විද්‍යාඥයා සොයා ගත් නවෝත්පාදන අදහස ක්‍රියාවට නංවන්නා විධික්‍රමවාදියාය. අවිඥානය සොයා ගත්තේ සිග්මන් ෆ්‍රොයිඩ්ය.එය සංස්කෘතිය නම් ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාවට යොමුකරන ලද්දේ ප්‍රංශ ජාතික මනෝ විශ්ලේෂකයකු වූ ජාක් ලැකාන්ය. මිනිසාට ඇත්තේ සිහිබුද්ධිය පමණක් නොවේ. ඊට අමතරව මිනිසාට අවිඥානය යනුවෙන්ද ප්‍රපංචයක් පවතියි. යථාර්ථය මනසේ නිර්මාණයක් බව නලීන් ද සිල්වා කියයි. නමුත් ඔහු නොදැන සිටින දැනුම වන්නේ ‘අවිඥානය’ යනුවෙන් දෙයක් පවතින බවයි. ‘සයිකොසිස්’ නැතහොත් මතිභ්‍රමවාදියා යන්න නිර්වචනය කරන්නේ කෙසේද? සයිකෝසියා යනු බාහිර ලෝකය සහ තමන් අතර තාප්පය බිඳ ගත් පුද්ගලයාය. එවිට සිදු වන්නේ සම්මුති සත්‍යය යන අත්දැකීම ඔහුට නොදැනී යාමයි.

නලීන් ද සිල්වා වැන්නකුගේ මුඛ්‍ය ගැටලුව වන්නේ 80 දශකයට පසු ‘මාක්ස්’ නම් හැඟවුම්කාරකයේ අර්ථය සමාජය තුළින් වාෂ්ප වී යාමයි. මිනිසකු තමන්ට අර්ථය ලබා දෙන පරමාදර්ශය මිය ගිය පසු වික්ෂිප්ත වෙයි. මාක්ස්ගේ අදහස (විප්ලවය පිළිබ෦ඳ) මිය ගිය පසු නලීන් ද සිල්වා තමන් සඳහා පුද්ගලික අර්ථයක් නිර්මාණය කරන ලදී. මේ අලුත් අර්ථය සරලය. සිංහල සමාජයේ සියලු අසංගතභාවයන්ට (එකතැන පල්වීම, රට බෙදී යාමේ තර්ජනය, සාරධර්ම වියැකී යාම, ආගමික සදාචාරය යල් පැන යාම, ආර්ථික පීඩනය, අසමානත්වය) හේතුභූත වන බාහිර හේතුව උතුරේ පදිංචිව සිටින ගුප්ත දෙමළාය. මෙන්න මේ කල්පිත ගුප්ත දෙමළාව අපි එක්කෝ හීලෑ කළ යුතුය. නැතහොත් සාමූහික ප්‍රපංචයක් ලෙස විනාශ කළ යුතුය. මේ අදහස ඔහුගේ පුද්ගලික අදහසකි. සාමූහිකත්වයක් නිර්මාණය කිරීමට ඔහුගේ මේ පුද්ගලික අදහස පාදක විය. මෙම පුද්ගලික අදහස විසින් ඔහුගේ අවිඥානය නිර්මාණය කර ඇත. නලීන් ද සිල්වාගේ ලිපි ලේඛන හොඳින් පරීක්ෂා කරන විට ගම්‍යමාන වන ප්‍රබල සාක්ෂිය වන්නේ ඔහුට අවිඥානයක් ඇතැයි ඔහු විශ්වාස නොකිරීමයි. ඔහුව විචාරය කරන බහුතර දෙනාටද අවිඥානය ගැන විශ්වාසයක් නැත. සමාජීය අසංගතභාවයට පාදක වන්නේ බාහිර හේතුවක් යනු අවිඥානය සමග බැඳී ගිය දැනුමකි. මෙහි අර්ථය වන්නේ මගේ ජීවිතයේ අවිනිශ්චිතභාවයට හේතුපාද වන්නේ බාහිර අනෙකෙක් යන අදහසයි. මෙය සයිකෝසියාවේ මූලික ලක්ෂණයයි. මගේ පරිපූර්ණ විනෝද වීම හෝ මගේ සුසංවාදී ජීවිතයේ නිසල බවට බාධාව ඇත්තේ මා තුළ නොව වෙනත් තැනකය. මෙමගින් සිදු වන්නේ හේතුව අභ්‍යන්තරයෙන් බාහිරට විස්ථාපනය වීමයි. ධනේශ්වර ආර්ථිකයේ ප්‍රාග්ධනය නිසා හටගන්නා අභ්‍යන්තර තර්කනය බාහිරට තල්ලු කළ විට අපට බාහිරින් බාහිර වාර්ගික සතුරකු හමු වෙයි. මෙම වාර්ගික බාහිර සතුරා අපගේ පරිකල්පනීය ෆැන්ටාස්මැතික සතුරකු මිස සැබෑවක් නොවේ. ප්‍රභාකරන්ගේ නිශ්චල දේහය හමු වූවාට පසුවත් සිංහල සමාජ දේහය සන්සුන් වී නොමැත. තවමත් රුපියල්-ශත තර්කනය ජීවිතයේ නාභියයි.

ෆ්‍රොයිඩ්ගේ අවිඥානය නම් සොයා ගැනීමට අදාළව ස්ලෝවේනියානු ජාතික දාර්ශනිකයකු වන ස්ලාවෝජ් ජිජැක් නම් විධික්‍රමවාදියාගේ විධික්‍රමය වී ඇත්තේ කුමක්ද? ඔහු සංස්කෘතික නිෂ්පාදනවලට අදාළව අවිඥානයක් තිබේ යැයි පැවසීමෙන් නතර වන්නේ නැත. එනිසා ඔහු ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරු කුලය මෙන් ෆ්‍රොයිඩ් සහ මාක්ස් සංස්ලේෂණය කළ පුද්ගලයකු නොවේ. ජිජැක්ගේ විධික්‍රමය වන්නේ දෘෂ්ටිවාදී විචාරය (Ideological Criticism) යි. මින් අදහස් වන්නේ කුමක්ද? සමාජ ජීවිතයේදීත්, පුද්ගලික ජීවිතයේදීත් අපට යම් අඩුවක් අත්විඳින්නට සිදු වෙයි. දෘෂ්ටිවාදය යනු මේ අඩුව අර්ථකථනය කරන කතාන්දරයයි. උදාහරණයක් ලෙස අපි ඉහත සාකච්ඡා කළ “සිංහල ජාතිවාදය’’ නම් දෘෂ්ටිවාදයේ සද්භාවික අංශය සලකා බලමු. සිංහල ජාතිවාදයට හේතු-ඵල සම්බන්ධයක් හෝ ඍජු ද්‍රව්‍යමය හේතුවක් නැත. 80 දශකයෙන් ආරම්භ වූ විවෘත ආර්ථිකය නිසා සිංහල මිනිසාගේ ද්‍රව්‍යමය ජීවිතය පමණක් නොව අධ්‍යාත්මික (හොඳ-නරක පිළිබඳ සම්මුතිය) ජීවිතය ද විපර්යාසයට ලක් විය. මෙම බාහිර තර්කය නිසාම සිංහල මිනිසාගේ සමාජ ජීවිතය තුළ විශාල පරිමාණයේ හිස් අවකාශ බිහි විය. මෙම අර්ථවිරහිත හිස් අවකාශයික දිවයින්වලට අර්ථයක් අවශ්‍ය විය. ඒ සඳහා ආගම හැර විකල්පයක් සිංහලයාට නැත. නලීන් ද සිල්වා මෙම සිංහල-හිස්-අවකාශ සඳහා යෝජනා කරනු ලැබූ පිළිතුර මෙසේය. “ඔබලා අත්විඳින අභ්‍යන්තරික හිස් බව සිංහල-බෞද්ධ සංස්කෘතියේ නෛසර්ගික නොහැකියාවක් නොවේ. ඔබගේ අභ්‍යන්තරික චිත්ත-අධ්‍යාත්මික සාමය බිඳ දමන්නේ දෙමළා නම් උතුරේ ජීවත් වන රකුසාය’’ නලීන් සිල්වාගේ මෙම ෆැන්ටසිමය උත්තරය ධනවාදය තුළ හිස් බව නම් තුවාල සාදාගෙන සිටින ජහමනයාට මහත් සහනයකි. මෙම සහන පෙත්ත යනු ‘හිස් බව’ නම් අවකාශය වසා දමන කතන්දරයයි. මාක්ස් වැනි චින්තකයකුගේ අදහස් පාවිච්චි කර අපට කිව හැක්කේ මෙම සුවිශේෂ කතාන්දරය තුවාලය වසා දමන ප්ලාස්ටරය බවයි. මෙම ප්ලාස්ටර කතන්දරයට අපි කියනව ‘දෘෂ්ටිවාදය’ කියල.

ඉහත පසුබිම් කතාවට අනුව ජිජැක් නම් දාර්ශනිකයා අපට ගම්‍ය කරවන්නේ චිත්‍රපට යනු දෘෂ්ටිවාදී කතන්දර කියා නොවේ. ඔහුගේ විධික්‍රමය හාත්පසින් වෙනස්ය. ඔහුට අනුව චිත්‍රපටද අපගේ අවිඥානය පරිදිම දෘෂ්ටිවාදය සමතික්‍රමණය කරමින් සත්‍යය වෙත ළඟා වෙයි. සරලව කිවහොත් පැරණි අර්ථයෙන් චිත්‍රපට යනු දෘෂ්ටිවාදී නිර්මිතයන්ය. ඒවා දෘෂ්ටිවාදයන්ට සේවය කරන ආකාරය පෙන්වීම දෘෂ්ටිවාදය විචාරය කිරීමයි. ජිජැක්ගේ අරමුණ මෙහි විලෝමයයි. ඔහුට අනුව චිත්‍රපට කලාවේ අද්විතීය ගුණය වන්නේ දෘෂ්ටිවාදයට එරෙහි වීමට එම කලාව තුළ ඇති නෛසර්ගික ගුණයයි.

ඉහත න්‍යායික උඩුයටිකුරු කිරීමට අනුව ජිජැක් අපට විවෘත කරන්නේ නව මාර්ගයකි. ඔහු කරන්නේ චිත්‍රපට විචාරය නොවේ. ඒ වෙනුවට ඔහු කරන්නේ දෘෂ්ටිවාදී විචාරයයි. එනම් මාක්ස්ගේ විධික්‍රමයයි. චිත්‍රපට යනු සමකාලීන යුගයේදී දේශපාලනයේදීටත් වඩා දෘෂ්ටිවාදය විචාරය කරන අමුද්‍රව්‍යයි. විශේෂයෙන් 80 දශකයේ නිමාව සමග ලංකාවේ යථාර්ථවාදී සිනමා විචාරය (ගුණසිරි සිල්වා සිට සුචරිත ගම්ලත් දක්වා) අතාර්කික වෙමින් පවතින්නේ මේ හේතුව නිසාය. ඔවුන් බොහෝ දෙනා පෙන්වීමට උත්සාහ කරන ලද්දේ චිත්‍රපටයට පිටතින් යථාර්ථයක් (Reality) පෙන්වීමටය. ඔවුන්ට අනුව භෞතිකවාදී විචාරය යනු එම ක්‍රියාවයි. ආත්මීය මැදිහත් වීමකින් තොර බාහිර අවම හෝ වාස්තවික යථාර්ථයක් ඇත යන ප්‍රවාදය ලංකාවේ බහුතර විචාරක ප්‍රජාවගේ පුරුදු විධික්‍රමයයි. මනසින් ස්වාධීන යථාර්ථයක් ඇත යන මානය මෙහි දේශපාලනික අදහසයි. මනසට බාහිර යථාර්ථයට තුල්‍ය වීමට ඉඩ නොදෙන බාහිර බාධාවක් ඇත යන්න යථාර්ථවාදී සිනමා විචාරයේ ක්ෂතිජයයි. ලෙනින්ගේ පරාවර්තන න්‍යායේ ද ගැටලුව ඇත්තේ මෙතැනයි. ඔහුගේ අදහසට අනුව මිනිස් විඥානයෙන් ස්වාධීන එහි ග්‍රහණයෙන් ඉවතට ගිය භෞතික යථාර්ථයක් ඇත. නමුත් මෙම තත්ත්වය රෝග ලක්ෂණාත්මක විස්ථාපනයකි. එහිදී සැඟව යන කරුණ වන්නේ ‘විඥානය’ එය පරාවර්තනය කරන බාහිර ස්වාධීන යථාර්ථයෙන් පිටත පවතීය යන අදහසයි. මෙය ගුප්ත විඥානවාදයකි.

නමුත් ලැකාන් විසින් සොයා ගත්, ජිජැක් විසින් විදාරණය කරන ‘සැබෑව’ (Real) නොහොත් සංකේතකරණය අපොහොසත් යන්න ඇත්තේ යථාර්ථය පැත්තේ නොව ප්‍රබන්ධය, ෆැන්ටසිය, මායාව පැත්තේය. මහාචාර්ය ගම්ලත්ගේ ‘සැබෑව’ අපට හමු වූයේ සමාජ යථාර්ථය තුළ නොව, එතෙක් කල් ඔහුගේ ප්‍රබන්ධ ලෝකය තුළ සැඟවී සිටි ස්ත්‍රීන් දෙදෙනා හරහා ඔහුගේ අවමඟුල තුළදීය. මින් ප්‍රකාශමාන වන සත්‍යය වන්නේ විඥානය හෝ සත්‍යය පිහිටා ඇත්තේ යථාර්ථයෙන් පිටත නොව ඒ තුළම බවය. යථාර්ථය මනසේ නිර්මාණයක් නොව එහිම එක තැනක බැරිකම ලෙස ප්‍රකාශ වන්නකි.

Deepthi Kumara Gunarathne

lankanewsweb

 

ඔබේ අදහස කියන්න...