සුවිශේෂතා මත පදනම් වන පශ්චාත් – නූතන දේශපාලනය අවසන් වීමට නියමිත මූලධර්මවාදී අන්තයක් කරා ගමන් කිරීමෙනි. මෙම වැකියෙන් පහත දැක්වෙන කරුණු ආර්ම්භ කිරීමට සිත් වූයේ මෑත කාලීන ලාංකික දේශපාලනික සහ සාහිත්‍ය අර්ථකථනයන්හි දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් පිළිබඳ ව අපගේ අදහස් දැක්වීම අවශ්‍ය යැයි හැඟී ගිය නිසාය. සමස්ථ කලා කෘති කියවීම සම්බන්ඳයෙනුත් මෑත කාලයේ ඉතාම විශාල ලෙස අර්ථකථනය කිරීමට යෙදුණු ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය සම්බන්ඳයෙන් සුවිශේෂයෙනුත් මෙම සුවිශේෂයන් මත පදනම් වූ දේශපාලනය ඉස්මතු වීම අපට දක්නට ලැබෙයි. මීට පෙර වාමවාදී විචාර පදනම් වූයේ පංති බෙදීම නම්, (Class divisions) විශ්වීය රූපකය තුළට කලා කෘති අන්තර්කරණය (සන්දර්භගතකරණය) කර ගැනීමෙන් ඒ තුළ මතුවන පරස්පරතා එළිදරව් කරගැනීමට උත්සහ කිරීම තුළය. එසේ එළිදරව් වන කරුණු වාස්තවික ලෙස පීඩිත පංති දේශපාලනයක් තුළ අර්ථකථනය කරගැනීම සම්භාව්‍ය වාමවාදී විචාරයේ පදනම විය. එසේ නොමැතිව සියල්ල ඇතුළත් කරගත හැකි යන්ත්‍රයක් ලෙස (machine of inclusion of everything)  බහුත්වවාදී අර්ථයකින් (Pluralistic) වාමවාදී විචාර කලාවක් පැවතිය නොහැක.
හෙගලියානු අර්ථයකින් ගත්තද වාමවාදී විචාර කලාව පැවතිය හැක්කේ ‘පරස්පරතා පිළිබද තර්කයට යටත්වය’. (structured according to the logic of contradiction). ඒ අර්ථයෙන් නූතන කලාව යනු ප්‍රබුද්ධත්වයේ ඵලයක් වන අතරම එහි පදනම ලෞකිකත්වයයි. දෙවියන් හෝ ආගම පදනම් කරගත් විඥාණවාදයේ අවසානය එය සළකුණු කළ යුතුමය. නමුත් අද වන විට කලාව රුචිකත්වයන්ගේ බාහුල්‍යය (අතිරික්තය) මත පදනම් වී ඇති බහුත්වවාදී ප්‍රවේශයක්ය යන්න සඳහා හොඳම ලාංකික උදාහරණය සපයන්නේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය සහ ඒ අරබයා ලියවුණු විචාර කන්දරාවයි. මෙම බහුත්වවාදී (නැත්නම් බහුවිධවාදී) අපගමනය සඳහා මාර්ගය විවර කරන්නේම අශෝක හඳගම විසින්ම වීම කණගාටුවට කරුණක්. එහි සමාරම්භක අභිනය සනිටුහන් කරන්නේ චිත්‍රපටයත් සමගම එම චිත්‍රපටය විචරය කිරීම සඳහා විචාරකයන් රොත්තකට ඔහු කළ විවෘත ආරාධනයත් සමඟ බව අපගේ මූලික වැටහීමයි. එනම් විචාර බාහුල්‍ය තුළින් ඉස්මතු වීමට නියමිත විවිධ අනන්‍යතා මත පදනම් වූ විවිධ රසිකත්වයන්, රසඥතාවයන්, ඇඳහිළි, ගුරුකුළ, අභිරුචීන් සඳහා ‘ප්‍රජාතන්ත්‍රවාදී’ යැයි බැලූ බැල්මට පෙනෙන විපරීතත්වය විසින් ඔහු යම් ආකාරයකට ‘ස්ථාවර’ කිරීමට උත්සහ කළ ඔහුගේ චිත්‍රපටය බරපතල ලෙස ‘අස්ථාවර’ වූ බව අපගේ නිරීක්ෂණයයි. කිසිවෙක් නෑසූ ප්‍රශ්නය නම් මෙම චිත්‍රපටය සඳහා මෙතරම් විචාර කන්දරාවක් ලියවුනේ මන්ද යන වැදගත් කරුණයි. වෙනත් විදිහකින් කිවහොත් ස්ත්‍රිය සඳහා ලෝකයේ මෙතරම් සාහිත්‍ය කෘති, කලා නිර්මාණ, කවි, සිංදු ලියවුනේ ඇයි යන කරුණම ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයට අදාළ නොවේද යන කරුණයි.ඉහත විවිධ රසාඥතා තුලනය කිරීම (balance of taste) ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යෑමේ මූළික කොන්දේසියකි. ඉතාම සරළ උදාහරණයක් ගතහොත් චම්පික රණවක සහ රාජිත සේනාරත්න එකම කැබිනට්ටුවක තබාගෙන සිටීමේ ‘රස රහස’ ලිබරල් නායකයන් ප්‍රගුණ කර ඇත. අන්ත ජාතිවාදීන් සහ බලතල බෙඳීම සඳහා පක්ෂ කොටස් පමණක් නොව නිර්වරණ ජනතා විමුක්ති පෙරමුණද ආශක්ත කරගැනීමට හැකි අයුරින් රසවිඳීම සඳහා ඉහත ලිබරල් සුපශාස්ත්‍රය විසින් පිසිණ ලද කාටත් සතුටින් අනුභව කළ හැකි මෙනුව (menu) කොතරම් ජනප්‍රිය දැයි සිතා බලන්න.
හැමෝම ඉන්නේ සතුටින්. හැමෝටම වාහන බලපත්‍ර ලැබේ. දේශපාලන ව්‍යාපෘති සඳහා මුදල් ලැබේ. විරුද්ධ මතධාරීන්ට සිරගෙවල් ලැබේ. වාහන අනතුරු සිදු වුවද පොලිසිය ඒවා ලොකුවට ගණන් ගන්නේ නැත. හැමෝම යම් ආකාරයකට සමස්ථතාවාදී ව්‍යුහයක් කරා ගමන් කරමින් ඇත. රසයන් තුළණය කිරීමේ ගුප්ත ශාස්ත්‍රය අවසානයේ කෙළවර වන්නේ එහි විරුද්ධාභාෂය වන සමස්ථතාවාදී ව්‍යුහයක් කරා ඉඩ විවර කර ගැනීමෙනි.(මෙම රසඥතා තුළණය මහාචාර්ය ජයදේව උයන්ගොඩ වටහා ගන්නේ සංවරණය වීම හා තුළණය වීමක් ලෙස වීම කණගාටුවට කරුණකි ) අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන සදාචාරාත්මක තරගකාරී දේශපාලනය යනු යහපත් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවිය හැකි කලාපයක් ලෙස තේරුම් ගැනීම (දෙදෙනාම සිටින ලිබරල් දේශපාලන ව්‍යුහය අමතක කර ) බහුත්වවාදය තුළ ඇති සමස්ථතාවාදී දේශපාලන අවධානම අව-නිශ්චය කිරීමකි. සියල්ලන්ගේම රසඥතාවය සඳහා ඉඩකඩ දෙන සමතුළිතය විසින්ම එම සමතුළිතය වි-සමතුලිත කරමින් සමස්ථතාවාදය (totalitarianism) හිස ඔසවයි.
‘ඇගේ ඇස අග’ සම්බන්ධයෙන් ඇති වී ඇති විචාර බාහුල්‍ය සහ අර්ථකථන බාහුල්‍ය විසින් සිදු කරනු ලබන බරපතල දෘෂ්ඨිවාදී වෙනස කුමක්ද යන ප්‍රශ්නය අපට මීළගට ඇසීමට සිදුවන්නේ බොහෝ විචාර පංති විභේධනය මත එම විචාර පදනම් නොකිරීම නිසා ඇති වූ ශුන්‍යභාවය පදනම් කරගෙනය. පශ්චාත් නූතන යුගයක අධි- ක්‍රියාකාරීත්වය මෙන් (අතිරික්ත ක්‍රියාකාරීත්වය) සාහිත්‍ය විචාරය තුළ ද අධි-අර්ථකථනය (අතිරික්ත අර්ථකථනය) දක්නට ලැබෙයි. දෙවන ලෝක යුද්ධයයෙන් පසුව දක්නට ලැබුණු මෙම අවසානයක් නැති බහුත්වවාදී විචාර විධික්‍රමය (infinite plurality of interpretation)  විසින් කිසිදු දෘෂ්ඨිවාදයක් හෝ අර්ථයක් හෝ න්‍යායක් හෝ විශ්වාසයක් (faith) බලා සිටින ප්‍රේක්ෂකයා වෙත ප්‍රක්ශේපණය නොකරයි. එසේ නොකරන අතරේම තම තමන්ට කැමති ලෙස එය අර්ථකථනය කරගන්නා ලෙස ඉල්ලා සිටී. එනම් එහි තාර්කික අවසානය මායාවකට ගමන් කරවයි. (infinite plurality is finally an illusion) හරියටම එය ගැහැණිය නැමැති ප්‍රපංචයට ඇති අරුත් බාහුල්‍ය වනාහි ඇය තුළ අර්ථයක් නැත යන්න වසා සිටින කඩතුරාව  වැනි වේ යන්න මෙහි අර්ථයයි. එනම් කලා කෘතිය අර්ථ ගැන්වීමට නම් හරියටම එහි පරස්පරය විරුද්ධාභාෂී ලෙස එයට මුණ ගැසිය යුතුය. එක් එක් පාර්ශවීය වස්තු සමඟ අනන්‍ය වීමෙන් හා එම අනන්‍යතා අර්ථකථනය කිරීමෙන් පශ්චාත් නූතන විපරීත විෂය කරනු ලබන්නේ ප්‍රධාන පරස්පරතාව මඟ හැරීමයි.
මෙම පරස්පරතාවය මුණගැස්වීම පිණිස (encounter the real) අප විසින් මෙම චිත්‍රපටය දර්ශනගත වූ කාලයේම අපගේ ප්‍රතිචාරය දයලෙක්තික ලෙස සම්මුඛ කිරීමට උත්සහ කළ ද එය එතරම් බැරෑරුම් ලෙස ගත් බවක් අපට පෙනුනේ නැත. ඒ වෙනුවට සිදු වූයේ තව තවත් විචාර ( අපගේ විචාරය මග හරිමින් ) බාහුල්‍යකට චිත්‍රපටය (අධ්‍යක්ෂවරයාගේද  අනුග්‍රහය ඇතිව )ගමන් කිරීමයි. එනම් ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය සත්‍ය පරස්පරතාවයන් මුණගැස්වීමට දැක් වූ අකමැත්ත (unwillingness) විසින්ම එය පශ්චාත් නූතන තලයකට ගමන් කර ඇත. නැත්නම් සත්‍යයන් බාහුල්‍යන්ගේ කලාපයකට ගමන් කර ඇත. හරියටම කිව හොත් සියලු විචාරකයන්ට ගැළපෙන සියඵ දේශපාලන මතවලට ගැළපෙන (ස්ත්‍රීවාදී, පශ්චාත් නූතනවාදී, ලිබරල්වාදී බුර්ෂුවා, වාමවාදීන්) චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම මතින් අශෝක හඳගම සත්‍ය ලෙසින් ඔහුගේ ෂොනරය තුළ ඉතා හොඳ වෙළඳ භාණ්ඩයක් මෙවර තනා ඇත. හැමෝම හොඳ කියයි. හැමෝම ෂෝක්ය. අවම මට්ටමින් මෙවර ජාතීවාදීන්ගේ ‘පිටරට සල්ලි’, ‘එන්.ජී.ඕ’ වැනි විවේචනවත් ආවේ නැත. සැමගේම ආශාව නිරූපණය කිරීම සමස්ථතාවාදයේ මූළික අභිනය වේ.
වෙනත් වචනයකින් කිව හොත් මෙම චිත්‍රපටය විසින් ලාංකික දේශපාලන – ආර්ථිකය තුලිතකරණය කරනු ලැබ ඇත. එයට තවදුරටත් සංස්කෘතික විරෝධතා ඉස්මතු වන්නේ නැත. ආගම, බුර්ෂුවා පවුල, ලිංගික නිදහස, අධිපති සංස්කෘතිය යන ප්‍රවේශයන් ඔස්සේ පවත්නා එක තැන පල්වෙන, පරාධීන සම්ප්‍රදායන් හෝ වික්ටෝරියානු යල් පැන ගිය වටිනාකම් හෝ මිනිස් විමුක්තියේ නාමයෙන් විචාරකයින් විසින් මෙම චිත්‍රපටය හරහා ප්‍රශ්න නොකිරීමට ගිවිසුම් ගතව ඇත. එනම් ආසියාතික නිශ්ක්‍රීය කොගිටෝවට හරියටම ගැළපෙන චිත්‍රපටයක් හඳගම නිශ්පාදනය කිරීම තුළ සියඵ විචාරකයින් ප්‍රබුද්ධවාදීන්, මතවාදීන් නිශ්ශබ්ද කරනු ලැබ තිබීම හඳගමගේ පශ්චාත් නූතන ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය තව තවත් ත්‍රීව්‍ර වනුයේ එය විශ්වීය පංති අරගලය හා පංතීන්ගේ චලනය පිළිබඳ කතිකාව නිශ්ශබ්ද කිරීම හා සමඟම තව තවත් සුවිශේෂතා කලාප ඉස්මතු කිරීමට අවශ්‍ය ඉඩකඩ ද සම්පාදනය කිරීම ඔස්සේය. සරළ උදාහරණයක් ලෙස ස්ත්‍රිය යන්න සැළකිය හැක. පංති අරගලය තුළ නිර්ධන පංතිය යන විශ්වීය රූපකය තේමා කරගනිමින් චින්තනය ස්ත්‍රිය යන සුවිශේෂීතාව ඉස්මත්තට රැගෙන එනු ලබන්නේ නැත. එම සුවිශේෂතා යනු ( ඉස්මතු වන්නේ නම් ) මහේක්ෂ අරගලයක නොහැකියාව සඟවාලනු පිණිස ගෙන එනු ලබන ව්‍යාජ අවශ්‍යතා වේ යන්න අද්‍යතන වාමවාදී ස්ථාවරයයි. මෙම සුවිශේෂතා සඳහා එක අතකින් සෘජු විසඳුම් විමුක්ති දේශපාලනයට සම්පාදනය කළ නොහැකිය. (එය පාලිත තෙවරප්පෙරුම මතුගම ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරය එළවනවා මෙන් පහසු හෝ සෘජු නැත ). මෙම පශ්චාත්-දේශපාලන සාරය ගැන අපි මෙසේ සිතමු. මේ දිනවල ඉතාම අමාරු ජීවිතයක් ගතකරන්නේ ගැබිනි මව්වරුන්ය. රැකියාවේ ප්‍රශ්න, ආදායම් ගැටඵ, ස්වාමියාගේ ගැටඵ, ප්‍රවාහන ගැටඵ, ආරෝග්‍යශාලා ප්‍රශ්න යනාදිය පිළිබඳ විමසීමේදී ස්ත්‍රීවාදිනියකට ඉස්මතු කළ හැකි බරපතල ගැටලු ගණනාවක් ඇත. මේ ගැටලුව ශාශ්ත්‍රීය තලයකදී කොටස් ලෙස අන්ශු වලට කඩනු ලැබේ. මොනරාගල පළාතේ ගැබිනි මව්වරුන්. නැත්නම මොනරාගල පළාතේ වයස 20 ට වැඩි වයස 30 ට අඩු ගැබිනි මව්වරු. පළමු දරුවා සඳහා ගැබිනි වූ මව්වරුන්. දෙවන දරුවා සඳහා ගැබිනි වූ අය. ද්‍රවිඩ වාරයක පදනමක් ඇති, මුස්ලිම් ගැබිනි මව්වරුන් යනුවෙන් ඉතාම කුඩා ක්ෂුද්‍ර තලයක් දක්වා මෙය සුවිශේෂගත කළ හැක. ස්ත්‍රියද මෙසේ ක්ෂුද්‍ර තලයක හැදෑරිය හැක. තරුණ ස්ත්‍රිය ( චිත්‍රපටයේ රිතිකා වැනි ) හෝ උසස් අධ්‍යාපනය ලබන, ගෘහණියන්, විශ්‍රාම ලැබූ ස්ත්‍රීන්, පරිණත ස්ත්‍රීන්, වියපත් ස්ත්‍රීන් යනුවෙන් මෙය තව තවත් ක්ෂුද්‍රකරණය කළ හැකිය. මෙය ශාස්ත්‍රීය අධ්‍යනයන් විසින් කරනු ලබන වර්ගීකරණයකි. විමුක්ති දේශපාලනයට මෙම වර්ගීකරණයන් වෙනුවෙන් කළ හැකි දෙයක් නැත.
නමුත් වඩ වඩා මෙම සුවිශේෂයන්ගේ ගැටඵ ඉස්මත්තට ගෙන ඒමේ දී මගහැරෙන්නේ සැබෑ දේශපාලන සාර්වත්‍රිකයක් පිළිබඳ රූපකයයි. එනම් පංති අරගලයේ අවශ්‍යතාවය නම් විශ්වීය ක්‍රියාව පිළිබඳ අප තුළ ඇති ‘විශ්වාසය’ මෙම සුවිශේෂතා විසින් පලුදු කරයි. ලිබරල් ස්වාමියා කරනුයේ මෙම සුවිශේෂී කණ්ඩායම් වල ‘දුක්ගැනවිලි’ පිළිබඳව ගණුදෙනු කිරීම සහ සම්මුතිගත (compromise) වීමයි. අවශ්‍ය නම් තරුණ ස්ත්‍රියගේ ලිංගික රූපය නිල් චිත්‍රපට ආකෘතිය හා සම්බන්ධ කරමින් නැතිනම්, වියපත් ස්ත්‍රියගේ ලිංගිකත්වය බුදුන් වැදීම නම් ‘නිරීක්ෂය’ තුළට හෝ  පන්සලේ ස්ත්‍රිය ‘දඩුවම නැමැති නිරීක්ෂය’ තුළට හෝ අදළ කරමින් අපට ස්ත්‍රිය පිළිබඳ කතිකා කලාපයක් නිෂ්පාදනය කරගත හැකිය. බැලූ බැල්මට නැව්ම් ගතියක් ගෙනදෙන මෙම අර්ථකතනය සැබෑ පරස්පරතාවයන් මගහරිනු ලබයි. සත්‍ය වශයෙන් ගත්විට බටහිර විශ්ව විද්‍යාල හා ශාස්ත්‍රීය කලාපයන් වල අධිපති කතිකාව මෙය වන අතර එම නිරීක්ෂයන් තවමත් සුවිශේෂයන් හඹා යයි. වරෙක එම බටහිර කතිකාවන් ‘තිරසාර සංවර්ධනය’ රැගෙන එන අතර වරෙක ‘ප්‍රජා සංවර්ධනය’ හා ‘සවිබල ගැන්වීම’ අධිනිශ්චය කරයි. වරෙක එය ‘ක්ෂුද්‍ර මූල්‍ය උපක්‍රම’  අත්හදා බැලීමට අණ කරන අතර තවත් විටෙක ‘ග්‍රාමීය බැංකු සංකල්පය’ දමා ගසයි. මේ එක් එක් කලාප වල එක් එක් අවධීන්හි සුවිශේෂතා ප්‍රගුණ කළ ආචාර්ය උපාධි ලංකාවට ආගමනය වන අතර ඉහත ප්‍රවණතාවය බටහිර ඇකඩමියාව අත් හළ මොහොතේම දේශීය උගතුන් තම ආචාර්ය උපාධිය සමඟම වාෂ්ප වී යයි. සමස්ථ චිත්‍රය ගැන ජනමාධ්‍යකරුවෙක් අසන ප්‍රශ්නයකට හෝ ඔවුන්ට පිළිතුරු දී ගත නොහැකි වේ. බටහිර විසින් අපට කර ඇති එක් හානියකි ඉහත දැක්වුවේ.
‘ඇගේ ඇස අග’ පදනම් වන්නේ සුවිශේෂ තත්වයක් ලෙස දැක්විය හැකි පෞර්ෂයක් මුහුණ දෙන අත්දැකීමක් පදනම් කරගෙනය. අන් අවස්ථාවන් මෙන් නොව මෙම චිත්‍රපටයේදී දීප්ති සහෝදරයා  චිත්‍රපටය විචාරය කිරීමෙන් වැළකී සිටි අතර එම හිඩැස පිරවීමේ උත්සාහයන්ගේ බාහුල්‍යය අපට දැකගත හැකි විය. හැමෝම විසින් දීප්ති මේ දක්වා නිශ්පාදනය කර ඇති භාෂාව උපයෝගී කරගනිමින් එය අර්ථකතනය කිරීමට උත්සහ කළ අතර එය එක්තරා දුරකට යහපත් ප්‍රවණතාවයකි. එම තත්ත්වය පවා අනන්‍යතා නිශ්පාදනය කර ගැනීමේ පශ්චාත් නූතන අභිනය හා සම්භන්ධ වූ බැවින් පෙරළා එම ගතිකයද ප්‍රධාන පරස්පරතා විශ්ලේෂණය කරගැනීමේ අවශ්‍යතාවය මගහරින ලදී. මෙම මගහැරීම සාමාන්‍ය ලිබරල් ධනවාදී සාර්වත්‍රික විපරිතභාවය හා නෑකම් දක්වයි. එසේ අප කියන්නේ මෙම චිත්‍රපටය ගෝලීය නව- අධිරාජ්‍යවාදය විසින් දේශීය රාජ්‍යයන් තව තවත් විගලිත කරන්නේ කෙසේද, නව වහල්භාවයන් ජනිත කරන්නේ කෙසේද, එම තත්වය අතික්‍රමණය කිරීම සඳහා චිත්‍රපටය ඉදිරිපත් කරන දෘෂ්ඨිමය පසුබිම කවරක් ද, කිසිදු විචාරයක් වෙතින් අප වෙත ගෙන ඒම මගහරින ලද බැවිණි. ගෝලීය අධිරාජ්‍යවාදයේ ලිංගික රූපකය විසින් වසඟකාරී ලෙස දේශීය නිශ්ක්‍රීයත්වය පොළබවනු ලැබීමට එරෙහිව අප බුර්ෂුවා පවුල වෙතට නැවත කොගිටෝගත විය යුතුද නැත්නම්, නව විමුක්ති රූපකයක් තුළ එහි ස්වාමීත්වය නැවත අත්පත් කරගත යුතු ද ?
කියවන්න,
Samir Amin, The implosion of global capitalism : The challenge for the Radiacl left.
මාවෝ විසින් න්‍යායගත කරන ලද බටහිර අධිරාජ්‍යවාදය සහ පෙරදිග යටත් විජිතයන්ගේ වහල්භාවය පිළිබඳ පරස්පරතාවය ජිජැක්ට පෙර හදුනාගත් චින්තකයා Samir Amin වේ.
මෙම නව අභියෝගය විශ්ලේෂණය කරගත යුතු ආකාරය පිළිබඳ ඉතාම ගැඹුරු විප්ලවීය මෙන්ම යතාර්ථවාදී (විද්‍යාත්මක ) විධික්‍රමය හඳුන්වා දෙන ලද්දේ මාවෝ විසිනි. සමාජවාදය සඳහා වන සංක්‍රාන්ති සමයකදී අනුගමනය කළ යුතු ප්‍රතිඵලාත්මක උපක්‍රම මාවෝ විසින් අපෝහනය කර ඇත. ඒ සඳහා යතාර්ථය තුළ ඇති අවි නම්, මාවෝට අනුව, මිනිසුන්, ජාතිය හා රාජ්‍යයි.
(Samir Amin)
කෙසේ වුවද මෙම සුවිශේෂයන්ගේ දේශපාලනය සැබෑ විමුක්ති මතධාරියකු හට මෙලන්කොලික වීමට හේතුවක් නොවේ. බිය වීමට කාරණාවක් ද නොවේ. මෙම තත්ත්වය බටහිර පුරාම මෙන්ම පශ්චාත් යටත් විජිත ලෝකය පුරාමත් පැතිරී ඇති තත්ත්වයකි. එම නිසා ප්‍රභා මනුරත්න මහත්මියගේ හඩපටය අප වෙබ් අඩවියේ පළවීම කිසිසේත් තක්කු මුක්කු වීමට අවැසි තත්ත්වයක් නොවේ. එය සමඟ සත්‍ය වගයෙන්ම කළ යුත්තේ සංවාදශීලී වීමයි. අප කළේ එයට අවශ්‍ය අභිනය බටහිර අර්ථයකින් සාර්වත්‍රික ලෙස සකස් කිරීමයි. ඇයගේ ඉංග්‍රීසි දැනුම ගැන අපට ගැටඵවක් නැත. අරගලය තුළ දී විමුක්ති විෂය නිර්මාණය කිරීමේ කාර්යේදී ඇයගෙන් ඉංග්‍රීසි  ඉගෙන ගැනීමට සිදුවුවහොත් අප ඊට පැකිළෙන්නේ ද නැත. අද අරගලයේ කොන්දේසි තුළ ඉංග්‍රීසි නොව ජර්මන්, ප්‍රංශ, රුසියන් සහ චීන භාෂාව ද හැදෑරිය යුතු ගෝලීය නිමේෂයක අප ජීවත් වෙමු. පස්සට වී ගුළි ගැසී සිටීමට මෙය අවකාශය නොවේ. ගොත ගස ගසා විවාද කළ නොහැකිය. නැවත වරද්දා ගැනීමටද නොහැකි අතර අප මේ සුවිශේෂයන් විමුක්ති අරගලයේ සාර්වත්‍රික බව තුළ පරාජය කරමු!
( ආශ්‍රිත ග්‍රන්ථ මෙවර පළ නොකෙරේ).  

ඈත අභ්‍යවකාශයේ අපෙන් දුරස්ථ ව සිටින කෙනෙකුට අප ජිවත් වන ලෝකය කෙසේ පෙනෙනු ඇත්ද ? වෙන්වූ සිමා නොමැති, ගැහැණු පිරිමි වෙන්කර ගත නොහැකි, ලිංගිකත්වයන් නොපෙනෙන එකම ලෝකයක් ලෙස පෙනෙනු ඇත. සුවිශේයන් නොපෙනෙනු ඇත . දීප්ති දුරස් ලෙස බලන්නට උත්සහ කළ දෙය සහ අප පරිකල්පනය කරන උතෝපිය ලෝකය එයයි. U2 නම් විශිෂ්ට රොක් ගායක කණ්ඩායම ගායනා කරන ලස්සන දවසක් (A Beautiful Day) නම් පහත ගීතයේ තේමාව එවැන්නකි . 

ඔබේ අදහස කියන්න...