ධර්මසිරි බණ්ඩාරනායක ‘හංස විලක්’ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ 1980 දීය. ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූ ‘තුන්වැනි යාමය’ නිර්මාණය කරන ලද්දේ 1982 දීය. මේ නිර්මාණ දෙකටම පසුව ලංකාවේ වාමාංශික විචාරකයන් ඔහුව හංවඩු ගසන ලද්දේ, ආකෘතික හරඹකාරයා යන නාමයෙනි. ගුණසිරි සිල්වා වැනි ඇත්ත පත්තරයේ නිල සිනමා විචාරකයෙකු ප්‍රකාශ කර සිටියේ, ධර්මසිරි සමාජ ප්‍රශ්න, ධනේශ්වර විරෝධය, පන්ති අරගලය ගැන සංවේදී නැති බවයි. මේ චෝදනාවලිය නිසා ඔහු භීතියට පත් විය. 1984 වර්ෂයේ දී ඔහු නිර්මාණය කරන ලද ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ අන්තර්ගතය වූයේ, උතුරුමැද පළාතේ ගමකට ධනේශ්වර සබඳතා ඇතුළු වූ පසු ගමක ‘ලිංගික වෙනස’ පරිණාමය වන ආකාරය යි. ඉන්පසු, 1997 පමණ වනතෙක් යළි චිත්‍රපටයක් නොකළ අතර ඊළඟට ඔහු නිර්මාණය කළේ, ‘බවදුක’ සහ ‘බවකර්ම’ යන චිත්‍රපට දෙකයි. මේ චිත්‍රපට දෙකම අසාර්ථක නිර්මාණ වූ අතර එතැන් සිට අද දක්වා ඔහු චිත්‍රපටයක් නිර්මාණය කර නැත. ධර්මසිරි උත්සාහ කළේ, සමාජ ප්‍රශ්න නිර්මාණ වලට ඇතුල් කර රැඩිකල් වීමට ය. 

                ඔහුගේ නිර්මාණ ජීවිතය ගැන කාලානුරූපයක් සකස් කළහොත් එය මෙසේ ය. හංසවිලක් 1980]- තුන්වෙනි යාමය [1983]- සුද්දිලාගේ කතාව [1985]- බවදුක/බවකර්ම[1997]. නමුත් මේ ගත වී ගිය දශක හතරක පමණ කාලය තුළ ඔහුගේ නිර්මාණ පිළිබඳව දයලෙක්තික සහ සම්භාෂණීය තර්කයකට ලක් කළහොත් අපට අලුත් අනුපිළිවෙළක් සකස් කිරීමට හැකි ය. එය මෙසේ ය. එනම්, වසර 40 කට පමණ පසුව ඔහුගේ පළමු චිත්‍රපටය අවසාන එක වී අවසාන එක මුල එක බවට පරිවර්තනය වී ඇත. ඒ අනුව, ඔහුගේ නිර්මාණ සම්භාෂණීය ලෙස පහත ආකාරයට පිළිවෙලක් ලෙසින් සකස් කිරීමට හැකි ය. බවදුක/ බවකර්ම – සුද්දිලාගේ කතාව- තුන්වෙනි යාමය- හංස විලක්.

                    ධර්මසිරිගේ ‘නිර්මාණ එකතුව’ සඳහා කාලානුරූපය සහ ‘සම්භාෂණීය’ පිළිවෙල අතර ප්‍රතිවිරෝධයක් හට ගන්නේ ඇයි? ධර්මසිරිගේ නිර්මාණ සමුච්චය සඳහා ලංකාවේ මාක්ස්වාදීන්ගේ දයලෙක්තික ප්‍රවේශය මෙසේ ය. උදාහරණයක් ලෙස, ධර්මසිරිගේ ප්‍රථම කෘති දෙක එනම්, ‘හංස විලක්’ සහ ‘තුන්වැනි යාමය’ යනු ඔහුගේ සමාජ සංවාදය යි. දෙවනුව අපට සම්මුඛ වන්නේ, ගුණසිරි සිල්වා යෝජනා කරන විසංවාදය යි. එනම්, මේ කෘති සඳහා ඉදිරිපත් කරන නව පර්යාවලෝකනය යි. එවිට, අපට ධර්මසිරිගේ චිත්‍රපට ගැන පර්යාවලෝකන දෙකක් ඇත.

1. ධර්මසිරිගේ සමාජ පර්යාවලෝකනය- සංවාදය

2. ගුණසිරි සිල්වාගේ සමාජ පර්යාවලෝකනය- විවාදය.

3. ගුණසිරි සිල්වාගේ පර්යාවලෝකනය මගින් හඳුන්වා දුන් ධර්මසිරිගේ පර්යාවලෝකනයේ ප්‍රතිවිරෝධයන් විසඳීම. මේ හේතුව නිසා, විවාදයේ සාධනීය කරුණු එකතු කරගෙන සංවාදයේ නිශේධනීය කරුණු ඉවත හෙලා අලුතින් තුන්වැනි පර්යාවලෝකනයක් නිර්මාණය වෙයි. මෙමඟින් නිපද වූ චිත්‍රපට තුන මෙසේ ය. එනම්, ‘සුද්දිලාගේ කතාව’ සහ ‘බවදුක/ බවකර්ම’ නිර්මාණ යුගලයි. බොහෝදෙනා මෙම සාර්ථකත්වය කියවන්නේ අපෝහක තර්කනයක් හැටියට ය.

 

                       ලංකාවේ සියලුම ඊනියා මාක්ස්වාදීන්ට අනුව අප ඉහත අනුගමනය කරන්නේ, අපෝහක තර්ක ශාස්ත්‍රය යි. නලින් ද සිල්වාගේ ‘අපෝහකයේ රූපිකය’ නම් පොතේ හේගල්ගේ තර්ක ශාස්ත්‍රය ලෙස වටහා ගෙන ඇත්තේ ද ඉහත පරිණාමය වන කාලානුරූපය යි.

                       අප බිත්තරයක් කඩා තාච්චියකට දමා ටික වේලාවක් තැබූ විට අපට ‘ඔම්ලට්’ එකක් නිර්මාණය වෙයි. ‘බිත්තරය’ කාලයේ යම් මොහොතකට පසුව ‘ඔම්ලටය’ වී ඇති අතර බිත්තරය සහ ඔම්ලටය අතර වෙනසක් ද බිහි වී ඇත. (මා සහ X කණ්ඩායමේ සියලුම සාමාජිකයන් එක කුලකයක් වන අතර අන් අය සහ මා අතර වෙනසක් ඇත) අපෝහකයේ වර්ධනය ලෙස ලංකාවේ මිනිස්සු ගන්නේ ඉහත සාර්ථක කතාවයි. ‘හංස විලක්’ සංවාදයේ අඩුපාඩු සකස් කරගත් පසුව බවදුක/ බවකර්ම දක්වා එය දියුණුව කරා වර්ධනය වෙයි. වාදයක් යනු, යමෙකුගේ පර්යාවලෝකනය යි. විවාදය යනු, ඉහත වාදයේ ප්‍රතිවිරුද්ධ පැත්ත ඒ තුළම අඩංගු බවයි. සංවාදය යනු, ඉහත වාදය සහ විවාදයේ ප්‍රතිවිරෝධතා සමතික්‍රමණය කළ තෙවැනි අවධිය යි.

                   නමුත් අවාසනාවන්ත දෙයක් සිදු වී ඇත. ‘හංස විලක්’ ආකෘතියට සමාජ ගැටලු එබ්බ වූ විට ඒ තුළ තිබූ යම් විභවයක් නැති වී ගොස් බවදුක/ බවකර්ම නිර්මාණය වෙයි. බවදුක/ බවකර්ම තුළ සමාජ ගැටලු ඇති මුත් ආත්මීය තර්කනය ඊට අහිමි වී ඇත. සරලව කිවහොත්, වසර 40 කට පසුව සමාජ දේශපාලනිකව වටහා ගැනීමට ‘හංස විලක්’ ආකෘතිය සමත් වන අතර බවදුක/ බවකර්ම අන්තර්ගතය යල්පැන ගොස් ඇත. 

                     ධර්මසිරි තමන්ට අහිමි වූ යැයි ගුණසිරි සිල්වා කියූ අන්තර්ගතය තම කෘතියට එබ්බ වූ විට ඔහුට අහිමි වූ දෙයක් අහිමි විය. ධර්මසිරි ‘බවදුක’ හැදුවේ, ‘හංස විලක්’ තුළ ඔහුට යමක් අහිමි වූ බව කල්පනා කළ නිසා ය. නමුත් වසර 40කට පසුව පෙනී යන්නේ, ඒ අහිමි වූ දෙය හුදු කල්පනාවක් මිස ඇත්තක් නොවන බවයි.

                  වසර 40කට පසුව, පසුආවර්තිතව කල්පනා කළ විට තමන් බිය වූ දෙය එනම්, ‘ආකෘතිවාදය’ අද දවසේ සමාජ යථාර්ථය බවට පත් වී ඇත. එදා සත්‍යය ලෙස පෙනී ගිය ‘අන්තර්ගතවාදය’ අද දවසේ සමාජ විවාදය තුළින් යල්පැන ගිය ප්‍රපංචයක් වී ඇත. ඉතිහාසය පටන්ගත් තැනට යළිත් ළඟා වී ඇත. නමුත්, 80 දී ‘හංස විලක්’ ඛේදවාචකයක් වූ මුත් 2021 දී එය ‘විගඩමක්’ වී ඇත. එදා 80 දී ‘විනෝදය’ පැවතියේ, (වේදනානෝදය- වේදනාවෙන් සතුටු වීම) පවුල් ආරවුල් තුළ ය. නමුත් 2021 වන විට, ‘වේදනානෝදය’ පොදු අවකාශයට කඩා වැදී ඇත. එදා, ‘වේදනාව’ පවුල තුළ විසිරී ගිය ප්‍රපංචයක් නම් එය අද සමාජ සබඳතා වලට ඇතුළු වී ඇත. ඒ අනුව, ‘ආකෘතිවාදය’ ඔරලෝසු කාලය නිශේධනය කරයි.

                  අද දවසේ බවදුක/ බවකර්ම චිත්‍රපට වලට අදාළ පර්යාවලෝකනයෙන් ‘හංස විලක්’ නැරඹූ විට, එම ආරම්භය අලුත් වෙනසක ආරම්භය බව වැටහෙයි. පසුආවර්තික තර්කනය හරහා ‘හංස විලක්’ කියවන විට, ලංකාවේ සමාජ සබඳතා ක්ෂේත්‍රයේ ‘ලොකු වෙනස’ සිදු වූයේ විශාල දේශපාලන පක්ෂ තුළ නොව පවුල තුළ බව අපට වැටහෙයි. අද අපි එම සත්‍යයට මුහුණ දෙමින් සිටින්නෙමු.

                       ‘ජනයි-ප්‍රියයි’ ඉදිරිපත් කරන විහිළුවකට අපි දැන් අවධානය යොමු කරමු. ජනා විසින් ප්‍රියා ධාවනය කරන ත්‍රිරෝද රථය අසළට ගොස් මෙසේ අසයි. “මට මෙතන ඉඳලා හොරණට යන්න ඕනේ. මල්ලි මට ගාන කියන්න!”එවිට, ප්‍රියා මෙසේ කිය යි. “රුපියල් 275 යි මහත්තයා, එන්න යන්න!” එවිට, ජනා මෙසේ කිය යි. “බැහැ මල්ලි. මම මේ බැලුවේ මම ගමනාන්තයට පයින් ගියොත් කීයක් ඉතිරි කර ගන්න පුළුවන්ද කියලයි. මම යන්නං” 

මේ වනාහී, හේගල්ගේ තර්කනය හොඳට පාවිච්චි වූ තැනකි. ජනාට අවශ්‍ය වන්නේ, ත්‍රිරෝද රථයකින් ගමනාන්තයට යන්නට නොව එසේ නො ගියහොත් ඉතුරු වන මුදල කීයද කියා දැන ගැනීමට පමණි. එනම්, නිශේධනයේ බලය යි. මෙතැන දී, ප්‍රියා රැවටෙන්නේ ගමනාන්තය ගැන සිතීම නිසා ය. සමකාලීනත්වය තුළ මිනිසුන් ගමනක් ගැන අසන්නේ හෝ විකල්පයක් ගැන අසන්නේ, ගමනාන්තයකට යාමට හෝ විකල්පයක් අවශ්‍ය නිසාම නොව ඒවා නැතිව ජීවත් වන විදිහ ඉගෙන ගැනීම සඳහා ය.

                 ත්‍රීරෝද රථ රියදුරා වන ප්‍රියාට වරදින්නේ කොතනද? ඔහු හිතන්නේ, ජනා තමාගෙන් ගමනක් යන්නට අසන්නේ ඇත්තටම කියා ය. එහිදී, ප්‍රියා ජනාගේ වාදයට අනන්‍ය වෙයි. එනම්, ප්‍රියා විසින් ජනාගේ දෙබස හඳුනා ගන්නේ ධනාත්මකව ය. නමුත් ජනා එවැන්නක් අසන්නේ නිෂේධනය කරන්නට ය. ප්‍රියා හේගලියානු අපෝහක තර්කනය දන්නේ නම්, ඔහු කියන්නේ මෙසේ ය. “මහත්තයා ගාන අහන්න එපා. ඒවා පස්සේ කතා කරමු.” එවිට, ජනාගේ විවාදයේ තර්කය බිඳ වැටෙනු ඇත

                  ඒ අනුව, ‘ජනා-ප්‍රියා’ අතර දෙබස දයලෙක්තිකව විශ්ලේෂණය කළහොත්, ප්‍රියා විසින් ජනාගේ ප්‍රශ්නය නිශේධනාත්මක එකක් ලෙස සැලකුවා නම් ‘වාදය’ යනු ම පසුආවර්තිත දැනුමක් විසින් හිල් කරන අදහසක් බවට පරිවර්තනය වෙයි. මේ හේතුව නිසා, ජනා සහ ප්‍රියා අතර විවාදය, වාදය සහ ප්‍රතිවාදය යන ස්ථාන දෙකෙන් ඉදිරියට ගොස් සංවාදයක් වන්නේ නැත. මන්ද, දෙදෙනා අතර ඇත්තේ, පර්යාවලෝකනාත්මක වෙනසක් පමණක් නිසාත් එක් අයෙක් අනෙකාගේ පර්යාවලෝකනය නිශේධනය කරන නිසාත්ය. ඒ අනුව, මේ දෙදෙනා අතර දයලෙක්තික චින්තනයට අනුව ‘සංවාදයක්’ බිහි නොවේ. ඇත්තේ පසමිතුරුභාවයක් පමණි.

                    හංස විලක් හී ආකෘතික හරඹය ගුණසිරි විසින් සමාජ ගැටලුවක් ලෙස පෙන්වා දෙන විට, එය හරහා ‘ජනා-ප්‍රියා’ ආකෘතියට අප එළඹෙන්නේ නම් එහි දී ‘හංස විලක්’ සහ වාම චින්තනය අතර වාදය සහ ප්‍රතිවාදයට එහා ගිය සංවාදයක් බිහි වූයේ නැත. නමුත් ධර්මසිරිට විශාල වැරදීමක් විය. ඔහු තමන්ගේ වාදය ප්‍රියා නම් ත්‍රීරෝද රථ රියදුරා මෙන් ධනාත්මකව භාර ගත්තේය. ඉන්, ඔහුගේ මුළු නිර්මාණ ජීවිතයම විනාශ විය. අනෙක් පසින්, ගුණසිරි ද ජනා මෙන් තම විවාදය ඉදිරිපත් කළේ ගමනක් යන්නට නොව පයින් ගියොත් ඉතුරු කර ගත හැකි ගාන සොයා ගැනීමට ය. එනම්, අල්පේච්ඡතාවය ධනපති විරෝධය ලෙස ගෙන ඉන් විනෝද වීමට ය.

                    අප ඉහත ‘ජනා-ප්‍රියා’ සංවාද තලය ලංකාවේ විචාර බුද්ධියට අදාළ කරන්නේ නම්, අලුත් චින්තනයක් බිහි කිරීමේ ප්‍රථම ආවේගය එතැන ඇති බව මගේ හැඟීමයි. එවිට, 2021 වන විට ධර්මසිරි සහ ගුණසිරි යන ආත්මීයත්වයන් දෙකේම ආකෘතිය ‘හංස විලක්’ බව අවබෝධ වනු ඇත. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here