ගෝලීය දේශපාලන ක්‍රියාවලිය තුළත්, ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින සුවිශේෂ දේශපාලන ක්‍රියාවලිය තුළත් එක් දෙයක් සුපැහැදිලිය. ආන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක් විසින් 70 දශකයේ දී පුරෝකථනය කරන ලද සත්‍යයක් අපට මෙහි දී අදාළ කර ගත හැකිය.

         ඔහුට අනුව; ලතින් ඇමරිකාවේත්, අප්‍රිකාවේත්, ආසියාවේත් ධනේශ්වර සංවර්ධනය ‘ලුම්පන් සංවර්ධනයක්’ (Lumpen Development) දක්වා ඌනනය වෙයි. මින් අදහස් වන්නේ, සංවර්ධන මාවතේදී තවදුරටත් ස්වාමිවරුන් අවශ්‍ය නැති ඓතිහාසික තත්ත්වයක් වර්ධනය වී ඇති තතු යටතේ තමන්ගේ පන්ති අභිලාෂයන් තමන් විසින්ම ඉෂ්ට කර ගැනීමයි. එහිදී, රාජ්‍ය යාන්ත්‍රණයේ මතවාදී සැකැස්ම මෙම නව ලුම්පන් සුළු ධනේශ්වරය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙය වීමට පටන් ගනී. 2005 වර්ෂයේ දී පටන් ගත් මෙම මතවාදී සැකැස්ම, 2015 දක්වා වර්ධනය වූ අතර එය 2015ට පසුව කිසිවෙකු ක්‍රමවත්ව වටහා ගත්තේ ද නැත.

              අද බොහෝ දෙනා ජෙරමි කෝබින්ගේ පරාජය පිළිබඳව මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් සිටියි. කෝබින්ගේ මෙහෙයුම අසාර්ථක වීමේ ගුරුත්ව කේන්ද්‍රීය ගැටලුව වන්නේ, ලුම්පන් බුර්ෂුවා පන්ති සාමාජිකයන්ගේ සමාජීය හැසිරීම් දේශපාලනිකව වටහා නොගැනීමයි. උදාහරණයක් ලෙස, බොරිස් ජොන්සන් යනු ප්‍රසිද්ධියේ තම සල්ලාලකම් ගැන මත ප්‍රකාශ කරන්නෙකි. ඔහු තම නිවස අසළදීම තරුණ කාන්තාවකට පහර දුන් කෙනෙකි. රාජ්‍ය අරමුදල් වලින් හිතවතියන්ට ණය මුදල් අනුමත කළ පුද්ගලයෙකි. නොම්බර් එකේ වාචාලයෙකි. කිසිදු ලැජ්ජාවක් නැති පුද්ගලයෙකි. කැමති තරම් බොරු කීමට රුසියෙකි. කෝබින්ට එරෙහිව ඔහු විසින් මාධ්‍ය වෙතට මුදාහරින ලද ව්‍යාජ පුවත් ප්‍රමාණය අතිවිශාලය. මේ සියල්ල එක් පසෙක තිබියදී, ඔහු ජාතික ආර්ථිකයක් සහ ස්වාධීන ආර්ථික මොඩලයක් ගැන ද කතා කරයි.  ඔහු වැනි වර්ගයේ ලුම්පන් මැද පාන්තික සාමාජිකයන් ඔහුගේ පිට ලේ එනතුරු කසන අතර පෙරළා ඔහුද තම මිතුරන් සඳහා එම කර්තවයම කරනු ලැබේ. අශ්ලීලත්වය, සල්ලාලකම සහ හිතට එන එන අදහස් පාලනයකින් තොරව එළියට ඇද බෑම යන ලක්ෂණ ඔහුගේ ආගමයි. 

           Brexit මර උගුලක හිරවී සිටින බ්‍රිතාන්‍ය වැසියාගේ මනෝභාවයට කදිමට ගැලපෙන්නේ, තමන් වැනිම දැඩි අවිනිශ්චිතභාවයක ගැලී සිටින බොරිස් ජොන්සන් වැනි වට්ටාඩියෙකු මිස තාර්කිකව සිතන, ශිෂ්ට සහ වැදගත් ලෙස ජීවත් වෙන ජෙරමි කෝබීන් වරගයේ මිනිසෙකු නොවේ. පරාජයේ රහස වන්නේ, බ්‍රිතාන්‍ය සාමාන්‍ය මිනිසාට අනන්‍ය විය හැකි පරමාදර්ශය කුමක්ද යන්න මිස වඩා යථාර්ථවාදියා කවුද යන්න නොවේ. එහිදී, හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සතපහකට වැදගත් දෙයක් වන්නේ නැත. බොරිස් ජොන්සන් නම් වලත්තයා ‍බ්‍රිතාන්‍ය සමාජයේ අවිඥානක බල රටාව නිරූපණය කරනවා නම් තවදුරටත් එතැන කතා දෙකක් නැත. ‘දෘෂ්ටිවාදය’ අන් සියල්ල අභිබවා ඉදිරියට පැමිණ ඇත. 2019 මැතිවරණයේදී දිලිත් ජයවීර, රෙනෝ සිල්වා සහ ටිරාන් අලස් නම් මාධ්‍ය අයිතිකරුවන් තිදෙනා හැසිරීම් පක්ෂයෙන් අපට පෙන්නුවේ ද අශ්ලීලත්වය පමණි. ඔවුන්ගේ පරිණත අශ්ලීලත්වය අසළින්වත් යන්නට යහපාලන මතවාදීන්ට හැකිවූයේ නැත. ශිරාල් ලක්තිලක වැනි මතවාදී බලයේ ශක්‍යතා ගැන නිසි විවරණයක් නැති පුද්ගලයන්ව, හක්කේ තබා සෙම ඇරීමට දිලිත් ජයවීරට ගතවූයේ සුළු කාලයකි. ලුම්පන් සුළු ධනේශ්වරයේ මෙම දේශපාලන හැසිරීම නිසා ශ්‍රී ලංකාව නව පරාධීන තත්ත්වයකට සහ නව ඌණ-සංවර්ධනයකට ඇතුල් වී ඇත.

              ඉහත නව පරාධීනත්වය සහ ඌණ-සංවර්ධන ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ පාදඩ බුර්ෂුවා පන්තිය සතු පන්තිමය හැකියාවන් පුළුල් කිරීම සඳහා ව්‍යාජ දේශපාලන සංස්කෘතියක් නව මාධ්‍යයන් හරහා (Facebook වැනි ජංජාල හරහා) ඉපිල්ලෙමින් පවතියි. පසුගිය කාලය පුරාවටම අපට දක්නට ලැබුණු සංසිද්ධියක් වන්නේ, ලෝක මට්ටමෙන් සිදුවන වාම බුද්ධිමය න්‍යායන් ලංකාවේ යල්පැන ගිය වාම සංවිධානවල සහාය ද සහිතව ලුම්පන්කරණයට භාජනය කිරීමයි. මෙය, මිනිස් බුද්ධිය පාදඩකරණය කිරීමේ අලුත්ම ක්‍රමවේදයයි. වාම බුද්ධියේ නව ශක්‍යතාවයන් තක්කඩිකම හරහා මංකොල්ල කන මෙම නව ක්‍රමයට, ජවිපෙ පවා තම බංකොලොත්භාවය ඉදිරියේ ඉඩ දී ඇත. පසුගිය දිනෙක, ජවිපෙ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළ රැස්වීමක සංවාදය මෙහෙය වීමට තෝරාගෙන තිබුණේ, 2007 වැනි යුගයක වාමාංශික මෙහෙයුම් කරුවෙකුගේ බිරිඳට නිල් වෙන්නට පහරදුන් අවිස්සාවේල්ල පැත්තේ හොරෙන් වැලි ඇද්ද පුද්ගලයෙකි. අද මේ පුද්ගලයා ‍ප්‍රජාතන්ත්‍රවාදියෙක් සහ අහිංසකයෙක් ලෙස අභිෂේක කරවා ඇත. ලිංගික සබඳතා පවත්වන විට, ස්ත්‍රීන්ට දිගට හරහට පහර දෙන පුද්ගලයෙකු කතා කරන තැන ස්ත්‍රීවාදී ‘සිමොන් දි බුවාර්’ කෙනෙක්ද කතා පැවැත්වීම දේශපාලනය බොරිස් ජොන්සන්කරණය වීමේ එක් ලක්ෂණයකි. ජනතා විමුක්ති පෙරමුණ මෙම පාරේ තව දුරක් ගමන් කරන්නේ නම් ඔවුන්ද ලාංකික පාදඩ මැද පන්තිකයාගේ අවිඥාණක බල රටාවට සමීප වනු ඇත. ඡන්ද ගොඩ වැඩි කර ගැනීම ඇත්තේ, ලුම්පන් පන්තියේ ගති ලක්ෂණ අවශෝෂණය කර ගැනීම තුළයි.

                                          ලේ එන තුරු පිට කසා ගැනීම ප්‍රගුණ කළ තවත් පුද්ගලයෙකු මේ මෑතකදී අනුවර්තනය කළ (තම සිතැඟි පරිදි පොත් පරිවර්තනය කිරීම) පොතක් ගැන දේශනයක් සඳහා කුප්‍රකට තක්කඩියෙකු සහ කුම්මැහියෙකු වන ජගත් වීරසිංහව යොදාගෙන ඇත. ‘‘සමපේක්ෂණ යථාර්ථවාදය” නොව චිත්‍ර කලාවේ ප්‍රකාශනවාදය ගැන පවා න්‍යායික පරිචයක් නැති පුද්ගලයෙකු යොදාගෙන ‘දර්ශනය’ ගැන කතා කිරීමට උත්සාහ කිරීම ‘උකුණන් ලවා ගල් ඇද්දවීමට’ දරන උත්සාහයකි. එකිනෙකාට වංචා කර ගනිමින්, එක එකාව කඩේ අරිමින් මේ කරන්නේ තක්කඩිකමක් බව සියලු දෙනාට ඇගිල්ලෙන් ඇන පෙන්විය යුතු නැත. වෙනත් රටක නම්, කිසියම් ශාස්ත්‍රීය කෘතියක් පරිවර්තනය කරන විට ඒ සඳහා ඇකඩමික් සංස්කාරකවරයෙකු යොදාගැනේ. වීරසිංහ තමන් කතා කරන්නට යන පොත නොකියවා, ඒ ගැන දේශනයක් කිරීමට නියමිතය. හැකි නම්, අදාළ පොතේ පිටු අංක 85හි තිබෙන පොතේ පළමු ඡේදය තුළ ම ඇති පරිවර්තන දෝෂය ගැන වීරසිංහ කියන්නේ කුමක්ද? එබැවින්, පොතක් නිසා නව විරුද්ධාභයන් වර්ග තුනක් ජනනය වී ඇත.

1) මුල් කෘතියේ නැති දේවල් ”පරිවර්තන කෘතිය” තුළ ඇති නිසා කර්තෘ යනු කවුද?                      

2) තමන් කියවන්නේ නැති ”පොත්” ගැන කතා කිරීමේ අලුත්ම විලාසිතාව.

3) සහභාගි වන්නන්ගේ පැත්තෙන් ගත් විට, ඔවුන්ද කියවා නැති සහ කියවන්නට අදහස් කරන්නේද නැති පොතක මොනවා හෝ ඇතැයි විශ්වාස කිරීම. ඒ අනුව,  කෘතියේ අන්තර්ගතය හුදු කල්පිතයකි. ඒ අනුව, තමන්වත් විශ්වාස නොකරන දේවල් කව්රුන් හෝ විශ්වාස කරනු ඇතැයි අනුමාන කරනු ලැබේ. එම විශ්වාසය වාස්තවික විශ්වාසයකි. තමන් වෙනුවෙන් පොත් කියවන්නෙකු හෝ පරිවර්තකයෙකු ඇතැයි අනුමාන කිරීම. මේ අනුව, දැනුමට අදාළ නව-සමාජ සම්බන්ධය අවිඥානික විශ්වාසයකි.                                                    

 තමන්ගේ හිතවතෙකුට බත් පැකට් එකක්වත් මිලට ගෙන නොදෙන මසුරෙකු වූ ජගත් වීරසිංහ, මහා ග්‍රන්ථයකට මූල්‍ය අනුග්‍රහය සපයා ඇත්තේ මන්ද? පළමු හේතුව වන්නේ, නොතේරෙන දේවල් වලට ශ්‍රී ලංකාවේ ඇති ඉල්ලුමයි.  දෙවැනි හේතුව වන්නේ, තමන්ගේ ජොන්සන් වර්ගයේ අශ්ලීල දේශපාලනය ගොඩදැමීමට ඇති තැනක් ලෙස මිනිස් බුද්ධිය තෝරා ගැනීමයි. මේ සියලු වට්ටාඩියන්ට එරෙහි මතවාදී අරගලය අප නොකරන්නේ නම් වැලි හොරුන්, සල්ලාලයන්, පාදඩයන්, විපරිතයන් ලංකාවේ වාමාංශික සංස්කෘතියේ ප්‍රමුඛයන් වනු ඇත. 90 දශකයේ දී, වීරවංශ හෝ ඩලස්  සංකේතීයව අද සිටින තැනට එනු ඇතැයි එවකට ජීවත් වූ කිසිවකු සිතුවේ නැත. 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. කෝබින් ගේ පරාජය ගැන එතරම් සරලව ලිවිය නොහැකි වුනත් මේ විශ්ලේෂණයට තරමක් දුරට එකඟ වෙන්න පුළුවන්. ජගත් වීරසිංහ කියන්නේ කවුද කියල නම් දන්නේ නැහැ

Comments are closed.