරි වල වෙනම ප්‍රෝටීන් වර්ග වගයක් නිපද වෙනවා. කෘතීම ඒවා. ජර්මනියේ පමණක් නොව මුළු යුරෝපයේම කිරි වල එහෙමයි.  ඒවායෙන්  සමහර අයට අසාත්මික තාවයන් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාවේ කිරි මට බොන්න පුළුවන් වුනේ ඒවා වල මේ අමුතු  ප්‍රෝටීන් වර්ගය නැති නිසා. දැන් මිල අධික කිරි වර්ගයක් එනවා A2 කියල. අර කිරි වලින් අසාත්මිකතාව ඇති කරන ප්‍රෝටීන් එක අයින් කරපු. ඉස්සෙල්ල එහෙම අමුතු කිරි හදල දැන් ඒවා වලින් ප්‍රෝටීන් අයින් කරලා ආයි වැඩි ගානට විකුනනව. අර සමුහ ගොවිපලවල් වල තිබ්බ විධිහට  සාමාන්‍ය  තණකොළ කාල හැදෙන එළදෙනුන්ගේ  කිරි වල මේ ප්‍රශ්න නැහැ. හැබැයි සෝවියට් රජය අන්තිම කාලේ බටහිර ක්‍රම අත්හදා බැලුව.
ඒ කාලේ සමාජවාදී රටවල් තිබ්බ ප්‍රශ්නයක් තමා අහර විකුණන කඩවල පෝලිම්. ඒවා ගැන මිට කලින් කතා කරලා තිබෙන නිසා මෙතන ලියන්නේ නැහැ. ඇයි ඒවා ඇති වුනේ කියල. එක පවුලේ අම්මා  පෝලිමේ එක තැනක්. දුව හෝ පුතා තව තැනක. සැමියා තව කොනක. එතකොට තම වැඩිපුර දොඩම් මල්ලක්, කෙහෙල් ටිකක්, මස් ටිකක් ගණන් පුළුවන්. ඒවා වල වැසියන් නැවත ඒ ක්‍රමයටයන්න කැමති නැහැ. ධනවාදී ක්‍රමයේ අහාර කොච්චර නුගුණ වුනත්. ගණන් වැඩි වුනත්. 
හැබැයි ඉතින් දැන් බටහිර ඉන්න අපි ආපහු  නැවත යනව.  සරල ක්‍රම වලට. වඩා  සෞඛ්‍යට හිතකර වගා  ක්‍රම වලට. මස් මාළු නිෂ්පාදනයට.  හිමින් හිමින් සමාජවාදයට යනවද? මොකද ඩෙන්මාර්ක් වල මේ පැත්තෙන් හුඟක් ඉහලයි තත්වය. මේ සමාජවාදය ලෙනින්, ස්ටාලින්, මාඕ, විජේවීර කියූ විධිහට නොව වෙනස් විධිහට හැඩ  ගැසෙමින් එනවා වත්ද?
Ajith Dharmakeerthi
  

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...