[dropcap color=”red”]සෞ[/dropcap]න්දර්ය අධිනිශ්චිත භාෂාවකින් කියන්නේ නම් චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ප‍්‍රදර්ශනය අමුය. එහෙත්, ඒ අමු බවට වගකිවයුත්තේ කලාකරුවා නොව සමාජයයි.

‘කලා කෘතියක්’ නිර්මාණය කිරීම වෙනුවට තේනුවර කර ඇත්තේ ගෘහනිර්මාණ ශිල්පියකුට සමාන්තරව අවකාශ සංවිධානයක්ය. පශ්චාත් යුද ලංකාවේ නගර අලංකරණයේ උත්කර්ෂිත අංගයක් වූ Jogging Tracksඔර්ජනි මෙවර තේනුවරගේ තේමාවය. එක් අතකින් එය අල්පෝක්තිකවාදී (Minimalistic)ප‍්‍රකාශනයකි. තේනුවරට කියන්නට කිසිවක් නැත. ලයනල් වෙන්ඞ්ට් ශාලාවේ සංවිධානය කර තිබූ සේ ම මේ ප‍්‍රදර්ශනය සමාජය ඒ අයුරින්ම පිටපත් කිරීමකි. ඇන්ඩිවොහෝල්ගේ දර්ශනයට සමීපව තේනුවර සමකාලීන සමාජයේ දෘශ්‍ය අවකාශයේ පිටපතක් අපට සපයා ඇත. අයිෆෝන් එකක් කනේ තියන් ප‍්‍රවෘත්ති අහගෙන ජොගින් කරන පශ්චාත් මනුෂ්‍යයකුට හමුවීමට නියමිත ප‍්‍රවෘත්ති මොනවාද? නීතියේ බිඳවැටීම හෝ (ශාලාවේ තිබූ සංකේතාත්මක දෙව්දුවගේ බිඳී ගිය මූර්තිය), සමූහ මිනීවළවල් (ප‍්‍රදර්ශනය තුළ ඔබ ඇවිද ගිය මාවතේ ලාංකික සිවිල් අරගලවල සංකේතාත්මක වර්ෂ කොටා ඇත.), සමාජය මිලිටරිකරණයේ යාපනයේ හෝ කටුනායක හෝ දෙමටගොඩ හෝ රතුපස්වල (තේනුවරගේ සුප‍්‍රකට කැමාෆ්ලෝග් මිනිස් රටා) ප‍්‍රවෘත්තිය. ඔබ ශාලාවට ඇතුළු න විටම මුණගැසෙන බිත්තිය සම්පූර්ණ හිස්ය. එහි කිසිවක් එල්ලා නැත. තේනුවරගේ මෙම මායාමතික එළැඹුම එක්වරම නිර්මාණශීලී ආවරණයක් ඊනියා රසිකයාට ලබා දේ. ‘‘වැරදිලාද? තාම ප‍්‍රදර්ශනය පටන් අරන් නැද්ද?’’ වැනි කුකුසක් මෙමගින් ජනිත කරවයි. සැබැවින්ම තවමත් ප‍්‍රදර්ශනය පටන් ගෙන නැත. ඒ අරුතින් මෙය ජොගින් ට‍්‍රැක් එකකට බිත්ති හතරක් සවි කළා වැනිය. ඒ මත යන ඔබට හමුවන සමකාලීන සමාජ සංඥා අමුවෙන්ම තබා ඇත. බ්‍රෙෂ්ටියානු දුරස්ථකරණ න්‍යාය තේනුවර දෘශ්‍ය කලා අවකාශය තුළ අත්හදා බලමින් සිටී. ‘‘ඔබ නරඹන්නේ කලා කෘතියක් නොවේ.’’ ඔබ තේනුවරගේ ප‍්‍රදර්ශනයේදී ඔබ මොබ යන අවකාශය යථාර්ථයේ ප‍්‍රතිනිර්මාණයක් නොව යථාර්ථයේම ආකෘතියකි.

සාම්ප‍්‍රදායික කලාකරුවකු සෞන්දර්යවාදී කෝණයකින් මෙවැන්නක් අමු/ඍජු කලා කෘති ලෙස වරදවා කියවිය හැක. එහෙත් තේනුවර ප‍්‍රතිනිෂ්පාදනය කර ඇත්තේ දෘෂ්ටිවාදී අවකාශයක්ය. කලා කෘති එල්ලීමේ උභතෝකෝටිකයයි තේනුවරගේ තේමාව. මේ සියල්ල වෙන්නේ ධම්මපදය තාප්පලිවීමක් බවට පත්වන සමාජයකය. ප‍්‍රදර්ශනයේ දැන්වීම් පුවරුවේ පරිදි ඔබ ඇවිදයන්නේ ව්‍යවස්ථානුකූල ගණිකාවේදයක් (Constitution/Prostitution) අභ්‍යාසයේ යොදවන සමාජයකය. තේනුවරගේම කැමෆ්ලොග් වියුක්ත චිත‍්‍ර දෙකක් කළු තීන්ත ගා මකා තිබෙනුද දැකිය හැක. ඒකයි අපි කියන්න ඕනෙ ‘‘මේක කලා ප‍්‍රදර්ශනයක් නොවේ, කලාවේ නොහැකියාව (Impossibility) ප‍්‍රදර්ශනයක්.’’ තේනුවර ප‍්‍රදර්ශනය හරහා ලබාගන්නේ එකම අවස්ථාවකි. එනම් ජොගින් ට‍්‍රැක් එකක දුවගෙන යද්දී ‘නොසිතෙනා’ දෙය සිතවීමේ ආකෘතික අහම්බයක් පමණි. එපමණමය.

ශාලාවක බිත්ති කලා කෘතියක් වීම

රෙනේ මාගරට් (Rene Magritte) නම් බෙල්ජියානු දෘශ්‍ය කලාකරුවාගේ සුප‍්‍රකට ‘මෙය පයිප්පයක් නොවේ’ (This is not a pipe) කෘතිය හරහා ඔහු පිළිතුරු බැඳීමට උත්සාහ කළේ ප්ලේටෝටය. ‘කලාවෙන් ඇති පලක් නැත’ යන ප්ලේටෝගේ පූර්ව මධ්‍යතන අදහස මාගරට් අභියෝගයට ලක් කළේ සරල, අමු කෘතියකිනි. කලාව ගැන ප්ලේටෝගේ අදහස කුමක්ද? ඔහුට අනුව කලාවේ කිසිවක් ‘අලූත්’ නැත. එය සැමවිටම පිටපතක් පමණි. එපමණක්ද නොව, පිටපතකද පිටපතකි. උදාහරණයකට දුම් පයිප්පය ලෙස අප භාවිත කරන භෞතිකය එහි මුල් ආකෘතිය(Original) නොවේ. ‘දුම් පයිප්පය’ නම් අදහසේ ආකෘතික පිටපතක් තමා අප අත තියෙන්නේ. ඔබ අත ඇති පයිප්පය ලොව පරම පයිප්පය නොවේ. මේ තමා ප්ලේටෝගේ අදහස. ඒ විතරක් නෙමේ, මේක චිත‍්‍රයට නැගුවම? එය ඔබට භාවිත කළ නොහැකිය. එනම් ආකෘතියේත් ආකෘතියකි. පිටපතක පිටපතකි. එහි ප‍්‍රයෝජ්‍ය වටිනාකමක් නැත. මේක තමා කලාව ගැන ප්ලේටෝගේ පූර්ව මධ්‍යතන දාර්ශනික විවේචනය. මාගරට් මේ හින්දා ‘මෙය පයිප්පයක් නොවේ’ කියලා ලියලා පයිප්පයක්ම ඇඳපු චිත‍්‍රයේ මුල් මාතෘකාව උනේ ‘රූපයේ පාවාදීම’ (The Betrayal of Images, 1928/1929) කියලයි. ඒ කියන්නේ සංකීර්ණ අරුතකින් කලාව කලාව උදෙසා නොවන බවයි. නැතහොත් විමර්ශකයා හා පිටපත අතර ඇති පරතරය සංකල්පීය භාවිතයක් ලෙස ශිෂ්ටාචාරයේ කාර්යභාරයයි. මාගරට්ගේ භාවිතාව දාර්ශනිකය. සාම්ප‍්‍රදායික සෞන්දර්ය උපරිවාදයකට ප‍්‍රතිපක්ෂව මාගරට් දෘෂ්ටිවාදයේ නග්න ආකෘතියක් හෙළිදරව් කළේය. මාගරට්ගේ කෘතියට කියවීම් බොහෝය. මාගරට්ට සමාන්තරව තේනුවර සමකාලීන සුන්දරකරණයේ ආකෘතිය වෙත පය තබා ඇත. තේනුවරගේ ප‍්‍රදර්ශනයේදී ඔබ නොදන්නා කිසිවක් ඔබට හමුවීමට නියමිත නැත. ප්ලේටෝ විරෝධී භාෂාවකින් කියතොත් ඔබට ‘අලූත්’ කිසිවක් හමුවන්නේ නැත. මෙය යථාර්ථයේ ආකෘතික පුනරාවර්තනයකි. අවශ්‍ය නම් මෙය විරෝධාකල්පයක් ලෙස කියවිය හැක. එනම් ක‍්‍රම විරෝධී අවකාශයකි. ගෝඨාභයගේ පාරේ ඔබට දිගටම දිව යා හැකිමුත් තේනුවරගේ පාරේ නොහැක. ඊට ඔහු බිත්ති හතරක් සවිකර ඇත. තේනුවර කලා කෘතියක් බවට පත්කර ඇත්තේ ලයනල් වෙන්ඞ්ට් ශාලාවේ බිත්ති හතරය. සාම්ප‍්‍රදායික අරුතකින් බිත්තියක් ගමනාන්තයක්, සිරවීමක් සලකුණු කළද මෙම ප‍්‍රදර්ශනයේ චින්තනය ආරම්භවන්නේ බිත්ති හරහාය. ප්ලේටෝනියානු අලූත් බවක් මෙවන් යුගයක කලාවෙන් ඉල්ලන රාජ්‍යයක පුරවැසියන්ට තේනුවර අභියෝගකරයි. ‘‘මහත්වරුනි, මෙය කලා කෘතියක් නොවේ.’’

බබාලන්තයක කලා කෘති යනු?

අප ජීවත්වන තත්කාලීන සමාජය පැහැදිලිවම මීට දශකයකට පෙර තිබූ සමාජය නොවේ. මෙය දැන් වැඩිහිටියන් නැති බබාලන්තයකි. මිනිසුන් සමාජයීය ප‍්‍රතිවිරෝධතා දෙස ස්වකැමැත්තෙන් පාරාන්ධ වී ඇත. රතුපස්වල හෝ කිරිපිටි හෝ මිනිසුන් ගැටලූව ආදී ඕනෑම සිදුවීමක පුළුල් රාජ්‍ය බලඅභ්‍යාසය ජහමනයාට වැඩක් නැත. එපමණකුදු නොව, වරාය හෝ මාර්ග සංවර්ධනය හෝ ගුවන්තොටුපොළ හෝ අපේ නොවන බවත් ඒවා චීන ආයෝජන බවත් චීනය මේවා ආයෝජනය කරන්නේ මන්ද යන්නත් මේ අය නොදනිති. සියල්ලෝ බබාලාය. මොවුන්ට අනුව වරායත් අපේය. ගුවන්තොටුපොළත් අපේය. දේශපාලන ආර්ථිකය ගැන මීට දශකයකට පෙර තිබූ මිනිස් සංජානනය හැකිළී ගොස් ඇත. තවදුරටත් සජීවී සමාජ දෘෂ්ටියක් ලාංකිකයාට හිමි නැත. එවිට මෙවන් සමාජයක් හා කලාකරුවකුට කළ හැකි අරගලය කුමක්ද? එය සීතල යුද්ධයක් දක්වා පල්ලම් බැස ඇත. තේනුවරගේ බැරල්වාදයට (Barralism) ඇති වලංගුභාවය වියැකී ඇත. ඔහුම හඳුනා ගන්නා ආකාරයට තවදුරටත් දෘශ්‍යමාන බැරල් සමාජයක් නොපවතී. දෘශ්‍යමාන යථාර්ථය ඊට වඩා සුන්දර වී ඇත. යුද්ධය ප‍්‍රතික්ෂේප කළ යුද්ධයට විරුද්ධ වූ ඊනියා විකල්ප මානවවාදී කලාකරුවන් දැන් නන්නත්තාර වී ඇත. ඔවුනට දේශපාලනයේ මූලධාර්මික අක්ෂ්‍ය කරා නැවත පැමිණීමට සිදුවී ඇත. මන්ද ඔවුන්ගේ අභියෝගය සතුරා ජයගෙන ඇත. ‘උතුරට හොඳ ආර්ථිකයක්’ ආදී බබා සටන් පාඨ අවලංගු වී ඇත. ආර්ථික ඌනතිවාදී නොවන ජාතික ගැටලූවේ දේශපාලන නිරවද්‍යතාව කෙරෙහි මානවවාදී සුජාතභාවය රකිනා කන්‍යාපටල බිඳගැනීමටත් ලංකාවේ ඊනියා රැුඩිකල් විකල්ප කලාකරුවන්ට සිදුවී ඇත. ඒ ඇයි?

දෘෂ්ටිවාදය මිනිසුන් වැළඳගන්නේ අවිද්‍යාත්මකව වුවද පාලක කෝණයකින් දෘෂ්ටිවාදය සංවිධානය වෙන්නේ විද්‍යාත්මකවයි. පාලක පන්තීන් නිරන්තරයෙන් විධිමත්ව ප‍්‍රතිදෘෂ්ටිවාද(Counter Idealogy) නිෂ්පාදනය කරමින් සිටින බව සිංහල කලාකරුවෝ නොදනිති. ජගත් වීරසිංහ හා සසංක පෙරේරා ප‍්‍රමුඛ ගුරුකුලයටද අභියෝගය ඇත්තේ මෙතනය. එසේම කළු ජූලිය ගැන පරණ කෘති හැමදාමත් පුනරාවර්තනය හරහා මග ඇරෙන්නේ මෙම රාජ්‍ය ප‍්‍රතිදෘෂ්ටිවාදී සංවිධිත අවකාශයයි. මෙවර තේනුවර අසීරු අභ්‍යාසයක් හරහා ජයගෙන ඇත්තේ මෙම අතීතකාමී කලාත්මක අගතියයි. කළු ජූලිය ප‍්‍රදර්ශනයට සිය පැරණි නිර්මාණ සපයන අතරේ සැමරුමකට එහා ගිය සමකාලීන දේශපාලනික දේශපාලනයේ තේනුවර රාමු කරන අභ්‍යාසය අප විමසිය යුත්තේ ඉහත පශ්චාත් බැරල්වාදී සන්දර්භයේ තබාය. බැරල් මගින් සංකේත වූයේ ගමනක් ඇහිරීම නම් ජොගින් ට‍්‍රැක් මගින් සංකේතවත් වන්නේ ගමනකට ආරාධනයයි. නදී කම්මැල්ලවීර ජනප‍්‍රියවාදීව විමසන ආකාරයට මිලිටරිමය දැක්මකින් සීමාවූ නිදහසක් තමා පශ්චාත් යුද සමයේ පවතින්නේ. ප‍්‍රතිදෘෂ්ටිවාදය විසින් ඊනියා විකල්ප කණ්ඩායම් වෙත තෝරාදෙන මාතෘකාවල ගැටලූව වන්නේ නිශ්චිත දේශපාලනික මොහොතක ඒවා වාෂ්ප වී යෑමයි. එවිට විකල්පයේ සුජාතභාවයමද අහෝසි වේ. සිද්ධිවාචක දේශපාලනිකයට කලාත්මක තේමා ඌනනය වේ. උදාහරණයකට තේනුවරගේ බැරල්වාදය යනු දැන් ඉතිහාසයට අයිති ‘සිද්ධියකි.’ ‘සුන්දරකරණය’ ප‍්‍රදර්ශනයද ඉතා නිර්මාණශීලී ලෙස සමකාලීනත්වය ස්පර්ශ කළද එහි අඩංගුව පාර්ශ්වීයය. තවත් විධිමත්ව කියතොත් දාර්ශනිකව පාර්ශ්වීය නදී පෙන්වා දෙන ‘මිලටරි ඇස’ අහෝසි වූ සමාජයක්ද ඇතැම්විට අපට අභිමුඛ විය හැක. එදිනට ලංකාවේ නගර විධිමත්ව ධනේශ්වරයේ ආසියානු මොඩලයට අනුව වෙන්වනු ඇත. කොළඹ නගරයේ මධ්‍යය නව චීන-ලාංකික සංක‍්‍රාන්ති වෙළෙඳ අවකාශයේ මිල අධික සුඛෝපභෝගී නගරයක් වනු ඇත. එවිට නදී හෝ මම හෝ තේනුවර හෝ ස්වකැමැත්තෙන් ඒ පැත්ත පළාතේවත් නොයනු ඇත. අපගේ ජීවන තත්ත්ව අනුව බත්තරමුල්ල හෝ එවැනි විකල්ප පොදු අවකාශයනට තල්ලූවීමට ඉඩ ඇත. එදිනට මිලිටරි ඇස තවදුරටත් වාෂ්ප වී ඔබට පාලනයට ඊටත් වඩා මෘදු ක‍්‍රම අභ්‍යාස කරනු ඇත. බලය හා දේශපාලනය අතර සහසම්බන්ධය ගැන ලාංකික කලා ක්ෂේත‍්‍රයේ ඇත්තේ මුග්ධ නිශේධනීය අදහසකි. කලාකරුවා කැමරාව කිසිදා තමා දෙසට හරවන්නේ නැත. බලය ගැන සදාචාරාත්මක අදහස් බිහිවන්නේ එවිටය. විශ්වවිද්‍යාලයක හෝ කලා ගුරුකුල ඇතුළත කිසිදු හිරිකිතයක් නැතිව සිය කලාත්මක සිවිල් සංකේත බලය ලිංගිකත්වයේ සිට කලා ප‍්‍රකාශනයේ සිට තනතුරු දක්වා භාවිතයේ යොදවන කලා මහත්වරු දේශපාලනික දේශපාලනයට අවතීර්ණ වූ විගස හැව මාරු කරති. එවිට ඒ අයට ‘බලය’ යනු ඕපපාතික ප‍්‍රපංචයකි. කලාව නමැති අධෝව්‍යුහයේදී නොරකිනා සදාචාරයත් මේ අය දේශපාලනයෙන් ප‍්‍රාර්ථනා කරති. බලය හා සබැඳි සිද්ධිවාචක විශ්වයකට අයෙකු ඇතුළත් වනවිටම අප විමසියයුත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ බලය සාධකය අභ්‍යාසය හා එහි සාර්වත‍්‍රික අඩංගුව අයෙකු සරලමතිකව මගහරින දෘෂ්ටිවාදී යාන්ත‍්‍රණයයි.

නදී හෝ සෙසු බොහෝ කලාකරුවන් සේ ම තේනුවර ද සීමාවෙන දෘෂ්ටිවාදී ෆැන්ටසි රාමුව ස්ථානගතවන්නේ මෙම කලාපයේය. එනම් සිද්ධිවාචකත්වය හා දේශපාලනික දේශපාලනයේ සාර්වත‍්‍රිත තර්කනය අතර පරතරයට ලාංකිකයෝ අසංවේදීය. සුවිශේෂයක් ලෙස සමකාලීන සමාජ සංසිද්ධියක් තේනුවර නිර්මාණශීලීව ශාලාගතකර ඇත. එහෙත් එහි බහුමානී සාර්වත‍්‍රික අඩංගුව කලා කෘතියට එක්කර ගැනීමට තවමත් ඔහු අපොහොසත්ය. තේනුවර හා රෙනේ මාගරට් අතර දේශපාලනික පරතරය ඇත්තේ මෙම කලාපයේය. නදීගේ හෝ තේනුවරගේ විශ්වයේ කෙළවර මිලිටරිකෘත රාජපක්ෂ රෙජීමයයි. ඒ තුළ මකා දැමූ අඩංගුව කලාපීය චීන බල අභ්‍යාසයයි. සමාජය සංකෝචනය වෙමින් දේශපාලන තේමා සාර්වත‍්‍රිකයේ සිට සුවිශේෂත්වය දක්වා ඌනනය වීමක් ලෙස මා සලකුණු කළේ එබැවිනි. නැතහොත් කලාත්මක සාකච්ඡුාව යනු පවතින රෙජිමයේම ප‍්‍රතිදෘෂ්ටිවාදී අක්ෂ්‍යයයි. එකම කාසියේ අනිත් පැත්තයි. සංස්කෘතික දේශපාලනයේ සමාජ බලපෑම සංකෝචනය කියන්නේ ඒ නිසාවෙනි. වරකට බැරල් හෝ වරකට ජොගින් ට‍්‍රැක් වසා එය හෙට අනිද්දාට රතු වීදි තරු හතේ හෝටල් විය හැකිය. ධනේශ්වරයේ ශොනරයක් වන රාජ්‍ය කේන්ද්‍ර ධනවාද මෙම රෙජිමය විසින් අභ්‍යාසය හා කලාත්මක සමාජය ඊට දක්වන ප‍්‍රාථමික බල විරෝධී විරෝධාකල්ප තර්ක හරහා තහවුරු වන්නේ කලාකරුවාගේ සංජානන සීමාවයි. ගැටලූව වන්නේ උපමාත්මකව- රූපිකව සමාජ සංකේත යොදා ගැනීම නොව, ඒ හරහා ප‍්‍රකාශිත දෘෂ්ටිවාදයේ ආකෘතියයි. ප‍්‍රාග්ධනය විද්‍යාත්මක විෂය ක්ෂේත‍්‍රයක් ලෙස පිළිනොගෙන එහි දෘෂ්ටිවාදී ආචරණයේ කුල්මත් වන විකල්ප කලාව අප අත්හළ යුතුය. තේනුවර සමකාලීන දෘශ්‍යකලා භාවිතයේ තේමාවක් ලෙස ‘සුන්දරකරණය’ දෘෂ්ටිවාදී සීමා ගැන නැවත නැවතත් සිතා බැලිය යුතුය.

බූපති නලින් වික‍්‍රමගේ [Sunday, September 8, 2013]

ඔබේ අදහස කියන්න...