[dropcap color=”gray”]මි[/dropcap]නිසුන් කැසිනෝ ක්‍රීඩාව කරන්නේ ඇයි? බොහෝ දෙනා මෙය සලකන්නේ සදාචාරමය වශයෙන් අසාධු ක්‍රියාවක් ලෙසය. නූතන වර්ධිත ධනවාදී සමාජයේ වඩාත්ම නිග්‍රහයට පත් කරන ප්‍රතිරූප දෙකක් ඇත්නම් ඒ දෙක පහත පරිදිය.

01-දුම්බොන්නා (smoker)

02- කෞමාර කාමය (pedophile)

අන් මිනිසුන්ගේ විනෝදය කළමනාකරණය කිරීම සහ තහනම් කිරීම සමකාලීන ධනවාදී දේශපාලනයේ මුඛ්‍ය ලක්ෂණ දෙකයි. ඒ අර්ථයෙන් මෙවැනි සමාජයක භයානකම සතුරා වන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නාය. මන්දයත් එවැන්නෙකු උපරිම විනෝදය විදිතැයි අන්අය විශ්වාස කරන නිසාය.

නමුත් කැසිනෝ ක්‍රීඩා කරන අය එසේ කරන්නේ මන්ද? සූදුව යනු ධනවාදයේ ක්ෂිතිජයයි. සමාජවාදයේ ක්ෂිතිජය ස්ටැලින්වාදය මෙන් ධනවාදයේ ක්ෂිතිජය කැසිනෝය.

කැසිනෝ ක්‍රීඩා කරන බොහෝ අය මිලියන ගණන් මුදල් සොයා ගත් අයයි. ඒ බොහෝ අයට මේ සමාජයේ ජය ගන්නට තවත් බාධා නැත. එබැවින් ඔවුන්ගේ ආශාව ජීවමානව තබා ගැනීමට අවශ්‍ය නම් තමා සතු යමක් නැති කර ගත යුතුය. කැසිනෝ ක්‍රීඩාව හරහා ධනවතුන් ගේ නැති වන්නේ මුදල්ය. ඇති වන්නේ ආශාවය. එබැවින් කැසිනෝ ක්‍රීඩා අවන්හල් යනු මිනිසාගේ ආශාව යළි පාදුර්භූත කරන දේවස්ථානයන්ය. මේ දෙවොලෙහි සර්වබලධාරී දේවියන් වහන්සේ යනු ඇසට නොපෙනන්ට සගවා ඇති ආරක්ෂිත කැමරාවන්ය. මේ කැමරා දෙවියන්ටත් වඩා බලවත් වන්නේ දෙවියන් බලා සිටන බව සියල්ලන්ටම විශ්වාස කරන්නට සිදුවන නිසා මෙන්ම දෙවියන් ගේ බැල්මට ඩිජිටල් සාක්ෂි ඇති නිසාය. කැසිනෝ ක්‍රීඩා අවන්හල් දේවස්ථානයකටත් වඩා පිරිසිදු වන්නේ මේ නිසාය.

මෙම පශ්චාත්-නූතන දේවස්ථාන වල බිෂොප්වරුන් වන්නේ රවී විජේරත්න,ධම්මික පෙරේරා වැනි අයයි. මෙහි අගරදගුරුතුමා වන්නේ ජේම්ස් පැකර් ය. දුප්පත් මිනිසුන් තමන්ගේ කහට වූ කෙලෙසුන් නැතිකර ගැනීමට ආරාම වලට ගොස් භාවනා කරයි. එහි අනෙක් අන්තය වන්නේ විශාල ධනවතුන් තම නැති වූ ආශාව යළි කුළු ගන්වා ගැනීමට කැසිනෝ දේවස්ථාන කරා ගොස් මුදල් නැති කරගෙන, තම ආත්ම අභිමානයද නැතිකර ගැනීමයි. ඇත්තටම ධනපතියා කැසිනෝ මේසය මත නැති කර ගන්නේ ආත්මාර්ථකාමයයි. එබැවින් කැසිනෝ යනු පශ්චාත්-නූතන යුගයේ ආගමයි.

ඔබේ අදහස කියන්න...