සමකාලීන ලිබරල්-ධනවාදී සමාජ අන්තර්ගතයන් සකස් වී ඇත්තේ ව්‍යාජ නිදහස පදනම් කොටගෙනය.

පළමුවෙන්ම කිවයුත්තේ ලිබරල් සමාජයක් පරිණත වන විට එය පශ්චාත්-ඊඩිපස් ආකෘතියක හැඩය ලබාගන්නා බවය. මිනිසාගේ ආශාව සම්භව වන්නේ ඊඩිපස් ප්‍රහේලිකාව විසඳීමට යාමෙනි. ඉන් අදහස් වන්නේ විරුද්ධ ලිංගික දෙමාපිය සම්බන්ධයට ආශා කිරීමෙනි. ලිබරල් සමාජයකදී සිදු වන්නේ මෙම ඊඩිපස් ගෝලය පදනම් වන සංකේත ලෝකය සහ එහි මනා ක්‍රියාකාරීත්වය දුර්වල වී යාමයි. මහාඅනෙකා බිඳ වැටීම, පරමාදර්ශ කඩා වැටීම, සාම්ප්‍රදායික ආධිපත්‍යයන් කඩා වැටීම, බාහිර සංකේත නීතිය අභ්‍යන්තරීකරණය කර ගැනීම (සුපිරි අහම – මනසේ විනිශ්චයකරුවා) ව්‍යුහාත්මක ලෙස විපර්යාස වීම, සිරිත්-විරිත්, හුරු පුරුදු ඛාදනය වීම යනාදී විශාල පසුබිමක් මගින් නිර්මිත වන්නේ පශ්චාත්-ඊඩිපස් සමාජයකි. මෙවැනි පශ්චාත්-ඊඩිපසියානු සමාජයක මූලික ලක්ෂණය වන්නේ සමාජ මධ්‍යයේ පැවැති සමාජය මෙහෙයවන ස්වාමි-හැඟවුම්කාරක (නායකයා, ප්‍රජාතන්ත්‍රවාදය, පක්ෂ, ආගම) ඒ තැනින් විස්ථාපනය වී ඒවා මුලින් පැවති ස්ථාන හිස් වී යාමයි. එවිට මෙම හිස්තැන් පුරවා දමන්නේ විවිධ ෆැන්ටසි අන්තර්ගතයන්ය. මෙම ෆැන්ටසි අන්තර්ගතයන් ප්‍රකාශමාන වන්නේ පුද්ගලික විමුක්තියේ සත්‍ය මාර්ගය ලෙස විවිධ ජීවන විලාසයන් (Life Styles) සහ ලිංගිකත්වයන් පදනම් කර ගනිමිනි. ෂැම්පෝ දැමු දිගු කෙහෙරැලි සුළඟට පැද්දී යාම එය නරඹන කෙනෙකු කියවන්නේ නිදහස ලෙසය. නැතහොත් නුහුරු නුපුරුදු ලිංගික අනන්‍යතාවයක් – සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික – තවත් කෙනෙකු වටහා ගන්නේ නිර්මාණාත්මක දෙයක් ලෙසිනි. තම අනෙකා සමග විවිධ ලිංගික පර්යේෂණ කිරීම – ස්වපීඩා – පරපීඩා ලිංගික ක්‍රීඩා සහ ලිංගික රොබෝවරුන් තම ෆැන්ටසි සාරය සාක්ෂාත් කර ගැනීමට උපයෝගී කර ගැනීම ආදිය – නිදහසේ අභ්‍යන්තරික ගතිකයක් ලෙසින් වටහා ගන්නා පුද්ගලයන් සමකාලීන සමාජය තුළ බහුලය. තම ජීවිතය පර්යේෂණයක් කර ගැනීමත් එහි නිරීක්ෂණ, නිගමන වඩා නිර්මාණාත්මක ජීවිතයක පදනම බවත් බොහෝ දෙනා රහසින් පිළිගනිති. මිචෙල් ෆුකෝ මිනිස් ජීවිතය ‘කලා කෘතියක්’ යැයි ප්‍රකාශ කරන ලද්දේ නිකමට නොවේ. නමුත් අප නොසිතන පැත්තක් මෙම නිර්මාණශීලී අවකාශය තුළ ඇත.

බාහිර මර්දනයකින් තොර ලෝකයක (විරුද්ධ ලිංගික දෙමාපිය සාමාජිකයාගේ ආශාවට අප ඇදී යන විට එය මර්දනය කරන්නකු නොමැති නම්) ආශාවට ක්ෂිතිජයකින් තොර නිම්නයක් හමු වේ යැයි අනුමාන කිරීම නරක නැත. උදාහරණයක් ලෙස 68 ශිෂ්‍ය අරගලය සිදුවූ විට ප්‍රංශ ශිෂ්‍යයන් ප්‍රංශ සමාජයේ ඒ දක්වා පැවති පවුල, සමාජය, ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් උන්මුල වශයෙන් ප්‍රශ්න කරන ලදී. නමුත් 70 දශකය වන විට පවුලෙන් විශාල පිට්ටනි කරා ගාල් වූවන් නැවත පවුල කරා සංක්‍රමණය විය. 90 දශකයේ ලෝකයේ පහල වූ හොඳම වෙළෙඳ දැන්වීම්කරුවන් වූයේ පැරණි රැඩිකල් ප්‍රංශ ශිෂ්‍යයන්ය. එනිසා ලිංගිකත්වය රැඩිකල් නිදහස් අවකාශයක් ලෙස සිතන්නා (ලිංගික පර්යේෂණවලට යොමුවන්නා) අත්‍යන්තයෙන්ම කොන්සර්වේටිව්වාදියෙකි. එවැන්නකු අවසන් විග්‍රහයකදී පවතින ක්‍රමය සුරක්ෂා කරන්නෙකි. මර්දනය අතහැර ඒ වෙනුවට නිදහස් තීරණ ගැනීමට යන පුද්ගලයාට සම්මුඛ වන්නේ තමන්ගේම රහස් ආශාව මිස සැබෑ අනෙකා නොවේ. මෙම රහස් ආශාවේ දෘෂ්ටිකෝණයෙන් නැරඹූ විට එක අතකින් අප මේ ජීවත් වන, පදනම් වන ආර්ථිකය අමතක වෙයි. අනෙක් පැත්තෙන් අප සිතන්නේ ‘දෘෂ්ටිවාදය’ සමකාලීන සමාජ ජීවිතය සමතික්‍රමණය කර ඇති බවය. ඒ අනුව සමකාලීනත්වය පශ්චාත්-දෘෂ්ටිවාදීය.

ලංකාවේ බොහෝ දෙනෙකු අනන්‍යතාවය (Identity) සලකා බලන්නේ එක්කෝ පුද්ගලික දෙයක් ලෙසිනි. නැතහොත් එය පුද්ගලයා තම අභිමතාර්ථයට අනුව සකස් කරගත් ස්වාර්ථයකි යන අදහසිනි. “මම කවුද?’’ යන ප්‍රශ්නය අප සිතන තරම් සරල නැත. පුද්ගලයකු වෙනත් පුද්ගලයකු හෝ වෙනත් දෙයක් ගැන (පුටුව, මේසය, ගුවන්යානය) මේ ඉහත ප්‍රශ්නයම ඇසූ විට එන උත්තරය තරම් ‘තමා කවුද’ යන ප්‍රශ්නයට අදාළ උත්තරය සරල සුගම නැත. පුද්ගලයකුට අනන්‍යතාවය එන්නේ කොහෙන්ද? එය අප සිතන පරිදි අභ්‍යන්තරික පරිකල්පනාත්මක එකක්ද? නැතහොත් එය බාහිරද?

ජර්මාන් දාර්ශනිකයකු වන හේගල්ට අනුව සවිඥානකත්වය (එනම් තමා ගැන මිනිසාට ඇති දැනුවත්භාවය) යනු පාරදෘශ්‍ය දෙයක් නොවේ. වීදුරුවක් තුළින් එළිය බැලු විට එළිය පැහැදිලිව දැකගත හැකි පරිදි මිනිසාට තමාවම පැහැදිලිව දැකිය නොහැකිය. මිනිසා තම අභ්‍යන්තරය දෙසට හැරී ‘තමා කවුද?’ යන්න ගවේෂණය කළහොත් ලැබෙන උත්තරය පාරාන්ධය. නිදහසේ (1948) සිට 90 දශකය දක්වා ලංකාවේ මිනිසුන් ඔහේ ජීවත් වූවා පමණි. 90 දශකයේ සිට මගේ මැදිහත් වීම මගින් ජීවිතය යනු පරාවර්තනය කර සමපේක්ෂණය කළ යුතු දෙයක් බව පැහැදිලි කළේය. දැන් මිනිසුන්ට ජීවත් වීම වෙනුවට ජීවත්වනවා යනු කුමක්ද යන්න ගවේෂණය කිරීමට සිදු වී ඇත. මෙම ගවේෂණය පුළුල් කරන විට අවබෝධ වන කරුණක් වන්නේ අනන්‍යතාවය අපට එන්නේ අප තුළින් නොව අපගේ අනෙකා තුළින්, එනම් බාහිරින් බවයි. ප්‍රභාකරන්ට තදින් ද්වේශ කරන පුද්ගලයකු නොදන්නේ ඔහුට ඔහුගේ අනන්‍යතාවය ලැබී ඇත්තේම ඔහුගේ බාහිර විෂ අනෙකා වන ප්‍රභාකරන් නිසාම බවය. කෙනෙකු තමා තුළටම හැරී අන්තරාවර්තනය කරන විට තමාට තමන් තුළින්ම බාහිර අමුත්තකු හමු වෙයි. අපට සමීප අනෙකාට අප වඩ වඩා කිට්ටු වන විට අපට රකුසකු හමුවෙයි. අප දෙසට තදින් අවධි වන කෙනෙකුට රකුසකු හමුවන්නේ ඇයි?

අප ඉහත සාකච්ඡා කළ දාර්ශනික අදහස සාරාංශ කළහොත් අනන්‍යතාවය පිළිබඳ අවබෝධයක් ලැබිය හැක්කේ පරාවර්තනය නම් හිතන ක්‍රියාව හරහාය. කෙනෙක් වෙනත් අය සහ දේවල් ගැන නොසිතා (අද්භූත දේවල්) තමන් ගැනම සිතන්නේ නම් (තාත්විකත්වය) එවිට අනන්‍යතාවය යනු අපට බාහිරින් පරාවර්තනය වන සාරත්වයක් (essence) ලෙසින් වැටහෙයි. මේ හේතුව නිසා වැදගත් රහසක් අනාවරණය වෙයි. අනන්‍යතාවයට යටින් යම්කිසි මනෝවිද්‍යාත්මක අන්තර්ගතයක් පුද්ගලයාට නැත යන අදහසට අපට දැන් පහසුවෙන් ඒමට පුළුවන. මේ අර්ථයෙන් ගත් විට පුද්ගලයකුගේ සමාජ අනන්‍යතාවය සකස් වීම අප හිතන තරම් සරල නැත. එක පැත්තකින් එය බාහිර සමාජයෙන් සංකේතීයව එල්ල වන්නකි. අනෙක් පැත්තෙන් බාහිරින් එල්ල වන මෙම සංකේතීය අදහස් අතර ඇත්තේ විෂමතාවයක් සහ වෙනස්කමකි. අපට පුද්ගලයකුට ‘පියා’ යැයි කිව හැක්කේ ඔහු තම පුතාට/දුවට දක්වන සම්බන්ධය තුළය. නමුත් වෙනස් සම්බන්ධයකදී මෙම ‘පියා’ යන පුද්ගලයා වෙනත් පුද්ගලයකුගේ ‘පුතා’ විය හැක. මෙතැනදී කල්පනාකාරී පුද්ගලයකුට ගැටලුවක් සම්මුඛ වෙයි.

එකම පුද්ගලයකු එකවර පියකු සහ පුතකු වන්නේ කෙසේද? මෙතනදී අපට ප්‍රතිවිරෝධය නම් සංකල්පය හමුවෙයි. විරුද්ධ පැති එකට පැවතිය හැක්කේ කෙසේද? මෙම තත්ත්වය තාර්කික ව්‍යාකූලත්වයක් බිහි කරයි. එක පැත්තකින් මා යනු අනෙක් මිනිසුන්ට කවුද? යන්න ජනිත වෙයි. තව පැත්තකින් මා තුළ සිටින ‘මම කවුද?’ යන ප්‍රශ්නය ජනිත වෙයි. මෙම ස්ථාවරයන් දෙක පරස්පරයකට එහා ගිය පසමිතුරුභාවයකි. එක පැත්තකින් ‘මම’ යනු සමාජයේ අනෙක් අය කරන නාමකරණයයි. නමුත් තව පැත්තකින් ‘මම’ යනු මගේම අවලෝකනය තුළ හිස්තැනකි. මට මගේම කියා සාරයක් නැත. මට ‘මම’ කියන සාරය එන්නත් කරන්නේම බාහිර සමාජ අනෙකාය. අනෙක මෙම සාරයන් මගේ අතීත ශේෂයන් නොව වර්තමානයෙන් අතීතයට ප්‍රක්ෂේපණය කරන සාරයන්ය.

අනෙකුන්ට මගේ ඇති සම්බන්ධය ඉවත් කළ වහාම මම යනු නිකං මිනිසෙකි. ‘මම’ යනු මෙම බාහිර සමාජ සබඳතා ජාලයයි. මාක්ස් කී පරිදි මිනිස් සාරය වනාහි සමාජ සබඳතාය. මට මා තුළට ඇති සම්බන්ධය හරහා ‘මම’ යනු පවිත්‍ර හිස් බවකි. අනෙක් අතට මේ නිසාම මට නිදහසක් ප්‍රදානය වී ඇත. මා කවුද යන්න පැමිණෙන්නේ පිටතින් නම් ඒ කුමන අන්තර්ගතය මා බවට පත් විය යුතුද යන්න මගේ ස්වයං – තීරණයකි. එය මගේ අනන්‍යතාවය පිළිබඳ අභ්‍යන්තරික නිදහසයි.

අනන්‍යතාවය සම්බන්ධයෙන් අප ‘පරස්පරය’ නම් තැනින් ‘ප්‍රතිවිරෝධය’ යන තැනට මාරු වන විට එක් අක්ෂයකින් තව අක්ෂයකට මාරු වනවා නොවේ. උදාහරණයක් ලෙස අප ස්ත්‍රිය සහ පුරුෂයා යන සංකේතීය පරස්පරය සලකා බලමු. ස්ත්‍රිය සහ පුරුෂයා විරුද්ධවාදීන් ලෙස අන්තර්-පරායත්ත වන ආකාරය අපට අවශ්‍ය තරම් පැහැදිලිව කළ හැක. නමුත් අප මේ කොට්ඨාස දෙකට පොදු වූ නිශ්ක්‍රීය අවකාශයක් නිර්මාණය කරන්නට යන විට හමුවන උභතෝකෝටිකය කුමක්ද? එවිට අපට ප්‍රතිවිරෝධයට එහා තැනකට ගමන් කිරීමට සිදු වෙයි. එනම් මනුෂ්‍යත්වය මහා පොදු සාධකය ලෙස ගෙන ඒ දෙකෙහි කුලක දෙකක් ලෙස ස්ත්‍රිය සහ පුරුෂයා ස්ථානගත කිරීමට උත්සාහ කළහොත් අපට ලැබෙන උත්තරය කුමක්ද? එහි දී දෘශ්‍යමාන වන්නේ පුරුෂ උත්තමවාදී දෘෂ්ටිකෝණයට අනුව පුරුෂයා සාර්වත්‍රික වටිනාකම්වලට මුල්තැන දෙන අතර ස්ත්‍රිය සුවිශේෂයන්ට මුල්තැන දෙන බවත්ය. එනම් එවන් තලයක ගැටලුව සාකච්ඡා කරන විට ස්ත්‍රිය නම් තලය සහ පුරුෂයා නම් තලය අතර සමමිතිකභාවය බිඳ වැටෙයි. සලකුණු කළ මිනිසා (පිරිමියා) සලකුණු නොකළ මිනිසා (ස්ත්‍රිය) අතර ප්‍රතිවිරෝධය යනු පරස්පරය මගින් යථාර්ථය තීන්දු වීමයි. කලින් අප කතා කළ පරිදි මගේ අනන්‍යතාවය තීන්දු වන්නේ අනෙකාගෙනි. එපමණක් නොව අපගේ සමාජ ජීවිතයේ අර්ථය තීන්දු ව න්නේ අපගේ විරුද්ධවාදියාගෙනි. (Oppositional determination)

අශෝක හඳගමගේ සමාජ අනන්‍යතාවය පිළිබඳව මූලික ප්‍රතිවිරෝධතා දෙකක් ඉතිහාසයේ ගොනු වී ඇත.

(A) ඔහු සමාජවාදියෙක්ද? ඔහු ජාතිකවාදියෙක් නොවන්නේ මන්ද?
(B) ඔහු ස්ත්‍රීවාදියෙක්ද? ඔහු පුරුෂයෙක් නොවන්නේ මන්ද?

විරුද්ධවාදීන්ගේ අදහස් සමුදාය නිසා අශෝක හඳගම සම්බන්ධයෙන් සිංහල සමාජයේ දැන් පවතින්නේ පරස්පරතාවයන් නොව ප්‍රතිවිරෝධයන්ය. පරස්පරයක් සමාජීය තලය තුළ ප්‍රතිවිරෝධයක් දක්වා උත්සන්න වන්නේ සමාජ පසමිතුරුභාවයන්ගේ ගතිකත්වය නිසාය. දේශපාලන ජීවිතයෙන් මෙම ගැටලුව හඳුන්වා දෙන්නේ නම් තත්ත්වය මෙසේය. යම්කිසි දේශපාලන ඒජන්තයෙක් තම ප්‍රතිවිරෝධී පක්ෂයකට මෙසේ චෝදනා කරනු ඇතැයි නිගමනය කරන්න. “රට ගැන හෝ සමාජය ගැන නොසිතා ඔබලාගේ පක්ෂය ක්‍රියා කරන්නේ පක්ෂයේ පටු අරමුණු සඳහා පමණි.’’ (බොහෝ විට ජවිපෙ තම සතුරා ගැන දරන්නේ මෙම මතයයි) මෙම අදහස තුළ ඇති ප්‍රතිවිරුද්ධ අදහස මෙසේය. “අපගේ පක්ෂය ක්‍රියා කරන්නේ රට ජාතිය වෙනුවෙන් පමණි.’’ මෙම වාක්‍ය නිසා චූදිත පක්ෂය සහ සමාජශීලී පක්ෂය අතර බෙදුම් රේඛාවක් බිහි වෙයි. නමුත් මෙතනදී අමතක වී යන කාරණය වන්නේ විරුද්ධවාදියාගේ දේශාපාලන ස්ථාවරය විසින් යහපත් බව දේශනා කරන පක්ෂයේ ‘සාරය’ තීන්දු වන බවය. එනම් පටු අරමුණු රහිත සාර්වත්‍රික දේශපාලන පක්ෂය සහ පටු අරමුණු සහිත සුවිශේෂ දේශපාලන පක්ෂය. මේ තත්ත්වය විසින් ප්‍රතිවිරෝධය අපට හඳුන්වා දෙයි. විරුද්ධවාදියා අපගේ සීමාවයි.

අශෝක හඳගමගේ සමාජ අනන්‍යතාවය යනු කුමක්ද? එය එක පැත්තකින් සමාජ පසමිතුරුභාවයන්ගේ ඇතුළට යොමු වු ප්‍රක්ෂේපණයකි. අනෙක් පැත්තෙන් තමා වෙතට බාහිරින් එන අනන්‍යතා ජාලයෙන් ඔහු විසින් තීරණය කරන ‘ඔහු’ යනු කවුද? මේ තත්ත්වය යනු ඔහු ගැන අපට ඇති ප්‍රහේලිකාව සහ ඔහුට ඔහු ගැන ඇති ප්‍රහේලිකාව අතර පරතරයයි. ඔහු ගැන අප සිතිය යුත්තේ එම පරතරය මතය. සමාජ-විද්‍යාව සහ මනෝවිද්‍යාව සමතික්‍රමණය කළ හැක්කේ එවිටය. අනන්‍යතාවය සහ සාරය අප පසු ආවර්තිතව එන්නත් කරන ප්‍රපංචයන්ය.

දීප්ති කුමාර ගුණරත්න

LankaNewsWeb

ඔබේ අදහස කියන්න...