ල්ටීටීඊයට එරෙහි යුද්ධයට සහයෝගය දීමේ දී පවත්වා ගත යුතු ‘සමබරතාව’ තමා අතින් ගිලිහී ගිය බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක කියයි. ඔහු මේ ‘පාපොච්චාරනය’ කලේ පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනී සේවය විසින් විකාශය කල ‘සත්‍යාගාරය’ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමිනි. මානෙල් මල් ව්‍යාපාරය ඇරඹීම, රනවිරුවන් ලෙස හමුදා සොල්දාදුවන් අභිෂේක කරවීම, යුධ මුක්ත කලාපයට බර අවි වලින් පහර දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කිරීම ආදිය එලෙස ‘සමබරතාව’ අහිමි කරගත් අවස්ථා ලෙස ඔහු හඳුන්වා දුන්නේය.

මිලාන් කුන්දේරාගේ The unbearable lightness of being නවකථාවට ( සහ එනමින්ම යුත් චිත‍්‍රපටයට ) පාදක වන්නේ ‘ප‍්‍රාග් වසන්තය’ යුගයේ චෙකොස්ලොවැකියාවයි. 1960 ගනන් වල අග චෙකොස්ලොවැකියාව සාම්ප‍්‍රදායික ස්ටාලින්වාදී පාලන ආකෘතියෙන් බිඳී යාමක් පෙන්නුම් කළේය. පාලක කොමියුනිස්ට් පක්ෂය තුල එක්තරා විදිහක ‘ප‍්‍රතිසංස්කරනවාදී ’ ප‍්‍රවනතාවයක් බලවත් විය. කොමියුනිස්ට් පක්ෂ පාලනය තුල පෙර සිදු වූ අව ක‍්‍රියා එම ප‍්‍රතිසංස්කරනවාදය තුල හෙලා දැකීමට ලක්විය. ඒවා ‘ස්ටාලින්වාදයේ ගිනුමට’ බැර කරනු ලැබීය. කලාව සහ සාහිත්‍යය මත වූ වාරන යම් ප‍්‍රමානයකින් මෙම නව ප‍්‍රතිසංස්කරනවාදය තුල ඉවත් විය.

චිත‍්‍රපටයේ කථා නායක ( ටොමාස් ) පක්ෂ නායකයින්ගේ හැසිරීම විස්තර කිරීමට ඊඩිපස් රජු ගේ සාදෘශ්‍යය ඈඳයි. තමා තම පියා මරා මව සමඟ රමනයේ යෙදුනු බව දැනගත් පසු ඊඩිපස් රජු එම සත්‍යය දරා ගත නොහී තමාටම දඩුවම් පමුනුවා ගනී. ඒ සිය ඇස් දෙක උගුල්ලා ගනිමිනි. ප‍්‍රාග් වසන්තය කාලයේ කොමියුනිස්ට් පක්ෂ නායකයින් යනු ඔවුන්ම හෙලාදකින ස්ටාලින්වාදී අතීතයේ කොටස්කරුවෝය. ඊඩිපස් තම ‘වරද’ කලේ දැනගෙන නොවේ. එහෙත් තමා අතින් වරදක් වූ බව දැනගත් විට ඔහු එයට ප‍්‍රතිචාර දක්වන්නේ ඇස් උගුල්ලා ගනිමිනි. ටොමාස් මෙය ‘ඊඩිපස් සදාචාරය’ ( Oedipus Morality)  ලෙස නම් කරයි. සමහර විට අර වැරදි වලට කොමියුනිස්ට් නායකයෝ සම්මාදම් වෙන්ට ඇත්තේ ‘දැනගෙන’ නොවන්නට පුලූවන. එහෙත් ස්ටාලින්වාදී තන්ත‍්‍රයේ සාපරාධීත්වය හෙලි වූ විට හුදෙක් ‘අපි ඒ ගැන දුක් වෙනවා’ කියා ඒවා ස්ටාලින්ගේ ගිනුමට බැර කොට අත පිස දා ගත නොහැක. එම පසුතැවීම අවංක නම් ඇස් උගුල්ලා ගැනීමට තරම් වූ ආවේගයක් පක්ෂ නායකත්වය තුල පැනනැගිය යුතුය.

ලංකාවේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුනට තිබෙන්නේ වාමාංශික පක්ෂයකට තරම් නොවන අපකීර්තිමත් ඉතිහාසයකි. මෙය හුදෙක් 2005 න් පසු ඇති වූ තත්වයක් නොවේ. මෙම කුප‍්‍රකටත්වයේ මූලය ‘80 දශකය දක්වාම දිව යන්නකි. සිංහල කේන්ද්‍රීය රාජ්‍යයේ සාහසිකත්වයට එරෙහිව දෙමල ජනතාව අතරින් පැන නැගුනු සටන්කාමී සංවිධාන බිහිවීමේ මූලික හේතුව ජාතික පීඩනය නොව අධිරාජ්‍යවාදී උවමනාවන් යැයි කියන රෝහන විජේවීර සහෝදරයාගේ සුප‍්‍රකට ප‍්‍රවාදය දක්වාම මෙකී අපගමනයේ මූලයන් විහිදෙන්නේය. ‘80 දශකය අගභාගයේ දී පලාත් සභා විරෝධය ලෙස ජවිපෙ විසින් දකුනු ලංකාව තුල සංවිධානය කරනු ලැබූයේ සිංහල මහජාතිවාදී කතිකාව විසින් දෙමල ජනයාගේ ස්වයං පාලන ඉල්ලීම සම්බන්ධයෙන් දකුනේ ගොඩනගා තිබූ භීතිකාවයි. නිර්ප‍්‍රභූ ජනතා නැගිටීමක් ලෙස 88-89 අරගලයේ තිබුනු විමුක්ති විභවතා මෙයින් නිශේධනය නොවන නමුත් එම නැගිටීමේ තිබූ ජාතිවාදී සංරචකය දැකීමට එය බාධාවක් කරගත යුතු නැත.

2006-09 කාලයේ යුද්ධය සඳහා සක‍්‍රීයව සහයෝගය දීමේ දී ජවිපෙ පදනම් වන්නේ ඉහත කී න්‍යායික ආස්ථානය මතය. එම සහය පිදීම ‘අහඹුවක්’ නොව ඉහත න්‍යායික ආස්ථානයේ තර්කානුකූල දිගුවකි. ඊලාම් අරගලය අධිරාජ්‍යවාදී උගුලක් නම්, එය පරාජය කිරීම ‘අධිරාජ්‍ය විරෝධී’ අරගලයේ සංයුක්ත කොටසක් වන්නේය. මේ අනුව 2002-05 කාලයේ එල්ටීටීඊය යුදමය ලෙස පරාජය කළ යුතු බවට රනකාමී මතයක් ජවිපෙ දකුනු ලංකාව තුළ ගොඩනැගීය. එම සටන් පාඨය මහින්ද සියතට ගත් අතර මහින්ද එල්ටීටීඊය සමූලඝාතනය කරද්දී ඊට සහයෝගය නොදී සිටීමේ කිසිදු තර්කයක් ජවිපෙට නොමැති විය.

මෙම සමස්ත කාලය තුළ දෙමල ජනතාවට අත්වන ඉරනම කුමක්ද යන්න ගැන හාංකවිසියක තැකීමක් ජවිපෙ තුල නොවීය. යුධ මුක්ත කලාපය තුල සිර වූ දෙමල ජනයාට බර අවිවලින් ගැසීම රජයේ හමුදා විසින් නතර කළ විට එය ‘රට පාවාදීමක් ’ ලෙස හඳුන්වා ජවිපෙ පෝස්ටර් ගැසුවේ ඒ අනුවය.

2009 එකී ජනසංහාරයෙන් ඉක්බිති ජවිපෙ ‘මානවවාදී’ අදහසකින් උතුරේ ප‍්‍රශ්නවලට මැදිහත්වීම පටන්ගත්තේය. දැන් යුද්ධය තුල ‘සමබරතාව’ රඳවා නොගැනීම ගැන ඔවුන් සිය කනගාටුව ප‍්‍රකාශ කර සිටී. ගරිල්ලා සංවිධානයක් යුදමය ලෙස සමූලඝාතනය කිරීමට යාමේ දී විශාල සිවිල් ජන හානියක් සිදුවන බව වටහා ගැනීමට විශේෂඥ නුවනක් අවශ්‍ය නොවේ. මේ නිසා යුද්ධය කරන්න යැයි කියන ගමන් මිනිස්සු මියයාමට විරුද්ධ වීම නොම්මර එකේ තක්කඩිකමකි. හුදෙක් ‘කනගාටුව’ ප‍්‍රකාශ කොට එම ඉතිහාසය සම්බන්ධ ස්වකීය වගකීමෙන් මිදීගත හැකිද? මෙය හරියටම චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් නිලධාරීන් ස්ටාලින්වාදී අතීතය ගැන සිය ‘කනගාටුව’ ප‍්‍රකාශ කිරීම හා සමානය. අතීතය පිළිබඳ පශ්චාත්තාපය අවංක එකක් නම් ජවිපෙ සම්ප‍්‍රදායට අයත් වාමාංශිකයින්ට සරල ‘සොරි’ කීමකින් එකී අතීතය සම්බන්ධ සිය පංගුකාරීත්වයෙන් මිදිය නොහැක. එම අතීතය සම්බන්ධයෙන් ඔවුන් අවංක නම් ඇස් උගුල්ලා ගැනීමට තරම් ආවේගයක් ඔවුන් තුල ජනිත විය යුත්තේය.

රාමචන්ද්‍රගේ අඩවිය

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. jvp එක Unp එක සමග රමණයේ යෙදෙන විදිහ වර්තමානයේ නරබමින් සිටින අපිට ඕව මොනවද ?

Comments are closed.