අප ක්‍රියාත්මක වන දේශපාලන සංවිධානය ආරම්භ වුයේ, 1995 වසරේදී පමණ ය. එය සමාජගත වූයේ, ‘මාතොට’ නම් සඟරාව පදනම් කරගෙන ය. විධිමත් අලෙවිකරණ ජාලයක් පැවති ‘මාතොට’ සඟරාව එහි උච්චතම අවදියේ දී රටපුරා පිටපත් 7500ක් පමණ අලෙවි විය. ඉන්පසු, නව සහශ්‍රකයේ දී X දේශපාලනය සමාජගත වූයේ, ‘ලන්ඩන්’ සඟරාව මාධ්‍ය කොටගෙනය. වසර 2001 සිට 2004 වර්ෂයේ අග දක්වා එහි ජීව කාලය පැවතිණි. 2004 වන විට ‘ලන්ඩන්’ සඟරාවේ අලෙවි වූයේ පිටපත් 750ක් පමණ ය. තාර්කිකව ගත් කළ, වසර 95-2004  පමණ දශකය තුළ අපගේ අදහස් පිළිබඳව දැන සිටියේ පුද්ගලයන් 1500ක් පමණ පිරිසක් ය. දෙමළ සහ මුස්ලිම් ජනයා මේ අතර කීයක් සිටියා දැයි අපි නොදනිමු.

                    2004 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ගතවූ කාලය තුළ එහි නිර්මාතෘවරයාගේ දෘෂ්ටිකෝණයෙන් ගත් කළ ‘සංවිධානය’ ශිශිර නිද්‍රාවට පත් වූ යුගයකි. එම යුගය තුළ දී සිදු වූයේ, ‘සංවිධානයේ’ කීර්ති නාමය විවිධ පුද්ගලයන් විසින් තම පුද්ගලික අරමුණු සඳහා ගසා කෑමයි. 

                   සංවිධානය තුළ ම සිටි සහ සංවිධානයෙන් විවිධ ආභාෂය ලැබූ අය 2005  වසරේ සිට 2014 දක්වා විවිධ පුද්ගලික රූපවාහිනී නාලිකා සහ පත්තර කතුවරුන් අල්ලාගෙන තම පුද්ගල සේවනය සඳහා සංවිධානයේ අක්ෂර වින්‍යාස පාවිච්චි කරන ලදී. ඒ පුද්ගලයන් කවුද සහ ඔවුන් කළ හානිය පිළිබඳ තක්සේරුවක් අපට ඇත. අපට විරුද්ධව නිර්මාණාත්මක සතුරන් නිෂ්පාදනය වූයේ නම් එය අපේ පැත්තෙන් ප්‍රතිපෝෂණය සඳහා හොද පදනමකි. නමුත් ඒ වෙනුවට සිදු වී ඇත්තේ, බුද්ධිමය පෞරුෂයක් නැති අඳබාලයන් පිරිසක් බිහි වීමයි. මේ අඳබාලයන් නිසා සිදු වූයේ, අප විසින් ඉදිරිපත් කළ පැහැදිලි සංකල්ප ව්‍යාකූල වීම පමණි.

                       සංවිධානයේ පැත්තෙන් 2004 සිට 2014 දක්වා සිදු වූ තවත් ආශ්චර්යයක් විය. නම්, ගම් සහ කිසිදු කීර්තිනාමයකින් තොරව විශාල පිරිසක් හුදෙකලාව සහ සංවිධානාත්මකව සංවිධානය ගොඩ දැමීම සඳහා වැඩ කරන ලදී. විශේෂයෙන්ම, 2015 සිට අද දක්වා සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමේ දී නම්, ගම් නොකියා විශාල පිරිසක් මහත් වෙහෙසක් දරා වැඩ කරන ලදී. මේ යුගයේදී පවා තවත් සමහරු අමාරුවෙන් ගොඩ නඟන ලද දේ ගසා කන්නට ද උත්සාහ කරන ලදී. මේ යුගයේ දී පුද්ගලවාදීන්ව විනාශ කිරීමට බාහිර බලවේග අවශ්‍ය නැත.

                    2020 කොරෝනා යුගය වන විට, සංවිධානය සහ එහි නායකත්වය ගැන ලක්ෂ ගණනින් දන්නා ප්‍රමාණයක් බිහි වී ඇත. මෙම ලක්ෂ ගණන යනු, පසුගිය වසර 15ක කාලය තුළ සංවිධානය වෙනුවෙන් වැඩ කළ නිර්නාමිකයන්ගේ ශ්‍රමය යි. මේ ලක්ෂ ගණනක ජනයා ගැන 2004 ට පෙර සිටි සංවිධානය විනාශ කිරීමට ඕනෑම බිහිසුණු  දෙයක් කළ තක්කඩින් කිහිපදෙනෙකු අලුත් ප්‍රවාදයක් ගොඩනඟා ඇත. “අලුතෙන් අපගේ ප්‍රවාදයන් සමඟ එකතු වූ පිරිසට පැරණි X  කණ්ඩායම ගැන අවබෝධයක් නැත” යන්න ය. පැහැදිලිවම එකක් කිව යුතුය. අප මේ අද වන විට තනා ඇති ‘සංවිධානයට’ පැරණි X කණ්ඩායම කිසිදු සම්බන්ධයක් නැත. මේ සංවිධානය අලුත් එකකි. එහි සංකල්ප රාමුව ද අලුත් එකකි. මේ අලුත් සංකල්ප රාමුව ගැන පැරණි X සාමාජික සාමාජිකාවන් කිසිවක් දන්නේ ද නැත. ඒ නිසා, අලුතෙන් බිහි වී ඇති අලුත් ‘X ජනයා’ ජනයා ගැන ඔප්පු ලිවීමට හදිසි විය යුතු නැත. එය අප කළ දෙයක ඵලයක් වන අතර එහි උරුමය අප සතු ය.  වැරදි නිවැරදි කර ගැනීමට මිස අන් කිසිදු හේතුවකට X කණ්ඩායම අදාළ නැත.

                      සංකල්පීය පැත්තෙන් ගත් කළ, තත්ත්වය වඩා බරපතලය. ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින් ගත් කළ ‘තර්ක ඥානය’ සමඟ එක්ව ධනවාදය ගමන් කළ යුගය අහවර වී ඇත. ධනවාදය හෝ ප්‍රාග්ධනයේ තාර්කික ව්‍යුහය තවදුරටත් ප්‍රබුද්ධ හෝ විදග්ධ රටාවක් අනුගමනය කරන්නේ නැත. ‘තර්ක ඥානය’ යථාර්ථය වටහා ගැනීමට යාමේදී ආත්මය, දෙවියන් සහ විශ්වය යන කලාපවලට ඇතුළු වීමේ දී පාරභෞතික නිපදවනවා මිස යථාර්ථ ගවේෂණයක් සිදු නොවන බව මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ, එමෑනුවෙල් කාන්ට් විසින් ය. සරලව කිවහොත්, කාන්ට් විසින් ප්‍රකාශ කළ දෙය මෙසේ සාරාංශගත කළ හැකිය. ‘තර්ක ඥානයට’ වටහාගත නොහැකි ‘සත්තාව’ තර්ක ඥානයට අවශෝෂණය කිරීමට උත්සාහ දැරීම යනු අතාර්කිකත්වයට ඇතුල් වීමකි.

                 කාන්ට්ගේ දාර්ශනික අදහස ‘ධනවාදය’ වටහා ගැනීමට යොදන්නේ නම් නව සන්දර්භයක් මෙසේ දැක්විය හැකි ය. ගෝලීය මට්ටමින් 80 දශකය අවසන් වන විට, ‘ධනවාදය’ එහි වර්ධනය සඳහා ඒ දක්වා තම උත්පාදනය සඳහා යොදාගත් ‘තාර්කික ඥානය’ අතහැර දමයි. ඉන්පසු, සමාජ ක්‍රමය අනුගමනය කරන්නේ පාරභෞතික තර්කනයකි. තර්ක ඥානය පිළිබඳ විචාර තුනක් කාන්ට් විසින් ඉදිරිපත් කරන ලද්දේ 18 වන සියවසේ දී ය. එම විචාර තුන නැතහොත් තර්ක ඥානය උසාවියට ගෙනවිත් හරස් ප්‍රශ්න ඇසීම යනු, ජර්මානු විඥානවාදයේ සමකාලීන කියවීමයි. (නීතිය ආරක්ෂා කරන පොලීසිය විසින් නීතිය තම විනෝදය සඳහා යොදා ගැනීම අපට වටහා ගත හැක්කේ මෙම නැවත-කියවීම හරහා ය.)

                     සාරාංශගත කළහොත්, නූතන ගෝලීය ධනවාදය තවදුරටත් තර්ක ඥානය අනුගමනය කරන්නේ නැත. ඒ වෙනුවට, ගෝලීය ධනවාදය අනුගමනය කරන්නේ ‘විනෝදයේ තර්කනය’යි. මෙම ‘විනෝද තර්කනය’ පිළිබඳව ලංකාවේ වාමාංශිකයන්ට කිසිදු අවබෝධයක් නැත.

                      ලංකාවේ වාමාංශිකයන් ඊනියා ජනතාවකට යථාර්ථය පිළිබඳ නොදැනුම උදෙසා ‘දැනුමක්’ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරයි. ‘විනෝද වීම’ රාජකාරියක් වූ සමාජයක දී තර්ක ඥානය සතු යුක්තිසහගතභාවය අහෝසි වෙයි. එහි බාහිර අදහස වන්නේ, ‘බාහිර යථාර්ථය’ මියගොස් ආත්මීයතාවයෙන් මිනිසුන් මෙහෙයවනවා යන අදහසයි. තමන්ගේ බොස් තමන්ම වීම එහි පාරභෞතික කලාපය වේ.

                       එසේ නම්, ‘ප්‍රබුද්ධත්වය’ මාක්ස්වාදය සමඟ 21 වැනි සියවසේ දී යළි ගැට ගසන්නේ කෙසේ ද? තර්ක ඥානය ‘යථාර්ථය’ විශ්ලේෂණය කිරීම සඳහා පුනරීක්ෂණයකින් තොරව යොදා ගත හැකි ද? ‘දැනුම’ වෙනුවට ‘අවිඥාණක දැනුම’ විශ්ලේෂණය කරන මනෝවිශ්ලේෂණය ඉහත කී ප්‍රබුද්ධ ව්‍යාපෘතියේ කොටසක් වන්නේ කෙසේ ද? නූතන ධනවාදී උපරි-ව්‍යුහය වන්නේ, ජාතිවාදය යි. මේ පවතින ජාතිවාදය ද මුඩුබිමක ඵලයක් නොව මිනිස් අධ්‍යාත්මයේ ම ඵලයකි. ජාතිවාදය සමඟ ධනවාදය එක්සත් වී ඇත්තේ, මේ මංසන්ධියේ දී ය.

                         සමහර ‘සංකල්ප’ නැවත පුනරීක්ෂණය කළ යුත්තේ, තර්ක ඥානය සතු පාරභෞතික මානය නිරාවරණය කිරීමට ය. ‘Extimacy’ සංකල්පය අප නැවත විභාග කළ යුත්තේ මේ සන්දර්භයේ දී ය.

Party Team

++++++++++++++++++++++++++++++++++++++++++++++

 

Extimacy යනු කුමක් ද?

 

මනෝවිශ්ලේෂණ න්‍යාය තුළ extimite නමැති ප්‍රංශ වචනය මුලින් ම භාවිතා වන බව දැකිය හැක්කේ ජැක්ස් ලැකාන්ගේ VII වන සම්මන්ත්‍රණයේ දී ය. එම ප්‍රංශ වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත්තේ extimacy යනුවෙනි. ජැක්ස් ඇලෙන් මිලර්ගේ සිට ස්ලැවෝ ජිජැක් ඇතුළු විවිධ චින්තකයින් විසින් මෙම extimacy නමැති මනෝවිශ්ලේෂණ අදහස විවිධ මාන ඔස්සේ විග්‍රහ කර ඇත. ජැක්ස් ලැකාන්ගේ මූලික විග්‍රහයට අනුව extimacy යනු “intimate exterior“ නමැති අදහස යි. එය ඉතා සරල ලෙස “කුළුපග බාහිරත්වයක්“ යනුවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළ හැක. නමුත් extimite නමැති මනෝවිශ්ලේෂණ අදහස එතරම් සරල සිංහල අර්ථයකට ලඝු කළ නො හැකි බව ඒ පිළිබඳ වැඩි දුර අධ්‍යයනය කළ විට පෙනී යයි. මන්ද යත් ලැකාන් එම අදහස වර්ධනය කරමින් සඳහන් කරන්නේ අපට වඩාත් කිට්ටු ම දේ එක ම විට අපට වඩාත් දුරස්ථ ද වන බව යි. නමුත් ආත්මයට වඩා සමීප මෙම විසර්ජක බාහිරත්වය (ejaculatory exterior) ආත්මය තේරුම් ගන්නේ බාහිර දෙයක් ලෙස ය. ඒ අනුව ආත්මයට ඉතා ගැඹුරු ම සමීපතාවය (deepest intimacy) ආත්මයට පිළිඹිබු වන්නේ බාහිරත්වයක් තුළ ය. ජැක්ස් ඇලෙන් මිලර්ට අනුව interior නමැති ඉංග්‍රීසි වචනය ලතින් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට එක් වූ සාපේක්ෂ අදහසක් දනවන පදයක් වන අතර intimus යනු ඉතා උසස් ම තත්ත්වය (superlative) පිළිබඳ අදහසක් දනවන පදයකි. මෙම පදය, අභ්‍යන්තරයේ පවතින ගැඹුරු ම ස්ථානය යන අරුත දැනවීමට දරන උත්සාහයක් ලෙස ඔහු සලකයි. මෙම intimacy යන වචනයේ ආත්මයේ තහනම් කලාපය යන අරුත ද පවතියි. තව ද extimacy නමැති ලැකානියානු මනෝවිශ්ලේෂණ අදහස මඟින් අභ්‍යන්තරය හා බාහිරය අතර සම්බන්ධතාවය අර්බුදයට ලක් කරයි. එය පිටත (යමක සීමාව) හා ඇතුළත (එහි මධ්‍යය) එක ම තලයක් බවට පත් කරයි. එමෙන් ම මෙමඟින් ආත්මය හා වාස්තවික යථාර්ථය පිළිබඳ පවතින අදහස ද ප්‍රශ්න කරයි.

 

extimite නමැති ප්‍රංශ වචනය සඳහා extimacy, ex-timacy යනුවෙන් ඉංග්‍රීසි නාම පද හා ඊට අනුබද්ධ ක්‍රියා පද ලෙස extimate, ex-timate යන පද මනෝවිශ්ලේෂණය සම්බන්ධ ලිපි තුළ සඳහන් වේ. මෙම ලැකානියානු මනෝවිශ්ලේෂණ අදහස සන්නිවේදනය කිරීම සඳහා අප එම අදහස හැඟවෙන සිංහල පදයක් සකසා ගත යුතු ය. ඒ පිළිබඳ සොයා බැලීමේ දී මෙම ලියුම්කරුට එම අදහස දැක්වෙන සිංහල වචන තුනක් “ත්‍රිමාණ“ වෙබ් අඩවිය තුළින් ම සොයා ගත හැකි විය. ඉන් එකක් වන්නේ මහේෂ් හපුගොඩ විසින් සකස් කරන ලද “බහිසංසේචනය“ නමැති පදය යි. අනෙක් පද වන්නේ දීප්ති කුමාර ගුණරත්න විසින් සකස් කරන ලද “බහිසන්ථවය“ හා මෙම ලියුම්කරු විසින් සකස් කරන ලද “බහිසංස්ලේෂණය“ නමැති පද යි. නමුත් මෙම ලැකානියානු අදහස පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු කළ විට ඉහත සිංහල පද තුනෙන් ම එම ප්‍රංශ පදයෙහි ඇතුළත් මනෝවිශ්ලේෂණාත්මක අදහසෙහි අර්ථය නිසි ලෙස පැහැදිලි නො වන බව අනාවරණය විය. එබැවින් extimite නමැති ලැකානියානු අදහස සමඟ එම කිසිඳු වචනයක් නිවැරදි ව තුල්‍ය කළ නො හැකි බව පැහැදිලි විය. extimite හි සිංහල අර්ථය පිළිබඳ ව යම් විස්තරාත්මක පැහැදිලි කිරීමක් අන්තර්ගත වන්නේ “ත්‍රිමාණ“ වෙබ් අඩවියේ ම පළ වූ මහේෂ් හපුගොඩ රචනා කළ “Everest: ෆැන්ටසිය තරණය කිරීමට පෙර“ නමැති ලිපියේ ය. එම ලිපියේ extimacy නමැති අදහස පිළිබඳ ඔහු මෙසේ සඳහන් කරයි. “බහිසංසේචනය යන්න ex-timacy යන ලැකානියානු වචනයේ පරිවර්තනය වන අතර එය ඉංග්‍රීසියෙන් external හා intimacy යන වචන දෙකේ එකමුතුවෙන් සෑදී ඇත. (external = බාහිර/පිටස්තර) සහ intimacy (ඇඟෑලුම්කම/සංසේචනය).“

 

එහි දී ඔහු බහිසංසේචනය යනු ex-timacy නමැති ලැකානියානු වචනයේ පරිවර්තනය යැයි සඳහන් කළ ද ඒ පිළිබඳ මූලාශ්‍රයක් සඳහන් නො කරන බැවින් ද එම වාක්‍යයේ ම අවසානයේ සිංහල පරිවර්තනය ඔහු විසින් ම පහදා දෙන බැවින් එම සිංහල වචනය ඔහුගේ ම ව්‍යුත්පන්නයක් යැයි අනුමාන කළ හැකි ය. නමුත් exteriority (exterieur – ප්‍රංශ වචනය) හා intimacy (intimite – ප්‍රංශ වචනය) යන වචන දෙකෙහි exterieur (exteriority) හි “ex“ නමැති උපසර්ගය (prefix) සමඟ intimite (intimacy) යන පදය යෙදීමෙන් extimite (extimacy) යන පදය බිහි වී ඇති ආකාරය දක්නට ලැබේ. එබැවින් එයට අදාළ ව සිංහල පදය ගොඩ නැංවීමේ දී හපුගොඩ කරනු ලබන පැහැදිලි කිරීමේ දෝෂ සහගත බවක් ද නිරීක්ෂණය කළ හැකි විය.

 

external = බාහිර/පිටස්තර ලෙස හපුගොඩ කරනු ලැබ ඇති පරිවර්තනය ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ අනුව පිළිගත හැකි වුව ද intimacy ඇඟෑලුම්කම/සංසේචනය යන පරිවර්තනයේ යම් දෝෂයක් පවතියි. මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය, සුචරිත ගම්ලත් ඉංගිරිසි-සිංහල මහා ශබ්දකෝෂය හා Carter’s සිංහල-ඉංග්‍රීසි අකාරාදිය ආදී ශබ්දකෝෂ අනුව ඇඟෑලුම්කම යන සිංහල වචනය සඳහා intimacy යන වචනය යෝජනා කර ඇති වුව ද intimacy යන පදය සඳහා සංසේචනය යන පදය ඒ කිසිඳු ශබ්දකෝෂයක සඳහන් නො වේ. එමෙන්ම හරිශ්චන්ද්‍ර විජේතුංග සම්පාදනය කළ ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයට අනුව සංසේචනය නමැති වචනය සඳහා ලබා දී ඇති අර්ථය වන්නේ “ලිංගික ව වෙනස් වූ ජන්මාණු දෙකක් යුක්තාණුවක් ඇති කරමින් එක් වීම“ යන්න යි. ඒ අනුව හපුගොඩ දක්වා ඇති සංසේචනය යන වචනය intimacy නමැති ඉංග්‍රීසි වචනය සඳහා නිවැරදි සිංහල පරිවර්තනයක් ලෙස සැලකිය නො හැක. නමුත් අන්තර්ජාලයට ඇතුළත් කර ඇති මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයට අනුව intimacy නැමති වචනය සඳහා ඇඟෑලුම්කම, ඉතා කිට්ටු ආශ්‍රය, දැඩි මිත්‍රත්වය හා සංසේචනය යන සිංහල පද යෝජනා කර ඇත. භාෂා විශාරදයෙකු නො වන මධුර ශබ්දකෝෂයේ නිර්මාතෘවරයා තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන බැවින් ඔහුට සිංහල භාෂාවේ භාවිතා වන “සංසේවනය“ නමැති වචනය “සංසේචනය“ යනුවෙන් පරිගණක අකුරු ලියනය කරන විට අත්වැරදීමක් වූවා විය හැකි ය. මන්ද යත් ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයට අනුව සංසේවනය යනු “ඇසුරු කිරීම“, “එක්ව විසීම“ යන අරුත් දෙයි. කාටර් සිංහල-ඉංග්‍රීසි අකාරාදිය අනුව සංසේවනය යන සිංහල පදය සඳහා intimacy යන ඉංග්‍රීසි පදය යෙදෙයි. එබැවින් extimacy නමැති ලැකානියානු මනෝවිශ්ලේෂණ අදහස දනවන සිංහල පදය ලෙස බහිසංසේචනය ලෙස හපුගොඩ කරනු ලබන පැහැදිලි කිරීම නිවැරදි නො වේ.

 

මේ අනුව extimacy යන පදය සඳහා නිවැරදි සිංහල පදයක් සකසා ගත යුතු ව ඇත. නමුත් extimacy නමැති මනෝවිශ්ලේෂණ සංකල්පය විමසීමේ දී එහි අදහස නිවැරදි ව සන්නිවේදනය කළ හැකි සිංහල පදයක් තැනීම ඉතාමත් දුෂ්කර බව පෙනේ. මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය, සුචරිත ගම්ලත් ඉංගිරිසි-සිංහල මහා ශබ්දකෝෂය, Carter’s ඉංග්‍රීසි-සිංහල අකාරාදිය හා ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂය නමැති ශබ්දකෝෂ භාවිතා කිරීමෙන් intimacy නැමති වචනය සඳහා මනෝවිශ්ලේෂණ අර්ථයට ගැලපෙන පදයක් සොයා ගැනීමට මෙම ලියුම්කරු උත්සාහ කළ අතර එහි දී එම මනෝවිශ්ලේෂණ සංකල්පය මඟින් ආත්මයේ ඉතා අභ්‍යන්තරීය, ආත්මයට පවා ආගන්තුක අභ්‍යන්තරය යන අදහස නිරූපණය වන නිසා “ආධ්‍යාත්මික“ හෝ “ආත්මීය“ යන සිංහල වචන ඒ සඳහා ආසන්න වශයෙන් ගැලපෙන බව මෙම ලියුම්කරුගේ විශ්වාසය යි. එහෙත් ආධ්‍යාත්මික නමැති පදය මඟින් දාර්ශනික අදහසක් ද ජනිත වන බැවින් ආත්මීය යන වචනයට සම්බන්ධ ආත්මික (ආත්මය පිළිබඳ වූ, තමා සතු, තමාගේ යන අදහස් එමඟින් ලබා දෙයි.) යන පදය intimacy නැමති වචනය සඳහා සුදුසු යැයි යෝජනා කළ හැක. නමුත් භාෂාවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණ සංකල්පවල දියුණුව ද අනුව ඉදිරියේ දී මෙයට වඩාත් ගැලපෙන සිංහල වචනයක් සොයා ගැනීමේ හැකියාවක් පවතින බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. එබැවින් extimacy නමැති පදය exteriority හා intimacy යන පද දෙක ඇසුරින් ව්‍යුත්පන්න වී ඇති නිසා දැනට exteriority යන පදය සඳහා බාහිරත්වය, බාහ්‍යත්වය යන පදවලින් “බහි“ යන්න ද intimacy යන පදය සඳහා “ආත්මික“ යන පදය ද යෙදීමෙන් “බහිආත්මික“ යන සිංහල පදය අපට ව්‍යුත්පන්න කර ගත හැකි ය.

 

ප්‍රංශුවා කෙනීට අනුව intimacy යන ඉංග්‍රීසි වචනය මඟින් intimite නමැති ප්‍රංශ වචනයේ පූර්ණ අර්ථය ලබා නො දෙයි. ප්‍රංශ intimite වචනය මඟින් කුළුපගතාවය මෙන්ම සත්තාවේ ගැඹුරු ඉතා අභ්‍යන්තරිකතාවයක් පිළිබඳ අදහස ද ඇතුළත් වේ. එබැවින් ඔහු ඒ සඳහා intimacy යන වචනය වෙනුවට intimateness නමැති ඉංග්‍රීසි වචනය වඩාත් යෝග්‍ය විය හැකි බවට යෝජනා කරයි. ඒ අනුව extimacy සඳහා අදාළ සිංහල පදය “බහිආත්මිකතාවය“ යනුවෙන් අපට සම්පාදනය කර ගත හැකි ය.

 

ආත්මයේ මදයට සම්බන්ධ මෙම බහිආත්මිකතාවය ලැකාන් සම්බන්ධ කරන්නේ දෙය (the Thing) හා වස්තුව (objet a) සමඟ ය. ඔහුට අනුව දෙය යනු බාහිරකරණය කරන ලද අභ්‍යන්තරිකත්වයකි. නිදසුනකට ළදරුවාට වස්තුව වන්නේ මවගේ සැබෑ පියයුරුව නො ව ඔහුට අතිමහත් ප්‍රමෝදය ලබා දුන් පියයුරුවේ ප්‍රතිමූර්තියකි. එවිට එය දරුවාගෙන් බාහිර යමක් නො ව බහිආත්මික යමක් බවට පත් වේ. එවිට සත්තාවේ සමරූපය ලෙස බහිආත්මික වස්තුව සත්තාවේ ව්‍යුහය තුළ අන්තර්ගත වී ඇත්තේ අත්පත් කර ගත නො හැකි වස්තුවක් ලෙස ය. ආත්මයේ අභ්‍යන්තරයට අනුව තම ප්‍රථම පිටත (outside) ලෙස මෙම බහිආත්මිකතාවය සැලකේ. ලැකාන් සඳහන් කරන්නේ අපට වඩාත් ම සමීප දෙය කෙසේ වෙතත් අපෙන් බාහිර ව පිහිටන බව ය. එබැවින් මෙම බහිආත්මිකතාවය යථාර්ථයේ දී බාහිර ලෝකය තුළ පිහිටන යමක් නො වේ. මෙම දෙය කාලයට අනුව ආත්මයේ බාහිරත්වය තුළ පිහිටන අතර අවකාශ ම ය ලෙස ආත්මයේ නො වෙනස් ලක්ෂ්‍යය ලෙස අභ්‍යන්තරික ව පිහිටයි. ආත්මය හා වස්තුව අතර අවකාශ ම ය සම්බන්ධතාවය පාරභෞතික ක්ෂේත්‍රය මත පාදක වී ඇත. ආත්මය හා වස්තුව අතර මෙම පාරභෞතික සම්බන්ධතාවය “කුමක් ද යන්න“ හා “කුමක් ද යන්නෙන් පිටත“ අතර වෙනස මත තීරණය වේ. මෙයට අනුව වස්තුව යනු ආත්මයට පිටතින් පවතින දෙය වේ. නමුත් මනෝවිශ්ලේෂණය හඳුන්වාදීමත් සමඟ මනෝවිශ්ලේෂණය තුළ භාවිතා වන වස්තුව නමැති අදහස සමඟ ඉහත පාරභෞතික අදහස අර්බුදයට යයි. ලැකානියානු අදහස අනුව බහිආත්මිකතාවය නමැති වචනය මඟින් බාහිර හා ඇතුළත අතර වෙනස ගැටලු සහගත කරවයි. එවිට සැබැවින් ම ලැකානියානු බහිආත්මිකතාවය යන අදහස මඟින් වාච්‍යාර්ථය, සංකල්පය පමණක් නො ව වස්තුව සම්බන්ධ අවකාශ ම ය ස්වභාවය ද ප්‍රතිඅර්ථ ගැන් වේ.

 

ජැක්ස් ඇලෙන් මිලර් මෙම බහිආත්මිකතාවය (extimacy) යන ලැකානියානු අදහස වැඩි දියුණු කරන්නා ය. ඔහු එම අදහස සම්බන්ධ කරන්නේ අනෙකා සමඟ ය. එය පරපෝෂිත ආගන්තුක ශරීරයක් ලෙස ඔහු අර්ථ ගන්වයි. ඔහුට අනුව දෙවියන් යනු ද එවැනි බහිආත්මික දෙයකි. ඔහු ඉන් සඳහන් කරන්නේ දෙවියන් පවතින්නේ අපගේ අභ්‍යන්තරය තුළ ම පවතින අභ්‍යන්තර ස්ථානයක බව ය. එනම්, එය අපගේ අභ්‍යන්තරය තුළ පවතින බාහිරත්වයට සමීපස්ථානයක පිහිටයි. ඒ අනුව ලැකාන් බාහිරත්වය තුළ අභ්‍යන්තරයේ පිළිබිඹුව පවතින බව අදහස් කරන විට ඇලෙන් මිලර් බාහිරත්වයේ පිළිබිඹුව අභ්‍යන්තරය තුළ පවතින්නේ ය යන අදහස ලබා දෙයි. එම අදහස් දෙක ප්‍රතිවිරුද්ධ අදහස් නො ව එක ම අදහසෙහි මාන දෙකකි. මන්ද යත් එම අදහස් දෙකෙන් ම හෙළිදරවු වන්නේ ආත්මයේ අභ්‍යන්තරය තුළ පවතින ඉන් පිටතට පැමිණි යමක් වීම නිසා ය.

ජැක්ස් ඇලෙන් මිලර්ගේ පැහැදිලි කිරීම පහත සරල 1 වන රූප සටහන මඟින් වටහා ගත හැකි ය. එනම්, ඉතා ම කුළුපග/සමීප/ආත්මික දේ ආත්මයේ අභ්‍යන්තරය තුළ බාහිරත්වයක් ලෙස පවතින ආකාරය එමඟින් දැක් වේ.

පිටත වෘත්තයට ඇතුළතින් අඳුරු කර ඇති වෘත්තය යනු එම බාහිර යැයි අප හඳුනා ගන්නා එහෙත් ඉතා ම කුළුපග, සමීප, ආත්මික දේ ය. සායනික මානයෙන් ගත් විට මෙම අභ්‍යන්තරිකතාවයේ පවතින්නේ බාහිරත්වයකි. එහි දී වඩාත් ම කුළුපග, අභ්‍යන්තර දේ එක විට ම වඩාත් ම සැඟ වී පවතියි යන අදහස ද ලබා දෙයි. එවිට වඩාත් කුළුපග ආත්මික දේ යනු විනිවිද පෙනෙන යමක් නො ව පාරාන්ධ ස්ථානයකි. එවිට extimacy යනු intimacy යන්නෙහි විරුද්ධාර්ථය ද නො වේ.

 

ඉහත 1 වන රූප සටහන ආත්මය සහ අනෙකාට අදාළ ව චිත්‍රණය කළ විට පහත පරිදි වේ.

 

 

 

මෙහි දී ආත්මයට අදාළ වෘත්තය තුළ ආත්මයේ ඉතා අභ්‍යන්තර හෙවත් බහිආත්මික අනෙකා අන්තර්ගත වී පවතියි. ලැකාන් ට අනුව ද මෙම අනෙකා යනු මටත් වඩා මා ඇලී සිටින මා වඩාත් උසි ගන්වන කෙනෙකි. එවිට ජාතිවාදය තුළ යුදෙව්වා හා මුසල්මානුවා යනු ආත්මය තුළ පිහිටා සිටින අභ්‍යන්තරිකභාවයක් බව වැටහී යා යුතු ය. එමෙන් ම මෙම රූපය අප වඩාත් සංකීර්ණ කළ විට අනෙකා සහ වස්තුව අතර සම්බන්ධතාවය හඳුනා ගත හැකි වනු ඇත.

එය පහත තුන්වන රූප සටහනෙන් දැක්වේ.

මෙම රූපය ඉහත දෙවන රූපයේ ම දිගුවකි. බාහිර වෘත්තය අනෙකා ලෙස අප චිත්‍රණය කළ විට එහි මධ්‍ය තුළ අපගේ බහිආත්මිකතාවය පිහිටයි. එය අත්පත් කර ගෙන සිටින්නේ ලැකානියානු කුඩා වස්තුව හෙවත් object a ය. එනම්, අනෙකා තුළ වස්තුව අන්තර්ගත ව ඇත. ඉන් අනෙකා ක්‍රියාකාරී නො වන්නේ ය යන අදහස ලබා නො දෙන අතර ඉන් ලබා දෙන්නේ අනෙකා පැවතීමකින් තොර ව a (වස්තුව) නිසා ක්‍රියාකාරී වේ යන්න යි. එවිට ජාතිවාදය තුළ මුසල්මානුවා (අනෙකා) පවතින්නේ මා සිතන විට ය.

 

ජැක්ස් ඇලෙන් මිලර්ට අනුව බහිආත්මිකතාවය සඳහා ඉතා සරල සංකේතය A—->a ලෙස හැඳින්විය හැක. මෙහි A යනු සංකේතීය පිළිවෙළ ද a යනු වස්තුව ද වේ. නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙම a යනු හැඟවුම්කරණය කළ නො හැකි විෂමජාතීය අවයවයක් වීම යි. සෑම දෙයක් ම ව්‍යුහගත වුවත් සෑම දෙයක් ම හැඟවුම්කරණය කළ නො හැකි යැයි ලැකාන් පවසන්නේ මේ නිසා ය. එය අපට A <> a ලෙස ද ලිවිය හැකි ය. ඒ අනුව A සහ a අතර පවතින දියමන්තිය (<>) මඟින් එකක් අනෙකට බාහිරත් නො වන අභ්‍යන්තරත් නො වන යන අදහස ලබා දෙයි. එමඟින් බාහිර හා අභ්‍යන්තර අතර පවතින විරුද්ධතාවය ඉක්මවා යාමක් සිදු වේ. එය ප්‍රත්‍යාවර්ත ය. මෙහි A යනු අනෙකා යයි අදහස් කළ විට මෙම අනෙකා අපගේ මධ්‍ය තුළ ම පිහිටන යමක් බවට පත් වන අතර එම අනෙකා අපට වටහා ගත නො හැකි යමක් (a) මඟින් පිර වී පවතින්නේ ය යන අදහස ද ලබා දෙයි. ලැකාන් ට අනුව මෙම අනෙකා යනු මටත් වඩා මා වඩාත් බැඳුණු කෙනෙකි. එවිට ජාතිවාදය පදනම් වන්නේ මෙම තර්කනය මත ය. එහි දී අප ජාතිවාදය වටහා ගත යුත්තේ මගේ ම විනෝදය මට ම පිළිකුල් සහගත බැවින් මගේ එම විනෝදයට මා වෛර කිරීමක් ලෙස ය. එනම්, අනෙකා සිටින්නේ මගේ බහිආත්මිකතාවය තුළ නම් අනෙකා සම්බන්ධ විනෝදය මෙන් ම වෛරය ද මගේ ම ගොඩ නැංවීමකි. එනම්, විනෝදය සඳහා අනෙකාගේ මැදිහත්වීම අවශ්‍ය වන අතර ම අනෙකා නො මැති ව අපට විනෝද වීමට ද නො හැකි ය. සරළ ව මෙම අනෙකා යනු අප තුළ සිට බහිෂ්කරණය වූ අනෙකෙකු වේ.

එබැවින් ලැකානියානු මනෝවිශ්ලේෂණය තුළ භාවිතා වන ‘විනෝදය’ නමැති සංකල්පය පවතින්නේ ද මෙම දෙය හෙවත් බහිආත්මිකතාවය තුළ ය යන්න වැටහී යා යුතු ය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් විනෝදය යනු ලබා ගත නො හැකි දෙය අපගේ එදිනෙදා ජීවිතයේ නැවත අප කරා පැමිණීමකි. මෙය මුසල්මානුවන්ට සම්බන්ධ කළ විට නැවත මා කරා පැමිණෙන මාගෙන් බැහැර ව ගිය මගේ සාරය මගේ ද එසේත් නැත්නම් මුසල්මානුවාගේ ද යන උභතෝකෝටික ගැටළුවට මා මුහුණ දෙයි. එබැවින් මෙම බහිආත්මිකතාවයට අවකාශමය මානයක් ද පවතින්නේ ය යන අදහස පැහැදිලි විය යුතු ය.

ඇලෙන්කා සුපැන්ජිත්ට අනුව මෙම බහිආත්මිකතාවය යනු තමාට වඩාත් අන්තරස්ථ යමක් තමාගෙන් වඩාත් විදේශික හා බාහිර දෙයක් සමඟ සමපාත වීමකි. එනම්, එය තමාට අයත් හෝ තමාට ඉතා විදේශික හා පිළිකුල ඇති කරවන යමකි. ස්ලැවෝ ජිජැක් මේ පිළිබඳ දක්වා ඇති සරල උදාහරණය නම්, ඔබ පිරිසිදු වීදුරුවක් මතට කෙළ ගැසුවා යැයි සිතන්න. දැන්, නැවත එම කෙළ පිඬ ඔබ ම යළි උරා බීම කොතරම් අසීරු පිළිකුල් සහගත දෙයක් වන්නේ ද? එනම්, යම් මොහොතකට පෙර තමාගේ කොටසක් බවට පත් ව තිබූ පිරිසිදු යමක් පිළිකුල් සහගත යමක් බවට පරිවර්තනය වීමකි. බහිආත්මිකතාවය යනු ද එවැන්නකි.

ම්ලාදන් දොලාර්ට අනුව ෆ්‍රොයිඩියානු uncanny (ගුප්ත, දුරවබෝධ) යන වචනය තුළ ද එක ම විට සැඟවුණු, රහස්මය යන අදහස සමඟ තර්ජනාත්මක, අසහනකාරී යන අදහස් ද අන්තර්ගත ව පවතියි. එහි දී අර්ථ දෙකක් සෘජු ව ම සමපාත වී හඳුනා ගත නො හැකි මට්ටමට පත් වී තිබේ. ඒ අනුව ම්ලාදන් දොලාර්ට අනුව එම තත්ත්වය සඳහා ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව ගැලපෙන ඉංග්‍රීසි පදය extimacy යන්න ය.

ස්ලැවෝ ජිජැක්ට අනුව සංකේතීය පිළිවෙළ සමස්ථිතිමය තුලනයකට උත්සාහ කළ ද එහි මධ්‍යය තුළ සංකේතනය කළ නො හැකි, සංකේත පිළිවෙළට බද්ධ කළ නො හැකි ආගන්තුක යමක් පවතියි. ඔහු එය දෙය (the Thing) ලෙස නම් කරයි. ජිජැක්ට අනුව ලැකානියානු බහිආත්මිකතාවය යනු එය යි. එය මා තුළ පවතින මට වඩා දෙය ය. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් එය ආත්මය සංස්ථාපනය කරවන ආත්මය තුළ පවතින වස්තුව ය. ජැක්ස් ඇලෙන් මිලර්ට අනුව මෙහි විශේෂත්වය වන්නේ මෙම වස්තුව ආත්මය සමඟ නො පෑහෙන බවක් පවතින බවට ඇති වන හැඟීම ය. එය ආත්මය නියෝජනය කරන භෞතික ශරීරය අතුරුදන් වීමක් හා සමාන ය. එය එක් අතකින් සංකේතකරණය කළ නො හැකි ආත්මය තුළ පවතින ශේෂයකි, මණ්ඩියකි. ජිජැක් මෙම බහිආත්මිකතාවය යථෙහි කුඩා කැබැල්ලක් ලෙස ද නම් කරයි.

ආත්මය හා බහිආත්මිකතාවය අතර සබඳතාවය ජිජැක් ෆැන්ටසි සමීකරණය වන $<>a සමඟ ද තුල්‍ය කරයි. මන්ද යත් බෙදුණු ආත්මය සංස්ථාපනය කරන සංකේතීය රාමුවට ධාරණය කර ගත නො හැකි ව ශේෂ වන යථ ම ය කොටස ලැකානියානු object a ලෙස හඳුන්වා දිය හැකි බැවිනි. එය ආත්මය සංස්ථාපනය කරනු ලබන ආත්මය තුළ පවතින වස්තුව වේ. එවිට මෙම a මඟින් බෙදුණු ආත්මයෙහි හිදැස පුරවයි. ෆැන්ටසි සමීකරණයට අනුව එය ප්‍රත්‍යාවර්ත (<>) වේ. ඒ අනුව ආකර්ෂණය කරන “වස්තුවක්“ හා විකර්ෂණය කරන “දෙයක්“ ලෙස ආත්මය අභ්‍යන්තරයෙන් දෙපළු වී පවතියි. ජිජැක්ට අනුව ආත්මය යනු සාරාත්මක දෙයක් නො වේ. එය සිය අභ්‍යන්තරික ලෝකයේ අපරූපී, කෲර ලෙස හැඟෙන වස්තුව සමඟ යම් දුරක් නඩත්තු කරයි. නමුත්, අප මෙහි දී වටහා ගත යුත්තේ මෙම අපරූපියා යනු ආත්මය ම බව ය. ඉහතින් සඳහන් කළ දෙය යනුවෙන් සලකන්නේ ද මෙය යි. මෙම දෙය ආත්මය ‍ක්‍රියා කරවයි, පදවයි. මෙම දෙය ආත්මය මධ්‍යයෙහි පවතින්නේ එය බැහැර කර ඇති බවට වන හැඟීම පවතින විට පමණි. එනම්, යථාර්ථය තුළ මෙම දෙය සැම විට ම ආගන්තුක බාහිර දෙයක් ලෙස ඉදිරිපත් විය යුතු ය. ඒ අනුව ඉහත ෆැන්ටසි සමීකරණයේ විරුද්ධාභාසය අපට තවත් මානයකින් වටහා ගත හැකි ය. මෙහි දී $<>a යනුවෙන් සඳහන් වන විට $ හා a යනුවෙන් සඳහන් වන්නේ වස්තු දෙකක් නො ව එක ම වස්තුවේ ම පැති දෙකක් බව ය. එවිට ආත්මය යනු දෙය ම යැයි ද අපට ලිවිය හැකි ය. තවත් අතකින් බහිආත්මික වස්තුව යනු ආත්මය ම දැක්ම තුළ තමන් ම වස්තුවක් බවට පත්වී ම ය.

අපගේ සත්තාව යනු අනෙකාට සම්බන්ධ, අපට ම නාඳුනන, අපට ම අයත් පිටතකින් සමන්විත යමකි. ඒ අනුව සංකේතනය තුළ පැවැත්ම – existence මෙන් ම සැබෑව තුළ ex-sistence (සංකේතනයෙන් පිටත එහෙත් ඒ තුළ ම යන අදහස) යන ද්විත්ව අර්ථය ම සත්තාව තුළ පවතියි. එවිට යථ යනු සංකේතනයෙහි බහිආත්මික සාරය යි. එමඟින් ඇතුළත හා පිටත පිළිබඳ සීමාව ප්‍රශ්නකාරී කරවන බව සඳහන් වන්නේ මේ නිසා ය. ලැකාන්ට අනුව මාගේ අභ්‍යන්තරය කුමක් නිසා හෝ පිටස්තර ය. එනම්, මාගේ ආත්මමූලිකත්වයේ මදය අනේකත්වයක් හෙළිදරව් කරයි. මෙම බහිආත්මිකතාවය හෙවත් අප තුළ තිබෙන අතිරික්තය සමාජ සබඳතා සඳහා ද ආදේශ කළ හැකි ය. නිදසුනකට අනෙකුත් අය මා පිළිබඳ ව කුමක් සිතන්නේදැයි නිශ්චිත ව මට දැන ගැනීමට නො හැකි වන්නේ මා තුළ පවතින මෙම අතිරික්තය නිසා ය. මෙම අතිරික්තය සෑම විට ම මා පිළිබඳ ව අර්ථයක් ගොඩනැගීම වළක්වයි. එමෙන්ම මෙම අතිරික්තය සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා අනිවාර්ය සාධකයක් ලෙස ද ක්‍රියා කරයි. එබැවින් එහි පවතින්නේ විරුද්ධාභාසයකි. මන්ද යත් අවිනිශ්චිත ලෙස හෝ අපට යම් අර්ථයක් ලැබෙන්නේ ද එම අතිරික්තය මඟින් නිසා වන බැවිනි. එවිට එක් අතකින් සමාජ සම්බන්ධතා යනු නො සම්බන්ධතා අතර සම්බන්ධතා ය. මේ අනුව අවිඥානය හා ස්වයං-විඥානය යනු එක ම පටියක (නිදසුනකට ලැකානියානු මෝබියස් පටිය) දෙපැත්ත බවට පත් වේ. එනම්, අවිඥානය හා ස්වයං-විඥානය වෙනසක් ලෙස පෙනුණ ද ව්‍යුහාත්මක ලෙස අභ්‍යන්තරික ව සම්බන්ධ වී ඇත.

චිත්‍රපට තුළ මෙම බහිආත්මිකතාවය විදේශික, වැම්පයරිකභාවයක් ලෙස මෙන් ම දැක්ම (gaze) තුළ ද පිළිබිඹු වේ. නිදසුනකට ඔලිවියර් අසායස් අධ්‍යක්ෂණය කළ “Personal Shopper” (2016) චිත්‍රපටයේ මොරීන්ට (ක්‍රිස්ටන් ස්ටුවර්ට්) දක්නට ලැබෙන හොල්මන් යනු ඇයගේ ම බහිආත්මිකතාවය භෞතික වීමකි. එමෙන් ම ඇල්ෆ්‍රඩ් හිච්කොක් අධ්‍යක්ෂණය කළ “The Birds” (1963) චිත්‍රපටයේ කුරුල්ලන් පහර දෙන කාමරය යනු බාහිර තර්ජනයට ඉඩ දෙන අභ්‍යන්තර ස්ථානයකි. එනම්, තර්ජනාත්මක පිටතෙහි සත්‍යය කේන්ද්‍රය පිහිටා තිබී ඇත්තේ නිවස තුළ ම ය. එනම්, එම චිත්‍රපටයේ බහිආත්මිකතාවය නිරූපනය වන්නේ දැක්ම තුළ ය. එවිට extimacy යනු intimacy හි ම අඩංගු වූ පැල්මක් බවට පත් වේ.

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Your above writing doesn’t mean any sense just it looks like java script language like this
    Please Deepthi can you help us to understand by compiling into common language
    (gdb) info line *0x63ff
    Line 926 of “builtin.c” starts at pc 0x63e4 and ends at 0x6404.
    After info line, the default address for the x command is changed to the starting address of the line, so that `x/i’

    (gdb) disas 0x63e4 0x6404
    Dump of assembler code from 0x63e4 to 0x6404:
    0x63e4 : ble 0x63f8
    0x63e8 : sethi %hi(0x4c00), %o0
    0x63ec : ld [%i1+4], %o0
    0x63f0 : b 0x63fc
    0x63f4 : ld [%o0+4], %o0
    0x63f8 : or %o0, 0x1a4, %o0
    0x63fc : call 0x9288
    0x6400 : nop
    End of assembler dump.

  2. Dear Pushpajith,
    Jesus Christ! Man, your elaboration on the definition of the concept of “Extimacy” in this article is TREMENDOUS! I am Truly Grateful for the time and effort you have taken to explain this concept in such detail.
    THANK YOU!
    ඇත්තෙන්ම මේක තමයි මේ ත්‍රිමාන සඟරාවේ වැදගත් කම. එනම් බහුතරයක් ලිපිවල ඇති එක වාක්‍යකට කෙනෙකුගේ චින්තනය සැතපුම් දහස් ගණනක් ඉදිරියට ගෙනයාහැකි විභවතාවයක් තියනවා. I am saying this from my own experience, this potential “mileage” of sometimes of even single ideas expressed truly surpasses the best expectations of anyone who wants to advance their thinking to new heights.
    Keep up the Best Work!
    Congratulations, Well-done!

Comments are closed.