මෑතකදී සෑහෙන පමණ සාර්ථකත්වයක් ලැබූ හා කතාබහට ලක්වූ Everest (2015) නම් ප්‍ර‍යාන චිත්‍ර‍පටය (Adventure movie) කරුණු කිහිපයක් මත විචාරයට භාජනය කල යුතු යැයි සිතේ.  චිත්‍රපටයේ සෞන්දර්යම හා තාක්ෂණික ලක්ෂණ කෙසේ වෙතත් අද්‍යතන මධ්‍යම පංතික පවුල සහ දේශපාලනය, ලිංගිකත්වය හා බාහිර ලෝකය මෙන්ම මනස සහ බහි-සංසේචනය (ex-timacy) අතර සම්බන්ධතාවය පැහැදිලි කරගත හැකි උදාහරණයක් ලෙස මෙම චිත්‍ර‍පටය වැදගත් වේ.  ඉහත සදහන් කළ ප්‍ර‍තිවිරෝධතා සහිත ප්‍ර‍පංචයන් අද දවසේ දේශපාලනය තේරුම් ගැනීම සදහා කෙතරම් ඉවහල් වේද යන කරුණ මත මෙම චිත්‍ර‍පටය පිළිබද විචාරය අභ්‍යාස කල යුතුය. Kormakur Baltasar විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘එවරස්ට්’ චිත්‍ර‍පටය සැබෑ සිදුවීමක් වන 1996 වසරේ සිදු වූ එවරස්ට් ව්‍යවසනය පාදක කර ගෙන නිර්මානය කරන ලද ප්‍ර‍වර්තන ප්‍රභේදයට (survival genre) අයත් වන චිත්‍ර‍පටයකි.  එය ප්‍ර‍යාන වර්ගීකරණයට ම  (adventure) අයත් උප-ප්‍රභේදයකි.

‘එවරස්ට්’ චිත්‍ර‍පටයට පාදක වන්නේ වාණිඡ අරමුණු සහිත සංචාර මෙහෙයවන්නන් (Tour Operators) පිරිසක් එවරස්ට් කදු තරණය කිරීමට ආශා කරන ගෝලීය කදු නගින්නන් සමුහයක් සදහා පහසුකම් සැලසීමේ (facilitate) ක්‍රියාදාමයක් පසුබිම් කර ගෙනය.  වාර්ෂිකව මිලියන ගණනක් වූ තරණය කරන්නන් එවරස්ට් නැගීමේ අටියෙන් නේපාලය බලා යන අතර එය පුහුණු කදුනගින්නන් විසින් පහසුකම් සැලසිය යුතු දුෂ්කර කටයුත්තකි.  සමාන්‍යයෙන් කියවෙන ආකාරයට එවරස්ට් මුදුනටම තරණය කරන්නන් ගෙන් සියයට පහක්  (death rate 5%) නැත්නම් දස දෙනෙක් ගෙන් ආසන්න වශයෙන් එක් කෙනෙක් වත් මිය යනු ලබයි.  මෙම කදූ තරණය සදහා උදව් කරන්නන් හා ඒ නිසාම මියයන්නන් අතර විශාල ප්‍රමානයක්  නේපාල ෂර්පා ජාතිකයන් වේ. බොහෝ අය පළමු හෝ දෙවන කදවුරු (camps) වලින් නතරවන අතර ඉන් ඔබ්බට ගමන් කරන්නන් සදහා විශේෂ පුහුණුව, මග පෙන්වීම සහ ශාරීරික යෝග්‍යතාවය ඉහල තත්වයක පවත්වා ගෙන යෑම අවශ්‍ය වේ.  මෙහිදී කිසියම් වියදම් කළහැකි  ගෝලීය සංචාරකයන්  පිරිසකට ‘දැකීමට සලස්වා ඇති දෙය’ වන්නේ එවරෙස්ට් නම් සුන්දර, සෞන්දයාත්මක එමෙන්ම මාරක ෆැන්ටසියයි.  නමුත් එම ෆැන්ටසියට යටින් ඇති ෆැන්ටසිය දරා සිටින යථාර්තය (what sustains the fantasy) නම් දෙය චිත්‍රපටිය අපට පෙන්වයි ද? එනම් නේපාල ජාතිකයන් හා ෂර්පා ගෝත්‍රිකයින් ගේ දෛනික යථාර්තය එවරස්ට් වනවිට බටහිර හා අනෙකුත් ධනවත් සංචාරකයන්ගේ ෆැන්ටසිය එවරෙස්ට් වේ. සංචාරකයින් එවරස්ට් නරඹා ආපසු තම දියුණු නාගරිකත්වයට යයි එහෙත් නේපාල වැසියන් සැමදා තම දුෂ්කර යථාර්තය තුල ජීවිතය සදහා අරගළ කරයි. නේපාල වැසියන්ගේ (මෙන්ම බොහෝ ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු ජාතීන්ගේ)  ෆැන්ටසිය වන්නේ බටහිර සංචාරකයන්ගේ එදිනෙදා යථාර්තය වන දියුණු නාගරිකත්වයයි. තමාව භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බටහිර කේන්ද්‍රය වෙතට පරිධියේ සමාජ වෙතින් මිනිස් බෝම්බ යවමින් තිබේ. කේන්ද්‍රය විසින් අපට මිසයිල් එවනු ලබමින් ඇත.

චිත්‍ර‍පටයෙහි කතානායකයා වන කදු නැගීමේ මගපෙන්වන්නෙක්ගේ චරිතය නිරූපණය කරන රොබ් (Rob) තම ගැබිනි බිරිද ද ගෙන් ද වෙන් ව මෙම එවරස්ට් තරණය සදහා එක්වන්නේ තම වෘත්තීමය ජිවිකාව ලෙසය.  නේපාල සංචාරක කර්මාන්තය හා තදින් බැදී ඇති එවරස්ට් තරණය නේපාලයේ ප්‍ර‍ධානම ආදායම් මාර්ගයක් ද වේ.  එහි දී එක් සංචාරකයෙක් ගෙන් කදු මුදුණට නැගීම වෙනුවෙන් චිත්‍ර‍පටයේ දැක්වෙන ආකාරයට ඩොලර් හැට දහසක පමණ මුදලක් අය කරයි.  අතිශයින් භයානක මෙම තරණය මිනිසාගේ මරණ ආශය death drive හා බැදී පවතින අතර එම මරණ ආශය මෙම ධනේශ්වර ක්‍ර‍මයේ ලාභය හා ගැටගැසී ඇත. චිත්‍ර‍පටයේ කතානායක වන Rob ගේ මරණය සිදුවන්නේ එක් තරණය කරන්නෙක් අන් අයට වඩා ප්‍ර‍මාද වී නැගීම සහ ඔහුට කදු මුදුණටම යාමට අවශ්‍ය විමේ ‘මානුෂික’ ආශාව සම්පුර්ණ කර දීමට ඉදිරිපත් වීම හේතු කර ගෙනය. මීට අමතරව හදිසියේ ඇති වූ කාලගුණක විපර්යාසයක් ද මේ සඳහා පාදක වී ඇත. කදු මුදුණ මත සිටිය හැක්කේ ඉතාම සීමිත වේලාවක් වන අතර, ඔක්සිජන් අවසන් වීමට ප්‍ර‍ථමයෙන්  සහ උන්තාංශ ව්‍යාධි (altitude sickness) තත්වයන් මෙන්ම කාලගුණය තත්වයක් වෙනස්වීමට (විශේෂයෙන් ඉරු එළිය වැටීමට ප්‍ර‍ථම) කලින් වහාම ආරක්ෂිත සීමාවකට බැසිය යුතුය.  එම විද්‍යාත්මක කරුණු පසෙක තබා රොබ් හට අනෙකාගේ ආශාව මුර්තිමත් කිරීමට ඉදිරිපත් කිරීමට සිදු වේ.  මුල්‍ය සම්බන්ධයකින් බැදී ඇති මොහුට තම ගණුදෙනු කරුවන්ගේ ආශාව පිනවීමේ උපකරනමය පහසුකම් සැලසීමට බැදී ඇති නමුත් රොබ් තම මුල්‍ය සම්බන්දතාවය ඉක්මවා යමින් අනෙකාගේ ආශාව පරිපුර්ණත්වයට පත් කිරීමේ ආශාව වෙනුවෙන් පෙනී සිටී.  එනම් අදාල සම්බන්ධතාවයේ ‘හුවමාරු වටිනාකම‘ ඉක්මවා යමින් (මෙම ක්‍රියාවේ භෞතික දුෂ්කර බව නිසාම තමාගේ කායික/ මානසික ශක්තිය අනුව දෙනලද වේලාවට අදාල ස්ථානයට ලංවීමට නොහැකි වන අයට වගකීමට ඔහු බැදී නැත.)  වාණිජ  සහ ජීව විද්‍යාත්මක සාධක පසෙකලා මිත්‍යා-අවතාරමය (pseudo-spectral) රූපකාරයක් බවට පත්වීමේ අනිවාර්ය පිරිවැය ලෙස ඔහුට මරණය හිමි වේ.  එනම් ඔහුගේ  මරණය ස්ථානගත වන්නේ ධනේශ්වර ලාභය ලුහුබැද යාම නම් අමානුෂිකත්වය තුල ම නොව ධනවාදයේ ව්‍යාජ-මානුෂික තැන්මාරුව (Shift) තුලය.

එවරස්ට් නගින්නන් මෙම අසීරු මෙන්ම නොකල හැකි (Impossible) වේදනාත්මක අරමුණ සාක්ෂාත් කර ගැනීමට පෙළඹෙන්නේ ඇයි? මෙම තරණය තුල තමන්ගේ ශරීරයේ “ඔරොත්තු දීමේ (endurance) හැකියාව“ මැනබැලිය හැකි සුවිශේෂම අවස්තාවකි.  අනෙක් අතට අනෙකුත් ලෝකයා කිසිදින අත්විඳ නැති නිමේෂයක් අත්විදිය හැකි  බැවිණි. චිත්‍රපටයේ ම ඇතැම් තැනක කියවෙන පරිදි මෙම තරණය කිරීමේ ක්‍රියාව සඳහා බාහිරින් අර්ථයන් රැගෙන එන්නේ එම සුවිශේෂ ක්‍රියාව තුලම අර්ථයක් සොයාගත නොමැති බැවිණි.  විශේෂයෙන් නුතන මිනිස් ශිෂ්ටාචාරයේ ‘ගවේෂකයින්‘ විසින් ඇතැම් සොයා ගැනීම් කිරීම, නොදුටු තැන් හඹායෑම සහ දේශාටනය කලවුන් සහ ඒ සදහා සහබාගි වුවන්  ලෝකයේ සැඟවුණ රහස් එළිදරව් කරන්නා වූ ‘නිර්මාපකයින්‘ (creators) ලෙස සලකන ලද අතර එය විද්‍යාත්මක ක්‍රමය හා අධ්‍යාපණය හා එක් වූ විට එම ක්‍රියාවන්  ඓතිහාසික පරිපූර්ණත්වයක් කරා යන ගමනක් ලෙස අර්ථකතනය කරන ලදී.  (බලන්න Daniel J. Boosting විසින් රචිත The Discoverers (1983) කෘතිය).  ඔහුට අනුව එය මිනිසා විසින් තමාව කවරෙක් දැයි  සොයායාම තුල අද පරම්පරාව විසින් ගොඩ නඟන ‘දැනුම‘ ඊලඟ පරම්පරාවට ලබා දීමකි.  නමුත් මෙම ‘කල නොහැකි දෙය’ කිරීමට පොළඹවන ඉහත වාණිජ අවකාශය අරමුණු කරන්නේ නුතන අර්ථයෙන් ‘ගොඩනැංවීම‘ හෝ ‘නිර්මාණය‘ නොව ‘අධි-ජයග්‍රහණය’ (hyper-trophy) නම් තත්වය  වේ.  අද දවසේ කලාව සහ දේශපාලනය අරමුණු කරන්නේ මෙම ස්වබාවය අත්පත් කර ගැනීම සඳහායි.  ඒ සඳහා සම්මත සීමා උල්ලංඝනය කිරීම අනිවාර්යයකි (transgression).  ඒ උල්ලංඝනය යනු නෛතික සීමා පමණක් නොව සදාචාරාත්මක අචාරධාර්මික සීමාවන් ද ඇතුලත් වේ.  මෙම අධි-ජයග්‍රහණය විසින් පරිණාමීය දියුණුවක් (evolution) රැගෙන නොඑන අතර ඒ වෙනුවට ‘ප්‍රතිවිකසනයක්’ (involution) පමණක් නොහොත් එකතැන පල්වීමක් පමණක් රැගෙන ඒ.  (බලන්න ජින් බ්‍රෝදිලා ගේ  Impossible Exchange (2001) කෘතිය).

මෙම අධිජයග්‍රහණය සඳහා අද දවසේ රූපවාහිනී ගායනා හා නැටුම් තරඟ උදාහරණයකි.  ගායනා වලදී තම කටහඩ මින් පෙර නොවූ විරූ සීමාවන්ට ගෙන යෑමට තරඟකරුවන් උත්සහ කරයි.  එමෙන්ම නැටුම් වල දී ද තම ශරීරයට කළ නොහැකි ‘සර්කස්‘ මාදිලියේ නර්තන අංග කිරීමට තරඟකරුවන් පොළඹවයි.  ඒවා තුලින් සෞන්දර්යක් ඉස්මතු නොවන අතර කම්පනය මිශ්‍ර වූ තිගැස්මක් පමණක් ඇති කරයි.  අතිශයින්ම විපරීත තත්වයක් වන මෙය අනෙකාගේ ‘කම්පණ විනෝදය’ උත්පාදනය පිණිස කරන උපකරණමය උත්සාහයකි.  නව වහල්භාවයකි.  අතීතයේ වහලුන් අනෙකාගේ දැක්ම (gaze) වෙනුවෙන් මියගියා සේම අද දවසේ සුපර් ස්ටාර් වහලුන් හා වහලියන් රූපවාහිනී ස්වාමීන්ගේ ලාභය හා ‘ප්‍රේක්ෂක’ පාරිබෝගිකයන්ගේ  විනෝදය වෙනුවෙන් කළ නොහැකි දෙය කිරීමට ඉදිරිපත් වී ඇත.  ‘මානවීයත්වය විසින් නිදහස් තරඟත් ශක්තීන්,  මෙම අභිනව අනන්‍යතා ගාල්කරණය ඔස්සේ නව වන්ධ්‍යාකරණයේ ප්‍රතිජානනය තුලට යා වෙමින් ඇතයනුවෙන් බ්‍රෝදිලා (2001) සඳහන් කරන්නේ එබැවිණි.  මෙකී තත්වය රෝග ලක්‍ෂනයක් ලෙස සියලුම සාමාජීය කලාපයන් වෙත ආරෝපණය වෙමින් ඇත.  මෙම නව ‘අධි ජයග්‍රහණයේ රෝගය’ තුල වැඩිම මනාප ගොඩගසා ගන්නා දේශපාලඥයින්,  වැඩියෙන්ම කරණම් ගසනා නැට්ටුවන් හා අසාමාන්‍ය ස්වර පරාසවල ගී ගයන ගායක ගායිකාවන් හා ඒවා විනිශ්චය කරන රැවුල වැවූ සහ රැවුල කැපූ විනිශ්චය කරුවන්, වඩාත්ම ත්‍රාසජනක ආකාරයට මිනී මරණා අපරාධකරුවන්, වැඩියෙන්ම පර්යේෂණ පත්‍රිකා හා උපුටා දැක්වීම් ඇති පසු-නුතන විශ්වවිද්‍යාල ඇඳුරන්, වැඩිම වේගයෙන් කතා කල හැකි සුපර්ස්ටාර් එෆ් -එම් කථිකයින්, වැඩියෙන්ම සල්ලිකාර බිස්නස් කරුවන්, වැඩිම වේගයෙන් නගර අතර ධාවනය කරන බස් රියදුරන්, වැඩිම පිරිමින් පිරිසක් සමඟ රමණය කළ ගණිකාවන්, මෙතෙක් කිසිම කෙනෙක් නොකළ ලිංගික ඉරියව් අත්හදා බලන නිල් චිත්‍රපටකරුවන් යනා දි වශයෙන් මෙම නඩයේ නම් ලැයිස්තුව ඉතා දිගය.  හැමෝම උත්සාහ කරන්නේ ‘තියන දෙයට වඩා  වෙනස් දෙයක් කරන්නය’.

නමුත්  මේ කිසිම දෙයකින් පවත්නා තත්වය එක අබමල් රේණුවකින් වෙනස් නොවේ.  ‘දේවල් වඩා වඩා වෙනස් වීම තුල ඒවා තව තවත් ඒ ආකාරයෙන්ම පවතිනු ඇත‘ යනුවෙන් ස්ලේවොයි ජිජැක් උපුටා දක්වන්නේ එබැවිනි.  විදාරණය වෙමින් පවතින මෙම අභ්‍යන්තර ආත්මීය ප්‍රචණ්ඩත්වය නැතහොත් මරණ ආශය (ස්වයං-උච්ජේදය) ජිජැක් නිර්වචනය කරන්නේ ‘ජිවිතයේ ගුප්ත අතිරික්තය’ යනුවෙනි.  ප්‍රමෝදය මෙම ස්වයං-විනාශකාරී දුෂ්ඨ චක්‍රයේ සිරගත වී ඇත යනුවෙන් පවසන ජිජැක් භෞතික ශරීරය හා මරණය යන ප්‍රපංචයන්ට ඔබ්බෙන් ‘නොමියෙන අමරණීයත්වයක්‘ කරා මෙම ප්‍රේරණය දිශානත වේ යනුවෙන් ද පවසයි.

ඉදින් මෙම අතිරික්ත ප්‍රමෝදය  ‘සදාචාරාත්මක වරදකාරී හැඟීමකින් තොරව‘ පාරිභෝගිකයා කර ගෙන යන්නේ කෙසේ ද යන්න අද්‍යතන වෙළඳ ආර්ථිකය ඔසවා තබන්නන් විසින් මුහුණ දී ඇති බැරෑරුම් ප්‍රශ්නයකි.  එක් සංකීර්ණ ජංගම දුරකතනයක් ඇති ඔබට තවත් එවැනිම දුරකතනයක් ‘වරදකාරී හැඟීමකින්‘ තොරව මිල දී ගැනීමට ඔබව පොළඹවන්නේ කෙසේ ද?  බ්‍රෝදිලා දක්වන්නේ මේ සඳහා ධනවාදයට ඇත්තේ සරළ පිළිතුරක් බවයි.  ‘පාරිභෝගිකයන්ට කුඩා දරුවන් මෙන් හැසීරීමට ඉඩ දෙන්න.  ඔවුන් විසින් කරනු ලබන එම නිදහස් හැසිරීම  ලැජ්ජාවට කරුණක් ලෙස හැඟීමට ඉඩ නොතබන්න’ (කියවන්න ජින් බ්‍රෝදිලාගේ System of objects 2005 කෘතිය).  විද්‍යාත්මක ක්‍රමය ඔස්සේම මිනිසාගේ තකතිරුභාවය තවතවත් වර්ධනය කරන්න.  එම තකතීරුභාවය හරහා ඔහුගේ ‘අවශ්‍යතා‘ ඔහුට අවධාරණය කරන්න.  සබුද්ධික පරමාර්ථ (rational goals) සාක්‍ෂාත් කර ගනු වස් ඔබගේ අසවල් අවශ්‍යතාවය තවමත් සම්පුර්ණ වී නැහැ නේද?  ඔබගේ ප්‍රේරණයන් කොතරම් භයානක වුව ද ඒ ඔස්සේ පුපුරායන තරම් සංතෝෂයන් ඔබට අත්පත් කර ගත හැකි නොවේ ද?  ධනවාදය තවදුරටත් දේශපාලන ආර්ථිකය හා බැඳී නැති බැවින්, එය දේශපාලන ආර්ථිකය ව්‍යාපදේශ  මොඩලයක් (Simulation model) ලෙස භාවිතා කරයි.  එබැවින් දේශපාලන ආර්ථිකයේ ස්වයං-නිර්ණය අහෝසි වී යන නමුත් එහි පවතින නාමමාත්‍රික රාජ්‍යයේ අනුභාවය ව්‍යාජ රූපයක් ගෙන එලෙසින්ම පවතී.  ඉතාම අනතුරුදායක අහං-ක්‍රිඩාවක් (ego-play) වන එවරස්ට් තරණය සම්බන්ධයෙන් නේපාල ජාතික රාජ්‍යයන්ට කිසිදු සබුද්ධික තීරණයක් ගත නොහැක.  සංචාරක කර්මාන්තය නම් සබුද්ධික ආර්ථික ක්‍රියාව සඳහා එම රාජ්‍යය මැදිහත් වන අතර (අවතාරයමය වශයෙන්) එම සබුද්ධිකත්වය තුලම ඇති තකතිරු මරණ ආශය සම්බන්ධ ‘විනෝදය‘ කෙරෙහි නපුසංක ආකල්පයක් දරයි.  තම රටේම පුරවැසියන් (ෂර්පා කදු නඟින්නන්) දහස් ගණනක් මෙන්ම විදේශීය තරණකයින් දහස් ගණනක් අනතුරට ලක්වන (2015 භූමිකාවෙන් පමණක් 19 දෙනෙක් මියයන ලදී)  විනාශයේ අධි-තර්කණය (hyper-logic of destruction) හමුවේ ජාතික රාජ්‍යය මුණිවත රකී.  සංචාරක කර්මාන්තයෙන් එන මුදලට සමාන මුදලක් එවරස්ට් පිරිසිදු කිරිම සඳහා නේපාලනයට දැරීමට සිදුවේ. පරිසර අර්බුදය, දුප්පත්කම හා අසමානතාවය එසේම පවතී.  වෙනත් විදියකින් කිවහොත් මරණය යනු පවත්නා ක්‍රමය තුලම පවතින පොරොත්තු තත්වයක් නිසා සමුච්ජේදනීය මරණය සඳහා මුහුණදිය හැක්කේ මරණයෙන් පමණක් බව එවරස්ට් චිත්‍රපටය අපට කියා දෙයි.  එවරස්ට් යන්න පාර-භෞතික රූපකයක් ලෙස ගෙන කිවහොත් මියයන සංකේතීය පිළිවෙල තුල අපගේ ලුබ්ධිමය ශක්තිය අපේක්ෂිත මරණය දෙසටම යොමු කර ඇත.  එවරස්ට් මුදුණ ස්පර්ශ කිරීමෙන් අපට ලැබෙනු  ඇතැයි පරිකල්පණය කරන ‘පරිපුර්ණත්වයේ නිස්සාරත්වය’ එම ක්‍රියාව කිරීමට පටන් ගැනීමටත් පුර්වයෙන්ම (before the beginning) ක්‍රියාවේ මිත්‍යාමතික බව සහ මරණයේ කේතය (code) තුල ලියා තබා ඇත.  එනම් ක්‍රිඩාව පටන් ගැනීමටත් පෙරම අවසන් ප්‍රතිඵලය ඔබ දනී.  ඔබ එසේ දැන සිටිය ද ඔබට අවශ්‍ය සෞන්දර්යමය මරණය මෙම ක්‍රමය විසින් ම ඔබට ප්‍රධානය කරනු ලැබ ඇත.  ධනවාදය ආගමක් ලෙස ක්‍රියා කරනවා යැයි පවසන ජිජැක්ගේ අදහසේ අර්ථය එයයි.

බටහිර නගරිකත්වයෙන් විප්‍රදේශගතකරණය වූ එවරස්ට් තරණය තුල මිය යෑමට නියමිත හෝ අකර්මණ්‍ය වීමට නියමිත භෞතික ශරීරය තුලින් ඉස්මතු වන ‘අතිරික්තය’ වන චෛතසිකය හා ආශාව මුල් කර ගත් ‘සාමාන්‍ය බව‘ සඳහා වන එවරස්ට් අහං-ක්‍රීඩාවට ජාතික රාජ්‍ය සීමා බිඳ වැටුණු නේපාල රජය සාධනීය ආකල්පයක් දරන පරිදි ම, එම තරණය කරන්නන් සඳහා ආශිර්වාද කරන නේපාල බෞද්ධාගම ද දෘෂ්ටිමය කාර්යයක නිරත වේ.  අද වන විට දැඩි වාණිජ අරමුණු සහිත මෙම පසු-ධනේශ්වර ගෝලීය ව්‍යාපෘතිය තුලට ජාතික රාජ්‍ය සීමා වාෂ්ප වී ගිය නේපාල රජය අවශෝෂණය වී ඇති ආකාරයටම ඉතාම සුක්‍ෂම හා ක්‍රියාකාරී ආකාරයකට බුද්ධාගාම ද (මේ සඳහා ඕනෑම ආගමක් අදාල කර ගත හැකි වුව ද බෞද්ධාගමේ අභ්‍යන්තර මුලධර්මයක් වන අව්‍යාජ සරල බව, ක්‍රියාවේ ඇති අර්ථය හා මිනිසාගේ ප්‍රාණයේ වැදගත්කම සම්බන්ධ ඉගැන්වීම් එවරස්ට් තරණය සම්බන්ධ වාස්තවික අත්දැකීම් සමඟ ගැටුම් සහගත බවක් උසුලයි)  මේ දැවැන්ත මරණීය ක්‍රියාවේ ම කොටස්කරුවෙක් ලෙස ක්‍රියාත්මක කාර්යභාරයක් කරයි.  සිදුවන පරිසර හානිය කොතරම් වුව ද, සමස්ත සංචාරක කර්මාන්තයෙන් රටේ දරිද්‍රතාවය අවම කිරීමට කිසිවක් නොවුනා වුව ද, කොතරම් මිය ගියා වුව ද ඒ සම්බන්ධයෙන් නිෂ්ක්‍රීය ආකල්පයක සිටින බුද්ධාගම පවත්නා තත්වයට ආශිර්වාද කරයි.  ධනේශ්වර ක්‍රමය හා ඉතාම හොදින් බද්ධවන ආගම වන්නේ ‘බාහිර යතාර්ථය සමඟ දුරස්තභාවය‘ පවත්වා ගනිමින් පවත්නා යතාර්ථය තුල ම නොනැසී පැවතීමට සාමාර්ථයක් ඇති බුද්ධාගම වන්නේ එබැවිනි.

‘සෑම විනාශකාරී ක්ෂිතිමය අත්දැකීමක්ම අප විසින් ප්‍රති-ශාශාරකරණය කරයි‘ (ජිජැක් 2011: 304) යන අදහස සාහිත්‍යකරුවන් හා චිත්‍රපටකරුවන් සම්බන්ධයෙන් කොතරම් සපුමාණික වේද යන්න පශ්චාත්-යුධ සාහිත්‍ය දෙස බැලීමෙන් අවබෝධ කර ගත හැකිය.  යුද්ධයේ ක්‍ෂිතිමය අත්දැකීම මෙන්ම වාර්ගික සංහාරයේ ක්‍ෂිතිය නැවත නැවත අප කරා විශිෂ්ට කලා කෘති වල වේශයෙන් පැමිණේ.  2009 වසරේ සිදු වූ එවරස්ට් විනාශය 2015 වසරේ අපට නැවත සෞන්දර්යාත්මකව හමු වී ඇත.  ‘අපගේ ආශාවට හරස්වන සෑම බාධාවක් විසින්ම බාධාවක් සඳහා වන ආශාවක් ජනනය කරයි‘ (ජිජැක් 2011: 304) යන්න දයලෙක්තික ආකාරයකින් විග්‍රහකර බලන විට එවරස්ට් නැගීමට ඇති බාධාවන් යනු අප විසින්ම ආශා කරන්නා වූ කලාපයක්  බවට පත් වේ.  එම බාධාවක් නැති තැනක එවරස්ට් යනුවෙන් යමක් ශේෂ වන්නේ ද නොවේ.  මෙම අපගමනය තුලම අතිරික්ත විනෝදය පිළිබඳව වූ අවම නිර්වචනයක් අපට හමුවන බව ජිජැක් පවසයි.  එනම් ‘වේදනාවේ සතුටයි‘  (Pleasure in pain). මේ සාමාන්‍ය සතුටට ඔබ්බෙන් පිහිටා ඇති අතිරික්ත ප්‍රමෝදය වනාහී සාමාන්‍ය සතුටේ ප්‍රතිපක්ෂයයි; එනම් වේදනාවයි.  ඉතාම වේදනාත්මක ශාරීරික හා මානසික ව්‍යායාමයක් අවශ්‍යවන එවරස්ට් තරණය මෙම තරණය කරන්නන්ගේ සාමාන්‍ය මධ්‍යම පංතික පවුලේ නීරස භාවයට ‘පිටතින් පැමිණෙන‘ වේදනාවේ සතුටයි.  එම වේදනාව ඔස්සේ ඔවුන් තම පවුල් සම්බන්ධයේ මුලික ෆැන්ටසි කලාපය වෙත නැවත ගමන් කරයි.  එවරස්ට් තරණයේ මරණීය කලාපයේ (Death Zone) එනම් අඩි 26,000 පමණ උසක සිට කදු මුදුන දක්වා වූ කලාපයේ සිරවන Beck හට තම බිරිඳ සමඟ පෙම්වතුන් ලෙස සිටි නිමේෂයන් නැවත භ්‍රාන්තියක් (Delirium) ලෙස පැමිණේ.  නැවත ජීවත් විය යුතු යැයි ඔහුට හැඟි යයි.  ජීවත්වීමට අවශ්‍ය ෆැන්ටසි ආධාරය නැවත ඔහු වෙත පැමිණෙන්නේ දැඩී සීතලෙන් තම ශරීරය සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වන භෞතික පරිසරයක් ඔස්සේ ගමන් කිරීම තුලින් (Cerebral unconscious) ඔවුන් ‘ප්‍රාථමික යටපත්කරණයක්‘ (primordial repression) අත්දකිනු ලබයි.  පුර්වයෙන් පැවති චෛතසික-යතාර්ථය බාහිර අනතුරක් ඔස්සේ ‘ලිංගිකකරණය‘ කිරීමට ඔහුට හැකිවේ.  වැලකී තිබූ ලිංගිකත්වය (අභ්‍යන්තර සිද්ධිය) එවරස්ට් අනතුර නම් ‘බාහිර ආපතිකභාවය‘ ඔස්සේ නැවත අත්පත් කර ගැනීමට හැකි වේ.  ‘ලිංගිකත්වය යනු මේ අනුව ආපතිකභාවයේ සිට අවශ්‍යතාවය කරා ගමන් කරන්නා වූ කොරිඩෝවට කියන තවත් නමකි (ජිජැක් 2014:302).  තරමක් දුරවබෝධ ලාංකික උදාහරණයක් නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනපේක්ෂිත පරාජයෙන් පසු ලාංකික නලු නිලියන්ගේ බිඳවැටී තිබූ පැරණි විවාහ සබඳතා නැවත ‘අලුත් මුහුණුවකින්‘ රෝග ලක්‍ෂණාත්මක ලෙස ‘එකතුවීමක්‘ ලෙස මෑත කාලයේ පෙනී යාම තනිකරම මාධ්‍ය නිර්මිතයකට වඩා ඔබ්බෙන් පිහිටි අවස්ථාවක් ලෙස ගත හැකිය.  විශාල සමාජ විපරීතභාවයකට ඉඩ සැලසූ පුර්ව නුතන පාලකයෙක් වන රාජපක්‍ෂ මහතා ‘ඇද වැටීමත්‘ සමඟ සමාජය ‘සාමාන්‍යකරණය‘ වීමේ ව්‍යාජ කොරිඩෝමය අවස්ථාවක් වන මෙම තත්වය පරමාදර්ශ අහිමිවිමේ හිස්බව විසින් ගොඩනඟන ලද අවශ්‍යතාවයකි.  මාධ්‍ය මෙම රෝග ලක්ෂණය ප්‍රතිබිබු කළා පමණි . එහි දී අනතුර (මහින්ද ඇද වැටීම) විසින් නැවත ඔවුන් සාමාන්‍ය අවශ්‍යතාවය දෙස දිශානත කර ඇත.  එහෙත් ක්‍රමයක් ලෙසින් අප තවමත් අශ්ලීල විනෝදයක් තුල සිටින බැවින් සංකේතීය අධිකාරය පිළිබඳ වූ අවශ්‍යතාවය තවදුරටත් එසේ ම පවතී.  එනයින් තම ප්‍රථම ‘නීරස පවුල‘ සහ පසුව ගොඩ නඟන ලද ‘උද්වේගකර පවුල‘ සම්බන්ධ ‘වැරදි-හඳුනා ගැනීම‘ තව දුරටත් එසේ ම ඔවුන්ගේ පැවැත්මේ කොන්දේසියක් ලෙස සප්‍රමාණික වනු ඇත.  වරද සඳහා සමාව දෙන්නා වූ, සංකේතීය පිළිවෙල උල්ලංඝනය කිරීම ‘ඉවසන්නා වූ‘ කරුණාබරිත ස්වාමියා (benevolent Master) තවදුරටත් ඔවුන් විසින් ප්‍රාර්ථනා කරනු ඇත.

තත්වය මෙසේ නම් එවරස්ට් යනු මහා අනෙකා ද? එය අපට සංකේතීය පිළිවෙල හා සාමාන්‍යකරණය රැගෙන එන ඒජන්තයෙක් ද? අපගේ විනෝදය සීමා කරන්නා වූ The Jaws (1975)  චිත්‍ර‍පටයේ මෙන් මිනී කන මෝරෙක් ද? නැත්නම් The Day After Tomorrow (2004) හි මෙන් ස්වභාව ධර්මය ද? මීට ප්‍ර‍ථම චිත්‍ර‍පටවල මහා අනෙකා අප වෙත බාහිර රූපකායක් ලෙසින් කඩා පැන (මිය ගිය පිතෘ මුලික ඊර්ෂ්‍යාව) සංකේතීය පිළිවෙල සම්බන්ධ අපගේ ‘පරමාදර්ශය‘ අපට සිහිපත් කර දෙයි.  නමුත් එවරස්ට් අප වෙත එනවා වෙනුවට එය අප ආකර්ෂණය කර ගනී.  චිත්‍ර‍පටය බැලු වාහාම අප ද එය තරණය කල යුතු යැයි හුදකලා පුද්ගලික හැගීමක් ජනනය කරයි.  පෙර සදහන් කල ආපතිකභාවය හා අවශ්‍යතාවය අතර මැදිහත්කරුවා ලෙස ‘එවරස්ට් තරණය‘ ක්‍රියාකරන්නේ ද යන්න අප සාකච්ජා කළ යුතුය.  එසේ මැදිහත් වීම මගින් එය අප ‘අවදිකරන්නේ ද‘? අප දන්නා පරිදි අපට යමක් ආශා කල හැකි රාමුව සාදා දෙන්නේ ෆැන්ටසිය මගින් ය.  (ජිජැක් 2008:132) ෆැන්ටසිය ඔස්සේ අප යමකට ආශා කරන්නේ කෙසේ ද යන්න ඉගෙන ගනු ලබයි.  ආශාව මියගොස් ඇති ධනවාදී අර්චනකාමීත්වයේ විපරීතභාවය තුල සිර වී සිටින අපට අධික සිතලෙන් ඝනීභවනය වී ඇති මරණීය-වේදනාත්මක එවරස්ට් අවකාශය යම් ‘බලාපොරොත්තුවක්‘ දල්වාලයි ද? අපගේ භෞතික ශරීරය මරා දමමින් අප තුල සිටින ආත්මීය අන්තර්ගතයට ආමන්ත්‍ර‍ණය කරමින් ‘සාමාන්‍ය ලෝකයක් තුල‘ ආශා කරන්නේ මෙසේ යැයි එය අපට කියා දීමට උත්සාහ කරනවා වත් ද?  මරණ ආශය රැගත් පාර-මනෝදෘෂ්ටික (Trans-phantasmatic) එවරස්ට් අපගේ ජිවත් කරවීමේ ආශය ද එකවිටම දරා ගෙන සිටී ද? සත්‍ය වශයෙන්ම ‘කළ නොහැකි දෙය‘ (Impossible) එය කිරීමට යත්න දරනවා විය නොහැකි ද?  සියවසකට පමණ පෙර ඉංග්‍රීසි මිනින්දෝරුවන්ගේ හා අතලොස්සක් වූ ගවේෂකයින්ගේ අවධානයට පමණක් පාත්‍ර‍ වූ මේ අධික සීතලෙන්, අධික මීදුමෙන් හා අති දුෂ්කර ගමන් මගකින් සැදුම් ලත් මරණීය එවරස්ට් අද දවසේ මිලියන ගණනක් වූ මිනිසුන්ගේ ෆැන්ටසිය වන්නේ කෙසේ ද?  දරිද්‍ර‍තාවයේ ගිලී ඇති නේපාලයේ කොනක ඇති හුදකලා කදුවැටියක් එක්වරම ලෝකයට මෙතරම් අර්ථවත් වන්නේ කෙසේ ද?  ආසියාව යනු සමස්තයක් ලෙස ධනවාදයේ අභ්‍යන්තරයෙන් බාහිරව ඇති ‘ඉවත දමන ලද මිනිසුන්ගෙන්’ (disposable humanity)  පිරි පවතින කලාපයක් වුව ද ධනවාදයේ කේන්ද්‍රයේ මධ්‍යම පංතිකයින් වාර්ගික, දුප්පත්කමේ, කුල වාදයේ, අසමානත්වයේ කලාපයේ කොනක පිහිටා ඇති එවරස්ට් තුල සොයන ‘අර්ථය‘ කුමක් ද?

එවරස්ට් චිත්‍ර‍ටපය ගැන විග්‍ර‍හයක් කරන The Guardian පුවත්පත, ‘ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන ‘ත්‍රාසජනක බවේ මුවවිටට‘ චිත්‍ර‍පටයේ අවසානය ලග නොවන බවට මැසිවිලි නගයි (Bradshaw 2015) එමෙන්ම ‘එතරම් මහන්සියකින් එවරස්ට් තරණය කළා වුව ද මනස්කාන්ත දර්ශනයකින් තොරවම තරණය කළ වුන් ආපසු පැමිණ ඇත‘ වැනි හැගීමකින් ප්‍රේක්ෂකයා අපේක්ෂාභංගත්වය පත්ව ඇති බවට ද ගාඩියන් විචාරකයා පවසයි.  චිත්‍ර‍පටය තුලින් ප්‍රේක්ෂකයා ආශා කරන ත්‍රාසය, කුතුහලය හා සෞන්දර්යාත්මක බව රැගෙන නොඑන නමුත් එය ඊට වඩා සමාජ-දේශපාලනික අර්ථයක් ඉස්මතු කර ගැනීමට අවශ්‍ය සංඥාවක් ජනනය කරන බව චිත්‍ර‍පටය පිළිබදව නිශේධනාත්මකව කතා කරන විචාරකයින් අමතක කරයි.  චිත්‍ර‍පටය අප හමුවට ගෙනන චරිතවල ඇති අනන්‍යතා අර්බුදය විසින් අද දවසේ පුද්ගල විෂය තුල විදාරණය වෙමින් පවතින විරුද්ධාභාෂයන් පිළිබදව න්‍යායික හැදෑරීමක අවශ්‍යතාවය චිත්‍ර‍පට තේමාව හා සිදුවීම් දිග හැරෙන අකාරය තුලින් අපට බල කර සිටී.

ඉතා වැදගත් දේශපාලන- මනෝවිෂ්ලේෂී කරුණක් චිත්‍ර‍පටය අපට ගෙන හැර දක්වයි.  එනම් මා මේ ලිපිය ආරම්භයේ දී දැක් වූ බහි-සංස්චනය හා බුර්ෂුවා පවුල පිළිබද සංකල්පයයි.  බහි-සංසේචනය යන්න ex-timacy යන ලකානියානු වචනයේ පරිවර්තනය වන අතර එය ඉංග්‍රීසියේ external සහ intimacy යන වචන දෙකේ එකමුතුවෙන් සෑදී ඇත.  (external = බාහිර/ පිටස්තර) සහ intimacy (ඇගලුම්කම/සංසේචනය).  විෂය (subject) සහ විෂය වස්තුව (object) එකිනෙක ප්‍ර‍තිවිරුද්ධව පවතිනවා යැයි තේරුම් ගැනීම වෙනුවට මේ දෙක එකිනෙකට සංස්ලේෂණය (implicated) වී ඇති බව-නොහොත් විෂය යනු විෂය වස්තුවේ ම බාහිර ස්වභාවය යන්න – හේතුවෙන් ‘විෂය තමාගෙන්ම බහි-සංසේචනය වි ඇති බව‘ (the subject maintains a relation of extimacy toward itself) මෙහි අර්ථයයි (බලන්න Myers 2003: පිටුව 41).  මෙහි දී බාහිර සංසේචනය (external intimacy) යන්නෙන් ‘විෂයේ පැවැත්මහි සාරය  නැත්නම් කේන්ද්‍ර‍ය (core) විෂයෙන් බාහිරව බලපවත්වයි‘ අයුරින් නිර්වචනය කළ හැක.  අනුෂාංගික වශයෙන් ඇස දර්ශනය කර ගැනීමට කණ්නාඩිය අවශ්‍යවනවා මෙන්ම විෂයට තමාව හදුනා ගැනීමට ‘දර්පණයක්‘ අවශ්‍ය වේ.  ඉතාම ළගින් සිටින කුලුපග, ලෙන්ගතු, ඉතාම හිතවත් අයෙකුට (Intimate) ඉතා පැහැදිලිව අනෙකා විනිවිදය නොහැකි (පාරදෘෂ්‍යභාවය- transparent) අතර ‘බහි-සංසේචකයා‘ යනු අනෙකාය (the Other).  ආගන්තුක ශරීරයක් සහිත ඔහු පරපෝෂිතයෙකි (a foreign body; a parasite).  නැති වූ යමක් සොයන අතීතකාමී විෂය විසින් නැවත හමුවීමක් ප්‍රාර්ථනා කරයි.  එමෙන්ම බෙදුනු විෂය විසින් (split subject) තමාගේ බාහිර විෂය-වස්තුව සොයා යයි.  විෂය තුල පවතින ‘තමාට වඩා වැඩි දෙය‘ විද්‍යාමාන කරන බාහිර බලවේගයන් (පිටසක්වල වැසියන්, ලේ උරා බොන වවුලන්) ගේ බැල්ම (gaze) නැත්නම් නිරීක්ෂකයා අවශ්‍ය වේ.  අප දෙස බැලීමට අප විසින් ම (හෝ සමිපයෙක්) කරන උත්සාහය පාරාන්ධතාවය (opague) ලෙසින් අසාර්ථක වන අතර ඒ සදහා අනේකත්වයක් අවශ්‍ය වේ. එමෙන්ම අතිසමිපභාවය අධි හදුනාගැනීමක් (over-identification) කරා ද යොමුවේ.

එවරස්ට් චිත්‍ර‍පටය තුල මෙම අනේකත්වය නොහොත් ඒ තුල තරණය කරන්නන් ගේ පැවැත්මේ සාරය දර්පණගත (mirrorize) කරන්නේ එම තරණය කරන්නන් තමා වෙතම ආකර්ෂණය කර ගත් එවරස්ට් නම් මහා අනෙකා විසින් බව අපට හදුනා ගත හැකිය. භෞතික ඇද වැටීම නම් අපතිකභාවය විසින් මානසික අවශ්‍යතාව ඉස්මතුවීම තුළ එවරස්ට් තරණය කරන්නන් එක්තරා අදුරු මරණීය අත්දැකීමක් වෙත ගෙන ගොස් ඔවුන්ගේ ‘සාමාන්‍ය පැවැත්මේ කොන්දේසි‘ ඔවුනට සිහි ගන්වයි.  ඒ අර්ථයෙන් එවරස්ට් එක්තරා පීතෘ මුලික (මියගිය පියා) සංකේතීය-දේශපාලන කාර්යයක් අද්‍යතන මධ්‍යම පංතික පවුල වෙත රැගෙන එයි.  තමාටම මෙන්ම තමාගේ සමීපතමයන් විසින් දර්පනය කිරීමට උත්සාහ කලත් ‘අතිසමිපතාවය‘ නිසා පාරාන්ධ වන අනේකත්වයේ දැක්ම එවරස්ට් විසින් ආපතිකභාවය තුල සිදු කරනු ලබයි.  තමාට මග හැරුණු ආදරය, මානුෂිකත්වය සහ සාමාන්‍ය ජිවිතය පිළිබද ආශාවක් අපගේ වර්තමාන ‘දුෂ්ඨ භෞතිකය‘ මරා දමමින් නැවත ඉස්මතු කරවයි. ප්‍ර‍මාණවත් ඔක්සිජන් නැතිවීම හා අධික සීතල නිසා මිය යෑමට ගොදුරු වන මොලය (මනස සහ අතීත මතකය) එම අනතුර ඔස්සේ ම තරණය කරන්නන්ගේ බාහිර ආශාවේ -වස්තුව (විෂය-වස්තුව) තමා තුලම තව දුරටත් පවතින තත්වයක් යැයි තේරුම් ගනී.  තම නීරස පවුල තුලම තම ආශාව ආශාවේ වස්තුව පිහිටුවා ඇති බව (දුෂ්ඨ භෞතිකය විසින් මෙතෙක් අමතක කර තිබු) ඔවුනට වැටහී යයි.   එවරස්ට් බහි-සංස්චක අනෙකා (ex-timate Other) වන්නේ මේ අයුරිණි.

එක් අතකින් ‘එවරස්ට්‘ යන්න දෘෂ්ටිමය ෆැන්ටසියක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එය සමාජ පසමිතුරුතා අපට අමතක කරනු ලබයි.  එවරස්ට් තරණය කිරීමට ධනේෂ්වර කේන්ද්‍රයෙන් එන පොහොසතුන් හා දරිද්‍ර‍තාවයේ මිරිකෙන නිර්ධන නේපාල ජාතිකයින් අතර පංති පසමිතුරුතා අමතක කර දෙගොල්ලන්ම මෙම ෆැන්ටසි මරණීය – තරණයේ යෙදීම දෘෂ්ටිමය අවකාශයක් ලෙස ගතහොත් ඉදින් එය නිසැකයෙන්ම ‘රෝග ලක්ෂණයකි‘. හරියටම ගතහොත් ලාංකික යහපාලන ධනපතියන් සහ සමජාතීය කලු පැහැති ටී-ෂර්ට් (නව අනන්‍යතා දේශපාලන සංඥාව) හැදගත් ‘නව-ශිෂ්‍ය ව්‍යාපාරය‘ එකම දෘෂ්ටිමය සමස්තයක දේශපාලනය කරනවා මෙන් වු රෝගී අත්හදා බැලීමකි.  ඉතාම දුර්වල ලිබරල් ධනපති ක්‍ර‍මයක ස්වාමීන්ගෙන් මෙම අනන්‍යතා ශිෂ්‍ය ව්‍යාපාර (ජවිපෙ මෙන්ම) ඉල්ලමින් සිටින්නේ කුමක් ද?  මෙම ලිබරල් ක්‍ර‍මයේ ම කුණුවීමට හසු වූ රාජ්‍ය නිලධාරි පැලැන්තියට හා වෘත්තීය සේවාවන්ට ගොඩවීමට අවශ්‍ය මුලික සුදුසුකම මෙම ශිෂ්‍යයින්ගේ සමජාතීය වර්ණයන්ගේ සටන් පාඨයයි.  අවම වශයෙන් ලිබරල් ධනවාදයේ ගමන්මග තුල රාජ්‍ය නිලධාරින් යනු අවතාරමය පැවැත්මක් සහිත සමාජ තීරුවක් වන බවටවත් ඔවුන් සලකා බැලීමට උත්සුක වී නැත.  ධනේශ්වර ක්‍ර‍මය ගමන් කරන්නේ උපාධි සහතික මත නොවන බව මෙම ‘නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීමට‘ මොර දෙන ශිෂ්‍ය ව්‍යාපාර තේරුම් ගන්නේ කවදා ද?  විශ්වවිද්‍යාලයෙන් එළියට බට මොහොතේ පටන් තනි පුද්ගල නාසිස්මික ක්‍රීඩාවක නිරත වන මේ සියලු ‘උපාධිධරයන්‘ අන් කවරෙක්ටත් වඩා හොදින් මෙම ක්‍ර‍මයට බද්ධ වන බව එම ශිෂ්‍ය ව්‍යාපාර ඉතා හොදින් දනී.  නමුත් මෙම ‘අනන්‍යතා ටී-ෂර්ට් විප්ලවවාදී කුලක’ මුරගා සිටින්නේ ද මේ ක්‍ර‍මය තුල ම අපගේ ‘අනන්‍යතාවය‘ පිළිගනිවු යන දෘෂ්ටිමය මිත්‍යාමතිකය නොවේ ද? ඔවුන් තම ධනේෂ්වර ස්වාමියා ගෙන් ‘කළ නොහැකි දෙය‘ (Impossible) ඉල්ලා සිටී.  අති විශාල ධනයක් මෙම ක්‍ර‍මයේ ඉතාම කුඩා අවකාශයක් තුලින් උපයාගත් ‘ඇවන්ට් ගාඩ්‘ (Avant Guard)  හිමිකරුවා උපාධිධාරීන් කීයකගේ සේවය ලබා ගන්නට ඇත් ද යන්න ගැන ශිෂ්‍ය ව්‍යාපාර සිතා බලා ඇත් ද?  ධනවාදයට උගත්කම් වලින් ඇති ඵලක් නැත.  එයට අවශ්‍ය ලාභය සදහා අවශ්‍ය ‘ඉව‘ යි (Instinct). අද පසු-නුතන විශ්ව විද්‍යාල කළමණාකරන පීඨවලින් මුවහත් කරන්නේ මෙම සහජාසයයි.

එනම් යථොක්ත නිදහස් අධ්‍යාපනය තුලින් ඉගැන්වෙන්නේ ම පරස්පරතාවයකින් තොරව මේ ක්‍ර‍මය හා දුරස්තභාවය පවත්වා ගනිමින් ම මේ ක්‍ර‍මය හා බද්ධ වන පිළිවෙල යි.  විශාල විද්‍යාල ගුරුවරුන් විශාල පිරිසකට ලිබරල් ධනවාදය තුලින් ම මතු වූ ලාංකික ඒකාධිපතිවාදය හා අනන්‍යවීමට වැඩි වේලාවක් නොගියේ මේ කරුණ නිසාය.  පශ්චාත්-යටත්විජිත අධ්‍යාපණය අද අවතාරමය ආකාරයකින් මේ ක්‍ර‍මයට අවශ්‍ය දෘෂ්ටිමය පසුබිම සහිත වහලුන් නිෂ්පාදනය සිටි.  ජිජැක් පවසන ආකාරයටම ‘පවත්නා රැඩිකල් දේශපාලනය යනු‘ (ශිෂ්‍ය සංගම්, විශ්වවිද්‍යාල හා අනෙකුත් වෘත්තිකයන්, හෙදියන්, පාසැල් ගුරු සංවිධාන හා බැදුණු ජනතා විමුක්ති පෙරමුණු හා පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ දේශපාලනය) නිසැකවම ‘රැඩිකල් ලිබරල්වාදයකි‘ යන වැකිය මෙම අනන්‍යතා දේශපාලනය හා කොතරම් අදාල දැයි බලන්න.  වෙනත් රූපකයක් මගින් පැහැදිලි කරන්නේ නම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් නිසා සිරියාව හැර යන සංක්‍ර‍ණිකයන් හට දියුණු ධනේශ්වර රටවලට ම යෑමට අවශ්‍ය වන්නේ ඇයි?  ඒ යන ගමන අතරතුර ඇති අනෙක් අඩු අදායම් ඇති ක්‍රොඒෂියාව, හන්ගේරියාව, තුර්කිය, ග්‍රිසිය වැනි රටවල් දිහාවත් ඔවුන් නොබලන්නේ මන් ද යනුවෙන් ජිජැක් තම මෑත කාලීන හෙගල් දේශනයක දී ප්‍ර‍ශ්න කර සිටියේ ය.  එසේ නම් ගැටළුව සරණාගත ප්‍ර‍ශ්නයකට වඩා ඔබ්බට ගිය එකකි.  එම අර්ථයෙන්ම හැමෝට ම උපාධි පිලිගැනීම ම  අවශ්‍ය ඇයි? ඔවුන් හැමෝට ම රජයේ  රැකියාම අවශ්‍ය වන්නේ ඇයි? එම රජයේ රැකියා කරන්නවුන් හැමෝට ම විශ්‍රාම වැටුප් සහිත ‘වරප්‍ර‍සාද‘ අවශ්‍ය ඇයි? මේ පරිපාලන පංතියට පැන ගැනීමට වලිකන අතලොස්සට අමතරව තවත් මිලියන ගණනක් මිනිසුන් දුප්පත්කමේ අන්තයටම වැටී ඇති බව මෙම අනන්‍යතා දේශපාලනය තේරුම් නොගන්නේ ඒසේ තේරුම් ගැනීමට අවශ්‍ය නොවන ආකාරයට සමකාලීන අනන්‍යතා දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන බැවිණි.  එනම් මෙම දෘෂ්ටිමය අනන්‍යතා දේශපාලනය විසින් සත්‍ය වශයෙන් ම සැබෑ ප්‍ර‍ශ්නය ප්‍ර‍ති-දිශානතගත කර ඇත.  මෙම තත්වය ඩෙලුස් පවසන පරිදි ‘විප්‍රදේශගතකරණයකි‘.  (බලන්න Anti-Oedipus: Capitalism and Schizophrenia (2000) කෘතිය).  ඒ තුල අති මුලික පන්ති පසමිතුරුතා අමතක කර සියලු අනන්‍යතා එකම ක්‍ර‍මයක සැහැල්ලුවෙන් ගමන් කරයි.  සංක්‍ර‍ණිකයන්ද, ශිෂ්‍ය සංගම්ද, පරිපාලකයින්ද හැමෝම එකම දේශපාලනයක ඇන කොටා ගනිමින් ඇත .

එවරස්ට් නම් මහා අනෙකා ‘සැගවුනු ඒජන්තයෙක්‘ ලෙස සිටිමින් සංකේතීය පිළිවෙලේ තන්තු (strings) අදිමින් සිටී ද? එසේ නම් එය දේවත්වයක් හා සමානකමක් ගන්නා පැවැත්මකි.  එක් අතකින් එවරස්ට් තරණය තුල ඇති ක්‍ෂතිමය බව හා මරණීය අත්දැකීම හරහා පුද්ගල සංකේතීය විශ්වය ප්‍ර‍ති-සථාපනය කිරීමේ සංඥාවක් ඇති බැවින් ඉහත කරුණ චිත්‍ර‍පටය තුල සප්‍රාමාණික යැයි හැගේ.  අනෙක් අතර එය පවත්නා වෙළදපොල තර්කණයේ කොන්දේසි ද හසුරුවන ‘ඉතිහාසයේ විෂය මුලික තර්කය‘ (Objective logic of history) උත්කර්ෂයට නංවමින් සිටී ද? එසේ වන්නේ නම් එවරස්ට් නම් දෘෂ්‍යමානය (appearance) යනු අනිවාර්යෙන්ම පවත්නා තත්වය  විසින් රැක ගත යුතු කොන්දේසියක් බවට පත් වේ.  එවිට මෙම සෞන්දර්යාත්මක ෆැන්ටසි දෘෂ්‍යමානය වෙළදපල ලාභය හා ගැටගැසී ඇති විට ඉහත දැක් වූ සංකේතීයභාවය පදනම් වන මහා අනේකත්වය අර්බුදයට යනු ඇත.  මා සිතන අයුරින් එක්තරා ආකාරයකට නොවිසදී ඇති කලාපය වන්නේ ද මෙය යි.  එනම් එවරස්ට් යනු එකවිටම ‘සංකේතනය‘ හා ‘යථ‘ අතර ක්‍රියාත්මක වීමයි.  මිනිසත්බවේ සාමාන්‍ය පැවැත්මේ කොන්දේසි සහ ලාභය හා මරණ ආශයේ යථ අතර එය ස්ථානගත වී ඇති බැවින් එවරස්ට් සංකේතීය පිළිවෙලේ රැඩිකල් විවර්තනය (radical alterity) පෙන්වා දෙන ගමන් ම දෘශ්‍යමානයේ විපරීත ‘පාවෙන හැගවුම්කාරකය‘ ලෙසින් ද එකවිටම ක්‍රියාත්මක වේ.  එනම් එය එකම නිමිත්තක් (Symbol) තුල අර්ථයන් ගණනාවක් එකවිටම ගැටගසා (knot of meanings) ඇති ස්වාමි හැඟවුමකි.  එම ගැටය මසා ඇත්තේ පුද්ගලයා විසින් ආමන්ත්‍ර‍ය කිරීමට තෝරා ගන්නා හැඟවුමට සමපාත වන අයුරිනි.  වෙනත් විධියකින් කිවහොත් ‘සිහින දකින්නාගේ සිහිනයේ අර්ථකතනය සිහිනයේ උත්තේජක කොන්දේසි විසින් ම තීරණය කර ඇත යන්න’ මෙහි අර්ථයයි.  එනම් එය සමස්තතාවාදයේ (totalitarianism) මුලිකම රෝග ලක්ෂණයයි.

| මහේෂ් හපුගොඩ

Reference:

Baudrillard, J. (2001).  Impossible Exchange. (Trans. Chris Turner). London. Verso.

Baudrillard, J. (2005). The System of Objects. (Trans. James Benedicts). London and New York. Verso.

Boosting, D.J. (1983). The Discoverers. New York. Random House.

Bradshaw, P. (2015). Everest Review: Jake Gyllenhaal treks up to the summit and back without much of a view. In ‘The Guardian’.  http://www.theguardian.com/film/2015/sep/17/everest-review-jake-gyllenhaal.

Deleuze, G. & Guattari, F. (2000). Anti-Oedipus: capitalism and schizophrenia. (Trans. Robert Hurley, Mark Seem and Helen R. Lane). USA. University of Minnesota Press.

Garic, G.I. & Sanchez, C.G.A. Psychoanalysis and politics: The Theory of Ideology in Slavoj Zizek. International Journal of Zizek Studies: Vol. 2, No. 3.

Hapugoda. M. (2015). Seya, Kondaya and the Disposable Humanity in Capitalism. Log on to: http://104.244.127.152/~mana/seya-kodaya-and-disposable-humanity-in-capitalism/.

Kormakur, B. (2015). Everest. USA. Universal Pictures

Myers. T. (2004). Slavoj Zizek. (Routledge Critical Thinkers). London and New York. Routledge.

Zizek, S. (2008). The Sublime Object of Ideology. London. Verso.

Zizek, S. (2011). Living in the End Times. London. Verso.

href=”http://104.244.127.152/~mana/wp-content/uploads/2015/11/a5.jpg”>a5
a2 a3 a4

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. //ඒවා තුලින් සෞන්දර්යක් ඉස්මතු නොවන අතර කම්පනය මිශ්‍ර වූ තිගැස්මක් පමණක් ඇති කරයි. අතිශයින්ම විපරීත තත්වයක් වන මෙය අනෙකාගේ ‘කම්පණ විනෝදය’ උත්පාදනය පිණිස කරන උපකරණමය උත්සාහයකි. නව වහල්භාවයකි. //හරියටම හරි. x-factor වගේ රුපවාහිනී ෂෝ බලන කොට හොඳින් පැහැදිලි වෙනවා.

  2. / එම අර්ථයෙන්ම හැමෝට ම උපාධි පිලිගැනීම ම අවශ්‍ය ඇයි? ඔවුන් හැමෝට ම රජයේ රැකියාම අවශ්‍ය වන්නේ ඇයි? එම රජයේ රැකියා කරන්නවුන් හැමෝට ම විශ්‍රාම වැටුප් සහිත ‘වරප්‍ර‍සාද‘ අවශ්‍ය ඇයි? මේ පරිපාලන පංතියට පැන ගැනීමට වලිකන අතලොස්සට අමතරව තවත් මිලියන ගණනක් මිනිසුන් දුප්පත්කමේ අන්තයටම වැටී ඇති බව මෙම අනන්‍යතා දේශපාලනය තේරුම් නොගන්නේ ඒසේ තේරුම් ගැනීමට අවශ්‍ය නොවන ආකාරයට සමකාලීන අනන්‍යතා දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන බැවිණි. // උන්ගක් දුරට එකඟ වෙන්න පුළුවන්.

Comments are closed.