මෙම කොටසින් උත්සාහ කරන්නේ, හේගල් හෝ වෙනයම් දාර්ශනිකයෙකු අප සන්දර්භගත කරන රාමුව ඔබට පැහැදිලි කිරීමටයි. අප දේශපාලන සංවිධානයක් නිසාත්, දර්ශනය විෂය උගන්වන පාසල් ගුරුවරුන් නොවන නිසාත්, අප දේශපාලනය දාර්ශනිකකරණය කරන්නේ නැත. දේශපාලනය යනු, රාජ්‍ය ව්‍යුහය විසින් සමාජ ව්‍යුහය තුළ නිපදවන පසමිතුරුභාවයන් සමතික්‍රමණය කිරීමයි. එය දර්ශනයට කළ නොහැකි ය. රාජ්‍ය ව්‍යුහය සතු පන්ති ස්වභාවය වෙනස් කිරීමට පක්ෂය නම් ආකෘතිය අවශ්‍ය බවත්, මෙම පක්ෂය නම්  ව්‍යුහය පන්තියට අදහස් රැගෙන යා යුතු බවත් අපි පිළිගන්නෙමු.

            ඉහත දේශපාලනික සන්දර්භය නිසා අපි දාර්ශනිකයන්ව හදාරන්නේ, ඔවුන්ගේ දර්ශනවාද තුළ ඇති ”ගුප්ත සාරයන්” ගවේෂණය කිරීමට නොව ඔවුන්ගේ දාර්ශනික විද්‍යාවන් යොදා ගනිමින් දෘෂ්ටිවාදය විචාරය කිරීමට ය. ප්ලේටෝ, පස්කාල්, කියකිගාඩ්, විට්ගන්ස්ටයින්, කාන්ට්, හේගල්, පිපින්, ඇරිස්ටෝටල්, ඩෙස්කාත් යනාදී මෙකී නොකී දාර්ශනිකයන්ගේ උපත විපත ගැන කතා නොකර ඔවුන්ගේ අදහස් මඟින් ‘අධිපති දෘෂ්ටිවාදය’ විචාරය කිරීම අප අභ්‍යාස කරනු ලැබේ. ‘දර්ශනය පන්ති අරගලයේ න්‍යාය’ ලෙසින් වටහා ගත හැක්කේ එවිට ය. අපි දර්ශනය, දාර්ශනිකයන්ගේ ජීවන දර්ශන හදාරන්නේ මුත් අප ඒවා අතිශයෝක්තියට නො නඟන්නේ, එය අපගේ ශික්ෂණයට අදාළ නැති නිසා ය.

            ඉහත සන්දර්භයට අනුව ගත්විට, හේගල්ව පවා අප හදාරන්නේ ‘දෘෂ්ටිවාදයට’ අදාළ සාරයන් විච්ඡේදනය කිරීමට පමණි. එසේ නොමැතිව, අපට හේගල් දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ට වස්තුවක් නොවේ. අනවශ්‍ය දිගු කිරීම් වලට නොයා හැකිතාක් අපගේ යෝජනා සාරාංශගත කරමු.

            ලංකාවේ ශාස්ත්‍ර පීඨවල බොහෝ ආචාර්යවරුන් සතු ආචාර්ය උපාධි නිබන්ධන වලට හරයාත්මක පැවැත්මක් නැත. බොහෝ විට, ඒවා ළමයින් ලියන දිගු රචනාවලට සමීප ය. සාමාන්‍යයෙන්, ආචාර්ය උපාධි නිබන්ධන වර්ග දෙකක් ඇත. එකක්, පර්යේෂණ ගැටලුවක් පාදක කරගත් මේ දක්වා දැනුම් තටාකයේ නො තිබුණු දැනුමක් සම්පාදනය කිරීමයි. අනෙක, කිසියම් මාතෘකාවක් තෝරාගෙන අලුත් අර්ථකතනවේදයක් ඉදිරිපත් කිරීමයි. නිර්නාමිකව මට පහර දෙන බොහෝ දෙනෙකුගේ ආචාර්ය උපාධි නිබන්ධන අන්තර්ජාලයේ නැත. බොහෝවිට, ලංකාවේ ශාස්ත්‍ර පීඨවල පර්යේෂණාත්මක ආචාර්ය උපාධි නිර්මාණය නොවෙන තරම්ය. (එවැනි දේ ඇත්නම්, මම ඒවා දැන ගැනීමට කැමැත්තෙමි.)

            සමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය ගැන මුල් අදහසක් මට ඇති මුත් එහි පසුකාලීන වර්ධනයන් ගැන මට අවබෝධයක් නැත. නමුත් අන්තර්ජාලයේ ඇති ඔහුගේ නිබන්ධනයේ සාරාංශය මම කියවූයෙමි. ඊට අනුව, ඔහු හේගල්ගේ ‘නිශේධනය’ [Negation]නම් අදහස සමකාලීන ලෝකය තුළත් ආකර්ෂණීය වන්නේ මන්ද යන්න පර්යේෂණ ගැටලුවක් ලෙස ඉදිරිපත් කරයි.

            හොඳ ‘පර්යේෂණ ගැටලුවක්’ අධ්‍යයනය කරන්නාව හොඳ පර්යේෂණ ක්‍රියාවලියකට යොමු කරයි. ‘පර්යේෂණ ගැටලුව’ යනු, පර්යේෂණයේ අරමුණු නොවේ. මෙහිදී, ගැටලුව නැතහොත් problem යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න වටහා ගත යුතු ය. ගැටලුවක් සකස් කිරීමේ දී එය මතු විය යුත්තේ අප අවට ලෝකයේ ඥාණනය කළ නොහැකි ක්ෂේත්‍රයක් වටා ය. සරලව කිවහොත්, ආචාර්ය උපාධි නිබන්ධනයක දී ‘ගැටලුව’ නාභිගත විය යුත්තේ කුඩා ක්ෂේත්‍රයක් තුළ ය. හේගල් ගැන අප මෙතෙක් නොදන්නා දෙයක් පර්යේෂණය අවසානයේ පර්යේෂකයා අපට දෙන්නේ නම් එය හොඳ ආචාර්ය උපාධි නිබන්ධනයකි. උදාහරණයක් ලෙස, මිචෙල් ෆූකෝගේ ‘බලය’ සංකල්පය සොයා ගන්නා තුරු සමාජ විද්‍යාව එවැනි ප්‍රපංචයක් ඇති බව නොදත්තේ ය. ඩෙරීඩා ‘ලිවීම’ යනු, විද්‍යාවක් යනුවෙන් කරන ලද සිද්ධාන්තකරණය වනතුරු මානව විද්‍යාවන් එම ප්‍රපංචය ගැන නොදැන සිටියේය.

            ඉහත පසුබිම තුළ සමන්ගේ නිබන්ධනයේ මුඛ්‍ය සංකල්පය පිළිබඳ ඔහුගේ ගැටලුව සංදිග්ධ ය. ‘නිශේධනය’ යනු, හේගල්ගේ අව්‍යාජ අදහසක් නොවේ. එහි සමහර මුල් විහිද ඇත්තේ, ඇලෙක්සැන්ඩර් කොජෙව් දෙසට ය. සමන් ‘නිශේධනය’ පිළිබඳව තමාගේ ‘ගැටලුව’ නිවැරදිව වියුක්ත කර, එය ඔහු දක්වා ඇති දන්නා අය[Pippin or Robert Brandom] ඒ ගැන කී දේවල් වලින් විඝටනය කොට තමන්ගේ ‘අලුත් අදහස’ කුමක්දැ යි කියන්නේ නම් අපට පහසුය. හේගල්ගේ දාර්ශනික ‘පද්ධතිය/ විධික්‍රමය’ විශේෂ එකකි. එය ස්වයං-නිශේධනයකි. ඉන් අදහස් වන්නේ, හේගල්ගේ වියුක්ත අදහස් විශ්ලේෂණය කිරීම සහ ඒවා පිපින්, බ්‍රැන්ඩන් වැනි චින්තකයන් ලවා නැවත කියවා විභාග කිරීම කර්තවයන් දෙකක් බවයි.

            සමන්ගේ හේගල් කියවීම පිළිබඳ උපක්‍රමික දෝෂය අපි පළමුව හඳුනා ගනිමු. ඔහු තම දෙවන zoom සාකච්ඡාවේදී ”හේගල් සහ මාක්ස්” අතර ඇත්තේ ඛණ්ඩනයක් ද, අඛණ්ඩත්වයක් ද? යන ගැටලුව සාකච්ඡා කරයි. මෙහි දී මතු වූ විධික්‍රමික දෝෂය කුමක්ද? ගැටලුව අපට පහත ආකාරයට හේගලියානු සහ හේගලියානු නොවන ආකෘතිවලින්  ඇඳීමට හැකි ය.

            ”ජිජැක්- හයින්රිච්ට”[Zizek – Dieter Henrich] පෙර දාර්ශනිකයන් ගැටලුවක එක සංඝටකයක් ඉන් පිට පවතින දෙවන සංඝටකයක් සමඟ ගැටුමකට යාම අධ්‍යයනය කරන ලදී. නමුත් ජිජැක් සහ හයින්රිච් යන න්‍යායවේදීන් දෙදෙනාගේ නව කියවීම මගින් ඉහත ව්‍යාජ ගැටුම සමතික්‍රමණය කරන ලදී. සරලව කිවහොත්, පැරණි කියවීමට අනුව ඉහත උදාහරණය සලකා බැලුවහොත්, ගැටුම ඇත්තේ යථාර්ථයේ ය. නමුත් අලුත් කියවීමට අනුව මාක්ස් යනු, හේගල් නම් හැඟවුම්කාරකයේ ම පැල්මකි. නැතහොත්, හේගල් නම් හැඟවුම්කාරකයේ අතිරික්තයකි. මින් අදහස් වන්නේ, හේගල් සහ මාක්ස් අතර ගැටුම ආත්මීයව අන්තරස්ථ බව ය. (Conflict is internal or immanent to the first element) නමුත්, ජිජැක් තම කියවීම තවත් නවීකාරක කොට මෙසේ කියයි. එයට අනුව, පළමු සංඝටකය දයලෙක්තික ක්‍රියාවලිය නිසා බිහි වන පසුආවර්තිත මායාවක් (Retroactive Illusion) ය. මා සිතන්නේ, සමන්ට මා කියන දේ වැටහෙනු ඇති බවයි. සමන් මාක්ස්/ හේගල් සහසම්බන්ධයක් කරන විට, අව්‍යාජ හේගලියානු කියවීම යනු, හැඟවුම්කාරකයේ තර්කයට ඇස් ඇරීමයි. එවිට, මෙම මාක්ස්/ හේගල් ප්‍රතිවිරෝධය බාහිර යථාර්ථයේ ගැටලුවක් නොව අපගේ ආත්මීයත්වයේ ස්වභාවයක්/ ප්‍රතිවිරෝධයක් බව එනම්, සද්භාවවේදයට අයිති ගැටලුවක් ලෙස සූත්‍රගත වෙයි (Inner Thing).

            පසුගිය ලිපියෙන් සාකච්ඡා නොකළ ව්‍යුහවාදය පිළිබඳ අලුත් පාඩමක් අපි අද හදාරමු.

            අපි භාෂාව කියන්නේ ව්‍යුහයක් කියලා උගන්වනවා වූවත්, එහි ගැඹුරු මානය බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත. කොවිඩ් වෛරසය ස්වාභාවික එකක් කියලා බොහෝ දෙනෙක් හිතනවා. නමුත් ව්‍යුහවාදියෙක් දන්නවා කොවිඩ් වෛරසය සංස්කෘතික කේතයක් කියලා. එය සංකේතීය යථකි. ඒ කියන්නේ, කොවිඩ් යනු, භාෂාව මගින් ව්‍යුත්පන්න වන ව්‍යුහයකි.

            සම්භාව්‍ය දර්ශනයට එනකම් මිනිස්සු හිතන්නේ තමන්ගේ චින්තනය ක්‍රියාත්මක වන්නේ, අඩවි දෙකක් තුළ විතරයි කියලා. ඒ තමයි, පරිකල්පනය සහ යථ. මිනිස්සු මේ යුගය තුළ දී පරිකල්පනයෙන් සැබෑව වෙන් කරන්න දන්නවා. නමුත් ව්‍යුහවාදී චින්තනයේ ප්‍රථම නිර්ණායකයට අනුව, මිනිස් චින්තනයට අදාළව තෙවැනි අඩවියක් සොයා ගන්නවා. ඒ තමයි, සංකේත පිළිවෙල (Symbolic Order). මේ සංකේතනය යනු, පරිකල්පනයට හෝ පරිකල්පනීය යථකට ඌනනය කළ නොහැකි පිළිවෙළකි. යථ යනු, යමක් එකකට (1) ඌනනය කිරීමක් නම් සහ පරිකල්පනය යනු, යමක් දෙකකට (2) ඌනනය කිරීමක් නම් සංකේතනය යනු, යමක් තුනකට (3) ඌනනය කිරීමකි. නූතන ලෝකය තුළ සිතුවිලිවල ‘අඩංගුවට’ නැතහොත් අන්තර්ගතයට වඩා වැදගත් වන්නේ ආකෘතියයි.[Form]

            ‘සංකේතනය’ නැතහොත් චින්තනයේ තෙවැනි අඩවිය ව්‍යුහවාදීව වටහා ගැනීම සඳහා පහසු උදාහරණයක් ගෙන එය විදාරණය කරමු.

Gaze

            ඔබ හිච්කොක්ගේ ‘Psycho’ චිත්‍රපටය නරඹා ඇත්නම්, අපි ඉහත අදහස් කරන සංකේත ක්‍රියාකාරීත්වය යන්න පැහැදිය හැකි ය. හිච්කොක්ගේ බොහෝ චිත්‍රපට මෙන්ම Psycho චිත්‍රපටයේ සිදුවන මිනීමැරුම ද නෝමන් බේට්ස් සහ මාරියන් ක්‍රේන් අතර පමණක් සිදුවන දෙයක් නොවේ. හිච්කොක් මිනීමැරුම තුන්වන පාර්ශවයක්; එනම් නරඹන්නිය වෙතටත් දිගු කරයි. චිත්‍රපටය තුළ නෝමන් බේට්ස් විසින් මිනීමැරුම කරන්නේ, එය නරඹමින් සිටින තෙවන පුද්ගලයා වෙනුවෙන්ය. බේට්ස්ගේ ක්‍රියාව සංකේතිය වශයෙන් එය නරඹන තැනැත්තා මත ද ලියවෙයි. එය සංකේතීය හුවමාරුවකි. ඒ අනුව, මුඛ්‍ය ගැටලුව වන්නේ, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කළේ කවුද යන්න නොවේ. ගැටලුව වන්නේ, තුන්වැනි පාර්ශවය මිනීමැරුම හරහා වැරදිකාර දෘෂ්ටියකට (Guilty) ඇතුල් වන්නේ මන්ද යන්න ය.

            හිච්කොක්ගේ චිත්‍රපට ලෝකය තුළ දී අහිංසක මිනිසෙක් චිත්‍රපටයක් බලා සිටියා කියා ගැලවීමට නොහැකි ය. මිනීමැරුම නම් වැරැද්ද එය නැරඹීම නිසා නරඹන්නාට ද අදාළ වෙයි. සංකේතනය යනු, ක්‍රියාවකට සහභාගි වීම යනුවෙන් අදහස් වන්නේ ඉහත තත්වය යි. මෙම අතිරික්ත තුන්වැනි සාධකය නරඹන්නිය මතට ආරෝපණය වීම නිසා අපට ස්වයංක්‍රීයව ක්‍රියා කරන සංකේත ලෝකයක් ඇතැයි අපට විශ්වාස කරන්නට සිදු වෙයි. ‘කැමරාව’ විසින් ප්‍රතිරූපයට (Image) එකතු කරන මෙම අතිරික්ත පැවැත්ම ”බද්ධ දෘෂ්ටිය” (Gaze) යි. සරලව කිවහොත්, අප යමක් නරඹනවා පමණක් නොවේ. ඒ නරඹන දෙය ද යම් මොහොතකට පසු ආපසු හැරී අප දෙස බලන්නේ ය.[split object] දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂ කිම්කි ඩුක්ගේ චිත්‍රපටවල මෙම ආපසු බලන බිහිසුණු දෘෂ්ටිය අධිකතර ලෙස ඇත.

Eye

                සමන්ගේ පැත්තෙන් ගත් කළ, මාක්ස්/ හේගල් අතර ඇත්තේ ඛණ්ඩනයක් ද නැතහොත් අඛණ්ඩත්වය ද ගැන තේමාව ද අයත් වන්නේ, සංකේත ලෝකයට ය. මේ භේදය වස්තුකරණය (මාක්ස්/ හේගල්) කරන්නේ කවුද සහ එම වස්තුකරණයේ ඵලයක් ලෙස තමා දෙස නරඹන ‘බද්ධ-දෘෂ්ටිය’ කුමක්ද යන්න වඩා හේගලියානු තේමාවකි. පෙරළා මේ තමා දෙසට එල්ල වූ ‘බද්ධ දෘෂ්ටිය’ යනු, අනෙකෙක් නොව තමා තුළින්ම බාහිරකරණය වූ තම ආත්ම සාරය යි. එසේ නොමැතිව, මාක්ස් සහ හේගල් අතර ඥාණ-විභාගාත්මක ඛණ්ඩනය ගැන උනන්දු වන්නන් ලංකාවේ මේ මොහොතේ නැත.

                දෙවැනි තිසීසය අපට මෙසේ සකස් කළ හැකිය. සංකල්පයේ ස්වයං-වර්ධනය යන තේමාව යටතේ අප ධනවාදය වගුගත කළහොත් එය මෙසේ ය.

                අපි පළමුවෙන්ම, ‘ධනවාදය’ පිළිබඳව අලුතින් මතු වී ඇති ගැටලුව සාධනය කරමු. අද මුඛ්‍ය ගැටලුව වී ඇත්තේ, ධනවාදී සමාජ සබඳතා නිසා මිනිසා පරාරෝපණය හෝ විගලිත වීම නොව ධනවාදය සමඟ වඩ වඩා සහභාගි වීමට මිනිසුන් තුළ ඇති රුචිය යි. එබැවින්, ශ්‍රමය පරාරෝපණය වීමට අදාළ ශ්‍රම සූරාකෑමේ ෆැක්ටරි යථාර්ථය නූතන ධනවාදය සමතික්‍රමණය කර ඇත. සමකාලීන ගෝලීය ධනවාදය තුළ ”ලුබ්ධි අතිරික්තය” හරහා සූරාකෑම සිදුවන නිසාත් සංකල්පීය තලයේ ධනවාදයට කරන විචාර ගඟට කපන ඉනි මෙන් නිසරු ය. ගෝලීය ධනවාදයට අදාළ දෘෂ්ටිය අප හඳුන්වන්නේ, පශ්චාත්-දෘෂ්ටිවාදී ලෙස ය. දෘෂ්ටිවාදයේ ප්‍රථම ආකෘතිය වූයේ, ‘ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන්නේ කුමක් ද’? කියා. දෙවැනි  ආකෘතිය වූයේ, ‘ඔවුන් දන්නවා ඔවුන් කරන්නේ කුමක් ද’? කියා. නමුත්, ඔවුන් එයම කරමින් සිටිනවා. දෘෂ්ටිවාදයේ තෙවැනි ආකෘතිය මෙසේ ය. ‘ඔවුන් දන්නවා කුමක්ද කරන්නේ කියලා. ඔවුන් එය කරන්නේ විනෝදය උදෙසා ය. අර්ථය උදෙසා නොවේ’. [Cynical enlightenment subject] මෙම තෙවැනි අවධියේ දී දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ, ආත්මීය උවමනාවක් වෙනුවෙන් බාහිර යමෙකුට හෝ දෙයකට අනන්‍ය වීමක් ලෙසිනි. හේගල්ගේ දර්ශනය අපට අවශ්‍ය වන්නේ, මෙම සද්භාවාත්මක තලයේ මුලාව විචාරය කිරීමට ය. එසේ නැතිව, හේගලියානු දර්ශනය සතු අනගිභවන ගුණය හදාරන්න නොවේ. ‘දර්ශනය’ දේශපාලනකරණය කිරීම යනු, මෙම තත්ත්වය යි.

                 දැන් අපට හේගලියානු කාලානුරූපයක් යොදා ගෙන ධනවාදය අවධි තුනකට බෙදීමට හැකිය. 

 

  1. සාරාර්ථක ධනවාදය– මේ තුළ දී ධනවාදය සූරා කන, මර්දනය කරන දෘෂ්ටියක් හෝ දහමක් ලෙස ඔප්පු කළ හැකි ය. [Marxism]

උදාහරණ:- පැරණි වම.

 

  1. පරාර්ථක ධනවාදය – ධනවාදී අදහස් භෞතික වීම මේ යුගය මඟින් ප්‍රකාශිත වෙයි. මේ තලයේ දී ධනවාදය ඇත්තේ, එහි විචාරකයාගෙන් පිට ආයතනගත සමාජයේ සහ මතවාදී තලයේ ය. උදා:- ජවිපෙ, පෙරටුගාමීන්, විවිධ විපක්ෂ කණ්ඩායම්, නිව්ටන් ගුණසිංහ, ග්‍රම්ස්චි සහ අල්තූෂර්. 

 

  1. ඕපපාතික ධනවාදය මේ අවධියේ දී දෘෂ්ටිවාදී වෙස් මුහුණට පුළුවන් සෑම අදහසක්ම විචාරාත්මක අදහස් ලෙසින් ප්‍රකාශ කිරීමට. ධනවාදය එහි විචාරකයන්ට ඉඩ දෙන නිසා ඔවුන් සියලු දෙනාව විචාරක කර්තවයට කැඳවයි. ඒ නිසා, දෘෂ්ටිවාදය සහ සැබෑව අතර පරතරය මැකී ගොස් පශ්චාත්-දෘෂ්ටිවාදී යුගයක් පහළ වී ඇත.

 

            ධනවාදය පිළිබඳ තුන්වැනි තලයට එන විට, අපට වැටහෙන්නේ ධනවාදය විචාරය කරන වාමාංශිකයන් බහුතර දෙනා ද සිටින්නේ ක්‍රමය තුළ මිස ඉන් පිටත නොවේ යන්න ය. මන්දයත්, ඔවුන් අදහස් විද්‍යාමාන වීම සලකන්නේ, ඕපපාතිකව නිසා ය. නූතන ධනවාදය මිනිසුන්ව වඩ වඩා සහභාගී කරවා ගන්නේ, එමඟින් ක්‍රමය අධිපෝෂණය වන නිසා ය. 

Deepthi.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

               

ඔබේ අදහස කියන්න...

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here