ෆුකුයාමා සින්ඩ්‍රෝමය සහ අනාගත වමේ දේශපාලනය

The End of History and the Last Man හි කතුවර ෆ්‍රැන්සිස් ෆුකුයාමා ගේ චායාරූපයකි. පශ්චාත් යටත් ව්ජිත අසමත්භාවය අතින් අප බංගලා දේශයටත් පහළිනි. ගිළෙන නැව අත්හැරීමට සියල්ලෝම හිත හදාගෙන ඇත. ඒ අතරම පකිස්ථානය සහ ඉන්දියාව අතර යුධ ප්‍රකාශ වෙමින් ඇත. සමහර විට න්‍යෂ්ටික අවි වුව ද මේ තුවාල වූ ජාතීන් (wounded nations) විසින් අත්හදා බැලීමට පසුබට නොවනු ඇත. මේ ඉතිහාසයේ අවසානය පැමිණ ඇති වගට වන ලකුණක් ද? නැත්නම් මේ තුන්වන ලෝකය අතහැර දැමීමට කාලය පැමිණ ඇති වගට වන සංඥාවක් ද? නැත්නම් නව මහා තාප්පයක් (New Great Wall) අවශ්‍ය වී ඇති වගට වන ලකුණක් ද? ෆුකුයාමා තව දුරටත් නිවැරදි ද? 

 

දිනෙන් දින අප ඉදිරියේ දිගහැරෙන සමස්ත පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ අසමත් බව විසින් මේ වනවිට සියලු දේශපාලන ව්‍යාපාර තෝන්තු කර දමා ඇති බව පැහැදිළිය. යටත් පිරිසෙයින් මෙම තෝන්තු වීම යම් ආකාරයක ගෝලීය තත්වයක් වුවද අපගේ රට ගැන සලකා බලන විට අප අත්දකින අසමත් බව යම් සුවිශේෂ ස්වරුපයක් ගනී. එය දේශපාලනික අර්ථයෙන් ඓතිහාසික වේ. මන්ද අප විසින් නිදහසෙන් පසුව අත්හදා බලන ලද සියලු ව්‍යුහාත්මක පර්යේෂණයන් අවසන් වී ඇත්තේ එක්කෝ මහත් වූ විනාශය කිනි. නැත්නම් දරාගත නොහැකි අසමත් භාවයකිනි. 56 ජාතික ව්‍යාපාරය, 71කැරැල්ල, සිරිමා ආණ්ඩුවේ සමාජවාදී නිෂ්පාදන නැඹුරුව, ජේ. ආර්. විවෘත ආර්ථික සින්ඩ්‍රෝමය, 88-89 තරුණ නැගිටීම, ප්‍රේමදාස සින්ඩ්‍රෝමය, චන්ද්‍රිකා ආගමනය, උතුරේ යුද්ධය සහ ඒ සම්බන්ද අපගේ ප්‍රතිචාරය, මහින්ද රාජපක්ෂ සම්පරික්ෂණය, සහ අවසන් වශයෙන් යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද බලාපොරොත්තුව යනාදී සියලු පරීක්ෂණ යම් යම් ධනාත්මක දේ ශේෂ කල ද සමස්තයක් ලෙස අප දියුණු ගෝලීය ජාතියක් ලෙස ඔසවා තැබුවේ නැත. අද අප බලන්නේ ඒ දිශාව වෙත අප ගෙනයා හැකි මිනිසුන් දෙසය. ඒ අර්ථයෙන් අද අපට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර හෝ මෛත්‍රිපාල වැනි දේශපාලන චරිත වලට වඩා නාගරික සහ ග්‍රාමීය යන පාර්ශවයන් දෙකම නියෝජනය වන පරිදි මෑතක සල්ලි උපයාගත් ‘සාර්ථක මිනිසුන්’ (successful examples) දේශපාලනය වෙත ආගමනය වීම මෑතක සිට වඩාත් විද්‍යමාන ව පෙනේ.
 ලෝකය පුරාම අද කතා වන්නේ ඉක්මනින් දියුණු වූ මෙවන් පුද්ගලයින් ගැනය (චේ ගෙවාරා, ලෙනින් හෝ මාවෝ වෙනුවට බිල් ගේට්ස්, ජැක් මා වැනි අය). එසේ නැත්නම් අප අපගේ දේශපාලනයේ ඓතිහාසික අසාර්ථක බව වෙනුවට ආදේශ කරන්නේ හෝ ඒ සඳහා තෝරා ගැනීම සඳහා මාන බලන්නේ ‘ජීවිතය සාර්ථක කරගත්’ විද්වත් වෘත්තික පිරිසක් ය (professionals). පොදු අසාර්ථක බවක් සඳහා පුද්ගල බද්ධ විසඳුමක් වන මෙය වැරදි දේශපාලන ආදේශනයකි. මේ සියල්ල ඇතුලේ හමුදා වෘත්තිකයින් පවා ඉහලට ඔසවා තැබේ. මෙය පැරඩයිමයන් ගේ මාරු වීමකි. දේශපාලනය තුල සිදුවූ මෙම ඉහත (වම දකුණ භේදයකින් තොර) ‘අසමත් භාවය’ විසින් අපව අවසාන වශයෙන් තල්ලු කර ඇත්තේ මේ දේශපාලනික නොවන කොටස් වැළඳ ගැනීමේ විකල්පය තුලට ය. විශේෂයෙන් බර්ලින් තාප්පයේ බිඳ වැටීමෙන් පසු සිදුවූ අසාර්ථක භාවයේ සහ අපේක්ෂා භංග වීමේ මානසික විතැන් කරණය අප දකින්නේ සාර්ථක මිනිසුන් තුලය. උදාහරණ වශයෙන් වැදගත් දේශපාලන අරගල දෙකක පරාජයෙන් පසු විද්වත් කතිකාවේ අය ජ. වී. පෙ. වෙත එල්ල කරන චෝදනාව වන්නේ ඔබගේ අඳුරු අතීතය මේ නව ඩිජිටල් පරම්පරාව ප්‍රතික්ෂේප කරන බැවින් ‘ඔබ වෙනුවට අප’ (අමාරු දේශපාලනය මඟහැර තමන්ගේ පාඩුවේ සිටි කොටසක් වෙත බලය විතැන් කරන ලෙස) පත්කර ගන්න යන යෝජනාවයි (ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් යන අය පවා වෘත්තිකයින් වන බැවින් මේ ඉහත අදහසට වැඩි වටිනාකමක් ලැබෙමින් පවතී).
 විද්වත් අයගේ මෙම තර්කය ”පශ්චාත්- නුතන” එකකි. අප දන්නා දේශපාලන දර්ශනයට අනුව මෙය ගැඹුරු අදේශපාලනික තත්වයකි. අරගලයේ මහන්සිය වී-ප්‍රදේශගතකරණය කිරීමකි. මෙය හරියටම කාන්තාවන් සඳහා වෙනම කෝච්චි පෙට්ටි වෙන්කිරීමට සමාන තත්වයකි. ඇත්ත ප්‍රශ්නය ඇත්තේ වෙන තැනකය. බෙහෙත් බඳින්නේ පිටි කරේය. ඉඳින් සියල්ලෝම ‘සාර්ථක මිනිසුන්’ සොයමින් නව ජනාධිපති අපේක්ෂකයින් සොයන අල්ල පනල්ලේ සමස්ත ප්‍රශ්නය අපට විසඳා ගැනීමට වන්නේ දේශපාලනය හරහා ය යන්න සිහිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.  ජිජැක් මෙසේ කියයි. ‘අද අප යුරෝපය පුරා අත්දකින්නේ පාලක ප්‍රභූ දේශපාලනයේ දැවැන්ත නොහැකියාවයි. දිනෙන් දින ඔවුන් පෙන්වන්නේ රාජ්‍ය පාලනය යන්න ඔවුන් කොතරම් නොදන්නේද යන්නයි’ (Only a radicalized left can save Europe_ කියවන්න). අප කියන්නේ මෙම ප්‍රභූ පන්තියේ නොහැකියාව වසන් කිරීම සඳහා ව්‍යාපාරිකයින් හෝ වෘත්තිකයින් ආදේශ නොකළ යුතු බවයි.  

විශේෂයෙන් වමේ දේශපාලනය තුල සිදුවන මෙම ආදේශ වීමේ ගැටලුව කුමක්ද? මේ සාර්ථක පුද්ගලයින් යනු කවරහුද? මෙම වෘත්තිකයින් හෝ ව්‍යාපාරිකයින් යනු මේ දක්වා (ඔවුන් දේශපාලනයට එනවිට පවා) ප්‍රාග්ධනයේ තර්කනය ට යටත්ව සිටි අයයි. එයට එරෙහිව අරගල කල අය නොවේ. ප්‍රාග්ධනය විසින් දේශපාලනය ග්‍රහණයට හසුකර ගෙන ඇත්තේ කෙසේද (කියවන්න How Capital Captured Politics) යන ලිපිය තුලින් ස්ලාවෝ ජිජැක් පෙන්වා දෙන්නේ මේ දක්වා ලිබරල් දේශපාලනය තුල සංසරණය වන මුල්‍ය ප්‍රාග්ධනය මෙහෙයවන්නේ පාර ජාතික සමාගම් කිහිපයක් විසින් බවයි. මාක්ස් පවසන්නේ මෙම යුගයේ ‘නිදහස’ යනු නිදහස් වෙළදාමට සහ මිලදී ගැනීමට (free trading and buying) ඇති නිදහස පමණක් බවයි. ඉදින් මේ සාර්ථක ව්‍යාපාරිකයින් දන්නේ ඉහත නිදහස් ආකෘති දෙක පමණකි. ඉදින් ඔවුන් වත් නොදන්නා මිට වඩා නිදහසක් ඔවුන් අපට යෝජනා කරන්නේ කෙසේද? රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීමේ සටන තුළදී තම පැවැත්ම පුර්ණ ලෙස පසුපසට ගැනීමට හෝ තම විද්‍යමාන වීම පුර්ණ ලෙස වලක්වා ලීම (ඔවුන්ගේ විමුක්ති ඉතිහාසය මිනිසුන්ට නොතේරෙන බැවින්) රැඩිකල් දේශපාලන ක්‍රියාවක් වුවද පසු නූතන ‘මිනිසුන්ගේ’ (පාරිභෝගිකයින්) දැක්මට (gaze) අනුව ක්‍රියා කිරීම ම අනෙක් අතට අදේශපාලනයකි. මනුෂ්‍යත්වය යහපත් වුවත් සියයට අනූ නමයක් මිනිසුන් කුසීත මෝඩයින් යැයි හඳුන්වන ජිජැක් (ඩොනල්ඩ් ට්‍රුම්ප් ට චන්දය දෙන) මේ යුගයේ සිහියක් ඇති අයෙකුට හැසිරීමට සිදුව ඇත්තේ උමතුවෙන් මෙන් බව පෙන්වා දෙයි (කියවන්න Humanity is OK, but 99% of People are Boring Idiots නම් ලිපිය). 

මේ යුගයේ රැඩිකල් හෝ සදාචාරවත් යනුවෙන් අප හඳුන්වන කිසිවක් හට සත්‍ය වෙනසක් මිනිස් පැවැත්ම තුල කල නොහැකි බව පවසන ජිජැක් එනයින් අපට ගමන් කිරීමට ඇත්තේ ඇන්ටිගනියානු උමතුවේ මාර්ගයක බව පෙන්වා දෙයි. පුද්ගලික ප්‍රශ්න රැගෙන තමන් වෙත එන සිසුන් එලවා ගන්නා ඔහු කියන්නේ මා වැනි උමතු මිනිසකුට තවත් මිනිසෙක් වෙනුවෙන් දියහැකි ‘උමතු නොවන’ විසඳුම කුමක්ද යන්නය. ලිංගිකත්වය ගැන සඳහන් කරමින් ඔහු කියන්නේ ප්‍රායෝගික සමාචාර විදි (pragmatic etiquette) සහිත සමකාලීන පශ්චාත් නූතන ලිංගිකත්වය නීරස දෙයක් බවත්-Pornography– රැඩිකල් ලිංගිකත්වයේ ඇති ‘අවදානම් බව’ අප උරුමයක් ලෙස රැකගත යුතු බවත්ය (එය උරුමයක් වන්නේ පාලකයින් හෝ පුජකයින් බන්දේසියේ තබා දුන් දෙයක් නොව මිනිස් අරගලයක ප්‍රථිපලයක් වන නිසාවෙනි).

ගාඩියන් මාධ්‍ය වේදිනිය වෙත හැරෙමින් ඔහු කියන්නේ ‘ඔබ සමඟ නිදාගැනීම වෙනුවෙන් මම මගේ මව වහල්භාවයට විකිණීමට වුවද පසුබට නොවන’ බවයි (I am ready to sell my mother into slavery just to fuck you forever!). තමාට හමුවූ මිනිසුන් (ගැහැණුන්) ගැන වැඩිදුරටත් සඳහන් කරමින් ඔහු කියන්නේ ඔවුන්ගේ ඉල්ලීම සහ තමාගේ ආශාව අතර පැහැදිලි පරතරයක් ඇති බවයි. උදාරණයක් ලෙස එක්තරා ගැහැණියක් තමාට ගුද මාර්ග සංසර්ගයේ යෙදෙන ලෙස ආරාධනා කලත් ජිජැක් සඳහන් කරන්නේ ඔහු එසේ නොකළ බවයි. එයට හේතුව නම් ඇයට ඇත්ත වශයෙන් ම එය අවශ්‍ය වුවා යැයි තමාට ම සහේතුක කර ගැනීමට අපොහොසත් වීම නිසා බව ඔහු පෙන්වා දෙයි. ඇයට ඇත්තටම එය අවශ්‍ය වුවාට වඩා ඇය කරන්නේ වඩා ආකර්ශනීය රඟපෑමක් නම් එවිට? යන්න ඔහුගේ පෙරළා ප්‍රශ්නයයි. එනයින් සමකාලින වම අනෙකාගේ වසඟකාරී ගුද මාර්ග සංසර්ග ආශාවේ නොපැටලිය යුතුය. ආකර්ශනීය පොදුජන ආශාවේ ගොදුරක් නොවිය යුතුය. ‘අනෙකා තුල ඇත යනුවෙන් මා හඳුනාගන්නා නපුර යනු අනෙකක් නොව මා තුලම ඇති නපුරකි’ (ඇලෙන්කා සුපැන්ජිත්) යන වැකිය අප අපගේ අසල්වැසියා සමඟ ගණුදෙනු කිරීමේදී මතක තබා ගත යුතුය.  

මෙයින් අදහස් වන්නේ ඉහත වෘත්තික සහ ව්‍යාපාරික ප්‍රජාව වෙත සමාජ දේශපාලනික කාර්යයක් නොපැවරෙන බව නොවේ. සමාජ තීරුවක් ලෙස ඔවුන් ඉතාම වැදගත් ය. උසස් සමාජයක් පිළිබද සමාජවාදී සිහිනය වෙත යන ගමනේ ඔවුන් වැදගත් කොටස් කරුවෝ වෙති. එම අදහස සමාජගත කිරීම සඳහා ඔවුන් විසින් කල යුතු කාර්යය විශාලය. සාහිත්‍ය කරුවන් පවා අයිති වන්නේ මෙම කුලකයටම ය. විශේෂයෙන් සමාජවාදය පිළිබද අදහස මියයමින් පවතින මෙවන් මොහොතක (70 දශකයෙන් පසු සමාජවාදයේ ප්‍රමුඛ අරගලය වී ඇත්තේ එම අදහස මීය යා නොදී රැක ගැනීම වේ) මිනිස් සමාජය තුල බලාපොරොත්තු දැල්වීම වෙනුවෙන් සමාජවාදය පිළිබද විශ්වාස කරන්නන් භක්තිය ඔස්සේ උමතුවෙන් මෙන් ලිවිම කල යුතු බව සමකාලින මනෝ විශ්ලේෂණ අදහසයි. අතොරක් නැති එම උමතු ලිවිම සඳහා පාවිච්චි කරන වචනය නම් ග්‍රපෝමේනියා යන්නය (Graphomania – ජිජැක් විසින් දිගින් දිගට කරන ලිවිම සලකා බලන්න). කුමන අරුතින් ගත්ත ද කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන ධනවාදය සඳහා වූ විකල්පයක් නැත යන්න මේ යුගයේ එකම සිතීමේ ආකෘතිය වේ. අද වනවිට ධනවාදය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් අවශ්‍ය නොවේ. එය කොමියුනිස්ට් හිසක් සහිත චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ගෝලීය ලෙස කාර්යක්ෂමව ක්‍රියාත්මක කරයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිස් අරගල සටන් ඉතිහාසයක උරුමයක් වන අතර එම උරුමය අපට ප්‍රතික්ෂේප කල නොහැකිය. නමුත් අද චීන ධනවාදය යනු (ආසියාතික ධනවාදය) යනු එම මිනිස් උරුමය බයි පාස් කරන ලද අමුතුම පසු නුතන එකකී. මේ නිසා අපගේ අරගලය වඩාත් සංකීර්ණ එකක් වී ඇත. හේගල්, මාක්ස්, ලකාන්, ෆ්‍රොයිඩ්, ලෙනින් යන අය විසින් ඉස්මතු කරන ලද සියලුම නුතන මතවාදයන් (නුතන උරුමය) නැවත එකිනෙකට සම්බන්ද ලෙස ප්‍රතිජීවනය කරමින් ජිජැක් කරමින් සිටින්නේ අමාරු නුතන කාර්යයකි.  In Defence of Lost Causes (2008) හි ඔහු මෙසේ කියයි. ‘මිය ගියා යැයි අප සැලකූ සියල්ල නැවත උමතුවෙන් මෙන් පළිගැනීම පිණිස නැවත ප්‍රාදුර්භුතව ඇත. කළුපාට බැනියම් වල මුද්‍රණය කර ඇති, ඉහල පැලැන්තියේ අළෙවි සැල් වල ප්‍රදර්ශනයට තබා ඇති ලෙනින් ගේ, චේ ගේ බැනියම් විසින් ඔප්පු කරන්නේ එම මියගියා යැයි අප හතර අතේ ඔප්පු කිරීමට වලිකන අවතාරයෙන් ගැලවී ගත නොහැකි බව නොවේද?’ (ඉදින් ‘ගින්නෙන් උපන් සීතල’ විසින් අප වෙත ගෙන එනු ලබන ක්ෂිතිය ගැන කියනුම කවරේද?). අප ආයෝජනය කල ලිබිඩෝ ශක්තියේ මෙලන්කොලියාවෙන් ගැලවීම පහසු නොවේ. එම මියගිය මිනිසුන් මියගියේ (අමරණිය වුවේ) අපට් උසස් ලෝකයක් ලබාදෙන විශ්වීය චේතනාවෙන් වන බැවින් (පිතෘ මුලික බව) උප්පැන්න සහතිකයෙන් නම මකා දැම්මා ට පියාගේ නම මැකීම උවිදු විජේවීර ට පහසු කාර්යයක් නොවේ (අශෝක හඳගම විසින් ද මෙය මෑතකදී ඉස්මතු කළේය). මේ යුගය අයිති වන්නේ උවිඳු වැනි තනි පුද්ගලයින් ගේ හුදකලා ලෝකවල (ක්ෂිතිමය) විමෝචනය මාධ්‍ය ඔස්සේ අධිනිශ්චය වන වකවානුවකට ය. මේ යුගයේ මානසික රෝගීන් වැඩිවෙමින් පැවතීම යනු හුදු පුද්ගල ගැටළුවක් නොව සමස්තය පිළිබද ගැටලුවකි. භාවනා කිරීම පවා මෝස්තරයක් වෙමින් පැවතීම අපට මෙම පසු ධනවාදී යුගයේ දැකගත හැකි අතර ‘මේ යුගයේ සමාජය නොපවතී’ යන (ලිංගිකත්වය නොපවතී යන්න) මාග්‍රට් තැචර් ගේ උදාන වාක්‍ය යේ අර්ථය යනු තනි තනි පුද්ගලයින් ගේ ලෝකයක් නිර්මාණය වෙමින් පවතී යන්න සහ අසල්වැසියා අහිමිවීම ඔස්සේ පුද්ගල රෝගී භාවයන් වඩ වඩාත් ප්‍රභල වෙමින් ඇත යන්න ය. ඇලෙන්කා සුපැන්ජිත් ට අනුව අසල්වැසියා නපුරු වුව ද ඔහු නොමැති වීමෙන් අපට ඇත්තටම නැති වෙමින් යන්නේ අපගේම දර්පණයයි. එනම් අනෙකා සමඟ පවත්වන දේශපාලන අවකාශයයි. වෙනත් වචනයකින් කිවහොත් රැඩිකල් අනේකත්වය යි (radical otherness). පශ්චාත් තැචරියානු මේ හුදකලා මොහොතේ අනෙකා යනු ම ක්ෂිතියකි. යථකි.  

මේ යුගයේ විමුක්තිය සොයා යන්නෙක් වහ වහා පැටලෙනු ඇත්තේ ෆ්‍රැන්සිස් ෆුකුයමා විසින් සමාජගත කරන ලද පුරෝකථනය තුලයි. එනම් ඉතිහාසයේ අවසානය නම් ප්‍රවාදය තුලයි. අප සියලු දෙනා අවිඥාණික තලයක පැටලී ඇත්තේ මෙම ‘අවසානය’ නම් හැඟවුම තුලය. ධනවාදය යනු අප අත්දකින අවසන් සමාජයයි යන්න අපගේ අවිඥානික ක්ෂිතිජය වී ඇත. මෙම අවිඥාණික උගුලින් ගැලවීම අපගේ විමුක්තියේ ප්‍රථම කොන්දේසියයි. ලඟදි මුදල් උපයාගත් සාර්ථක මිනිසුන් අපට අවශ්‍ය වී ඇත්තේ ද මෙම (ඉතිහාසය අවසන් වූ) ධනවාදී (සමාජය නොපවතින) අවකාශයක වීම අප වැදගත් ලෙස සලකුණු කල යුතුය. මෙහිදී ඇලෙන්කා විසින් ගෙන එන රූපකය වැදගත් ය. ඇය මේ සඳහා උපුටන්නේ ප්‍රකට ඉතාලි නවකතා කරුවෙකු වන ඉතැලෝ ස්වේවෝ ගේ ‘සේනෝ ගේ පාපොච්චාරනය’ (Zeno’s Conscience by Italo Svevo, 1923) නම් මනෝ විශ්ලේෂී නවකතාවයි. මෙහි කතා වස්තුව අපුරුය. ඉන් කියවෙන්නේ සේනෝ නම් රෝගියා විසින් තම සිගරට් භාවිතය වලක්වා ගැනීමෙන් වැලකීම සඳහා යොදාගන්නා මානසික උපක්‍රමයක් පිලිබදවයි. දැඩි දුම්කොළ ලෝලියෙක් වන සේනෝ විසින් පානය කරන සෑම සිගරට්ටුවක් ම ඔහුට අනුව ඔහු පානය කරන අවසන් සිගරට්ටුව ලෙස සිතයි. නමුත් ඔහු ඒ අවසන් සිගරට්ටුවෙන් පසු තවත් එවැනිම අවසන් සිගරට්ටුවක් දල්වා ගනී. අනෙක් සිගරට්ටුවද එසේම ය. මේ ආකාරයට නොනවත් වා දුම් පානය කර ඔහු බොන සෑම සිගරට්ටුවක්ම් අවසන් සිගරට්ටුවකි. ඇලෙන්කා අසන පැනය නම් ඔහුට දුම් බිම සඳහා ‘අවසන්’ සිගරට්ටුවක් අවශ්‍ය වන්නේ ඇයි යන්න ය. වෙනත් විදියකින් කිවහොත් සිගරට් බිම නරක බව දැනගෙන ම අප එය බොන බැවින් අප කරන්නේ එහි මරණීය බව පිළිගැනීම වන අතර සිගරට්ටුවේ ඇත්ත විනෝදය ඇත්තේ එහි මරණය තුලම බව අපි දනිමු. එයට එනිසා අවසානයක් අප නොදකින අතර අපගේ අවසානය (මරණය) වනතුරු අප එය උරමු. නමුත් සේනෝ ගේ ප්‍රශ්නය නම් ඔහුට එය ඕනෑම අවස්ථාවක නතර කල හැකිය යන මානසික තත්වය ඔහු විනෝදකරණය කර තිබීමයි. එනයින් ඔහුගේ විනෝදය සිගරට් බිම (P) නොව සිගරට් බිම නතර කිරීමයි (Not P). එනම් එම නතර කිරීම නම් තත්වය ඔහු නැවත නැවත විනෝදයක් ලෙස වින්දනය කිරීමයි. සිගරට්ටුව යනු එයට උපකාරකයක් පමණක් වන අතර ඔහු සිගරට්ටුවෙන් විනෝද නොවේ. වැදගත්ම දෙය එයයි. සුපැන්ජිත් තවත් උදාහරණයක් මෙහිදී ගෙනහැර දක්වයි. එක්තරා ස්වාමි පුරුෂයෙක් තම බිරිදට දරුවන් දෙදෙනෙක් ලැබුනාට පසු දරුවන් සිමා කිරීම සඳහා අධිෂ්ටාන කරගෙන සිටි. ඔහු බිරිදට මෙසේ කියයි. අපි දැන් දරුවන් හැදුවා ඇති. එවිට බිරිඳ මෙසේ කියයි. එහෙනම් ඔයා කොන්ඩම් ගෙනාවද? එවිට ඔහු කියන්නේ ‘අපෝ ඕක මොකක්ද. අර පල්ලෙහා කඩේට ගිහිල්ල හැරිස් ගෙන් ඉල්ලන එක විතරනේ තියෙන්නේ’. එහෙනම් ඇයි එහෙම ඉල්ලුවේ නැත්තේ. ‘නෑ ඉතින් ඕන වෙලාවක ඉල්ලන්න පුළුවන් නේ’ ඔහුගේ පිළිතුර විය. ඔවුන්ට තුන්වන දරුවාද ලැබුණි. බිරිද නැවතත් ඔහුගෙන් කොන්ඩම් ගැන විමසු විට ඇයට ලැබුණේ පරණ පිලිතුරම විය. මෙහිදී සිදුවන්නේ දරුවන් සැදීම සීමා කිරීම පිළිබද ප්‍රශ්නයක් නොව කොන්ඩම් ගෙන එම විනෝදයක් වීම නම් සයිකෝටික තත්වයයි (මෙය විජේවීර සාධකය සමග සම්බන්ද කර නොගන්න). සිගරට්ටුව නම් යථාව (මරණය) සහ සිගරට් බිමෙන් වැලකීම යන සංකේතනය (වෛද්‍ය විද්‍යාත්මක හේතු නිසා) අතර පවතින පරිකල්පනය (මේ බොන්නේ අවසන් සිගරට්ටුව යන්න) නම් කොටස මෙහිදී විනෝද සාධකයක් ලෙස ඉස්මතු වේ. ළමයින් සැදීම සහ කොන්ඩමය අතර යථාවේ සහ සංකේතනයේ ආතතිය අතර අතරමැද පරිකල්පනීය සාධකය වන්නේ ‘කොන්ඩම් එක හැරිස් ගේ කඩෙන් ගේන එක මහා ලොකු කජ්ජක් ද’ යන කිසිදා සිදු නොවන ක්‍රියාවක් පිළිබද (කල්මරණ) විනෝදයයි. මෙහිදී ආශාව යථාවෙන් පරිකල්පනය වෙත විතැන් වී ඇත. පරිකල්පනය විනෝද සාධකයක් වී ඇත. 

සුපැන්ජිත් මෙය ‘ෆුකුයාමා සින්ඩ්‍රෝමය’ ලෙස නම් කරයි. ඇය කියන්නේ ඉතිහාසය අවසන් වී ඇති බවට වන (එහෙත් අවසන් වී නැති) වහසි බස අප මේ වනවිට විනෝද වීම සඳහා පාවිච්චි කරන පරිකල්පනීය සාධකයක් ලෙස ඉස්මතුව ඇති බවයි (පරිකල්පනය ඔස්සේ විනෝද වීම). ඉහත රෝග ලක්ෂණයේ අනෙක් ලක්ෂණය නම් ඉහත විනෝද ක්‍රියාව සඳහා වන පරිකල්පනය නැවත නැවත සිදු වීමයි (සිදු කිරීමයි). අවසන් සිගරට්ටුව ලෙස තමා බොන සිගරට්ටුව නම් නොකර එය විනෝද විය නොහැක. එය අවසන් සිගරට්ටුව නොවන බව දැන දැනම අප එය අවසන් සිගරට්ටුව ලෙස නම් කරමු. ‘මේ දැන් කොන්ඩමය හැරිස් ගේ කඩෙන් රැගෙන එනවා’ යන පරිකල්පනය නොමැතිව ඔහුට ලිංගිකව එක්විය නොහැක. ‘ළමයින් සැදීම මට ඕනෑම මොහොතක නතර කල හැකියි’ යන ශක්‍යතා මානසික ව්‍යුහය (possibility) නොමැතිව (අවසානය ගැන පරිකල්පනය නොකර) ඔහුට දරුවන් සැදීම වැලැක්වීම නම් ස්වචන්දතාවයේ යෙදිය නොහැක (only possibility opens up the freedom of choice). ස්වචන්දතාවය (නිදහස් වරණය) පැමිණෙන්නේ හැකියාව ද සමගම ය. නමුත් යම් මොහොතක වෛද්‍යවරයා සේනෝ ට මෙසේ පැවසුවොත්..’සිගරට් බීමෙන් ඔබගේ සෞඛ්‍ය පිරිහෙන්නේ නැහැ. දිගටම බොන්න’. එවිට පමණක් ඔහුගේ ආශාව මුලික ව්‍යුහය බිඳ වැටේ. දැන් ඔහුට ‘අවසන් සිගරට්ටුවක්’ පිළිබද අවශ්‍යතාවයක් මතු නොවන බැවින් ඔහුගේ විනෝදයේ මුලික ව්‍යුහය පදනම් වී ඇති කොන්දේසිය බල රහිත වේ. දැන් ඔහුට සිගරට්ටුව විනෝද විය නොහැක. අපට මෙම ධනවාදී ක්‍රමය විනෝද වීමට නම් ඇපොකලිප්ටික අවසානයක් අවශ්‍ය ය. ලාර්ස් වොන් ට්‍රියර් ගේ මෙලන්කොලියා (Melancholia, 2011) නම් අප මිට කලින් පවා උපුටා ඇති චිත්‍රපටයේ සිදුවන්නේ ද මෙම ‘අවසානය විනෝද වීම’ (enjoying the End) නම් ක්‍රියාවයි. ජස්ටින් ට අවශ්‍ය නම් මීට පෙර මිය යා හැකිව පැවති නමුත් ඇයට අවශ්‍ය වන්නේ අප ජිවත් වන ලෝකයේ අවසානය (යථා ව) සත්‍ය ලෙස අත්දැක මිය යාමට ය. එවන් අවසානයක් තම ජීවිතය පුරාම ඇය සිහිනෙන් (delirium) මෙන් පරිකල්පනය කරමින් පැවතියාය. එම නපුරු සිහිනය විසින් පමණක් ඇය ජීවත් කරවන ලදී. ඇය එම අවසානය පිළිබද නපුරු සිහිනය තම පරිකල්පනය තුල විනෝද වූවා පමණක් නොව සත්‍ය අවසානයද සතුටින් වැළඳ ගත්තා ය. පිරිමින් බයෙන් ගැහෙමින් මරණය වැළඳ ගනිද්දී ඇය නිර්භීතව මරණය සම්මුඛ කළා ය. මෙම මරණය වැළඳ ගැනීම ‘අසන්ධිමිත්තා’ (2019) චිත්‍රපටය තුලද අපට දැකගත හැකි අතර එල්ලුම් ගහට ඇය ගෙනියන දසුනේ පිරිමි රාශියක් මැද ඇය වියරුවෙන් සිනාසෙන අතර ඇගේ ආශාව වන්නේද එසේ මරණයට (අවසානයට) පත් වීමයි. ඇය එම අවසානය ‘විනෝදකරණය’ කරයි (එල්ලුම් ගහට නියම වූ පිරිමි සිරකරුවන් අතරින් කැලැත්තෑවේ සොයිසා පවා බියෙන් ගීතිකා ගැයූ බව සඳහන් වේ). යමක් අවසන් වීම හෝ අවසන් කිරීම (අවසන් සිගරට්ටුව) සමග අනන්‍ය වීම ග්‍රස්තික තත්වයක් දක්වා දිවෙයි (obsession). එහිදී සිගරට් බිම මෙන්ම එය අවසන් කිරීම පිළිබද  මානසිකත්වය ද දෙකම ජනනය කරන්නේ විනෝදයකි (නැවත නැවත විනෝද වීමකි). සිගරට් බීමෙන් කිසිදු හානියක් නොවන බවට වෛද්‍ය වරයා දෙන ‘පුර්ණ නිදහස’ (absolute freedom) විසින් පමණක් මෙම විනෝද වීමේ පුනර්වාචය සහ ඇත්තටම දුම්බීම අවසන් කිරීම නම් ක්‍රියාව අතර ආශා ආර්ථිකය බිඳ දමනු ලබයි (disrupts the economy between repetition and ending). ‘අනේ දරුවන් කොච්චර ලැබුනත් මොකද’ යන ‘පුර්ණ නිදහස’ විසින් පමණක් ඉහත ප්‍රොතෙස්තන්ත ස්වාමි පුරුෂයාගේ කොන්ඩම් සහ දරුවන් සැදීම සම්බන්ද නියුරෝසික ආශා ආර්ථිකය අවසන් කරනු ඇත. 

එසේ නම් ඉහත න්‍යායික ප්‍රවේශයට අනුව ෆුකුයාමා නියුරෝසිකය අප අවසන් කරන්නේ කෙසේද? ‘අවසාන සිගරට්ටුව’ (the last cigarette) නමින් යම් සිගරට්ටුවක් යමෙක් නම් කරන්නේ නම් එය ලොව රසවත්ම සිගරට්ටුව බවට පත් වන බව ෆ්‍රෑන්ක් රූඩා ගේ Abolishing Freedom කෘතියට පෙරවදනක් ලියමින් ඇලෙන්කා සුපැන්ජිත් පෙන්වා දෙයි.  එවිට පමණක් එය පුර්ණ වශයෙන් රසවිඳීමේ වරය අපට හිමිවේ. ඉදින් ධනවාදය නම් මධුවිත පුර්ණ ලෙස තොල ගෑමට නම් අපට එහි අවසානය පරිකල්පනය කිරීමට සිදුවේ. ඉඳින් දුම් බිම නැවත්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය අවසන් සිගරට්ටුව බවට වන අවිඥානික විශ්වාසය ද අප සුවපත් කරගත යුතුය. උදාහරණ වශයෙන් තමා වී ඇටයක් නොවන බවට වෛද්‍යවරයා රෝගියාට තේරුම් කර දුන්නාට වැඩක් නැත. එය ඔහුගේ අවිඥාණයේ ඇති වී අටයටත් තේරුම් කර දිය යුතුය (මන්ද ප්‍රශ්නය ඇත්තේ වී ඇටයේ බැවිණි). ඉතිහාසය අවසන් වීමේ ෆුකුයාමා විනෝද ආර්ථිකය අහෝසි කල හැක්කේ ද ඒ අයුරිණි. වෛද්‍යවරයා සේනෝ ට කියනු ලැබුවේ කුඩා ම කුඩා දෙයකි ‘ඔබ ඇති තරම් සිගරට් බොන්න. එයින් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් ඔබට ඇති නොවේ’. ධනවාදය සමඟ දෘෂ්ටිමය පරතරයක් තබා ගන්නා නව ඩිජිටල් පරම්පරාවට ඉහත විශ්ලේෂක වාක්‍යය මදක් වෙනස් කර අප මෙසේ කියමු. ‘ඔව් ධනවාදය ට ඇද වැටෙන්න. ඔබට බාධා කිරීමට කිසිවෙක් නැත. අවම වශයෙන් අවසන් වූ වගට සහතික වූ ඉතිහාසය හෝ නොපැමිණෙනු ඇත. ඔබ නිදහස්’.  

මහේශ් හපුගොඩ.
Supancic, A. (2016) The End. https://provocationsbooks.com/2016/10/31/the-end/
Ending of Woodstock and Wind of Change

Woodstock was a music festival held on a dairy farm in the Catskill Mountains, northwest of New York City, between August 15–18, 1969, which attracted an audience of more than 400,000.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. FANTASTIC Article. And THANK YOU SO MUCH for the excellent references to other articles by Slavoj. Please keep up the Good Work!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here